කොසඹෑ නුවර, ඝෝෂිතාරාමය, පාරිලෙය්‍ය වනය

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේද? (10 කොටස)

කොසඹෑ නුවර

බුද්ධ කාලීන දඹදිව සොළොස් මහා ජනපදයන්- ගෙන් බලවත් රාජ්‍යයක් වූ වත්ස රාජ්‍යයේ අගනුවර වූයේ කොසඹෑ නුවර ය. වත්ස ජනපදය බුද්ධ කාලයෙහි අවන්ති දක්ඛිණාපථය නමින් හැඳින්වූ, අවන්තියට උතුරින් යමුනා නදිය අසබඩ පිහිටා තිබුණි. එවකට එහි පාලකයා වූයේ උදේනි රජතුමා ය. කුසුම්භ නමැති ඍෂිවරයා විසූ හෙයින් ද කොසඹ වෘක්ෂ බහුල වූ බැවින් ද කෝසම්බි නම් වූයේ යැයි පැරණි ග්‍රන්ථවල සඳහන් වේ. කෝසම්බිය භාරතීය ඉතිහාසයේ ද බෞද්ධ ග්‍රන්ථයන්හි ද දැක්වෙන ප්‍රකට නගරයකි. මෙහි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නය උදෙසා කරවා පූජා කළ ආරාම හතරක් විය. ඝෝෂිතාරාමය, කුක්කුටාරාමය, පාවාරිකා අම්බවනය සහ බදරිකාරාමය එම ආරාමයන් ය. එමෙන් ම භග්ග නුවර සුංසුමාරගිර නම් වූ පර්වතය හා මිගදාය කොසඹෑ නුවර සමීපයේ පිහිටා තිබූ අතර බුදුරජාණන් වහන්සේ එහි ද වැඩවාසය කොට තිබේ. ආනන්ද හිමියන් පරිනිබ්බාන සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පෑම සඳහා සුදුසු යැයි යෝජනා කරන දඹදිව ප්‍රධාන නගරවලින් එක් නගරයක් වන්නේ කොසඹෑ නුවරයි. ගෞතම සසුනේ සිංහනාද පවත්වන ශ්‍රාවකයන් අතර අග්‍ර වූ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ ද කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ කලක් වැඩවාසය කොට ඇත. තව ද උන්වහන්සේ කොසඹෑ නුවර රජ කළ උදේනි රජුගේ පුරෝහිතයාගේ පුත්‍රයා වේ. භාග්‍යවතුන් වහන්සේ අටවන වස් කාලය සුංසුමාරගිරි පර්වතයේ ද නවවන වස් කාලය කොසඹෑ නුවර ද වැඩ සිටි සේක. බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවරට වැඩි අවස්ථාවන්හි ඉහත දැක්වූ ආරාමයන්හි අභිමත පරිදි වැඩ වාසය කොට ඇත.

ඝෝෂිතාරාමය

ඝෝෂිත නම් සිටුතුමා විසින් තම උයනේ සාදවා පූජා කරන ලද සංඝාරාමය ඝෝෂිතාරාමය යි. බුදුරජාණන් වහන්සේ අවස්ථා කිහිපයක දී ම මෙහි වැඩවසමින් ධර්ම දේශනා පවත්වා තිබේ. භාග්‍යවතුන් වහන්සේ නවවන වස්කාලය ගත කළේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ ය. වස් තුන් මාසය අවසානයේ කොසඹෑ නුවරින් නික්ම සැවැත් නුවර බලා වැඩම කළ සේක. මේ අතර කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ වැඩ විසූ විනයධර හා ධර්මධර භික්ෂූන් අතර හටගත් මත ගැටුමක් නිසා භික්ෂූන් ද දායකයෝ ද දෙවියෝ ද දෙපසකට බෙදුනහ. යළි වැඩම කළ ශාස්තෘන් වහන්සේ අවවාද අනුශාසනා කරමින් දහම් දෙසමින් භික්ෂූන් දෙපිරිස අතර සමඟිය ඇති කිරීමට උත්සහ කළත් එම නොහික්මුණු භික්ෂූහු ප්‍රසිද්ධිය තකා වාද විවාද දිගට ම පැවැත්වූහ. එවිට භාග්‍යවතුන් වහන්සේ එම භික්ෂූන්ගෙන් වෙන්ව හුදෙකලා ව ම පාරිලෙය්‍ය වනයට වැඩම කළ සේක. එහි දී පාරිලෙය්‍ය ඇතා ප්‍රමුඛ සතුන්ගේ උපස්ථාන ලබමින් වැඩ සිටි සේක. බුදුරජාණන් වහන්සේ තමන්ගෙන් ඈත් වීම නිසා සංවේගයටත්, භික්ෂූන්ගේ වාද විවාද නිසා කලකිරීමටත් පත් කොසඹෑ නුවරවාසී ගිහි පිරිස ඒකමතික තීරණයකට පැමිණ භික්ෂූන් වර්ජනය කළහ. දන් දීම, ගරු සත්කාර කිරීම නොකර සිටියහ. එයින් දමනය වූ විවාදාපන්න භික්ෂූහු මතභේද අත්හැර සමඟි සම්පන්න වී සංවරයේ පිහිටා ශාස්තෘන් වහන්සේ කමා කර ගත්හ. ශාස්තෘන් වහන්සේ නැවත වඩමවාගෙන එන ලෙස සිව්වනක් පිරිසගෙන් ම ලැබුණු ඉල්ලීම නිසා ආනන්ද හිමියන් විසින් පාරිලෙය්‍ය වනයට වැඩම කොට භාග්‍යවතුන් වහන්සේව ගෞරවයෙන් ආපහු වැඩම කරවාගෙන එන ලදී. මේ අනුව බුදුරජාණන් වහන්සේ දසවන වස් කාලය ගත කළේ කොසඹෑ නුවර සිට ගව් පහක් (සැතපුම් 20ක්) තරම් ඈතින් පිහිටි පාරිලෙය්‍ය වනයේ ය.

බුද්ධ වර්ෂ 218දී රජ පැමිණි ධර්මාශෝක අධිරාජ්‍යයා වසර අටකට පසු දඹදිව පුරා අසූහාර දහසක් වෙහෙර විහාර කරවා අනතුරුව දින 256ක පුණ්‍ය චාරිකාවක නිරත විය. ඉන් පසු අභිෂේකයෙන් විසිවන වසරෙහි පැවති දෙවන පඤ්ච වාර්ෂික සංචාරයේ දී දඹදිව සිද්ධස්ථාන වැඳපුදා ගැනීමට මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේත් කැටිව ගිය ගමනේ දී කෝසම්බියට ද පැමිණ තිබේ. ධර්මාශෝක රජතුමා කොසඹෑ නුවර තිබූ ඝෝෂිතාරාමය, කුක්කුටාරාමය, පාවාරිකාරාමය යන විහාරත්‍රය සිහි වීම පිණිස ටැම් ලිපි තුනක් සවි කිරීමටත්, උදේන රජ මාලිගය සහ එම පරිශ්‍රය වැඩිදියුණු කිරීමටත් කහවණු ලක්ෂයක් යෙදවී ය. තව ද ඝෝෂිතාරාම භූමියෙහි ධර්මාශෝක රජතුමා විසින් අඩි දෙසීයක් උස චෛත්‍යයක් කරවන ලදී. ලක්දිව රුවන්මැලි සෑ ආරම්භක පින්කමට කොසඹෑනුවර ඝෝෂිතාරාමයේ සිට ධම්මරක්ඛිත තෙරුන් ප්‍රමුඛ තිස් දහසක් රහතන් වහන්සේලා වැඩම කළ බව මහාවංශයේ සඳහන් වේ.

පාහියන් තෙරුන් කොසඹෑ නුවරට පැමිණි සමයෙහි ඝෝෂිතාරාමය හඳුන්වා ඇත්තේ ඝෝශිර වන සංඝාරාමය ලෙසටයි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි තැන් අනුස්මරණය කිරීම පිණිස ස්ථූප කරවා තිබූ බව පාහියන් හිමි සඳහන් කර ඇත. ඒ වන විට සංඝාරාමයේ භික්ෂූන් සියක් නමක් පමණ වාසය කොට තිබේ. කොසඹෑ නුවරට වැඩි හියුංසියෑං තෙරුන් වාර්තා කර ඇති ආකාරයට සිව් බුදුවරුන් පරිභෝග කළ ස්ථාන, උදේන රජු සඳුන් දැවයෙන් කරවූ බුද්ධ ප්‍රතිමාව, බුදුරජාණන් වහන්සේ ස්නානය කළ පොකුණ හා නානගෙය, පිළිම ගෙය, කේශ ධාතූන් හා නඛ ධාතූන් නිධන් කර තිබූ ස්ථූප, ඝෝෂිතාරාමය, අශෝක අධිරාජයා කරවූ අඩි දෙසීයක් උස ස්ථූපය, බුදුරජාණන් වහන්සේ සක්මන් කළ ස්ථානය, නාග රාජයෙකු දමනය කළ ස්ථානය ආදී පුණ්‍ය භූමි කොසඹෑ නුවර දී දැක තිබේ.

වර්තමාන ඉන්දියාවේ කෝසම් නමින් හැඳින්වෙන යමුනා නදියේ උතුරු ඉවුරේ පිහිටි ප්‍රදේශය පුරාණ කොසඹෑ නුවර ලෙස පුරාවිද්‍යා ජනරාල් කනිංහැම් මහතා විසින් හඳුනාගෙන ඇත. කෝසම්බි නුවර උස් භූමියක කරන ලද කැණීම්වල දී ඝෝෂිතාරාම නම ඇතුළත් සෙල්ලිපියක් හමුවීම මෙය නිශ්චය වශයෙන් ම හඳුනාගැනීමට හේතු විය. බදරිකාරාමය වූයේ මීට ගව්වක් (සැතපුම් 4ක්) පමණ දුරින් ය. කැණීම්වල දී ඝෝෂිතාරාම දම්සභා මණ්ඩපය පිහිටි ස්ථානයෙහි කරවූ චෛත්‍යයේ නටබුන් සහ සෙල්ලිපි ආදිය ද සොයාගෙන ඇත.

සඳුන් බුදු පිළිමය

හියුංසියෑං තෙරුන්ගේ වාර්තාවට අනුව කොසඹෑ නුවර පුරාණ රජමැදුරක් සමීපයෙහි අඩි හැටක් පමණ උසැති පිළිම ගෙයක් පිහිටා තිබිණි. එය තුළ සඳුන් හරයෙන් කළ දර්ශනීය බුද්ධ ප්‍රතිමාවකි. මෙය බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ විසූ උදේන රජු විසින් කරවන ලද්දකි. බුද්ධ ප්‍රතිමාව ගලින් කරන ලද වියනකින් ආවරණය කර තිබී ඇත. මෙම සම්බුද්ධ ප්‍රතිමාවෙන් නොයෙක් වර රැස් විහිදී ඇත. ප්‍රාදේශීය රජවරුන් මෙම පිළිමය සිය රාජධානිවලට ගෙන යාමට නොයෙක් වර උත්සහ දරා ඇතත් සෙලවීමටවත් නොහැකි වී ඇත. එම නිසා ඔවුහු මෙයට සමාන පිළිම කරවා වන්දනාමාන කළ අතර ඒ සියලු බුද්ධ ප්‍රතිමාවන්ට ආදර්ශය වී ඇත්තේ මෙම සඳුන් ප්‍රතිමාව ය. බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙව් බඹ පිරිසට ධර්ම දේශනා කිරීම පිණිස තව්තිසාවේ වැඩසිටි සමයේ උදේන රජු බුදුරජාණන් වහන්සේගේ රුව දකින්නට බලවත් ආශාවෙන් මුගලන් තෙරුන් වහන්සේගේ ඍද්ධි බලයෙන් ශිල්පියෙකු දෙව්ලොවට යවා, සම්බුදු සිරුරේ මහා පුරුෂ ලක්ෂණ බලන්නට සලස්වා සඳුන් හරයෙන් මෙම ප්‍රතිමාව කරවූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

උදේනි රජතුමා තෙරුවන් සරණ යෑම

සුත්ත නිපාත අට්ඨකතාවේ ගුහට්ඨක සූත්‍ර වර්ණනාවේ දැක්වෙන පරිදි පිණ්ඩෝල භාරද්වාජ තෙරණුවෝ, පුරුද්දක් වශයෙන් දිවා කාලය ගත කිරීමට කොසඹෑ නුවර ගං ඉවුරෙහි ජල වනය නම් උදේන රජුගේ උදක උද්‍යානයෙහි සිහිලැල් පෙදෙසට ගොස් වැඩ සිටිති. දිනක් තෙරණුවෝ එසේ උදේන රජුගේ උයනේ විවේක සුවයෙන් ගසක් යට වැඩ සිටි සේක. එම උයනෙහි ම වෙනත් තැනක උදේන රජු අන්තඃපුර ස්ත්‍රීන් සමඟ අවුත් මධුවිත පානය කොට එකී අඟනුන් සමඟ ගී කියමින් රැඟුම් බලමින් සතුටු විය. මඳ වේලාවකින් උදේන රජුට නිදිමත වී එක් අඟනකගේ උකුලේ හිස තබා නිදා ගත්තේ ය. රජු නිදාගත් බව දුටු ස්ත්‍රීහු උයන් සිරි නරඹමින් ඇවිදින විට ගසක් මුල භාවනානුයෝගීව වැඩ සිටි භාරද්වාජ තෙරුන් දුටුවහ. ඔවුන් රහතන් වහන්සේ ළඟට ගොස් වන්දනා කොට පසෙක වාඩිවූ විට තෙරුණුවෝ ධර්මය දේශනා කළ සේක. මේ අවස්ථාවේ රජු ළඟ සිටි කාන්තාව රජු අවදි කරවා අන් අය රජු සහ තමා තනි කොට ගිය බව පැවසුවා ය.

අමනාපයෙන් යුතුව උයනේ ඇවිද ගිය රජුට සිය මහේෂිකාවන් භික්ෂුවක් ළඟ වාඩි වී සිටිනු දැක කෝපාවිෂ්ට වී තම උයනේ කුමක් කරන්නේදැයි තෙරුන්ගෙන් විමසීය. එවිට රහතන් වහන්සේ විවේක සුවය පිණිස වැඩම කළ බව පැවසුවත් කාන්තාවන් පිරිවරාගෙන ගන්නා විවේකය කුමක්දැයි රජු විමසූ විට තෙරණුවෝ අනුකම්පාවෙන් නිහඬ වූහ. මින් තවත් කෝප වූ රජු අසල තිබූ දිමි ගොටුවක් කඩා රහතන් වහන්සේගේ ඇඟට දැමීය. දිමි ගොටුව ඇඟ මත පතිත වීමට පෙර උන්වහන්සේ ඉර්ධි බලයෙන් අහසට නැගී වෙනතකට වැඩම කළහ. මහේෂිකාවෝ රජු විසින් කළ පාපී ක්‍රියාව ගැන රජුට ඒත්තු ගන්වා, එවැනි රහතුන්ට වෙනත් රජවරුන් නම් මලින් පුදා, දන් දී පින් රැස් කරගෙන දෙව්ලොව උපදින බව පැවසූහ. සංවේගයට පත් වූ රජතුමා තෙරුන් වහන්සේ ව සොයා කැඳවාගෙන එන ලෙස දැන්වීය. තවත් දිනක රහතන් වහන්සේ උයනේ වැඩ සිටිනා බව රජුට දැන්වූ විට වහා එතනට ගිය රජු දෙපා නමැද සමාව ගත්තේ ය. පිණ්ඩෝල භාරද්වාජ තෙරුන් දහම් දෙසා රජු තිසරණයෙහි පිහිටවූ අතර සැදැහැති බෞද්ධයෙකු වූ උදේන රජතුමා වත්ස ජනපදය පුරා ධර්මය පතුරුවා හැරීමට අනුග්‍රහ කරමින් බුද්ධ ශාසනයෙහි දියුණුවට අති විශාල මෙහෙයක් ඉටු කළේ ය.

සාමාවතී බිසව ප්‍රධාන පන්සියයක් රාජකීය කතුන් ධර්මාවබෝධය ලැබීම

සාමාවතී බිසව උදේන රජතුමාගේ ප්‍රධාන මෙහෙසියන් තිදෙනාගෙන් කෙනෙකි. ඛුජ්ජුත්තරා නම් අනාගාමී ඵලයට පත් සිය උපස්ථායිකාවගෙන් තථාගත සද්ධර්මය ශ්‍රවණය කළ සාමාවතිය ඇතුළු පන්සියයක් පිරිස තෙරුවන් සරණේ පිහිටි සැදැහැති උපාසිකාවෝ බවට පත් වූහ. උදේන රජුගේ අග්‍ර මහේෂිකා තනතුර ලැබූ මාගන්දියා තම සිරුරට අපහාස කළැයි වරදවා වටහාගෙන භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වෛරයෙන් පසු වූවා ය. මාගන්දියා භාග්‍යවතුන් වහන්සේට අපහාස කිරීම පිණිස මුදල් දී මිනිසුන් යොදවා එය අසාර්ථක වූ තැන සාමාවතී ඇතුළු පිරිසගෙන් පලිගැනීමට සිතුවා ය. සාමාවතී ඇතුළු පන්සියයක් කතුන් වාසය කළ මාලිගයට ගිනි තැබ්බවූ අතර එයින් සියලු දෙනා ම ගින්නට හසු වී මිය ගියහ. එනමුත් මෙත් සිතින් ධර්ම මනසිකාරයේ සිත පිහිටවූ බැවින් සියලු දෙනාම ධර්මාවබෝධය කොට සුගතියෙහි උපත ලැබූහ.

බාලකලෝණකාරාමය

මෙය කොසඹෑ නුවරත්, පාරිලෙය්‍ය වනයත් අතර තිබූ ආරාමයකි. කොසඹෑ නුවර භික්ෂූන් අතර ඇති වූ විවාද සමථයකට පත් නොවූ හෙයින් බුදුරජාණන් වහන්සේ බාලකලෝණකාරාමයට වැඩි සේක. භගු තෙරුන් වාසය කළේ මෙහි ය. භගු තෙරුන්ට ධර්මය දේශනා කොට, අනතුරුව පාචීනවංශ මිගදාය කරා වැඩියහ. අනුරුද්ධ, කිම්බිල යන තෙරුන් වහන්සේලා එහි වාසය කළහ. පාචීනවංශ මිගදායේදී දහම් දෙසූ භාග්‍යවතුන් වහන්සේ ඉක්බිති පාරිලෙය්‍ය වනයට වැඩි සේක. වත්මන් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි බිලාස්පූර් දිස්ත්‍රික්කයේ බාලුවා ගම, බාලකලෝණකාරාමය තිබුණූ භූමිය වශයෙන් මේජර් වොට්ස් මහතා හඳුනාගෙන ඇත.

පාරිලෙය්‍ය වනය

බුදුරජාණන් වහන්සේ දසවන වස් කාලය ගත කළ මෙම පාරිලෙය්‍ය වනය පිහිටියේ කෝසල රාජ්‍යයේ ය. මෙය රක්ඛිත වනසණ්ඩ නමින් ද හඳුන්වා ඇත. ‘බෝමැඩ නගර විස්තරය’ නම් ග්‍රන්ථයට අනුව පාරිලෙය්‍ය වනය පිහිටා තිබුණේ විශාලා මහනුවරට දකුණු දෙසිනි. එම වනයේ චෛත්‍ය පහක් කරවා තිබුණු බව ද එම ග්‍රන්ථයේ සඳහන් ය. වත්මන් ඉන්දියාවේ මධ්‍ය ප්‍රාන්තයේ රටන්පූරි නගරයට සැතපුම් දොළසක් ඊසාන දිග ඇති පාලි නමින් හැඳින්වෙන ප්‍රදේශය පාරිලෙය්‍ය වනය හා ආසන්න ග්‍රාමය විය හැකි යැයි මේජර් වොට්ස් මහතා පවසයි. මෙම ප්‍රදේශයේ තිබී බෞද්ධ සිද්ධස්ථාන සම්බන්ධ නටබුන් හමු වී තිබේ.

සම්බුදු පහස ලද, උතුම් සිරි සදහම් දෙසූ, මග ඵලලාභීන් බිහි වූ මෙම උතුම් පුණ්‍යභූමීන් අපිත් සැදැහැ සිතින් වන්දනා කරගෙන මහානීය පුණ්‍යධර්මයන් රැස්කර ගනිමු. ‘බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නා’ යන භයානක මිසදිටුවට නොරැවටෙමු.

පූජ්‍ය යටිබේරියේ සෝමඤාණ ස්වාමීන් වහන්සේ

උපුටා ගැනීම – mahamevnawa.lk වෙබ් අඩවියෙනි.