80 Greatest Disciples Of Buddha

අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා

රහතන් වහන්සේලා ගැන ඇසීම පවා ඉතා දුර්ලභ කරුණකි. රහතන් වහන්සේලා පහල වන්නේ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයෙහි පමණි.

බුදුරජාණන්වහන්සේට ඉතා විශාල ශ්‍රාවක පිරිසක් වූහ. මේ ශ්‍රාවක පිරිස අතුරෙන් එක් එක් ක්ෂේත්‍රයන්හි අති විශිෂ්ටත්වයට පත්වූ ප්‍රධාන ශ්‍රාවක පිරිසක්ද වුහ. එම ශ්‍රාවක පිරිස සංඛ්‍යාවෙන් අසූවකි. අසූ මහා ශ්‍රාවකයන් වශයෙන් හැදින්වෙන්නේ එම සුවිශේෂ ශ්‍රාවකයෝය.

මේ උතුම් රහතන් වහන්සේලාගේ කෙටි චරිතාපදානය කියවන්නට,
කරුණාකර රහතන් වහන්සේගේ නම click කරන්න.

  1. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ
    බුද්ධ ශ්‍රාවක භික්ෂු පිරිසේ වැඩිහිටිම (චිරරාත්‍රඥ) භික්ෂූන් වහන්සේ ලෙස අග්‍රස්ථානය ලැබූහ.
  2. සාරිපුත්ත මහ රහතන් වහන්සේ
    බුදුන්වහන්සේගේ දක්ෂිණ ශ්‍රාවක වූ අතර ප්‍රඥාවන්ත භික්ෂුන්ගෙන් අග්‍ර වූහ.නුවණින් දෙවැනි වුයේ බුදුන්වහන්සේට පමණි.
  3. මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ
    බුදුන්වහන්සේගේ වාම ශ්‍රාවක වූ අතර ඍද්ධිමතුන්ගෙන් (පෙළ හර පෑ හැකි) ප්‍රධාන තනතුර ලැබිණි.
  4. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ
    ධූතාංගධාරී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
  5. අනුරුද්ධ මහ රහතන් වහන්සේ
    දිවැස් ඇති භික්ෂූන් අතරින් අග්‍ර වූහ.
  6. භද්දිය මහ රහතන් වහන්සේ
    උසස් කුලයක උපන් භික්ෂූන් අතර ප්‍රධාන තනතුරු හිමිවිය.
  7. ලකුණ්ටක භද්දිය මහ රහතන් වහන්සේ
    මිහිරි කටහඩ ඇති භික්ෂූන් අතර අග්‍ර ස්ථානය ලැබූහ.
  8. පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ
    අභීත සීහ නාද (භය නැතිව කතා කරන) භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබූහ.
  9. මන්තානි පුත්ත පුණ්න මහ රහතන් වහන්සේ
    විචිත්‍ර ධර්ම කථික භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.
  10. මහා කච්චායන මහ රහතන් වහන්සේ
    බුදුහිමියන් කෙටියෙන් වදාල ධර්මය විස්තරාත්මකව ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ගත්තේය.
  11. මහාපන්ථක මහ රහතන් වහන්සේ
    අරූප ධ්‍යානලාභී භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබූහ.
  12. චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ
    මනෝමය කාය නිර්මාණය කරන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
  13. සුභූති මහ රහතන් වහන්සේ
    නොකිලිටි විහරණ ඇත්තන්ගෙන්ද,දක්ෂිණාර්භ භික්ෂූන් අතරින්ද අග්‍රස්ථානය ලැබුහ.
  14. රේවත මහ රහතන් වහන්සේ
    ආරණ්‍යවාසී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
  15. කංඛාරේවත මහ රහතන් වහන්සේ
    ධ්‍යානයෙහි ඇලුණු සිත් ඇති භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.
  16. සෝණ (කෝලිවිස) මහ රහතන් වහන්සේ
    පරිපූර්ණ (ආරබ්ධ)වීර්ය ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
  17. සෝණ (කුට්කණ්න) මහ රහතන් වහන්සේ
    යහපත් වචන කථා කරන භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.
  18. සීවලී මහ රහතන් වහන්සේ
    ප්‍රත්‍යලාභී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
  19. වක්කලී මහ රහතන් වහන්සේ
    ශ්‍රද්ධා අධික භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
  20. රාහුල මහ රහතන් වහන්සේ
    ශාසනයේ ශික්ෂාකාමී අවවාද කැමති භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.
  21. රට්ඨපාල මහ රහතන් වහන්සේ
    ශ්‍රද්ධාවෙන් පැවිදිවූවන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
  22. කුණ්ඩධාන මහ රහතන් වහන්සේ
    පළමුවෙන් සලාකගන්නවුන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
  23. වංගීස මහ රහතන් වහන්සේ
    වහා වැටහෙන නුවණැති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
  24. උපසේන මහ රහතන් වහන්සේ
    ප්‍රසාද එලවුණු සුලු තැනැත්තන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
  25. දබ්බ මල්ලපුත්ත මහ රහතන් වහන්සේ
    මනාකොට සෙනසුක් පනවන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
  26. පිළින්දිවච්ච මහ රහතන් වහන්සේ
    දෙවියන්ට ප්‍රිය වූ භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
  27. මහා බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ
    මොහොතකින් ලබන ලද රහත් බව (ඛිප්පාභිඤ්ඤා) ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
  28. කුමාරකස්සප මහ රහතන් වහන්සේ
    විචිත්‍ර ධර්ම කථිකයන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
  29. මහා කොට්ඨිත මහ රහතන් වහන්සේ
    චතු පටිසම්බිදාවෙහි (අර්ථ-ධර්ම-නිරුක්ති-පටිභාන)දක්ෂ භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
  30. ආනන්ද මහ රහතන් වහන්සේ
    උපස්ථායකින් අතරින්ද, ධාරණ-සමෘතීන්ගෙන්ද,බුදුන් වදාල තාක් එසේම දරන්නන්ගෙන් අතරින්ද,වීර්යවතුන්ගෙන්ද අග්‍රස්ථානය ලැබූහ.
  31. උරුවේල කාශ්‍යප මහ රහතන් වහන්සේ
    මහා පිරිස් ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
  32. කාඵදායි මහ රහතන් වහන්සේ
    කුලයන් සසුනේ පහදන්නන්ගෙන් අග්‍රස්ථානය ලැබූහ.
  33. බක්කුල මහ රහතන් වහන්සේ
    නීරෝගී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
  34. සෝභිත මහ රහතන් වහන්සේ
    පෙර විසූ ආත්ම භව සිහි කිරීමේ හැකියාව ඇත්තවුන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
  35. උපාලි මහ රහතන් වහන්සේ
    විනය දරන්නවුන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
  36. නන්දක මහ රහතන් වහන්සේ
    මෙහෙණින්ට අවවාද කරන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
  37. නන්ද මහ රහතන් වහන්සේ
    ඉන්ද්‍රීය සංවර ඇති භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබූහ.
  38. මහාකප්පින මහ රහතන් වහන්සේ
    භික්ෂූන්ට ඔවදන් දෙන්නන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
  39. සාගත මහ රහතන් වහන්සේ
    තේජෝ ධාතුවට සමවදින්නන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
  40. මෝඝරාජ මහ රහතන් වහන්සේ
    රඵ සිවුරු පරිහරණය කරන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
  41. රාධ මහ රහතන් වහන්සේ
    මනා වැටහීම් ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.
  42. නාලක මහ රහතන් වහන්සේ
    නිශ්ශබ්ද පිළිවෙත පුරන ලද්දන් අතරින් අග්‍රස්ථානය ලැබූහ.


    තනතුරු නොලැබූ (එහෙත් අසූමහා ශ්‍රාවකයන් අතර සිටින) මහ රහතන් වහන්සේලා:
  43. භද්දිය මහ රහතන් වහන්සේ
    පස්වග තවුසන්ගෙන් කෙනෙකි.ධම්ම චක්කප්පවත්තන දේශනාවෙන් දෙවනි දින සෝවාන් විය.අනන්ත ලක්ඛන සූත්‍රය අසා රහත් විය.
  44. වප්ප මහ රහතන් වහන්සේ
    පස්වග තවුසන්ගෙන් කෙනෙකි.ධම්ම චක්කප්පවත්තන දේශනාවෙන් තෙවැනි දින සෝවාන් විය.අනන්ත ලක්ඛන සූත්‍රය අසා රහත් විය.
  45. මහානාම මහ රහතන් වහන්සේ
    පස්වග තවුසන්ගෙන් කෙනෙකි.ධම්ම චක්කප්පවත්තන දේශනාවෙන් සිව්වැනි දින සෝවාන් විය.අනන්ත ලක්ඛන සූත්‍රය අසා රහත් විය.
  46. අස්සජි මහ රහතන් වහන්සේ
    පස්වග තවුසන්ගෙන් කෙනෙකි.ධම්ම චක්කප්පවත්තන දේශනාවෙන් පස්වැනි දින සෝවාන් විය.අනන්ත ලක්ඛන සූත්‍රය අසා රහත් විය.
  47. කිම්බිල මහ රහතන් වහන්සේ
    ශාක්‍ය වංශික කුමාරයෙකි.කෙතරම් සැප සම්පත් තිපුණද තමා ජරා ජීර්ණ වන බව සිතා අනුරුද්ධ ආදී කුමාරවරුන් සමග පැවිදිව රහත් වූහ.
  48. භගු මහ රහතන් වහන්සේ
    අනුරුද්ධ ආදී කුමාරවරුන් සමග පැවිදිව රහත් වූහ.
  49. චුන්ද මහ රහතන් වහන්සේ
    සැරියුත් තෙරුන්ගේ බාල සොහොයුරා වූහ.කලක් බුදුරදුන්ට උපස්ථාන කළ භික්ෂුවකි.
  50. සේලුදායි (සේල) මහ රහතන් වහන්සේ
    බ්‍රාහ්මණ වංශිකයෙක් වන මෙතුමා තම ශිෂ්‍යයන් සමග බුදුරදුන් හමුවු විටකදී බුදුරසුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දැක ඒකාන්තයෙන් බුදු කෙනෙකු යැයි හැදින පැවිදිව රහත් වූහ.
  51. නාගිත මහ රහතන් වහන්සේ
    කපිලවස්තු නුවර ශාක්‍යවංශිකයෙකුව උපත ලබා මධුපිණ්ඩික සූත්‍රය අසා ශ්‍රද්ධාවෙන් පැවිදි වී රහත් බව ලැබූහ.
  52. තෝදෙය්‍ය මහ රහතන් වහන්සේ
    බාවාරි තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවීමෙන් පසු දහසක් ශිෂ්‍යන් සමග පැවිදි වී රහත් බව ලැබූහ.
  53. කප්ප මහ රහතන් වහන්සේ
    බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවීමෙන් පසු පැවිදි වී රහත් බව ලැබූහ.
  54. ජතුකණ්ණි මහ රහතන් වහන්සේ
    බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවීමෙන් ජාති ජරා මරණාදියෙන් මිදිමට ධර්මයක් දේශනා කරනමෙන් ඉල්ලා පැවිදිව රහත් වූහ.
  55. පෝසාල මහ රහතන් වහන්සේ
    බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන ලාභියෙකි.පසුව බුදුරදුන් හමුවී පැවදිව රහත් වූහ.
  56. පුණ්ණක මහ රහතන් වහන්සේ
    බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර පැවිදිව රහත් බව ලැබූහ.
  57. ධෝතක මහ රහතන් වහන්සේ
    බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන්වහන්සේ සම්මුඛ වී තෘෂ්ණා දෘෂ්ටි ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ කෙසේදැයි
    අසා පැවිදිව රහත් වූහ.
  58. නන්ද (දුතීය) මහ රහතන් වහන්සේ
    බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවී මුනිවරයෙකු වන්නේ කෙසේදැයි අසා පැවිදිව රහත් වූහ.
  59. ජිත මහ රහතන් වහන්සේ
    බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර පසුව පැවිදිව රහත් බව ලැබූහ.
  60. තිස්ස මෙත්ත්‍යෙය මහ රහතන් වහන්සේ
    බාවාරි තවුසාගේ ප්‍රධාන ශිෂ්‍යයෙකි. තම ආචාරිවරයාගේ අනුදැනුම මත බුදුන්වහන්සේ වෙත පැමිණ ධර්ම සාකච්ඡාවකින් පසු පැහැදී තම ශිෂ්‍ය පිරිසද සමග පැවදිව රහත් වූහ.
  61. මෙත්තගු මහ රහතන් වහන්සේ
    බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර බුදුන් වහන්සේ හමුවී තෘෂ්ණාව ආදිය විමසිමෙන්
    පැවිදිව රහත් වූහ.
  62. උපසීව මහ රහතන් වහන්සේ
    බාවාරි බ්‍රාහ්මණ තවුසාගේ ශිෂ්‍යයෙකු වන අතර එතුමාගේ උපදෙස් ඇතිව බුදුන්වහන්සේ හමුවී පැවිදිව රහත් වූහ.
  63. හේමක මහ රහතන් වහන්සේ
    බාවාරි තවුසාගේ මගපෙන්වීම යටතේ බුදුරජාණන් වහන්සේ හමුවී තෘෂ්ණාව නැති කරන ආකාරය පිලිබද විමසා පැවිදිව රහත් වූහ.
  64. භද්‍රාවුධ මහ රහතන් වහන්සේ
    බාවාරි තවුසාගේ අතවැසියෙකි.පසුව ගුරුතුමාගේ අවසරය ඇතිව බුදුන්වහන්සේ වෙත පැමිණ කෙලෙසුන්ගෙන් මිදීම පිලිබද විමසා සිසු පිරිස සමග පැවිදිව රහත් බව ලැබූහ.
  65. උදය මහ රහතන් වහන්සේ
    සැවැත් නුවර උපන් මෙතුමාද බාවාරි තවුසාගේ උපදෙස් පිරිදි බුදුන් වහන්සේ හමුවී අවිද්‍යාව දුරු කිරීම පිලිබද අසා පිරිවර සමග පැවිදිව රහත් වූහ.
  66. පිංගිය මහ රහතන් වහන්සේ
    මහලු වියේදී බාවාරි තවුසා වෙත ගොස් තවුස් ජීවිතයක් ගත කර ගුරු‍න්ගේ අනුදැනුම මත බුදුන්වහන්සේ හමුවීමට ගියත් ගුරුතුමා ගැන සිතමින් ධර්මශ්‍රවණය කල නිසා අනාගාමී තත්වයට පත්විය.පසුව බාවාරි ගුරුතුමාට දේශනා කල ධර්හයක් අසා රහත් බව ලැබූහ.
  67. මේඝිය මහ රහතන් වහන්සේ
    කිඹුල්වත් පුර ශාක්‍ය වංශයෙහි උපන් මෙතුමා පසුව බුදුරදුන් වෙත පැවිදි වී උපස්ථායක කටුයුතු කළේය. බුදුරදුන්ගේ උපදෙස් පිරිදි යෝනිසෝමනසිකාරයෙන් භාවනා කර රහත් බව ලැබූහ.
  68. පුණ්ණ (සුනාපරන්න) මහ රහතන් වහන්සේ
    සැවැත් නුවරදී පැවිදිව බුදුරජාණන් වහන්සේගේ උපදෙස් ලබාගෙන තම ගමටම (සුප්පාරක) ගොස් භාවනා කර රහත් වූහ.
  69. උපවාන මහ රහතන් වහන්සේ
    ජේතවනාරාම පූජාවේදී පැහැදී පැවිදි වූ උපවාන තෙරුන් දිවා රෑ යෝනිසෝමනසිකාරයෙන් භාවනා කොට විදර්ශනා වඩා රහත් වූහ.
  70. යස මහ රහතන් වහන්සේ
    පළමුව ධර්මය අසා සෝවාන් වී මව් පියන්ට දේශනා කළ ධර්මය අසා රහත් වූහ.බුදු සසුනේ ප්‍රථම තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාව වන්නේ මේ මව්පිය දෙදෙනාය.
  71. විමල මහ රහතන් වහන්සේ
    බරණැස් සිටු පවුලක කුමාරයෙක් වන අතර යස තෙරුන්ගේ යහලුවෙකි.
  72. සුභාහු මහ රහතන් වහන්සේ
    ධනවත් සිටු පවුලකට අයත් වූ අතර යස තෙරුන් පැවදි වූ පසු එහි ගොස් දැක පැහැදී මහණ වී රහත් වූහ.
  73. පුණ්ණජි මහ රහතන් වහන්සේ
    පුණ්ණජි මානවකද,යස,විමල,සුභාහු යන මිතුරන් ගිය මගම ගොස් පැවිදිව රහත් වූහ.
  74. ගවම්පති මහ රහතන් වහන්සේ
    යස තෙරුන්ගේ යහලුවෙකු වූ මෙතුමාද අනික් යහලුවන් මෙන් ගොස් පැවිදිව රහත් වූහ.ඍද්ධි
    ප්‍රාතිහාර්ය පෑමෙහි දක්ෂ වූහ.
  75. නදී කාශ්‍යප මහ රහතන් වහන්සේ
    උරුවේල කාශ්‍යප ජටිල තවුසාගේ දෙවනි සහෝදරයාය.උරුවේල කාශ්‍යපගේ පැවිදි වීමත් සමග මොහුද පිරිසත් සමග පැවිදිව රහත් වූහ.
  76. ගයා කාශ්‍යප මහ රහතන් වහන්සේ
    උරුවේල කාශ්‍යප ජටිල තවුසාගේ බාලම සොහොයුරාය.සහෝදරයන් දෙදෙන බුදු සසුනට ඇතුලු වූ පසු
    තම පිරිසද සමග පැවිදී වී රහත් වූහ.
  77. මහා උදායි මහ රහතන් වහන්සේ
    කිඹුල්වත්පුර බමුණු පවුලක උපත ලබා බුදුරදුන්ට නෑයන්ට ධර්ම දේශනා කළ අවස්ථාවේ පැහැදී බුදු සසුනට ඇතුලු වී රහත් වූහ.
  78. අංගුලිමාල මහ රහතන් වහන්සේ
    ඇසුරු කලවුන් නිසා නොමග ගොස් ප්‍රචණ්ඩ තැනැත්තෙකු බවට පත්වී අංගුලිමාල මානවකයා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව නිසා මහණ වී රහත් බවට පත්විය.
    (අංගුලිමාල පිරිත දේශනා කරන ලද්දේ මෙම රහතන්වහන්සේ විසිනි)
  79. යසෝජ මහ රහතන් වහන්සේ
    ශ්‍රාවස්ථි නගරය අසල ධීවර ගම්මානයක උපත ලදහ.පසුව කලකිරී පැවිදි විය.විදර්ශනා වඩා රහත්වූහ.
  80. සභිය මහ රහතන් වහන්සේ
    මෙතුමාගේ මව ක්ෂත්‍රීය කුමරියකි.තරුණ වයසේදී පරිභ්‍රාජකයෙක් වූ අතර ඒහි භික්ෂු භාවයෙන්
    අපසම්පදාව ලබා කෙලෙස් තවන වීර්ය ඇතිව සියලු කෙලෙසුන් නසා රහත් වූහ.

මේ උතුම් රහතන් වහන්සේලාගේ කෙටි චරිතාපදානය කියවන්නට,
කරුණාකර රහතන් වහන්සේගේ නම click කරන්න.

මෙම ලිපියේ නිමාව සනිටුහන

සාධු… සාධු… සාධු…

මෙම ලිපිය පිළියෙල කළේ අන්තර්ජාලය ඇසුරෙනි. 

අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම අන්තර්ගත කරුණු හා ඡායාරූප හුදෙක්
ධර්ම දානයක් ලෙස ඉදිරි ඉදිරිපත් කරන ලදී.

මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද, එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන්, ප්‍රථමයෙන් මෙම ලිපිය සහ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පින්වත් ස්වාමීන් වහන්සේලාට, පින්වත් මහත්ම මහත්මීන් වෙතට, එසේම මෙම ලිපිය ඔබ වෙත පිරිනමන මා හට ද, මෙසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.

මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!

සාදු… සාදු… සාදු…

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org

Scroll to Top