කෝසල රාජධානිය සහ සැවැත්නුවර.

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේද? ( 7 වන කොටස )

අපගේ ශාස්තෘ වූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ 45 වසරක් වූ සම්බුදු දිවියෙන් 25 වසරක් ම වැඩ වාසය කළේ සාවත්ථි හෙවත් සැවැත්නුවර යි. එහි දී වස් කාල 19ක් අනේපිඬු සිටාණන් කරවූ ජේතවනාරාමයේ ද වස්කාල 06ක් විශාඛා උපාසිකාව පිදූ පූර්වාරාමය හෙවත් මිගාරමාතු ප්‍රාසාදයේ ද වස් වසා වැඩ වාසය කොට තිබේ. ශ්‍රාවස්ථි හෙවත් සැවැත්නුවර බුද්ධකාලීන දඹදිව සොළොස් මහා ජනපදයන් අතරින් ප්‍රබල රාජ්‍යයක් වූ කෝසල ජනපදයේ අගනුවර ය. එහි එකල පාලකයා වූයේ ප්‍රසේනජිත් කොසොල් රජතුමා ය.

මෙම කෝසල ජනපදය, මගධ ජනපදයට වයඹින් ද දකුණින් ගංගා නම් නදිය ද නැගෙනහිරින් ගන්ඩන් හෙවත් නාරායනී නදිය ද උතුරු දෙසින් හිමාල කඳු වැටිය ද පිහිටන සේ සීමා මායිම් සලකුණු වී තිබිණි. ධර්මපට්ඨාන යන අපර නාමයකින් ද හැඳින්වූ සැවැත්නුවර පිහිටියේ කෝසල රාජධානියේ උතුරු පෙදෙසේ ය. සාවත්ථි නම් ඍෂිවරයාගේ වාසස්ථානය වූ හෙයින් ශ්‍රාවස්ථි නම් වී යැයි ද ශ්‍රාවගේ පුත් යුවන්නාශ්ගේ මුණුපුරු ශාවස්ත විසින් පිහිටුවන ලද හෙයින් ශාවස්ති නම් වී යැයි ද හරිවංශ මහාභාරතාදී ග්‍රන්ථවල සඳහන් වේ. මිනිසුන්ගේ උපභෝගය පරිභෝගය සඳහා අවශ්‍ය සියල්ල මෙහි තිබූ බැවින් සාවත්ථි නම් වී යැයි අටුවාචාරීන් වහන්සේලා පවසති. මිනිසුන් එක්රැස්ව කුමක් ඇද්දැයි විමසූ කල්හි “සියල්ල ඇත” (සබ්බං අත්ථි) යන වදන් පැවසූ හෙයින් සාවත්ථි නම් වී යැයි මජ්ඣිම නිකාය අට්ඨකතාවේ සඳහන් වේ.

යොදුන් තුන් සියයක් (කිලෝමීටර් 3000ක් පමණ) විශාල වූ පුරාණ සැවැත්නුවරට අයත් ගම් අසූ දහසකි. ජනගහනය කෝටි අටකි. පවුල් පනස් දහසක් එහි වාසය කළහ. අයෝධ්‍යාවෙන් සැතපුම් පනහක් පමණ උතුරින් රප්ති නදියේ දකුණු ඉවුරෙහි වූ මෙකල සහේත්-මහේත් වශයෙන් හඳුන්වන පෙදෙස පුරාණ සාවත්ථිය ලෙස පුරා විද්‍යාඥයන් තහවුරු කරගෙන ඇත. වර්තමාන ඉන්දියාවේ ගෝණ්ඩා හා බහරායිච් දිස්ත්‍රික්ක සීමාවේ පිහිටි සහේත් මහේත් වශයෙන් හඳුනාගෙන ඇති ශ්‍රාවස්ථිය පිළිබඳ ජේතවනාරාම ශිලා ලේඛන කිහිපයකින් ද තහවුරු වී ඇත. වත්මන් සහේත්, මහේත් කොටස් දෙකකින් සංයුත්ත ප්‍රදේශ දෙකකි. වඩා විශාල වූ “මහේත්” අක්කර හාරසියයක් පමණ විශාල වූ ප්‍රධාන නගරය වශයෙන් හඳුනාගෙන ඇත. මෙයට සැතපුම් කාලක් පමණ ඈතින් නිරිත දිගින් පිහිටි අක්කර තිස් දෙකක් පමණ වූ සහේත් ජේතවනාරාමය පිහිටි භූමිය යි.

වස් කාල විසිපහක් භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩ සිටීම නිසා පරම පූජ්‍ය භාවයට පත් වූ විහාර භූමිය විහාර, ස්ථූප, සංඝාරාම ආදියෙන් සමලංකෘතව පැවතුණි. ව්‍ය. ව. හතරවන සියවසේ ශ්‍රාවස්ථියට පැමිණි පාහියන් තෙරුන් තමන් දුටු ප්‍රතිමා ස්ථූප හා සංඝාරාම පිළිබඳ ව ද හත්වන සියවසේ පැමිණි හියුංසියෑං තෙරුන් දුටු නටබුන් වූ විහාරාරාම, ස්ථූප, සංඝාරාම පිළිබඳ ව ද දේශාටන වාර්තාවේ සඳහන් කර ඇත. පුරාවිද්‍යාත්මක කැණීම්වලින් ක්‍රි. පූ. 3 වන සියවසට අයත් ස්ථූපයකින් බුදුරජාණන් වහන්සේගේ ම යැයි තහවුරු කරන ලද ධාතූන් වහන්සේලා සොයාගත් අතර ව්‍ය. ව. පළමු වන සියවසේ ඉදිකරන ලද බුදුරජාණන් වහන්සේගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් ද හමුවී ඇත. තව ද ධර්මාශෝක අධිරාජයාගේ සමයේ සිට දොළොස්වන සියවස තෙක් කරන ලද ඉදිකිරීම් රාශියක් පුරාවිද්‍යාත්මක කැණීම්වල දී අනාවරණය කරගෙන ඇත‍.

සැවැත්නුවර ජේතවනාරාම පින්බිම

බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයෙහි ශ්‍රාවස්ථිය බුදු සසුනේ කේන්ද්‍රස්ථානය වූයේ සුදත්ත හෙවත් අනේපිඬු සිටුතුමා ජේතවනාරාමය කරවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට පූජා කිරීමෙන් අනතුරුව ය. මෙම භූමිය කොසොල් රජුගේ පුත්‍රයෙකු වූ ජේත නම් කුමාරයෙකුට අයත්ව තිබූ උද්‍යානයකි. වෙළඳාම් කටයුත්තකට රජගහ නුවරට ගිය ගමනකදී සම්බුදුරජුන් සරණ ගොස් සෝතාපන්න බවට පත් වූ අනේපිඬු සිටුතුමා මෙම භූමිය දහඅට කෝටියක් රන් කහවණු අතුරා මිල දී ගන්නා ලදී. අනතුරුව 18 කෝටියක් වැය කොට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා විහාර, පිරිවෙන්, උපස්ථානශාලා, ගිනිහල් ගෙවල්, සක්මන් මළු, ළිං පොකුණු, මණ්ඩප, වැසිකිළි කැසිකිළි ආදී සියලු අංග සහිතව ආරාමයක් ඉදි කළේ ය. ජේත කුමරුගේ ඉල්ලීම පරිදි එය ජේතවනාරාමය ලෙස නම් කළ අතර විහාර පූජාවේ දී ද අනේපිඬු සිටුතුමා 18 කෝටියක් වියදම් කොට මහත්,වූ උත්සවශ්‍රීයෙන් ආරාම පූජාව සිදු කළේ ය.

බුදුරජාණන් වහන්සේ විසින් බොහෝ සූත්‍ර දේශනාවන් දේශනා කිරීම ද විනය ශික්ෂාපද පැනවීම ද සිදු කළේ මෙම ජේතවනාරාමයේ,දී ම ය. මජ්ඣිම නිකායේ සඳහන් සූත්‍ර දේශනා 152න් හැටපහක් ම මෙහි දී කළ සදහම් දේශනාවන් ය. සංයුත්ත නිකායේ සහ අංගුත්තර නිකායේ ඇතුළත් දහස් ගණනක් වූ සූත්‍ර දේශනාවන්ගෙන් හතරෙන් තුනක් පමණ ම ජේතවනාරාමයේ දී කළ දේශනා ය. එමෙන් ම,

  • ප්‍රිය විප්‍රයෝගයෙන් සිහිවිකල් ව සිටි පටාචාරාව සහ කිසාගෝතමිය දහම් අසා සුවපත්ව සසුන් දායාදය ලැබීම.
  • දරුණු මිනීමරුවෙකු ව සිටි අංගුලිමාලයන් දමනය කරවා සසුන් දායාදය ලබා දීම.
  • සුනීත, සෝපාක අසරණ දරුවන් හට සසුන් දායාදය ලබා දීම.
  • චූලපන්ථක තෙරුන් අරහත්වයට පත් වීම.
  • බාහිය දාරුචීරිය අරහත්වයට පත් වීම.
  • සුභා තෙරණියගේ ගැලවුණු ඇස සුවපත් වීම.
  • පූතිගත්තතිස්ස තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ සහ ආනන්ද තෙරුන් ගිලන් උපස්ථානය කිරීම.

ආදී සුවිශේෂ ශාසනික සිදුවීම් රාශියක් සිදු වී ඇත්තේ ජේතවනාරාමය හා සැවැත්නුවර ඇසුරු කරගෙන ය.

ගන්ධ කුටිය

බුදුරජාණන් වහන්සේ වැඩ විසූ විහාරය ගන්ධ කුටිය හෙවත් ගඳකිළිය යි. අනේපිඬු සිටුතුමා විසින් කුටියේ වහළ මුළුමනින් ම සුදු හඳුන් ලීයෙන් කරවා තිබූ හෙයින් ද දෙවියන් විසින් නිරතුරු දිව්‍ය සුවඳින් සුවඳවත් කරවූ හෙයින් ද මෙයට ගන්ධ කුටිය යැයි ව්‍යවහාර විය. මෙය දේව විමානයක් හා සමානව සුන්දරව තිබුණු බව සංයුත්ත නිකාය අට්ඨ කථාවේ සඳහන් වේ. එහි බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ඇතුල් කුටිය දිග අඩි 8ක් සහ පළළ අඩි 7ක් පමණ වන අතර අදට ද එහි පදනම දකින්නට තිබේ. ගන්ධ කුටියට පිටතින් පිළක් වූ අතර එයට මඳක් ඉහළින් දොරටුව පිහිටා තිබුණි. මෙයට නගිනු පිණිස පඩිපෙළක් තිබුණි. පිළට පහළින් එළිමහන් පිටියක් වූ අතර මෙහි පිළ ගන්ධකුටි පමුඛ වශයෙන් හැඳින්වෙයි. දහවල් දන් වැළඳීමෙන් පසු ශාස්තෘන් වහන්සේ භික්ෂු සංඝයාට ධර්මය දේශනා කරන්නේ මෙම ස්ථානයේ සිටයි. දානයෙන් පසුව බුදුරදුන් මෙම පිළට වැඩිය පසු සියලු භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරති. ඉන් පසුව බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියට වැඩම කරන සේක. ගන්ධ කුටියේ පිළට පහළින් ඇති කොටසේ ගන්ධ කුටි පිරිවෙන නමින් ශාලාවක් විය. මෙබඳු පිරිවෙන් 3ක් ජේතවනාරාමයේ පිහිටා තිබූ අතර ඒවා දම්සභා මණ්ඩප ලෙස සැලකේ. ගන්ධ කුටිය ඉදිරිපිට බුදුරදුන් පැන් වැළඳූ ළිඳ පිහිටා තිබුණි.

පූර්වාරාමය හෙවත් මිගාරමාතු ප්‍රාසාදය

සැවැත්නුවර නැගෙනහිර දොරටුවට පිටතින් විසාඛා උපාසිකාව භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය උදෙසා ගොඩනංවන ලද සංඝාරාමය, පූර්වාරාමය හෙවත් මිගාර මාතු ප්‍රාසාදය යි. විශාඛා උපාසිකාව, තමන්ගේ මේල පළඳනාව නවකෝටි එක් ලක්ෂයකට මිල කොට එම මුදල් යොදවා කරවූ මෙම දෙමහල් සංඝාරාමය කුටි දහසකින් සමන්විත විය. බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටු මැදුරෙන් දන් වළඳා, නොයෙක් වර පූර්වාරාමයට වැඩ විවේක සුවයෙන් වැඩ සිටියහ. අග්ගඤ්ඤ, අරියපරියේසන, පාසාදකම්පන ආදී සූත්‍ර දේශනා වදාළේ ද ඇතැම් විටෙක කොසොල් රජතුමා සමඟ දහම් පිළිසඳරේ යෙදුණේ ද පූර්වාරාමයේ දී ය. බුදුරජාණන් වහන්සේ හය වරක් වස් වසා වැඩ සිටි පූර්වාරාමය ද ශාසනික අතින් වැදගත් පුණ්‍ය භූමියකි.

අන්ධ වනය

අන්ධ වනය පිහිටියේ සැවැත්නුවර ජේතවනාරාමයට වයඹ දිගිනි. මෙම වනය කාශ්‍යප බුද්ධ කාලයේ ද මේ නමින් ම හැඳින්විණි. ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙහි මෙහි විවේකය කැමති අය උදෙසා කූටාගාර ශාලාවක් තනවා තිබුණි. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා සමථ විදර්ශනා වැඩීම පිණිස භික්ෂු භික්ෂුණීහු බොහෝ විට මෙම අන්ධ වනයට වැඩම කළහ.

දම්සභා මණ්ඩපය

මෙය තිබෙන්නේ ගන්ධ කුටිය සමීපයේ ම ය. දෙව්රම් වෙහෙරට පැමිණි පිරිසට සහ දෙව්රම් වෙහෙරේ වැඩ විසූ සඟ පිරිසට බුදුරජුන් දහම් දෙසූ ස්ථානය මෙය යි. මෙහි උස් පීඨිකාව බුදුරජුන් දම් දෙසුමට වැඩ සිටි ස්ථානය යි. ඒ අසල ම ඇති සමචතුරස්‍ර භූමිභාගය පිරිස ධර්ම ශ්‍රවණය කළ භූමිය යි.

සක්මන් මළුව

දෙව්රම් වෙහෙරේදී බුදුරජුන් බොහෝ විට සක්මන් කරමින් වැඩ සිටි ස්ථානය මෙය යි. සම්බුදු සිරිපා පහස ලද මේ භූමියේ පසුකාලීනව කරවූ පූජනීය ඉදිකිරීමක නටබුන් අද එහි දක්නට ඇත.

ආනන්ද බෝධිය

මෙම බෝධීන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමය ඉදිරිපිට රෝපණය කරවන ලද්දේ භාග්‍යවතුන් වහන්සේ ජීවමාන අවදියේ ම ය. දෙව්රම් වෙහෙරේ වැඩ විසූ භාග්‍යවතුන් වහන්සේ වස් පවාරණය කොට භික්ෂු සංඝයා සමඟ චාරිකාවේ වැඩි සේක. ඇතැම් මනුෂ්‍යයෝ බුදුරජුන් බැහැ දැකීම පිණිස දුර බැහැර ගෙවාගෙන මල්, සුවඳ ද්‍රව්‍ය හා පිරිකර රැගෙන දිනපතාම පැමිණෙන්නට වූහ. එහෙත් බුදුරජුන් විහාරයේ නැති බැවින් ඔවුහු මහත් දුකට පත්ව රැගෙන ආ පූජා වස්තූන් පිදීමට තැනක් සොයන්නට විය. දෙව්රම් වෙහෙරේ එබඳු තැනක් නොතිබුණු හෙයින් ඔවුන් එම පූජා වස්තූන් ගන්ධකුටියේ ඉදිරිපස තබා ගියාහු ය.

මෙය දුටු අනේපිඬු සිටුවරයා ආනන්ද තෙරුන් හට මෙකරුණ සැල කළේ ය. එවිට ආනන්දයන් වහන්සේ බුදුරජුන් සමීපයේ මෙය පවසා සිටියේ ය.

“ස්වාමීනී, තථාගතයන් වහන්සේ නොමැති අවස්ථාවක, බුදුරජුන්ට පිදෙනා පූජාවන් පිදීමට සුදුසු චෛත්‍යයෝ තිබෙත්දැ”යි විමසූ විට, භාග්‍යවතුන් වහන්සේ මෙසේ පිළිතුරු වදාළ සේක. “ආනන්දයෙනි, ශාරීරික, පාරිභෝගික හා උද්දේසික ලෙස චෛත්‍යයෝ තුනකි. ශාරීරික චෛත්‍ය යනු සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු සම්බුද්ධ ශ්‍රී දේහයේ ධාතු නිධන් කරවා කරවන චෛත්‍යයන් ය. ආනන්දයෙනි, පාරිභෝගික චෛත්‍යයක් වන බෝධීන් වහන්සේ, බුදුරජුන් ජීවමාන කල ම පිදීමට සුදුසු ය.”

මෙය ඇසූ ආනන්දයන් වහන්සේ බුදුරජුන්ගෙන් අවසර ගෙන ගයාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බීජයක් ගෙන්වා ගැනීමට මොග්ගල්ලාන තෙරුන් පිටත් කර හැරී ය. මොග්ගල්ලානයන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් බීජයක් ගෙන එය කොසොල් මහරජුට භාර දුනි. එය රජු විසින් අනේපිඬු සිටුවරයාට දුන් අතර එතුමා දෙව්රම් වෙහෙර ඉදිරිපිට රෝපණය කළේ ය. අසිරිමත් බුද්ධානුභාවයෙන් එකෙණෙහි ම අතුපතර විහිදී ගිය මහා බෝධි වෘක්ෂයක් බවට පත් විය. භාග්‍යවතුන් වහන්සේ එදින රැය පහන් වන තුරු බෝධිය අසල සමවත් සුවයෙන් වැඩ හිඳ එහි පූජනීයත්වය වැඩි කළ සේක.

ආනන්ද ස්වාමීන් වහන්සේ මූලික වීමෙන් රෝපණයවූ නිසා මෙය ආනන්ද බෝධිය නම් වී යැයි කියනු ලැබේ. එමෙන් ම බුදුරජුන් දෙව්රම් වෙහෙර නොසිටි අවස්ථාවල සැදැහැවතුන් මේ බෝධීන් වහන්සේ දැක දිවමන් බුදුරජුන් දුටුවා සේ ආනන්දයට පත් වූ බැවින් ද ආනන්ද බෝධිය නම් වී යැයි කියනු ලැබේ. කෙසේ වුවද අද දක්වාම 2500 වසරකට අධික කලක් පමණ පුද සත්කාර ලබමින් මේ පින්බිමේ උතුම් ආනන්ද බෝධීන් වහන්සේ නිරුපද්‍රිතව වැඩ සිටීම ආශ්චර්යයකි.

ජේතවන පොකුණ

වරක් කොසොල් රටට වර්ෂාව නොමැති වී යාම හේතුවෙන් වැව්, පොකුණු ආදිය සිඳී ගොස් රටවාසීන් මහත් දුෂ්කරතාවයකට මුහුණ දුන් අවස්ථාවක අප බුදුරජාණන් වහන්සේ සියලු සතුනට අනුකම්පාවෙන් යුතුව වර්ෂාව වැසීමට අධිෂ්ඨාන කළ සේක.

එහි දී මහා වර්ෂාවක් ඇද හැලී ගිය අතර බුදුරජාණන් වහන්සේත්, භික්ෂු සංඝයාත් වර්ෂා දියෙන් පිරී ගිය මෙම පොකුණේ වර්ෂාවේ ම පැන් පහසු වූහ. මෙහි දී භික්ෂූන් විසින් පැන් පහසුවේ දී නානකඩය පාවිච්චි කළ යුතු බවට සිල්පදය පැනවීම ද සිදු විය.

රාජකාරාමය

පසේනදී කොසොල් රජතුමා විසින් බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා කරවන ලද මෙම සුවිසල් විහාරයේ නටඹුන් ජේතවන විහාර සංකීර්ණය පසෙකින් තිබේ. බුදුරජුන් දහම් දෙසද්දී අන්‍යාගමික තීර්ථකයන්ගේ ආරාම මිනිසුන්ගෙන් හිස් වන්නටත්, ලාභ සත්කාර ආදිය පිරිහී යන්නටත් විය. මෙය භූමි ලාභයකියි සිතූ තීර්ථකයෝ පසේනදී කොසොල් රජුට රන් කහවණු ලක්ෂයක අල්ලසක් දී සැවැත්නුවරට යාබදව අන්‍යාගමික ආරාමයක් කරවන්නට පටන් ගත්තෝය.

මෙය අනාගතයට මහත් අර්බුදයක් වන බව දුටු භාග්‍යවතුන් වහන්සේ මෙයින් අනවශ්‍ය ගැටුම් හටගන්නා බව රජු හට තේරුම් කරවීය. ඉන් පසු රජු විසින් එම ස්ථානයේ ම බුද්ධ ප්‍රමුඛ මහා සඟරුවන උදෙසා රාජකාරාමය කරවී‍ය.

සැරියුත් මහරහතන් වහන්සේගේ ස්ථූපය

ගෞතම බුදු සසුනේ අග්‍රශ්‍රාවක ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ බොහෝ කලක් ජේතවනාරාමයේ වැඩවාසය කළ සේක. උන්වහන්සේ ඒ අවස්ථාවල දී භික්ෂූන් හට දහම් කතාවෙන් අනුග්‍රහ කළ සේක. සාරිපුත්තයන් වහන්සේගේ ධාතූන් වහන්සේලා නිධන් කොට තනවා තිබෙන ස්ථූපයක නටබුන් මෙහි දී දැකගත හැක.

එමෙන්ම සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, සීවලී මහරහතන් වහන්සේ, අංගුලිමාල මහරහතන් වහන්සේ හා රාහුල මහරහතන් වහන්සේ ආදී රහතන් වහන්සේලා වැඩ සිටි කුටි ද නටබුන් අතරේ දැකගත හැකි ය.

අනාථපිණ්ඩික සිටු මාළිගය

ජේතවනාරාම භූමියේ සිට කිලෝමීටරයක් පමණ දුරින් අනේපිඬු සිටු මාළිගයේ නටබුන් හමු වේ. ගෞතම බුදු සසුනේ අග්‍ර දායකයා වූ අනේපිඬු සිටුවරයාගේ සැබෑ නම සුදත්ත ය. පසුව දහම් ඇසීමෙන් සෝතාපන්න ඵලයට පත් සිටුවරයා බොහෝ ධනය බුදු සසුන වෙනුවෙන් නිර්ලෝභීව අත්හළේ ය. එහෙයින්ම අනේපිඬු යන නාමය පටබැඳිණි. මෙම සිටු මාළිගයේ දිනපතා භික්ෂූන් දෙදහසක් උදෙසා දන් වැටක් පවත්වාගෙන ගිය බව සූත්‍ර දේශනා තුළ සඳහන් වේ.

අංගුලිමාල චෛත්‍යය

අනේපිඬු සිටු මාළිගය අසල මෙය පිහිටා ඇත. දරුණු සොරෙක් සහ මිනීමරුවෙකු වූ අංගුලිමාල සදහම් අසා බුදු සසුනේ පැවිදි උපසම්පදාවට පත් විය. දිනක් පිඬු පිණිස වඩිනා උන්වහන්සේට දරු ප්‍රසූතියක දී දරුගැබ සිරවී වේදනාවෙන් සිටින ස්ත්‍රියක් දැක මහත් අනුකම්පාවක් හටගත්තේය.

බුදුරජුන්ගේ අවවාද ලැබූ අංගුලිමාල තෙරුන් වහන්සේ “නැගණිය, මම ආර්ය ජාතියෙහි යම් දිනක උපන්නෙම් ද එදා පටන් දැන දැන කිසිදු ප්‍රාණියෙකුගේ දිවි තොර කර නැත්තෙමි. මේ සත්‍යානුභාවයෙන් ඔබ සුවපත් වේවා…! ඔබේ දරුවාගේ ප්‍රසූතිය සුව සේ වේවා…!” යි සත්‍ය ක්‍රියා කරන විට ම අසිරිමත් ලෙස සුවසේ දරු ප්‍රසූතිය සිදු විය. එම ස්ථානයේ ඉදිකරන ලද ස්ථූපය අංගුලිමාල චෛත්‍යය ලෙස හඳුන්වයි. අද එහි නටබුන් දක්නට ඇත.

ගණ්ඩම්බ චෛත්‍යය

ජේතවනාරාමයට කිලෝමීටරයක් පමණ දුරින් ප්‍රධාන මාර්ගය අසල මෙය පිහිටා ඇත. සැවැත්නුවර මහසිටුතුමා විසින් ඉතා උස කණුවක් මත සඳුන් පාත්‍රයක් තබා ඍද්ධිමත් රහතුන් සිටී නම් මෙය අහසින් පැමිණ ගනිත්වා යි අභියෝග කළේ ය. රහතුන් යැයි කියාගෙන සිටි අන්‍යාගමික පිරිස කිසිවක් කරකියා ගත නොහැකිව සිටිය දී පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ අහසින් වැඩ මහා පෙළහර පා සඳුන් පාත්‍රය ගත් අතර මෙකරුණට ගර්හා කළ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ලාභ සත්කාර පිණිස ගිහි පිරිසට ඍද්ධි ප්‍රාතිහාර්ය පෑම නොකළ යුතු බවට ශික්ෂාපදයක් පැනවූ සේක.

මෙය ඇසූ අන්‍ය තීර්ථකයෝ “දැන් ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයන්ගේ තටු සිඳිලා” යැයි ගරහන්නට වූහ. එකල්හී බුදුරජුන් එයට පිළිතුරු ලෙස යමක මහා පෙළහර සහිතව අසිරිමත් පෙළහර දැක්වීමක් සිදු කළ ස්ථානය මෙය යි. ගණ්ඩ නම් උයන්පල්ලා පූජා කළ අඹ ගෙඩිය වළඳා එහි ඇටය මේ ස්ථානයේ රෝපණය කරවූ බුදුරජාණෝ පාත්‍රය සෝදා ඒ මතට පැන් වත් කළ විගස ම සුවිසල් අඹ ගසක් ඇති විය. එය ගණ්ඩම්බ රුක යි. ඒ මූලයේ පෙළහර පෑ අප බුදුරජාණන් වහන්සේ හත් වෙනි වස එළැඹීමට තව්තිසාවට වැඩම කළ සේක.

මේ ස්ථානයේ පසුකාලීනව ස්ථූපයක් ඉදිකරවා තිබේ. එය ධර්මාශෝක රජ දවස කරවූවකි. එනමුත් අද එහි ඇත්තේ විනාශ වී ගිය ස්ථූපය තිබූ තැන පස් ගොඩක් පමණි.

මීට අමතරව සැවැත්නුවර දී නව ජේතවන විහාරය (ශ්‍රී ලංකාරාමය), දේවදත්තයන් හා චිංචිමානවිකාව පොළොව පැලී නිරයට ගිය ස්ථාන දැකබලා ගත හැකි ය.

මෙතරම් ලේඛනගත හා ඉතිහාසගත සාක්ෂි තිබියදී, ආනන්ද බෝධිය වැනි ජීවමාන සාධක පවා තිබියදී, සැවැත්නුවර යනු ලංකාවේ රිටිගල යැයි පවසන අමූලික ආර්යෝපවාද මුසාවාදයට නොරැවටෙත්වා! සැබෑ සම්බුදු පුදබිම් සැදැහැයෙන් වන්දනාමාන කොට පින් රැස්කර ගනිත්වා!

පූජ්‍ය යටිබේරියේ සෝමඤාණ ස්වාමීන් වහන්සේ

උපුටා ගැනීම – mahamevnawa.lk වෙබ් අඩවියෙනි.