සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවූ ලුම්බිණි වනෝද්‍යානය.

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? ( 3 වන කොටස )

අප මහා බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වය පිණිස සාරාසැකි කල්ප ලක්ෂයක් පුරා සමතිස් පෙරුම් දම් සපුරා සන්තුසිත දෙවිරජු ව තුසිත දෙවිලොව වැඩ සිටියහ. එවිට දස දහසක් සක්වළවාසී දෙවිබඹහු බෝසතුන් කරා පැමිණ සම්බුද්ධත්වය පිණිස මනුලොව උපදින්නට මෙසේ අයැද සිටියහ.

“කාලෝ’යං තේ මහාවීර – උප්පජ්ජ මාතුකුච්ඡියං
සදේවකං තාරයන්තෝ – බුජ්ඣස්සු අමතං පදං”

“මහා වීරයන් වහන්ස, සම්බුද්ධත්වය ලබා දෙවියන් සහිත ලෝකයා ව සසර කතරින් එතෙර කරවනු පිණිස, මව්කුස පිළිසඳ ගන්නට මේ සුදුසු කාලය යි.”

එම ගෞරවනීය ඇරයුම පිළිගත් බෝසතාණන් වහන්සේ, කාලය – දීපය – දේශය – කුලය – මව යන පංචමහාවිලෝකනයන් සිදු කළ සේක.

  1. කාලය – මිනිස් ආයුෂ අවුරුදු 120ක් වූ, සත්‍යය කුමක් ද? කුසලය කුමක් ද? (කිං සච්ච ගවේසි? කිං කුසල ගවේසි?) යන විමුක්තිකාමී යුගයක් හෙයින් සුදුසු කාලය යි.
  2. දීපය – සියලු බුදු, පසේබුදුවරයන් වහන්සේලා ද සක්විති රජවරු ද බිහිවන පුණ්‍ය භූමිය වූ දඹදිව් තලය යි.
  3. දේශය – දඹදිව මධ්‍ය මණ්ඩලයේ ශාක්‍ය දේශය යි
  4. කුලය – ක්ෂත්‍රීය වංශයේ සුද්ධෝදන රජ පවුල යි
  5. මව – පින්වන්ත, සීලවන්ත මහාමායා දේවිය යි.

ඉක්බිති, ඇසළ පුන් පොහෝ දිනක මව්දේවියට සුබ සිහින දක්වමින්, සිහිනුවණින් ම තුසිත දෙව්ලොවින් චුත වී, සිහිනුවණින් ම බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුස පිළිසිඳගත් සේක. මජ්ඣිම නිකායේ ආශ්චර්ය අද්භූත සූත්‍රයට අනූව සතරවරම් දෙවිවරුන්ගේ ආරක්ෂාව මධ්‍යයේ මව්කුස සුවසේ වැඩුණු බෝසත් කුමරාණන්, අකලට පිපුණු සල් මල්වලින් අලංකාර වූ ලුම්බිණි සල් වනයේ දී සිහිනුවණින් ම මෙලොවට ජනිත විය. බෝසත් කුමරු මුලින් ම රන්මසු දැලකින් පිළිගන්නා ලද්දේ, ශුද්ධාවාස බඹ ලොව අනාගාමී බ්‍රහ්මයන් විසිනි.

ඉන් පසු සතරවරම් දෙවිවරුන් අතට පත් වූ කුමරුන් මව්දේවියට පිළිගැන්වූයේ මෙලෙස පවසමිනි. “දේවිය, සතුටු වනු මැනවි. ඔබතුමියට ඉතා පින්බර පුත් කුමරෙකු උපන්නා.” මව්දේවියගේ අතින් ගිලිහී පොළොව මත සිඟිති පා තබද්දී පැනනැඟුණු පියුම් මතින් සත් පියවර තබා ඇවිදගොස් දකුණු අත ඉහළට ඔසවා මෙසේ සිංහනාද කළ සේක.

“අග්ගෝ හමස්මි ලෝකස්ස
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස
ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස
අයමන්තිමා ජාති, නත්ථිදානි පුනබ්භවෝති.”

“මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මම ලොවට ජේ්‍යෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම උපතයි. යළි ඉපදීමක් නැත්තේ ය.”

මිහිකත කම්පා වූ ඒ උතුම් අසිරිය සිදු වූයේ දඹදිවදී හෙවත් වර්තමාන නේපාල රාජ්‍යයට අයත් ලුම්බිණි සාලවන උද්‍යානයේ දී ය (වෙසක් පුන් පොහෝදා උදෑසන එකොළහට පමණ ය.) ඒ උතුම් ලුම්බිණි පින්බිමේ පූජනීයත්වය හා එෛතිහාසිකත්වය පහදා දීම මේ ලිපියේ අරමුණ යි.

ශාක්‍ය රාජධානිය හා කපිලවස්තුපුරය

ලුම්බිණි පුදබිමේ සිට කි. මී. 15ක් දුරින් ඉන්දියාවේ පිප්රුවා නමින් හඳුනාගෙන ඇති කපිලවස්තුපුරයේ 1897-1898 කාලයේ දී ඩබ්. ඩී. පෙපේ සහ පී. ඩී. මුඛර්ජි යන මහත්වරුන් විසින් කැණීම් සිදු කරන ලදී. එහි ප්‍රධාන ස්ථූපයේ නටබුන්වල කරන ලද කැණීම්වල දී අඩි 18ක් පමණ යට තිබී ගලින් කළ මංජුසාවක් හමුවී ඇත. එහි තුළ තිබූ කරඬු පහක් ද හමුවී තිබේ. එම එක කරඬුවක බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියන ලද පහත ලේඛනය ද හමු වී තිබේ.

ඉයං සලිල නිධරන බුදසභගවතා
සකියානං සුකිති භතානං සහභගිනිකානං-සසුන දලන

මෙහි තේරුම මෙසේ ය. “භාග්‍යවතුන් වහන්සේගේ මෙම ශාරීරික ධාතු නිධානය දැඩි භක්තියෙන් යුතු වූ උන්වහන්සේගේ ඤාති සහෝදර සහෝදරියන් සහිත ශාක්‍යයන් විසින් කරවන ලදී” මේ පුරාවිද්‍යා කැණීම් පිළිබඳ ව අවස්ථා (ස්තර) තුනක් ගැන පුරාවිද්‍යාඥයෝ කරුණු හෙළිකරගෙන ඇත. පළමු වන ස්තරය ධාතු නිධන් කළ ශාක්‍යයන්ගේ කාලය යි. දෙවැනි ස්තරය අයත් වන්නේ රාජ වර්ෂ 3වන සියවසට අයත් ධර්මාශෝක රජතුමාගේ කාලයට ය. මෙහි තෙවැනි ස්තරය ඉන් පසුව රජ වූ රාජවර්ෂ 2 වැනි සියවසේ කුශාන රාජවංශික යුගයට අයත් වෙයි. ඒ අනුව ධර්මාශෝක රජතුමා ද කුශාන රාජ වංශික කනිෂ්ක රජතුමා ද මෙම ධාතු ස්ථූපය ප්‍රතිසංස්කරණය කරන්නට ඇතැයි පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති. මෙම ඉන්දියාවේ පිප්රුවාහි කපිලවස්තු සර්වඥ ධාතූන් වහන්සේලා 1978 අප්‍රේල් මස 28 දිනත්, 2012 වර්ෂයේදිත් මහත් හරසරින් යුතුව ලක්දිවට වඩමවා සැදැහැවතුනට වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දෙන ලදී. බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පසු සිදු කළ ආදාහන පූජාව පිළිබඳවත්, ඒ ආදාහන පූජාවෙන් පසු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කර ධාතු චෛත්‍යයන් අටක් දඹදිව ඉදිවූ බවත් මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් ය. ශාක්‍යයන්ට ලැබුණු ධාතු කොටස කපිලවස්තුවෙහි සාදන ලද ස්ථූපයක නිධන් කරන්නට යෙදුණි. ඉහත පුරාවිද්‍යාත්මක සොයා ගැනීමත් සමඟින් එහි සත්‍යතාවය මැනැවින් තහවුරු වන්නේ ය.
එමෙන් ම වර්ෂ 1978දී වර්තමාන නේපාල-ඉන්දීය දේශ සීමා ප්‍රදේශයේ කඳුගැටයක දී (පැරණි කපිලවස්තුපුර සමීපයේ දී) පුරාවිද්‍යා අධීක්ෂණය යටතේ සිදු කළ කැණීම්වල දී සර්වඥධාතූන් සහිත කරඬු සොයා ගැනින. මෙම ධාතූන් වහන්සේලා හමු වූයේ ශාක්‍යවරුන් විසින් බුදුරජාණන් වහන්සේගේ ධාතූන් ලැබීමෙන් පසුව ධාතු නිධන් කර සාදනු ලැබූ චෛත්‍යයකින් බව හඳුනාගනු ලැබී ය.

“ඉයං සලිල නිධානේ
බුද්ධත්ව භගවතේ
සකියානං සනුත්ත ධලනේ”

වශයෙන් එහි සටහන් කර තිබී ඇත. එහි දී කපිලවස්තු පුරයෙන් හමුවූ ධාතූන් වහන්සේලා ගණන 22නමකි. 1982 දී ද 1987 දී ද එම ධාතූන් වහන්සේලා ලංකාවට වඩමවා ප්‍රදර්ශනය කොට ඇති අතර මේ දක්වා ම දිල්ලි කෞතුකාගාරයේ දැඩි රැකවරණ මධ්‍යයේ අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා විරාජමාන ව වැඩසිටිති.

ශාක්‍යන්ගේ වාසභූමිය වූ ශාක්‍ය ජනපදයේ අගනුවර කපිලවස්තුපුරය වූ අතර සම්බුද්ධ භාෂිතයට අනූව බෝසතාණන් වහන්සේගේ ජන්ම භූමිය කපිලවස්තුපුරය යි. කපිල ඍෂිවරයාගේ ආශ්‍රමය තිබූ ස්ථානයෙහි ඔක්කාක රාජපුත්‍රයන් විසින් ඉදි කරන ලද හෙයින් මෙම නගරය කපිලවස්තු නම් වී ය. ශාක්‍ය ජනපදය කෝලිය ජනපදයට මායිම් ව පිහිටි අතර මෙම ජනපද දෙක වෙන් වූයේ රෝහිණී නදියෙනි. සිද්ධාර්ථ කුමරුන් ගිහිකල වසර විසිනවයක් වැඩවාසය කළේ ද කපිලවස්තු රාජධානියෙහි ය. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් දෙවන වසරේ දී විසිදහසක් මහරහතන් වහන්සේලා සමඟ කපිලවස්තුවට වැඩම කළ අතර ශාක්‍ය රජුන් බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට වැඩවිසීම පිණිස නීග්‍රෝධාරාමය කරවා පූජා කළහ.

එමෙන් ම ‘කපිල වත්ථු භික්ඛු සංඝ’ යනුවෙන් සඳහන් මුද්‍රාවක් ද කැණීම්වල දී සොයා ගත් අතර එමඟින් කපිලවස්තු පුරයේ පිහිටීම එෛතිහාසිකත්වය පුරාවිද්‍යාත්මක වශයෙන් ද තහවුරු විය.

ලුම්බිණි සල් උයන

ලුම්බිණි සල් උයන, වර්තමානයේ ඉන්දු නේපාල මායිමේ සොනාලි ග්‍රාමයේ සිට කිලෝමීටර් 27ක් දුරින් පිහිටි රූපන්ඩි ග්‍රාමයේ පිහිටා තිබේ. මෙම උයන ශාක්‍යයන්ගේ අගනුවර වූ කපිලවත්ථුවටත්, කෝලියයන්ගේ අගනුවර වූ දෙව්දහ නුවරටත් අතරමැද පිහිටා තිබූ අතර ශාක්‍ය කෝලිය දෙවංශයට ම පොදු තැනක් විය. අද දෙරටක් වුව ද බුද්ධ කාලයේ ඉන්දියාව හා නේපාලය, ‘දඹදිව’ නම් වූ එක ම රටට අයත් විය. අද දෙරටක් වී වීසා නොමැතිව දේශ සීමා ඉක්මවා යා නොහැකි වීමත්, නව මාර්ගත් නිසා කපිලවත්ථුවේ සිට ලුම්බිණියට දුර කිලෝමීටර් 83ක් වුව ද එක එල්ලේ ම ලුම්බිණියට ඇත්තේ කිලෝමීටර් 13කටත් අඩු ප්‍රමාණයකි. ලංකාවේ ත්‍රිවිධ හමුදාවල ඇතැම් නිලධාරීන් නේපාල හමුදාවේ සහයෝගය ඇතිව මහජනයාට වසා ඇති මෙම මාර්ගයෙන් ලුම්බිණි පුදබිමට යාමේ වරප්‍රසාදය ලබා ඇත.

වයස අවුරුදු 54 දී ධර්මාශෝක රජතුමා ලුම්බිණි පුදබිම වැඳ පුදාගෙන ටැම් ලිපියක් ද ස්ථාපනය කොට තිබිණි. 1895 වර්ෂයේ දී ආචාර්ය ඒ. ප්‍යුරර් මහතා විසින් අශෝක ශිලා ස්තම්බය සොයා ගැනීමෙන් පසු ස්ථිර වශයෙන් ම ලුම්බිණි පුදබිම සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය සිදු වූ ස්ථානය බවට පුරාවිද්‍යාත්මක ව ද තහවුරු විය. අදටත් දැක ගත හැකි එම සෙල්ලිපියේ මෙසේ සඳහන් වේ.

“දේවානම් පියේන පියදසින – ලංජින විසති වසාහි සිතෙන
අතන අගව මහිජිතෙ හිඳ – බුද්ධ ජාතේ සක්‍ය මුනිති
සිලාවිගඩ බිවේ කාලාජිතෙ – සිලා තහිජ උපසාහිතේ
හිද භගවං ජාතේන – ලුම්බිණි ගාමේ අබලිසේ කථෙ අටබාගේ යේව”

එහි අර්ථය;
“දෙවියන්ට ප්‍රිය වූ ප්‍රියදර්ශී රජු තම ඔටුනු පැලඳුමෙන් විසිවෙනි වර්ෂයෙහි පෞද්ගලික ව ම මෙම ස්ථානයට පැමිණ ශාක්‍ය මුනින්ද්‍ර වූ බුදුරජාණන් වහන්සේ උපන් මෙම පුදබිමට වන්දනාමාන කළ අතර බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය සිහි වීම පිණිස මෙම ලුම්බිණි ගමෙන් රජයට අය විය යුතු අටෙන් එකක අය බද්දෙන් නිදහස් කරන ලදී.”

දහනව වැනි ශතවර්ෂයේ මෙම ස්ථානයේ කරන ලද එළිපෙහෙළි කිරීම් සහ කැණීම්වලින් පසු මෙම ශුද්ධ භූමිය නැවත ඉස්මතු කරගෙන තිබේ. ජපන් රජය මඟින් එකී නෂ්ටාවශේෂ මැදි කොට අලංකාර විහාර මන්දිරයක් තනා තිබේ. සිදුහත් කුමරාගේ උත්පත්තියට පෙර මහාමායා දේවිය ස්නානය කළා වූ ද සිදුහත් කුමරාගේ පළමු ස්නානය සිදු කළා වූ ද පොකුණ අදටත් එහි දක්නට ලැබීම බොදුනුවන්ගේ භාග්‍යයකි.

එමෙන් ම බි්‍රතාන්‍යයේ ඩර්හැම් සරසවියේ මහාචාර්ය රොබින් කොනින්හැම් (Robin Coningham) මහතාගේ නායකත්වයෙන් යුත් පුරාවිද්‍යාඥයන් 15කගෙන් සමන්විත කණ්ඩායමක් ලුම්බිණි පූජාභූමියේ කරන ලද කැණීම්වල දී, දැනට ඇති විහාර භූමියට යටින් පිහිටි විහාරයක් සොයා ගැනීමට හැකි විය. පොළොවට යටින් ඇති ලී ආකෘතියක් තවදුරටත් කැණීම් කරගෙන යද්දී පොළොව මතුපිට ඇති විහාර ගෘහයේ අනුරුවට ම සමාන විහාර මන්දිරයක් එහි භූ ගර්භයේ ද තිබූ බව දැන ගන්නට හැකි වී තිබේ. මහාචාර්ය රොබින් කනින්හැම් ප්‍රමුඛ පුරාවිද්‍යාඥ පිරිස පවසන පරිදි භූ ගර්භයෙන් මතු වූ ගොඩනැඟිල්ල ගසක් වටා ගොඩ නගන ලද්දකි. එතුළ වූ ගස නිසාවෙන් එහි පියස්සක් ඉදි කොට නො තිබූ අතර ගසට වැඩී ඉහළට අතු විහිදී යෑමට හැකි වන සේ පියස්සක් ඉදි නොකොට විවෘත ව තබන්නට ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ අදහස වී ඇත.

මෙම වෘක්ෂය වට කොට තනා තිබූ ලී සැකිල්ල නවීන තාක්ෂණයට අනූව කාබන් සමස්ථිකය යොදා පර්යේෂණයට ලක් කිරීමේ දී එහි ඉතිහාසය ක්‍රි. පූ. 550ට තරම් ඈතට දිව යන බව තහවුරු විය. එසේ නම් එම වෘක්ෂය සිදුහත් බෝසතුන් බිහි කරන මොහොතේ මහාමායා දේවිය අත්තක් අතින් අල්ලා ගත් සාල වෘක්ෂයට ම විය යුතු ය. ඉන්දියානු බෞද්ධ ඉතිහාසය සනාථ කරන, එමෙන් ම ලුම්බිණි පුදබිමේ පිහිටීම ස්ථිර කරන මෙම ප්‍රවෘත්තිය 2013ක් වූ නොවැම්බර් මස 30වෙනි දින ශ්‍රී ලංකාවේ සියලු ම රූපවාහිනී මාධ්‍ය මඟින් සජීව ව ඉදිරිපත් කළ අතර, ඊට පසු දින ඉරිදා පුවත්පත් ඔස්සේ ද පුදබිමේ ඡායාරූප සමඟින් මහජනතාවගේ දැනුවත් වීම පිණිස සියලු විස්තර ඉදිරිපත් කෙරිණි.

මෙම අසිරිමත් පුරාවිද්‍යාත්මක සොයාගැනීමක් සමඟ සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වූයේ නියත වශයෙන් ම දඹදිව නේපාලයේ ලුම්බිණි පුදබිමේ දී බවත්, එය සිදු වූ නියම වකවානුවත් නැවත වතාවක් ස්ථිර විය.

තව ද ධර්මාශෝක රජතුමා අභිෂේකයෙන් දහනවවන වසරේ දී, මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ සමඟ කරන ලද, දෙවන පංච වාර්ෂික වන්දනා ගමනේ දී, බෝසත් අවධියේ වැදගත් ස්ථාන දැකබලාගෙන ඒවා සුරක්ෂිත කිරිමට කටයුතු කළේ ය. කපිලවස්තුපුරයේත්, ලුම්බිණි පුදබිමේත් ධර්මාශෝක රජතුමා කරවන ලද ශාසනික සංග්‍රහයන් පහත පරිදි වේ.

  • ලුම්බිණි සාලවනයේ සිද්ධාර්ථ කුමරු උපත ලද තැන, අශ්ව ලාංඡනයක් සහිත කුළුණක් කරවා, ලුම්බිණිවාසී ජනතාවට ලබා දුන් බදු සහන ද එහි සඳහන් කිරීම.
  • සිදුහත් කුමරුන් මෙලොවට බිහි වී සත් පියවර තබමින් ඇවිද ගොස්, “අග්ගෝ හමස්මි ලෝකස්ස” යනුවෙන් සිහනද පැවැත්වූ තැන දෙවියන් විසින් මැවූ නෙළුම් මල් සිහි වීම පිණිස, අලුතින් පිපිණු නෙළුම් මල් හතක් තැනවී ය.
  • කුමරු උපන් තැන චෛත්‍යයක් කරවී ය.
  • කුමරු උපන් ස්ථානයේ මහාමායා දේවිය සල් අත්තක් අල්ලාගෙන සිටින ප්‍රතිමාවක් සහිත ගෘහයක් කරවී ය. (කැණීම්වල දී සොයා ගත් එහි නටඹුන් ජපන් රජය විසින් තැනූ විහාරයේ ප්‍රදර්ශනයට තබා තිබේ.)
  • උණුදියෙන් සහ ඇල්දියෙන් මව සහ කුමරු නැහැවුණ තැන ස්ථූප දෙකක් කරවී ය.
  • කුමරුට රන් සළුව පෙරවූ තැන ථූපයක් කරවීම සහ සතරවරම් දෙවිවරු කුමරු පිළිගත් තැන ථූප හතරක් කරවීම.
  • සිදුහත් කුමරා ශිල්ප දක්වා ජයගත් ස්ථානයේ ථූපයක් සහ ටැම් ලිපියක් කරවීම.
  • දේවදත්ත විසින් සිදුහත් කුමරු ශිල්ප දැක්වූ තැනට යන මහමඟ ඇත්කඳින් අවහිර කළ තැන ස්ථූපයක් කරවා ශිලා ලිපියක් සවි කිරීම.
  • යශෝධරා දේවිය විසූ මන්දිරය තිබූ තැන විහාරයක් කරවා ටැම් ලිපියක් සවි කිරීම.
  • සිදුහත් කුමරු මහාභිනික්මන පිණිස පිටත් වූ තැන, කුමරු අසකු පිට නැඟී සිටින ආකාරය දැක්වෙන ප්‍රතිමාව සහිත විහාරයක් කරවීම.
  • සිදුහත් කුමරු සතර පෙරනිමිති දුටු තැන් හතරෙහි මහල්ලෙක්, ලෙඩෙක්, මළමිනියක්, පැවිද්දෙක් යන රූප හතර අඹා ඒ තැන් හතරෙහි ප්‍රතිමාගෘහ හතරක් කරවා ශිලා ලිපි හතරක් සවි කිරීම.
  • වප්මඟුල් දින සිදුහත් කුමරු දඹ රුක මුල යහනෙහි පලක් බැඳ ධ්‍යානයට සමවැදී සිටි තැන චෛත්‍යයක් ඉදි කොට කුළුණක් සවි කිරීම.
  • විඩූඩභ රජු විසින් ශාක්‍යයන් නැසූ තැන ඔවුන් සිහිවීම පිණිස ථූප දහසක් කරවීම.
  • කපිලවස්තුවේ නිග්‍රෝධාරාමයට බටහිර පැත්තේ චෛත්‍යයක් කරවා ටැඹක් සිටුවීම.
  • සිදුහත් කුමරු විදින ලද හීය ලෝහ තහඩු සිදුරු කරගෙන ගොස් බිම වැටී උල්පතක් මතු වූ තැන සෑදුන ශරකූපය අසල ථූපයක් සහ ටැම් ලිපියක් කරවීම.
  • බෝසත් කුමරාණන් නැහැවූ ස්ථානයෙහි ථූපයක් සහ ටැම් ලිපියක් කරවීම.

කපිලවස්තු පුරයේ හා ලුම්බිණියේ තිබුණු මෙම පූජනීයස්ථාන පාහියන් හා හියුංසියැං යන චීන දේශාටකයන් සිය වාර්තාවන්ගේ දක්වා තිබූ අතර, 1895 වසරේ සිට ආචාර්ය ප්‍යුරර් විසින් කරන ලද කැණීම් මඟින් අනාවරණය කර ගත හැකි විය.

සම්බුද්ධ දේශනාවල ද අට්ඨකථාවල ද සෙල්ලිපිවල ද සඳහන් කරුණු අනුවත් පුරාවිද්‍යාත්මක සොයගැනීම් අනුවත් භාග්‍යවතුන් වහන්සේ උපත ලැබුවේ වර්තමාන නේපාල රාජ්‍යයට අයත් ලුම්බිණි සාල වනයේදී බව වැනැවින් තහවුරු වන්නේය. එමෙන්ම කපිලවස්තු පරුරය පිළිබඳව ද සත්‍ය තොරතුරු මෙහි සඳහන් ය. එසේ තිබියදී බුදුරජාණන් වහන්සේ උපන්නේ ලංකාවේ” යැයි යන බරපතල මුසාවාදය පවසන පතුරුවන පිරිස ලකංාවේ තෙල්දෙණිය අසල බඹරගල, සිදුහත් කුමරු උපන් ස්ථානය යැයි පවසති. එමෙන්ම දෙව්දහ නුවර පිහිටියේ අද කුණ්ඩසාලය හා ගන්නොරුව ප්‍රදේශයේ යැයි පවසමින් සතරවන සිල්පදය යළි යළිත් බිඳිමින් පව් රැස්කර ගනිති. අන් අයව ද එම පවෙහි සමාදන් කරවති. එම මිථ්‍යාමතධාරීන්ට අනුව කපිලවස්තු පුරය පිහිා තිබී ඇත්තේ දිඹුලාගලට පහළින් මාදුරු ඔයේ ජලයෙන් කෙත්වතු අස්වැද්දූ ප්‍රදේශයක ය. ඔවුන් ම මුසාවාදීව පවසන්නේ මහවැලි ගඟ යනු රෝහිණී නදිය බවයි. කිසිදු සත්‍යය පදනමක් හෝ පිළිගත් සාධයක් නොමැතිව එම මිථ්‍යාමතධාරීන් පවසන මේ අශාසනික වූ, අසත්‍ය වූ, පදනම් විරහිත ප්‍රකාශයන් ගැන සැදැහැති බුද්ධිමත් ජනතාව කිසිසේත්ම මුළ නොවිය යුතුය. සැදැහැ සිතින් දඹදිව පුණ්‍යභූමි වැඳ පුදාගෙන, පහන් සිත් ඇතිකරගෙන, උතුම් පින් රැස්කරගත යුතුය. මිථ්‍යාමතධාරීන්ට හොඳ සිහිකැඳවීමක් හිටපු පුරාවිදයා සහකාර අධ්‍යක්ෂ සිරිසමන් විජේතුංග මහතා කර තිබෙනු අපට දැකගන්නට හැකි විය. ඒ මෙසේය,

“මෙපමණ පුරාවිදයාත්මක හා ඓතිහාසික සාක්ෂි තිබියදී සිදුහත් කුමරුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් මහජනතාව මුළාකිරීමට ඉඩදිය යුතු නොවේ. බුදුදහම නිසිලෙසින් අනුගමනය කරන්නේ නම්, මෙවන් මිථ්‍යා මත පලකරන්නනන් කිසිසේත්ම මේ ව්‍යාජ කථා පිළිගන්නේ නැත. උදර පෝෂණය සඳහා කරන මෙවන් මිථ්‍ය මත පතුරන්නන්ට එරෙහිව කටයුතු කිරීමට කාලය බැවින් මේ පිළිබඳ වගකිව යුත්තන්ගේ අවධානය යොමු කරවමු.” කියා ය.

එම නිසා සැදැහැවතුනි, ඔබ භාග්‍යවතුන් වහන්සේගේ සැබෑ බුද්ධභූමි පහන් සිතින් වැඳපුදා ගන්න. අන් අයට ද සත්‍යය පහදා දෙන්න. මිථ්‍යාමතවලට නොරැවටී අන් අයව ද මිථ්‍යාමතධාරීන්ගෙන් ප්‍රචාරවලට හසුවීම වැළක්වන්න. එම උතුම් පින ඔබට මෙලොව පරලොව යහපත පිණිස ද ගෞතම සසුනේ චිර පැවැත්ම පිණිස ද ඒකාන්තයෙන් හේතු වනු ඇත.

පූජ්‍ය යටිබේරියේ සෝමඤාණ ස්වාමීන් වහන්සේ

උපුටා ගැනීම – mahamevnawa.lk වෙබ් අඩවියෙනි.