බුදුරජාණන් වහන්සේ වස් විසූ ස්ථාන

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේද? (12 කොටස)

උතුම් ධම්මපදයේ බුද්ධ වග්ගයේ 15 වෙනි ගාථා රත්නය දේශනා කිරීමට අදාළව, අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ අග්‍ර උපස්ථායක ආනන්ද තෙරුන්ට සම්බුද්ධත්වයට පත්වන බෝසතාණන් වහන්සේලා උපත ලබන භූමිය ගැන මෙසේ වදාළ සේක. “පින්වත් ආනන්ද, ආජානීය පුරුෂයා සෑම තැන ම උපදින්නේ නෑ. දිගින් බැලුවොත් යොදුන් තුන්සීයක් පමණ දික් වූ පළලින් බැලුවොත් යොදුන් දෙසිය පනහක් පමණ වූ වට ප්‍රමාණයෙන් යොදුන් නවසීයක් පමණ වූ දඹදිව මධ්‍ය ප්‍රදේශයේ විතරයි ආජානීය පුරුෂයාගේ උපත සිදුවන්නේ. මේ ආජානීය පුරුෂයා (බෝධිසත්වයන් වහන්සේගේ අවසන් උපත) උපදින්නේ මහාසාර ක්ෂත්‍රීය කුලයක හෝ බ්‍රාහ්මණ කුලයක හෝ විතරයි. වෙන කුලයක උපදින්නේ නෑ.” එසේ වදාළ බුදුරජාණන් වහන්සේ මධුර ස්වරයෙන් මෙම ගාථා රත්නය වදාළ සේක.

දුල්ලභෝ පුරිසාජඤ්ඤෝ – න සෝ සබ්බත්ථ ජායතී
යත්ථ සෝ ජායතී ධීරෝ – තං කුලං සුඛමේධතී

ආජානීය පුරුෂ වූ – බුදු උපත අති දුලබය
එබඳු උතුමන් සැම තැන – පහළ වන්නේ නැත්මය
ඒ මහා නැණවතාණෝ – උපදිත් ද යම් කුලයක
ඒ කුලය සැප ලබන්නේ ම ය.

මෙසේ ශ්‍රී මුඛ සම්බුද්ධ භාෂිතය තුළ ම ආජානීය පුරුෂ වූ බුදුරජාණන් වහන්සේ උපත ලබන්නේ දඹදිව හෙවත් වර්තමාන ඉන්දියාවේ මධ්‍ය දේශයේ පමණක් බව ඉතා පැහැදිලිව පෙන්වා දී තිබේ. එමෙන්ම එම මධ්‍ය දේශයේ සීමාවන් පවා භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළ සේක. “මහ බෝ මැඩට පෙරදිගින් කජංගල නම් නියම් ගමකි. ඉන් පිටත මහා ශාලයෝ ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ ය. ඉන් මෙහා මධ්‍ය දේශය යි. පූර්ව දක්ඛිණ දිශාවෙන් හෙවත් ගිනිකොණින් සලලවතී නම් ගංගාව ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ ය. ඉන් මොබ මධ්‍ය දේශය යි. දකුණු දිගින් ශ්වේත කර්ණිකා නම් නියම්ගම ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ ය. ඉන් මෙහා මධ්‍ය දේශය යි. බස්නාහිරින් ථූණ නම් බමුණු ගම යි. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ ය. ඉන් මෙහා මධ්‍ය දේශය යි. උතුරු දිගින් උසීරද්ධ්වජ නම් පර්වතය යි. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ ය. ඉන් මොබ මධ්‍ය දේශය යි.”

“පුරත්ථිමාය දිසාය කජංගලං නාම නිගමෝ. තස්සාපරේන මහාසාලා. තතෝ පරා පච්චන්තිමා ජනපදා. ඕරතෝ මජ්ඣේ. පුරත්ථිමදක්ඛිණාය දිසාය සලලවතී නාම නදී. තතෝ පරා පච්චන්තිමා ජනපදා. ඕරතෝ මජ්ඣේ. දක්ඛිණාය දිසාය සේතකණ්ණිකං නාම නිගමෝ. තතෝ පරා පච්චන්තිමා ජනපදා. ඕරතෝ මජ්ඣේ. පච්ඡිමාය දිසාය ථූණං නාම බ්‍රාහ්මණගාමෝ. තතෝ පරා පච්චන්තිමා ජනපදා. ඕරතෝ මජ්ඣේ. උත්තරාය දිසාය උසීරද්ධජෝ නාම පබ්බතෝ. තතෝ පරා පච්චන්තිමා ජනපදා. ඕරතෝ මජ්ඣේ”

(චම්මක්ඛන්ධකය – මහාවග්ගපාලි – විනය පිටකය)

යොදුනක් යනු සැතපුම් 07ක් වන අතර ආසන්න වශයෙන් කිලෝමීටර 10කි. එම නිසා දඹදිව මධ්‍ය දේශයේ දිග 3000km පමණ වන අතර පළල 2500km පමණ වේ. තවද වට ප්‍රමාණය 9000km කි. නමුත් සමස්ත ලංකාවේ පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා ම දිග 435km පමණි. කොළඹ සිට සංගමන් කන්ද දක්වා පළල 225km පමණි. තවද සොළොස් මහා ජනපදවලින් යුක්ත සමස්ත ජම්බුද්වීපය ලංකාව මෙන් 65 ගුණයක් විශාල බව දහම් ග්‍රන්ථවල දැක්වේ. දඹදිව් තලයේ භෞතික හැඩය පවා සූත්‍ර දේශනාවල ඉතා පැහැදිලිව දක්වා ඇත. “උතුරින් දික්ව ද දකුණින් ගැල්මුවක් සේ ද පිහිටියේ ය.” (උත්තරේන ආයතං දක්ඛිණේන සකටමුඛං)

(මහා ගෝවින්ද සූත්‍රය – දී. නි. 02)

එනමුත් ලංකාදීපයේ පිහිටීම ඊට හාත්පසින් ම වෙනස් ආකාරයෙන් දකුණින් දික්ව ද උතුරින් කුඩාවට ද පිහිටා ඇත. මෙම කරුණු ඇසුරෙන් පමණක් වුව ද, “බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නා” යන්න කෙතරම් බරපතල මිථ්‍යාවක්දැයි කියා ශ්‍රද්ධාවන්ත බුද්ධිමත් අයට මනාව වටහාගත හැකිය.

එමෙන්ම ජම්බුදීපය යන වදනේ සැබෑ අරුත ද ඉතා පැහැදිලිව මහාවග්ග පාළි නම් උතුම් විනය ග්‍රන්ථයේ උරුවේල කාශ්‍යප දමනයේදී මෙසේ සඳහන් වේ. “එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘කාශ්‍යපය, ඔබ යන්න. මම පසුව එමි’යි කියා උරුවේල කාශ්‍යප ජටිලයා පිටත්කොට, දඹදිව යම් දඹ ගසකින් ප්‍රසිද්ධ වේ ද, ඒ දඹ ගසින් දඹ ගෙඩියක් ගෙන පළමු කොට පැමිණ ගිනිහල්ගෙයි වැඩහුන් සේක. උරුවේල කාශ්‍යප ඒ ගැන විමසූ විට භාග්‍යවතුන් වහන්සේ මෙසේ පැවසූ සේක. “කාශ්‍යප, මම ඔබව මුලින් පිටත් කොට, දඹදිව යම් දඹ ගසකින් ප්‍රසිද්ධ වේ ද, ඒ ගසින් ගෙඩියක් ගෙන පළමු කොට පැමිණ ගිනිහල්ගෙයි වැඩ උන්නෙමි. කාශ්‍යපය, මේ දඹ ගෙඩිය පැහැයෙන් පිරිපුන් ය. සුවඳින් පිරිපුන් ය. රසයෙන් පිරිපුන් ය. ඉතින් කැමති නම් අනුභව කරන්න” යැයි වදාළ සේක. (ඉධාහං කස්සප, තං උය්‍යෝජෙත්වා යාය ජම්බුයා ජම්බුදීපෝ පඤ්ඤායති, තතෝ ඵලං ගහෙත්වා පඨමතරං ආගන්ත්වා අග්‍යාගාරේ නිසින්නෝ. ඉදං ඛෝ කස්සප, ජම්බුඵලං වණ්ණසම්පන්නං ගන්ධසම්පන්නං රසසම්පන්නං. සචේ ආකංඛසි පරිභුඤ්ජ). මේ අනුව ජම්බුදීප යන පාළි වචනයේ නියම අර්ථය දඹදිව බවත්, ජන්+බුද්+දීප යනුවෙන් ඊට ලබා දී ඇති විවරණය ව්‍යාජ වූ විකෘතියක් බව මැනවින් පැහැදිලි වේ.

“බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද?” යන කොටස් 12කින් සමන්විත වූ මෙම ලිපි මාලාව ඔස්සේ උතුම් බුද්ධ දේශනා සහ විනය පිටකය ඇසුරින් ද, අට්ඨකථා, වංශකථා, සෙල්ලිපි සහ පුරාවිද්‍යාත්මක සොයාගැනීම් ද උපයෝගී කරගෙන අපි පහත සඳහන් කරුණු පැහැදිලිව තේරුම් ගත්තෙමු.

  • දඹදිව යනු වර්තමාන ඉන්දියාව හා ඒ ආශ්‍රිත භූමි භාගය බව.
  • දඹදිව මධ්‍ය මණ්ඩලයේ සීමාවන් පවා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී ඇති බව.
  • ශාක්‍ය දේශය අයත් කෝසල ජනපදය ඇතුලු සොළොස් මහා ජනපද පිහිටියේ ඉන්දියාවේ මිසක ලංකාවේ නොවන බව.
  • විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, ධ්‍රැතරාෂ්ඨ යන සතර වරම් දෙවිවරුන් චාතුම්මහාරාජික දෙව්ලොවට අයත් සක්දෙවිඳුන්ගේ ප්‍රධාන අමාත්‍ය දෙවිවරුන් මිසක ලංකාවේ රජකළ මිනිස් රජවරුන් නොවන බව.
  • සාතාගිරි, හේමවත ආදී 38ක් වූ සෙන්පති දෙවිවරු ද ලංකාවේ සිටි ගෝත්‍රික නායකයන් නොව දිව්‍ය, යක්ෂ, ගාන්ධර්ව, ආදී පිරිස් බව.
  • ධර්ම – විනය ඉස්මතු කොට සම්බුදු සසුන සුරක්ෂිත කළ ධර්ම සංගායනා තුන උතුම් රහතන් වහන්සේලා පැවැත්වූයේ දඹදිව හෙවත් වර්තමාන ඉන්දියාවේදී බව.
  • ධර්මාශෝක නිරිඳුන් සම්බුද්ධ භූමියේ ශාසනික ඉදිකිරීම් සිදුකළා මිස කිසිලෙසකින්වත් කෘතිම බුද්ධ රාජ්‍යයක් ගොඩනැගුවේ නැති බව.
  • දඹදිව සියලු ම ප්‍රධාන බුද්ධභූමිවල පූජනීයත්වය හා ඓතිහාසිකත්වය මෙම ලිපි මාලාව ඔස්සේ සවිස්තරව ඉස්මතු කෙරිණි.

එම සියලු කරුණු ඔස්සේ “බුදුරජාණන් වහන්සේ පහළ වූයේ, වැඩ සිටියේ ලංකාවේ ය” යන මතය කෙතරම් හරසුන්, අශාසනික, මිත්‍යා මතයක්දැයි කියා මැනවින් පැහැදිලි විය.

එම බරපතල මිථ්‍යා මතය තහවුරු කිරීම පිණිස බොරු ගොතමින් සම්බුද්ධ දේශනා බැහැර කොට ඇති ආකාරය තවත් නිදසුන් කිහිපයකින් යළිදු පෙන්වා දෙන්නෙමු.

01). බෝසත් මාතාව මියගොස් දිව්‍ය පුත්‍රයෙකු වූයේ නැත. සිදුහත් කුමරු උපත ලැබීමෙන් පසු මහා මායාවක් හෙවත් ලිංග විපර්යාසයක් වී පිරිමියෙකු බවට පත් වූ පසු ඇඹිලිපිටිය ප්‍රදේශයේ ගල් ලෙනක සිරකොට වාසය කරවීය, යනුවෙන් බරපතල අසත්‍ය ප්‍රකාශයක් කිරීම.

එනමුත් සිදු වූ සත්‍ය සිදුවීම මජ්ක්‍ධිම නිකායේ අච්ඡරියබ්භූත සූත්‍රයේදී ත්, දීඝ නිකායේ මහාපදාන සූත්‍රයේදී ත් සම්බුදු වදන්වලින් ම දේශනා කොට ඇත්තේ මෙසේය.

“මහණෙනි, මෙය ධර්මතාවයකි. යම් විටෙක බෝධිසත්වයන් ඉපිද සත්වෙනි දිනයෙහි බෝසත් මාතාව කළුරිය කරයි. තුසිත දෙව්ලොව උපදියි. මෙය මෙහි ධර්මතාවය යි.” (ධම්මතා ඒසා භික්ඛවේ, සත්තාහජාතේ බෝධිසත්තේ බෝධිසත්තමාතා කාලං කරෝති. තුසිතං කායං උපපජ්ජති. අයමෙත්ථ ධම්මතා) තවද බුදුරජාණන් වහන්සේ හත්වන වස් කාලයේදී මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙව්-බඹ පිරිසට අභිධර්මය දේශනා කොට සංකස්ස පුරයට වැඩම කළ පුවත උතුම් ධම්මපදයේ බුද්ධ වග්ගයේ තුන්වෙනි ගාථාවට අදාළ කථා වස්තුවේ ඉතා පැහැදිලිව දක්වා ඇත.

02). මුචලින්ද යනු නාගරාජයෙකු නොව ලංකාවේ විසූ නාග ගෝත්‍රික මිනිසෙකි යි යනුවෙන් තවත් අසත්‍ය ප්‍රකාශයක් කිරීම.

මහාවග්ග පාළි විනය ග්‍රන්ථයේ මුචලින්ද කථා නම් කොටසේ පැහැදිලිව ම මෙසේ සඳහන් වේ.

“ඉක්බිති මුචලින්ද නාරජු තම භවනයෙන් නික්මී, භාග්‍යවතුන් වහන්සේගේ සම්බුදු සිරුර සත්වරක් දරණවැලින් හාත්පසින් වටකොට සීතල, උණුසුම භාග්‍යවතුන් වහන්සේට නොවේවා! ලේ බොන මැසි මදුරුවන්ගෙන් ද, අවු සුළං සර්පාදීන්ගෙන් ද භාග්‍යවතුන් වහන්සේට පීඩාවක් නොවේවා!”යි හිස මුදුනෙහි මහත් පෙණයක් කොට සිටියේය.

(අථ ඛෝ මුචලින්දෝ නාගරාජා සකභවනා නික්ඛමිත්වා භගවතෝ කායං සත්තක්ඛත්තුං භෝගේහි පරික්ඛිපිත්වා උපරි මුද්ධනි මහන්තං ඵණං කරිත්වා අට්ඨාසි. මා භගවන්තං සීතං, මා භගවන්තං උණ්හං. මා භගවන්තං ඩංසමකසවාතාතපසිරිංසප සම්ඵස්සෝ’ති)

03). සැවැත්නුවර ජේතවනාරාමය යනු ‘රිටිගල’ යැයි පවසන අමූලික බොරුව තහවුරු කිරීමට “එකල රජවරු, සිටුවරු සාදවා පූජාකළ ආරාම කිසිවක් ගඩොලින් තැනවූයේ නැත” කියා අසත්‍ය වූ කරුණු ගෙනහැර පෑවත් සූත්‍ර පිටකයෙන් සහ විනය පිටකයෙන් මෙසේ සත්‍ය තොරතුරු ඉස්මතු වේ.

“එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නෑයන් වාසය කරන කපිලවස්තු නගරයේ ගිජ්ඣාකාවසථ නම් වූ ගඩොලින් කළ ආරාමයෙහි වැඩ වසන සේක”

(ගිඤ්ජකාවසථ සූත්‍රය – සං. නි. – 02)

“එකල්හි අළව්නුවරවාසී භික්ෂූන් විහාරයක බිත්තියක් නංවද්දී යට සිටි භික්ෂුව උඩ සිටි භික්ෂුවට ගඩොලක් ඔසවා දුන්නේය…….”

(තුන්වෙනි පාරාජිකාවේ, 16 වෙනි විනීත වස්තුව – පාරාජිකා පාළිය)

04). සාසන ඉතිහාසය ද විකෘති කරමින් මිහිඳු මහ රහතන් වහන්සේ වැඩීමටත් පෙර ලංකාවේ රහතන් වහන්සේලා 24000ක් පිරිනිවන් පා තිබෙන බව සෙල්ලිපියක සඳහන් වෙතැයි අමූලික බොරුවක් ගොතා කීම.

සාසන ඉතිහාසයේ සඳහන් ආකාරයට වළගම්බා රජුගේ කාලයේදී හටගත් බැමිණිතියා සාය නම් මහා දුර්භික්ෂයේදී තිස්සමහාරාමයේ ද සිතුල් පව්වේ ද වැඩසිටි රහතන් වහන්සේලා 24000ක් අධිෂ්ඨාන කොට පිරිනිවන් පා වදාළහ. එම සිදුවීම වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර 450ක් පමණ ගතවීමෙන් පසුව ය. නමුත් මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළේ බු.ව. 236 දී වන අතර තම මිථ්‍යා මත සනාථ කිරීමට ඉතිහාසය විකෘති කරමින් සෙල්ලිපි ද අවභාවිතයට ලක්කර ඇත්තේ එසේ ය.

එම නිසා සැදැහැති බෞද්ධයන් කිසිසේත්ම “බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නා” යන බරපතල මිථ්‍යා මතයට නොරැවටිය යුතුය. නොදැනුවත්කමින් හෝ එම වැරදි මතය පිළිගත්තා නම්, ඒ පිළිබඳ සඳහන් පොත් පත් බෙදා හැරියා නම්, ස්වර්ණමාලී මහා සෑ පින් බිමට ගොස් තෙරුවන් වැඳ බුදුරජාණන් වහන්සේ කමා කරගත යුතුය.

දඹදිව සැබෑ බුද්ධභූමීන් කෙරෙහි සිත පහදවාගෙන සැදැහැයෙන් වන්දනා මාන කරමින් පින් රැස් කරගන්නට, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට සියලු දෙනාට වාසනාව උදා වේවා!

බුදුරජාණන් වහන්සේ වස් විසූ ස්ථාන

● පළමුවන වස් කාලය – බරණැස ඉසිපතනාරාමය.
බුද්ධකාලීන දඹදිව සොළොස් මහා ජනපදයන්ගෙන් කාසී ජනපදයේ අගනුවර බරණැස වූ අතර වර්තමාන ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්වලට අයත් ය.

● දෙවෙනි, තුන්වෙනි සහ හතරවෙනි වස්කාල රජගහ නුවර වේළුවනාරාමයේ වස් වසා වැඩ සිටි සේක.
බුද්ධකාලීන භාරතීය සොළොස් මහා ජනපද රාජ්‍යයන්ගෙන් බලවත් ම රාජ්‍යය වූ මගධයේ අගනුවර රජගහ නුවර යි. ගංගා නදිය මෙහි උතුරු සීමාව වූ අතර දකුණෙන් වින්ධ්‍යා කඳු වැටිය ද බටහිරින් සෝණ නදිය ද මගධයේ සීමාවන් විය. වර්තමාන ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයට පුරාණ මගධය අයත් වේ.

 පස්වෙනි වස් කාලය විශාලා මහනුවර මහවනයේ ගතකළ සේක.
ගණතන්ත්‍ර පාලනයක් පැවති ප්‍රබල රාජ්‍යයක් වූ වජ්ජී ජනපදයේ අගනුවර විශාලා මහනුවර විය. තුන්බිය දුරු කිරීම පිණිස උතුම් රතන සූත්‍රය දේශනා කරන ලද්දේත්, දෙවෙනි ධර්ම සංගායනාව පැවැත්වූයේත් විශාලා මහනුවරදී ය. වර්තමානයේ උත්තර ප්‍රදේශයේ හෙවත් උතුරු ඉන්දියාවේ පිහිටා ඇත.

 හයවෙනි වස්කාලය මංකුල පර්වතයේ වැඩසිටි සේක.

● හත්වෙනි වස් කාලය තාවතිංස භවනයේ ගතකළ සේක.
ගණ්ඩබ්බ රුක්ඛ මූලයේදී යමාමහ පෙළහර පවත්වා, තව්තිසාවට වැඩම කොට, සක් දෙවිඳුගේ පාණ්ඩුකම්බල ශෛලාසනයේ වැඩසිටිමින් මාතෘ දිව්‍යරාජයා ප්‍රධාන දෙව් පිරිසට අභිධර්මය දේශනා කොට වදාළේ හත්වෙනි වස් කාලයේදී ය.

● අටවෙනි වස් කාලය සුංසුමාරගිරි පර්වතයේ වැඩසිටි සේක.
මෙය පිහිටා තිබුණේ භග්ග දේශයෙහි සුංසුමාරගිරි නුවර සමීපයේ ය. සුප්‍රසිද්ධ උපාසක – උපාසිකා යුවළක් වූ නකුලපිතා සහ නකුලමාතා වාසය කළේ සුංසුමාරගිරි නුවර ය.

● නවවෙනි වස්කාලය කොසඹෑ නුවර ගතකළ සේක.
බුද්ධකාලීන දඹදිව සොළොස් මහා ජනපදයන්ගෙන් බලවත් රාජ්‍යයක් වූ වත්ස රාජ්‍යයේ අගනුවර කොසඹෑ නුවර යි. අවන්ති දක්ඛිණාපථය නමින් හැඳින්වූ අවන්තියට උතුරින් යමුනා නදිය අසබඩ පිහිටා තිබුණි. වර්තමාන ඉන්දියාවේ යමුනා නදියේ උතුරු ඉවුරේ කෝසම් නමින් හැඳින්වෙන ප්‍රදේශය පැරණි කොසඹෑ නුවර ලෙස පුරාවිද්‍යාඥයින් හඳුනාගෙන ඇත.

● දසවෙනි වස්කාලය පරිලෙය්‍යක වනයේ හුදෙකලාව ම වැඩ සිටි සේක.
විශාලා මහනුවරට දකුණු දෙසින් කෝසල රාජ්‍යයේ මෙම වනාන්තරය පිහිටා තිබුණි. වර්තමාන ඉන්දියාවේ මධ්‍ය ප්‍රාන්තයේ රටන්පූර් නගරයට සැතපුම් 12ක් ඊසාන දිග ඇති පාලි නමින් හැඳින්වෙන ප්‍රදේශය පාරිලෙය්‍යක වනය හා ඒ නමින් යුතු ග්‍රාමය විය හැකි බව මේජර් ඩබ්ලිව්. වොට්ස් මහතා සඳහන් කර තිබේ.

● එකොළොස්වෙනි වස් කාලය දක්ෂිණාගිරියේ ඒකනාලා බමුණු ගම ගතකළ සේක.
රජගහනුවරින් දකුණු දිග දක්ඛිණගිරිය අසල වූ බමුණු ගමකි. කසීභාරද්වාජ බමුණාට කසීභාරද්වාජ සූත්‍රය දේශනා කළේ මෙහිදී ය.

● දොළොස්වෙනි වස්කාලය ගතකළේ වේරඤ්ජා නුවරයි.
මධුරාපුරය අගනුවර කරගත් සූරසේන රාජ්‍යය, යමුනා නදියට බටහිරින් මත්ස්‍ය රාජ්‍යයට නිරිත දිගින් පිහිටියේ ය. වේරඤ්ජාව පිහිටියේ මධුරා අගනගරයට බටහිර දෙසිනි. ඇති වූ දුර්භික්ෂය නිසා වස් තුන් මාසයේ භාග්‍යවතුන් වහන්සේත් පන්සියයක් වූ භික්ෂු සංඝයාත් යැපුනේ අශ්ව වෙළෙන්දන් පූජාකළ යව ස්වල්ප ප්‍රමාණයකිනි.

● දහතුන්වෙනි වස්කාලය චාලිකා නුවර චාලිය පර්වතයේ වැඩසිටි සේක.
බුදුරජාණන් වහන්සේ 13, 18, 19 යන වස් කාලයන්හී වැඩ සිටියේ චාලිය පර්වතයේ දී ය. මෙය පිහිටියේ චාලිකා නගරය සමීපයේ ය.

● දාහතරවෙනි වස අලව් නුවර වැඩසිටි සේක.
බුදුරජාණන් වහන්සේ ආලවී හෙවත් අලව් නුවර 14වෙනි වස්කාලය ගතකළ අතර අලව් යකු දමනය කළේ ද මෙහිදී ය. වර්තමාන ඉන්දියාවේ උතුරු බිහාර් ප්‍රදේශයේ මොන්ගීර් දිස්ත්‍රික්කයේ උරේන් පර්වතය ආශ්‍රිත ප්‍රදේශය අලව් යකු දමනය කළ ස්ථානය ලෙස හඳුනාගෙන ඇත. හියුංසියෑං තෙරුන් සඳහන් කරන අන්දමට හිරණ්‍ය පර්වත දේශයේ බටහිර සීමාව අසල ගංගා නදියෙන් දකුණු දෙස උස්ව නැගි මුදුන් 02ක් ඇති තනි පර්වතයක් වේ. බුදුරජුන් වස් තුන් මස මෙතැන්හී වැඩසිටි අතර අලව් යකු දමනය කළ සේක. පර්වතයේ ගිනිකොණ දෙස කෙළවරට පහළින් විශාල ගලකි. එහි භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැන අඩි 03කුත් අඟල් 02ක් දික්වූ ද, අඩි 02කුත් අඟලක් පළල් වූ ද, අඟලක් උස්වූ ද ආසනයක් තිබේ. ඒ ගල මත්තෙහි චෛත්‍යක් ද ගොඩනගා තිබුණි. එයින් දකුණෙහි, බුදුරදුන්ගේ පැන් කෙණ්ඩිය තැබූ තැන අඟලක් ගැඹුරු පෙති අටක් ඇති මලක සටහනක් තිබේ. එතැනින් ගිනිකොණ දිග අලව් යකුගේ පා සටහන් දක්නට ලැබේ. ඉන් පසුපස අඩි හයක් පමණ උසැති වැඩසිටින සම්බුදු පිළිමයකි. ඊට නුදුරින් බටහිර දෙස බුදුරජාණන් වහන්සේ සක්මන් කළ තැනකි. යක්ෂයාගේ වාසස්ථානය කන්ද මුදුනෙහි වූ අතර ඒ සමීපයේ උතුරු දෙස බුදුරදුන්ගේ පා සටහනකි. ඒ මත්තෙහි සෑයක් ගොඩ නගා ඇත. මේ අන්දමින් හියුංසියෑං තෙරුන් සඳහන් කරන ලද කරුණුවලින් බොහොමයක් එම පර්වතයේ දක්නට තිබෙන බව එල්. ඒ. මෝඩල් නම් මහතා කළ පරික්ෂණවලින් හෙළිවී තිබේ.

● පහළොස්වෙනි වස් කාලය කපිලවස්තුපුර මහවනයේ වැඩ සිටි සේක.
ශාක්‍ය ජනපදයේ අගනුවර වූ කපිලවස්තුපුර සමීපයේ පිහිටි මහ වනයකි. පන්සිය නමක් රහතුන් පිරිවරා වැඩසිටියදී මහාසමය සූත්‍රය දේශනා කළේ මෙහිදී ය.

● දහසයවෙනි වස්කාලය අලව්නුවර වැඩ සිටි සේක.

● දහහත්වෙනි වස් කාලය ද ගතකළේ රජගහනුවර ම ය.

● දහඅට සහ දහනවවෙනි වස්කාල දෙක චාලිකා නුවර චාලිය පර්වතයේ ම වැඩසිටි සේක.

● විසිවෙනි වස්කාලය යළි ගතකළේ රජගහනුවර යි.

● විසිඑක්වෙනි වස් කාලයේ සිට හතලිස්හතරවෙනි වස් කාලය දක්වා ම වස් සාර මාසය ගතකළේ සැවැත් නුවර යි.

එම වස්කාල 25න් 19ක් ජේතවනාරාමයේ ද 06ක් පූර්වාරාමයේ ද වැඩසිටි සේක. කෝටි 05ක් පමණ මගඵලලාභීන් සැවැත්නුවර වාසය කළ බැවින් ද, ගෞතම බුදු සසුනේ අග්‍ර දායක දායිකාවන් වූ අනේපිඬු සිටාණන්ටත්, විශාඛාවන්ටත් අනුග්‍රහ පිණිස ද මෙතරම් දීර්ඝ කාලයක් භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වස් වසා වැඩ සිටි සේක.

වර්තමාන ඉන්දියාවේ ගොණ්ඩා සහ බහරායිච් දිස්ත්‍රික්ක සීමාවේ පිහිටි සහේත් – මහේත් වශයෙන් හඳුනාගෙන ඇති පැරණි ශ්‍රාවස්තිය පිළිබඳව ජේතවනාරාම ශිලා ලේඛන කීපයකින් ද තහවුරු වී ඇත. සහේත් – මහේත් කොටස් දෙකකින් සංයුක්ත ප්‍රදේශ 02කි. අක්කර හාරසීයක පමණ විශාල වූ “මහේත්” පැරණි ප්‍රධාන නගරය වශයෙන් හඳුනාගෙන ඇත. අක්කර 32ක් පමණ වූ “සහේත්” ජේතවනාරාමය පිහිටි භූමිය යි. ක්‍රි.පූ. තුන්වන සියවස තෙක් පැරණි ස්ථූපයකින් හමු වූ අස්ථි ධාතු බුදුරජාණන් වහන්සේගේ ම යැයි තහවුරු වූ අතර, ජීවමාන බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ආශ්චර්යමත් ලෙස පැන නැගුණු ආනන්ද බෝධීන් වහන්සේ අදටත් ජේතවනාරාම පින්බිමේ වැඩසිටින සේක.

● විශාලා මහනුවර බේලුව නම් නියම්ගමේදී අවසාන වස් කාලය ගත කළ සේක.

පූජ්‍ය යටිබේරියේ සෝමඤාණ ස්වාමීන් වහන්සේ

උපුටා ගැනීම – mahamevnawa.lk වෙබ් අඩවියෙනි.