බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද?

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද?

( 1 වන කොටස )

සාරාසැකි කල්ප ලක්ෂයක් පුරා සමතිස් පෙරුම්දම් සපුරා අපරිමිත පුණ්‍යානුභාවයෙන් යුතුව, දෙතිස් මහා පුරිස ලකුණින් සමලංකෘත පින් සිරුරක් දරා, සිද්ධාර්ථ ගෞතමයාණෝ ලුම්බිණි සාල වනයේදී පියුම් මතින් වැඩ සිහනද පතුරවමින් මෙලොව උපත ලද සේක. බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයේදී දස බිම්බර මරසෙන් පරදවා සව් කෙලෙසුන් නසා දසබල ඤාාණ, සිව් විසාරද ඤාාණ, නව අරහාදී සම්බුදු ගුණ සමුදායෙන් යුතු අනන්ත බුද්ධානුභාවයෙන් යුතුව ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළ සේක. බරණැස ඉසිපතන මිගදායේදී නිකෙලෙස් සම්බුදු හදමඩලින් පැන නැංගා වූ අසිරිමත් සිරි සදහම් දෙව් මිනිස් ලෝකයාට දායාද කරමින් දහම් සක ප්‍රවර්තනය කළ සේක. පන්සාලිස් වසරක් පුරා සදහම් අමා වැස්සෙන් අපමණ සත්වයන්ගේ සිත් සතන් නිවා සනසා සම්බුදු කිස නිමවා කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් සාල වන උද්‍යානයේදී අනුපාදිසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක.

සම්බුදු පහසින් සුපූජනීයත්වයට පත් වූ ඒ උත්තම පුණ්‍ය භූමීන් වැඳපුදාගෙන ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයින් පහන් සංවේග උපදවාගත යුතු බව මහා පරිනිර්වාණ සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරා ඇත්තේ ය.

“ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින්, දැකිය යුතු, සංවේගයට පත් විය යුතු මේ සතර ස්ථානයන් ඇත්තේ ය.

‘මෙහි තථාගතයන් වහන්සේ උපන් සේක.’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත් විය යුතු ස්ථානයක් ඇත්තේ ය.
(ඉධ තථාගතෝ ජාතෝති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං)

‘මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය විශිෂ්ඨ ඥානයෙන් අවබෝධ කළ සේක.’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත් විය යුතු ස්ථානයක් ඇත්තේ ය.
(ඉධ තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං)

‘මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද්දේ ය’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත් විය යුතු ස්ථානයක් ඇත්තේ ය.
(ඉධ තථාගතේන අනුත්තරං ධම්මචක්කං පවත්තිතන්ති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං)

‘මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක.’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත් විය යුතු ස්ථානයක් ඇත්තේ ය.
(ඉධ තථාගතෝ අනුපාදිසේසාය නිබ්බාන ධාතුයා පරිනිබ්බුතෝති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං)

ආනන්දයෙනි, සැදැහැවත් භික්ෂූහු, භික්ෂුණීහු, උපාසකවරු, උපාසිකාවෝ, ‘මෙහි තථාගතයන් වහන්සේ උපන් සේක’ කියාත්, ‘මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළ සේක.’ කියාත්, ‘මෙහි තථාගතයන් වහන්සේ විසින් අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද්දේ ය’ කියාත්, ‘මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක’ කියාත් පැමිණෙන්නාහු ය. ආනන්දයෙනි, යම්කිසි කෙනෙක් චෛත්‍යය වන්දනා චාරිකාවේ සැදැහැ සිතින් යෙදී සිටියදී පහන් සිතින් කළුරිය කරන්නාහු ද ඒ සියල්ලෝ ම සුගති සංඛ්‍යාත දිව්‍ය ලෝකයෙහි උපදින්නාහු ය.”

මේ සියලු අසිරිමත් සංසිද්ධීන් සිදුවූයේ ජම්බුදීප නම් වූ ඉන්දියාවේ ය. එනමුත් වර්තමානයේදී ඉතිහාසයේ කිසි දිනෙක නො වූ විරූ අයුරින් විකෘති අර්ථකථන දෙමින් සම්බුද්ධ භූමිය වූ දඹදිව් තලයට ගරහමින් සැදැහැති බොදුනුවන් නොමග යවමින් බොහෝ අකුසල් රැස්කර ගන්නා පිරිසක් බෞද්ධයන් නාමයෙන් ම බිහිව සිටීම ජාතියේ මහත් අභාග්‍යයකි. ශාසන පරිහානියකි. සම්බුද්ධ දේශනාවන්ට විකෘති අර්ථකථන දෙමින් සත්‍ය වූ ඓතිහාසික ශාසනික සංසිද්ධීන් බැහැර කරමින් ඔවුන් මේ සිදුකර ගන්නේ ආර්ය උපවාද නම් බරපතල අකුසල කර්මය බව නොවැටහීම ඔවුන්ගේ ම අවාසනාවකි. මේ වනාහි “පින්වත් කස්සප, මාගේ බුදු සසුන විනාශ කරන අය බිහි වන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වණක් පිරිස තුළින් ම යි” යන සම්බුදු වදන්වල සත්‍යතාවය තහවුරු වීමයි.

එම නිසා ජම්බුදීප යන පාලි වචනය ජන් + බුද් + දීප යනුවෙන් ව්‍යඤ්ජනය ද විකෘති කොට, බුදුන් උපන් දීපය යනුවෙන් අර්ථය ද විපරීත කොට, බුදුරජාණන් වහන්සේ උපන්නේ ලංකාවේ යැයි කියමින් සිදුකරන ශාසන විලෝපනයට සැදැහැති බුද්ධිමත් ජනතාව කිසිසේත් මුළා නො විය යුතු ය. ජම්බුදීපය යනු දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ උපන්, වැඩ සිටි, පිරිනිවන් පා වදාළ දඹදිව් තලය යි. සියලු බුදු, පසේබුදුවරු, සක්විති රජවරු පහළවන උත්තම දේශය යි.

එබැවින් සම්බුද්ධ දේශනාවන් තුළින් ම ත්‍රිපිටකයේ සඳහන් භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයත්, පනවා වදාළ උතුම් විනය ප්‍රඥප්තීනුත් ඇසුරු කරගෙන අපි නිවැරදි නිගමනයන්ට එළැඹීම ඉතා වැදගත් ය. ‘බුදුරජාණන් වහන්සේ ඉපදුණේ, වැඩ සිටියේ, දහම් දෙසුවේ ලංකාවේ දී ය’ යන මතය කෙතරම් හරසුන්, අශාසනික, අසත්‍යය කරුණක්දැයි කියා එවිට සම්බුදු වදන් තුළින් ම පැහැදිලි වන්නේ ය. “මාගේ ශ්‍රාවකයින් ධර්මධර, විනයධර, ව්‍යක්ත, ප්‍රතිබල, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙන පිරිසක් වී, උපදින්නා වූ අශාසනික වැරදි මතවාද, ධර්ම විනය ඉස්මතු කොට මැඩ පැවැත්විය යුතුයි.” යන ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාව සිදු කළා වන්නේ ද එවිට ය.

ජම්බුදීපය ද? ජන් + බුද් + දීපය ද?

තිසරණ සරණ ගිය සැදැහැති බොදුනුවන් අනාදිමත් කාලයක සිට දැන සිටියේ බුදුන් උපන් දේශය, ජම්බුදීපය හෙවත් දඹදිව ලෙසයි. සෑම ශ්‍රී මුඛ බුද්ධ දේශනාවකදීමත්, විනය පිටකයේත් සඳහන් වන්නේ ජම්බුදීප හෙවත් දඹදිව ලෙසයි. ලංකාධරණී තලයට සම්බුද්ධ සන්දේශය රැගෙන වැඩම කළ අනුබුදු මිහිඳු මාහිමියන් ද දේවානම්පියතිස්ස නිරිඳුන්ට වදාළේ මෙලෙසයි.

සමණා මයං මහාරාජ – ධම්මරාජස්ස සාවකා
තවේව අනුකම්පාය – ජම්බුදීපා ඉධාගතා

“මහරජ, ධර්මරාජයාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රමණයන් වූ අපි ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ම දඹදිව සිට මෙහි පැමිණියෙමු.” කියා ය. තව ද භාග්‍යවතුන් වහන්සේ අසිරිමත් ලෙස ඍද්ධි ප්‍රාතිහාර්ය පාමින් උරුවෙල කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප නම් තුන්බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් ජටිලයන් දමනය කළ ආකාරය ගැන සුන්දර විස්තරයක් මහාවග්ග පාලි නම් උතුම් විනය ග්‍රන්ථයේ ඇතුළත් වේ. එහිදී ජම්බුදීපය හෙවත් දඹදිව කියා හඳුන්වන්නේ කුමන අර්ථයෙන්දැයි කියා ඉතා පැහැදිලිව මෙසේ සඳහන් වේ.

‘එකල්හි භාග්‍යවතුන් වහන්සේ “කාශ්‍යප ය යන්න. මම පසුව එමි.” කියා උරුවේල කාශ්‍යප ජටිලයා පිටත් කොට, දඹදිව යම් දඹ ගසකින් ප්‍රසිද්ධ වේ ද, ඒ දඹගසින් දඹ ගෙඩියක් ගෙන පළමු කොට පැමිණ ගිනිහල්ගෙයි වැඩහුන් සේක. උරුවෙල කාශ්‍යප ඒ ගැන විමසූ විට භාග්‍යවතුන් වහන්සේ මෙසේ පැවසූ සේක. “කාශ්‍යප, මම ඔබ මුලින් පිටත් කොට, දඹදිව යම් දඹ ගසකින් ප්‍රසිද්ධ වේ ද ඒ ගසින් ගෙඩියක් ගෙන පළමු කොට පැමිණ ගිනිහල්ගෙයි වැඩ උන්නෙමි. කාශ්‍යපය, මේ දඹගෙඩිය පැහැයෙන් පිරිපුන් ය. සුවඳින් පිරිපුන් ය. රසයෙන් පිරිපුන් ය. ඉතින් කැමති නම් අනුභව කරන්න” යැයි වදාළ සේක.’

 (ඉධාහං කස්සප, තං උය්‍යෝජෙත්වා යාය ජම්බුයා ජම්බුදීපෝ පඤ්ඤායති, තතෝ ඵලං ගහෙත්වා පඨමතරං ආගන්ත්වා අග්‍යාගාරේ නිසින්නෝ. ඉදං ඛෝ කස්සප, ජම්බුඵලං වණ්ණසම්පන්නං ගන්ධසම්පන්නං රසසම්පන්නං. සචේ ආකංඛසි පරිභුඤ්ජ)

එමෙන් ම ඛුද්දක නිකායට අයත් සුත්ත නිපාතය ග්‍රන්ථ රත්නයේ පබ්බජ්ජා නම් සූත්‍රයේදී පාණ්ඩව පර්වත මූලයේ වැඩසිටිය අප මහ බෝසතාණන් වහන්සේ බිම්බිසාර රජතුමාට තමන් වහන්සේ ව හඳුන්වා දුන්නේ මේ අයුරිනි.

උජුං ජානපදෝ රාජා – හිමවන්තස්ස පස්සතෝ
ධනවිරියේන සම්පන්නෝ – කෝසලේසු නිකේතිනෝ

භවත් මහාරාජයාණෙනි,
හිමගිරි පව්ව ද පෙනෙනා – කොසොල් ජනපදේ තිබෙනා
වීරිය හා ධනයෙන් යුතු – සුන්දර ජනපදයක් වේ

ආදිච්චා නාම ගොත්තේන – සාකියා නාම ජාතියා
තම්හා කුලා පබ්බජිතෝම්හි රාජ – න කාමේ අභිපත්ථයං

අපි සූරිය වංශයේ වෙමු – ‘ශාක්‍ය’ වෙමු ජාතියෙන් ද
පින්වත් රජතුමනි මෙමා – ඒ කුලයෙන් නික්ම අවුත්
පැවිදි බවට පත් කෙනෙක්මි – කිසිම කාමයක් නොපතන

මේ අනුව කොසොල් ජනපදය හෙවත් කෝසල රාජ්‍යයට අයත් ශාක්‍ය දේශය පිහිටියේ, දඹදිව හිමාල පර්වත මූලයෙහි බව ඉතා පැහැදිලි ය. එමෙන් ම කෝසල, මගධ ආදී ප්‍රධාන රාජ්‍යයන් ඇතුළු සොළොස් මහ ජනපද පිහිටා තිබුණේ ද දඹදිව හෙවත් වර්තමාන ඉන්දියාව ආශ්‍රිතව මිසක ලංකාවේ නොවන බව ද සක්සුදක් සේ පැහැදිලි ය.

ඉන්දියාවේ දඹදිව මධ්‍ය මණ්ඩලය යනු මෙයයි

තව ද බුදුරජාණන් වහන්සේ සිය සම්බුදු දිවිය තුළදී නිබඳව සැරිසැරූ දඹදිව මධ්‍ය මණ්ඩලයේ සීමාවන් පවා, භාග්‍යවතුන් වහන්සේ විසින් ම මෙසේ පෙන්වා දී තිබේ.

“මහබෝමැඩට පෙරදිගින් කජංගල නම් නියම්ගම ය. ඉන් පිටත මහා ශාලයෝ ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ ය. ඉන් මෙහා මධ්‍ය දේශය යි. පූර්ව දක්ෂිණ දිශාවෙන් හෙවත් ගිණිකොණින් සලලවතී නම් ගංගාව ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝය. ඉන් මොබ මධ්‍ය දේශය යි. දකුණු දිගින් ශ්වේත කර්ණිකා නම් නියම්ගම ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ ය. ඉන් මෙහා මධ්‍ය දේශය යි. බස්නාහිරින් ථූණ නම් බමුණු ගම ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ ය. ඉන් මෙහා මධ්‍ය දේශය යි. උතුරු දිගින් උසීරධ්වජ නම් පර්වතය යි. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ ය. ඉන් මොබ මධ්‍ය දේශය යි.”

(පුරත්ථිමාය දිසාය කජංගලං නාම නිගමෝ. තස්සාපරේන මහාසාලා. තතෝ පරා පච්චන්තිමා ජනපදා. ඕරතෝ මජ්ඣේ. පුරත්ථිමදක්ඛිණාය දිසාය සලලවතී නාම නදී. තතෝ පරා පච්චන්තිමා ජනපදා. ඕරතෝ මජ්ඣේ. දක්ඛිණාය දිසාය සේතකණ්ණිකං නාම නිගමෝ. තතෝ පරා පච්චන්තිමා ජනපදා. ඕරතෝ මජ්ඣේ. පච්ඡිමාය දිසාය ථූණං නාම බ්‍රාහ්මණගාමෝ. තතෝ පරා පච්චන්තිමා ජනපදා. ඕරතෝ මජ්ඣේ. උත්තරාය දීඝාය උසීරද්ධජෝ නාම පබ්බතෝ. තතෝ පරා පච්චත්තිමා ජනපදා. ඕරතෝ මජ්ඣේ.)

(චම්මක්ඛන්ධකය – මහාවග්ගපාලි – විනය පිටකය)

එමෙන්ම දඹදිව් තල භූමියේ භෞතික හැඩය පවා ඉතා පැහැදිලි ව සූත්‍ර දේශනා තුළ ම සඳහන් වේ. “උතුරින් දික්ව ද දකුණින් ගැල්මුවක් සේ ද පිහිටියේ ය. (උත්තරේන ආයතං දක්ඛිණේන සකටමුඛං)

(මහා ගෝවින්ද සූත්‍රය – දී. නි. 2)

එනමුත් ලංකාදීපයේ පිහිටීම ඊට හාත්පසින් ම වෙනස් ආකාරයෙන් දකුණින් දික්ව ද උතුරින් කුඩාවට ද පිහිටා ඇත. මේ අනුව දඹදිව යනු වර්තමාන ඉන්දියාව මූලික කර ගත් ඒ ආශ්‍රිත භූමි භාගය බව සම්බුද්ධ දේශනා තුළින් ම මනාව පැහැදිලි වේ.

සතරවරම් දෙවිවරුන් ලංකාවේ රජකම් කළ මිනිස් රජවරු ද?

දීඝනිකායේ ජනවසභ සූත්‍ර දේශනාවෙහි පෙර බිම්බිසාර රජව සිට දෙව්ලොව උපන් ජනවසභ නම් සෙන්පති දෙවියන් භාග්‍යවතුන් වහන්සේට මෙසේ පවසයි.

“ස්වාමීනී, ඒ පුන් පොහෝ දිනයෙහි පිරුණු සඳ ඇති රැයෙහි සියලු තව්තිසා වැසිදෙවියෝ සුධර්මා නම් දිව්‍ය සභාවෙහි එක්රැස්ව, එක්ව හුන්නාහු ය. සතරවරම් දෙවි මහරජවරු සිව් දිශාවෙහි හුන්නාහු වෙති. ධ්‍රැතරාෂ්ඨ දෙව් මහරජහු දෙවි පිරිවර පෙරටු කොට බටහිර දෙසට මුහුණලා පෙරදිග දිශාවෙහි හුන්නාහු වෙති. විරූළ්හ දෙවි මහරජහු දෙවි පිරිවර පෙරටු කොට උතුරු දෙසට මුහුණලා දකුණු දිශාවෙහි හුන්නාහු වෙති. විරූපාක්ෂ දෙවි මහරජහු දෙවි පිරිවර පෙරටු කොට පෙරදිග දෙසට මුහුණලා බටහිර දිශාවෙහි හුන්නාහු වෙති. වෙසමුණි දෙවි මහරජහු දෙවි පිරිවර පෙරටු කොට දකුණු දෙසට මුහුණලා උතුරු දිශාවෙහි හුන්නාහු වෙති. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, යම් කලෙක මුළු මහත් තව්තිසාවෙහි දෙවි පිරිස ද සුධර්මා දිව්‍ය සභාවෙහි එක්රැස්ව හුන්නා වෙත් ද සතරවරම් දෙවිමහරජවරු ද සිව් දිශාවෙහි හුන්නාහු වෙත් ද මෙය ඔවුන්ගේ අසුන් ගැනීම වෙයි. අපගේ අසුන් ගැනීම වන්නේ ඊට පසුව ය.”

මේ අනුව විරූඪ, විරූපාක්ෂ, ධ්‍රැතරාෂ්ඨ, වෛශ්‍රවණ යනු චාතුර්මහාරාජික දෙව්ලොවට අයත්, දෙදෙව්ලොවට අධිපති සක් දෙවිඳුන්ගේ ප්‍රධාන අමාත්‍ය දෙවිවරුන් බව ඉතා පැහැදිලි ය. සූත්‍ර පිටකය පුරාමත්, විනය පිටකය පුරාමත් ඉතා පැහැදිලිව සඳහන් වන්නේ සතරවරම් රජවරුන් යනු දෙවිවරුන් බවත්, ආකාසයෙන් ගමන් කිරීම ආදී නොයෙකුත් දිව්‍ය ඍද්ධීන්වලින් සමන්විත බවත් ය. අංගුත්තර නිකායේ නන්දමාතු සූත්‍රයේ සඳහන් වන ආකාරයට මේ ඒ සඳහා එක් නිදසුනක් පමණි.

“එසමයෙහි වේළුකණ්ඨකියෙහි නන්දමාතා උපාසිකා තොමෝ රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි අවදිව පාරායන වර්ගය මිහිරි සරින් කියන්නීය. එවේලෙහි වෛශ්‍රවණ මහාරාජයා උතුරු දිසාවේ සිට දකුණු දිසාවට අහසින් යන්නේ නතර වී මිහිරි සරින් පවසන පාරායන ධර්මය ඇසුවේ ය.

එනමුත් ‘බුදුරජාණන් වහන්සේ ලක්දිව උපන්නා’ යන සාවද්‍ය මතය ගෙනහැර දක්වන පිරිස ආටානාටිය සූත්‍රය, මහාසමය සූත්‍රය වැනි දේශනාවන්හි සඳහන් නොවන අසත්‍ය කරුණු ගෙනහැර පාමින්, ඒ දේශනාවන්හි අර්ථ ඉතා සාහසික ලෙස විකෘති කරමින් සතරවරම් දෙවිවරුන් යනු ලංකාවේ රජකම් කළ මිනිස් රජවරුන් සතර දෙනෙකු යැයි කියමින් කරුණු නොදන්නා පිරිස නොමඟ යවති. එමතුද නොව දෙවියන්, ගාන්ධර්වයන්, කුම්භාණ්ඩයන්, නාගයන් යන ඕපපාතික උපත් පවා ප්‍රතික්ෂේප කරමින් (අත්ථි සත්තා ඕපපාතිකා) ලෞකික සම්මා දිට්ඨියෙන් පවා බැහැර වෙමින් බොහෝ අකුසල් රැස්කර ගනිමින් අන් අයව ද අකුසල් තුළ සමාදන් කරවති. එසේ කරනුයේ ‘බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නා’ යන සාවද්‍ය මතය සනාථ කිරීම පිණිස වංචනික උපක්‍රමයක් වශයෙනි. එමෙන් ම ඉතිහාසයේ ලක්දිව බෙදී තිබුණේ රුහුණු, පිහිටි, මායා වශයෙන් බව ද එය තුන්හෙළය හෙවත් තුන් සිංහලය වශයෙන් මහාවංශය ආදී පුරාණ වංශකථාවල ද පැරණි සෙල්ලිපිවල ද සඳහන් වන බව කුඩා දරුවන් පවා දන්නා දෙයකි. එනමුත් ආටානාටිය, මහාසමය වැනි සූත්‍ර දේශනාවන්ට විකෘති අර්ථකථන දක්වන යට කී පිරිස හෙළ ඉතිහාසය පවා අත්තනෝමතිකව වැරදි ලෙස විග්‍රහ කරමින් ගාන්ධර්ව හෙළය, කුම්භාණ්ඩ හෙළය, නාග හෙළය, යක්ඛ හෙළය යනුවෙන් කොටස් හතරකට බෙදා දක්වමින් සතරවරම් දෙවිවරුන් රජකම් කළේ එම කොටස් හතරේ බවට නිස්සාර මත ඉදිරිපත් කරති. ඔවුන් පවසන්නේ සැබෑවක් නම් ලක්දිව ප්‍රධාන රජුව සිටියේ සක්දෙවිඳු විය යුතු ය. නමුත් සක්දෙවිඳු යනු චාතුම්මහාරාජික, තාවතිංස යන දෙදෙව්ලොවට අධිපති වූ, සෝතාපන්න ශ්‍රාවකයෙකු වූ, මහත් පින් බලැති දිව්‍යරාජයෙකු බව දෙව් මිනිස් ලෝකයා ම දන්නා කරුණකි. එසේ නම් ‘අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජන්බුද්දීපයයි’ කියමින් පතුරා හරින්නේ කෙතරම් මිථ්‍යා ප්‍රබන්ධයක්දැයි ධර්ම විනය දන්නා සැදැහැති බුද්ධිමත් කෙනෙකුට මනාව වටහාගත හැක.

සෙන්පති දෙවිවරුන් ලක්දිව විසූ මිනිසුන් ද?

එසේ ම සුත්ත නිපාතයේ හේමවත සූත්‍රයේ සඳහන් පරිදි සාතාගිරි – හේමවත යනු පන්සියයක් බැගින් වූ යක්ෂ සේනාවන්ට අධිපති වූ යක්ෂ සෙන්පතියන් දෙදෙනෙකි. හිමාලයේ වසන හෙයින් හේමවත නාමය ද ඉන්දියාවේ සාත නමැති කන්දේ වසන බැවින් සාතාගිරි නාමය ද ලෙස ඔවුනට ලැබී තිබේ. කාශ්‍යප බුදු සසුනේ පැවිදි ශ්‍රාවකයන් වූ ඔවුහු මහත් තෙද බලැති ආකාශචාරී යක්ෂයන් බව ද ඔවුන් දෙදෙනා අහසේ සිට සිදු කළ ධර්ම සාකච්ඡාවක් ශ්‍රවණය කළ කුරරඝරවාසී කාලි උපාසිකාව සෝවාන් ඵලයට පත් වූ බව ද හේමවත සූත්‍ර දේශනාවේ සහ එහි අට්ඨකථාවේ පැහැදිලිව සඳහන් ය. නමුත් පෙර කී මිථ්‍යා මතය දරන පිරිස පවසන්නේ සාතාගිරි – හේමවත යනු ලංකාවේ වාසය කළ ප්‍රාදේශීය නායකයන් වූ මිනිසුන් බවයි. එමෙන් ම ආටානාටිය සූත්‍ර දේශනාවේ සඳහන් සෙන්පති දෙවිවරුන් තිස් දෙදෙනා ම මිනිසුන් බවටත්, ලංකාවේ සිටි ප්‍රාදේශීය බලවතුන් බවටත් තවත් මිථ්‍යා මතයක් පතුරුවා හරිති. නමුත් සක්දෙවිඳුගේ රියදුරු වූ මාතලී, ජනවසභ දිව්‍යරාජයා ඇතුළු එම සෙන්පති දෙවිවරුන් තිස් දෙදෙනා ම මිනිසුන් නොව දිව්‍ය, යක්ෂ, ගාන්ධර්වාදී ඕපපාතික උපත් ලැබූ බලවත් තෙදැති අමනුෂ්‍යයන් බව සම්බුද්ධ දේශනාවල ඉතා පැහැදිලිව සඳහන් වේ. මේ අනුව බලන කල ‘බුදුරජාණන් වහන්සේ උපන්නේ ලංකාවේ’ යන මිථ්‍යා මතය තහවුරු කිරීම සඳහා මොනතරම් අශාසනික වූ වැරදි විග්‍රහයන් සිදුකර ඇතිදැයි මැනවින් ඔප්පු වේ. එම නිසා තෙරුවන් සරණ ගිය සැබෑ ගිහි පැවිදි ශ්‍රාවකයන් වශයෙන් අපි එම මිථ්‍යා ප්‍රබන්ධයන්ට මුළා නො වී සම්බුදු පහස ලද සැබෑ පුණ්‍යභූමීන් පිහිටා ඇත්තේ දඹදිව හෙවත් වර්තමාන ඉන්දියාව ප්‍රමුඛ ආශ්‍රිත භූමියේ බව මැනවින් වටහා ගනිමු. භාග්‍යවතුන් වහන්සේ වදාළ අයුරින් එම උතුම් බුද්ධභූමි සැදැහැයෙන් වන්දනා කොට මහත්ඵල පුණ්‍ය ධර්මයන් රැස්කර ගනිමු. දුර්ලභ ක්ෂණ සම්පත්තිය තුළ මනා කොට තිසරණය රැකගෙන සේඛ බල දියුණු කර ගනිමු. ඒ පිණිස ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පෑමට පෙරාතුව සතරමහාපදේශයන්හි වදහළ මෙම සම්බුද්ධ අවවාදයත් සිහිකරමු.

“මහණෙනි, භික්ෂුවක් මෙසේ කියයි. ‘ධර්මය යනු මෙය යි. විනය යනු මෙය යි. ශාස්තෘ ශාසනය යනු මෙය යි’ කියා ය. මහණෙනි, ඒ භික්ෂුවගේ කියමන සතුටින් නොපිළිගත යුත්තේ ය. ප්‍රතික්ෂේප නො කළ යුත්තේ ය. සතුටින් නොපිළිගෙන, ප්‍රතික්ෂේප නො කොට ඒ පද ප්‍රකාශනයන් සූත්‍රයෙහි බහා බැලිය යුත්තේ ය. විනයෙහිලා සැසඳිය යුත්තේ ය. ඉදින් ඒ භික්ෂුව ධර්මය විනය ලෙස පවසන දෙය සූත්‍රයෙහි බහා බලද්දී, විනයෙහි ලා සසඳද්දී සූත්‍රයෙහි නොබැස ගනියි නම්, විනයෙහි නොසැසඳෙයි නම් ඒ පිළිබඳව නිෂ්ඨාවකට පැමිණිය යුත්තේ ය. ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් නො වේ. මේ භික්ෂුව වැරදි ලෙස ගන්නා ලද දෙයකි’ යි මහණෙනි, මෙසේ මෙය බැහැර කර දමව්.

ඉදින් භික්ෂුවක් ධර්මය විනය ලෙස පවසන දෙය සූත්‍රයෙහිලා බහා බලද්දී, විනයෙහිලා සසඳද්දී, සූත්‍රයෙහි බැසගනියි නම් විනයෙහි සැසඳෙයි නම් එහිලා නිෂ්ඨාවට පැමිණිය යුත්තේ ය. ‘ඒකාන්තයෙන් ම මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනයකි. මේ භික්ෂුව විසින් මැනවින් ගන්නා ලද්දකි.’ යි මහණෙනි, මේ පළමු මහාපදේශය මතකයෙහි රඳවා ගනිව්.”

(මහාපරිනිබ්බාන සූත්‍රය – දී. නි. 2)

පූජ්‍ය යටිබේරියේ සෝමඤාණ ස්වාමීන් වහන්සේ

උපුටා ගැනීම – mahamevnawa.lk වෙබ් අඩවියෙනි.

Scroll to Top