ප්‍රථම දම් දෙසුම පවත්වා වදාළ බරණැස ඉසිපතන මිගදාය

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේද? ( 5 වන කොටස )

භාග්‍යවතුන් වහන්සේ පස්වග භික්ෂූන් වහන්සේලාට ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ බරණැස ඉසිපතන මිගදාය පිහිටියේ, බරණැසට ආසන්න සාරානාත්හි ය. බුද්ධකාලීන දඹදිව සොළොස් මහා ජනපද අතරින් කාසි රාජ්‍යයේ අගනුවර වූයේ බරණැස් නුවර හෙවත් වාරාණසී නගරය යි. බර්ණා සහ අසි යන ගංගා දෙක අතර පිහිටි බැවින් බාරාණසී නම් වූ අතර, සංස්කෘත භාෂාවෙන් වාරාණසී යනුවෙන් හැඳින්වෙන්නේ වරුණ සහ අසී ලෙස ගංගා නාමයන් සැලකීමෙනි. එම ගංගා දෙක සුප්‍රසිද්ධ ගංගා නදියේ ශාඛා දෙකක් වන අතර බරණැස් නගරයේ බටහිර දෙසින් ගංගා නදිය අදටත් ගලා බසී. බරණැස් නගරයේ සිට කි.මී. 10ක් පමණ දුරින් සාරානාත් හෙවත් ඉසිපතන මිගදාය පිහිටා ඇත. මෙම භූමියට ඉසිපතන යන නාමය ලැබී ඇත්තේ ද කරුණු කිහිපයක් නිසාවෙනි. හිමාලයේ සිට අහසින් වඩින ඍෂිවරයන් මෙහි බසින හෙයින් ද, පෙරලා වඩින කල්හි එම උයනේ සිට අහස් ගමන ආරම්භ කරන හෙයින් ද ඉසිපතන නම් විය. එමෙන්ම ගන්ධමාදන පර්වතයේ විසූ පසේබුදුරජාණන් වහන්සේලා සතියක් පුරා සමාපත්ති සුව විඳ අනෝතප්ත විලෙන් පැන් පහසු වී පිඬු පිණිස මිනිස් වාසයට වැඩම කිරීම පිණිස ඉසිපතනයෙන් බිමට වඩින හෙයින් ද ඉසිපතන නම් විය.

තවද සිදුහත් කුමරුන් උත්පත්තිය ලැබීමට පෙර වැඩසිටි අවසන් පසේබුදුරජාණන් වහන්සේ වන මාතංග නම් පසේබුදුරජාණන් වහන්සේ වැඩවාසය කොට ඇත්තේ ද මෙහි ම ය. අප මහා බෝසතාණෝ අතීත ජීවිතයක මුව යෝනියේ ඉපිද සියලු මුව රැලට නායක වූ නීග්‍රෝධ නම් මුව රජුව සිටියදී එකල රජ කළ බ්‍රහ්මදත්ත නම් රජු, මුව රජුගේ අපූර්ව ගුණ සම්පත්තිය දැක සියලු මුවන්හට අභය දානය ලබා දුන්නේය. නිග්‍රෝධමිග ජාතකයේ දැක්වෙන එම කතාපුවත අනුව මුවන්ට අභය දානය දුන් වන පියස බැවින් මිගදාය යන නම ද ඉසිපතනයට එක්විය. සාරානාත් යන නාමය ද සාරංගනාථ යන්නෙන් සකස් වූවකි. සාරංග යනු මුවා ය. නාථ යනු (පිහිට සැලසූ) ප්‍රධානියා ය. එහෙයින් සාරංගනාථ යනු මුව නායකයා හෙවත් මුව රජුය. එම මිගදාය සංකේතවත් කිරීමට වර්තමානයේ ද මෙහි මුව වනයක් කරවා තිබේ. තවද ජාතක පොත් වහන්සේගේ සඳහන් කතා 436ක ම සඳහන් පරිදි මහ බෝසතුන් ඉපිද ඇත්තේද බරණැස ම ය.

අසිරිමත් දම්සක ප්‍රවර්තනය වූ සුපූජනීය පින්බිම

නිකෙලෙස් තථාගත හදමඬලේ උපන් ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය, සම්බුදු මුව මඬලින් ප්‍රථමයෙන් දේශනා කරන්නට යෙදුණු ඉසිපතන මිගදාය බොදුනුවන්ගේ සුපූජනීය පින්බිමකි. ඇසළ පුන් පොහෝ දිනක ඉසිපතන මිගදායට වැඩමකළ බුදුරජාණන් වහන්සේ පස්වග භික්ෂූන් ප්‍රධාන දෙවි බඹුන්ට ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළ සේක. සියලු බුදුවරු මෙහිදී ම ප්‍රථම දම් දෙසුම පවත්වා, දම්සක ප්‍රවර්තනය ආරම්භ කරන හෙයින් මෙය ද “අවිජහිතට්ඨාන” (අත්නොහරින – වෙනස් නොවන) සුපූජනීය ස්ථාන හතරෙන් එකකි. එමෙන්ම අනත්තලක්ඛණ සූත්‍රය දේශනා කළ කල්හි පස්වග භික්ෂූන් වහන්සේලා අරහත්වයට පත්වූයේ ද, භාග්‍යවතුන් වහන්සේ පළමු වස් කාලය ගතකළේ ද ඉසිපතන මිගදාය පින්බිමේදී ය. එහිදී භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි යස කුල පුත්‍රයා ප්‍රධාන සිටුපුත්‍රයන් 54 දෙනා ධර්මය අසා, පැවිදි උපසම්පදාව ලබා, සව්කෙලෙසුන් නසා අරහත්වයට පත්වූහ. ඒ මුල්ම අරහත් ශ්‍රාවක හැට නම ඇමතූ ශාස්තෘන් වහන්සේ මෙසේ වදාළ සේක. “පින්වත් මහණෙනි, ඔබලා දිව්‍ය වූ ද, මානූෂීය වූ ද සියලු කෙලෙසුන්ගෙන් මිදුණාහුය. දැන් බොහෝ දෙනාට හිත පිණිස, සැප පිණිස දෙව් මිනිස් ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන්, ඔවුනට යහපත පිණිස මුල මැද අග යහපත් වූ ධර්මය දේශනා කරන්න. තථාගත තෙමේ ද දහම් දෙසනු පිණිස උරුවෙල් දනව්වට වැඩම කරන්නේය” කියාය.

මෙලෙසින් ගෞතම බුද්ධ ශාසනයෙහි සමාරම්භය සිදුවූයේ බරණැස ඉසිපතන මිගදාය හෙවත් සාරානාත්හිදී ය. ශ්‍රාවක සංඝ සමාජය ආරම්භ වීමත් සමඟ බුද්ධ,ධම්ම, සංඝ යන තුනුරුවන ම ලොව පහළ විය. ධර්මදූත සේවාව මෙහිදී ආරම්භ වූ හෙයින් ශ්‍රී සද්ධර්මය පැතිරවීමේ කේන්ද්‍රස්ථානය වූයේද බරණැස ඉසිපතන මිගදායයි. මෙම පරම පූජනීය පින්බිමේ සමෘද්ධිමත් භාවය සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව වසර එක්දහස් පන්සියයක් ගතවෙන තුරු ම සුරක්ෂිතව පැවතුණි. විශේෂයෙන් ධර්මාශෝක අධිරාජ්‍යයාගේ සමයේදී අන් සියලු බෞද්ධ සිද්ධස්ථාන මෙන්ම ඉසිපතන මිගදායේ ද සුවිශේෂී දියුණුවක් ඇතිවුණි.

සම්මුඛ චේතිය හෙවත් චෞකණ්ඩි ස්ථූපය

Chaukhandi Stupa

කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජී යන භික්ෂූන් කරා වැඩම කළ භාග්‍යවතුන් වහන්සේට එම පිරිස හමු වූ ස්ථානය මෙයයි. එම සිදුවීම සිහිවීම පිණිස ධර්මාශෝක අධිරාජයා විසින් ඉදිකළ ස්ථූපය “සම්මුඛ චේතිය” ලෙස හැඳින්වෙන අතර අද එය “චෞකණ්ඩි ස්ථූපය” කියා ද හඳුන්වයි.

ධම්මරාජික ස්ථූපය

පළමුව සම්මා සම්බුද්ධත්වය ගැන සැක පහළ කළ පස්වග මහණුන්ව තමන් වහන්සේගේ දිවියේ පැවති සත්‍යවාදී බලයෙන් දමනය කළ භාග්‍යවතුන් වහන්සේ මංගල දම් දෙසුම වන දම්සක් පැවතුම් සූත්‍රය වදාළ පින්බිමේ ඉදිකළ සෑය මෙය යි. (මේ මහා භද්‍රකල්පයේ පහළ වූ සතර බුදුරජාණන් වහන්සේලා ම මංගල ධර්ම දේශනය සිදුකළ ස්ථානය මෙයයි.) දස දහසක් ලෝ ධාතුව ම කම්පා කරවමින් සිදුකළ ඒ උතුම් දේශනාව අවසන් වනවිට කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝතාපන්න වූහ. ලොවට ආර්ය මහා සංඝරත්නය පහළ වූ පින්බිම වන්නේ ද මෙයයි. එමෙන්ම දහඅටකෝටියක් බ්‍රහ්මයෝ ද, අප්‍රමාණ දෙවිවරු ද එම දෙසුමෙන් මගඵල පසක් කළහ. පසු කලෙක ධර්මාශෝක රජතුමා මේ ස්ථානයේ ධම්මරාජික නම් ස්ථූපයක් කරවූ අතර අද එහි දක්නට ඇත්තේ පාදමේ නටඹුන් පමණි. මේ පින්බිම සියලු සැදැහැතියන් දැක බලා පහන් සංවේගය උපදවා ගතයුතු ‘ධම්මචේතිය’ යි.

සංකම්පයං දස සහස්සිය ලෝක ධාතුං
දේසේසි යත්‍ර භගවා වර ධම්මචක්කං
බාරාණසී පුර සමීප වනේ මිගානං
තං ධම්මචේතියමහං සිරසා නමාමී

කම්පා කරවමින් සහස්සී – දස ලෝක ධාතූ
දෙසු සේක අප සම්බුදුන් – දම්සක් දෙසුම් ඒ
බරණැස් පුරේ අසල වූ – මිගදාය වනයේ
ඒ ධම්මචේතිය උතුම් – සිරසින් වඳිම් මම්

සාදු සාදු සාදු…!

Dharmarajika Stupa

ධම්මික ස්ථූපය

Dhammika Stupa

මෙය ගෞතම බුදු සසුනේ ප්‍රථම රහතන් වහන්සේලා පස්නම බිහි වූ උතුම් පින්බිමයි. කොණ්ඩඤ්ඤ හිමියන් උතුම් වූ සෝවාන් ඵලය සාක්ෂාත් කළ පසු අපගේ භාග්‍යවතුන් වහන්සේ අනෙක් සතර නම ද සෝතාපන්න ඵලයෙහි හික්මවූ සේක. අනතුරුව ඒ පස්නම අමතා අනත්ත ලක්ඛණ සූත්‍රය දේශනා කළ සේක. ඒ දෙසුම අවසන් වනවිට පස්වග භික්ෂූන් වහන්සේලා උතුම් අරහත්වයට පත්වූහ. ධර්මාශෝක අධිරාජයා විසින් එහි ‘ධම්මික ස්ථූපය’ නම් මහා සෑයක් කරවන ලදී. පසු කලෙක ඇති වූ හින්දු ආක්‍රමණ ආදිය හේතුවෙන් සෑය වටේ මුල් හැඩය වෙනස් වී ඇත. මේ මහා ස්ථූපය අඩි 110ක් පමණ උස් වූවකි.

මූලගන්ධ කුටි විහාරය

මෙය බරණැස ඉසිපතන මිගදායේ සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කුටියයි. බුදු රදුන් ප්‍රථම වරට වැඩහුන් ගන්ධ කුටිය නිසා මෙයට මූල ගන්ධකුටිය යයි කියනු ලැබේ. පසුව මේ ස්ථානයේ ධර්මාශෝක රජතුමා කරවූ විහාරයේ නටඹුන්ය අද දක්නට ලැබෙන්නේ. මෙහි ලලාට ධාතූන් වහන්සේ ද වැඩ සිටි බව ‘ධාතු වංශයේ’ සඳහන් වේ.

දම්සභා මණ්ඩපය

බරණැස ඉසිපතන මිගදායේදී බුදුරජාණන් වහන්සේ සිව්වනක් පිරිසට දම්දෙසූ ස්ථානය මෙයයි.

  • යස කුල පුත්‍රයා පැවිදි වී අරහත්වයට පත් වීම.
  • යස මහ රහතන් වහන්සේගේ ගිහිකල යහළුවන් ද පැවිදිව රහත් ඵලය සාක්ෂාත් කිරීමෙන් රහතුන් හැට නමක් බිහිවීම.
  • බුදුරජාණන් වහන්සේ එම රහතුන් හැට නම ධර්ම චාරිකාව සඳහා පිටත්කොට හැරීම.
  • ප්‍රථම තේවාචික උපාසකයා සහ උපාසිකාවන් (යස මහරහතන් වහන්සේගේ දෙමාපියන් සහ ගිහිකළ බිරිඳ) බිහිවීම.

ආදී සම්බුදු සසුනේ සිදුවූ සුවිශේෂී සිදුවීම් සිහිපත් කරමින් මේ සාරානාත් පුදබිම සැදැහැ සිත් උපදවා ගෙන අපට වන්දනා කළ හැකිය. තවද වත්මන් සාරානාත්හිදී මීට අමතරව දැකබලා ගත හැකි සුවිශේෂී ස්ථාන ද කිහිපයක් ඇත.

  • පැරණි මිගදාය සංකේතවත් කරන මුව වනය
  • පොළොව යට ඇති සක්මන් මළුව
  • ධම්මචක්ක ජින විහාරය
  • සාරානාත් අශෝක කුළුණ – ධම්මරාජික ස්ථූපය ආසන්නයේ පිහිටුවා තිබූ මෙහි අද ඇත්තේ නටඹුන් පමණි. මෙහි උස මීටර් 12ක්ව තිබී ඇත. කුළුණු හිස සිව් දිශාවට මුහුණලා සිටින සිංහ හිස් හතරක් කැටයම් කරවා නිර්මාණය කොට ඇත.
  • සාරානාත් කෞතුකාගාරය – ලෝ සුපතල ධර්මචක්‍ර මුද්‍රවෙන් යුතු සාරානාත් ප්‍රතිමා වහන්සේ ඇතුළු බුදු දහම හා සම්බන්ධ කෞතුක වස්තූන් බොහෝමයක් මේ කෞතුකාගාරයේදී දැක බලා ගැනීමේ අවස්ථාව ලැබේ. එමෙන්ම වත්මන් ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනය වන අශෝක කුළුණු හිසත් තවත් වැදගත් බොහෝ දේත් මෙහි තැන්පත් වී ඇත. මෙය අනිවාර්යෙන්ම නැරඹිය යුතු ස්ථානයකි.
  • නව මූලගන්ධ කුටි විහාරය – ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් විසින් මේ විහාරය කරවා ක්‍රි.ව. 1932 වර්ෂයේදී විවෘත කරවන ලදී. ඉතාමත් අලංකාර ධර්මචක්‍ර මුද්‍රාවෙන් යුතු පිළිම වහන්සේ නමක් විහාරය තුළ තැන්පත් කර තිබේ. එතුමන් හට ඉන්දීය රජයේ අනුග්‍රහය යටතේ නාගර්ජුන කොණ්ඩය හා ධර්මරාජික යන මහා ස්ථූපයන්ගෙන් හමු වූ සර්වඥ ධාතූන් වහන්සේලා ලබා දුන් අතර ඒ ධාතූන් වහන්සේලා වප් පුර පසළොස්වකට පමණක් ප්‍රදර්ශනය කෙරේ. මේ විහාරය තුළ සෑම දිනකම රාත්‍රී 7ට ධම්මචක්ක සූත්‍ර සජ්ඣායනාව සිදුකරනු ලබයි.
  • එමෙන්ම මේ විහාරය විවෘත කිරීම නිමිත්තෙන් අනගාරික ධර්මපාලතුමන් විසින් ලක්දිවින් ජය ශ්‍රී මහා බෝධි ශාඛාවක් වැඩම කරවා විහාරය පසෙකින් රෝපණය කරවන ලදී. මෙහිදී ඒ බෝධීන් වහන්සේ ද සාදරයෙන් වන්දනා කළ හැක.
  • අනගාරික ධර්මපාලතුමන් (සිරිදේවමිත්ත ධර්මපාල හිමියන්) ආදාහනය කළ ස්ථානයේ ඇති ස්මාරකය – උතුම් සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් විසින් සිදුකළ සේවය අනුපමේය වූවකි. තරුණ අවදියේදී දඹදිවට පැමිණි එතුමා ඒ වනවිට දඹදිව බෞද්ධ උරුමයන් වල් බිහිවී විනාශ වන අයුරුත්, අන්‍යාගමිකයන් අතට පත්ව ඒවායේ අනන්‍යතාවයන් විකෘති වී ඇති අයුරුත් දැක මහත් වූ පරිශ්‍රමයක් දරමින් යළි බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීමට කටයුතු කළේය. එතුමා තම ජීවිතයේ අවසාන කාලය ගතකළේ ඉසිපතන මිගදායේ ය. 1931 වර්ෂයේදී සිරිදේවමිත්ත ධර්මපාල නමින් පැවිදි දිවියට පත්වූ එතුමා 1933 ජනවාරි මස 17 වන දින ඉසිපතන මිගදායේ සීමා මාලකයේදී උපසම්පදාව ලැබීය. 1933 වර්ෂයේ ම අප්‍රේල් මස 29 වනදා උන්වහන්සේ අපවත් වූ සේක. උන්වහන්සේ ආදාහනය කළ ස්ථානයේ අද ස්මාරකයක් ඉදිකර තිබේ. දඹදිව වන්දනා කිරීමෙන් රැස් කරන සියලු පින් උන්වහන්සේට නිවන් සුව පතා අනුමෝදන් කිරීම කෘතගුණ සැලකීමක් ලෙස සිදුකළ යුත්තකි.

ඒ සියලු බුදුරජාණන් වහන්සේලාගේ මංගල දම්දෙසුම සිදුවන උතුම් වූ ධම්මචේතිය පිහිටි බරණැස ඉසිපතන මිගදාය වනය අපි සැදැහැ සිතින් වන්දනා කරමු.

පූජ්‍ය යටිබේරියේ සෝමඤාණ ස්වාමීන් වහන්සේ