දස අකැප වස්තුව

Dasa Akapa Wasthuwa

වජ්ජිපුත්තක භික්ෂූන් විසින් ඉදිරිපත් කළ
දස අකැප වස්තුව

(මහාවංශයේ දෙවන ධර්ම සංගායනාව නම් පරිච්ඡේදය ඇසුරිනි)

  1. සිය පියාණන් වූ බිම්බිසාර මහරජු මරවා මගධය රජකළ අජාසත් රජු සෙයින් ම ඒ අජාසත් රජුගේ පුත්‍රයා වූ උදායිභද්‍ර කුමාරයාත් සිය පීතෘ සෙනෙහස වනසාගෙන අසත්පුරුෂ මිත්‍රද්‍රෝහියෙකු වුනා. සිය පියාණන් වූ ඒ අජාසත් රජු ඝාතනය කෙරෙව්වා. ඊටපසු ඔහු මගධයෙහි දහසය වසරක් රජකම් කළා.
  2. ඒ උදයභද්‍ර රජ්ජුරුවන්ට අනුරුද්ධ නමැති පුත්‍රයෙක් හිටියා. ඔහුත් සිය පියාණන් වූ උදායිභද්‍ර රජු මරවා රජකම ගත්තා. ඒ අනුරුද්ධ රජ්ජුරුවන්ට මුණ්ඩ නමැති පුත්‍රයෙක් හිටියා. ඔහුත් සිය පියාණන් වූ අනුරුද්ධ රජු මරවා මගධයෙහි රජකම ගත්තා.
  3. අනුරුද්ධ, මුණ්ඩ යන ඒ අසත්පුරුෂ, මිත්‍රද්‍රෝහී, මිසදිටු ගත් රජවරු දෙන්නා මගධ රාජ්‍යයෙහි අටවසරක් රජකම් කළා.
  4. ඒ මුණ්ඩ රජ්ජුරුවන්ට නාගදාසක නමින් පුත්‍රයෙක් හිටියා. ඔහුත් සිය පියාණන් වූ මුණ්ඩ රජුව ඝාතනය කෙරෙව්වා. ඒ පාපී රජු වසර විසි හතරක් මගධයෙහි රජකම් කළා.
  5. එතකොට මගධ නගරවාසීන් ‘තම තමන්ගේ පියවරු මර මරා රජවෙන මේ වංශය නීච පරපුරක් නොවැ’ කියලා හොඳට ම කිපුනා. ඒ නගරවාසීන් එකතු වෙලා නාගදාසක රජුව බලයෙන් පහකෙරෙව්වා.
  6. ඒ නගරවැසියෝ ඉතා යහපත් යැයි සම්මත ප්‍රසිද්ධ වූ සුසුනාග නමැති ඇමතිවරයාව සියල්ලන්ගේ හිතසුව කැමැතිව මගධ රාජ්‍යයෙහි යහපත් රජෙකු ලෙස අභිෂේක කළා.
  7. ඒ සුසුනාග රජ්ජුරුවෝ මගධ රාජ්‍යයෙහි අභිෂේකය ලබා දහඅට අවුරුද්දක් රජකම් කළා. ඒ රජ්ජුරුවන්ට කාලාශෝක නමින් පුත්‍රයෙක් හිටියා. ඔහු විසි අට අවුරුද්දක් මගධයෙහි රජකම් කළා.
  8. කාලාශෝක රජ්ජුරුවෝ මගධයෙහි අභිෂේක ලබා දස අවුරුද්දක් ගතවෙද්දී අපගේ සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු සීයක් පමණ ගත වී තිබුණි.

ඒ කාලයෙහි විසාලා මහනුවර වජ්ජින් අතරින් පැවිදිව වාසය කළ නොයෙක් භික්ෂූන් වහන්සේලා කරුණු දහයක් හොඳයි කියලා සම්මත කරගෙන සිටියා. එනම්,

  1. ගමනක් යද්දී අඟක ලුණු දමාගෙන යෑම කැපය.
  2. ඉර අවරට ගොස් අඟල් දෙකක් ඉක්ම යනකම් දන් වැළඳීම කැපය.
  3. මේ ගමෙන් වළඳා වෙනත් ගමකට යන අතරමගදී කලින් වළඳා ඉතිරි වූ දෙයක් නැවතත් වැළඳීම කැපය.
  4. මහ ආවාසයක් වන විහාරයක ලොකු සීමාවක් තුළ වෙන් වෙන්ව පොහොය කර්ම කිරීම කැපය.
  5. සංඝයාගේ කැමැත්ත නොගෙන විනය කර්මයක් කිරීමෙන් පසු ඒ පිළිබඳ පවසා කැමැත්ත ගැනීම කැපය.
  6. තමන්ගේ ආචාර්ය පරපුරෙන් කරගෙන ආ දෙය එසේම කරගෙන යෑම කැපය.
  7. දන් වැළඳීමෙන් පසු වෙනත් අසුනක වාඩි වී කිරි බවට පත් නොවූ නොමේරූ කිරි වැළඳීම කැපය
  8. සුරා බවට පත් නොවූ තෙලිජ්ජ පානය කිරීම කැපය.
  9. වාටිය මසා නොමැති වාඩි වීමට ගන්නා නිසීදනයක් පරිහරණය කිරීම කැපය.
  10. රන් රිදී මිල මුදල් පිළිගෙන පරිහරණය කිරීම කැපය යන කරුණු දහය ය.

ඒ විසාලා නුවරවැසි භික්ෂූන් දැනුවත්ව ම කැප නොවූ දේ කැප යැයි සම්මත කිරීමෙන් ලැජ්ජාව සිඳගත් නිසා “අලජ්ජී” නමින් හැඳින්වුනා. ඔවුන් ඒ කරුණු දහය කැප යැයි ප්‍රසිද්ධියට පත්කළා. එය අසන්නට ලැබුණු යස නමැති තෙරුන් වහන්සේ වජ්ජි ජනපදයන්හි චාරිකාවෙහි වැඩියා.

කාකණ්ඩ නම් බ්‍රාහ්මණයාගේ පුත්‍රයා වූ ඒ ෂඞ් අභිඥා බලයෙන් යුක්ත වූ යස (කාකණ්ඩ යස) තෙරුන් වහන්සේ මෙම දස කරුණ පිළිබඳව විනය අර්බුදය සංසිඳවන්නට උත්සාහ කරමින් විසල් පුරයෙහි මහ වනයේ කූටාගාර විහාරයට වැඩි සේක.

ඒ වජ්ජිපුත්තක භික්ෂූහු විසල්පුර මහවනයේ කූටාගාර විහාරයෙහි සංඝයාගේ පොහොය ගේ මැද ජලය පිර වූ රන් පැහැති පාත්‍රයක් තබා ‘උපාසකවරුනි, සංඝයාගේ ප්‍රයෝජනය පිණිස රන් කහවණු ආදිය පූජා කරනු’ යී කීහ. එතැන සිටි යස තෙරුන් වහන්සේ ‘උපාසකවරුනි, රන් කහවණු ආදිය පූජා නො කරන්න. ඒවා සංඝයාට පිළිගැනීමට කැප නැතැයි” කියා එය වැළැක් වූහ. එවිට ඒ වජ්ජිපුත්තක භික්ෂූන් ගිහියන්ට තමන් අතින් වරදක් වූ විට සංඝයාගේ අනුමැතියෙන් ඒ ගිහියන් ළඟට ගොස් ඒ වරදට සමාව ගැනීමට නියම කිරීමේ විනය කර්මය වන පටිසාරණීය කර්මය යස තෙරුන්ට කළේය.

යස තෙරුන් වහන්සේ විනයෙහි සඳහන් පරිදි ඒ ගිහියන්ගේ සමාව ගැනීමේ කටයුත්තට තමන් සමඟ යෑම පිණිස අනුදූත භික්ෂුවක් කැඳවා ගත් සේක. ඒ භික්ෂුවත් සමග විසල්පුරයට වැඩ තමන් පැවසූ කරුණෙහි ඇති ධර්මානුකූල බව විසල්පුරවාසී උපාසකවරුන්ට පහදා දුන් සේක. ඒ අනුදූත භික්ෂුව යස තෙරුන් සමඟ ආපසු පැමිණ විසල්පුර භික්ෂූන්ට කියා සිටියේ තමන්ගේ කතාව ධර්මයට එකඟ වූ බවත්, මිල මුදල් පිළිගැනීම අධර්මය බවත් ඒ විසල්පුර රජු සහිත නගරවාසීන් යස තෙරුන් විසින් දැනුවත් කළ බව යි. එයින් කෝපයට පත් ඒ භික්ෂූහු යස තෙරුන් විනය කර්මයක් තුළින් සංඝයාගෙන් නෙරපීම පිණිස සූදානම්ව යස තෙරුන් සිටි කුටිය වට කළහ. යස තෙරුන් වහන්සේ අහසට පැන නැඟී කොසඹෑ නුවර ඝෝෂිතාරාමයට වැඩි සේක. පාවා නුවරවාසී භික්ෂූන්ටත්, අවන්ති නුවරවාසී භික්ෂූන්ටත් මේ අර්බුදය පවසා එය සංසිඳවීම පිණිස දූත භික්ෂූන් පිටත් කළ සේක.

ඉන්පසු යස තෙරුන් වහන්සේ අහෝගංග පර්වතයෙහි සාණ වනයෙහි වැඩසිටි සම්භූත මහරහතන් වහන්සේට සියල්ල වදාළ සේක.

පාවා නුවරවාසී තෙරුන් වහන්සේ සැට නමකුත්, අවන්ති රටවාසී තෙරුන් වහන්සේ අසූ නමකුත් වන ඒ සියලු මහ රහතන් වහන්සේ අහෝගංග පර්වතයට අහසින් වැඩි සේක. ඒ අහෝගංග පර්වතයට ඒ ඒ තැනින් සාකච්ඡා කොට රැස්වූ කෙලෙස් හුල් නැති සියලු රහත් භික්ෂූන් වහන්සේගේ ගණන අනූ දහසක් වූහ.

ඒ තෙරුන් වහන්සේලා විනය ගරුක සංඝයාගේ එකතු වීමට ප්‍රමුඛ කාලය බව දැන සෝරෙය්‍ය ජනපදයෙහි වැඩ සිටි ධර්ම විනයෙහි බහුශ්‍රැත වූ රේවත මහරහතන් වහන්සේ බැහැ දැකීමට පිටත් වූහ. රේවත මහරහතන් වහන්සේට මෙම විනය අර්බුදය පිළිබඳව කරුණ දිව්‍ය ශ්‍රවණයෙන් අසන්නට ලැබුණ අතර උන්වහන්සේ හුදෙකලාවේ ගමන් කිරීම තමන්ට පහසුවක් බව දැන එයට කැමතිව එසැණින් ම විසාලා මහනුවර බලා වැඩමවීමට සෝරෙය්‍ය ජනපදයෙන් පිටත්ව වැඩි සේක. ඒ රේවත මහරහතන් වහන්සේ උදේ නික්මී වැඩි තැනට අර භික්ෂූන් වහන්සේලා සවස පැමිණ අවසානයේ දී සහජාතිය නම් ස්ථානයේ දී මුණගැසුණ අතර එහිදී රේවත මහරහතන් වහන්සේ භික්ෂූන්ට ධර්ම කථාව වදාළ සේක. ඒ ධර්ම ශ්‍රවණයෙහි අවසානයේ දී සම්භූත තෙරුන් වහන්සේ විසින් විසාලා මහනුවර භික්ෂූන් තුළ ඇති වී තිබෙන තත්ත්වය රේවත තෙරුන්ට වදාරණ ලෙස යස තෙරුන්ට පැවරූ සේක.

එවිට යස තෙරුන් රේවත මහරහතන් වහන්සේගෙන් විසාලා මහනුවර වජ්ජී භික්ෂූන් කැප යැයි සම්මත කරගෙන සිටින කරුණු දහය විනයට අනුකූල වන කැප දෙයක් දැයි ඇසූ විට මහරහතන් වහන්සේ එය විනයට අනුකූල නැති අකැප දෙයක්යැයි ප්‍රතික්ෂේප කළහ. ඉන්පසු මේ විනය අර්බුදය විසඳීමට රේවත මහරහතන් වහන්සේ පෙරමුණ ගත් සේක.

දොස් සහිත වජ්ජිපුත්තක භික්ෂූන්ට එය දැනගන්ට ලැබුණු හෙයින් තමන්ගේ අදහසට පක්ෂ ප්‍රධාන සඟ පිරිසක් රැස් කර ගැනීමේ බලාපොරොත්තුව ඇතිව භික්ෂූන්ට ගැලපෙන සිවුරු ආදී බොහෝ පිරිකර රැගෙන රේවත මහරහතන් වහන්සේ හමුවීමට පැමිණ ඒ විසල්පුරවාසී භික්ෂූන් සහජාතිය නම් ස්ථානයට වැඩි සේක.

ඒ අවස්ථාවෙහි, පිරිනිවන් පා වදාළ ආනන්ද මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුවක් වූ සාළ්හ නම් රහතන් වහන්සේ වැඩ සිටියේත් සහජාති නම් ප්‍රදේශයේම ය. උන්වහන්සේ මේ අර්බුදය විසඳන්ට මුල් වන පාවා නුවරවැසි භික්ෂූන් වහන්සේ ධර්මානුකූලව කරුණු කියන පිරිසක්දැයි නුවණින් බැලු විට මහා බ්‍රහ්මයා ඒ සාළ්හ තෙරුන් අභියස පෙනී සිට “ධර්මය තුළ සිටිනු මැනවැයි” කී ය.

එවිට සාළ්හ තෙරුන් වදාළේ තමන් වහන්සේ නිරන්තරයෙන් ධර්මය තුළ පිහිටි සිතකින් සිටින බවය. කලින් කියූ විසල්පුරවාසී දොස් සහිත වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේ තමන්ගේ පිරිකර රැගෙන රේවත මහරහතන් වහන්සේ බැහැ දුටුහ. පිරිකර ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ ඒ දොස් සහිත භික්ෂූන්ගේ පාර්ශ්වය ප්‍රතික්ෂේප කොට පළවා හැරියේය.

ඒ දොස් සහිත භික්ෂූන්ට තමන් සඳහා පක්ෂපාතී පිරිසක් නො සිටි නිසා ඒ ස්ථානයෙන් පිටත් ව විසාලාවට ගොස් එතැනින් පුෂ්පපුරය නම් වූ පාටලීපුත්‍ර නුවරට වැඩියහ. කාලාශෝක මහ රජු මුණ ගැසී කියා සිටියේ “මහරජ, අපගේ ශාස්තෘන් වහන්සේගේ උතුම් සුගන්ධ කුටිය රැකබලා ගනිමින් වජ්ජි භූම්යෙහි විසාලා මහනුවර මහා වනයේ කූටාගාර විහාරයේ සිටින්නේ අප ය. නමුත් රජතුමනි, අපගේ කූටාගාර විහාරය අල්ලා ගන්නට ග්‍රාමවාසී භික්ෂූහු එහි පැමිණෙමින් සිටිති. ඔවුන්ගේ ක්‍රියාව වළක්වනු මැනවයි” කියමින් කාලාශෝක රජු නො මඟ යවා ඒ භික්ෂූන් විසාලාවෙහි කූටාගාර විහාරයට වැඩියහ.

රේවත මහරහතන් වහන්සේ සමීපයෙහි සහජාති නම් ස්ථානයේ රැස් වූ එකොළොස් ලක්ෂ අනූදහසක් වූ භික්ෂූන් වහන්සේ වජ්ජි භික්ෂූන් අනුගමනය කරමින් සිටින දස වස්තුවෙන් හටගත් අර්බුදය විසඳනු මැනවයි රේවත තෙරුන්ට වදාළහ. ප්‍රශ්නය හටගත් තැන මිසක වෙනත් තැනක දී එය විසඳීම ගැන රේවත මහ රහතන් වහන්සේ රුචි නො කළ සේක. එනිසා උන්වහන්සේ ඇතුළු සියලුම භික්ෂූන් වහන්සේ එතැනින් විසාලා මහනුවරට වැඩම කළ සේක.

නො මග යවා සිටි කාලාශෝක රජු “ඒ කූටාගාර විහාරයට බලෙන් පැමිණ ග්‍රාමවාසී භික්ෂුන් නෙරපා කලින් සිටි භික්ෂූන්ට එම විහාරය නැවත ලබා දෙන ලෙස කියා ඇමතිවරුන් පිටත් කරවී ය.

දෙවියන්ගේ දේවානුභාවයෙන් ඇමැතිවරු මංමුළා වූහ. ඇමැතිවරුන් ගිය එදින රාත්‍රියේ ම කාලාශෝක රජු භයංකාර සිහිනයක් දුටුවේ ය. ඒ තමන් ලෝකුඹු නිරයේ වැටී දුක් විඳීන ආකාරය යි. අතිශයින් ම භයට පත් වූ රජු අස්වසාලන්ට ඔහුගේ නැගණිය වූ නන්දා නම් රහත් භික්ෂුණීන් වහන්සේ රජුගේ මාලිගයට අහසින් වැඩම කළ සේක. “මහරජ, ඔබ විසින් බරපතළ අකුසල කර්මයක් කරගෙන ඇත. එනිසා ධාර්මික පාර්ෂශ්වයේ සිටින මහා සංඝයා වහන්සේ කමා කරවා උන්වහන්සේගේ අදහසට අවනත වී බුද්ධ ශාසනයට අනුග්‍රහ දක්වන්න. එසේ කළවිට පමණයි ඔබට යහපත උදාවෙන්නේ” කියා ඒ රහත් භික්ෂුණිය නැවත වැඩි සේක.

පසුදින උදෑසනින් ම කාලාශෝක රජු විසාලා මහනුවර බලා පිටත් විය. විසාලා මහනුවර මහවනයේ කූටාගාර ශාලාවට ගොස් මහා සංඝයා වහන්සේ රැස් කොට දෙපක්ෂයේ ම කරුණුවලට හොඳීන් සවන් දී ධර්ම විනයානුකූල දස වස්තු අකැපයි කියා පෙන්වා දුන් භික්ෂූන් වහන්සේගේ අදහස පිළිගත් රජු ඒ අදහස අනුමත කළේ ය.

ඉන්පසු කාලාශෝක රජු සියලු ධාර්මික භික්ෂූන් කමා කරවා ගෙන ‘මාගේ ආඥාවත් , ඔබවහන්සේගේ ධර්ම විනිශ්චයත් එකම පාර්ශ්වයේ තිබෙන නිසා කිසිදු සංකාවක් නො මැතිව කැමැති පරිදි, බුද්ධ ශාසනයේ දියුණුවට කටයුතු කරන්න යැයි” පවසා ඒ ධාර්මික භික්ෂූන් වහන්සේට ආරක්ෂාව ද සපයා නැවත පාටලීපුත්‍ර නගරයට පිටත් විය.

දස වස්තුවේ කැප අකැප බව පිළිබඳව පැහැදිලි විනිශ්චයකට පැමිණීමට සංඝයා වහන්සේ ඒ අවස්ථාවෙහි රැස්වූ අතර, එහිදී සංඝයා වහන්සේ අතර ද විවිධ වූ නොයෙක් කතාබහ ඇති වුණි. සංඝයා වහන්සේ අතර හටගත් ඒ නොයෙක් කතාබහ අතරතුර දී එතැනට වැඩම කළ රේවත මහරහතන් වහන්සේ සංඝයා වහන්සේගෙන් එම අර්බුදය බැහැර කරවා දෙපක්ෂයෙන් ම සතර නම බැගින් විනයධරයන් තෝරාගෙන කරනු ලබන උබ්භාහික විනය කර්මය සිදු කොට අර්බුදය සමථයට පත්කරන්නට තීරණය කළේය.

බටහිර දිසාවාසී වැසි භික්ෂූන් වහන්සේ සතර නමක් ද, පාවා නුවරවැසි භික්ෂූන් වහන්සේ සතර නමක් ද තෝරා ගත්හ. ඒ භික්ෂූන් අට නමට දස වස්තුව අකැප ද, කැපද යන්න පිළිබඳව තීරණයක් ගැනීමට පැවරුණි. සබ්බකාමී, සාළ්හ, ඛුජ්ජසෝභිත, වාසභගාමික යන මේ තෙරුන් වහන්සේ සතර නම බටහිර දිග වාසය කරන භික්ෂූන් වෙනුවෙන් තෝරා ගත්තේ ය. පාවා නුවරවැසි භික්ෂූන් වහන්සේ වෙනුවෙන් රේවත, සාණ වනවාසී සම්භූත, කාකණ්ඩපුත්‍ර යස සහ සුමන යන මේ තෙරුන් වහන්සේ සතර නම ද අට නමක් වූ මේ අර්හත්වයට පත් වූ තෙරුන් වහන්සේ ඒ දස වස්තුව පිළිබඳව තීරණයකට පැමිණිම පිණිස නිශ්ශබ්දතාවයෙන් යුක්ත වූ විසාලා මහනුවර වාලුකාරාමයට වැඩම කළහ.

එදින වාලුකාරාමයෙහි වැඩ සිටි අජිත නමැති නවක භික්ෂූන් වහන්සේ විසින් ඉතා මැනවින් ආසන පැනවූහ. අප මහා මුනීන්ද්‍රයන් වහන්සේගේ අදහස් මොනවාදැයි හොඳින් දන්නා මහතෙරුන් වහන්සේ ඒ අසුන්හි වැඩ සිටි සේක. ප්‍රශ්න විමසීම් ආදියෙහි ඉතා දක්ෂ වූ රේවත මහරහතන් වහන්සේ ඒ දස වස්තුවෙහි තිබෙන කාරණා එකක් එකක් පාසා සබ්බකාමී තෙරුන් වහන්සේගෙන් විමසා සිටියහ. රේවත තෙරුන් වහන්සේ විසින් විමසන ලද ප්‍රශ්නවලට සබ්බකාමී මහතෙරුන් වහන්සේ පිළිතුරු දුන්නහ. දස වස්තුවට අයත් සියල්ල ම ධර්ම විනයට අනුකූල නොවේ යැයි ද, කැප නැති බවද බුද්ධ දේශනාවලින් කරුණු පෙන්වා ඒ දස වස්තුවෙන් හටගත් අර්බුදය බැහැර කර එතැනින් නික්මුණ සේක. නැවත විසාලා මහනුවර මහවනයේ කූටාගාර විහාරයට වැඩ එතැනදිත් එලෙස ම ප්‍රශ්න අසා, බුද්ධ වචනය තුළින් විසඳා එය අකැප බව විනිශ්චය කිරීමත් සිදු කළහ.

ඒ විනිශ්චයකාරක මහා තෙරුන් වහන්සේ අට නම විසින් දස වස්තුව කැපසරුප් දේ ලෙස ප්‍රසිද්ධියට පත් කොට දොස් සහිත වූ දස දහසක් වූ භික්ෂූන් වහන්සේට නිග්‍රහ කළහ. ඒ කාලයේ මහා පෘථිවියෙහි සංඝ ස්ථවිරයන් වහන්සේ ලෙස වැඩ සිටියේ සබ්බකාමී මහරහතන් වහන්සේ ය. උන්වහන්සේ උපසම්පදාව ලබා එකසිය විසි අවුරුද්දක වස් ඇතුව වැඩ සිටි සේක. සබ්බකාමී සාළ්හ, රේවත, ඛුජ්ජසෝභිත, කාකණ්ඩපුත්‍ර යස, සාණ වනවාසී සම්භූත යන, මේ තෙරුන් වහන්සේ සය නම අපගේ ආනන්ද මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ වූහ. වාසභගාමික සහ සුමන යන තෙරුන් වහන්සේ දෙනම, අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ වූහ. මහා වාසනාවකින් යුතු මේ ස්ථවිරයන් වහන්සේ අට නම අපගේ භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩසිටිය දී උන්වහන්සේ දකින්නට පින් තිබූ තෙරවරුන් වූහ.

දෙවන ධර්ම සංගායනාව

එදා දස දහසක් වූ දොස් සහිත භික්ෂූන් ද ඇතුලුකොට විසාලා මහනුවර මහවනයේ කූටාගාර විහාරයට රැස් වූ භික්ෂූන්ගේ ගණන දොළොස් ලක්ෂයකි. ඒ සියලු භික්ෂූන් වහන්සේ අතර අග්‍ර ලෙස වැඩ සිටියේ රේවත මහරහතන් වහන්සේ ය. ඒ රේවත මහරහතන් වහන්සේ මෙවැනි අර්බුදයන්ගෙන් තොරව සද්ධර්මය බොහෝ කාලයක් සුවසේ පවත්වනු පිණිස ධර්ම සංගායනාවක් කරන්නට කල්පනා කළේ ය. ඒ සියලු භික්ෂූන් වහන්සේ අතුරින්, අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන යන සතර පටිසම්භිදාවෙන් යුක්ත වූ ත්‍රිපිටකධාරී වූ රහතන් වහන්සේ හත්සිය නමක් තෝරා ගත් සේක.

ඒ සියලු රහතන් වහන්සේ වාලුකාරාමයට රැස් වී කාලාශෝක රජුගේ රැකවරණය මැද රේවත මහරහතන් වහන්සේ මුල්කොට ඒ තෙරුන් වහන්සේ දෙවන ධර්ම සංගායනාව සිදු කළ සේක. කලින් ධර්ම සංගායනාව කළ පරිද්දෙන් ම සංගායනා සිදු කළහ. බුද්ධ පරිනිර්වාණයෙන් පසු කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් පායාසී රජුට දේශනා කළ පායාසී සූත්‍ර ආදියත් එයට එක් කළේ ය. මෙසේ පැවැති දෙවන ධර්ම සංගායනාව මාස අටකින් නිමාවට පත් විය.

එදා දෙවන ධර්ම සංගායනාව කළ රහතන් වහන්සේලා අනාගතයෙහි නානාලබ්ධීන්ට හසුව බුදු සසුන නැවතත් අවුල්වන ආකාරය දැක වදාළහ. එකී ශාසන උපද්‍රවයෙන් බුදු සසුන බේරා ගැනීමට හැකි වන්නේ ධර්මාශෝක රජුගේ කාලයේදී බවද දැක වදාළහ. එම ශාසන උපද්‍රවයේ දී එයට මැදිහත් වී සසුන බේරා ගතහැකි පින්වන්තයෙක් ඇද්දැයි සොයා බැලීමේ දී සකල මනුලොව තබා දෙව්ලොවක ද එබඳු කාර්යයකට බලසම්පන්න දෙවි කෙනෙක් නො සිටියේ ය. නමුත් බ්‍රහ්ම ලෝකයෙහි ආයුෂ ගෙවී යමින් සිටි එයට සුදුසුකම් ඇති තිස්ස නම් බ්‍රහ්ම රාජයා දකින්නට ලැබුණි. එවිට ඒ සංගීතිකාරක රහතන් වහන්සේ තිස්ස බ්‍රහ්මයාට මිනිස් ලෝකයේ උපත ලබා අනාගතයේ ඇතිවන ශාසන උපද්‍රවයෙන් බුදු සසුන බේරාදෙන ලෙස ඉල්ලීමක් කළ සේක.

ගෞතම බුදු සසුන බබළවනු කැමැති ඒ තිස්ස බ‍්‍රහ්මරාජයා ඒ යෝජනාවට කැමැති වී මනුලොව ඉපදෙන බවට රහතන් වහන්සේලාට ප්‍රතිඥා දුන්නේ ය. එසේ ප්‍රතිඥා ගත් ඒ රහතුන් සෝණ තෙරුන්ගේ ශිෂ්‍ය වූ උපාලි තෙරුන්ගේ පරපුරෙහි වූ පටිසම්භිදා සහිතව රහත්බල ලබා සිටි සිග්ගව සහ චණ්ඩවජ්ජි නම් වූ තරුණ භික්ෂුන් වහන්සේලාට මෙසේ වදාළ සේක. “තව අවුරුදු එකසිය දහ අටකට පසුව ගෞතම බුදු සසුන මහත් වූ උපද්‍රවයකට පත් වන්නේ ය. එය සංසිඳුවීමට අප ඒ කාලයේ ජීවතුන් අතර නො මැති නිසා ගෞතම බුද්ධ ශාසනය බබුළුවාලීම පිණිස මහා ප්‍රඥාවෙන් යුක්ත වූ තිස්ස බ්‍රහ්මරාජයා මොග්ගලී බමුණාගේ බිරියගේ කුසෙහි පිළිසිඳ ගැනීමට නියමිත ය. ඔබ දෙනමගෙන් එක් නමක් සුදුසු කාලයේ දී ඒ තිස්ස කුමරුව පැවිදි කළයුතු වන්නේ ය. අනෙක් නම ඉතා යහපත් අයුරින් ශ්‍රී සම්බුද්ධ වචනය තිස්සයන් හට උගන්විය යුතු වන්නේය ය” යැයි උපදෙස් දී වදාළ සේක.

මේ අයුරින් දෙවන ධර්ම සංගායනාව සිදුකළ ඒ උතුම් රහතන් වහන්සේ අනාගත ශාසන අභිවෘද්ධිය උදෙසා කටයුතු කළ සේක.

(මහාවංශයේ දෙවන ධර්ම සංගායනාව නම් පරිච්ඡේදය ඇසුරිනි)

මෙම ලිපිය පිළියෙල කළේ අන්තර්ජාලය ඇසුරෙනි. 

අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම අන්තර්ගත කරුණු හා ඡායාරූප හුදෙක්
ධර්ම දානයක් ලෙස ඉදිරි ඉදිරිපත් කරන ලදී.

මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද, එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන්, ප්‍රථමයෙන් මෙම ලිපිය සහ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පින්වත් ස්වාමීන් වහන්සේලාට, පින්වත් මහත්ම මහත්මීන් වෙතට, එසේම මෙම ලිපිය ඔබ වෙත පිරිනමන මා හට ද, මෙසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.

මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!

සාදු… සාදු… සාදු…

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org

Scroll to Top