මිහින්තලය

මිහින්තලාවේ හෙළ අභිමානය ලොවටම පෙන්වන විස්මිත නිමැවුම්.

මිහින්තලේ හෙවත් මිස්සක පව්ව නමින් හැඳීන්වෙන කඳු පර්වතය ආශ්‍රිත පෙදෙස අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ මහ රහතන් වහන්සේලා සිය ගණනකට සෙවණ සැලසූ අතර උන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් වූ පින්බිමකි. මිහින්තලා භූමිය අනුරාධපුරයේ සිට ත්‍රිකුණාමලය මාර්ගයේ කිලෝමීටර් 15ක් පමණ දුරින් මාර්ගයට ඉතා සමීපව පිහිටා ඇත. මිහිඳු හිමියන් වැඩම කළ මිහින්තලයට යන සැහැදැවතුන් විසින් නැරැඹිය යුතු ස්ථාන රැසක් ඇත.

 

Mihinthalawe

 

අම්බස්තල දාගැබ

මහාදාඨික මහා නාග රජු විසින් පළමුවෙනි සියවසේ දී අම්බස්තල සෑය ඉදි කළ බව සැලකේ. සේල චෛත්‍යය ලෙසද හැඳීන්වෙන මේ දාගැබ මහාවංශයේ දැක්වෙන පරිදි කණිට්ඨ තිස්ස රජු (ක්‍රි.ව. 167 – 186) ඒ වටා චේතියඝරයක් හෙවත් වටදා ගෙයක් ඉදිකර ඇත. ගෝඨාභය රජු (ක්‍රි. පූ. 249 – 262) විසින් මෙම චේතියඝරය ප්‍රතිසංස්කරණය කර ඇති බවත් මහා වංශයේ ම සඳහන් වේ. මිහිඳු හිමි දේවානම් පියතිස්ස රජුගෙන් විමසූ ‘අඹ පැනයට‘ අයත් අඹ ගස පිහිටා තිබූ ස්ථානයද මෙම ස්ථානය බවට විශ්වාසයක් පවතී.

මිහින්තලා මහ සෑය

ක්‍රිස්තු වර්ෂ 9 වන සියවසේ රජකළ මහාදාඨික මහා නාග රජු විසින් කරවන ලද මිහින්තලා මහා සෑය මිස්සක පව්වේ පිහිටි විශාලතම දාගැබයි. බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ නිදන් කොට තනන ලදැයි පැවසෙන මෙම මහා සෑය පූජාවලියේ හා සිවුවන මිහිඳු රජුගේ මිහින්තලා පුවරු ලිපියේ ද හැඳීන්වෙන්නේ ‘අම්බුළු දාගැබ‘ ලෙසිනි.

මිහිඳු සෑය

මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු උන්වහන්සේගේ ධාතූන් වහන්සේ කොටසක් නිධන් කොට, දේවානම් පියතිස්ස රජුගේ බාල සොහොයුරු උත්තිය රජු විසින් ක්‍රි.පූ. 2 වන සියවසේ දී කරවන ලද මිහිඳු සෑය මෙරට මුල්ම දාගැබ් අතරින් එකක් ලෙස සැලකේ.

1951 වසරේදී ස්තූපයේ කළ කැණීම්වලදී කළු මැටියෙන් නිම කළ කරඬුවක් හමු වූ අතර එය අඟල් 5 3/8 ක උසින් යුත් හා පතුළේ විෂ්කම්භය අඟල් 2 7/8කින් යුක්තය. එකිනෙකට යා වෙන කොටස් තුනකින් යුක්ත වූ එහි ඉහළම කොටස පියන ලෙසත්, අනික් කොටස් දෙක වෙනම හෙප්පු දෙකක් ලෙසත් භාවිත කර ඇත. මෙම කරඬුව ලංකාවේ මෙතෙක් සොයාගත් වටිනාම මැටි කරඬුව ලෙස සැලකේ.

පුරාණ වෙදහල

මිහින්තලා කන්දට යන මාර්ගයේ දකුණු පස ‘අඹ කොටුව‘ අසල නටඹුන් ව ගිය විශාල භූමිය පුරාණ වෙදහල ලෙස හැඳීන්වේ. දහස් ගණනක් වූ භික්ෂූන් වහන්සේ ද, උන් වහන්සේ සඳහා ඇප උපස්ථාන කරන්නට සිටි සේවක ජනයා ද ඇතුළු විශාල පිරිසකගේ සෞඛ්‍ය අවශ්‍යතා උදෙසා මේ වෙදහල ස්ථාපනය කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.

දෙවන සේන රජතුමන් ක්‍රි.ව. 853 – 887 අතර කාලයේ මේ වෙදහල කළ බව චූලවංශයේ දක්වා තිබේ. වෙදහලේ ඇති ‘බෙහෙත් ඔරුව’ සුවිශේෂී වූවකි. මෙම වෙදහලේ තිබී හමු වූ බෙහෙත් මංජුසා 2 ක් මිහින්තලයේ කෞතුකාගාරයේ ඇත.

කණ්ඨක චෛත්‍ය

අතීතයේ ‘කිරි බඩ පවු දාගැබ‘ – ‘කිරිබත් වෙහෙර‘ නමින් හඳුන්වා ඇති මෙය 1934 වසරේ දී පාදා ගැනීමට පෙර මහ ගස්වලින් පිරි කඳු ගැටයේ ම කොටසක් වශයෙන් සලකන ලදී. චෛත්‍යය හඳුනා ගැනීමට උපකාරීවන සෙල් ලිපියක් මෙම දාගැබේ බටහිර වාහල්කඩට නුදුරුව ගලක කොටා තිබී සොයා ගන්නා ලදී.

සතර දිශාවට මුහුණලා සාදා ඇති වාහල්කඩ චෛත්‍යයේ විශේෂිතම ලක්ෂණයකි. මේ වාහල්කඩ ඉපැරැණි සිංහල මූර්ති හා කැටයම් විශිෂ්ටත්වය පෙන්වීමට හොඳම නිදසුනකි.

එම ස්තූපය කණ්ඨක චෛත්‍ය නමින් නම් කර ඇත්තේ සිදුහත් කුමරුගේ කණ්ථක අශ්වයා සිහි කිරීමට බවද පුරා විද්‍යාඥයෝ පවසති.

අටසැට ලෙන්

කණ්ඨක චෛත්‍ය අසල නැඟෙනහිර කඳු බෑවුමේ ඇති ලෙන් මිහින්තලයට වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන භික්ෂුන් වහන්සේගේ පරිහරණය සඳහා දේවානම් පියතිස්ස රජු විසින් අට සැට ලෙන් පිළියෙළ කරන ලදී. ලෙන් හැට අටක් වූ හෙයින් අටසැට ලෙන් නමින් හඳුන්වා තිබේ. භාවනා කළ භික්ෂූන් හට ලෙන් පූජා කරන්නට ඇති බව විශ්වාස කෙරේ.

ගල් ලෙන් උඩ බ්‍රාහ්මී අක්ෂර කොටා ඇති අතර පූජා කළ භික්ෂූන්ගේ නම් එහි ඇතුළත් ය‍. සතර දිගින් පැමිණි, නොපැමිණි භික්ෂු සංඝයා වහන්සේගේ පරිහරණය සඳහා දේවානම් පියතිස්ස මහරජු, ඔහුගේ භාර්යාව, සොහොයුරු උත්තිය රජු හා රජ පවුලේ සාමාජිකයන් මෙන් ම සැදැහැවතුන් විසින් පූජා කළ බව ද එම බ්‍රාහ්මී ලිපිවලින් පැහැදිලි වේ. ගල්ලෙන් ඇතුළත වර්ෂා ජලයෙන් නොතෙමෙන්නට ගල උඩින් කටාරම් කොටා ඇත.

සිංහ පොකුණ

කණ්ඨක චෛත්‍ය හා සන්නිපාත ශාලාව අසබඩ ජීවත් වූ භික්ෂූන් වහන්සේගේ පැන් පහසුව පිණිස මෙය ස්ථාපිත කළ බව සඳහන් වේ.

සිංහ පොකුණ යැයි හැඳීන්වුව ද මෙය පොකුණක් ම නොව, පසු පාද දෙකින් සිටගෙන සිටින අයුරින් ගලින් නෙළන ලද සිංහයකුගේ මුවින් ජලය පිටවන දිය පිහිල්ලකි. මෙතැනට ජලය ලබාගෙන ඇත්තේ ඉහළින් ඇති නාග පොකුණේ සිට යොදා ගත් මැටියෙන් කළ නළ මගිනි.

දාන ශාලාව

මිහින්තලා මැද මළුවට පිවිසෙන ප්‍රධාන දොරටුව අසලින් වම්පසින් දාන ශාලාව පිහිටා ඇත. බත් ගෙය නමින් ද හැඳීන්වෙන මෙය දිගින් අඩි 114ක් හා පළලින් අඩි 77ක් ද වන මැද මිදුලක් සහිත ගොඩනැගිල්ලකි. මැද මිදුල දිග අඩි 62කින් හා පළල අඩි 25කින් යුක්ත ය. භික්ෂූන් වහන්සේ දහස් ගණනකට එකම වේලාවක දානය වළදන්නට එහි ඉඩකඩ සකසා ඇත.

ගොඩනැගිල්ලේ දකුණු කෙළවර මුල්තැන්ගේ ය. බටහිර කොටස ගබඩාවක් වූ බවට සැක කෙරේ. නැඟෙනහිර පැත්තට වන්නට පැන්, කැඳ, බත් ආදිය පහසු ලෙස තබා ගන්නට සකස් කරන ලද ඔරු දෙකක් ඇත. එයින් කුඩා ඔරුව කැඳ ඔරුව වශයෙන් සැලකේ.

සන්නිපාත ශාලාව

භික්ෂූන් වහන්සේ රැස්වී විවිධ පොදු කරුණු සාකච්ඡා කිරීම පිණිස ඉදි කළ මණ්ඩපයකි. සංඝයා වහන්සේලා එක්තැන් වූ ස්ථානය මේ නමින් හැඳීන්වේ. සමචතුරශ්‍රාකාර එම ගොඩනැගිල්ල එක් පැත්තක් අඩි 63 පමණ වේ. ගලින් කරන ලද, මේ ගොඩනැගිල්ල ගල් කණු 64කින් පමණ දරා සිටි වහලයකින් සමන්විත ය.

එය රැස්වීම් ශාලාවක ස්වරූපය ගත් බව පැහැදිලි ය. එහි සිව් දිසාවට දොරටු සතරකි. ශාලාව මැද ආසනයකි. එය මුලසුන හෙබවූ භික්ෂූන් වහන්සේගේ ආසනය බව සැලකේ.

Mihinthalawe

 

ධාතු මන්දිරය හා මිහිඳු රජුගේ පුවරු ලිපිය

සිවුවන මිහිඳු රජුගේ (ක්‍රි.ව. 950 – 972) මිහින්තලා පුවරු ලිපිය පිහිටා ඇත්තේ, ධාතු මන්දිරයට ඇතුළුවන දොරටුව දෙපස ය. ධාතු මන්දිරය චතුරශ්‍රාකාර ගොඩනැගිල්ලකි. මෙම මන්දිරය ඉහළ මාලයකින් ද සමන්විත වන්නට ඇතැයි සැක කෙරේ. පහත මාලය පිළිම ගෙයක් වශයෙන් සකස් වන්නට ඇතැයි ද සිතිය හැකි ය.

මිහින්තලේ ඉතිහාසය පිළිබඳ ඉතා වැදගත් තොරතුරු රාශියක් හෙළි කරන මිහිඳු පුවරු ලිපි හතරවන මිහිඳු රජු කාලයේ කරවා ඇත. මෙම පුවරු ලිපි දෙක දිගින් හා පළලින් එක සමානය.

ආරාධනා ගල

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රථමයෙන් දේවානම්පියතිස්ස මහ රජතුමාට ‘තිස්ස’ යන නාමයෙන් ආමන්ත්‍රණය කළේ මෙම ගල් පර්වතයේ සිට බව සාම්ප්‍රදායික විශ්වාසයයි.

මිහිඳු මහ රහතන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව සුමන සාමණේරයන් වහන්සේ විසින් දෙවියන්ට ධර්මය ශ්‍රවණය සඳහා මේ පර්වතයේ සිට ආරාධනා කරනු ලැබූ හෙයින් එය ‘ආරාධනා ගල’ යනුවෙන් ද මතයක් පවතී.

මිහිඳු ගුහාව

අම්බස්තල දාගැබේ සිට කඳු බෑවුම් දෙසට දිවෙන කුඩා අඩිපාර මිහිඳු ගුහාව තෙක් විහිදේ. මිහිඳු ගුහාව මිහිඳු මහ රහතන් වහන්සේ සැතපී විවේක ගත් ස්ථානය ලෙස සැලකේ.

මිහිඳු මහ රහතන් වහන්සේ වස් විසීම සඳහා තෝරා ගෙන ඇත්තේ ද මෙම මිහිඳු ගුහාවයි.

මිහිඳු ගුහාව අභ්‍යන්තරයෙහි ගලේ ම කොටා ඔප මට්ටම් කළ ඉතා සිනිඳු ඇතිරිල්ලක් බඳු ආසනයක් ඇත. එය ස්වභාවයෙන් ම නිර්මාණය වී තිබෙන්නකි. මිහින්තලා කන්දේ බෑවුමක පිහිටා ඇති හෙයින් අවට පරිසරය ඉතා සිත් ගන්නා සුළු ය.

නාග පොකුණ

පළමුවැනි අග්ගබෝධි (ක්‍රි. ව. 575 – 608) කාලයේ මෙම පොකුණ කළ බව චූලවංශයේ දැක්වේ. මිහිඳු මාහිමියන් අනුරාධපුරයේ සිට වස් වැසීම පිණිස මිහින්තලයට වැඩම කළ අවස්ථාවේ මෙම පොකුණෙන් පැන් පහසුව සලසා ගත් බව මහාවංශයේද දැක්වේ.

දිග අඩි 36ක් පමණ හා පළල අඩි 15ක් පමණ ප්‍රමාණයකින් යුත් නාග පොකුණ ගල් බැමි බැඳ නයි පෙන පහකින් අලංකාර කොට ඇත. ඉහළ කඳු මතින් ගලා එන දිය පාර එක් රැස් කර එය තනා ඇත.

ඇත්වෙහෙර

මිහින්තලා කඳු පන්තියේ උසම කන්ද ලෙසින් සැලකෙන්නේ ඇත් වෙහෙර කන්දයි. මෙම ස්තූපයට මහාදාඨික මහානාග රජු විසින් කරන ලද පූජාවක් පිළිබඳව ද සෙල්ලිපියක සඳහන් වේ. ඇතුළු විහාරය යන නම ඇසුරෙන් මෙම දාගැබ ඇත් වෙහෙර නමින් හැඳීන්වේ.

ඉදිකටු සෑය

පොළව මට්ටමේ සිට අඩි 5 1/2ක් උසට බැඳී ඇති හතරැස් ගල් වේදිකාවක් මත පිහිටා ඇත. වේදිකාව නැගීමට පිය ගැට පෙළක් ඇත. මෙම ස්තූපය 1 වන සේන රජුගේ රාජ්‍ය සමයේ ඉදිකරන ලද්දක් බව පුරාවිද්‍යාත්මක සාධක අනුව නිර්ණය කොට ඇතත් ගොඩනැඟූ අය ගැන සඳහනක් නොමැත.

කටුසෑය

හතරවන මිහිඳු රජතුමාගේ මිහින්තලා පුවරු ලිපියෙහි හඳුන්වා ඇති කටු සෑය මෙය බව හඳුනාගෙන ඇත. ජනප්‍රවාදවල කියවෙන පරිදි මිහින්තලේ ගොඩනැගිලි තැනීම ආදි කර්මාන්ත සඳහා භාවිත කළ අවි ආයුධ හා උපකරණ තැන්පත් කර කටුසෑය ඉදි කර ඇත. නැඟෙනහිරින් දොරටුව ඇති මෙහි මුරගල්, කොරවක් ගල්, සඳකඩ පහණ, පියගැට පෙළ ආදිය ද දක්නට ඇත. වේදිකාවක් මත ඉදිකර ඇති චෛත්‍යය පේසා වළලුවලින්ද සමන්විත ය.

රාජගිරි ලෙන කන්ද

ප්‍රධාන කඳු 4 කින් සමන්විත මිහින්තලා කඳු පන්තියේ එක් කන්දක් ලෙස රාජගිරි ලෙන කන්ද දැක්විය හැකිය. මිහින්තලේ කළුදිය පොකුණට ප්‍රතිවිරුද්ධ දෙසින් වූ මෙය ක්‍රි.පූ. 3 වන සියවසේ සිටම භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා වැඩසිටි ස්ථානයකි. එහි කටාරම් සහිත ගල්ලෙන් ගණනාවක් පවතින අතර මහනුවර යුගයට අයත් පිළිම ගෙයක් ද දක්නට ලැබේ. එහි තිබූ සැතපෙන බුද්ධ ප්‍රතිමාව නටබුන් බවට පත්වී තිබේ. ලෙන් වල ඇති බ්‍රාහ්මී අක්ෂර ක්‍රි.පූ. 3 වන සියවසට අයත් වන අතර එහි දේවානම්පියතිස්ස රජුගේ නම සඳහන් වන බැවින් මෙම ස්ථානය ‘රාජගිරි ලෙන’ ලෙස හඳුන්වයි.

කළුදිය පොකුණ

භාවනායෝගී භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ඉදි වූ ආරණ්‍ය සේනාසනයක් උදෙසා ගහකොළින් වට වූ පෙදෙසක කළුදිය පොකුණ ඉදි කර ඇත. පොකුණට එම නම ලැබුණේ පොකුණ අවට ගස්වැල්වල ඡායාව දියෙහි පතිත වූ අඳුරු පැහැති ස්වභාවය නිසා බව ජනතා විශ්වාසයයි. නිසසල පරිසරයක පිහිටි දිගින් අඩි 200ක් පමණ ද, පළලින් අඩි 70ක් පමණ වූ මෙම පොකුණ හතරවන කාශ්‍යප රජු විසින් ඉදිකර ඇති බව පුරා විද්‍යාඥයන් ගේ මතයයි. කළුදිය පොකුණ ආසන්නයේ ගල්ලෙන්, ස්නානාගාර, දානශාලා, භාවනා ශාලා, දාගැබ් හා පිරිවෙන් රැසක් ම දක්නට ලැබේ. සිවුවන කාශ්‍යප රජු විසින් මෙම පොකුණ ඉදි කළ බව සඳහන්ය.

මෙම ලිපිය සහ ඡායාරූප උපුටා ගන්නා ලද්දේ අන්තර්ජාලය ඇසුරෙනි. 

අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම ලිපිය සහ ඡායාරූප හුදෙක්
ධර්ම දානයක් ලෙස ඉදිරි ඉදිරිපත් කරන ලදී.

මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද, එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන්, ප්‍රථමයෙන් මෙම ලිපිය සහ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පින්වත් ස්වාමීන් වහන්සේලාට, පින්වත් මහත්ම මහත්මීන් වෙතට, එසේම මෙම ලිපිය ඔබ වෙත පිරිනමන මා හට ද, මෙසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.

මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!

සාදු… සාදු… සාදු…

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org

Scroll to Top