මහබෝසතුන් දුෂ්කරක්‍රියා කළ උරුවෙල් දනව්ව.

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේද? ( 4 වන කොටස )

සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බෝධිය අවබෝධ කරගත් බෝධි මණ්ඩලය හා ඒ අවට ප්‍රදේශය උරුවෙල් දනව්ව ය. උරුවේලා යනු විශාල වැලි ඉවුර හෙවත් වාලුකා තලයයි. බෝසතාණන් වහන්සේට පෙර මෙහි දස දහසක් තවුසෝ වාසය කළහ. ඔවුන්ගෙන් යමෙකුට අකුසල සහගත කල්පනාවක් පහළ වුවහොත් එකෙණෙහිම වැලි කූඩයක් ගෙනැවිත් දැමිය යුතු විය. එසේ ගෙනැවිත් දැමූ වැලිවලින් මෙම පෙදෙස පිරී පැවතුන හෙයින් උරුවෙලා යනුවෙන් හැඳින්විණි. උරුවෙල් දනව්වේ ප්‍රසාදජනක සුදුවැලි තලා ඇති, මනා දිය දහර ඇති, සිත්කළු නදිය ගලා බසිනා, පසෙක ඇති රමණීය වන ලැහැබ බෝසතුන්ගේ සිත් ඇදගත්තේය. එහි පැවති සිත්කළු බව, රමණීයත්වය සපිරි ස්වභාව සෞන්දර්යය දුටු බෝධිසත්වයන් වහන්සේ අනුත්තර නිර්වාණය අවබෝධය සඳහා වෙර වැඩීමට උරුවෙල් දනව්වෙහි සේනානි නියම්ගම සුදුසු භූමිභාගය බව සිතු සේක. මහබෝසතුන් දුෂ්කරක්‍රියා සමයෙන් පසු මැදුම් පිළිවෙතේ පිළිවෙත් සපුරා බුද්ධගයා බෝමැඩදී සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළ සේක. උරුවෙල් දනව්වේ ගයා ශීර්ෂයෙහි පිහිටි පිප්ඵලී හෙවත් ඇසතු බෝධිමූලයේදී සම්බෝධිය පසක් කරගත් හෙයින් මෙම ප්‍රදේශය බුද්ධගයාව නමින් ද ඇසතු වෘක්ෂය බෝධිය යනුවෙන් ද ව්‍යවහාරයට පැමිණියේය. උරුවෙල් දනව්ව පිහිටියේ ගයාවට දකුණු දෙසිනි. බුදුසමය පිළිබඳ ශ්‍රේෂ්ඨතම සිදුවීම බෝධිසත්වයන් වහන්සේ සම්බුද්ධත්වය සාක්ෂාත් කිරීම හෙයින් ඊට කේන්ද්‍රස්ථානය වූ බුද්ධගයාව බෞද්ධයන්ගේ පරම පූජනීය ස්ථානයකි. ගෞතම බෝසතුන් යම් අසුනක වැඩහිඳ දසමාර සේනා ජයගෙන, තුන්ලොවට අග්‍රවූ සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක් ද, ඒ වජ්‍රාසනය හා ජය ශ්‍රී මහා බෝධිය සුපිහිටියේ බුද්ධගයාවේය.

මේ හැර රුවන් සක්මන, අනිමිස ලෝචන පූජාව, රතනාගරය, අජපාල නුගරුක, මුචලින්ද විල, රාජායතන චෛත්‍යය, ප්‍රාග්බෝධි පර්වතය, කොකුම් සෑය, සුජාතා ස්ථූපය, සතරවරම් දෙවිවරුන් පාත්‍ර පිළිගැන්වූ ස්ථානය, උරුවේල කාශ්‍යප – නදී කාශ්‍යප – ගයා කාශ්‍යප තුන්බෑ ජටිලයන් ප්‍රධාන දහසක් ජටිලයන් දමනය කළ ස්ථානය (මෙම ස්ථානය අද හඳුන්වනු ලබන්නේ ධර්මාරණ්‍යය නමිනි), තපස්සු භල්ලික වෙළඳ දෙබෑයන් විළඳ මීපිඩු පිදූ ස්ථානය ආදී සම්බුදු සිරිත හා බැඳුණු පූජනීය ස්ථාන රාශියක් පිළිබඳ පාහියන් හා හියුං සියෑං තෙරවරුන් ඇතුළු දේශාටකයන්ගේ වාර්තාවල දැක්වේ. උරුවෙල් දනව්වේදී සයවසරක් දුෂ්කර ක්‍රියා කරමින් ආර්ය පර්යේෂණයක නිරත වූ බෝධිසත්වයෝ අවසානයේදී මධ්‍යම ප්‍රතිපදාව සොයාගෙන සීල සමාධි ප්‍රඥා වඩා නොබෝ කලෙකින් සව් කෙලෙසුන් නසා සම්බෝධිය පසක් කරගත් සේක.

උත්තම ශ්‍රී සම්බුද්ධත්වය සාක්ෂාත් කළ අසිරිමත් බුද්ධගයා පින්බිම

දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ ගෞතම සම්බුදුරජාණන් වහන්සේ දසමාරසේනා ජයගෙන තුන්ලෝකාග්‍රව සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළ සේක් උතුම් බුද්ධගයා පින්බිමේදී විජය ශ්‍රී බෝධි මූලයේදී ය. එකල මගධ රාජ්‍යයට අයත් වූ බුද්ධගයාව වර්තමාන ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගයා දිස්ත්‍රික්කයේ ගයා නගරයේ සිට දකුණු දෙසට කි.මී.16ක් පමණ දුරින් පිහිටා තිබේ. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය හා සබැඳුණු බොහෝ පූජනීය ස්ථාන බුද්ධගයාවේදී දැකබලා වන්දනා කළ හැකිය. අපගේ ශාස්තෘන් වහන්සේ සම්බුද්ධත්වය සාක්ෂාත් කළ උත්තම පින්බිම සාදරයෙන් පිදීමක් ලෙස බුද්ධගයා විහාරය ඉදිකොට තිබේ. එහි කටයුතු වීරදේව නම් භික්ෂූන් වහන්සේ විසින් අරඹා ඇති අතර පසුව ධර්මාශෝක අධිරාජයා විසින් අඩි 160ක් උසැතිව මනරම්ව කරවා තිබේ. විහාරය ඇතුළත ජීවමාන බුදුරජුන් සිහිපත් කරවන, මහා පුරුෂ ලක්ෂණ ඉස්මතු වන, භූමි ස්පර්ශ මුද්‍රාවෙන් යුතු සොඳුරු බුදුපිළිම වහන්සේ නමක් වැඩ සිටී. කලින් කලට දඹදිව ඇති වූ අන්‍යාගමික ආක්‍රමණ හේතුවෙන් බෞද්ධ අයිතියෙන් බැහැර වී ගිය මෙම බුද්ධගයා වජිරාසන ශුද්ධ භූමිය ශ්‍රීමත් අනගාරික ධර්මපාල උතුමාණන් මූලික වී යළි බෞද්ධ අයිතියක් බවට පත්කරගෙන තිබේ.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ:

Jaya sri Maha bodhiya

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝ අංකුරය හටගන්නේ අප සිද්ධාර්ථ මහා බෝසතාණන් වහන්සේ මනුලොව උපත ලැබූ පින්බර මොහොතේදී ම ය. ඒ ගෞතම සම්බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වය පිණිස සෙවන සැලසීමට ය. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව සතියක් මුළුල්ලේ බෝධි මූලයේ නිරාමිස සුව විඳිමින් නිරෝධ සමාපත්තියෙන් වැඩසිටි අතර දෙවන සතියේදී අනිමිස ලෝචන පූජාවෙන් බෝධීන් වහන්සේට ගෞරව සත්කාර දැක්වූ සේක. එමෙන්ම තථාගත ශ්‍රී ශරීරයෙන් එකවර ගිනිජාලා සහ ජලධාරා විහිදුවමින් ප්‍රථම වරට යමාමහ පෙළහර පෑවේ ද බෝධිමූලයේදී ම ය. බුද්ධගයා මහා විහාරය අසල ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අතුපතර විහිදා වැඩසිටී. එනමුත් අද දක්නට ලැබෙන්නේ සම්බුද්ධත්වය පිණිස සෙවන සලසාලූ ඒ මුල් බෝධීන් වහන්සේ නොවේ. ධර්මාශෝක රජුගේ අසීමිත පුද සත්කාර ඉවසනු නොහැකිව ඊර්ෂ්‍යාවෙන් පෙළුණු තිස්සා රක්ඛිතා නම් පවිටු බිසොව මුල් බෝධීන් වහන්සේ විනාශ කරවූවාය. ආශ්චර්යමත් ලෙස යළි හටගත් බෝධීන් වහන්සේ ද ශශංක නම් මිථ්‍යා දෘෂ්ඨික රජෙකු විසින් කපා දමා උණු පැණි වත්කොට විනාශ කරවා තිබේ. එහෙත් බුද්ධානුභාවයෙන් යලි අසිරිමත් ලෙස බෝධි අංකුරයක් හටගත් අතර එය සුරැකීම පිණිස චර්ම නම් සැදැහැති රජතුමා බෝධි ආරක්ෂක පවුරක් කරවීය. අභාග්‍යයකට මෙන් හින්දු අන්තවාදී රජවරු විසින් එම බෝධීන් වහන්සේත් විනාශ කරවන ලද්දාහ. වර්තමානයේ වැඩසිටින බෝධීන්වහන්සේ රෝපණය කරවූයේ ඉංග්‍රීසි පාලන සමයේ පුරාවිද්‍යා අංශය භාරව සිටි කනිංහැම් මහතා ය. ඒ බෝධීන් වහන්සේ වනාහී අනුරාධපුර ශ්‍රී මහාබෝධි ශාඛාවකි. අදටත් ඒ උතුම් බෝධීන් වහන්සේ දිවා රෑ දෙව් මිනිසුන්ගේ අපමණ පුද ලබමින් සුවසේ බුද්ධගයා පින්බිමෙහි වැඩසිටින සේක. අපගේ ශාස්තෘන් වහන්සේට සම්බුද්ධත්වය පිණිස සෙවන සළසාලූ විජය ශ්‍රී ඇසතු බෝධීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

වජ්‍රාසනය:

Wajirasanaya

ජය ශ්‍රී මහා බෝධි මූලයේ නැගෙනහිර දෙසින් වජ්‍රාසනය පිහිටා තිබේ. මෙය අතිශයින්ම සුපූජනීය ස්ථානයකි. සියලු බෝසතාණන් වහන්සේලා උතුම් වූ සම්බුද්ධත්වයට පත්වන උත්තම භූමිය මෙයයි. අනාගතයේදී මෛත්‍රී බෝසතුන් ද සම්මා සම්බුද්ධත්වයට පත්වන්නේ දඹදිව හෙවත් වර්තමාන ඉන්දියාවේ බුද්ධගයා වජ්‍රාසන පින්බිමේදී ම ය. වෙසක් පුන් පොහෝ දිනක සිද්ධාර්ථ මහා බෝසතාණන් වහන්සේ සුජාතාවගේ කිරිපිඬු දානය වළඳා, සවස් කල සොත්ථිය බමුණා දුන් කුසතණ ද රැගෙන මෙහි වැඩම කළ සේක. මේ වජිරාසන භූමියේ කුසතණ අතුරා බෝසතුන් වැඩ සිටියේ ලොව කිසිවෙකුට සෙළවිය නොහැකි වූ, ඉතා දැඩි වූ, වජ්‍රමය වීරියකිනි. එනිසා ම උන්වහන්සේ වැඩහුන් එම අසුනට වජ්‍රාසන යැයි කියනු ලැබේ. එම චතුරංග සමන්නාගත වීරිය නම් මෙයයි.

“මාගේ මේ ශරීරයේ ලේ මස් වියළී යතොත් වියළී යේවා. සම් ඇට නහර ඉතිරි වෙතොත් ඉතිරි වේවා. යම් පුරුෂ වීරියකින්, පුරුෂ පරාක්‍රමයකින් අවබෝධ කළ යුතු යමක් ඇත්ද එය අවබෝධ නොකොට මම මේ ආසනයෙන් නොනැඟිටිමි” යි ඇතිකරගත් බලවත් අධිෂ්ඨානයයි. ඒ මොහොතේ වසවත් මරු දස බිම්බරක් මාර සේනාව සමඟ පැමිණ නොයෙක් අයුරින් බිහිසුණු අරමුණු මවා පාන්නට විය. අප මහා බෝසතාණෝ නොසැලී මෙහි වැඩ හිඳිමින්, මහපොළොව ස්පර්ශ කරමින් තමන් වහන්සේගේ පාරමිතා පුණ්‍ය බලය කියාපාද්දී, මහපොළොව කම්පිත වී මර සෙනඟ පැරදී පලා ගියහ. එසේ මාර පරාජය කොට අනතුරුව පුබ්බේනිවාසානුස්සති ඤාණය, චුතූපපාත ඤාණය, ආසවක්ඛය ඤාණය ලබා සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරන ලද්දේ මේ උතුම් පින්බිමේ සිටයි. එම නිසා සැදැහැවත් ශ්‍රාවකයෙකු විසින් දැකබලා පහන් සංවේග උපදවාගෙන වන්දනා කළ යුතු උතුම් ‘බෝධි චේතිය’ මේ වජිරාසන පුණ්‍ය භූමියයි.

යස්මිං නිසජ්ජ වජිරාසන බන්ධනේන
ඡෙත්වා සවාසන ක්ලේස බලං මුනින්දෝ
සම්බෝධි ඤාණමවගම්ම විහාසි සම්මා
තං බෝධිචේතියමහං සිරසා නමාමි

වාඩිවී වජිරාසනේ මත වීරියෙන් දිනු බුදුරජාණෙනි
නේක දොස් ඇති සියලු කෙලෙසුන් නසා ජයගත් මුනි රජාණෙනි
ඤාණ බලයෙන් යුතුව සම්බුදු බට පත් වූ සිහරජාණෙනි
බෝධි චේතිය වඳිමි සිරසින් සිතා සම්බුදු ගුණ සුවාමිනි

සම්බුද්ධත්වය ලබා අමා නිවනේ නිරාමිස සැප විඳිමින් පළමු සතිය අපගේ බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ ද බුද්ධගයා බෝමැඩ උතුම් වජිරාසනය මත ය.

සුජාතාව විසින් කිරිපිඩු පූජා කළ ස්ථානය:

sujatha temple

බුද්ධගයා මහා විහාරයේ සිට ඵල්ගු නදියෙන් එතෙරව කි.මී. 3ක් පමණ ගියවිට මෙම ස්ථානය හමුවේ. එකල උරුවෙල් දනව්වේ සේනානි නම් වූ මේ ගම වර්තමානයේ උරාලා නමින් හැඳින්වේ. එහි විසූ සුජාතා නම් සිටු දියණිය අජපාල නම් සුවිසල් නුගරුකට බාරයක් විය. ඇය තම බාරය ඔප්පු කිරීමට ප්‍රණීත කිරිපිඬු දානයක් සකසාගෙන එද්දී නුගරුක මුල අප මහා බෝසතාණෝ වැඩසිටිනු දැක ඉතා සතුටින් කිරිපිඬු පිළිගැන්වූවාය. බෝසතාණන් වහන්සේ ඒ කිරිපිඬු දානය පිඩු 49කට සකසා වැළඳූ අතර එය සම්බුද්ධත්වයට පෙර වැළඳූ අවසාන දානයයි. අද එම ස්ථානයේ එම සිදුවීම සිහිපත්වීම පිණිස පිළිරූ තනා ඇත. එමෙන්ම මුල් නුගරුක නොවුනද අදත් එම ස්ථානයේ නුගරුකක් පිහිටා තිබේ. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වය ලබා පස්වන සතියේ වැඩසිටියේත් එමෙන්ම සහම්පති බ්‍රහ්මරාජයා දහම් දෙසීම පිණිස බුදුරජුන්ට ආරාධනා කලේත් මෙහිදීමය.

සොත්ථිය බමුණා විසින් කුසතණ පිළිගැන්වූ ස්ථානය:

Sotthiya Kusathana Pujawa

සුජාතාව පිළිගැන්වූ කිරි ආහාර වළඳා අවසානයේ බෝසතාණන් වහන්සේ වැඩම කළේ නේරංජරා නදිය වෙතටය. එහිදී බෝසතුන් දන් වැළඳූ බඳුන නේරංජරාවට දමා මෙසේ සිතූ සේක. “මා විසින් සියලු දුකින් නිදහස්ව ලබන යම් නිවනක් සොයා යන්නේ ද, එය මා අවබෝධ කරයි නම් මේ බඳුන නදියේ උඩුගං බලා යේවා!” ඒ සමග ම බඳුන උඩුගම් බලා යන්නට විය. පසුව එය නදියේ ගිලී මහාකෙළ නා රජුගේ භවන වෙත ගිය බව සඳහන් වේ. ඒ අසිරිය සිදු වූ ස්ථානය ද හඳුනාගෙන ඇත. අනතුරුව අප බෝසතාණන් වහන්සේ නේරංජරා නදී තීරයේ බුද්ධගයාව දෙසට වඩිද්දී සොත්ථිය නම් බමුණා උන්වහන්සේ දැක පහන් සිතින් භාවනාව පිණිස වාඩිවීමට කුසතණ මිටි අටක් පිළිගැන්වීය. අද එහි පිළිරූ සකසා තිබේ.

සම්බුද්ධත්වය සාක්ෂාත් කළ අප බුදුරජාණන් වහන්සේ පුරා සති 7ක් (දින 49ක්) ඒ අමා නිවන් සුව විඳිමින් මහ බෝ මැඩ සමීපයෙහි ගතකළ සේක. ඒ බව මෙසේ සඳහන් වේ.

“පඨමං බෝධි පල්ලංකං – දුතියං ච අනිම්මිසං
තතියං චංකමනං සෙට්ඨං – චතුත්ථං රතනාගරං
පඤ්චමං අජපාලං ච – මුචලින්දේන ඡට්ඨමං
සත්තමං රාජායතනං – වන්දේ තං මුනිසේවිතං”

අනිමිස ලෝචන චෛත්‍යය:

animisa lochana chethiya


සම්බුද්ධත්වය ලබා දෙවන සතියේ බුදුරජාණන් වහන්සේ බෝ රජුන්ට ඊසාන දෙසට වන්නට වැඩ සිටි සේක. සම්බුද්ධත්වයට සෙවන සලසාලූ උතුම් බෝධීන් වහන්සේට කෘතගුණ සැලකීමක් වශයෙන් එහි වැඩ හිඳිමින් පුරා සතියක් ඇසිපිය නොහෙලා බෝධීන් වහන්සේ දෙස බලා සිටිමින් අනිමිසලෝචන පූජාව සිදුකළ සේක. බුද්ධගයා මහා විහාරයට යාර දෙසීයක් පමණ දුරින් වර්තමානයේ එහි මහා විහාරයේ හැඩයට ම විහාරයක් කරවා ඇති අතර එය අනිමිසලෝචන චෛත්‍යයයි.

රුවන් සක්මන:

ruwan sakmana

මෙය බෝධීන් වහන්සේටත් අනිමිසලෝචන චෛත්‍යයටත් අතර පිහිටා තිබේ. සම්බුද්ධත්වයෙන් තුන්වන සතියේ බුදුරජාණන් වහන්සේ ඍද්ධියෙන් රුවන් සක්මනක් මවාගෙන මෙහි සක්මන් කළ සේක. වර්තමානයේ එය සිහිපත් කරවමින් ඉදිකරවා ඇති උසින් අඩි 3කුත්, පළල අඩි 3.5කුත් දිග අඩි 53කුත් වන ඉදිකිරීමක නටබුන් දක්නට තිබේ. මෙහි කණු යොදා සුරක්ෂිත වහලයක් කරවා තිබෙන්නට ඇත. මේ වටා කණු තිබූ බවට සාධක තිබේ.

රුවන්ගෙය (රතනාඝරය):

Rathanagharaya


ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ උතුරු දෙසට වන්නට රතනාඝරය පිහිටා තිබේ. සම්බුද්ධත්වයෙන් සතරවන සතියේදී භාග්‍යවතුන් වහන්සේ දෙවියන් විසින් මවන ලද රුවන් ගෙය තුළ වැඩ ඉඳිමින්, අවබෝධ කළ ගම්භීර ධර්මය මෙනෙහි කරද්දී සම්බුදු සිරුරෙන් සවනක් ඝණ බුද්ධ රශ්මි මාලා විහිදී ගියේය. අද එහි කුඩා විහාරයක් කරවා ඇත.

අජපාල නුගරුක් සෙවන:

Ajapala Nugaruka


සම්බුද්ධත්වයෙන් පස්වෙනි සතිය ගතකළ අජපාල නුග රුක් මූලය සිහිකරවමින් පුවරුවක් ද සහිතව කුඩා ස්ථම්භයක් බුද්ධගයා මහා විහාරය ඉදිරිපස පිහිටුවා ඇත. (අජපාල නුගරුක පිහිට සැබෑ ස්ථානය උරාලා ගමේ පිහිටි ස්ථානයයි.)

මුචලින්ද විල:

Muchalinda vila


සම්බුද්ධත්වයෙන් සයවන සතියේ සම්බුදු රජුන් මුචලින්ද විල අසල පිහිටි මිදෙල්ල රුක් සෙවනේ වැඩ සිටින මොහොතේ අකල් වැස්සක් හටගත්තේය. එවිට මුචලින්ද නා රජු වැස්සෙන්, පින්නෙන්, සුළඟින් බුදු රජුන්හට පීඩාවක් නොවේවායි සිතා සුවිසල් නාග ශරීරය සම්බුදු රජුන් වටකොට ගෙන දරණලා, සිරසට ඉහළින් මහත් වූ පෙණගොබයක් කොටගෙන සිටියේය. බුද්ධගයා භූමියේ එය සිහිපත් කරවීමට පසුකාලීනව විලක් කරවා ඒ මැද නාග දරණ ප්‍රතිමාවක් ද ඉදිකරවා තිබේ. එහෙත් සැබෑම මුචලින්ද විල පිහිටි ස්ථානය නේරංජරා නදියෙන් එතෙර පිහිටි මුචලින්ද ගමයි. අද එම ස්ථානය ජරාවාස වෙමින් පවතී. අද ඒ ගම හඳුන්වන්නේ මුචාරි නමිනි.

රාජායතනය:

rajayathana


මෙය බුද්ධගයා මහා විහාරයේ දකුණු පැත්තට වෙන්නට පිහිටා තිබේ. සම්බුද්ධත්වයෙන් සත්වන සතියේ කිරිපලු නුගරුක් සෙවනේ අපගේ බුදුරජාණන් වහන්සේ වැඩසිටි සේක. එහි පැමිණි තපස්සු සහ භල්ලුක වෙළඳ දෙබෑයන් බුදුරජුන් හට විළඳ හා මී පැණි පිළිගැන්වීය. අනතුරුව ඔවුහු බුද්ධ රත්නය සහ ධර්ම රත්නය සරණ ගියෝය. ඒ මේ බුදු සසුනේ ද්වේවාචික උපාසකයෝ ය. ඔවුන් භාග්‍යවතුන් වහන්සේගෙන් වන්දනා කිරීමට යමක් ඉල්ලා සිටිවිට අප බුදුරජාණෝ ඔවුන්හට කේශධාතු ලබාදුන් සේක. මෙය සිහිපත් කරවීමට රෝපණය කල කිරිපලු රුකක් ද දක්නට ඇත. එහෙත් සැබෑවට ම රාජායතනය පිහිටි ස්ථානය ලෙස සැලකෙන්නේ බුද්ධගයා විහාර භූමියට නුදුරින් පිහිටි ස්ථානයකි. අද එහි විශාල ඇසතු වෘක්ෂයක් සහ කුඩා හින්දු කෝවිලක් දක්නට ලැබේ.

මීට අමතරව බුදු දහම ව්‍යාප්ත වී ඇති බොහෝ රටවල් සම්බුද්ධත්වය ලැබූ භූමියට උපහාර පිණිස ඉදිකළ දර්ශනීය විහාරයන් බුද්ධගයාව අවට දක්නට ලැබේ. ඒවා නම්,

  • ටිබෙට් පන්සල
  • චීන පන්සල
  • නේපාල පන්සල
  • රාජකීය භූතාන පන්සල
  • බිර්ලා ධර්ම ශාලාව
  • තායි පන්සල
  • බුම් චුම් විහාරය
  • පුරාවිද්‍යා කෞතුකාගාරය
  • ඉන්දොසාන් නිපොන්ජි ජපන් පන්සල
  • කඞ්ග්යු කර්ම ටිබෙට් පන්සල
  • වියට්නාම් ව්යැන්ග් ජියැක් පන්සල
  • බුරුම පන්සල
  • ලෝක ප්‍රකට අඩි 80ක් උස බුද්ධ ප්‍රතිමාව පිහිටි ඩයිජෝක්යෝ ජපන් පන්සල ආදියයි. මේවා ඒ ඒ රටවලට ආවේනික අයුරින් දර්ශනීය ලෙස ඉදිකරවා ඇත. මේ ස්ථාන ද බුද්ධගයාහිදී නැරඹීමට හැකිය.

දුර්ගේෂ්වරී:

dushkarakriya statue


නේරංජරා නදියේ වම් ඉවුර හරහා කි.මී. 15ක් පමණ ගිය විට දුර්ගේෂ්වරී කඳුවැටිය පාමුලට පැමිණිය හැක. මෙය ව්‍යවහාරයේදී දුන්ගේෂ්වරී, දුංගේෂ්වරී ලෙස ද හඳුන්වයි. කඳු මුදුනේ අද තිබෙන්නේ තිබ්බත (ටිබෙට්) පන්සලකි. එහි කුඩා ගල්ලෙනක් තුළ දුෂ්කරක්‍රියා සමයේ අප බෝසතුන්ගේ කය වැහැරී තිබූ අයුරු දැක්වෙන කුඩා පිළිමයක් තිබේ.

විසි නවවන වියේදී රාජ සුඛුමාල ජීවිතය අතහැර අභිනිෂ්ක්‍රමණය කළ අප මහා බෝසතාණන් වහන්සේ උතුම් නිවන සාක්ෂාත් කරගැනීම පිණිස දුෂ්කර වූ ප්‍රතිපදාවකට බැසගත් සේක. ඒ බව අරිය පරියේසන සූත්‍රයේ දැක්වේ. සිතා ගැනීමටවත් අසීරු ආකාරයේ තපස් චරියාවන් කරමින් සය වසරක් අප මහා බෝසතාණෝ දුෂ්කරක්‍රියා කරමින් ගතකළේ මේ දුර්ගේෂ්වරී කන්ද සහ රජගහ නුවර ආශ්‍රිතවය.

භාග්‍යවතුන් වහන්සේ උතුම් සම්බුද්ධත්වය සාක්ෂාත් කළ බුද්ධගයා පුණ්‍යභූමියත් සත් සතිය ගතකළ පූජනීය ස්ථානත් සැදැහැයෙන් වන්දනාමාන කරගෙන මහත්ඵල මහානිසංස පින් රැස්කර ගනිමු. මිථ්‍යා මතයන්ට නොරැවටෙමු.

පූජ්‍ය යටිබේරියේ සෝමඤාණ ස්වාමීන් වහන්සේ