සම්බුදු කිස නිමවා පිරිනිවන් පා වදාළ කුසිනාරාව.

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේද? ( 6 වන කොටස )

මහා කරුණාවෙන් යුතුව, විස්මිත ප්‍රඥාවෙන් යුතුව පන්සාලිස් වසරක් පුරාවට දෙවි මිනිසුන්ට අමා නිවන් මඟ පෙන්වා වදාළ අපගේ ශාස්තෘන් වහන්සේ අසූවෙනි වියේදී පිරිනිවන් පා වදාළේ කුසිනාරා නුවර උපවර්තන නම් සාල වනෝද්‍යානයේදී ය. කුසිනාරා නුවර යනු බුද්ධකාලීන භාරතයේ සොළොස් මහා ජනපද අතරින් මල්ල රාජධානියේ අගනුවර ය. එකල මල්ල රාජ්‍යයේ කුසිනාරා හා පාවා යන දෙරට විසූ මල්ලයෝ ස්වතන්ත්‍ර පාලනයක් ගෙන ගියහ. චීන දේශාටකයින්ගේ වාර්තා අනුව මල්ල රාජධානිය පිහිටියේ ශාක්‍ය රාජධානියට නැගෙනහිරින් වජ්ජි රාජ්‍යයට උතුරින් හිමාල කඳු පාමුල ය. ඈත අතීතයේ මෙම රාජ්‍යය කුසාවතී නමින් හැඳින්විණි. බෝධිසත්වයන් වහන්සේ මහා සුදස්සන රජු හා කුස රජුව උපන් කාලවලදී එතුමන්ගේ ද, මහාසම්මත පරපුරේ රජවරුන් බොහෝ දෙනෙකුගේ ද රාජධානිය වූයේ කුසිනාරාව ය. ඵුස්ස බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූයේද කුසිනාරාවේ සේතාරාමයේ බව ඛුද්දක නිකායට අයත් බුද්ධවංසපාළි ග්‍රන්ථයේ සඳහන් වේ. මගධ දේශයේ සිට කෝසල දේශයට යා යුත්තේ මල්ල දේශය හරහා මල්ල දේශය පසු කරමින් ය. භාග්‍යවතුන් වහන්සේ ද චාරිකාවේ වැඩම කළෝ එම මඟින් ම ය. මල්ල රාජධානියට කිහිප වරක් වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ, වරක් උරුවේල කප්ප නම් මල්ලයන්ගේ නියම් ගමෙහි වැඩ සිටියහ. මල්ල ජනපදයේ සැරිසරද්දී ථූන නම් බමුණු ගමට වැඩම කළ විටක බමුණෝ අමනාපයෙන් යුතුව සියලු ළිං පොකුණු තණකොළ, පිදුරු දමා වසා දැමූහ. බුදුරජාණන් වහන්සේගේ නියමයෙන් පැන් ගෙන ඒමට වැඩි ආනන්ද තෙරුන් තණකොළ, පිදුරු බැහැර වී මුවවිට දක්වා දියෙන් පිරුණු ළිඳ දැක බුද්ධානුභාවය කෙරෙහි බලවත්ව පැහැදී පැන් ගෙනැවිත් පූජා කරන ලදී. භෝග නගරය, අනුපිය නගරය, උරුවේල කප්ප නගරය මල්ල රාජ්‍යයෙහි තිබූ අනෙකුත් වැදගත් නගර වේ.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම සඳහා සිය කැමැත්තෙන් ම කුසිනාරාවට වැඩම කළ බව මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වේ. පිරිනිවන සඳහා විශාලා මහනුවරින් පිටත් වූ බුදුරජාණන් වහන්සේ භෝග නගරය පසුකොට පා තබන ලද්දේ පාවා නුවරට ය. පුක්කුස නම් මල්ල රාජ පුත්‍රයෙක් ගසක් මුල වැඩහුන් බුදුරදුන් දැක සිත පැහැදී තෙරුවන් සරණගොස් අගනා රන් සළු දෙකක් පූජා කළේ එහිදී ය. බුදුරජාණන් වහන්සේ පාවා නුවරට ගව් තුනක් (සැතපුම් දොළසක්) දුරින් පිහිටි කුසිනාරාවට වැඩම කළේ හිරණ්‍යවතී නදියෙන් එතෙර වීමෙනි. එසේ වඩින අතරතුර රෝගී තත්ත්වය මත විවේක ගනිමින් වැඩම කොට සන්ධ්‍යා කාලයෙහි කුසිනාරා නුවර උපවර්තන නම් සල් වනයට වැඩි සේක.

සල්වනයට වැඩි බුදුරදුන් අනඳ තෙරුන් ලවා සල්ගස් දෙකක් අතර උතුරට හිස සිටින සේ ඇඳක් පිළියෙල කරවාගෙන, යළිත් නොනැගිටින අදහසින් යුතුව සිංහ සෙය්‍යාවෙන් සැතපුන සේක. නොයෙක් සක්වළින් අප්‍රමාණ දෙවි දේවතාවෝ අවසාන වතාවටත් බුදුරජාණන් වහන්සේ දැක බලාගෙන වන්දනා කිරීමට දිව මල්, දිව සුවඳ ගෙන උපවත්තන සල් වනයට පැමිණියහ. දිව මලින්, දිව්‍ය සුගන්ධයෙන් බුදුරදුන් පිදූහ.

භාග්‍යවතුන් වහන්සේ එදින රාත්‍රියෙහි පෙරයම මල්ල රජ දරුවන් ප්‍රධාන රැස්ව සිටි මහ පිරිසට දහම් දෙසා, රාත්‍රියේ මැදියම සුභද්‍ර නම් වූ පරිබ්‍රාජකයාට දහම් දෙසා (හන්දදානි භික්ඛවේ ආමන්තයාමි වෝ. වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ) “මහණෙනි, අවසන් වරට දැන් ඔබ අමතමි. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයහ. එබැවින් අප්‍රමාදීව කුසල් දහම් සම්පාදනය කරව්” යි වදාළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් ධ්‍යානයන්ට සමවැදී ඉන් නැඟී සිට අලුයම් කාලයේදී සියලු සංස්කාර ධර්මයන්හි අනිත්‍යතාවය ප්‍රකට කරවමින් අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක.

කත්වාන ලෝකහිතමත්තහිතං ච නාථෝ
ආසීතිකෝව උපවත්තනකානනම්හි
යස්මිං නිපජ්ජ භගවා නිරුපාධිසේසං
නිබ්බාන චේතියමහං සිරසා නමාමි

ලෝ සත කෙරෙහි හිත සුවේ – යෙදුවෝ තිලෝනා
වැඩි සේක සාල උයනට – අසූ වෙනි වියෙහිදී
යම් තැනක සැතපී සිට – පිරිනිවන් පා වදාළෝ
නිබ්බාන චේතිය උතුම් – සිරසින් වදිම් මම්

උපවත්තන සල් උයන…

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ උපවර්තන සල් උයන මල්ල රජදරුවන් සතු උයනකි. දකුණේ සිට නැගෙනහිරට ද නැවත උතුරට ද විහිදී ගිය සාලවෘක්ෂ පන්තියක් මෙහි තිබූ බැවින් උපවත්තන නම් විය. හිරණ්‍යවතී හා අජිනවතී නමින් හැඳින්වූ නදියෙහි බටහිර ඉවුර අසල පිහිටි මෙම සල්වනය තුළ ඉතා උස් වූ සල්ගස් හතරක් පිහිටා තිබුණි. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවේ එහිදී ය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු මල්ල රජදරුවෝ සම්බුද්ධ දේහය අගනා සියුම් වස්ත්‍ර දහසකින් වෙලා, සත් රුවන් දෙනක බහා, එය වියන් ආදියෙන් විසිතුරු ලෙස සැරසූ මණ්ඩපයක තැන්පත් කොට, සුවඳ මල් සහ සුවඳ සුණු විසිරවූහ. සතියක් පුරාවට එසේ පුදපූජා පවත්වා සිවිගෙය ඔසවාගෙන, මහා පුද පෙරහැරකින් වැඩමවාගෙන ගොස් උතුරෙන් වූ ගඟෙන් එතෙර වී, රන් දෙණ සුවඳ තෙලින් පුරවා, සුවඳ දරින් තැනූ සෑයක තැන්පත් කොට අපමණ ගෞරවයෙන් ආදාහනය කළහ. චිතකය දැවී ගිය පසු සම්බුද්ධ ශරීරය වෙළුෑ වස්ත්‍ර දහසෙන් පිටතින් ම වූ වස්ත්‍රයත්, ඇතුළතින් ම වූ වස්ත්‍රයත් අසිරිමත් ලෙස නොදැවී ඉතිරි වුනි. සතර දළදා වහන්සේ, අකු ධාතූන් වහන්සේලා දෙනම, ලලාට ධාතූන් වහන්සේ නොබෙදී පැවතුන අතර අනෙකුත් අස්ථි ධාතූන් වහන්සේලා බුද්ධ අධිෂ්ඨානය පරිදි මුං පියලි, සහල් ඇට සහ අබ ඇට ප්‍රමාණයට විසිරී ගිය සේක.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු කුසිනාරාව…

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු මල්ල රජදරුවෝ තමන්ට ලැබුනු සර්වඥ ධාතු නිධන්කොට කුසිනාරාවේ ස්ථූපයක් කරවූහ. එතැන් සිට කුසිනාරාව බෞද්ධයන්ගේ වන්දනීය පූජනීය නගරයක් බවට පත් විය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් දෙකකට පසු, අනෙකුත් බුද්ධ භූමීන් මෙන්ම කුසිනාරාවට ද පැමිණි ධර්මාශෝක අධිරාජයා මෙහි ස්ථූප හා ස්ථම්භ කරවීය. හියුංසියෑං තෙරුන් සිය දේශාටන වාර්තාවේ සඳහන් කරන පරිදි ධර්මාශෝක රජු කුසිනාරාවේ ස්ථූප දෙකක් හා ස්ථම්භ දෙකක් කරවා ඇත. පාහියන් තෙරුන් පැමිණි අවදියේ මහා පරිනිර්වාණය සිදු වූ තැන ඇතුළු ස්ථාන කිහිපයක කරවූ සංඝාරාම දැක තිබේ. එමෙන්ම ඒවායෙහි ඒවන විටත් භික්ෂූන් වහන්සේලා දහස් ගණනින් වාසය කළ බව සඳහන් කොට තිබේ.

භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර පිරිනිවන් පෑ අවස්ථාවේ තෘතීය අග්‍ර ශ්‍රාවක, ශාසනභාරධාරී මහා පින් ඇති මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එහි නොසිටි බැවින්, උන්වහන්සේ වැඩම කරන තෙක්, දෙවිවරුන්ගේ බලපෑම මත චිතකයට ගිනි නොඇවිලුන බව සඳහන් ය. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩම කොට සම්බුද්ධ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු, මල්ල රජදරුවන් ඔටුනු පළඳින තැන (මකුට බන්ධන) සකසා තිබූ චිතකයට ගිනි ඇවිලිනි. අනතුරුව සර්වඥ ධාතු බෙදා ගැනීම උදෙසා රජවරුන් අතර මතභේද ඇති වූයෙන් ද්‍රෝණ බ්‍රාහ්මණයා මැදිහත්ව, ද්‍රෝණ 8ක් (නැළි 16ක්) වූ ධාතූන් වහන්සේලා සියලු දෙනාට ම බෙදා දෙන ලදී. එහිදී ධාතූන් වහන්සේලා ලබා ගත් රජවරුන් එම ධාතු තැන්පත් කොට චෛත්‍ය ගොඩනැගූ ආකාරය පහත පරිදිය.

  1. මගධ රාජ්‍යයේ අජාසත් රජුට දෙන ලද ධාතු රජගහ නුවර චෛත්‍යයක් කරවා විශාල පුණ්‍ය උත්සවයක් පවත්වා නිදන් කරන ලදී.
  2. විශාලා මහනුවර ලිච්ඡවි රජදරුවන්ට දෙන ලද ධාතු විශාලා මහානුවර චෛත්‍යයක් කරවා විශාල පුණ්‍ය උත්සවයක් පවත්වා නිදන් කරන ලදී.
  3. කපිලවත්ථු පුරයේ ශාක්‍යයන්ට දෙන ලද ධාතු කපිලවත්ථු පුරයේ චෛත්‍යයක් කරවා විශාල පුණ්‍ය උත්සවයක් පවත්වා නිදන් කරන ලදී.
  4. අල්ලකප්පයෙහි බුලීවරුන්ට දෙන ලද ධාතු එනුවර චෛත්‍යයක් කරවා විශාල පුණ්‍ය උත්සවයක් පවත්වා නිදන් කරන ලදී.
  5. රාමග්‍රාමයෙහි කෝලියයන්ට දෙන ලද ධාතු එනුවර චෛත්‍යයක් කරවා විශාල පුණ්‍ය උත්සවයක් පවත්වා නිදන් කරන ලදී.
  6. වේඨදීපවැසි බ්‍රාහ්මණයාට දෙන ලද ධාතු එනුවර චෛත්‍යයක් කරවා විශාල පුණ්‍ය උත්සවයක් පවත්වා නිදන් කරන ලදී.
  7. පාවා නුවර මල්ලයන්ට දෙන ලද ධාතු එනුවර චෛත්‍යයක් කරවා විශාල පුණ්‍ය උත්සවයක් පවත්වා නිදන් කරන ලදී.
  8. කුසිනාරා නුවර මල්ලයන්ට දෙන ලද ධාතු එනුවර චෛත්‍යයක් කරවා විශාල පුණ්‍ය උත්සවයක් පවත්වා නිදන් කරන ලදී.
  9. ද්‍රෝණ බමුණා විසින් ධාතු බෙදූ භාජනය නිදන් කොට ස්ථූපයක් කරවා විශාල පූජෝත්සවයක් පවත්වන ලදී.
  10. පිප්ඵලීවන නුවරවැසි මෞර්ය වංශිකයන් විසින් ආදාහනය කළ තැනින් ගෙනා අඟුරු නිදන් කොට පිප්ඵලීවන නුවර ස්ථූපයක් කරවා විශාල පූජෝත්සවයක් පවත්වන ලදී.

පරිනිර්වාණ චෛත්‍යය…

Parinirvana Stupa at Kushinagar

හියුංසියෑං තෙරුන් සඳහන් කරන පරිදි බුද්ධ පරිනිර්වාණය සිදු වූ තැන අශෝක අධිරාජයා කරවූ ථූපය මහා පරිනිර්වාණ ථූපයයි. මෙම ස්ථූපයේ පදනම සඳහා භාවිත කළ ගඩොල්වලට වඩා උඩ කොටසේ ගඩොල් කුඩා බැවින් මුලදී කරවූ ථූපය විනාශ වී පසු කලෙක එය ගොඩනගන්නට ඇතැයි කාර්ලයිල් මහතා පවසයි. දාගැබ බිඳවැටී කැලෑවෙන් වැසුණු උස් භූමියත් මේ ථූපය හා පරිනිර්වාණ විහාරය සොයා ගන්නා ලද්දේ කාර්ලයිල් මහතා විසිනි. ශිලා ලේඛනයෙන් හඳුන්වන පරිනිර්වාණ චෛත්‍යය ගුප්ත රාජ්‍ය සමයට අයත් ය. අශෝක අධිරාජයා විසින් කරවන ලද ස්ථූපය දෙවන ස්ථූපයට යට වන්නට ඇතැයි අනුමාන කෙරේ.

පරිනිර්වාණ විහාරය…

Parinirvana Viharaya at Kushinagar

මෙම විහාරය ස්ථූපයක් මෙන් වේදිකාවක් මත ඉදිකෙරුණකි. ගණ කැලෑවෙන් වැසී තිබුණු මෙම විහාරයේ නටබුන් සහ ප්‍රතිමාව එක්දහස් අටසිය හැත්තෑහයේදී කාර්ලයිල් මහතා විසින් පරීක්ෂා කර එහි පසට යටවී තිබුණු පරිනිර්වාණ බුද්ධප්‍රතිමාව සොයා ගන්නා ලදී. අඩි විස්සක් උස මෙම ශෛලමය බුද්ධ ප්‍රතිමාවේ කැඩී බිඳී ගිය තැන් යථා තත්ත්වයට පමුණුවා ආසනය සකස් කර අලුතෙන් ගොඩනැගූ විහාරයේ තැන්පත් කරවීය. මහා විහාරාධිපති හරිබල භික්ෂුව විසින් එය ගොඩනංවන ලද බව ශිලාලේඛනයෙන් හෙළි වේ. පරිනිර්වාණ ප්‍රතිමාවට නුදුරුව ශෝකාතුර බව ප්‍රකට කරන මුහුණු සහිත ප්‍රතිමා තුනක් වෙයි. විහාරය වටා ඇති නෂ්ටාවශේෂ පැරණි සංඝාරාම විය හැකිය. දැනට දක්නට ලැබෙන විහාරය එක්දහස් නවසිය පනස් හයේදී කරවන ලද්දකි.

ආදාහන චෛත්‍යය…

Parinirvana Viharaya at Kushinagar

බුදු සිරුර ආදාහනය කළ ස්ථානයේ කරවූ ථූපය ආදාහන චෛත්‍යය යි. ආදාහන භූමියෙහි අඟුරු හා පස් මිශ්‍ර වීම නිසා කළු පැහැයෙන් හා කහ පැහැයෙන් යුක්ත විය. දීඝ නිකායට අනුව බුද්ධ ශරීරය ආදාහනය කළ ස්ථානය මල්ල රජුන්ගේ මකුට බන්ධන නම් වූ මංගල ශාලාව අසල වූ හෙයින් මකුට බන්ධන චෛත්‍යය නමින් ව්‍යවහාර වන්නට ඇත. චෛත්‍ය භූමියෙහි තිබී හමුවූ මැටි මුද්‍රාවලින් එය පැහැදිලි වේ. මෙම ථූපය කරවීම සඳහා යොදාගෙන ඇති ගඩොල් කැටයම් සහිත ය. ඒවා කීපයක් නිසි ලෙස එකතු කිරීමෙන් මිනිස් රූප ආදී සටහන් පිළිබිඹු වෙයි. ථූපයේ තිබී හමු වූ මැටි මුද්‍රාවක ගිනි දැල්වෙන චිතකයක සටහන් ද එහි දකුණු පස බිම දිගා වී ගෞරව කරන මිනිස් රුවක් ද වෙයි. පහත කොටසේ ‘ශ්‍රී මකූට බන්ධන සංඝ’ යන පාඨය ද තවත් මුද්‍රාවක ‘ශ්‍රී බන්ධන මහා විහාරේ ආර්ය භික්ෂු සංඝස්ස’ යන පාඨය ද විය.

ධාතු බෙදූ තැන කරවූ ථූපය…

ද්‍රෝණ බමුණා ශාරීරික ධාතු කොටස් අටකට බෙදූ තැන අශෝක අධිරාජයා කරවූ ථූපයක් වෙයි. මහ කසුප් තෙරුන් රන් දෙණෙන් පිටතට පැමිණි සිරිපතුල් බලා වන්දනා කළ ස්ථානයෙහි කරවූ ථූපයට නුදුරුව අශෝක අධිරාජයා විසින් කරවූ ස්ථූපයක් හා ලේඛනයක් සහිත ශිලා ස්ථම්භයක් වූ බව හියුංසියෑං තෙරණුවෝ පවසති. මේවා ආදාහන චෛත්‍යයට නුදුරුව තිබෙන්නට ඇත. ආදාහන ථූපයට ළංව තිබූ ස්ථූප පදනමක් ජනරාල් කනිංහැම් මහතා සොයාගෙන ඇත. මෙය ආදාහන චෛත්‍යයට ඉතා ළංව පිහිටි බැවින් මෙය කාශ්‍යප වන්දනය සිහිපත් වීම පිණිස කරවූ ථූපය වශයෙන් සැලකිය හැකිය.

පරිනිර්වාණ ථූපයට නුදුරු කුඩා ථූප විසි එකක් ජනරාල් කනිංහැම් විසින් සොයාගෙන ඇත. මේවා උසින් අඩි තුනක් හෝ හතරක් පමණ වෙයි. ථූප පදනමේ බොහෝ ගණනක් හා වෙනත් ගොඩනැගිලි රැසක නටබුන් පෝගල් මහතා විසින් සොයා ගන්නා ලදී. මින් වැඩි ප්‍රමාණයක් හමු වූයේ පරිනිර්වාණ ස්ථූපයට නුදුරුව ය. අන්රුද්වා ගමෙහි වූ ථූප හතරක් පරීක්ෂා කළ හීරානන්ද ශාස්ත්‍රී මහතා බෝසත් උපත, දම්සක් දෙසුම ආදිය පිළිබිඹු කරන කැටයම් සහිත ගල් පුවරු සතරක් සොයාගෙන ඇත. ආදාහන චෛත්‍ය අසල තිබූ පැරණි ථූප තුදුසක් පරීක්ෂණයට ලක් කොට ඇත. විහාර සංඝාරාම ආදී ගොඩනැගිලි රැසක නටබුන් මෙහිදී පුරාවිද්‍යාඥයන්ට හමු වී ඇත. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේ සිට දොළොස්වන සියවස දකවා කුසිනාරාව ස්ථූප, විහාර, බුද්ධ ප්‍රතිමා, සංඝාවාස ආදිය නිර්මාණය වෙමින් පූජනීය ස්ථානයක් ලෙස සංවර්ධනය වූ බවට සාධක ඇත.

Dhathu Bedeema Drona Brahmana

කුසිනාරා නුවර නැවත සොයා ගැනීම….

ශ්‍රීමත් කනිංහැම්, ආචාර්ය කාලයිල් සහ මහාචාර්ය හීරානන්ද ශාස්ත්‍රී යන පුරාවිද්‍යාඥයන් විසින් කරන ලද කැණීම්වලින් සල්ගස් දෙකක් අතර සිවුරක් ඇතිරූ ඇඳක තබා ඇති බුදුරුව දැක්වෙන කැටයමක්, “මහා පරිනිර්වාණ විහාර භික්ෂු සංඝ” යනුවෙන් දැක්වෙන මැටි මුද්‍රාවක්, ගිනි දැල්වෙන චිතකයක සටහනක් සහ දණ බිම ගසා ගෙන එයට අභිවාදන නමස්කාර පූජා පවත්වන මිනිස් රුවක් සහ “ශ්‍රී මකූටබන්ධේ සංඝ” යන පාඨය ඇතුලත් කැටයමක් ද සොයාගෙන ඇත. වර්ෂ 1876 දී ආචාර්ය ඒ. සී. කාලයිල් මැතිතුමා ගණ කැලෑව එළි කොට කළ කැණීම්වලින් ගරා වැටී, බිත්තිවලට යටවී තිබූ පරිනිර්වාණ බුද්ධ ප්‍රතිමාව සහ පරිනිර්වාණ චෛත්‍යය ද සොයාගෙන ඇත. වර්ෂ 1911දී පුරාවිද්‍යාඥ හීරානන්ද ශාස්ත්‍රී පඬිතුමන් විසින් මෙම චෛත්‍යය ආසන්නයේ කරන ලද කැණීම්වලින් අඩි 14ක් පොළොව යට වැළලී තිබූ ධාතු ගර්භය සොයා ගැණින. පරිනිර්වාණ බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කොට ඇත්තේ හරිබල නම් හිමිනමක් විසිනි. මේ බව සනාථ කෙරෙන සංස්කෘත භාෂාවෙන් ලියන ලද තඹ සන්නස් පත්‍රයක් ද එම කැණීම්වලදී සොයාගෙන ඇත. පසුව සොයා ගැණුන ශිලා ලිපියක් මඟින් ද ප්‍රතිමාව කරවූයේ හරිබල හිමියන් විසින් බව සනාථ කෙරිණ. ඉන්දියාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් කුසිනාරා නුවර පිළිබඳව ප්‍රසිද්ධ කරන ලද පුරාවිද්‍යා කෘතියකින් ද මෙම තොරතුරු සත්‍ය තොරතුරු බවට අනාවරණය කොට ඇත. එම නිසා බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නා යන ආර්යෝපවාද මිථ්‍යාවට කිසිවෙක් නොරැවටෙත්වා!

පූජ්‍ය යටිබේරියේ සෝමඤාණ ස්වාමීන් වහන්සේ
උපුටා ගැනීම – mahamevnawa.lk වෙබ් අඩවියෙනි.