මගධ රාජධානිය සහ රජගහ නුවර

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? ( 8 කොටස )

බුද්ධකාලීන දඹදිව සොළොස් මහා ජනපද රාජ්‍යයන්ගෙන් බලවත් ම රාජ්‍යය මගධය යි. මගධ රාජ්‍යයේ පාලකයා වූයේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙකු වූ බිම්බිසාර රජතුමා යි. එතුමාගේ පාලන සමයේදී යාබද පිහිටි අංග රාජධානිය ද මගධයට එක් කර ගත් අතර අංගයේ අගනුවර වූයේ චම්පා නගරය යි. මගධයේ උතුරු සීමාව ගංගා නදිය වූ අතර නැගෙනහිරින් චම්පා නදිය ද දකුණෙන් වින්ධ්‍යා කඳුවැටිය ද බටහිරින් සෝණ නදිය ද සීමා මායිම් විය. බුද්ධකාලීන අංග මගධ දෙරට ගම් අසූ දහසකින් සමන්විත වූ අතර, වට ප්‍රමාණය යොදුන් තුන්සියයක් (කිලෝ මීටර් 3000ක් පමණ) විය. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයෙහි වෙහෙර විහාර ආරම්භ වී දියුණු වූයේ මගධය කේන්ද්‍ර කරගෙන ය. වර්තමාන ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය පුරාණ මගධය වන අතර, බිහාර් යන අන්වර්ථ නාමය මගධයට යෙදුණේ ධර්මාශෝක අධිරාජ සමයේදී ය. එය ‘විහාර’ යන නාමයෙන් විකාශය වූවකි.

මගධ රාජ්‍යයේ අගනුවර රජගහ හෙවත් ගිරිබ්බජ නුවර යි. මෙහි ආදිම රාජ පරම්පරාව මහාසම්මත රජ පෙළපත ය. මහාමන්ධාතු, ගෝවින්ද ආදී රජුනට වාසස්ථානය වූ හෙයින් රාජගහ (රාජ ගෘහ) නම් විය. බුද්ධෝත්පාද කාලයේදී හා සක්විති රජුන්ගේ කාලවලදී ජනාකීර්ණ ප්‍රසිද්ධ නගරයක් වන අතර, සෙසු කාලවලදී ජනාවාසයෙන් තොරව වනයෙන් ගැවසී ගත් අමනුෂ්‍ය වාසස්ථානයක් වන බව සුමංගල විලාසිනී නම් දීඝ නිකාය අට්ඨ කථාවේ සඳහන් වේ. මගධයන්ගේ ගිරිබ්බජය යනුවෙන් සුත්ත නිපාතයේ පබ්බජ්ජා සූත්‍රයේ සඳහන් වන රජගහනුවර පාණ්ඩව, ගිජ්ඣකූට, වේභාර, ඉසිගිලි, වේපුල්ල යන කඳු පර්වතවලින් වට වී ඇත. ඉසිගිලි සූත්‍රයේ මෙම පංච පර්වතයන් පිළිබඳව සඳහන් වේ.

ධර්මප්‍රදීපිකාව නම් ග්‍රන්ථයෙහි රජගහනුවර ගැන සඳහන් වන්නේ මෙලෙසිනි, ‘එකල රජගහනුවර කේන්ද්‍ර කොට දහ අට කෝටියක් මනුෂ්‍යයෝ වාසය කළහ. ගම් නියම් ගම් අසූහාරදහසකි. පන්සියයක් යොදුන් වූ අංග මගධ දෙරටින් ගලා ආ සම්පත්හි ද්වාරය රජගහනුවර විය. සෝවාන්ව තිස්පස් වසරක් බුදුරජාණන් වහන්සේට සැදැහැ බැතිපෙමින් උපස්ථාන කළ බිම්බිසාර රජු මෙහි රාජ්‍ය විචාරයෙහි යෙදුණේ ය. එකල සාරිපුත්ත මහ තෙරුන් වහන්සේ රජගහනුවර වටා වේළුවනය, ජීවක අම්බවනය ප්‍රධාන විහාර දහ අටක් ඇතුළු වන සේ සීමාබන්ධනය කළහ. මෙනුවර බුදුන් දවස ද සක්විත්තන් දවස ද නුවර වෙයි. සෙසු කල්හි යක්ෂාධිගෘහිතව ඔවුනට වසන්ත වනයක් සේ සිටී.’

රජගහනුවර අතීතය ප්‍රකාශ වන ඉහත විස්තරයෙන් එහි පැවති සමෘද්ධිමත් භාවයත්, බිම්බිසාර රජුගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි හා සම්බුදු සසුන කෙරෙහි පැවති ලැදියාවත් පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ ද පිරිනිවන් පෑමට තෙමසකට පෙර මෙසේ වදාළ සේක. “ආනන්ද, රජගහනුවර රමණීයයි, චෝර ප්‍රපාතය ද වේභාර පර්වතය ද සප්තපර්ණී ගුහාව ද ඉසිගිලි පව්වෙහි කාලසිලාව ද සීත වනයේ සප්තසොණ්ඩික පව්ව ද තපෝදාරාමය ද වේළුවනාරාමය ද ජීවක අම්බවනය ද මද්දකුච්ඡි මිගදාය ද රමණීයයි.” මෙම ප්‍රකාශයෙන් සම්බුදු සිරිත හා රජගහනුවර කෙතරම් සමීපදැයි පැහැදිලි වේ.

රජගහනුවර වර්තමානයේ හැඳින්වෙන්නේ රාජ්ගිර් නමිනි. එය නාලන්දාවේ සිට කි. මී. 12ක් ද පැට්නාවේ සිට කි. මී. 100ක් සහ ගයාවේ සිට කි. මී. 78ක් දුරින් පිහිටා තිබේ. බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන් රජගහනුවරට වැඩියේ බෝසත් අවදියේදී ය. එනම් අභිනිෂ්ක්‍රමණය කොට පැවිදිවී දින දෙකකට පසුව ය. අනතුරුව සම්බුද්ධත්වයට පත්,වී, බිම්බිසාර රජුගේ ඇරයුම පරිදි, දහසක් පමණවූ රහතන් වහන්සේලාත් සමඟ රජගහනුවර වැඩ එහි සමීපයෙහි වූ සුප්පතිට්ඨිත චේතිය නම් නුග රුක මුල වැඩ සිටියහ. බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම ගැන ඇසූ බිම්බිසාර රජතුමා දොළොස් නහුතයක් (එක්ලක්ෂ විසි දහසක්) පිරිස සමඟ පැමිණ ධර්මශ්‍රවණය කළ කල්හි, රජතුමා ඇතුළු එක් ලක්ෂ දස දහසක් ම සෝතාපන්න ඵලයට පත් වූහ. ඉන් පසු බිම්බිසාර රජතුමා සම්බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව වූ වේළුවනාරාම පූජාව සිදු කළ අතර භාග්‍යවතුන් වහන්සේ තෙවන, සිව්වන, සතළොස්වන හා විසිවන වස් කාල වැඩ සිටියේ වේළුවනාරාමයේ ය. උදුම්බරික සීහනාද සූත්‍රය, ජීවක සූත්‍රය, මහා සකුළුදායී සූත්‍රය, සක්කපඤ්හ සූත්‍රය ආදී සම්බුද්ධ දේශනාවන් බොහෝ ප්‍රමාණයක් සිදුකරන ලද්දේ රජගහනුවරදී ය. විනය නීති ගණනාවක් මෙහිදී පනවා ඇත. ගෞතම බුදු සසුනේ අග්‍ර ශ්‍රාවක වූ සාරිපුත්ත, මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා පැවිදි උපසම්පදාව ලබා අග්‍ර ශ්‍රාවක තනතුරු ලැබුවේ ද රජගහනුවරදී ම ය. පිරිනිවන් පෑමට පෙර බුදුරජාණන් වහන්සේ අවසන් වරට රජගහනුවර ගිජකුළු පව්වට වැඩ අම්බලට්ඨිකා, නාලන්දා ආදී ස්ථාන පසුකර කුසිනාරාවට වැඩියහ. දේවදත්ත බුදුරජාණන් වහන්සේ නැසීම සඳහා දුනුවායන් යැවීම, නාලාගිරි ඇතු මෙහෙයවීම, ගල් පෙරලීම ආදිය සිදු කළේ ද රජගහනුවරදී ම ය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු පළමු ධර්ම සංගායනාව පැවැත්වූයේ ද රජගහනුවර වේභාර පර්වත ප්‍රාන්තයේ සප්තපර්ණී ගුහා ද්වාරයේදී ය. රජගහනුවර වේළුවනාරාමය හැරුණු විට ඒ අවට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථාන රාශියක් පිළිබඳ තොරතුරු සූත්‍ර පිටකයත්, විනය පිටකයත් තුළ සඳහන් වේ. මේ අනුව බලන කල සම්බුද්ධ චරිතාපදානය සහ ගෞතම සම්බුදු සසුන හා සබැඳුනු වැදගත් සිදුවීම් රාශියක් රජගහනුවර ඇසුරු කොට සිදුවී තිබේ.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු මගධයේ එවක පාලකයා වූ අජාසත් රජතුමා තමන්ට ලැබුණු ධාතු නිදන් කොට රජගහනුවර ස්ථූපයක් කරවී ය. එමෙන් ම මහා කාශ්‍යප තෙරුන්ගේ උපදෙස් අනුව රාමගාමයේ ස්ථූපය හැර සෙසු ථූපවල නිදන්කර තිබූ ද්‍රෝණ හතක් පමණ ධාතූන් එක් තැනකට වඩම්මවා ආරක්ෂිතව නිදන් කර වාලසංඝාට නම් ථූපය ද කරවූවේ ය. පසු කලෙක ධර්මාශෝක අධිරාජ්‍යයා සුවාසූදහසක් චෛත්‍ය කරවීම පිණිස ධාතූන් වහන්සේලා ලබා ගත්තේ එම ථූපයෙනි. සම්බුද්ධ පරිනිර්වාණය සිදුවන සමයේ මහාවිහාර හෙවත් සංඝාරාම දහ අටක් රජගහනුවර ස්ථාපිත වී තිබුණි. මහා කස්සප තෙරණුවෝ පළමු සංගායනාවට පෙර එම මහාවිහාර අටළොස අජාසත් රජු ලවා පිළිසකර කරවූහ. වස් කාලය තුළ සංගීතිකාරක මහරහතන් වහන්සේලා ඒවායෙහි වස් විසූහ. මෙම විහාරාරාම හැරුණු විට ධර්මාශෝක රජතුමා කරවූ ස්ථූප, විහාර සහ සංඝාරාම බොහෝ ප්‍රමාණයක් රජගහනුවර පිහිටා තිබුණි. රුවන්වැලි මහ සෑ පින්කම උදෙසා රජගහනුවර සිට ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා අසූදහසක් වැඩම කළ බව මහාවංශයේ සඳහන් වේ.

රජගහනුවර වේළුවනාරාමය

වේළුවන උයන රජගහනුවරට සමීපව පිහිටි, බිම්බිසාර රජතුමාගේ සිත්කළු රාජකීය උද්‍යානයයි. හාත්පස උණ ගස් වනයක් වූ නිසා වේළුවන නමින් හැඳින්වූ අතර අදටත් මෙහි බොහෝ උණ ගස් තිබේ. මෙය ලෙහෙනුන්ට අභයභූමියක් වූ හෙයින් කලන්දකනිවාප නමින් ද හැඳින්විනි. මේ උයන සම්බුද්ධත්වයෙන් පළමු වස රජගහනුවර වැඩි අවස්ථාවේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කරන ලදී. භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩ සිටිමින් දේශනා කරන ලද බොහෝ සූත්‍ර ධර්මයන් සූත්‍ර පිටකයේ දැකගත හැක. එමෙන් ම වේළුවන ආරාමය සුන්දර කරවූ, සංඝයාගේ පරිහරණය සඳහා පිදූ ‘වේළුවන පොකුණ’ ද අදටත් මෙහිදී දැකගත හැක.

ගිජ්ඣකූට පර්වතය

අත්තටු විහිදා සිටින ගිජුළිහිණියෙකු මෙන් දිස්වන නිසා මෙය ගිජ්ඣකූටය යන නමින් හඳුන්වයි. මෙහි අපගේ ශාස්තෘන් වහන්සේ බොහෝ අවස්ථාවලදී වැඩසිටි සේක. බුදුරජාණන් වහන්සේ උදෙසා බිම්බිසාර රජු විසින් කරවූ ගන්ධ කුටියේ නටබුන් අදටත් පර්වතය මත දැකබලා වන්දනා කිරීමට හැකි ය. ඒ අසල ම අග්‍ර උපස්ථායක ආනන්ද තෙරුන්ගේ කුටියේ නටබුන් ද තිබේ. ආටානාටිය සූත්‍රය ආදී බොහෝ උතුම් සූත්‍ර දේශනාවන් භාග්‍යවතුන් වහන්සේ මේ පර්වතය මතදී දේශනා කළ සේක. එමෙන්ම පවිටු දේවදත්ත විසින් බුදුරජුන්ව ඝාතනය කරන අදහසින් සම්බුදු සිරස මතට ගලක් පෙරලීමට තැත් කළේ ද මෙහිදී ය. ඒත් ශාස්තෘන් වහන්සේගේ පුණ්‍ය මහිමයෙන් අසිරිමත් ලෙස මේ පර්වතයෙන් ම ගල් දෙකක් මතු වී ඒ සුවිශාල ගල නවතා දැමී ය. එහිදී කැඩී විසිවුණු ගල් පතුරක් සම්බුදු සිරිපා මත වැදී තුවාලයක් සිදු විය. දේවදත්ත දුෂ්ට සිතින් බුදුරජුන්ගේ ලේ සෙලවීමේ ආනන්තරීය පාප කර්මය සිදු කර ගත්තේ ය. මෙහි සූකරඛත ලෙනේ දී බුදුරජාණන් වහන්සේ විසින් දීඝනඛ පිරිවැජියා හට වේදනානුපස්සනාව ගැන වදාරන ලද දෙසුම අසා සාරිපුත්ත තෙරුන් අරහත්වයට පත් විය. එම ලෙන සාරිපුත්ත ලෙන නමින් හඳුන්වයි. මේ කඳු මුදුනට නැඟීම පිණිස බිම්බිසාර රජු විසින් කරවූ පියගැටපෙළ ම අද පිළිසකර කර සකසා තිබේ.

ජීවක අඹ වනය

බුදුරජුන් ප්‍රධාන භික්ෂු සංඝයාටත්, බිම්බිසාර රජු ප්‍රමුඛ රාජකීය පිරිසටත් වෛද්‍ය ප්‍රතිකාර සිදු කළ ජීවක වෙදමහතා සතුව තිබූ අඹ උයන ජීවක අඹ වනය යි. මෙහි කුටි, මණ්ඩප, සක්මන් මළු ආදියෙන් යුතු විහාරයක් හා වටේට අටළොස් රියන් උස ප්‍රාකාරයක් කරවා බුදුපාමොක් සඟරුවනට පූජා කළේ ය. මෙහි බුදුරජාණන් වහන්සේ උදෙසා තැනවූ ගන්ධ කුටියක් ද විය. අජාසත් රජු බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ සාමඤ්ඤඵල සූත්‍රය අසා තෙරුවන් සරණ ගියේ මෙහිදී ය. ජීවක අඹ වනයේ තිබූ සංඝාරාමයේ නටබුන් අද ද දක්නට ලැබේ.

වේභාර පර්වතය

රජගහනුවර වටා පිහිටි පර්වත පහෙන් එකක් වන මෙහි පාමුල සප්තපර්ණී ලෙන පිහිටා ඇත. තපෝදා නදිය ආරම්භ වන්නේ ද මෙහි තඩාගයකිනි. මහා කස්සප මහරහතන් වහන්සේ ගිලන්ව වැඩ සිටි පිප්ඵලී ගුහාව පිහිටා ඇත්තේත් මෙහි ය.

සප්තපර්ණී ලෙන

වේභාර පර්වතයේ බෑවුමක මෙම ලෙන පිහිටා ඇති අතර ලෙන ඉදිරිපස වූ රුක් අත්තන ගස් පෙදෙස පුරා ම විහිදී වැඩුණු නිසා මෙනමින් හඳුන්වයි. මහා කස්සප මහරහතන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක් මහරහතන් වහන්සේලා පළමු ධර්ම සංගායනාව සිදු කළේ සප්තපර්ණී ගුහාද්වාරයෙහි අජාසත් රජු විසින් කරවූ මනරම් මණ්ඩපයක දී ය.

ඉසිගිලි පර්වතය

මෙහි කලින් කල බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සේක. බුද්ධෝත්පාදයට පෙර පන්සියයක් පසේබුදුවරු මෙහි බොහෝ කාලයක් වාසය කළ අතර ඒ පිළිබඳව ඉසිගිලි සූත්‍රයේ මෙසේ වදාරා ඇත.

“මහණෙනි පෙර වූවක් කියමි. පන්සියයක් පසේබුදුවරු මෙහි වූහ. උන්වහන්සේලා මේ පර්වතයට පිවිසෙන ආකාරය දිස්වන්නාහු ය. පිවිසියාට පසු නොදිස්වන්නාහු ය. එකරුණ දුටු මිනිසුන් මෙසේ පැවසුවාහු ය. මේ පර්වතය වනාහී මේ ඉසිවරයන් වහන්සේලා ගිල දමන්නේ ය. ඉසිවරුන් ගිලින්නේ ය යන අරුතින් ඉසිගිලි නාමය ඉපදුණේ ය.”

මෙම පර්වතයේ පසෙක කාලසිලා නම් ගල් තලාවකි. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයා සමඟ මෙහි වැඩසිටි බව සංයුත්ත නිකායේ දැක්වෙන අතර තවත් වරෙක පන්සියයක් රහතුන් සමඟ වැඩසිටි බව ථේරගාථා අට්ඨකථාවේ සඳහන් වේ. කාලසිලා නමින් විහාරයක් මෙහි වූ අතර නිගණ්ඨයන් අරබයා චූල දුක්ඛක්ඛන්ධ සූත්‍රය දේශනා කළේත්, මුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පා වදාළේත් කාලසිලා ගල් තලා භූමියේ ය.

සීත වනයේ සප්පසොණ්ඩික පබ්භාරය

සීත වනය පැරණි රජගහනුවරට පිටතින් තිබූ උයනකි. භයභේරව නම් අමුසොහොන පිහිටියේ මෙහිය. සීත වනය පිහිටියේ රජගහනුවර සිටාණන්ගේ ගෘහයටත්, රජගහනුවරටත් අතර ය. සිටුමැදුරේ සිට සීත වනයට බුදු සමිඳුන් දකින්නට එන අතරමඟදී අනේපිඬු සිටාණන් බියට පත් වූයේ මෙම සොහොන අසලදී ය. සීවක යක්ෂ සෙන්පති විසින් බුදුන් දකින්නට යන ගමනේ අගය පැවසූ කල්හි එම බිය දුරු විය. සීත වනය තුළ සක්මන් (චංකමන) පන්සියයක් වූ අතර සප්පසොණ්ඩික ගුහාව මේ අසල පිහිටා තිබුණි. ගුහාවේ හැඩය නයෙකුගේ පෙණය හා සමාන නිසා එම නම ව්‍යවහාර විය. සාරිපුත්ත තෙරුන්ගේ සහෝදර උපසේන මහරහතන් වහන්සේ සර්ප විෂක් හේතුවෙන් පිරිනිවන් පෑවේ මෙහිදී ය.

ඉන්දසාල ගුහාව

අම්බසණ්ඩ ගමට උතුරු දිගින් වේදිස පර්වතයේ පිහිටි ලෙනකි. බුදුරජාණන් වහන්සේ මෙම ලෙනෙහි වැඩසිටි සමයෙහි ආයු පිරිහුණු සක්දෙවිඳුන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් සක්කපඤ්හ සූත්‍රය දේශනා කළ කල්හි සක් දෙවිඳු සෝතාපන්න ඵලයට පත් විය. එයින් සක්දෙව් තනතුරේ තවදුරටත් රැඳී සිටින්නට ආයුෂ ලැබුවේ ය. සප්පිනී නදිය අසල උස් කඳුමුදුන් දෙකට දකුණු දෙසින් ඇති ගිද්ධවාර් ගුහාව ඉන්දසාල ගුහාව වශයෙන් පුරාවිද්‍යාඥ රොබට් කනිංහැම් මහතා විසින් හඳුනාගෙන ඇත.

සූකරඛත ලෙන

ගිජුකුළුපව් බෑවුමේ පිහිටි ලෙනකි. කාශ්‍යප – ගෞතම බුද්ධාන්තර දෙක අතර භූමිය වැඩීම නිසා ලෙන වළක් බවට පත්ව ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වීමට ආසන්න කාලය දක්වා වල් බිහි වී තිබුණි. දිනක් සූකරයෙකු වැසී තිබුණ ලෙන අසල සෑරීම නිසා වැසි වතුරෙන් පස සේදී ගොස් ලෙන මතු විය. වනයෙහි හැසිරෙන මිනිසකු මෙය දැක සිල්වතුන් වාසය කළ ශුද්ධ භූමියකැයි සලකා හාත්පස පස් ඉවත් කොට මනාව සකස් කළේ ය. පසුව ශයනාසනයක් සහ පීඨයක් ගෙනවුන් තබා බුදුරජාණන් වහන්සේට පූජා කළේ ය. සූකරයා විසින් එය හාරා මතු කළ හෙයින් සූකරඛත ලෙන නම් විය. මෙහි පැමිණි සැරියුත් තෙරුන්ගේ බෑණනුවන් වූ දීඝනඛ පිරිවැජියාට වදාළ ධර්මය අසා තෙරණුවෝ රහත් වූ අතර දීඝනඛ පිරිවැජියා සෝතාපන්න විය. අදටත් එම සූකරඛත ලෙන දැක බලාගත හැක.

මෝර නිවාපය

ගිජුකුළු පව්වට නුදුරුව සුමාගධා පොකුණු ඉවුරෙහි පිහිටා තිබුණු මෙහි මොනරුන්ට අභයදානය දුන් හෙයින් මෝර නිවාප නම් විය. උදුම්බරිකා පරිබ්‍රාජිකාරාමය මෙය අසල විය. මෙහිදී නිග්‍රෝධ පිරිවැජියාගේ ආරාධනය අනුව මෝර නිවාප හා උදුම්බරික සීහනාද සූත්‍ර භාග්‍යවතුන් වහන්සේ දේශනා කළහ.

සප්පිනී ගංතෙර

බුදුරජාණන් වහන්සේ සප්පිනී ගංතෙර වැඩ විසූ සමයෙහි සනංකුමාර මහබඹු පැමිණ “වංශයෙන් ක්ෂත්‍රියයා ශ්‍රේෂ්ඨ වූවත් ත්‍රිවිද්‍යාවෙන් හා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ රහතන් වහන්සේ ම දෙව් බඹුන් අතර ශ්‍රේෂ්ඨයි.” කියා ප්‍රකාශ කළේ ය.

සූත්‍ර පිටකයේත්, විනය පිටකයේත් මගධ රාජ්‍යයේ අගනුවර වන රජගහ නුවර ගැන සඳහන්වන සත්‍ය තොරතුරු මෙපරිදි ය. එසේ තිබියදී ‘බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නා’ යැයි මාරාවේශයෙන් අමූලික බොරු පවසමින් ආර්යෝපවාදයේ යෙදෙන, මිථ්‍යාදෘෂ්ඨික පිරිස පවසන්නේ රජගහනුවර යනු අම්පාරේ රජගල බවයි. මෙතරම් ලේඛනගත, ඉතිහාසගත සහ පුරාවිද්‍යාත්මක සාධක පවතිද්දී, මිථ්‍යාදෘෂ්ඨිකයන් පවසන භයානක මුසාවලට රැවටී බිහිසුණු විපාක ඇති අකුසල් රැස් නොකරගනිත්වා! සැබෑම සම්බුද්ධ භූමීන් සිත පහදාගෙන පහන් සිතින් වන්දනා කොට සුගතිගාමී පින් රැස්කරගනිත්වා!

පූජ්‍ය යටිබේරියේ සෝමඤාණ ස්වාමීන් වහන්සේ

උපුටා ගැනීම – mahamevnawa.lk වෙබ් අඩවියෙනි.

Scroll to Top