පරමාර්ථ ධර්ම ලිපි අංක 02:

චිත්තය

උපුටා ගන්නා ලද්දේ
මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ
විසින් සම්පාදිත “අභිධර්ම මාර්ගය” බෞද්ධ ග්‍රන්ථයෙනි.

 

චිත්තය යනු දැනීම ය. සිතය කියනුයේ ද එයට ය.

චිත්තය (සිත) බෙදෙන සැටි:

චිත්තය – චෛතසිකය – රූපය – නිර්වාණය යන පරමාර්ථ ධර්ම සතරින් පළමු කොට උගත යුත්තේ සිත ගැන ය.

සිත සාමාන්‍යයෙන් එකකි (01). එහෙත් එය එකක් වශයෙන් ගෙන අභිධර්මය ඉගැන්විය නොහැකිය. සිතේ සැටි උගැන්විය හැකි වනු පිණිස මේ ධර්මයෙහි එක් ක්‍ර‍මයකින් එය (89) අසූනවයකට ද, තවත් ක්‍ර‍මයකින් (121) එකසිය විසි එකකට ද බෙදා තිබේ. සිත බෙදෙන්නේ භූමි ජාති යනාදීන් ගෙනි. 

සාමාන්‍යයෙන් එකක් (01) වූ සිත 

  1. කාමාවචර සිත ය, 
  2. රූපාවචර සිත ය, 
  3. අරූපාවචර සිත ය, 
  4. ලෝකෝත්තර සිත ය කියා භූමීන් ගේ වශයෙන් සතරකට (04) බෙදනු ලැබේ.
  • අපාය සතර ය, මිනිස් ලොව ය, දිව්‍යලෝක සයය යන මේ භූමි එකොළොසට කාම භූමි යයි කියනු ලැබේ. ඒ එකොළොස් වැදෑරුම් කාම භූමියෙහි බොහෝ සෙයින් ඉපදීම නිසා කාම භූමියට අයත් වන සිත කාමාවචර නම් වේ.
  • පසළොස් වැදෑරුම් රූප භූමියෙහි බොහෝ සෙයින් ඉපදීම නිසා රූප භූමියට අයත් සිත රූපාවචර නම් වේ.
  • අරූප භූමි සතරෙහි බොහෝ සෙයින් ඉපදීම නිසා අරූප භූමියට අයත් වන සිත අරූපාවචර නම් වේ.
  • ලෝකෝත්තර භූමියක් ගැන කියතත් ලෝකෝත්තර භූමි යයි කියා තැනක් නැත. මේ චිත්ත විභාගයේ දී ලෝකෝත්තර ධර්මයන්ට ම ලෝකෝත්තර භූමිය යි කියනු ලැබේ. කියන ලද භූමි තුනට අයත් නැති ලෝකෝත්තර භූමියට අයත් සිත ලෝකෝත්තර නම් වේ.

ඇතැම් කාමාවචර සිත් රූපාරූප භූමීන්හි ද ඇති වේ. එසේ ම ඇතැම් රූපාවචර අරූපාවචර සිත් කාමාවචර භූමියෙහි ද ඇති වේ. මේ සිත්වලට කාමාවචරාදි නම් දී තිබෙන්නේ බොහෝ සෙයින් ඒ ඒ භූමිවල ඇතිවීම සලකාගෙන ය. කාමාවචර සිතක් රූපාරූප භූමිවල ඇති වන කල්හි ද එයට කාමාවචර යන නාමය ම කියනු ලැබේ. රූපාවචර අරූපාවචර සිත් කාම භූමියෙහි ඇති වන කල්හි ද ඒවාට රූපාවචර අරූපාවචර යන නම් කියනු ලැබේ. ලෝකෝත්තර සිත් ඇති වන්නේ ද කාම රූප අරූප යන භූමි තුනෙහි ම ය. එහෙත් ඒ සිත් ඒ භූමිවලට අයත් නො වන බැවින් ඒවාට ලෝකෝත්තර යන නාමය ම ව්‍යවහාර කරනු ලැබේ.

කාමාවචර සිත යන්නෙහි තේරුම, බොහෝ සෙයින් කාම ලෝකයෙහි උපදනා සිතය යනුයි.

රූපාවචර සිත යන්නෙහි තේරුම, බොහෝ සෙයින් රූප ලෝකයෙහි උපදනා සිතය යනුයි.

අරූපාවචර සිත යන්නෙහි තේරුම, බොහෝ සෙයින් අරූප ලෝකයෙහි උපදනා සිතය යනුයි.

ලෝකෝත්තර සිත යන්නෙහි තේරුම, ලෝකය ඉක්මවන්නා වූ ද, ලෝකය ඉක්ම සිටියා වූ ද සිතය යනුයි.

කාමාවචචරාදි සිත් තවත් ක්‍ර‍මවලින් බෙදනු ලැබේ. එසේ බෙදූ කල්හි

  1. කාමාවචර සිත් (54) සිවුපනසක් වේ.
  2. රූපාවචර සිත් (15) පසළොසෙක් වේ.
  3. අරූපාවචර සිත් (12) දොළොසෙක් වේ.
  4. ලෝකෝත්තර සිත් කෙටි ක්‍ර‍මයෙන් (8) අටක් ද, විස්තාර ක්‍ර‍මයෙන් (40) සතළිසක් ද වේ.

සියල්ල එකතු කළ කල්හි කෙටි ක්‍ර‍මයෙන් (89) අසූනවයක් වේ. විස්තාර ක්‍ර‍මයෙන් (121) එකසිය විසි එකක් වේ.

කාමාවචචරාදි සිත් බෙදූ කල්හි

  1. කාමාවචර සිත් (54) සිවුපනසක් වේ.
  2. රූපාවචර සිත් (15) පසළොසෙක් වේ.
  3. අරූපාවචර සිත් (12) දොළොසෙක් වේ.
  4. ලෝකෝත්තර සිත් කෙටි ක්‍ර‍මයෙන් (8) අටක් ද, විස්තාර ක්‍ර‍මයෙන් (40) සතළිසක් ද වේ.

සියල්ල එකතු කළ කල්හි කෙටි ක්‍ර‍මයෙන් (89) අසූනවයක් වේ.
විස්තාර ක්‍ර‍මයෙන් (121) එකසිය විසි එකක් වේ.

මෙම ලිපිය පිළියෙල කළේ අන්තර්ජාලය ඇසුරෙනි. 

අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම අන්තර්ගත කරුණු හා ඡායාරූප හුදෙක්
ධර්ම දානයක් ලෙස ඉදිරි ඉදිරිපත් කරන ලදී.

මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද, එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන්, ප්‍රථමයෙන් මෙම ලිපිය සහ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පින්වත් ස්වාමීන් වහන්සේලාට, පින්වත් මහත්ම මහත්මීන් වෙතට, එසේම මෙම ලිපිය ඔබ වෙත පිරිනමන මා හට ද, මෙසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.

මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!

සාදු… සාදු… සාදු…

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org

Scroll to Top