පරමාර්ථ ධර්ම ලිපි අංක 05:

චිත්තය

කාමාවචර සිත්

අහේතුක සිත් 18

උපුටා ගන්නා ලද්දේ
මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ
විසින් සම්පාදිත “අභිධර්ම මාර්ගය” බෞද්ධ ග්‍රන්ථයෙනි.

 

1. අහේතුක සිත් 18
1. අහේතුක අකුශල විපාක සිත් (7)
  1. උපෙක්ඛා සහගත චක්ඛු විඤ්ඤාණය
  2. උපෙක්ඛා සහගත සෝත විඤ්ඤාණය
  3. උපෙක්ඛා සහගත ඝාන විඤ්ඤාණය
  4. උපෙක්ඛා සහගත ජිව්හා විඤ්ඤාණය
  5. දුක්ඛ සහගත කාය විඤ්ඤාණය
  6. උපෙක්ඛා සහගත සම්පටිච්ඡනය
  7. උපෙක්ඛා සහගත සන්තීරණය. 
2 - අහේතුක කුශල විපාක සිත් (8)
  1. උපෙක්ඛා සහගත චක්ඛු විඤ්ඤාණය
  2. උපෙක්ඛා සහගත සෝත විඤ්ඤාණය
  3. උපෙක්ඛා සහගත ඝාන විඤ්ඤාණය
  4. උපෙක්ඛා සහගත ජිව්හා විඤ්ඤාණය
  5. සුඛ සහගත කාය විඤ්ඤාණය
  6. උපෙක්ඛා සහගත සම්පටිච්ඡනය
  7. සෝමනස්ස සහගත සන්තීරණය
  8. උපෙක්ඛා සහගත සන්තීරණය
3 - අහේතුක ක්‍රියා සිත් (3)
  1. උපෙක්ඛා සහගත පඤ්චද්වාරාවජ්ජනය
  2. උපෙක්ඛා සහගත මනොද්වාරාවජ්ජනය
  3. සෝමනස්ස සහගත හසිතුප්පාදය

අහේතුක සිත් 18

මේ ධර්මයෙහි ලෝභ – ද්වේෂ – මෝහ – අලෝභ – අද්වේෂ – අමෝහ යන චෛතසික ධර්ම සයට හේතු යන නම ව්‍යවහාර කරනු ලැබේ. හේතු යන නාමය ව්‍යවහාර කරන චෛතසික සයෙන් යටත් පිරිසෙයින් එකක් හෝ යෙදෙන සිතට සහේතුක සිතකැ යි කියනු ලැබේ. එක හේතු ධර්මයකුදු නො ලැබෙන සිත්වලට අහේතුක සිත් යයි කියනු ලැබේ.

  1. අකුශල විපාකය,
  2. කුශල විපාකය,
  3. ක්‍රියාය කියා අහේතුක සිත් තුන් කොටසක් ඇත්තේ ය.

ඒ සිත්වලට අහේතුක නාමය ව්‍යවහාර කරන්නේ ඒවා යම්කිසි හේතුවක් නැති ව ඉබේ ම ඇති වන ඒවා නිසා නොව, හේතු යන නම ව්‍යවහාර කරන ලෝභාදි ධර්ම සයෙන් එකකුත් ඒ සිත්වල නැති නිසා බව විශේෂයෙන් මතක තබා ගත යුතු ය.

  1. අකුශල විපාක සිත් සතක් ද (7),
  2. කුශල විපාක සිත් අටක් ද (8),
  3. ක්‍රියා සිත් තුනක් ද (3), ඇති බැවින් අහේතුක සිත් (18) අටළොසක් වේ.

විපාක යනු කුශලාකුශලයන් කළ තැනැත්තාගේ සන්තානයෙහි ඒ කුශලාකුශලයන් නිසා අනාගතයෙහි ඇති වන සිත් ය. කුශලාකුශලයන් ගේ බලයෙන් අනාගතයෙහි ඇති කරවන සිත් ය.

1. අහේතුක අකුශල විපාක සිත් සත (7)

සාමාන්‍යයෙන් අකුශල විපාකය එකක් වුව ද සිත් උපදනා ස්ථානයන් ගේ වශයෙන් ද, සිත්වලින් සිදුකරන කෘත්‍යයන් ගේ වශයෙන් ද අකුශල විපාක සතක් වේ.

ඇස ය, කන ය, නාසය ය, දිව ය, කය ය, හෘදය රූපය ය කියා සිත් උපදනා ස්ථාන සයක් ඇත්තේ ය. විපාක සිත් අතර ඇසෙහි උපදනා සිත් ද ඇත්තේ ය. කනෙහි උපදනා සිත් ද, නාසයෙහි උපදනා සිත් ද, දිවෙහි උපදනා සිත් ද, කයෙහි උපදනා සිත් ද ඇත්තේ ය.

ඒ සිත්වලට උපදනා ස්ථාන අනුව නම් දී තිබේ. හෘදය රූපයෙහි උපදනා සිත් බොහෝ බැවින් ඒවාට උත්පත්ති ස්ථානය අනුව නම් නො දිය හැකි ය. අහේතුක සිත්වල හෘදයෙහි උපදනා සිත්වලට ඒ ඒ සිතින් සිදුකරන කෘත්‍යය අනුව නම් දී තිබේ.

  1. උපෙක්ඛා සහගත චක්ඛු විඤ්ඤාණය
  2. උපෙක්ඛා සහගත සෝත විඤ්ඤාණය
  3. උපෙක්ඛා සහගත ඝාන විඤ්ඤාණය
  4. උපෙක්ඛා සහගත ජිව්හා විඤ්ඤාණය
  5. දුක්ඛ සහගත කාය විඤ්ඤාණය
  6. උපෙක්ඛා සහගත සම්පටිච්ඡනය
  7. උපෙක්ඛා සහගත සන්තීරණය. මේ සත අකුශල විපාක සිත් ය.
  • චක්ඛුවිඤ්ඤාණය යන්නෙහි තේරුම, ‘ඇසෙහි උපදනා සිතය’ යනුයි. එයින් ඇස ඉදිරියට පැමිණි රූපයේ දැකීම සිදු කරනු ලැබේ.
  • සෝතවිඤ්ඤාණය යන්නෙහි තේරුම, ‘කනෙහි උපදනා සිතය’ යනුයි. එයින් කනට පැමිණෙන ශබ්ද ඇසීම කරනු ලැබේ.
  • ඝාන විඤ්ඤාණය යන්නෙහි තේරුම, “නාසයෙහි උපදනා සිතය” යනුයි. එයින් නාසයට පැමිණෙන ගන්ධයන් දැනගැනීම සිදු කරනු ලැබේ.
  • කාය විඤ්ඤාණය යන්නෙහි තේරුම, “කයෙහි උපදනා සිතය” යනුයි. එයින් ශරීරයෙහි සිදුවන සැපීම් දැනගනු ලැබේ.
  • චක්ෂුර්විඥානාදි විඥාන පසින් ගන්නා ලද අරමුණ පිළිගන්නා සිතට සම්පටිච්ඡන සිතය යි කියනු ලැබේ.
  • සම්පටිච්ඡනයෙන් ගත් අරමුණ විමසන්නා වූ සිත සන්තීරණ නම් වේ. 

2. අහේතුක කුශල විපාක සිත් අට

  1. උපෙක්ඛා සහගත චක්ඛු විඤ්ඤාණය
  2. උපෙක්ඛා සහගත සෝත විඤ්ඤාණය
  3. උපෙක්ඛා සහගත ඝාන විඤ්ඤාණය
  4. උපෙක්ඛා සහගත ජිව්හා විඤ්ඤාණය
  5. සුඛ සහගත කාය විඤ්ඤාණය
  6. උපෙක්ඛා සහගත සම්පටිච්ඡනය
  7. සෝමනස්ස සහගත සන්තීරණය
  8. උපෙක්ඛා සහගත සන්තීරණය. මෙසේ අහේතුක කුශල විපාක සිත් අටෙකි.

අකුසල් සිත්වලින් ඇති කරන්නේ අහේතුක විපාක පමණෙකි. කුසල් සිත්වලින් අහේතුක සහේතුක විපාක දෙවර්ගය ම ඇති කරනු ලැබේ. කියන ලදුයේ කුශලයෙන් ඇති කරන අහේතුක විපාක සිත් ය. කුශලයෙන් ඇති කරන සහේතුක විපාක පසුව දත හැකි වනු ඇත. අහේතුක කුසල විපාක සිත් මිස, අහේතුක කුසල් සිත් කොටසක් නැති බව ද මතක තබා ගත යුතු ය.

අකුසල විපාකවලට වඩා අහේතුක කුශල විපාක වල ඇති වෙනස, කාය විඥානය සුඛ සහගත වීමත්, සන්තීරණ දෙකක් වීමත් ය. සන්තීරණ දෙකක් වී ඇත්තේ අරමුණු අනුව ය. අරමුණ ඉතා හොඳ වන කල්හි සන්තීරණය සෝමනස්ස සහගත වේ. අරමුණ මධ්‍යම වන කල්හි උපේක්ෂා සහගත වේ.

3. අහේතුක ක්‍රියා සිත් තුන

විපාක උපදවන ස්වභාවයක් නැති යම්කිසි කර්මයක විපාකත් නො වන සිත්වලට ක්‍රියා සිත්ය යි කියනු ලැබේ. යම්කිසි කෘත්‍යයක් සිදුකිරීම හැම සිතකම ස්වභාවය ය. විපාක උපදවන සිත්වලට කුසල්ය, අකුසල් ය යන නම් දුන් බැවිනුත් ඒවායින් උපදවන සිත්වලට විපාක යන නම දුන් බැවිනුත් ඉතිරි වන සිත් කොටසට ඒ ඒ කෘත්‍යයන් සිදුකිරීම් වශයෙන් ඇතිවීම නිමිත්ත කොට ක්‍රියා යන නාමය ව්‍යවහාර කරනු ලැබේ. අහේතුක ක්‍රියා සිත්වලට නම් තබා ඇත්තේ ද ඒ සිත්වලින් සිදුකරන කෘත්‍යයන් අනුව ය.

  1. උපෙක්ඛා සහගත පඤ්චද්වාරාවජ්ජනය
  2. උපෙක්ඛා සහගත මනොද්වාරාවජ්ජනය
  3. සෝමනස්ස සහගත හසිතුප්පාදය. යනු අහේතුක ක්‍රියා සිත් තුන ය.

ඇස, කන, නාසය, දිව, කය යන මේ සිත් උපදනා ස්ථානවලට ද්වාරය යි ද කියනු ලැබේ. චිත්තසන්තානයට රූපාදි අරමුණු ඇතුළු වන්නේ ඒ ද්වාරවලිනි.

භවාඞ්ග චිත්තය යි කියන සත්ත්වයාගේ ප්‍ර‍කෘති චිත්තය හා තවත් බොහෝ සිත් ද ඇතිවන්නේ හෘදය කෝෂයෙහි ය. හෘදය කෝෂයෙහි පවත්නා වූ භවාඞ්ග චිත්ත පරම්පරාවට මනෝද්වාරය යි කියනු ලැබේ. නා නා කරුණු සම්බන්ධයෙන් නොයෙක් සිත් නැඟි නැඟී එන්නේ හෘදය කෝෂයෙහි පවත්නා භවාඞ්ග චිත්තයෙනි.

චක්ෂුරාදි ද්වාර පසින් යම් කිසිවකට අරමුණක් පැමිණිය හොත් එකෙණෙහි ම ඒ අරමුණ මනෝද්වාරයේ ද සැපේ. එයින් භවාඞ්ග සිත් ඉපදීම නැවතී, ද්වාරයක යම්කිසි අරමුණක් ගැටුණු බව දැනගන්නා සිතක් පහළ වේ. එය පඤ්චද්වාරයෙහි ගැටුණ අරමුණ මෙනෙහි කිරීමක් බැවින් ඒ සිතට පඤ්චද්වාරාවජ්ජන යයි කියනු ලැබේ. පඤ්චද්වාරයෙහි ගැටීමක් නො වී කෙළින් ම මනෝද්වාරයට ද අරමුණු පැමිණේ. එසේ පැමිණෙන අරමුණු සම්බන්ධයෙන් මුලින් ම පහළ වන සිත මනෝද්වාරාවජ්ජන නම් වේ.

පඤ්චද්වාරාවජ්ජනය යනු පඤ්චද්වාරයට පැමිණෙන අරමුණු මෙනෙහි කර සිතය. මනොද්වාරාවජ්ජනය යනු මනොද්වාරයට පැමිණෙන අරමුණ පළමුවෙන් ම මෙනෙහි කරන සිත ය. 

හසිතුප්පාද චිත්තය යනු සිනා උපදවන සිත ය. සිනා උපදවන සිත් තවත් ඇත්තේ ය. මේ අහේතුක ක්‍රියා චිත්තය ද ඉන් එකකි. සිනා උපදවන අන් සිත්වලින් සිනාව පමණක් නොව තවත් දේ ද සිදු කරනු ලැබේ. මේ සිතින් කරන්නේ සිනාව පමණෙකි. එබැවින් මෙයට හසිතුප්පාද යන නම තබා ඇත්තේ ය.

මේ අහේතුක ක්‍රියා සිත් තුන හැර තවත් ක්‍රියා සිත් (17) සතළොසක් ඉදිරියෙහි කියැවෙන්නේ ය. ක්‍රියා සිත් සියල්ල ම (20) විස්සෙකි. ඒ සිත්වලින් පඤ්චද්වාරාවජ්ජන, මනොද්වාරාවජ්ජන දෙක හැර ඉතිරි ක්‍රියා සිත් (18) අටළොස ම ඇති වන්නේ රහතුන්ට ය. මේ හසිතුප්පාද සිත ද රහතුන්ට පමණක් ඇති වන සිතකි. රහත්හු සාමාන්‍ය ජනයා මෙන් හඬ ලා සිනාසෙන්නාහු නො වෙති.

සිනාව සයාකාර වන බව අලඞ්කාර ශාස්ත්‍රයෙහි දක්වා තිබේ. සිතය, හසිතය, විහසිතය, උපහසිතය, අපහසිතය, අතිහසිතය යනු සයාකාර සිනාවන්ගේ නාමයෝ ය.

  • මුහුණ බලා ඉන්නා කෙනකුට ප්‍රීතිමත් වූ බව අඟෙන පරිදි ඇස් දෙක පමණක් මඳක් විවෘත වන සිනාව සිත නම් වේ.
  • දත්වල අග පෙනෙන හඬ නො නැගෙන සිනාව හසිත නම් වේ. බුද්ධ ප්‍රත්‍යේක බුද්ධාදි උත්තම පුද්ගලයෝ ඒ දෙයාකාරයෙන් සිනාසෙති. හඬ නගා සිනාසීම නො කෙරෙති.
  • මිහිරි හඬක් නැගෙන සිනාව විහසිත නම් වේ.
  • හිස හා උරහිස් සැලෙන සිනාව උපහසිත නම් වේ. කල්‍යාණ පෘථග්ජනයෝ ද ශෛක්ෂයෝ ද ඒ දෙයාකාරයෙන් සිනාසෙති. මහ හඬ නගා නො සිනාසෙති.
  • ඇස්වලින් කඳුළු ගලන සිනාව අපහසිත නමි.
  • ශරීරාවයව සියල්ල ම සොලවමින් දඟලමින් කරන සිනාව අතිහසිත නමි. ගුණධර්ම දියුණු කර නොගත් ලාමක අදහස් ඇත්තෝ ඒ දෙයාකාරයෙන් සිනාසෙති.
  • හසිතෝත්පාද සිතින් ඇති කරන්නේ සිත – හසිත දෙක පමණෙකි.

අකුශල විපාක සිත් සත ය, කුශල විපාක සිත් අට ය, ක්‍රියා සිත් තුන යයි අහේතුක සිත් අටළොසකි. අහේතුක සිත් දුබල කොටසක් නිසා ඒවායේ සඞ්ඛාර භේදයක් අභිධර්ම පාළියෙහි දක්වා නැත. සිත් ගණන් ගැනීමේදී අහේතුක සිත් අටළොස ම අසඞ්ඛාරික සිත් ලෙස ගණන් ගනු ලැබේ.

සාරාංශය - අහේතුක සිත් අටළොසෙහි (18) ඇත්තේ:

  1. සෝමනස්ස සහගත සිත් දෙකකි (2).
  2. උපේක්ෂා සහගත සිත් (14) තුදුසෙකි.
  3. සුඛ සහගත සිත් එකකි (1).
  4. දුඃඛ සහගත සිත් එකකි (1).
  5. අකුශල සිත් (12) දොළොස ය, අහේතුක සිත් (18) අටළොස ය යන සිත් තිසට අශෝභන සිත් යයි කියනු ලැබේ.
  6. මතු කියනු ලබන එක් ක්‍ර‍මයකින් (59) එකුන් සැටක් වූ ද, තවත් ක්‍ර‍මයකින් (91) එක් අනූවක් වූ ද සිත්වලට සෝභන සිත් ය යි කියනු ලැබේ.
මෙම ලිපියට සම්බන්ධ ලිපි:

මෙම ලිපිය පිළියෙල කළේ අන්තර්ජාලය ඇසුරෙනි. 

අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම අන්තර්ගත කරුණු හා ඡායාරූප හුදෙක්
ධර්ම දානයක් ලෙස ඉදිරි ඉදිරිපත් කරන ලදී.

මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද, එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන්, ප්‍රථමයෙන් මෙම ලිපිය සහ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පින්වත් ස්වාමීන් වහන්සේලාට, පින්වත් මහත්ම මහත්මීන් වෙතට, එසේම මෙම ලිපිය ඔබ වෙත පිරිනමන මා හට ද, මෙසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.

මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!

සාදු… සාදු… සාදු…

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org

Scroll to Top