Maha Kashapa Rahathan Wahanse – මහා කාශ්‍යප රහතන් වහන්සේ

04
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ

මෙම ලිපිය සහ ඡායාරූප උපුටා ගන්නා ලද්දේ අන්තර්ජාලය ඇසුරෙනි. 

Maha Kashapa Rahathan Wahanse – මහා කාශ්‍යප රහතන් වහන්සේමෙයින් කල්ප ලක්ෂයකින් යට පියුමතුරා නම් බුදු රජාණන් වහන්සේ ලොව පහල වූ සේක.

උන් වහන්සේ හන්සවති නුවර ඇසුරු කොට ක්ෂේම නම් වූ මුව වනයෙහි වසන කල්හි වේදේහ නම් කෙළෙඹි තෙමේ අසු කෝටියක් ධනය වියදම් කොට පිළියෙළ කල්ල උතුම් වූ භෝජනය  උදැසනින්ම අනුභව කොට පෙහෙවස් ඉටා ගඳ මල් ගෙන වෙහෙරට ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ  පුදා එකත්පසෙක හුන්නේය.

එකෙනෙහි ශාස්තෘන් වහන්සේ නිසභ නම් වූ තෙරෙනි ශ්‍රාවකයන් වහන්සේ “එත දග්ගන් භික්ඛවේ මම සාවකානං භික්කුනං ධුත වාදානංයදිදං නිසභෝ” යනුවෙන් මහණෙනි! ධුතන්ගලාභී වූ මගේ ශ්‍රාවක සංඝයා අතරින් මේ නිසභ භික්ශුව අග්‍රයැයි එතදග්‍රස්ථානයෙහි තබා” වදාළ සේක.

බුදු රජාණන් වහන්සේ සමීපයෙහි සිටියාවූ වේදේහ කෙලෙඹීයානෝ ඒ අසා පහන් වූ සිත් ඇතියේ ධර්ම ශ්‍රවනය කරමින් සිට මහජනයා නික්ම ගියකල්හි භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් නමස්කාර කොට “ස්වාමිනි! හෙට දින මාගේ භික්ෂාව ඉවසා වදාළ මැනව”යි ආරාධනා කළ කල්හි, “උපාසකය! භික්ෂු සංඝයා ඉතා මහත්යැ”යි වදාළ සේක. එකල්හි ඒ කෙළෙඹි තෙමේ භාග්‍යවතුන්වහන්සේගෙන් භික්ෂු සංඛ්‍යාව කොපමෙනෙක්ද යැයි අසා අට සැට ලක්ෂයක් යැයි වදාළ කල්හි,“ස්වාමිනි! එක් හෙරණ කෙනෙකුන් වහන්සේ පමණකුත් විහාරයෙහි ඉතිරි නොකොට මාගේ නිවසට වැඩමවා, භික්ෂාව පිළිගෙන වදාරනු මැනවැ” යි කියා ශාස්තෘන් වහන්සේ එය ඉවසා වදාළ කල්හි හෙතෙමේ සිය ගෙට ගොස් මහා දන් පිළියෙළ කොට දෙවෙනි දින ශාස්තෘන් වහන්සේට වෙලාව දැන්වූ කල, උන් වහන්සේ පා සිව්රු ගෙන අට සැට ලක්ෂයක් පමණ වූ බික්සඟණ පිරිවරා ඒ උවසුවාගේ ගෙට වැඩමවා පනවන ලද ආසනයෙහි වැඩ සිටි සේක්. දක්ෂිනොදකාවසානයෙහි කැඳ ආදිය පිළිගෙන දන් වළඳන කල්හි නිසභ තෙරුන් වහන්සේ පිඬු පිණිස හැසිරෙන සේක් එම වීතියටම පිළිපන් සේක. 

උන්වහන්සේ වඩිනු දුටු උපාසක තෙමේ අසුනින් නැගිට තෙරුන් වහන්සේ වෙත ගොස් වැඳ ” ස්වාමිනි ! පාත්‍රය දෙනු මැනව”යි කීය. එවිට උන්වහන්සේ ඔහු අතට පත්‍රය දුන් සේක. එකල්හි ඒ කෙළෙඹි තෙමේ උන්වහන්සේට කියන්නේ,  “ස්වාමිනි ! මගේ ගෘහයෙහි අට සැට ලක්ෂයක් වැනීමෙහි මසුරු මල් නැති හෙයින් වදාරණ සේක්, “උපාසකය! අපි වනාහි ගිහි ගෙවල් කරා පැමිණ , එහි වැඩ සිට භික්ෂාව වලඳුමු. එසේ වුවද, ඒ නිසභ  හික්ෂුව පිණ්ඩපාතයම මිස ගෙවල් වලදී දානය නොවලඳයි. අපි වනාහි ග්‍රාමාන්ත සෙනසුන්වල වසමු. එහෙත් ඒ භික්ෂුව ග්‍රාමන්ත සේනාසනය හැරදමා වනයෙහිම වසයි. අපි වනාහි සෙවෙනි ඇති ගෙවල වසමු. ඒ භික්ෂුව සෙවෙනි කල ගෙවල නොවසා එලිමහන්හිම වසයි.” යනාදීන් වශයෙන් ඒ නිසභ තෙරුන්ගේ ගුණ සමුදාය වර්ණනා කල වදාළ සේක.

ඒ උපාසක තෙමේද එය අසා දැල්වෙන පහනෙක්හි තෙල් වත් කළ කලෙක මෙන් අතිශයින් පහන්ව මෙසේ සිතීය. “මා හට වෙන සම්පතකින් ඇති ප්‍රයෝජන කීම? අනාගතයෙහි එක් බුදු කෙනෙකුන් වහන්සේගේ සසුනෙහි ධුත වාදීන් අතුරෙන් අග්‍ර භාවය පතන්නෙමි” යැයි සිතා නැවතත් ශාස්තෘන් වහන්සේට පෙරදා මෙන්ම සත් දවසක් මහා දන් දී  සත්වෙනි දවස බුදු පාමොක් මහා සඟනට  තුන් සිවුරු පිළිගන්වා ශාස්ත්රුන්වහන්සේගේ පාමුල වැඳ වැටී, “ස්වාමිනි! මෙසේ සත් දවස මුළුල්ලෙහි  දන් දෙන්නාවූ මාගේ කය හිත වචන යන තුන් දොර මෛත්‍රී සහගත විය. ස්වාමිනි ! මම මේ පුණ්‍ය කර්මය හේතුකොටගෙන  අන්‍යවූ දිව්‍ය සම්පත්තියක් හෝ ශක්‍ර සම්පත්තියක් හෝ මාර සම්පත්තියක් හෝ බ්‍රහ්ම සම්පත්තියක් හෝ නොපතමි. මේ කුසල බලයෙන් අනාගත කාලයෙහි බුදු වී වදාරන්නාවූ එක්  බුදු කෙනෙකුන් වහන්සේගේ සසුනෙහි පැවිදිව ඒ නිසභ තෙරුන් වහන්සේ මෙන් තෙලෙස් ධුත වාදීන් අතුරෙන් අග්‍රභාවයට පැමිනේම්වා” යි ප්‍රාර්ථනා තැබීය.

ශාස්තෘන් වහන්සේ  “මොහු විසින් මහත්වූ තනතුරක් පතන ලද්දේය, එය සිදුවේදෝ හෝ නොවේදෝ” හෝයි බලා වදාරා සිදුවන බව දැක, මෙසේ වදාළ සේක.

“උපාසකය ! ඔබ  යහපත් වුවක් පැතුවෙහිය. මෙතැන් සිට කල්ප ලක්ෂයකින් ඔබ්බෙහි ගෞතම නම් බුදු කෙනෙකුන් ලොව පහල වන්නාහ. ඔබ උන් වහන්සේගේ තෙවෙනි ශ්‍රාවක මහා කාශ්‍යප නම් තෙර වන්නේයැ”යි ඔහුගේ සිත් සතුටු කරවමින් විවරණ දී වදාළ සේක.  ඒ ඇසු උවසු තෙමේ බුදුවරයාණන් වහන්සේලාගේ නම් වචන දෙකක් නැති, ඒ සම්පත්තිය දෙවෙනි දින ලැබෙන්නක් මෙන් සිතුවේය. හෙතෙම ආයු පමණින් දන් දී සිල් රැක නොයෙක් කුසල කර්මයන් කොට එයින් චුතව දෙව් ලොව උපන්නේය.

ඒක සාටක භවය

එතැන් පටන් දෙව් මිනිසුන් අතර සම්පත් විඳිනුයේ මෙයින් එකානු කල්පයකින් යට නුවර විපස්සි බුදු රජාණන් වහන්සේ බන්ධුමති නුවර අසල ඛේම නම්වූ මුව වනයෙහි වැඩ වසන සමයෙක්හි දෙව් ලොවින් සැව අවුත් එක්තරා පිරිහුණු බමුණු ගෙයක උපන්නේය.

එකල්හි විපස්සි  භාග්‍යවතුන් වහන්සේ සත් අවුරුද්දකට එක් වරක් ම දම් දෙසන සේක සත් වසකට වරක්ම දම් දෙසන හෙයින් අසුවල් දින දම් දෙසුමය යි සැලවූ විට  දෙව් මිනිසුන් අතර මහා කලබලයක් වෙයි. මුළු දම්බදිව්හි දෙවියෝ ඒ පුවත මහා ජනයාට සැලකරති. මෙසේ ඇති කල්හි ඒ බමුණු තෙමේ අද විපස්සි බුදුහු දම් දෙසතැයි ඇසීය.

ඔහුට වනාහි හඳනා සළු එකක් පමණක් ම විය. ඔහුගේ බැමිනියටද එසේම විය. දෙදෙනාටම උඩු කය වැස්මට තිබුනේ එකම සළුවෙකි. එහෙයින් මුළු නුවර ඒක සාටක බමුණා යැයි ප්‍රසිද්ධ විය.  බමුණන්ගේ රැස්වීමක් ඇති කල්හි  බැමිණිය ගෙහි නවතා  තෙමේ සළුව හැඳගෙන යයි. බැමිනියන්ගේ රැස්වීමක් වූ කල්හි බමුණා ගෙහි නවතා සළුව හැඳ බැමිණිය එහි යන්නීය. එදවස්හි බමුණා බැමිනියගෙන්, “පින්වතිය! ඔබ රැ බණ ඇසීමට යන්නෙහි දැ? නැතිනම් දවල් බණ ඇසීමට යන්නේදැයි “යි ඇසු කල්හි බැමිණි තොමෝ කියන්නේ,” අපි වනාහි ගැහැණුය. එහෙයින් රාත්‍රියෙහි බණ ඇසීමට හුදෙකලාව යා නොහෙමු. දවල්හිම අසන්නෙමි” යි බමුණා ගෙහි නැවත ඒ වත පොරවා උවැසියන් හා සමග ගොස් සාස්තෘන් වහන්සේ වැඳ එකත් පසෙක හිඳ දහම් අසා උවැසියන් හා සමග පෙරලා ගෙට පැමිණියාය.

ඉක්බිති බමුණා ඇය ගෙහි නවතා එම සළුව පෙරවා ගෙන විහාරයට යන්නේ ශාස්තෘන් වහන්සේ පිරිස් මැද අලංකාර කොට පැනවූ අසුනෙහි සිට  විසිතුරු විජිනි පත ගෙන අහස් ගඟ බිමට බස්වන්නාක් මෙන්, මහමෙර රැහෙනකින් බැඳ  සයුර කලම්බන්නක් මෙන්  ධර්ම දේශනා කරන සේක. පිරිස් කෙලවර සිට බණ අසන්නාවූ ඒ බමුණාගේ මුළු සිරුර පෙරයම්හිම පස් වනක් ප්‍රීතියෙන් පිනා ගියේය. හෙතෙමේ පෙරෙවි වත හකුලා නමා දශ බල ධාරින් වහන්සේට පුජා කරමැ”යි සිතීය.

ඉක්බිතිව  සළුව පිදීමෙහි දොස් දැකීමෙන්  මසුරු සිතෙක් උපන්නාවූ ඔහු “මටත් මගේ බැමිනියටත් පෙරවීමට ඇත්තේ මේ එකම වස්ත්‍රය පමණය. මෙය පුජා කලොත් අපි දෙදෙනාටම පෙරවීමට අන් සළුවක් නැත. උඩු කය වසන සළු නොපොරෝවා ගෙන් පිට යාමටද නොහැක.” ආදී වශයෙන් සිතන්නාවූ ඔහු ට එය නොපුදනා සිතම දැඩි කොට පහල විය. 

අනතුරුව පෙරයම නිකුත් වූ කල්හි මැදුම් සමයෙහිද පස් වණක් ප්‍රීතියෙන්  පිනා ගොස් පෙර සේම වස්ත්‍රය  පිදීමට සිතා, නැවත  නොපුදනු කැමතිව බණ අසන්නේ  මැදුම් යාම ඉක්ම අළුයම් වේලෙහි ද එසේම පස් වණක් ප්‍රීතියෙන් පිණා ගියේය.

එකල්හි හෙතෙම “තරනං වා! හොතු මරණං වා!!” යි  (තරණය හෝ මරණය හෝ වේවා) එය පසුව දැන ගන්නෙමැයි සිතා ඒ පොරෝනා සළුව හකුලා බුදුන් පාමුල තබා, වමත හකුළුවා දකුණතින් තෙවරක් අත් පොලොසන් දී “දිතම්මේ  දිතම් මේ” (මම දිනුවෙමි මම දිනුවෙමි) යි තෙවරක් ප්‍රීති ඝෝෂා කළේය.

එසමයෙහි වනාහි  බන්ධුම නම් රජ තෙමේ ධර්මාසනයට පසු පසින් ඇතුල් තිරයෙහි සිට දහම් අසයි. ඔහුට  “දිතම්මේ ! දිතම් මේ !!” (මම දිනුවෙමි ! මම දිනුවෙමි!!) යි යන හඬ ඇසීම නුරුස්නා හෙයින් බමුණා වෙත රාජ පුරුෂයෙකු යවනුයේ ඒ කිම්දැයි අසා එව” යයි විධාන කළේය. ඒ පුශයාද බමුණා වෙත ගොස් ඒ “දිතම්මේ ! දිතම් මේ !!” යන්නෙහි අදහස විමසන ලද්දේ බමුණා ඔහුට මෙසේ කීය. “සෙස්සෝ ඇත් යහන් ආදියට නැග කඩු , පලිහාදිය ගෙන පර සතුරන් දිනති. ඒ දිනීම අපුරුවක් නොවෙයි.  මම වනාහි  පසුපස ලුහු බැඳ එන්නාවූ කුළු ගෝනෙකුගේ හිස මුගුරෙකින් බිඳ ඌ පලවා හරික්කක් මෙන්, මසුරු සිත පරදවා,  පොරෝනා වත දස බල ධාරීන් වහන්සේට පිදුවෙමි. මා විසින් ඒ මසුරු සිත දිනන ලදිමි” යි කීය. 

ඒ පුරිසාද රජු වෙතට පැමිණ එපුවත සැලකළේය. රජ තෙමේද , “සගය! අප වනාහි දසබල ධාරීන් වහන්සේට සුදුසු වූ දැය නොදනුම්හ. මේ බමුණා දනී යැයි ඔහුට වස්ත්‍ර සඟලක් යැවීය. ඒ දුටු බමුණා සිතන්නේ “මේ රජ තෙම නිහඬව සිටියාවූ අපට පළමුව කිසිවක් නොදී , ශාස්තෘන් වහන්සේගේ ගුණ කියන කල්හි මේ දුන්නේය. ඒ නිසා ශාස්තෘන් වහන්සේවහන්සේගේ ගුණයෙන් උපන් මෙයින් මට කිනම් ප්‍රයෝජනයක්ද යයි කියා ඒ වස්ත්‍ර යුග්මයද  බුදුන්ට පිදීය. රජ තෙමේ බමුණා කල දෙය අසා ඒ වස්ත්‍ර යුග්මයම බුදුනට පිදු බව දැන ඔහුට අනික් වස්ත්‍ර සතරක් යැවීය. හෙතෙම ඒ ද බුදුනට පිදීය. රජතෙමේ  නැවතත් වස්ත්‍ර අටෙක්දැයි මෙසේ පිලිවෙලින් වස්ත්‍ර සිව් සැටෙක් යැවීය. එකල්හි බමුණු තෙමේ  “මේ වනාහි වැඩි වැඩියෙන් ගැනීමෙකැයි ” සිතා තමාට හා බමිනියර වස්ත්‍ර දෙකක් තබාගෙන සෙසු සියල්ල ම බුදු රජාණන් වහන්සේට පුජා කළේය. 

එතැන් පටන් ඒ බමුණු තෙමේ ශාස්තෘන් වහන්සේ හා විශ්වාශ වුවෙක් විය. ඉක්බිති රජ තෙමේ සීත සමයෙක්හි දිනක් බුදුන් හමුවේ සිට ධර්ම ශ්‍රවනය කරන්නාවූ ඒ බමුණා දැක ලක්ෂයක් වටනා තමාගේ පොරෝනා රක්ත කම්බිලිය  දී, “මෙතැන් සිට මේ වත පොරවාගෙනම බණ අසව” යි කීය.

හෙතෙම, “මේ අගනා කම්බිලිය මගේ කුණු සිරුරෙහි එලවීමෙන්මට කිනම් ඵලයක් ද?” යි සිතා තථාගතයන් වහන්සේගේ ගඳ කිලිය තුලට පැමිණ, උන් වහන්සේගේ ඇඳට  උඩු වියනක් කොට බැඳ ගියේය. දිනක් රජ තෙමේ උදෑසනම වෙහෙරට ගොස් ඇතුල් ගඳ කිලියෙහි වැඩ සිටි ශාස්තෘන් වහන්සේ වෙත හිඳ ගත්තේය. එවිට සවනක් ඝන බුද්ධ රශ්මිය එම කම්බිලියෙහි වැදී අතිශයින්ම දිලිසෙන්නට විය. රජතුමා එදෙස බලා කම්බිලිය හඳුනා, “ස්වාමිනි ! අපගේ මේ කම්බිලිය අප විසින් එක සාටක බමුණා ට දෙන ලද්දේය” යි කීය. එකල්හි තථාගතයන් වහන්සේ “මහරජ ඔබ විසින් ඒ බමුණා පුදන ලද්දේය. බමුණා විසින් අප පුදන ලද්දේය” යි වදාළ  සේක.

එවිට රජ තෙමේ,  “යුත්තන් අඥායි ” යනුවෙන්, “මේ බමුණා කල යුතු දෙය දත්තේය. අප විසින් නොදත්තේය”යි පැහැද, මිනිසුන්ට ප්‍රයෝජනවත් වන්නාවූ යම් දෙයක් වෙත්ද, ඒ සියළු දෙයින් අටක් අටක් බැගින් ගෙන ඔහුට සර්වාෂ්ට පරිෂ්කාර නම් දානයක් දුන්නේය. ඒ දානය දී ඔහු පෙරෙවි බමුණු තනතුරෙහි පිහිටුවීය. එසේ හෙයින් “පුජකෝ ලභතේ, පුජන් චන්දනෝ පටි චන්දනං“ යනු කීහ.

ඉන් පසු ඒ බමුණු තෙමේද  අට අට නම් සිව් සැටෙන් සලාක දාන පිහිටුවා, දිවි ඇති තෙම දන් දී සිල් රැක ඉන් චුතව දෙව් ලොව උපන්නේ එහි මහත් වූ දෙව් සැප විඳ එයිනුත් චුතව මෙම කල්පයෙහි කෝණාගමන – කාශ්‍යප යන බුදුවරයන් වහන්සේලාගේ අතර කාලයෙහි බරණැස කෙළෙඹි ගෙයක ඉපිද, වැඩි විය පැමිණ ගිහි ගෙහි වසනුයේ දිනක් වනයෙහි ජන්ගා විහරණය  පිණිස හැසිරුනොය. 

එකල්හි පසේ බුදු වරයෝ ගංතෙර සිව්රු කර්මාන්තයක් කරනුයේ නුවාවකට රෙදි මදි වුයෙන් අකුළා තබන්නට සුදානම් වුහ. එය දුටුවාවූ ඒ බමුණු තෙමේ  එහි ගොස් පසේ බුදුවරුන් වැඳ , “ස්වාමිනි!  කුමක් නිසා සිව්රු කර්මාන්තය අවසන් නොකොට අකුළා තබන්නාහු” දැයි ඇසීය. එවිට “උපාසකය !නුවාවට රෙදි මදි වූ හෙයිනැ”යි කී විට ” ස්වාමිනි !මේ රෙදි ගෙන ඒ කල මැනව”යි කියා තමාගේ පොරෝනා සළුව දී , “මේ පිණ හේතු කොට ගෙන උපනුපන් ජාතියෙහි මා හට කිසිම දෙකින් අඩුවක් නොවේවා” යි ප්‍රාර්ථනා කොට ගියේය.

ඔහුගේ ගෙහි නැගණිය සමග ඔහුගේ බිරිඳ කළහ කරන කල්හි පසේ බුදු රජාණන් වහන්සේ පිඬු පිණිස ඒ ගෙදරට වැඩි සේක. එවිට ඔහුගේ නැගණිය පසේ බුදුන්ට පිඬු පිළිගන්වා සිය සොයුරු බමුණාගේ බිරිඳ උදෙසා මෙසේ කීවාය. “මෙවැනි බාලයන්ගෙන් යොදුන් සියයකින්ම ඈත්ව උපදීවා” යි ප්‍රාර්ථනා කලාය. ගෙමිදුල සිටියාවූ ඒ බැමිණියද එය අසා , ” මැය  විසින්  දෙන ලද බත මෙතෙම නුබුදීවා”යි පත්‍රය ගෙන පිණ්ඩපාතය ඉවත ලා පත්‍රයෙහි මඩ පුරවා පසේ බුදුනට පිළිගැන්වූවාය. එකල්හි අනික් තැනැත්තිය එය දැක , “මෝඩ තැනැත්තිය! මාහට ආක්‍රෝෂ හෝ කරව! පහර හෝ දෙව. දෙයාසංක්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පුරන ලද පෙරුම් ඇති මුන් වහන්සේ ගේ පාත්‍රයෙන් පිණ්ඩපාතය ඉවත ලා මඩ පුරවා දීම යුතු නොවේ්ය”යි කීවාය,

එකල්හි ඒ බැමිණිය තමා කල දෙය නොහොබීයැයි සෝක උපදවා “ස්වාමිනි! අනුකම්පාකොට තව  ටිකක මෙහි වැඩ සිටිය මැනව “යි කියා පාත්‍රය ගෙන සෝදා සුවඳ දියෙන් තෙමා පිරිසිදු කොට චතු මධුර පුරවා ඊ මතුපිට අළුත් ගිතෙල් වත් කොට පසේ බුදුන්ට පිළිගන්වා, ” යම්සේ මේ පිණ්ඩපාතය බබලන්නේද එසේම මාගේ ශරීරයත් බබලන්නක් වේවා “යි ප්‍රාර්ථනා කළාය. පසේ බුදු රජාණන් වහන්සේ ද –

ඉච්චිතන් පතති ථo තුය්හන්,
ඛිප්ප මේවා සමිජ්ජතු,
සබ්බේ පුරේන්තු චිත්ත සංකප්පා –
චන්දෝ පන්න රසි යථා!’ යි අනුමෝදන් කොට අහසට පැන නැගී සේක.

ඒ අඹු සැමි යුවල ආයු පමණින් කුසල් දහම් කොට දෙව් ලොව ඉපිද නැවත එයින් චුතව  උපාසක තෙමේ කාශ්‍යප බුදුන්ගේ සමයෙහි  බරණැස , අසු කෙළක් ධන ඇති සිටුවරයෙකුට පුත්ව උපන්නේය. ඔහුගේ භාර්‍යා තොමෝද,  දෙව් ලොවින් චුතව එබඳුම සිටුවරයෙකුට දුව උපන. වැඩි විය පැමිණි ඒ සිටු කුමරු ඒ සිටු දියණියම සරණ පාවා ගත. ඕ තොමෝ පුර්ව ජන්මයෙහි  පළමු කොට නුදුන් විපාකයෙන් ගෙට පියවර තබන කෙනෙහිම, විවර කරන ලද මහත් සේ දුගඳ වැහෙන්නා වූ වැසිකිලියක් මෙන් ඇගේ ශරීරයෙන් දුගඳ හමන්නට විය. සිටු කුමරා මේ කාගේ දුගඳක් දැයි විචාරා , තමා කැඳවා ගෙන ආ සිටු දියණියගේ යයි අසා “මැය  ආපසු ගෙන යව “යි පැමිණි යහනින් ම කුල ගෙට යැවීය. ඕ තොමෝ මේ නියායෙන් ම සත් තැනකටම දීග ගොස් පෙරලා ආවාය.

එසමයෙහි කාශ්‍යප දශ බල ධාරින් වහන්සේ පිරිනිවී සේක. නුවර වැස්සෝ උන් වහන්සේගේ ධාතු ශරීරය තැන්පත් කොට රුවන් මුවා උළු ගඩොලින් , යොදුනක් පමණ උස මහා සෑයක් කිරීමට පටන් ගත්හ. ඒ  සෑය කරනු ලබන කල්හි ඒ සිටු දියණි තොමෝ මෙසේ සිතුවාය. “මම සත් තැනකටම දීග ගොස් ශරීරයෙන් දුගඳ හමන්නට වීමෙන් වුයෙන් පෙරලා ආවෙමි. දැන් මාගේ මේ ජීවිතයෙන් කුමන ප්‍රයෝජනයක් දැයි තමාගේ රන් රුවන් ආභරණ සියල්ල ගෙන රන් කරුවන් ලවා රියනක් දික්වූ වියතක් පුළූුල් වූ සතරඟුලක් උස්වූ  (ඝන අඟල් 504) ප්‍රමාණ ඇති ගඩොලක් තනවා , නැවත හිරියල් මනෝ සිලා පිඬක් හා උපුල් මල් මිටි අටක් ගෙන සෑය කරණ තැනට ගියාය. එවේලෙහි සෑය බඳින වඩුවෝ උළු පෙළක් තබා බැඳ දෙකෙළවර ගලපන තැනට එක් උළක් මඳව සිටියහ. එකෙනෙහි සිටු දියණි තොමෝ තමා ගෙන ගිය ගඩොල දී එය ගලපා බඳින්නැයි කීවාය.

එකල්හි ඒ  වඩුවෝ කියන්නාහු “මෑණියෙනි! හොඳ වෙලාවටම ඔබ මෙහි ආවාය. එහෙයින් සියතින්ම එය තබවැ”යි කීහ. ඕ තොමෝද එය එහි තබා තමා ගෙන ගිය හිරිගල්, මනෝසීල තෙලෙහි අනා ඒ බැම්මෙහි ගඩොල තබා බැඳ , ඊ මත උපුල් අට මිට තබා වැඳ “මා උපනුපන් අත්බැව්හි කයින් සඳුන් සුවඳ හමාවා! මුවින් උපුල් මල් සුවඳ හමාවා!” යි පතා සෑය වැඳ පැදකුණු කොට පෙරළා ගියාය. 

එකෙනෙහිම යම් සිටු පුත්‍රයෙකුට පළමු කොට පවරා දෙන ලද ඔහුට ඇය පිලිබඳ සිත් පහළ විය. එකල්හි ඒ නගරයෙහි නැකත් කෙළියෙක් වී. එකල්හි ඒ සිටුපුත් තෙම එදා මෙහි කැඳවා ගෙන ආ සිටු දුව කොහි වසන්නීදැයි විචාරා , “ස්වාමිනි! ඈ කුලගෙහි වසන්නීය” යි කී කල්හි, “එසේ නම් එහි ගොස් ඇය කැඳවා ගෙන එව! ඇය හා නැකැත් කෙලි කෙලින්නෙමි ” යි කීය. ඒ පුරුෂයෝද සිටු දියණිය වෙත ගොස්  ඇයට ආචාර දක්වා සිටි කල්හි, ඇය විසින් “දරුවෙනි ! තෙපි කුමක් සඳහා මෙහි ආවාහු දැ” යි  ඇසුවාය. ඔව්හු තමන් ආ කරුණ කියා සිටියහ.

එවිට ඕ තොමෝ තමාගේ සියළු ආභරණ චෛත්‍යයට පිදු හෙයින් ආභරණ නැතිව එහි යා නොහැකිව  ඒ පුරුෂයන් අමතා , “දරුවෙනි මගේ ආභරණ චෛත්‍යයට පිදුවෙමි, එහෙයින් මට දැන් ආභරණ නැත”යි කීවාය. එකල්හි ඔව්හු පෙරළා ගොස් සිටු පුත්‍රයාට ඒ බැව් සැලකළහ. එවිට සිටු පුත් කියනුයේ, “දරුවෙනි! ඇය මෙහි කැඳවා ගෙන ඒව. පසුව ආභරණ ලබා ගත හැකි” යැයි කියා යැවීය. ඔව්හුද නැවත ඇය කරා ගොස් සියළු පවත් සැළකොට ඇය කැඳවා ගෙන ආහ.

ඇය ගෙට පිවිසෙත්ම මුළු ගෙයම සඳුන් සුවඳින් හා උපුල් මල් සුවඳින් සුවඳවත් විය. සිටු පුත්‍රයා ඇය විචාරනුයේ,  “පළමුව තිගේ සිරුර වැසිකිලියක් මෙන් දුගඳ විය. දැන් වූ කලි එය සඳුන් සුවඳ දෙයි. මුවින්ද උපුල් මල් සුවඳ හමයි. ඒ කවර කරුණක් නිසාදැ”යි ඇසී ය. ඕ තොමෝ මුල පටන් තමා කල කුශලාකුශල කර්මයන් දැන්වූවාය.

සිටු තෙමේ එය අසා, “අහෝ මේ බුද්ධ සාසනය නෛර්යානිකය. ඒකාන්තයෙන්ම මේ බුද්ධ සාසනය නෛර්යානිකය යැ”යි පැහැද යොදුන් පමණ වූ රන් සෑය අගනා කම්බිලියකින් වසා තැන්හි තැන්හි රියනක් පමණ මහත් වූ රන් පියුමින් අලංකාර කරවීය. ඒ සවර්ණ පද්මයන්ගේ දොළොස් රියනක් පමණ වූ එල්ලෙන මලෝලඹු වෙති.

හෙතෙම ආයු ඇති තාක් කල් කුසල් කරමින් සිට ඉන් චුතව ස්වර්ගයෙහි ඉපිද නොයෙක් සම්පත් විඳ එයින් චුතව බරණැසින් යොදුනක් පමණ තන්හි එක්තරා ඇමැති ගෙයක උපන්නේය. සිටු භාර්යාවද එසේම පින් රැස්කොට මියගොස් දෙව්ලොව ඉපිද ඉන් චුතවූ කල්හි රජ කුලයෙහි දෙටු දියණියව උපන්නීය.

ඔවුන් වැඩි විය පැමිණි කල්හි කුමාරයාගේ ගම නැකත් කෙලියක් විය. හෙතෙම මෑණියන් වෙත ගොස් “මෑනියෙනි අද නැකත් කෙළි කෙලනු සඳහා මට ඇඳගැනීමට සළුවක් දෙන්නැ”යි කීය. ඕ තොමෝ දෙවූ වතක් ගෙන ඔහුට දුන්නාය.  එවිට බමුණු පුත් තෙමේ එය ගෙන අල්ලා බලා කියන්නේ, “මෑණියෙනි! මේ ඉතා රළුය. අනික් වතක් දෙන්නැයි ඉල්ලු කල ඕ තොමෝ අනෙක් වතක් තෝරා ඔහුට දුන්නීය. ඔහු එයද රළු යැයි පිළිකෙව් කල කල්හි නැවත මව් තොමෝ අනෙක් පිළියක් දුන්නාය. හෙතෙම එයද පිළිකෙව් කළේය.  ඉක්බිති මෑණි තොමෝ ඔහු අමතා, “දරුව! අපි දිළින්දෝ වෙමු. අපට මීට වඩා සියුම් වූ වස්ත්‍ර ලැබීමට  පිනෙක් නැතැ”යි කීවාය. එකල්හි හෙතෙමේ, “මෑණියෙනි! සිනිදු වත් ඇති තැනෙකට යන්නෙමි” යි කී කල්හි, “දරුව ඔබට අදම මේ බරණැස රාජ්‍යය ලැබෙන්නේ නම් මම ඉතා කැමතිය” යි ඔහුගේ ඉල්ලීමට සතුටින් එකඟ බව දැන්වූවාය. ඔහුද මව් වැඳ  ‘මෑණියෙනි මම සිනිඳු පිළි ඇති තැනකට යන්නෙමි” යි කියා සමුගෙන ගියේය.

හෙතෙමේද පින් මහිමය ඇති හෙයින් මගට බැස යන්නේ බරණැස මගුල් උයනට පැමිණ මගුල් සල වටෙහි වැද හොත්තේය. ඒ වනාහි බරණැස් රජු කලුරිය කොට සත් වෙනි දවසය. ඇමැතියෝ රජුගේ ශරීරය දහණය කරවා රජ මැදුර මිදුලේ සිට කතිකා කරන්නාහු, “රජුගේ රාජ්‍ය භාරය පැවැරීමට පුතෙක් නැත. ඇත්තේ එකම දුවය. රජෙක් නැති රාජ්‍යය නොබබලයි. කවරෙක් රජ වන්නේද?  ඔබ රජ වේවා යි, ඔබ රජ වේවායි” යනාදී වශයෙන් ඔව්හු රජෙකු පත්කර ගන්නට නොහැකිව සිටියහ.  ඒ දුටු පුරෝහිත බමුණා එහි පැමිණ මෙසේ කීය. “ඇමතිවරුනි,  තව තවත් පමා කිරීමෙන්, බලා හිඳීමෙන් වැඩක් නැත. රජුගේ මංගල රථය සරසා පිටත් කරමු” යනුයි. එකල්හි ඔවුන් සියල්ලෝ, රජුගේ මගුල් රිය සෛන්ධව අසුන් සතර දෙනෙක් යොදවා , පංච විධ කකුධ භාණ්ඩ හා සේ සතත්  ඒ තුල තබා  රථය පිටත් කර යවා  රථය පසුපසින් තුර්ය  වාදනය කරමින් යාමට තුර්ය වාදකයන් ද යෙදුහ.

රථය පෙරදිග දොරින් නික්ම  උයන දෙසට යන්නට විය එකල්හි ඇමතියෝ, “පෙර පුරුද්ද නිසා අසුන් මගුල් උයන දෙසටම යන්නෝය. උන් අන් දිසාවකට හරවමු “යි කීහ. එනමුත් පෙරෙවි බමුණා, “රථය නොනවත්වව!” යි කියා අසුනට රිසි සේ රථය ඇදගෙන යන්නට හැරියෝය. මෙසේ මගුල් උයනට ගිය රථය, එහි මගුල් සිලාවෙහි වැදහොත්  කුමරු වෙතට ගොස් පැදකුණු කොට , කුමාරයා රියට  නංවා ගනු කැමැතිව මෙන් සිටියේය. ඒ දුටු පෙරෙවි බමුණු තෙමේ  වැද හෙව හුන් කුමරු පෙරෙවි රෙදි කොණ ඉවත් කොට පතුල් බලන්නේ ම ඔහුගේ ලක්ෂණ දැක, මෙතෙමේ වනාහි දෙදහසක් කොදෙව් පිරිවර කොට ඇති සතරමහා දිවයින් එක්සත් කොට චක්‍රවර්ති රජ වීමට හේතු ඇත්තෙක” යි කියා  “නැවත නැවතත්, තුර්ය  නාද පවත්වව්”  කියා තෙවරක් තුර්ය නාද පැව්ත්වුහ.

එකෙනෙහි නිදා හොත් කුමරු මුහුණ විවර කොට බලා,“ඔබ හැම කුමකට මෙහි ආවාහුදැ”යි ඇසු කල්හි, ඔව්හු කියනුයේ “දේවයන් වහන්ස! ඔබට මේ බරණැස් රාජ්‍යය ලැබෙන්නේයැ”යි කීහ. එවිට ඔහු අසනුයේ “බරණැස් රජ කොහිදැ”යි ඇසීය. “ස්වාමිනි රජතුමා පරලොව  ගියේයැ”යි කී කල්හි “කොපමණ දවස් ඉකුත් වී දැයි ඇසීය, එකල්හි ඇමතියෝ, “ස්වාමිනි අදට දින සතෙකි”යි  කීහ. “ඔහුට පුතෙකු හෝ දුවෙකු නැත්දැ”යි ඇසු කල, “දේවයන් වහන්ස ! දුවෙක් ඇත. පුතෙක් නම් නැත” යි කීහ.

එකෙනෙහි හෙතෙමේ, ” එසේනම් මම රජය භාර ගන්නෙමි” යි කී  පසු ඔව්හු එකෙනෙහිම අභිෂේක මණ්ඩලයක් තනා  සියළු අලංකාරයෙන් සරසන ලද රාජ කුමරියකුමාරිය කැඳවා ගෙනවුත් ඔහුට අභිෂේක කොට පාවාදී රාජ්‍ය භාරය පැවරුහ. කරන ලද අභිෂේක ඇති ඔහුට ලක්ෂයක් වටනා වස්ත්‍රයක් දුන්හ. හෙතෙම එය බලා , “ඇමතියෙනි! මේ කුමක්දැයි ඇසු කල්හි “දේවයන් වහන්ස! මේ අඳනා වස්ත්‍රය” යි කී කල්හි රජ තෙමේ “දරුවෙනි! මෙය ඉතා රළු නොවේද? මීට වඩා සියුම් වතක් නැද්දැ”යි කීහ. එවිට ඇමතියෝ, “දේවයන් වහන්ස! මිනිසුන් පරිභෝගයට ගන්නා වස්ත්‍ර අතුරෙන් මීට වඩා සියුම් වස්ත්‍ර නැතැ”යි කීහ.

එකල්හි රජ තෙමේ, “දරුවෙනි ! තොපගේ මියගිය රජ තෙමේ ඇන්දේ මෙබඳු වස්ත්‍ර දැයි ඇසු කල්හි, එසේය යි කීහ. එසේනම් දරුවෙනි, ඒ රජ පිනැත්තෙක්යැයි නොසිතමි. අපි සියුම් වස්ත්‍ර ලබමු යැයි කියා  පැන් කෙන්ඩිය ගෙන්වාගෙන හුන් තැනින් නැගිට අත් සෝදා මුව සෝදා දෝතින් දිය ගෙන, පෙර දිගට ඉස්සේය. ඒ මොහොතෙහි ම බොල් පොළොව පළාගෙන කප් රුක් අටක් පැන නැංගේය. නැවත දිය ගෙන සෙසු තුන් දිසාවට පැන් ඉස්සේය. සිව් දිගින්ම අටක් අටක් බැගින් දෙතිස් කප් රුකක් පැන නැංගේය. එකල්හි හෙතෙම තමාගේ පුණ්‍ය මහිමයෙන් උපන් කැප රුකින් ගත් දිව දුහුලෙක් හැඳ දිව දුහුලෙක් පොරවා, “නන්ද රජුගේ විජිතයෙහි නූල් කටින්නාවූ ස්ත්‍රීහු නූල් නොකටිත්වා” යි බෙර හසුරුවා සේසත උස්වා අලංකාර කොට පිළියෙළ කරණ ලද ඇතු පිට නැගී නුවරට පිවිස පහයට නැගී මහා සම්පත් අනුභව කළේය.

මෙසේ කල් යවන කල්හි බිසව් තොමෝ රජ තුමාගේ මහා සම්පත්තිය දැක, “අනේ ! අපගේ රජ තුමාගේ ලාමක බවෙක හැටි” යයි කරුණාවෙන් මෙන් කීවාය. ඒ ඇසු රජ තෙමේ, “දේවිය! කුමක් කීදැ” යි විතාල කල්හි, බිසෝ තොමෝ කියනුයේ, “දේවයන් වහන්ස! මේ ඔබ වහන්සේගේ මහත්වූ සම්පත්තිය පෙර බුදු වරුන් අදහා කළ කුශල කර්මයන්ගේ විපාකයෙකි. දැන් ඔබ ඒ මහත් වූ සම්පත්තිය අනුභව කරණු මිස මතුවටත් මේ වැනි සම්පත් ලැබීම සඳහා කුශලයක් නොකරන්නේ යැ”යි කීවාය.

රජුද “දේවිය ! සිල්වතුන් නැති කල්හි කා හට දී පින් රැස් කෙරෙම්දැ”යි කිව. ඒ කල්හි දේවිය කියනුයේ “දේවයන් වහන්ස! මේ දඹදිව රහතුන්ගෙන් නොසිස්ය. ඔබ වහන්සේ දානය පිළියෙළ කරණු මැනව. මම රහතුන් වහන්සේලා ලබා ගන්නෙමි” යැයි කීවාය. රජ තෙමේ දෙවෙනි දවස පෙරදිග දොරටුවෙහි දන් පිළියෙළ කරවීය. දේවි තොමෝද උදෑසනම පෙහෙවත් ඉටා මතු මහලෙහි පෙරට මුහුණ ලා ඇලයෙන් වැද හේවා “ඉදින් මේ දිසාවෙහි කොතැනක හෝ රහතුන් වහන්සේලා වෙත් නම් අද දවස මෙහි වැඩමවා  අපගේ භික්ෂාව පිළිගන්නා සේක්වා “යි කීවාය.

ඒ දිග රහතුන් වහන්සේලා නොවුහ ඒ පිළියෙළ කල දානය දුගී මගී යාචකයන්ට දී පසුවදාත්  දකුණු දොර දානය පිළියෙළ කොට  එසේම කාලය. පසු දිනත් පැසුළු දොර  ද දානය පිළියෙළ කොට  එදිනද රහතුන් වහන්සේලා නොලත් හෙයින් පෙර සේම කළහ. එයට පසු දින උතුරු දොර දන් පිළියෙළ කොට පෙරසේම දේවිය ආරාධනා කල කල්හි හිමවත වසන්නාවූ  පත්මාවතියගේ පුත් පන්සියයක්  පසේ බුදුවරයාණන් වහන්සේලා අතුරෙන්  වැඩිමහළු වූ  මහා පදුම නම් බුදු රජාණන්වහන්සේ සොයුරන් අමතා, “නිදුකානෙනි! නන්ද රජ තෙමේ ඔබ වහන්සේලාට දානය සඳහා ආරාධනා කරයි. එහි වැඩමවා ඔහුගේ දානය ඉවසා වදාරන්න්නැ”යි කී සේක. ඒ පසේ බුදු වරුන් වහන්සේලා  ද එය ඉවසා වදාරා දෙවෙනි දින අනවතප්ත විලෙන් මුව දොවා අහසින් වැඩමවා උතුරු දොරට අහසින් බටහ.

මිනිසුන් ගොසින් “දේවයන් වහන්ස! පන්සියයක් පසේ බුදුවරුන් වහන්සේලා වැඩ වදාළහ”යි රජුට සැලකළහ. රජ තෙමේ එය අසා බිසව  හා එහි ගොස්  වැඳ පාත්‍රා ඉල්වා ගෙන  පසේ බුදුවරයාණන් වහන්සේලා ප්‍රාසාදයට වැඩමවා දානය පිළිගන්වා බත් කිස අවසන් වූ කල්හි රජ තෙමේ , සංඝ ස්තවිරයගේද, බිසෝ තොමෝ සංඝ නවකයන් වහන්සේලාගේද පා මුල්හි වැද හෙව, “ආර්‍යයන් වහන්සේලා  සිව් පසයෙන් ක්ලාන්ත නොවන්නාහුය. අපි පුණ්‍  ජලයෙන් නහනු කැමැත්තෝ වෙමු. අපගේ ජීවිතාන්තය දක්වා  මෙහි වාසය කරනු මැනව”යි ආරාධනා කොට පිළිණ කරවා ගෙන , උයනෙහි පන් සියයක් පන්සල්ද, තුන් සියයක් සක්මන් මළු දැයි වශයෙන් සියළු ආකාරයෙන් වසන නිවසන තැන් පිළියෙළ කොට පන් සියයක් දෙනා වහන්සේ එහි වැස්සවුහ.

මෙසේ පසේ බුදු වරයාණන් වහන්සේලාට දානාදියෙන් උපස්ථාන කරමින් කාලය ගෙවන කල්හි රජුගේ පසල් දනව්වක් කිපුනේය. රජ තෙමේ මම පසල් දනව්ව සංසිඳවීමට යන්නෙමි. ඔබ පසේ බුදුවරයාණන් වහන්සේලා කෙරෙහි පමා නොවී වසනු මැනවැ”යි දේවියට කියා අවවාද කොට ගියේය.

රජ තෙමේ ආපසු පැමිණෙන්නට මත්තෙන්ම පසේ බුදුවරයානන්ගේ ආයු පිරිහී ගියේය. මහා පදුම බුදු වරයන් වහන්සේ රෑතුන් යාමයෙහි දැහැන් කෙළි කෙළ හිරු උදාවෙහි ආලම්බන ඵලකයෙහි එල්බ ගෙන සිටිවනම නිරුපාදිශේෂ වූ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. මේ නියායෙන් සියළුම පසේ බුදු වරයාණන් වහන්සේලා සියළු දෙනා වහන්සේම පිරිනිවන් පෑහ. දෙවෙනි දින දේවියරජ මැදුරෙහි පසේ බුදුවරයාණන් වහන්සේලා ගේ හිඳිනා තැන් හැමද පිරිසිදු කොට මල් අතුරා සුවඳ දුම් දෙවා උන්  වහන්සේලාගේ පිවිසීම බලා හින්ද නොවදින නියාව දැන පුරුෂයෙකු අමතා “දරුව! යව, ආර්යයන් වහන්සේලාට කිසියම් උවදුරෙක් වී දැයි බලා එව!” යි කියා යැවීය. උහුද ගොස් මහා පදුමයන් වහන්සේගේ පන්සල් දොර හැර උන් වහන්සේ නොදැක සක්මන් මළුවට ගොස් ආලම්බන පුවරුවෙහි එල්බ වැඩ සිටිනු දැක වැඳ “ස්වාමිනි ! මේ දානයට කාලයයැ”යි කීය.

එසේ වුවද, ඒ මළ සිරුර කෙසේ කථා කරයිද? හෙතෙම උන්වහන්සේ නිදන්නේයැයි සිතා ලංව පිටි පතුල අතින් පිරි මැද පාදයන්ගේ සිසිල් බවද තද බවද දැන පිරිනිවී සේකැයි සිතා, දෙවැනි පසේ බුදුන්ගේ පන්සලට ගියේය. මෙසේ තුන් වැනි පසේ බුදුවරයන් වහන්සේදැයි සියල්ලෝම පිරිනිවී බව දැන රජ ගෙට ගියේය. දේවි තොමෝ, “දරුව! පසේ බුදුවරුන් වහන්සේලා කොහිදැ”යි විචාල කල්හි, “දේවීනි! උන්වහන්සේලා හැම දෙනාම පිරිනිවියාය”යි කීය.

ඒ ඇසු දේවි තොමෝ හඬමින් වැලපෙමින් රජ ගෙයින් නික්ම නුවර වැස්සන් සමග එහි ගොස් සාධු කෙළි කරවා පසේ බුදුවරයන් වහන්සේලාගේ සිරුරු දහණය කරවා ධාතුන් ගෙන සෑයක් පිහිටුවුවාය. රජ තෙමේ  පාසල් දනව්ව සංසිඳුවා පෙරලා රජ ගෙට පිවිසුනේ පෙර ගමන් කළ දේවිය අමතා “සොඳුර! පසේ බුදු වරයානන්වහන්සේලා  කෙරෙහි නොපමා වූවාද? උන් වහන්සේලා  නීරෝගීව වසන්නාහුදැ”යි ඇසීය. එකල්හි බිසෝ තොමෝ, “දේවයන් වහන්ස ! පසේ බුදුවරයාණන් වහන්සේලා පිරිනිවියා” යැයි  කීවාය. රජතුමා සිතන්නේ, “අහෝ මෙවැනි පණ්ඩිතයන් වහන්සේලාටද මරණය පැමිණෙන්නේ නම්, අප වැන්නවුන් හට මිදීමක් නම් කොයින්දැයි සිතා, නුවරට පැමිණ, උයනට පිවිස දෙටු පුතු කැඳවා ඔහුට රාජ්‍ය පාවාදී තෙමේ තවුස් පැවිද්දෙන් පැවිදි විය.

දේවියද  මොහු පැවිදි වූ කල්හි මම කුමක් කරමිදැයි සිතා එම උයනෙහිම පැවිදි වුවාය. දෙදෙනාම ධ්‍යාන වඩා ඉන් චුතව බඹ ලොව උපන්හ. ඔව්හු බඹලොව වසන කල්හි අපේ ශාස්තෘන් වහන්සේ ලොව පහළව පවත්වන ලද උතුම් දම් සක් ඇතිව පිළිවෙලින් රජගහ නුවරට වැඩි සේක.

අන්තිම භවය 

උන් වහන්සේ  එහි වැඩ වාසය කරණ කල්හි ඔවුන් දෙදෙනාගෙන් නන්ද බ්‍රහ්ම තෙම බඹලොවින් චුතව මගධ රට මහතොට (මහාතිත්ත) නම් බමුණු ගමෙහි කපිල නම් බමුණා නිසා එම බැමිණිය කුසින් උපන්නේ පිෆ්ඵලි මාණවක යයි ප්‍රසිද්ධ විය. පෙර අත් බැව්හි  ඔහුගේ බිසව මඩු රට සාගල නුවර කෝසිය ගෝත්‍රයෙහි වූ එනම් බමුණා නිසා එම  බැමිණිය කුසින් ඉපිද භද්‍ර කපිලානි නමින් ප්‍රසිද්ධ වුවාය. ක්‍රමයෙන් වැඩෙන්නාවූ ඔවුන් අතුරෙන් පීප්ඵලි මාණවකයා හට විසි විය පැමිණි කල්හි  මව් පියෝ පුතු ගැන කල්පනාකොට “දරුව! ඔබ දැන් තරුණ වියට පැමිණියෙහිය. ඔබ විසින් කුල පරපුර ගෙන යා යුතුය” යි බොහෝ සෙයින් කීහ. මානවක තෙම, “මාගේ කණට ඇසෙන සේ මෙවැනි දෙයක් මින් මතු නොකියව. ඔබ දෙදෙන යම් තාක් කල් ජීවත්වන්නාහු නම් ඒ තාක් කල් මම ඔබ දෙදෙනා පෝෂණය කරන්නෙමි. ඔබලාගෙන් පසු ගිහි ගෙය හැර දමා ගොස් පැවිදි වන්නෙමි”යි කීය. මව් පියෝ කීප දිනක් ඉක්මවා නැවතත් පුතු අමතා එයම කීහ. මානවකයා ද එය පෙර සේම පිළිකෙව් කළේය.

ඉක්බිති මව පියෝ නැවත නැවතත් කී හෙයින් මානවක තෙම මගේ මව අස්වස්න්නෙමි’යි  සිතා කලන් පස් විස්සක් පමණ බරට  රන් කාසි දස දහසක් (නික්ඛ සහස්සන්) දී රන් කරුවන් ලවා ඉතා අලංකාර වූ ස්ත්‍රී රුපයක් කරවා මැද ඔප දැමීමෙන් පසු සිනිදු පිළියක් හඳවා, රුවැති මලින් සරහා මව් කැඳවා රන් රුව දක්වා, “මෑණියෙනි! මෙවැනි ස්ත්‍රියක් ලබන්නේ නම් ගිහි ගෙය වසමි. නොලබන්නේ නම් ගිහි ගෙය හැර දමා ගොස් පැවිදි වෙමැ”යි කීය.

එකල්හි ඒ පණ්ඩිත බැමිණි තොමෝ , “මාගේ පුත්‍ර තෙමේ පිනැත්තේය. දෙන ලද දාන ඇත්තේය. කරණ ලද ප්‍රාර්ථනා ඇත්තේය. පින් කරන කල්හි ඔහු විසින් හුදෙකලාව නොකෙළේය. ඒකාන්තයෙන්ම මොහු හා සමග පින් කල , මේ රන් රුව බඳු තැනැත්තියක් සිටිය යුතු”යැයි සිතා, අට බමුණු කෙනෙකුන් කැඳවා කැමති වූ සියල්ල දී ඔවුන් සතුටු කරවා, රන් රුව රියකට නංවා, “දරුවෙනි! යම් තැනෙක්හි ජාති කුල ගෝත්‍ර සම්පත් ආදියෙන් අප හා සමාන වූ කුලයෙක්හි මේ රන් රුව බඳු දැරියක දකින්නාහු නම්, මෙම රන් රුවම පඳුරු ලෝට දී එව්” යි කියා පිටත් කොට හැරියාය. ඔව්හු, “මෙයත් අපට වැඩේක් දැ” යි කියා  පිටත්ව, කොහි යමුදැයි සිතන්නෝ, මදුරට වනාහි ඉතිරින්ට  ආකරයක්  බඳුය. එහෙයින් එහි යමු යැයි කතිකා කොට රන් රුව සහිත වූ රියද රැගෙන මදුරට සාගල නුවරට පිවිස, ඒ රන් රුව එනුවර නාන තොටෙහි තබා සැඟවී සිටියහ.

එකල්හි භද්‍රා කුමරියගේ කිරි මව් තොමෝ ඇය නහවා සරසා සිරි යහනෙහි හිඳුවා තමාත් ස්නානය පිණිස එන්නේ, තොටුපලෙහි වූ ඒ රන් රුව දැක “මාගේ ආර්ය දියණිය මටත් හොරෙන් මෙහි ආවාය”යි සිතා, “නොහික්මුණු තැනැත්තිය! කුමක් හෙයින් නුඹ යලි මෙහි ආවේදැයි තරවටු කොට අත අමෝරා “වහා මාලිගයට යව” යි කියා කම්මුලට් පහරක් ගැසුවාය. ඇගේ අත ගලෙක ගැසූ කලක මෙන් දෙදරා ගියෙන් මෙවැනි තද වූ මේ තැනැත්තිය දැක “මාගේ ආර්ය දුවණිය යැයි සිතුවෙමි. මෝ වනාහි මාගේ ආර්ය දුවනියගේ සළු වඩන්නටත් නොහොබනේය” යැයි කීවාය. එය ඇසු සැඟවී සිටි ඒ බමුණෝ ඇය වෙත ගොස්  “ඔබගේ ස්වාමි දුව මේ රන් රුව බඳු දැයි ඇසු කල්හි, “මැය මොන රුවැත්තියක් ද? මැයට වඩා සිය දහස් ගුණයෙකින් මාගේ ආර්ය දියණිය අභිරූපවාතය. දොළොස් රියන් පමණවූ කාමරයෙහි ය හිඳිනා කල්හි එහි පහන් දැල්වීමෙන් වැඩක් නැත. අයගේ ශරීරාලෝකයෙන් මුළු කාමරයම එළිය වන්නේය”යි කීවාය. එකල හි බමුණෝ තුටු පඳුරු ගෙන අප හා අවුත්  ඇය අපට දක්වන්නැයි කියා  රන් රුව රියෙහි තබාගෙන ඇය හා ගොස් කොසිය ගෝත්‍රයෙහි වූ වේ බමුණු ගෙදරට ගිය කල්හි, ඇය ගොස් ඔවුන්ගේ පැමිණීම ගැන දැන්වූවාය. එයසා බමුණු තෙමේ ඔවුන් කැඳවා පිළිසඳර කථා හොට හෝහි සිට මෙහි ආවාදැයි විචාළේය.

එකල්හි ඔවුහු  මගධ රට මහාතිත්ථ නම් ගමෙහි කපිල බමුණාගේ ගෙහි සිට ආවම්හ යි කීහ. කුමක් නිසා අවුදැයි පුළුවස් කල්හි ඔවුහු තමන් ආ කරුණ සවිස්තරව කීහ. ඒ ඇසු කොසියගොත්ත බමුණා මහත් සතුටට පැමිණ ඒ පිප්ඵලි බමුණාට අපගේ දැරිය දෙන්නෙමු”යි  කියා පඩුරු පිළිගත්තේය. එකල ඒ බමුණෝ අට දෙන රන් රුව බඳු දැරියක ලද්දෙමු’ යි කියා කපිල බමුණාට පණිවුඩයක් යැවුහ. කපිල බමුණු තෙමේද ඒ හසුන අසා පිප්ඵලි මානවකයාට ඒ රන් රුව බඳු දැරියක් ලද බව සැළකළේය,

ඉක්බිති පිප්ඵලි මාණවක තෙමේ “මම එවැනි වූ දැරියක නොලබන්නනෙමැ”යි කීමි කීමි. එහෙත් මොව්හු එවැනි දැරියක ලද හයි කියති’යි සිතා ඇය අපේක්ෂා නොකෙරෙමින් ඇයට හසුනක් යවන්නෙමි”යි හුදකලාව මෙසේ හසුනක් ලීවේය.

“භද්‍රානිය! ඔබ ඔබගේ ජාතියට, කුලයට, ගෝත්‍රයට, සම්පතට සුදුසු වූ හිමියකු ලබාවා ! මම ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නෙමි. මා හා විවාහ වී පසුව පසුතැවිලි නොවේවා !.”, භද්‍රානියද  එසේම රහස් ලියුමක් ලීවාය.. “ආර්ය පුත්‍ර තෙමේ තමන්ගේ ජාතියට, කුලයට, ගෝත්‍රයට, සම්පතට සුදුසු වූ දැරියක හා විවාහ වේවා! මම ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නෙමි. මා හා විවාහ වීමෙන් පසුව පසුතැවිලි නොවේවා”යි…

මෙසේ ඔවුන් දෙදෙනා ඔවුනොවුන් වෙත යැවූ හසුන් දෙකම රැගත් පුරුෂයෝ අතරමගදී ඔවුනොවුන් හමුවී මේ කා හට හසුනක්දැයි භද්‍රා කුමරියගේ ලියුම රැගත් පුරුෂයෝ විමසු කල්හි, “මේ පිප්ඵලි මාණවක විසින් භද්‍රානි කුමරියට එවුවකි”යි කීහ. ඔව්හුද “ඔබ ගෙන එන හසුන කා හට දැයි ඇසු කල්හි භද්‍රානි කුමරියසින් පිප්ඵලි මානවක තුමන්ට යවන්නකි”යයි කීහ. එකල්හි ඔවුන් ඒ හසුන් දෙකම කියවා “මේ බලන්න, පින්වත් දරුවන්ගේ කර්මයක හැටි”යයි හසුන් දෙකම ඉරා ඉවත ලා , සමාන වූ හසුන් ලියා මොබින් ඔබටද, ඔබින් මොබටද යැවුහ. මෙසේ ඔවුන්ගේ අකැමැත්තෙන්ම දෙදෙනාගේ එක්වීම විය. එදවසම මානවක තෙමේ මල් දමක් ගෙන් තැබීය. භාද්‍රවොඩ එසේම තබා සවස බත් කිස නිමවා යහනට වී නිදමු” යැයි දෙදෙනාම එක්ව මල් දමද යහන මැද තබා මාණවක තෙමේ දකුණු පසින්ද භද්‍රානි වම් පසින්ද යහනේ වැද හෙව  යමෙකුගේ පසෙහි වූ මල් මැලවෙද්ද ඔහුට් රාග සිතක් පහළ වී යයි  දැනගණිමු යි කතිකා කර ගත්හ.

මේ මල් දම් තෙත් නොකළ යුතු යැයි කියා සැතපුන නමුදු නිදිගත් කල ඔවුනොවුන්ගේ සිරුරු එකටෙක ගෑවේදෝ යන බියෙන් තුන් යාමෙහි නොනිදාම රැය ගෙවති. දවල් වනාහි ඒ දෙදෙනා ඔවුනොවුන් මුහුණු බලා සිනාසීමකුදු නොකරති.

මෙසේ ඔවුහු ලෝකාමිස රතියෙහි නොගැටී යම් තාක් කල් මව් පියෝ ජීවත් වුවහුද ඒතාක් කල් ධනය ගැන නොසොයා ඔව්න් කලුරිය කළ කල්හි සෙවුහ. පිප්ඵලි මානවකයාගේ සම්පත් ධනය අසු කෙලකි. එක් දිනක් සිරුර උලා හැරිය යුතු රන් සුණුම මගධ නලින් දොළොස් නැලියෙක් පමණය. ජල යන්ත්‍ර සවි කරණ ලද සැටක් පමණ තටාකයෝ වුහ. දොළොස් යොදුන් පමණ තන්හි කර්මාන්ත ශාලා විය. අනුරපුර තරම් වූ ගම් තුදුසෙක. ඇත් බල ඇණි තුදුසෙක. අස් බල ඇණි තුදුසෙකැයි  රිය බල ඇණි තුදුසෙකැයි මෙසේ ඔහුගේ සම්පත්තිය සර්වප්‍රකාරයෙන් ම සම්පුර්නවා තිබුනේය.

හෙතෙම දිනක් සැරසු රියකට නැගී මහජනයා විසින් පිරිවරණ ලදුව කර්මාන්ත ශානයට ගොස් කෙත කෙලවර සිටියේ, සාන තැන්වලින් කාකාදී පක්ෂීන් විසින් ගැඩවිලි ආදී පණුවන් උපුටා ගෙන කන්නවුන් දැක, “දරුවෙනි! මේ පක්ෂීහු කුමන දෙයක් කන්නාහු දැයි ඇසු කල්හි “ආර්යයන් වහන්ස! ගැඩවිලි ආදී පණුවන් යයි කීහ. එකල්හි මානවක තෙමේ, “ඔවුන් විසින් කළ පව කාට වන්නේ  දැ”යි ඇසුහ. එකල්හි, “ස්වාමින්! ඔබට ය”යි කීහ. ඉක්බිති හෙතෙමේ මොවුන් විසින්  කළ  පව මට අයත් වේ නම් ,මාගේ අසු කෙළක් ධනය කුමටද ? දොළොස් යොදුන් පමණ වූ කර්මාන්ත භුමිය කුමටද? ජල යන්ත්‍ර  සවි කළ විල් සැට කුමටද? තුදුස් ගම් කුමටද? මේ සියල්ල භද්‍රා වන්ට පාවා දී අදම නික්ම පැවිදි වෙන්නෙමි”යි සිතීය.

භද්‍රාවෝද එකෙනෙහි ඇතුල් ගෙහි , කිරි මවුන් විසින් පිරිවරණ ලදුව , මිදුලෙහි වූ තල පදුරට රැස් වූ කපුටන් තල පණුවන් අනුභව කරනු දැක, මොවුහු කුමක් කත් දැයි විචාරා, “ආර්යාවෙනි! තල පනුවන්ය” යි අසා “මේ අකුශලය කා හට වේදැ”යි ඇසුහ. “ආර්යාවෙනි ! ඔබට යැ”යි කීහ. ඕ තොමෝ, “මට රෙදි සතර රියනක් ද නැලියක් පමණ බත් ද ලබන්නට වටනේය. ඉදින් මෙපමණ දෙනා කරන අකුශලය මට වේ නම්, ආත්ම දහස් ගනනේකුදු සසරින් මිදෙන්නට නොහැක්කේය. ආර්ය  පුත්‍රයා ආ කෙණෙහි , මේ සියල්ල ඔහුට පාවා දී අදම මහණ වෙන්නෙමි” යයි සිතුවාය.

මානවක තෙමේ ද මැදුරට පිවිස දිය නා පැහැයට නැග අගනා පර්යන්කයෙක්හි හුන්නේය. සේවකයෝ සක්විති රජෙකුට සුදුසුවූ බොජුන් එළවුහ. ඒ දෙදෙනාම අනුභව කොට පිරිවර ජනයා බැහැරව ගිය කල්හි රහසිගත වූ එක පාසු තැනෙක හුන්නාහ. මානවක තෙමේ බිරිඳ අමතා “සොඳුර! ඔබ මේ ගෙට එන්නී කොපමණ ධනයක් ගෙනාවා දැ”යි අසා, “ආර්යයන් වහන්ස! ගැල් පස් පනස් දහසෙකැ”යි කීවාය. “සොඳුර! ඔබ ගෙන ආ ඒ සියළු ධනයද, යම් තාක් මේ ගෙහි ඇත්තාවූ අසු සත් කෙළක් ධනයද, යන්ත්‍ර සවිකළ සැටක් පමණ තලාක ආදී කොට ඇති මාගේ මහත් වූ යම් වස්තු සම්පතක් වේද , ඒ සියල්ල ඔබට පාවා දුනිමි” යි කීය. එකල්හි ඕ තොමෝ “ආර්යයන් වහන්ස! ඔබ කොහි යන්නෙහිද? ” යි ඇසී. “සොඳුර! මම පැවිදි වෙන්නෙමි”යි කී කල්හි ඕ තොමෝ , “හිමියෙනි! මමත් ඔබගේ පැවිදිවීම බලා උන්නෙමි. මමද මේ සියළු සම්පත් හැර දමා පැවිදි වන්නෙමි”යි  කීවාය. ඔවුන්ට කාම, රූප, අරූප සංඛ්‍යාත භවත්‍රය ගිනි ගෙන දැවෙන්නාවූ පන්සලක් මෙන් පෙනී ගියේය.

ඔව්හු අවන් හලින් කහ වත් හා මැටි පා ගෙන්වාගෙණ ඔවුනොවුන් කෙස් බහා ” යේ ලොකෙ අරහන්තෝ තේසං උද්දිස්ස අම්හා කන් පබ්බජ්ජ!” යි “ලෝකයෙහි යම් රහතුන් වහන්සේ නමක් වෙත්ද, අපගේ පැවිද්ද උන් වහන්සේ උදෙසාය ” කියා පාත්‍රා පසුම්බියෙහි පාත්‍රයන් බහා අංශයෙහි එල්ලගෙන පහන් බටහ. ගෙහි දාසයන්ට හෝ කම්කරුවන්ට හෝ කිසිවෙකුටත් නොදැන්වුහ.

ඉක්බිති  ඔවුහු බමුණු ගමින් නික්ම තමන්ගේ කර්මාන්ත ගම දොරින් නික්ම යන්නාහුය. ඔවුන්ගේ තුදුස් ගම වැස්සෝ ඔවුන් හැඩහුරුකමින් ම හඳුනා ගත්හ. ඔව්හු හඬමින් ඔවුන් දෙදෙනාගේ පා මුල්හි හෙව “කිමෙක්ද? ආර්‍යයන් වහන්සේලා අප අනාථ කළාහු නොවෙත් දැ”යි කීහ. “සගයෙනි ! අපි ගිහි ගෙය ගිනිගත් පන්සලක් මෙන් සිතා පැවිදි වීමු. ඉදින් ඔබ හැම එක්කෙකා නිදහස් කරන්නමෝ නම් අවුරුදු සියයකිනුත් කළ නොහෙමු. නුම්බලාද නුඹලාගේ හිස් සෝදා දාස භාවයෙන් මිදී ජීවත් වව” යැයි කියා ඔවුන් හැම අඩමින් සිටියදීම නික්ම ගියහ. 

පිප්ඵලි තවුස් තෙමේ පෙරටුව ගමන් කරමින් මුළු දඹදිවම අගනා ස්ත්‍රිය වූ මේ භද්‍ර කපිලානි තොමෝ මා පසුපස එන්නීය. එය දකිනා ඇතැම් කෙනෙකුට, ‘මොවුන් පැවිදිවත් වෙන් වෙනු නොහැකිව තවුස් මහණ දමට නුසුදස්සක්ම කරන්නෙහ’ යි සිත් කෙලෙසා අපාය භාග් වීමට කරුණු තිබෙන හෙයින් මැයගෙන් වෙන්ව යාම මා හට වටනේය” යි සිත සිතා ගමන් කරන්නේ දෙමංසන්ධියක් දැක එහි නැවතුනේය. භද්‍රාවෝද එතැනට පැමිණ  වැඳ සිටියාය.

හෙතෙමේ ඇය අමතා,“සොඳුර මා පසු පස එන්නාවූ ඔබ වැනි ස්ත්‍රියක දැක, “මොව්හු පැවිදිවත්  වෙන් වෙනු නොහැක්කාහ” යි සිතා අප කෙරෙහි සිත් දුෂණය කොට මහජනයා අපාය භාග වන්නේය. මේ මං  දෙකෙන් ඔබ එක මගෙකින් යව. මම අනෙක් මගෙන් යන්නෙමි” යයි කීය. ඕතොමෝද, “එසේය ආර්‍යයන් වහන්ස! මාගම්හු නම් පැවිදි වුවන්ට කිළුටෙක. එහෙයින් පැවිදි වූ පසුත් වෙන් නොවන්නාහු යැයි අපගේ කිළුටක් දක්නා හෙයින් එවැනි දොස් නැති වීම සඳහා ඔබ එක මගෙකින් වදිනු මැනව. එසේ ඇති කල්හි වෙන් වන්නෙමි” යි ඔහු තෙවරක් පැදකුණු කොට සිව් තෙනෙක්හි බැස වැද  හෙව, දස නිය එකට පිහිටුවා ඇඳිලි බැඳ, කල්ප ලක්ෂයක් පමණ වූ දීර්ඝ  කාලයෙක සිට කරගෙන ආ මිත්‍ර සම්බන්ධය අද බින්දෙන්නේයයි කියා, “ස්වාමිනි!  ඔබ දක්ෂිණ ජාතික වන බැවින් දකුණු මාර්ගයෙන් වඩිනු මැනව. අප මාගම්හු නම් වම් ජාතිකයෝය. එහෙයින් අපට වම් මග වටනේය “යැයි කියා යලිදු වැඳ මාර්ගයට පිලිපන්නය.

ඔවුන් එසේ වෙන් වූ කල්හි දෙලක්ෂ සතලිස් දහසක් පමණ වූ මේ මහා පොළොව, සක්වල ගල හා මහ මේර පව්ව ද දැරීමට හැකි වුවත් ඔබ වහන්සේලාගේ ගුණ රාශිය දැරිය නොහැක්කෙමි මෙන් ශතරාව සහශ්‍රරාවයෙන් කම්පා වුවාය. ඒ හඬ අහසෙහි හෙණ හඬක් මෙන් පැවතින. සක්වල පව්වද නැමුනේය.

එකල්හි අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ වේළුවන මහා විහාර ගඳ කිලියෙහි වැඩ සිටි සේක්, පොළෝ කම්පා වීම අසා කවර හෙයකින් මේ මහා පොළොව කම්පා වෙනේ දැයි ආවර්ජනා කරන සේක් , පිප්ඵලි මානවක තෙමේද, භද්‍ර ක්කපිලානියද සියළු සම්පත් හැර දමා මා උදෙසා පැවිදි වුවාහුය. ඔවුන් දෙදෙනා වෙන්වූ මොහොතෙහි ඒ දෙදෙනාගේ ගුණ බලයෙන් මේ මහා පොළොව කම්පා වුවාය’ යි දැක, ගඳ කිලියෙන් නිමක තමන් වහන්සේම පා සිවුරු ගෙන ශ්‍රාවකයන් අතුරෙන් කිසිවෙකුටත් නො අමතා, තුන් ගව පමණ පෙර ගමන් කොට , රජගහ නුවර ටද නාලන්දා නුවරටද අතරෙහි වූ බහු පුත්‍රක නම් නුග මුල්හි පලක් බැඳ වැඩ හුන් සේක. එසේ වැඩ හිඳිනා සේක්, අන්‍ය වූ පන්සුකුලධරයන් වහන්සේලා මෙන් වැඩ නොසිට බුද්ධ වේශයෙන්ම, අසු රියනක් පමණ තැන සවණක් ඝන බුද්ධ රශ්මින් විහිදුවමින් වැඩ හුන් සේක් මය. එකෙනෙහි ගැල් සත් කුළු ගෙවල්  ආදීවූ නොයෙක් ප්‍රමාණයන්ගෙන් යුත් බුදු රැස් ඔබිනොබ සැලෙමින් දිවන්නාහු, සඳ දහස් , හිරු දහස් නැගී කලෙක්හි මෙන් ඒ වනය ඒකාලෝක කළහ. දෙතිස් මහා පුරිසලක්ෂනයන්ගෙන් දිලිහෙන්නාවූ ඒ වනය තරු සමුහයකින් බබලන අහස සෙයින්ද  අතිශයින් ශෝභමාන විය. 

නුග රුකෙහි කඳ වනාහි සුදු වන්නේය. පත්‍රයෝ නිල් වන්නාහ. එසේ වුවද එදවස්හි වනාහි සිය ගණන් ශාඛාවෙන් යුක්ත වූ එය රන් වන් විය. ඒ පිප්ඵලි තවුස්තෙමේ මෙතෙම මාගේ ශාස්තෘන් වහන්සේ වන්නේය. මගේ පැවිදිවීම මුවුන් වහන්සේ උදෙසාය යැයි දුටු තැන් පටන් නැමී නැමි ගොස් තුන් තැනෙක්හි බැස හේවා වැඳ

“සත්තා මේ භන්තේ භගවා සාවකෝ
හමස්මි සත්ථා මේ භන්තෙ
භගවා සාවකෝ හමස්මි” යි යනුවෙන්

“ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස ! 
ඔබ වහන්සේ මගේ ශාස්තෘ වරයානෝය.
මම ඔබ  වහන්සේ ගේ ශ්‍රාවක වෙමි”යි තෙවරක් ම කීය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහු අමතා “කාශ්‍යපයෙනි ! තොපගේ මේ යටහත් පැවැත්ම මහා පොළොවට කරන්නෙහි නම්, ඕද  එය ඉවසීමට නොහැකිව සැලී යන්නීය. තථාගතයන් වහන්සේගේ ගුණ ගාම්භීරත්වය දන්නා වූ ඔබ විසින් කරණ ලද ප්‍රණිපාතය මගේ ලෝම මාත්‍රයකුදු සෙලවීමට නොපොහොසත්ය. කාශ්‍යපය ! හිඳ ගනුව, තොපට දායාද දෙන්නෙමි,” යැයි වදාර ඉක්බිති – 

තස්මාහි  කස්සප එවං සික්ඛ් තබ්බන්,
තිබ්බන් මේ හිරොතප්පන් පච්චුපට්ඨිතන් භවිස්සති.
තෙරේසු නවේසු මජ්ජිමේසු වති,
එවන්හිතේ  කස්සප සික්ඛා තබ්බන්

යං කිංචි ධම්මං සොසසාමි,
කුලුප සන්හිතං සබ්බං තං අටටි කත්වා
සබ්බ චේතසෝ හරිත්වා
ඔහිත සොතෝ ධම්මං සුනිස්සමිති
එවන්හි තේ කස්සප සික්ඛි තබ්බන්,

සාත සහගතාව මෙ කායගතා සති න  විජහිස්සතී ති,
එවන්හි තෙ කස්සප සික්ඛි තබ්බන් ,ති“ යනුවෙන් 

“එසේ හෙයින් කාශ්යප ! තොප විසින් මෙසේ හික්මිය යුතු වන්නේය.
කාශ්‍යපය ස්ථවිර, මද්‍යයම, නවක සියලු භික්ෂුන් කෙරෙහි මහත් වූ හිරි ඔත්තප්ප එළඹ සිටියේය” යි තොප විසින් හික්මිය යුත්තේය.
කුසල් වඩන්නාවූ යම් ධර්මයක් අසන්නේද අර්ථ වශයෙන් සිත් හි තබා ගනිමි’යි  යොමා ගත් කන් ඇතිව ධර්ම ශ්‍රවනය කරන්නේයැයි තොප විසින් හික්මිය යුතුය.
කාශ්‍යපය !
සැපය පිණිස ම සරන්නාවූ මගේ කය පිළිබඳ  මනා සතියෙන් යුතුව හැසිරෙමැයි  කායගතා සතිය වඩමින්ව හැසිරෙව!”

මෙසේ කාශ්‍යප ශ්‍රමනයන් බ්‍රාහ්මණ වංශයෙන් එන්නෙකු බැවින් ජාති මානය දුරලීමට පළමු අවවාදයද, බහුශ්‍රුත භාවය නිසා උපදනා අහංකාරය නැසීම පිණිස දෙවන අවවාදයත්, උපධි සම්පත්තිය නිසා උපදනා ආත්ම දෘෂ්ඨිය දුරලීමට තෙවන අවවාදයද වදාළ සේක.

යම් ඒ තෙවැදෑරුම් වූ අවවාදයෙක් වීද, එය පිළිගැනීමම මහා තෙරුනට උපසම්පදාව විය. මේ අවවාද ප්‍රතිග්‍රහණ උපසම්පදා තෙමෝ මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේට අනුදැන වදාළ සේක. ඉම්බිති බුදුහු එම නුග රුක් මුලින් නික්ම ඒ කාශ්‍යප තෙරුන් වහන්සේ සමග මහ මගට පිළිපන් සේක. ශාස්තෘන් වහන්සේගේ ශ්‍රී ශරීරය දෙතිස් මහා පුරිස් ලකුණින් විසිතුරු විය. මහා කසුප් තෙරුන් වහන්සේගේ ශරීරය සප්ත මහා පුරුෂ ලක්ෂනයෙකින් හෙබියේය. උන් වහන්සේ කසුන් මහ නැවෙක්හි පසු බඳ සේ ශාස්තෘන් වහන්සේ අනුව ගියහ. බුදුහුද ටික තැනක් වැඩමවා මගින් ඉවත්ව එක්තරා ගස් මුල වැඩ හිඳිනු කැමැති බව දැක්වුහ.

එකල්හි මහසුප් තෙරණුවෝ ශාස්තෘන් වහන්සේ වැඩ හිඳිනු කැමැති යැයි දැන , තමා පෙරෙවි පට පිළියෙන් කළ සඟල සිව්ර සිව් ගුණයක් කොට අසුන් පැනවුහ. ශාස්තෘන් වහන්සේ එහි වැඩ හිඳ එය අතින් පිරිමදිමින් 

“මුදුකා ඛො ත්‍යායං කස්සප! පට පිලොතිනං සංඝාටි” යනුවෙන්  “කාශ්‍යපය ! පට පිළියෙන් කල මේ සිවුර ඉතා  මොලොක්ය” යි වදාළ කල්හි, ශාස්තෘන් වහන්සේ මගේ සඟල සිවුරෙහි මොලොක් බව වද්දරති. උන්වහන්සේ මෙය පොරවනු කැමති වන සේකැයි සිතා,

“ස්වාමිනි ! භාග්‍යවතුන් වහන්ස ! සඟල සිවුර පොරවා වදාළ මැනව”යි කීහ. එවිට බුදු රජාණන් වහන්සේ, ” කාශ්‍යපය! තොප කුමක් පොරවන්නෙහි දැයි අසා වදාළ කල්හි, “ස්වාමිනි! ඔබ වහන්සේගේ සිවුර ලැබෙන්නේ නම් එය පොරවන්නෙමි”යි කීහ. බුදුහු, “කිමෙක්ද කාශ්‍යපය ! පරිභෝගයෙන් දිරාගිය මේ පංසුකුල චීවරය දරන්නට හැකි වෙහිද? මා විසින් මේ පංසුකුල වත ගත් දවසෙහි, දිය පොළොව අවසන් කොට ඇති මේ මහ පොළොව කම්පා විය. මේ  බුදුවරයන්ගේ පරිභෝගයෙන් දිරාගිය සිවුරු නම් ස්වල්ප ගුණ ඇත්තවුන් විසින් දැරිය නොහැක. පිළිවෙත් පිරීමෙහි සමත් වූ , ජාතියෙන්ම පංසුකුලික වූ, ප්‍රතිබලයක්හු විසින්ම  පරිභෝග කළයුතු වන්නේය යැයි වදාරා තෙරුන් එඅහන්සේගේ සිව්ර තමන් වහන්සේ පොරොවා, තමන් වහන්සේ විසින් පරිභෝග කල සිව්ර තෙරුන් බ්වහන්සේට දුන් සේක.

කුමක් හෙයින් බුදුරජාණන් වහන්සේ මේ මහසුප් තෙරුන් සමග සිව්රු මාරු කිරීම කළ සේක්ද යත්, ඒ තෙරණුවන් තමන් වහන්සේ ගේ ස්ථානයෙහි පිහිටවනු කැමැති බැවින් උන් වහන්සේට මෙබඳු සිතෙක් උපන. මේ ශාරිපුත්‍ර මෞද්ගලයයාණෝ බොහෝ කල් නොසිටින්නාහ. කාශ්‍යප තෙම වනාහි එක් සිය විසි හවුරුද්දෙකට ආයු ඇත්තේ මාගේ පරිනිර්වාණයෙන් පසු ධර්ම විනය සංගායනා කරවා මාගේ සාසනය පන් දහසක් හවුරුදු පැවැත්ම ඇති කරන්නේය යයිද, එසේම භික්ෂුහු කාශ්‍යප තෙරුන්ගේ වචනය මනාව පිලිපදින්නක් කොට සිතන්නාහු යයිද සිතා, සිව්රු මාරු කිරීමෙන් තමන් වහන්සේගේ ස්ථානයෙහි තබා වදාළ සේක.

මෙසේ දෙදෙනා වහන්සේ සිව්රු මාරු කල කෙනෙහි මේ මහ පොළෝ තොමෝ, ‘ස්වාමිනි ! දුෂ්කර දැයක් කල සේක. තමා විසින් පෙරෙවි සිව්ර ශ්‍රාවකයෙකුට දුන් වීරූ බුදු වරයෙක් නම් නැත. මම වනාහි ඔබ වහන්සේගේ ගුණ කඳ දැරීමට නොහැකි වෙමි’යි කියන්නියක මෙන් ජල පොලොව අවසන් කොට ඇත්තී මහත් සෙයින් කම්පා වුවාය.

තෙරුන් වහන්සේද, දැන් මා විසින් බුදු රජාණන්වහන්සේ ගේ පාරිභෝගික චීවරය ලබන ලද්දේය. මෙයින් මතු මා විසින් කළ යුතු කුමක් ඇත්දැයි උඩඟු බවෙක් නැතිව බුදු රජාණන් වහන්සේ සමීපයෙහි තෙළෙස් ධුතාංගයන් සමාදන්ව, සත් දවසක් පෘතග්ජනව සිට, අටවැනි දින අරුණු නැගෙත්ම, සිව් පිළිසිඹියා සමග රහත් බවට පැමිණි සේක.

ශාස්තෘන් වහන්සේද,
කස්සපෝ භික්ඛවෙ චන්දුපමෝ කුලානි උජසංඛමති.
අපකස්සේව කායන් අපකස්ස චිත්තං 
නිච්චං නචෝ කුලෙසු අප්පා ගබ්භෝ“ යි

“මහණෙනි! මේ මහා කාශ්‍යප තෙම  චන්ද්‍රයාට බඳු උපමා ඇත්තේ කුලයන් කෙරෙහි එළඹෙන්නේය. යම් සේ චන්ද්‍රයා අහස් තෙලෙහි උදා වුයේ කිසිවෙකු සමග සන්තාවයක් හෝ ස්නේහයක්  හෝ, ආලයක් හෝ නිකාන්තියක් හෝ පැතීමෙක්  හෝ පරියුට්ඨනයක් හෝ නොකෙරේද, එසේ වුවද මහ ජනයා හට ප්‍රිය මනාප වෙයි. එපරිද්දෙන්ම මේ මහා කාශ්‍යප තෙම කිසිදු සත්තවාදියක් නොකොට ක්‍ෂත්‍රියාදී සිව් කුලය කරා එළඹෙන්නේය. ඒ සත්තවාදීන් නො කිරීමෙන් කය, සිත ඉක්ම නිරතුරුවම ආගන්තුකයෙකුගේ කුලයන් කරා එළඹෙන්නේය.”

යනාදී වශයෙන් තෙරුන් වහන්සේට පසසා ඉන් මෑත භාගයෙහි මේ කස්සප සංයුක්තයම  අර්තොපත්ති කොට

එත ධග්ගං භික්ඛවේ  මම සාවකානං  
භික්ඛුනං ධුතවාදීනං යදි දන් මහා කස්සපෝ“ යනුවෙන්  “මහණෙනි! මාගේ ශ්‍රාවක ධුතවාදී සංඝයා අතුරෙන් මේ මහා කාශ්‍යප ස්ථවිර තෙම අග්‍ර යැ”යි අග්‍රස්තානයෙහි තබා වදාළ සේක.

මේ තෙරුන් වහන්සේ ධුතවාදී භික්ෂුන් අතුරෙන් කෙසේ අග්‍ර වීද යත්?

  • මේ  සාසනයෙහි වනාහි ධුතාංගධරයන් අතර තමන් ධුතාංග සමාදන්ව පරහට  ධුතන්ගයෙන් අවවාද නොකරන ධුතාංගධරයෙක්ද ඇත.
  • තමා ධුතංග සමාදන් නොවී  අනුන්ට ධුතංගයෙන් අවවාද කරන්නෙක්ද ඇත.
  • තමා දුතංග පුරමින්  පරහටත් ධුතාංගයෙන් අවවාද කරන්නෙක්ද ඇත.
  • තමාද ධුතාංග සමාදන් නොවී අනුන්ටත් ධුතන්ගයෙන් අවවාද නොකරන්නෙක් ද වෙති.

මේ මහා කාශ්‍යප තෙරුන් වහන්සේ  වනාහි පංසුකුලිකාදී තෙළෙස් ධුතාංගයන් සමාදන් වූ සේක. සබ්‍රහ්මසරුනට  නිතර නිතර ධුතන්ග සමාදානයෙහි අනුසස් දක්වමින් අවවාදානුසාසනා කරණ සේක. එසේ හෙයින් උන්වහන්සේට පන්සියයක් ධුතාන්ගධාරී භික්ෂුහු නිත්‍ය පිරිවර වුහ. මේ සාසනයෙහි බුදුන් වහන්සේ හැර මුන් වහන්සේට වැඩියෙන් ගුණවතේක්ද සමානයෙක්ද නැත්තාහ. එසේ හෙයින් සිංහ නාද කරන්නාවූ උන් වහන්සේ ;

යාවතා බුද්ධ ඛෙත්තම්ගි  – ටපයිත්වා මහා මුණින්
ධුත ගුනේසු විසිට්ඨේ හන්  – සදිසෝ මෙ විජ්ජති, ”  යනුවෙන්

“මේ බුදු සසුන්හි සර්වඥයන් වහන්සේ හැර මට වඩා ශ්‍රේෂ්ඨයෙක් නැත. මා හා සමානයෙක් නැතැයි” වදාළ සේක.

මේ මහ කසුප් මහා තෙරුන් වහන්සේ වනාහි නිතර සමාපත්ති සුවයෙන් වසන සේක. ගමට පිඬු පිණිස වැඩමවූ කල්හිදු, “යම් කෙනෙක් මා හට භික්ශාවක් හෝ ගඳ මල් ආදීන් සත්කාරයක් හෝ කරන්නාවූ වෙත් ද, ඔවුන් ගේ ඒ පුණ්‍ය කර්මය මහත් ඵල වේවා !”යි දොරෙහි දී සමවතින් නැගී සිටම  ඒ භික්ෂාව හෝ පුජා සත්කාරාදිය පිළිගන්නා සේක. බුන්වහන්සේ නිරෝධ සමාපත්තියට සම වැද එයින් නැගී පිඬු සිඟා වැඩිය දිනවල පින්ඩ පාතය  පිළිගැන්වීමෙන් කාකවලිය ආදී බොහෝ දිළින්දෝ ද දිට්ඨ ධම්ම වේදනීය විපාක වශයෙන් එම ආත්මයෙහිම සිටු සම්පත් ආදිය ලැබුහ. දෙවියෝද උන්වහන්සේට භික්ෂාව පිළිගැන්වීමට රිසි වෙති.

නිරෝධ සමාපත්තියට සම වැද  ඉන් නැගී පිඬු පිණිස හැසිරෙන්නාවූ උන් වහන්සේට පිඬු පිළිගන්වනු කැමැතිව සක් දෙව් රජුගේ පරිචාරිකා වූ පන් සියයක් දෙවඟනෝ පිඬු බඳුන් පන් සියයක් ගෙනවුත් අතර මග සිට, “වහන්ස ! මේ පිණ්ඩපාතය  පිළිගැනීමෙන් අපට සංග්‍රහ කල මැනව” යි කිවුය. එකල්හි උන් වහන්සේ , මම දිගීන් හට සංග්‍රහ කරමි’ යි  කියා පිළි නොගත්හ.සක්දෙවි රජ ඒ අසා සුජාතා නම් අසුර කන්‍යාව සමග මහළු වෙසක් ගෙන නුල් කටිමින් හුන්නේය. ඒ දුටු තෙරුන් වහන්සේ (ආවර්ජන නොකළ හෙයින්) මොහු මහළු කලද කර්මාන්ත කෙරෙති.  මොවුනට වැඩි තරම් දුගියෝ නැත්තාහ යි සිතා ඔවින්ට සංග්‍රහ කිරීම පිණිස එහි වැඩ පිඬු පිළිගත්හ.

ඉක්බිති උන්වහන්සේ ඒ අතිශයින් ප්‍රනීත වූ පිණ්ඩපාතය දැක මොහු කවරෙක් දෝ’යි ආවර්ජනා කොට බලනුයේ දෙදෙව් ලොවට අධිපති වූ ශක්‍ර දේවේන්ද්‍රයා බව දැක, “එම්බල ශක්‍රය! දුප්පතුන්ගේ සම්පත් පැහැරගන්නාවූ තෝ විසින් බැරෑරුම් වුවක් කරණ ලදැයි කීහ. 

ඉක්බිති සක් දෙව් රජ තෙරුන් වැඳ , මහසුප් තෙරණුවන් විෂයෙහි උතුම් දනක් පිහිටුවනු ලදැයි සතුටු සිත් ඇතිව උදම් අනමින් ගියේය. සර්වඥයන් වහන්සේ ඒ දිව කණින් අසා

“මාගේ පුත්‍රයා වැනි පිණ්ඩපාතිකයන්ට දෙවියෝද මිනිසුන්ද ප්‍රිය වෙතැයි”  වදාරා ඉක්බිතිව –

“පිණ්ඩපාතිකසස භික්ඛු නො  – අත්ත භාරස්ස අනඥඥ පොසිනෝ, 
දෙවා පිහයන්ති තාදී නො  – උපසන්තස්ස සදා සති මතෝ”  යනු හෙයින්

“ස්වල්ප වූ ද සුලභ වුද නිවැරදි වූ ද, සිව් පසයෙන් තමාම පෝෂණය වන්නාවූ
අනෙකෙකු පෝෂණය නොකරන්නාවූ සන්සිඳුනාවූ කෙලෙස් ඇති,
හැම කල්හිම එළඹ සිටි සිහිය ඇති පිණ්ඩපාතික භික්ෂුවහට
දෙවීයෝද මිනිස්සුද ප්‍රිය කෙරෙති” යි උදන් ඇනුහ. 

මේ මහසුප් තෙරුන් වහන්සේ කෙරෙහි සිත් පහදවා ගත අසු දහසෙක් මනුෂ්‍යයෝ දෙව් ලොව උපන්නාහ. උන් වහන්සේට උවැටන් හොට දෙව් ලොව උපන් දෙවියෝ සම්පත් තහවුරු කරගන්නා අටියෙන් , දෙව් ලොවින් අවුත් පන්සල නැමද පානීය පරිභෝජනීය පැන් එළවා තබා, ආරාමිකයන් සෙයින්ම පිළිවෙත් කොට යන්නාහුය.

තවද, මේ තෙරුන් වහන්සේ එක් දිනක් පිඬු සිඟා වඩනා සේක්  ලාදුරු රෝගියෙකුගේ ගෙදොරට පිඬු පිණිස වැඩි කල්හි  බත් බුදිමින් සිටි හෙතෙම, තෙරුන් වහන්සේ දැක පිණ්ඩපාතය පාත්‍රයෙහි බහාලන්නේ  ඔහුගේ කුණුවූ ඇඟිල්ලක් ගිලිහී පාත්‍රයට වැටුනේය. තෙරුන් වහන්සේද එය පිළිකුල් නොකොට ම ඔහුගේ ප්‍රසාදය ත් හිත වැඩ පිණිසත් එහි වැඩ හිඳ ඒ ඇඟිල්ල ඉවත් කොට පිණ්ඩපාත භෝජනය වළඳා වැඩි සේක. වැළඳු පසුද පිළිකුලක් නුපන්නේය.. එසේ හෙයින්

සෙනනම්හා ඔරුය්හනගරන් පිණ්ඩාය පාවිසින්
භුජ්ජන්තන් පුරිසං කුට්ඨින්සක්කච්චන් තං උපට්ඨ හින්,

සො තං පක්ඛෙන හත්තෙන – ආලෝපං උපනාමයි,
ආලෝපං පක්ක්හි පන්තස්ස – අංගුලි පෙත්ථ ජිජ්ජට.

කුඩඩමුලඥ නිස්සාය – ආලෝපං තං අභුඥජි සං,
භුඥජ මානේච භුත්තේවා – ජෙගුච්චන්  මෙ න විජ්ජයි”.

වශයෙන් තමාගේ ප්‍රතිපත්තිය ප්‍රකාශ කල සේක.

මේ තෙරුන් බුදුන් සමග දෙව්රම් වෙහෙර වැඩ වාසය කරණ සමයෙහි එක් උවැසියක් තොමෝ මහසුප් තෙරුන් දැක පුර්ව ජන්මයෙහි තමාගේ පුත්‍ර වූ බැවින් , දරු පෙම් උපදවා එතැන් සිට උන්වහන්සේ ට දිනක් පාසා බත් සරළුවක් දුන්නාය. තෙරුන් වහන්සේ බුදු රජාණන් වහන්සේට වඩා සතරඟුලක් පමණ උසින් අඩු වුහ. බුදුන් හා එක් වැනි දෙපා ඇත්තාහ. එහෙයින් මේ තෙරුන් දුටු බොහෝ දෙන බුදුන් යැයි රැවටෙති.

දිනක් බුදු රජාණන්වහන්සේ, දෙතිස් මහා පුරිස් ලකුණු සඟවා ගෙන, අප්‍රසිද්ධව අන්‍යතර පින්ඩපාතික භික්ෂුවක් සෙයින් පිඬු සිඟා වැඩි සේක. එකල්හි ඒ ස්ත්රියද උන්වහන්සේ දැක මහසුප් තෙරුන් යැයි සිතා තෙරණුවන්ට දෙනු පිණිස තබාගෙන සිටි බත් සරළුව බුදු රජාණන් වහන්සේට පිදුවාය. උන්වහන්සේ එය පිළිගෙන බැහැරව වැඩි කල්හි, මහසුප් තෙරුන් වහන්සේ ද පිඬු පිණිස ඒ ගේදොරටම වැඩි සේක. එවිට ඒ උපාසිකාවෝ මපුතනුවන් යැයි සිතා අන් මහන්කෞ හට බත් පරළුව පිදීමි. මට වුයේ මහත් විනාශයෙක යැයි කියා කියා බුදුන් පසු පස එලවා ගොස්, “වහන්ස! මදක් සිටින්නැයි කියා බුදුන්ගේ පාත්‍රයට අත ලා , බත් සරළුව උදුරාගෙන ගොස්, මහසුප් තෙරුන්ට පිළි ගැන්වුවාය.

උන් වහන්සේ  ඇය  බුදුන්වහන්සේට කල පරිභවය  දැක, “මාගේ ස්වාමි දරුවූ බුදු රජාණන් වහන්සේ හා මා එක නුවර පිඬු සිඟන හෙයින් මේ සා මහත් පරිභවයක් වුයේයැයි සංවේග උපදවා, “අද පටන් දිවි හිමියෙන්  බුදුන් වහන්සේ සමග එක ගමක නොසිගමි ” යි අධිෂ්ඨාන කොට හිමාලය වනයට වැඩමවා එක් පබ්භාරයෙක්හි වසන සේක්, “ඉදින් බුදු රජාණන් වහන්සේ මා නොම දැක පිරිනිවී සේක් නම් මේ ලෙන් දොර ඇති රුකෙහි මල් පරව බිම වැගිරේවා !  ඒ ලකුණෙන් බුදුහු පිරිනිවී යැයි දැන ගන්නෙමි” යයි ඉටා බොහෝ කලක්ම එහි විසුහ.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු 

මෙසේ බුදු රජාණන්වහන්සේ  පිරිනිවන් පා වදාළ කල්හි මහසුප් මහා තෙරුන්ගේ ලෙණ ඉදිරියෙහි වූ ගසෙහි මල් පරවී ගියේය. තෙරුන් වහන්සේද සත් දිනක් සමවත් සුව විඳ  එයින් නැගී සිටි කල්හි මල් පරව ගස මුල වගුළ දැක , තුන් ලෝ පහණ නිවුනි’ යැයි උපන් ධර්ම සංවේග ඇත්තේ පන් සියයක් පමණ පිරිවර භික්ෂුන් සමග නික්ම පාවා  නුවර පිඬු පිණිස හැසිර  බත් කිස නිමවා කුසිනාරා නුවරට යෙමැයි  අදන් මගට පිළිපන්නේ , මධ්‍යාහ්නයෙහි රත් වූ ගල් තලා වැනි බිම පා ගමනින් යන්නාවූ  (සැපසේ වැඩුණු මහ පිණැති) පිරිවර භික්ෂුන් කලාන්ත වූ  බව දැන , “යා යුතු තැන දුර නොවන්නේය. මදක් විඩා හැර ශරීර ක්ලාන්ත  දුරු කොට යනනෙමැ”යි මගින් ඉවත්ව උදක තුම්භයේ  දියෙන් අත් පා දොවා සිසිල් කොට සඟල සිවුර පණවා එක්තරා රුක් මුලෙක වැඩ හුන්නේය. උන් වහන්සේගේ පිරිවර භික්ෂුහුද ඇතැම් කෙනෙක් නුවණින් කමටහන් මෙනෙහි කරමින්ද, ඇතැම් කෙනෙක් තෙරුන් ගුණ වණමින්ද හුන්හ. එසමයෙහි එක්තරා ආජීවකයෙක් බුදුන්ගේ ආදාහණ ස්ථානයෙන් මහ තැටි පමණ වූ මදාරා මලක් ගෙන, අමුතු ලීයක අමුණා හිසට අල්වාගෙන  කුසිනාරා නුවරින් පිටත්ව පාවා නුවරට යන  අදහසින් මගට පිළිපන්නේය.

ඉක්බිති මහසුප් මහ තෙරුන් වහන්සේ එන්නාවූ ආජීවකයා දුරදීම දැක , සිතන සේක් මේ මදාරා මල් වනාහි මිනිස් පියස්හි සෑම දා නොපෙනෙයි. බෝසතුන්ගේ මව් කුස පිලිසිදීම, බිහිවීම, බුදුවීම, දම් සක් පැවැත්වීම, පිරිනිවීම  ආදී උත්තම දිනයන්හි  ම පෙනේ. ඒකාන්තයෙන්ම මාගේ සර්වඥ යන් වහන්සේ පිරිනිවී සේක් ම වන්නේය . මම ඔහු අතින් විචාරමි’යි සිතා “ඉඳින් හිඳගෙනම විචාරන්නෙම් නම් එය බුදුන්ට අගෞරවෙයෙකැ’යි හුන් තැනින් නැගී ඉවත්ව, බුදුන් විසින් දුන් පසුල් සිව්ර පොරොවා, ඇඳිලි බැඳ, බුද්ධ ගෞරවයෙන් යුතුව ආජීවකයාට ලංව “ඇවත ! අප ශාස්තෘන් වහන්සේ දන්නේදැ”යි ඇසීය. එකල්හි ආජීවකයා කියනුයේ “එසේය ඇවැත්නි ! මම දනිමි. මහණ ගොයුම් තෙම පිරිනිවන් පා අදට සත් දිනෙකි. මේ මදාරා මල ඒ ආදාහණස්ථානයෙන් ගෙන එන ලද්දෙකැ”යි  කීය. එයැසු  මහසුප්ල තෙරුන්ගේ  පිරිවර භික්ෂුන් අතුරින් පුහුදුන් භික්ෂුහු  “බුදු රජාණන් වහන්සේ වහා පිරිනිවී සේක. මෙලොව වෙසෙසින් පිරිසිදු වූ බුදු ඇස  ඉතා ඉක්මනින් අතුරුදහන් වීය” යි කියා වැළපෙමින්  හිස’ත් බැඳ ගෙන හැඩුහ. ඇතැමෙක්  මැදින් කැඩුණු ගසක් මෙන්  බිම පතිත වුහ. බිම පෙරළුනාහ. රහතුන් වහන්සේලා වනාහි සියළු සංස්කාරයෝ අනිත්‍යය යැයි සිහියෙන් යුතුව ඉවසා සිටියහ. එකල්හි සංඝයා අතුරෙහි ගුණයෙහි අභද්‍ර වූ නමින් සුභද්‍ර නම් වූ මහළු ව පැවිදි  වූ දුර්වච භික්ෂුවක් විය. ඔහු හඬා වැළපෙන්නාවූ  භික්ෂුන් අමතා, “ඇවැත්නි! නුඹ වහන්සේලා ශෝක නොකරව්. නොහඬව්. නො වැලපෙව්. ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මනාකොට  මිදුණෝ වම්හ. මින් මතු ඔහු විසින් මේ තොපට කැපය. මේ අකැපය. මේ කළ යුතුය. මේ නොකළ යුතුය  යැයි අපට නොකියන්නාහ. දැන් වූ කලි  අපි අපට රිසි දැයක් ම කරමු. නොරිසි දෙය නොකරමු” (ඔහු මෙසේ කීමට ඇති හේතු කවරේද යත් ? ඔහු විසින් අධර්මයෙන් උපදවා ගත කැඳක් බුදුනට පිළිගැන්වූ කල්හි එය පිලි නොගත් බැවින් බුදුන් කෙරෙහි  ආඝාත බැඳ උන්වහන්සේ  ජීවමාන කාලයෙහි  කිසිවක් කරගත නොහුණු හෙයින්  පිරිනිව් බැව් අසා සතුටුවැයි දත යුතුයි.)

ඒ වදන් ඇසු මහසුප් මහතෙරනුවෝ  ඒ  කථාව  තම ළෙහි හුනු පහරක් සෙයින්ද හිසෙහි හුණු සෙන පහරක් සෙයින්ද  සිතන්නාවූ උන්වහන්සේට ධර්ම සංවේගය උපන්නේ , මෙසේ සිතූහ.

මාගේ සර්වඥයන්  වහන්සේ පිරිනිවන් පා අදට සත් දිනෙකි. අද ද  උන් වහන්සේගේ  රන්වන් වූ ශ්‍රී ශරීරය පවත්නේය. අහෝ ! උන් වහන්සේ ඉතා දුක සේ පිහිටුවා වදාළ සසුනෙහි  යුහුව මෙසේ පව් කසල හටගත්තේය. ඒ මේ පවිටා වැඩෙමින්  අනිකුදු මෙබඳුවූ  යහළුවන් ලබා  සසුන පසුබස්වා ලන්නට පොහොසත් වන්නේය. ඉදින් මම මේ මහල්ලාට මෙතැනදීම රෙදි කඩක් හඳවා බැහැර කරන්නෙම් නම් මිනිස්සු ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ  ශරීරය පවත්නා කල්හිම ඔහු සව්වෝ විවාද කෙරෙති යි අපගේ දොස් දක්නාහු’යැයි ඉවසා මෙසේද සිතූහ.

භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසු ධර්මය නොහැමුනු මල් ගොඩක් බඳුය. යම් සේ නො හැමුනු  මල් ගොඩ පමණින් පහළ කල්හි ඒ ඒ තැන්හි  විසිර විනාශ වී යාද , එසේම අසංගෘහිත ඒ ධර්මය මෙවැනි පවිටු පුඟුලන්ගෙන් පහරණු ලබා යුහුව පිරිහීමට පත් වන්නේය. එසේ සසුන  නට කල්හි අපි අසරණයෝ වන්නෙමු. එහෙයින් නො හමුනු මල් ගොඩ අමුණා පිළියෙළ  කළ කල්හි යම් සේ විසිර නොයන්නේද, එසේම ධර්ම විනය සංගායනාකොට පිළියෙළ කල කල්හි නො නැසී පවත්නේමය. මේ නිසාම තථාගතයන් වහන්සේ මා හට තුන් ගවු පමණ මාර්ගය පෙර ගමන් කළ සේක. ත්‍රිවිධා’වවාදයෙන් මහණ උපසපන් දෙවා වදාළ සේක. බුද්ධ චීවරය මා හට දීමෙන් සම තැන්හි තබා වදාළහ. තෙවිටක් සකල සාසනය මාහට පවරා වදාළහ.

මා වැනි භික්ෂුවක් සිටිනා කළ මේ පවිටා ශාසනයෙහි වැඩුනේ  නොවන්නේය. යම්තාක් අධර්මය හා අවිනය  නොබබලාම  ධර්මය හා විනය බබලන්නේද, අධර්ම  අවිනය වාදීහු දුබලව, ධර්ම විනය වාදීහු බලවත්වන්නා හුද ඒ තාක් ධර්ම විනය සංඝායනා කරන්නෙමි. එකල භික්ෂුහු  තම තමන් හට පොහෝනා දැය ගෙන, කැප  අකැප කියන්නාහ. එවිට මේ පවිටා තෙමේ ම නිගාවට පැමිණෙන්නේය. සසුනට සමුර්ධ වන්නේය, යි සිතා ඒ බැව් කිසිවෙකුටත් නොකියා අඬා වැළපෙන්නාවූ භික්ෂුන් අමතා , “ඇවැත්නි! තොපගේ හැඩීමෙන් කිනම් පලෙක් ද? බුදුරජාණන්වහන්සේ විසින් සියළු ප්‍රිය මනාප යන්ගෙන් වෙන්වීම දුකක් බව වදාරණ ලද්දේ නොවේදැ”යි අවවාද කොට  භික්ෂුන් අස්වැසූ සේක.

ඉක්බිති  තෙරුන් වහන්සේ භික්ෂුන් සනසා, ඉන් නික්ම පිරිවර සංඝයා කැටුව කුසිනාරාවට වැඩියා  හ.  එකල මැදුම් වයස් ඇති ශක්ති  සම්පන්න වූ මල්ල රජ දරුවෝ  සතර දෙනෙක් සුවඳ පැනින් ඉස සෝදා නහා, අළුත්  පිළි හැඳ “අපි බුදු රජාණන්වහන්සේ ගේ මෘත දේහය තැබූ එක් සිය විසි රියන් පමණ වූ සඳුන් දර සෑයට ගිනි දල්වම්හ “යි උත්සාහ කොට ගිනි  දල්වා ගත නුහුන්නාහුය. යලිත් අට දෙනෙක් ද, සොළොස් දෙනෙක් ද, දෙතිස් දෙනෙක් දැයි ගිනි දල්වනු පිණිස ගිනි හුල් දෙක දෙක බැගින් ගෙන උත්සාහ කළ නමුදු ගිනි දැල්වීමට නොහැකි විය.

ඉක්බිති මල්ල රජ දරුවෝ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ වෙතට එළඹ, “ස්වාමිනි අනුරුද්ධ ස්ථවිරයන් වහන්ස ! මේ දර සෑයට ගිනි නො ඇවිලෙන්නට  හේතු කීම දැ”යි විචාල කල්හි, අනුරුද්ධ තෙරුන් වහන්සේ, “පින්වත් මල්ල රජ දරුවෙනි! දෙවියන්ගේ අදහස අන් පරිද්දිදෙක් යැයි” කීහ . එකල්හි උහු, “වහන්ස! දෙවියන්ගේ අදහස කෙබඳු දැයි ඇසු කල්හි , “රජ දරුවෙනි! ආයුෂ්මත් කාශ්‍යප මහ තෙරුන් වහන්සේ, පන් සියයක් පමණ වූ බික් සංගණ පිරිවරා පාවා නුවරින් කුසිනාර නුවරට එමි යි අදන් මගට පිළිපන්නේය. ඒ මහසුප් තෙරුන් වහන්සේ බුදු සිරිපා සඟල වඳනා  තෙක් සෑයට ගිනි නො ඇවිලේවා ! යනු දෙවියන්ගේ අදහස ය”යි කීහ. මිනිස්සු, “වහන්ස! එසේ නම් දෙවියන්ගේ අදහස පරිද්දෙන්ම වේවා!’යි කීහ. ඒ දෙවියෝ වනාහි මහසුප් තෙරුන් ගේ උපස්ථායකයෝ ම වෙති. ඒ දෙවියෝ තෙරණුවන් එම සමාගමෙහි නොදැක , අපගේ කුළුපග තෙරුන් වහන්සේ කොහි දැයි බලන්නාහු  අතරමග වඩිනු දැක, “මුන් වහන්සේ බුදු සිරිපා නො වැන්ද කල්හි සෑයට ගිනි නොඇවිලේවා”යි අදිටන් කළහ.

මෙසේ අනුරුද්ධ තෙරුන්ගෙන් ඇසු මිනිස්සු, ” මහා කාශ්‍යප නම් ස්ථවිර කෙනෙක් පන්සියයක් පියවර සමග බුදු සිරිපා වැදීම් යි එත් ල, උන් වහන්සේ නො පැමිණි කල්හි සෑය නොදැල්වේ ල. උන් වහන්සේ කෙබන්දෙක් ද? පින්වත්නි, මෙබඳු භික්ෂුවක් සිටි කල්හි බුදුන්ගේ පිරිනිවන් පෑම කිම් දැයි  මල් සුවඳ ආදිය ගෙන පෙර ගමන් කළහ. ඇතැම් කෙනෙක් වීථි පිරිසිදු කොට සරසා  මග දෙපස රැස්ව තෙරුන් වහන්සේ වඩින තෙක් මග බල බලා  සිටියහ. ඉක්බිති ආයුෂ්මත් මහා කාශ්‍යප  ස්ථවිරයන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජුන්ගේ මකුට බන්ධන  නම් සෑය යම් තැනෙක් හිද එතන වූ  භාග්‍යවතුන් වහන්සේ ගේ  චිතකය  වෙත පැමිණ සිව්ර සකසා පොරොවා දොහොත් මුදුන් තබා වැඳ , තෙවරක්  දර සෑය වටා  පැදකුණු කොට ආවර්ජනා කරමින් මේ ස්ථානයේ හිස ය, මේ ස්ථානයේ පාදයෝය යැයි  සිතා ශ්‍රී පාදයන් සමීපයෙහි සිට, අභිනඥපාදක  චතුර්ථ ධ්‍යානයට සමවැද  එයින් නැගී අර දහසකින් යුක්ත වූ සක් ලකුණු පිහිටියාවූ බුදු රජාණන්වහන්සේගේ ශ්‍රී පාදයෝ සිරුරු දැවටු කපු පුළුන් පටලයන් හා පන් සියයක්  දුහුල් පිළිසඟල් ද රන් දෙන ද සඳුන් දර සෑය  ද යන මේ සියල්ල දෙබේ කොට අවුත් මාගේ මේ උත්තමාචාරයෙහි පිහිටන සේක්වා! යි අධිෂ්ටාන කළ සේක.

ඒ අදිටන් සිත සමගම  පුළුන් පටලයන් හා පන්සියයල් දුහුල් සඟල්  පළා, වලා ගැබකින් නික්මෙන පුන් සඳක් සේ ශ්‍රී පාදයෝ සෑයෙන් පිටතට නික්මුණාහ. තෙරුන් වහන්සේ පිපී ගියාවූ රන් පියුම් බඳු  දෙඅත් දිගු කොට බුදුන්ගේ සිරි පා ගොප් මස තෙක් දැඩි කොට ගෙන තමාගේ හිසෙහි පිහිටුවා වැන්දහ.ගව් එම අසිරිමත් ප්‍රාතිහාර්යය දුටු මහජනයා  එක්වරමමහත් නාද කළහ. සුවඳ මල් ආදියෙන් පුදා සිත් පරිදිම බුදු සිරිපා වැන්දා හ. තෙරුන් හා පන්සියයක් භික්ෂුන්ද සිරිපා වැඳ නිමවූ පසු නැවත අධිෂ්ඨානයෙක් නැතිවම පියවි අදිටන් විසින්ම තෙරුන් වහන්සේ ගේ අතින් මිදුනාවූ ඒ ශ්‍රී පාදයෝ සඳුන් දර ආදී කිසිවක් නොසොල්වා යථා ස්ථානහිම සිටියාහුය. උදාවී අන්තයට ගියාවූ  සඳ හිරු මෙන් බුදු සිරිපා අතුරුදහන් වූ කල්හි මහජනයා  මහත් ඝෝෂා කොට හඬා වැළපුනාහුය. බුදුන් පිරිනිවන් පා වදාළ දිනටත් වඩා අධිකතර සෝක පහළ විය. දෙවියන්ගේ ආනුභාවයෙන්  දර සෑය  එක පහරින් තෙමේම හාත් පසින් දැල්වී ගියේය.

ඉක්බිති බුදු රජාණන්වහන්සේගේ පිරිනිවීමෙන් එක විසි දින වූ පොසොන් මස පුර විසේනිය ලත් සඳු දින ධාතු බෙදීමට රැස් වූ සත් ලක්ෂයක් භික්ෂුන්ට නායක වූ ආයුෂ්මත් මහා කාශ්‍යප  ස්ථවිරයන් වහන්සේ  බුදුන් පිරිනිවී සත් වනදා සුභද්‍ර නම් බුද්ධ පරිබ්බජිතයා විසින් කී අනාදර වචන සිහි කරමින් මෙබඳු සංඝ සන්නිපාතයෙක් නැවත දුර්ලභ බැව් සිතමින් යම් හෙයකින් පාපී භික්ෂුහු , ” මේ ධර්ම විනය වනාහි ඉක්ම ගිය ශාස්තෘන් වහන්සේ ඇතියහ ” යි සිතා පක්ෂ බලය ලැබ  නොබෝ කලකින්ම ධර්ම විනය අතුරුදහන් කරන්නාහුය යන මේ කාරණය විද්‍යාමාන වන්නේය. බුදුන් විසින් ආනන්ද ස්ථවිරයන්ට


“යෝඛෝ ආනන්ද  මයා ධමමෝ ච විනයෝච දේසිතෝ 
පඥා තෙතා සො චො මමච්චයෙන සත්ථා“යි
“ආනන්දය! මා විසින් තොපට යම් ධර්මයක් දේශනා කරන ලද ද,
යම් විනයක් පනවන ලද ද , ඒ ධර්ම විනය මාගේ ඇවෑමෙන් තොපට ශාස්තෘ වන්නේය“යි වදාළ හෙයින්
යම් තාක් කලක් ධර්ම විනය පවතීද ඒ තාක් ප්‍රවචන සංඛ්‍යාත සාසනය  නො ඉක්මුන ශාස්තෘන් ඇත්තේ වන්නේ
ය.

යම් පරිද්දෙකින් මේ සාසනය බොහෝ කල් පවතින්නේද, එපරිද්දෙන් ධර්ම විනය සංඝායනා කරන්නේ නම් ඉතා  යෙහෙක. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ විසින් “ධාරෙස්සසි පන මේත්වං, කස්සප සානාති පංසු කුලානි නිබ්බසනානි” යනුවෙන්, “කාශ්‍යපය! පරිභෝගයෙන් දිරා ගියා වූ පුණ්ණ නම් දාසියගේ මළසිරුර දවටා තිබු බැවින් තිඹක් පමණ පණුවන් හලාපියා ගත් සණ වැහැරිමය පසුල් සිව්ර තෝ දරන්නෙහි දැයි  වදාරා, සිව්රෙහි පිළිවෙත් පිරීම හේතු කොට ගෙන තමන් වහන්සේ හා සාධාරණ පරිභෝගයෙන් අනුග්‍රහ කර වදාළ සේක් ද නැවත,

“අහං භික්ඛවෙ යාවදේව ආකන්ක්හාමි..… යනුවෙන්, 
“මහණෙනි මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒ තාක් කල් කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක  විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීති සැප ඇති ප්‍රථම ධ්‍යානයට සමවැද වෙසෙමි.
මහණෙනි  මහා කාශ්‍යපයන් ද, යම්තාක් කල් කැමැති වෙත්ද, ඒ තාක් කල් කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්මයන්ගෙන් වෙත්ම ද,  විතර්ක  විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීති සැප ඇති ප්‍රථම ධ්‍යානයට සමවැද වෙසෙයි.” යනාදී වශයෙන්, නවානුපුර්ව විහාර සමාපත්ති, ෂඩ්භිඥා ආදී ප්‍රභේද ඇති උත්තරී  මනුෂ්‍ය ධර්මයෙහි තමන් හා සම තැන් තැබීමෙන් අනුග්‍රහ කරණ ලද්දෙම් වෙමි. මෙසේ බුදුන් විසින් අනුග්‍රහ කරණු ලැබූ  ඒ මට ධර්ම විනය සංඝායනාව හැර අනෙක් කුමන ඉණ පලිබෝධයෙක් වේද, ස්වකීය සන්නාහ ඓශ්චර්යානු ප්‍රධාණයෙන් තමාගේ කුල වංශයෙහි පිහිටුවන පුත්රයාට්  අනුග්‍රහ  කරන රජෙකු සේ  බුදු රජාණන් වහන්සේ මේ කාශ්‍යප තෙම මාගේ සද්ධර්ම වංශය ප්‍රතිෂ්ඨාපනය කරන්නෙක් වන්නේය යි දැන මේ අසාධාරණ අනුග්‍රහයෙන් මට අනුග්‍රහ කරන ලද්දේ නොවේ දැයි  සිතමින්   සුභද්‍ර නම් මහළු පැවිද්දා විසින් කී අනාදර වචනය සංඝයාටද දන්වා  ධර්ම විනය සංඝායනා කරනු පිණිස භික්ෂුන්ට උත්සාහ ඉපද වූ සේක. භික්ෂුහු ද , “වහන්ස! එසේ නම් ඔබ වහන්සේම  ධර්ම සංඝායනාවට සුදුසු භික්ෂුන් තෝරා ගත මැනව යි කීහ. ඉක්බිති මහ තෙරණුවෝ භික්ෂුන්ගේ අනුමැතියෙන් ධර්ම සංඝායනාවට සුදුසු භික්ෂුන් පන් සියයක් තෝරාගෙන අපි රජ ගහ නුවර වස් වැස ධර්ම සංඝායනා කරම්හ. කිසියම් විසභාග පුද්ගලයෙක් සභා මැදට පිවිස අපගේ මේ තහවුරු කර්මය වළකන්නට ද හැකි වන්නාහ යි මේ භික්ෂුන් පන්සීය ය හැර සෙසු භික්ෂුන් රජගහ නුවර වස් නොඑළඹෙත්වා යි සම්මත කර ගත්හ. නැවත මහා කාශ්‍යප ස්ථවිර තෙමේ

“සුනාතු මේ ආවුසො සංඝෝ යදී සංඝස්ස පත්ත කල්ලං
සංඝෝ ඉමානි පංච භික්ඛු සතානි සම්මනෙයය 
රාජගහෙ වස්සං වසන්තා ධම්මං  ච විනයං ච සංඝායිතුං,
න  ආඥඥහි භික්ඛු හි රාජගහෙ වස්සං වසිතබ්බං එසා ඥානති.”යි

 “ඇවැත්නි! සංඝ තෙමේ මාගේ වචනය අසත්වා!
ඉදින් සංඝයා පැමිණි කල් ඇත්තේ නම් සංඝ තෙමේ මේ භික්ෂුන් පන්සීය ය රජගහ නුවර වස් වසමින් ධර්මය හා විනය  සංඝායනා කිරීමට සම්මත කරන්නේය. අන්‍ය භික්ෂුන් විසින් රජගහ නුවර නොවිසිය යුත්තේය. මෝ තොමෝ දැන්වීමයි ” යනාදීන්  “ඥත්ති දුතිය ” කර්ම වාක්‍යයෙන් සංඝයා අස්වා නැවතත්  භික්ෂුන් අමතා, ” ඇවැත්නි!  දැන් තොපට සතලිස් දිනක් අවකාශය. ඉන් මතු අපට මේ නම් පලිබෝධයෙක් ඇතැයි කියන්නට නොලැබෙන්නේය. එසේ හෙයින් මෙදා තුරෙහි යමෙක් හට රෝග පලිබෝධයෙක් වේව’යි , ආචාර්‍යඋපාද්‍යාය පලිබෝධයෙක් හෝ වේව යි  මාතෘ පිතෘ පලිබෝධයෙක් හෝ වේව යි මෙයින් යම් පලිබෝධයෙක් වෙත් ද පාත්‍රයක් හෝ පිලිස්සිය යුතු ද සිවුරක් හෝ කටයුතු ද, හෙතෙමේ දැන්ම ඒ පලිබෝධ සිඳ ඒ ධර්ම සංඝායනාව කෙරේවා” යි කියා (ඒ මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ) තමන්ගේ පන්සියයක් පිරිවර භික්ෂුන් සමග රජගහ නුවරට වැඩි සේක.

තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණ සථානයට පැමිණි මහජනයා අස්වසාලනු පිණිස පුණ්ණ මහතෙරණුවන් තවත් වහන්සේලා පන් සියයක් සමග කුසිනාරා නුවර රඳවා අනික් මහා සංඝයා වහන්සේලාද තම තමන්ගේ පිරිස් ගෙන සෝකයෙන් පෙලෙන්නාවූ මහජනයා අස්වසාලනු පිණිස ඒ ඒ දිසාවන් කරා වැඩියාහ.

ඉක්බිති තෙරුන් වහන්සේලා ඇසල මස අව විසේකිය ලත් ගුරු දින බත් කිස නිමවා පා සිව්රු තැන්පත් කොට තබා අජාසත් මහරජු විසින් සත්තපන්නි ගුහාද්වාරයෙහි අලංකාර කොට කරවූ ධර්ම මණ්ඩපයට රැස්ව මහා කාශ්‍යප තෙරුන් වහන්සේ (සංඝ සම්මුතියෙන්) ථෙරාසනයෙහිද, ආයුෂ්මත් උපාලි තෙරුන් වහන්සේ  ධර්මාසනයෙහි ද හිඳගත පසු, තෙරුන් වහන්සේලාද මහා තෙරුන් වරුන් වැඳ තම තමනට  පත් අසුන්වල හිඳගත කල්හි ආනන්ද ස්ථවිරයන් වහන්සේ තමන් වහන්සේ, පෘතග්ජන වූ හෙයින් බුදුන් විසින් වදාළ “කත පුග්ඥයි තවං ආනන්ද ඛිප්පං හෝහි අනාසවෝ” යන්නද සිහි කොට  වහා රහත් වී ධර්ම සංඝායනා මණ්ඩපයට යනු  කැමැතිව වීර්‍යය වඩා  සක්මන් කරන්නේ මේ සසුනෙහි අන් කිසිවෙකු රහත් නොවූ පරිදි සිව් ඉරියව්වෙන්ම මිදී සියළු ක්ලේෂ ධර්මයන් පහ කොට රහත්ව සෘද්ධියෙන්ම  වැඩමවා ගොස් ධර්ම මණ්ඩපයෙහි තමන්ට වෙන්ව තිබු අසුනෙහි හිඳගත්සේක.

එකල්හි මහා කාශ්‍යප තෙරුන් වහන්සේ “විනයෝ සාසනස්ස ආයු! යි  සාසනයාගේ ආයුෂය නම් විනය වන්නේය” සිතා ප්‍රථම කොට විනය සංඝායනා කරණු කැමතිව, ආයුෂ්මත් උපාලි තෙරුන් වහන්සේගෙන්, “චත්තාරෝ පාරාජිකා උපාලි තත්ත පඥඥත්තං?” යනාදී වශයෙන් විනය නීති සම්බන්ධයෙන් නිදානය, වස්තුවය, පුද්ගලයා, ප්‍රඥප්තිය, ආපත්තිය ආදී හැම දෙයක්ම විචාරා සංග්‍රහ කොට නිම කළහ.

ඉක්බිති ධර්මය සංග්‍රහ කරණු කැමැත්තාවූ මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ප්‍රධාන කොට ඇති පන්සියයක් දෙනා වහන්සේ ප්‍රශ්න විචාරනු සඳහා මහා කාශ්‍යප තෙරුන් වහන්සේම සම්මත කොට ගෙන ප්‍රශ්ණ විසඳීමට  ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද තෙරුන් වහන්සේ  සම්මත කර ගත්හ. ආනන්ද තෙරුන් වහන්සේ ධර්මාසනයෙහි වැඩ හුන් කල්හි මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ධර්මය පිළිබඳව විචාලා වූ නිදානාදී සියල්ල ආනන්ද තෙරුන් විසින් විසඳා වදාරා මාගේ තිලෝගුරු භාග්‍යවත් සම්මා සම්බුදු අමා මෑණියන් වහන්සේ වදාළ අසු හාර දහසක් පමණ වූ ධර්ම ස්කන්ධය සංග්‍රහ කොට නිම කළහ.    

මෙසේ එම ධර්ම සංඝායනාව නිමවා සංග්‍රහ කළ විනය පිටකය උපාලි තෙරුන් වහන්සේගේ සද්ධි විහාරිකයන්ට ප්‍රගුණ කිරීමට පවරා සුත්‍ර පිටකය අනික් අනික් මහ තෙරුන් වහන්සේලාට පවරන්නාහු, මේ මහසුප් තෙරනුවන්ටද “නුඹ වහන්සේගේ අතවැසියන්ට මෙය ප්‍රගුණ කරණු මැනව’යි කියා සංයුත් සඟිය භාර කළහ. 

මෙසේ හෙයින් මේ සාසනයෙහි පළමු සංයුත් භාණකයෝ නම් මේ මහා මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ගේ ශිෂ්‍යානුශිෂ්‍යයෝය. මෙසේ ඒ මහසුප් මහතෙරුන් වහන්සේ පස්වා දහසක් මුළුල්ලෙහි ධර්ම විනය පවත්නා සේ  ධර්ම සංගීතිය කරවා (උපාය සලසා) බුදුන්ගේ ශාරීරික ධාතුන්ට වන අන්තරාය දැක, අජාසත් මහරජු කරා එළඹ, “මහ රජාණෙනි! එක ධාතු නිධානයෙක් කර තබන්ට් ඇත්තේය:යි කීහ. එවිට රජ තෙමේ, “මැනව වහන්ස! ඒ නිධාන කර්මාන්තය මට භාර වේවා! ධාතුන් වහන්සේලා කෙසේ ගෙන්වම් දැ” යි ඇසීය. 

එකල්හි මහසුප්   තෙරුන් වහන්සේ, “මහරජ!  ධාතු ගෙන ඊම අපට භාරය් යැයි කියා රාමග්‍රාම මහ සෑයෙහි ධාතුන්ට අනතුරක් නොවන්නේය. ඒ අනාගතයෙහි  ලක්දිව මහ සෑයෙහි පිහිටන්නේ යැයි ඒ ධාතුන් නොගෙණ රජගහ නුවරය, විසල් පුරය, කිඹුල්වත් පුරය, අල්ලකප්ප රටය, වෙටදීපක රටය, පාව්‍යය නුවරය, කුසිනාරා නුවර යැයි යන සත් තැන පිහිටියාවූ මහ සෑවල ඒ ඒ නගර වැස්සන්ට වැඳුම් පිදුම් පිණිස ධාතු ස්වල්පයක් බැගින් තබා අනික් හැම ධාතුන් ගෙනවුත් රජගහ නුවරට අග්නි දිශාභාගයෙහි තබා මේ ස්ථානයෙහි පාෂාණ අතුරු දහන් වේවා! පස් ඉතා පිරිසිදු වේවා! ජලය නොඋනාවා’යි ඉටු සේක.

ඉක්බිති මහසුප්  මහා ස්ථවිරයන් වහන්සේ ගේ නියමයෙන් අජාසත් මහරජ තෙම ඒ ස්ථානය කණවා අසු රියනක් යට ලෝ තහඩු අතුරවා එහි ථුපාරාම චෛත්‍ය ගෘහ ප්‍රමානාවූ තඹ ලෝ මුවා ගෙයක් කරවා නොයෙක් කරඬු නහා ථුපයන් ද කරවා ධාතු නිධානය කොට ඊ මත්තෙහි ගෙවල් ආදිය කරවීය. (එහි විස්තර ථුප වංසාදියෙන් දත යුත්තේය.)

ඉක්බිති ඒ ධාතු නිධානයෙහි සියළු කටයුතු නිමි කල්හි  මහසුප් තෙරණුවෝ, “මෙහි මල් නො මැලවෙත්වා!  සුවඳ නොවැනසෙත්වා !! පහන් නොනිවෙත්වා !!! යි අධිෂ්ඨාන කොට “අනාගතයෙහි පියදාස නම් කුමරෙක්  මුළු දඹදිව එක සේසත් කොට ධර්මාශෝක  නමින් රජ වන්නේය. ඒ රජ තෙමේ මේ ධාතුන් වහන්සේලා ගෙන සුවාසුදහසක් චෛත්‍යයයන් කරවා  ධාතු නිධන් කරන්නෙය් යි රන් පතෙක්  හි ලියවා තැබූ සේක. මෙසේ මේ සම්බුද්ධ සාසනය පස්වා දහසක් කල් පැවැත්මට පරම ප්‍රතිස්ථාධාරවු ඒ මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ධාතු නිධානය නිමවූ පසුවද බොහෝ කල් සාසන සංග්‍රහ කෙරෙමින් එක් සිය විසි හවුරුදු වයස් වන තෙක්ම වැඩ සිට අනුපධි ශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක.

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ චරිතාපදානය නිමියේ …!

සාධු… සාධු… සාධු…

මෙම ලිපිය සහ ඡායාරූප උපුටා ගන්නා ලද්දේ අන්තර්ජාලය ඇසුරෙනි. 

අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම ලිපිය සහ ඡායාරූප හුදෙක්
ධර්ම දානයක් ලෙස ඉදිරි ඉදිරිපත් කරන ලදී.

මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද, එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන්, ප්‍රථමයෙන් මෙම ලිපිය සහ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පින්වත් ස්වාමීන් වහන්සේලාට, පින්වත් මහත්ම මහත්මීන් වෙතට, එසේම මෙම ලිපිය ඔබ වෙත පිරිනමන මා හට ද, මෙසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.

මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!

සාදු… සාදු… සාදු…

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org