Sariyuth Maha Rahathan Wahanse – සැරියුත් මහ රහතන් වහන්සේ

02
සැරියුත් (සාරිපුත්ත) මහ රහතන් වහන්සේ

මෙම ලිපිය සහ ඡායාරූප උපුටා ගන්නා ලද්දේ අන්තර්ජාලය ඇසුරෙනි. 

Sariyuth Maha Rahathan Wahanse – සැරියුත් මහ රහතන් වහන්සේමේ මහා භද්‍ර කල්පයට ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකින්ත මත්තෙහි සැරියුත් මහ තෙරුන් වහන්සේ බ්‍රාහ්මණ මහාසාල කුලයක සරද මානව නමින් උපන්නේය. මුගලන් මහ තෙරුන් වහන්සේද ගැහැවි මහසල් කුලයෙක සිරිවර්ධන නමින් උපන්නේය. ඒ සරද සිරිවද්දන දෙදෙනාම වැලි කෙලියේ පටන්ම යහළුවෝ වුහ. ඒ සරද මාණවක තෙමේ පියාගේ ඇවෑමෙන් කුල සන්තක වූ මහ ධනය පාලනය කිරීමට පැමිණ වසන්නේ දිනක් හුදෙකලාව මෙසේ සිතිය. “මම මේ ලොව අත් බැව ගැනම පමණක් දනිමි. පරලොව අත් බව ගැන නොදනිමි. මේ ලෝකයෙහි ඉපදුනාවූ සත්වයන්ට මරණය ඒකාන්තමය. ඒ නිසා මා විසින් එක් පැවිද්දකින් පැවිදිව විමුක්ති මාර්ගය සොයන්නට වටනේය යැයි සිතා සිය යහළු සිරිවර්ධනයන් කරා එළඹ මෙසේ කීය.

“යහළු සිරිවර්ධනය ! මම පැවිදිව විමුක්ති මාර්ගය සොයන්නෙමි. ඔබටත් මා හා පැවිදි වීමට හැකි වන්නේද? නොහැකි වන්නෙද? යැයි ඇසීය. එවිට සිරිවර්ධනයෝ “යහළුව! මට පැවිදි වීමට නොහැක. ඒ නිසා ඔබම පැවිදි වන්නැ”යි කීහ. ඒ සරද මාණවක තෙම මෙසේ සිතීය. “පරලොව යන්නාහු යහළුවෙකු හෝ නෑ මිතුරන් හෝ සමග ගියාහු නම් නැත. තමා විසින් කළ දෙය තමාටම වන්නේය.” යනුයි.

ඉක්බිති හෙතෙම රුවන් කොටු ගෙය විවර කොට, දුගී මගී යාචකාදීන්ට මහ දන් දී හිමාලයෙහි පර්වත ප්‍රාන්තයකට ගොස් බාහිර තවුස් වෙසින් පැවිදි විය. ඔහුට එකෙක දෙකෙක යන පිලිවෙලින් ඔහු අනුව පැවිදි වූ ජටිලයෝ සිව් සැත්තැ දහසක් පමණ වුහ. හෙතෙම පංච අභිඥ්ඥා අට්ට සමාපත්ති උපදවා පිරිවර ජටිලයන්ට ද කසුන් පිරියම් ඉගැන්වීය. ඒ සියළු දෙනාම පන්චාභීඥඥා අට්ට සමාපත්ති උපදවා ගෙන විසුහ.

එසමයෙහි අනෝමදසසි නම් බුදු රජාණන් වහන්සේ ලොව පහළ වු සේක. උන් වහන්සේ උපන් නුවර චන්දවති නම් විය. පියාණෝ යසවන්ත නම් ක්ෂයත්‍රියයෙක් විය. මව් තොමෝ යසෝධරා නම් වුවාය. බෝධිය කුඹුක් රුකෙක. තිස්ස තෙරුන් වහන්සේද අනෝම තෙරුන් වහන්සේද අග්‍රශාරාවකයෝ වුහ. උපස්ථායක තෙමේ වරුණ නම් ස්ථවිරයන් වහන්සේ විය. සුන්දරා හා සුමනා නම් භික්ෂුණින් වහන්සේලා දෙදෙනා අග්‍ර ශ්‍රාවිකාවෝ වුහ. අවුරුදු ලක්ෂයක් ආයුෂ විය. බුද්ධ ශරීරය අට පනස් රියන් උසය. ශරීරාලෝකය දොළොස් යොදුනක් තැන් පැතිර සිටියේය. භික්ෂුන් ලක්ෂයක් පිරිවර කොට ඇත්තේ විය.

උන්වහන්සේ දිනක් අළුයම් කාලයෙහි මහා කරුණා සමාපත්තියෙන් නැගී සිට ලොව බලා වදාරන සේක් සරද තවුසාණෝ දැක වදාරා අද මා සරද තවුසාණන් වෙත එළඹීමෙන් මහත් වූ ධර්ම දේශනාවක් ද වන්නේය. ඒ සරද තවුසානන්ද අග සව් තනතුරු පතන්නාහ. ඔහුගේ යහළු වූ සිරිවද්දන කෙළෙඹි තෙමේද දෙවෙනි ශ්‍රාවක තනතුරු පතන්නේය. ධර්ම දේශනාවසානයෙහි ඔහුගේ සිව් සැත්තා දහසක් පිරිවර ජටිලයෝ සව් කෙලෙසුන් නසා රහත් බවට පැමිණෙන්නාහුය.

ඒ නිසා මා විසින් එහි යන්ට වටනේය යි පා සිව්රු ගෙන අන් කිසිවෙකුටත් නො අමතා හුදකලාව හැසිරෙන කෙසර සිංහ රාජයෙකුබ්මෙන් සරද තව්සානන්ගේ අතවැසි ජටිලයන් ඵල වැල සෙවීම සඳහා වනයට පිවිසි වේලෙහි මාගේ බුදු බව සරද තවුසා දැනගනීවා යැයි අදිටන් කොට සරද තවුසාණන්ට පෙනී පෙනීම අහසින් වැඩමවා අවුත් බැස පු සේක. සරද තවුසාණෝ බුද්ධානුභාවයද උන්වහන්සේගේ ශරීර නිශ්ශන්තියද දැක ලක්ෂණ මන්ත්‍ර යන්හි කෙළ පැමිණි හෙයින් ඒ අනුව බුද්ධකාය විමසා බලා මේ මේ ලක්ෂණයන්ගෙන් යුක්තවූ යමෙක් තෙමේ වනාහි ගිහි ගෙයි වසන්නේ නම් සක්විති රජ වන්නේය. ගිහිගෙන් නික්ම පැවිදි වුයේ නම් ලෝකයෙහි විවර කරණ ලද කෙලෙස් සෙවෙනි ඇති සියල්ල දත්තාවූ බුදු බවට පැමිණෙන්නේය. මේ සත්ව තෙම ඒකාන්තයෙන්ම බුදු වූ උත්තමයෙක්ය ‘ යැයි දැන පෙර ගමන් කොට පසඟ පිහිටුවා වැඳ අසුන් පනවා පැවරුහ.

භාග්‍යවතුන් වහන්සේ ඒ තවුසාණන් විසින් පනවන ලද අසුනෙහි වැඩ හුන් සේක. සරද තෙමේද තමහට සුදුසු වූ අසුනක් ගෙන එකත් පසෙක උන්නේය. එසමයෙහි සිව් සැත්තා දහසක් ජටිලයෝ අතිශයින් ප්‍රනීත වූ ඔජවත්වූ කුඩු මහත් ඵලයන් ගෙන ආචාර්යයන්ගේ සමීපයට එන්නාහු බුදු රජාණන්වහන්සේ හා ආචාර්ය වරයාණන් වහන්සේත් හුන් අසුන් බලා මෙසේ කීහ. ” ආචාරීන් වහන්ස අපි මේ ලොව ඔබට වඩා ශ්‍රේෂ්ටයෙකු නැතැයි සිතුවෙමු. එහෙත් මේ සත්ව තෙමේ ඔබට වඩා අතිශයින් මහත් යැයි කීහ. එවිට සරද තවුසාණෝ බුදු රජාණන් වහන්සේගේ මහිමය දක්වනු සඳහා “දරුවෙනි කුමක් කියව්‍ද?අබ ඇටක් හා සමග එක් ලක්ෂ අට සැට දහසක් යොදුන් උසැති මහ මේර සම කිරීමට කමත්තෙහිදැයි කියා සියල්ල දත් බුදු රජාණන් වහන්සේ හා මා සමාන නොකරව්, දරුවෙනි” යි කීහ.

ඉක්බිති ඒ තාපසයානෝ ඉදින් මෙතෙම ලාමක සත්වයෙක් වන්නේ නම් අපගේ ආචාර්යයන් වහන්සේ උපමා ගෙන හැර නොදක්වති මේ පුරුෂ තෙම ඒකාන්තයෙන්ම උත්තමයෙක් වන්නේය යැයි සියල්ලෝම උන්වහන්සේගේ පාමුල වැටී සිරසින් නමස්කාර කළහ. ඉක්බිති ඔවුන්ගේ ආචාර්ය වූ සරද තවුස් තෙමේ ඔවුනට මෙසේ කීය. “දරුවෙනි මෙහි බුදුවරුන්ට සුදුසු වූ දාන වස්තුවෙක් නම් නැත්තේය. ශාස්තෘන් වහන්සේද පිඬු සිඟා යන වේලෙහි මෙහි වැඩමවා වදාළ සේක. අපිද, අපගේ ශක්ති ප්‍රමාණයෙන් උන්වහන්සේට දානය දෙමු. තෙපි යම් ප්‍රනීත ඵලාඵලයක් ගෙනාවාහු ඒ ගෙන ඒව යැයි ගෙන්වා ගෙන අත් දෙව තෙමේමැ තථාගතයන් වහන්සේගේ පාත්‍රයෙහි බහාලීය. භාග්‍යවතුන් වහන්සේ පලවැල පිළිගත් කෙනෙහි දෙවියෝ දිව ඕජස් බහාලුහ. තාපස තෙමේ තමාම ජලය පෙරා පිළිගැන්වීය.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ බත් කිස නිමවා වැඩ හුන් කල්හි ඒ සාරද තවුසාණෝ සියළු අතවැසි ජටිලයන් කැඳවා ශාස්තුන්වහන්සේ සමීපයෙහි සිහි කටයුතු කථා කරමින් සිටියහ. බුදු රජාණන්වහන්සේ තමන් වහන්සේගේ දෙඅග සව්වෝ භික්ෂු සංඝයා සමග තමා සමීපයට පැමිනෙත්වා යි ඉටු සේක. ඒ අග සව්වොඩ බුදු රජාණන් වහන්සේගේ අධිශ්ටානය දැන ලක්ෂයක් පමණ මහ රහතුන් වහන්සේ පිරිවරාගෙන අවුත් බුදුන් වැඳ එකත්පස්ව හුන් සේක.

ඉක්බිති සාරද බමුණානෝ සිය අතවැසි ජටිලයන් අමතා “දරුවෙනි! බුදුරජානන් වහන්සේ වැඩ සිටි ආසනය ද පහත්ය. ලක්ෂයක් පමණ වූ මැ මහා සංඝයා වහන්සේට වැඩ හිඳීමට අසුන් ද නැත. තොප විසින් අද මහත් වූ බුද්ධ පුජාවක් කරන්නට වටනේය යැයි කියා පර්වත පාදයෙන් වර්ණ ඝන්ධ සම්පන්න වූ මල් ගෙන එව් ‘ යි නියම කළහ. එසේ කියන කාලයම ප්‍රමාදයක් වැනි වීය. සෘද්ධි මතුන් වහන්සේලාගේ සෘද්ධි විෂය අචින්ත්‍යයමය.

මොහොතකින් ඒ තාපසයෝ වර්ණ ඝන්ධ සම්පන්න මල් ගෙනවුත් බුදු රජානන්වහන්සේට වැඩ සිටීමට සුදුසු කොට යොදුනක් පමණ උස වූ මල් අසුනක් ද, දෑග සව්වන් වහන්සේලාට තුන් ගව් පමණ උස අසුන් ද, සෙසු භික්ෂුන් වහන්සේලාට අඩ යොදුන් ආදී භේද ඇතිව අසුන් පනවා අන්තයෙහි සංඝ නවකයාට වෘෂභයෙකු පමණ උස වූ අසුනක් ද පනවුහ. මෙසේ පැන වූ අසුන් ඇති ඒ සරද තවුසාණෝ භාග්‍යවත් බුදු රජාණන්වහන්සේ ඉදිරියෙන් සිට බදෑදිලි ව සිටියේ ” ස්වාමිනි ! මා හට බොහෝ කාලයක් හිත සුව පිණිස මේ මල් අසුන පිළිගෙන වදාරන සේක්වා”යි ආරාධනා කළහ. ඒ සරද තවුසාණෝ නොයෙල් ගඳ මල් එක් රැස් කරවා මලසුනක් පණවා මෙසේ කීහ.

“ඉදං තෙ ආසනං වීර – පඥඥත්තන් තවනුච්චින්,
මම චිත්තං පසාදෙන්නෝ – නිසිද පුප්ඵ මාසනේ.

සත්ත රත්තින් දිවං බුද්ධෝ – නිසීදි පුප්ඵ මාසනෝ,
මම චිත්තං පසාදෙත්වා – භාසයිත්වා සදෙවකේ. “

“මහා වීරයන් වහන්ස! මේ මල් ආසනය නුඹ වහන්සේට වැඩ හිඳීමට
සුදුසු කොට මා විසින් පනවන ලදී. එම නිසා මගේ සිත පහදවමින්
මට අනුකම්පා කොට එහි වැඩ හිඳ වදාරනු මැනව”

බුදු රජාණන් වහන්සේ ද ඒ මල් අසුනෙහි මාගේ හා ලෝකයාගේ සිත් පහදව්‍මින් සත් රෑ සත් දවාලක් වැඩ සිට වදාළ සේක. ශාස්තෘන් වහන්සේ මෙසේ වැඩ හුන් කල්හි දෙ අග සව්වොද සෙසු ලක්ෂයක් පමණ වූ ශ්‍රාවක සංඝයා වහන්සෙද තම තමන්ට පත් අසුන් හි වැඩ හුන්හ. සරද තව්සානෝ මහත් වූ මල් කුඩයක් ගෙන භාග්‍යවතුන් වහන්සේ මතුයෙහි කොට දරමින් සිටියහ. ශාස්තෘන් වහන්සේ, “මේ ජටිලයන්ගේ මේ සත්කාරය මහත් ඵල මහානිසංස වේවා” යි නිරෝධ ඵල සමාපත්තියට සමවන් සේක. උන්වහන්සේ සම වතට සමාවන් බව දැන දෙ අග සව්වොද සෙසු භික්ෂු හුද සමවතට සමවන්හ.

තථාගතයන් වහන්සේ මෙසේ සත් දිනක් නිරෝධ ඵල සමාපත්තියට සමවන් කල්හි සරද තවුසනන්ගේ අතවැසියෝ පිඬු පිණිස හැසිරෙන වෙලාව පැමිණි විට වන මුල් ඵලාඵලයන් සොයා අනුභව කොට ඉතිරි කාලයෙහි බුදු රජානන්වහන්සේට බැඳී දිලිව සිටිති. මහ තවුස් තෙම වනාහි පිඬු සොයා නොගොස්ම මල් සැත ගත් නියායෙන්ම ගෙන සත් දිනක් මුළුල්ලෙහි ප්‍රීති සැපයෙන් කල් ගෙවීය. බුදු රජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගී සිට වදාරා තමන් වහන්සේගේ දකුණු පස වැඩ හුන් නිසභ තෙරුන් අමතා:-
“නිසඟය! මේ පුජක තව්සන්ට මල් අසුන් පුජා කිරීමේ ආනිසංස දේසනා කරව!” යි වදාළ සේක. ඒ නිසඟ ස්ථවිරයන් වහන්සේද සක්විති රජකු වෙතින් ලැබූ මහා ලාභ ඇති මහා යෝධයෙකු මෙන් සොම්නස් සිත් ඇතිව ශ්‍රාවක පාරමී ඥානයෙහි පිහිටා මල් අසුන් පිදීමෙහි ආනිසංස දේසනාව පටන් ගත සේක. උන් වහන්සේගේ දෙසුම් කෙලෙවරවූ පසු භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි ශ්‍රාවක අනෝම ස්ථවිරයන් වහන්සේට අමතා “අනෝමය! තොපත් මේ පුජක තවුසන්ට දම් දෙසව”යි වදාළ සේක. ඒ අනෝම ස්ථවිරයන් වහන්සේ ත්‍රිපිටක බුද්ධ වචනය මෙනෙහි කොට ධර්ම දේශනා කල සේක. දෙ අග සව්වන්ගේම දේසනා වලින් එකෙකුටවත් ධර්මාවබෝධයක් නොවීය.

ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ අප්‍රමාන වූ බුද්ධ විසයෙහි පිහිටා ධර්ම දේසනා කිරීමට පටන් ගත සේක. දෙසනාවසානයෙහි සරද තවුසාණන් හැර සියළු සිව් සැත්තැ හැසක්ජටිලයෝ සව් කෙලෙසුන් නසා රහත් වුහ. ශාස්තුන් වහන්සේ “මහණෙනි! මෙහි එව්!” යැයි අත් දිගු කොට වදාළ සෙක්ස්. එකෙනෙහිම ඔවුන්ගේ කෙස් රැවුල් අතුරුදහන් ව අට පිරිකර සිරුරේ වෙලුනේ විය. සරද තවුසාණෝ කුමක්හෙයින් අරහත්වයට නොපැමුබුහු ද යත්; විකල වූ සිත් ඇති බැවිනි.

ඒ සාරද තවුසාට වනාහි දෙවෙනි අසුනෙහි හිඳ ශ්‍රාවක පාරමී ඥානයෙහි සිට ධර්ම දේශනා කරන්නාවූ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ දේසනාව ඇසීමට පටන් ගත් කාලයෙහි සිට අනේ මමත් මතු කාලයෙක උපදින්නාවූ බුදුවරයෙකුගේ සසුනෙහි මේ ශ්‍රාවකයාණන් වහන්සේ ලැබූ ධුරය ලන්නෙම් නම් ඉතා යෙහෙක යි සිතක් පහළ විය. හෙතෙම ඒ විතර්කය උඩම සිටි හෙයින් මාර්ග ඵලාවබෝධය කිරීමට නොහැකි විය. ඒ සරද තවුසාණෝ සර්වඥයන් වහන්සේට නමස්කාර කොට උන් වහන්සේ ඉදිරියෙහි සිට මෙසේ කීය. ” ස්වාමිනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේට අනතුරු අසුනෙහි වැඩ සිටියාවූ භික්ෂුව ඔබ වහන්සේගේ ශාසනයෙහි කිනම් ධුරයක් දරන්නේදැයි ඇසුහ.

එවිට සර්වඥයන් වහන්සේ, “මා විසින් පවත්වන ලද දම් සක අනුව පවත්නා වූ ශ්‍රාවක පාරමී ඥානයෙහි කෙළ පැමිණි සොළොස් වැදෑරුම් වූ ඥාණය අවබෝධකොට සිටියාවූ මෙතෙම මාගේ සසුනෙහි අග සව් නම් වන්නේය” යි වදාළ සේක. එබස් ඇසු සාරද තවුසාණෝ “ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස! ඒ මා විසින් සත් දිනක් මුළුල්ලෙහි මල් කුඩය දරමින් නුඹ වහන්සේට සත්කාර කරණ ලද්දේය. මම ඒ පින හේතු කොට ගෙන අන්‍යවූ ශක්‍ර සම්පත්තියක් හෝ බ්‍රහ්ම සම්පත්තියක් හෝ නොපතමි. අනාගතයෙහි මේ නිසඟ තෙරුන් මෙන් එක් බුදුවරයෙකුගේ අග්‍ර ශ්‍රාවකයෙක් වෙම්වා ” යි ප්‍රාර්ථනා කළහ.

ශාස්තෘන්වහන්සේ ඔහුගේ ප්‍රාර්ථනය සිද්ධ වන්නේ දෝ හෝයි අනාගතය දන්නා නුවනින් බලා වදාරනුයේ ඒකා සංඛ්‍ය කල්ප ලක්ෂයක් ඉක්බවා එම ප්‍රාර්ථනාව සිදුවන බව දැක වදාරා සරද තවුනානන්ට මෙසේ වදාළ සේක. “පින්වත! ඔබගේ මේ ප්‍රාර්ථනාව සිස් නොවන්නේය. අනාගතයෙහි ඒකා සන්ක්ය කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම නම් බුදු රජනානන් වහන්සේ ලොව පහළ වන සේක. ඒ බුදුහුගේ මව්බ්තොමෝ මහා මායා දෙවි නම් වන්නිය. පියාණෝ සුදොවුන් මහරජ නම් වන්නේය. පුත්‍රයා රාහුල නම් වන්නේය. උපස්ථායකයා ආනන්ද නම් වන්නේය. දෙවෙනි අග සව් මුගලන් නම් වන්නේය. ඔබ වනාහි ඒ බුදු රජාණන්වහන්සේ ගේ අග සව්. දම් සෙනෙවි සැරියුත් නම් වන්නේය” යැයි මෙසේ ඒ තවුසාට විවරණ දී දැහැමි කථා කොට නිමවා බික් සගණ පිරිවර කොට ඇත්තේ අහසට පැන නැගී සේක.

සරද තවුසානොද අතවැසි තෙරුන් වෙත එළඹ, ස්වාමිනි! මාගේ යහළු සිරිවදුන්හට මෙසේ කියනු මැනව. එම්බල සිරිවඩුව! ඔබගේ යහළු වූ සරද තවුසන් විසින් අනෝම දස්සි බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී පාද මුලයෙහිදී අනාගතයෙහි ලොව පහල වී වදාරන්නාවූ ගෞතම නම් නම් බුදු රජාණන් වහන්සේගේ ශාසනයෙහි අග සව තනතුරු පතන ලදී. ඔබ දෙවන ශ්‍රාවක තනතුර පතනු මැනව් යනුයි.

ඒ සරද තවුස් තෙමේ ඒ තෙරුන් වහන්සෙල්;ආට එසේ කියා උන්වහන්සේට පළමුව ගොස් සිරිවර්ධන කෙලෙම්බියාගේ නිවසට වන්නේය. සිරිවර්ධන කෙළෙඹි තෙමේත් බොහෝ කලකින් මාගේ මිත්‍රයන් වහන්සේ දුටු සේක්යැයි සතුටුව, අසුනේක්හි වඩා හිඳුවා තමා මිටි අසුනෙක හින්ද, “ස්වාමිනි ! ඔබ වහන්සේගේ අතවැසි පිරිස පෙනෙන්නට නැත්තේ නොවේදැයි නොවේදැයි විචාළේය. එවිට ඒ සරද තවුසාණෝ “එසේය යහළුවා .අපගේ අසපුවට අනෝම දසසි බුදු රජාණන් වහන්සේ වැඩි සේක. අපි උන්වහන්සේට අපගේ ශක්ති පමණින් පුද පුජා සත්කාර කෙළෙමු. උන්වහන්සේ අප හැමට ධර්ම දේශනා කල සේක. දේශනාවසානයෙහි මා හැර මාගේ සෙසු අතවැසි පිරිස සව් කෙලෙසුන් මුලොත්පාටනය කිරීමෙන් රහත් බවට පැමිණ පැවිදි වුහ යි කීහ.

එවිට සිරිවර්ධනයෝ “ස්වාමිනි ! ඔබ වහන්සේ කුමක් නිසා පැවිදි නොවූ සේක් දැ”යි විචාලෙන් එයට පිළිතුරු දෙන සරද තවුසාණෝ,
“සගය! මම එම ශාස්තෘන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ දැක මෙයින් එකා සංක්‍ය කල්ප ලක්ෂයකින් මතුයෙහි ලොව පහළවී වදාරන්නාවූ ගෞතම නම් සර්වඥයන් වහන්සේගේ සාසනයෙහි අග සව තනතුරු පැතුවෙමි. ඔබත් ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේගේ ශාසනයෙහි දෙවෙනි ශ්‍රාවක තනතුර ප්‍රාර්ථනා කළ මැනවැ”යි කීහ. එවිට සිරිවඩුවෝ,

“ස්වාමිනි! මට බුදුන් වහන්සේ හා සමග ඇසුරු කළ පුරුද්දක් නැතැ”යි කී කල්හි එම තවුසාණෝ, “සගය! බුදු රජාණන්වහන්සේ හා කීම මට භාරය. ඔබ මහත් වූ පුජා සත්කාර පිළියෙළ කළ මැනව”යි කීහ. සිරිවඩුවෝ ද තමාගේ යහළු තවුසාණන්ගේ වචනය අසා, සිය නිවෙස ඉදිරිපස රජතුමා විසින් දෙන ලද අට කිරියක් පමණ බිම් පෙදෙස සමතලා කරවා, සුදු වැලි අතුරවා , ලද පස්මල් විසුරුවා නිලුපුම් සෙවෙනි ඇති මඩුවක් තනවා, බුද්ධාසනයක් පනවා සෙසු භික්ෂු සංඝයාටද අසුන් පිළියෙළ කරවා, මහත් වූ පුජා සත්කාරාදිය කිරීමට පිළියෙළ කොට බුදු රජාණන් වහන්සේට ආරාධනා කරණු සඳහා සරද තවුසනට දැන්වීය. ඒ තවුස් තෙමේද ඔහුගේ වචනය අසා බුදුන් ප්‍රමුඛ කොට ඇති මහා භික්ෂු සංඝයා වහන්සේ වැඩමවා ගෙන ඔහුගේ නිවෙස කරා එළඹියේය. සිරිවර්ධන කෙළෙඹි තෙමේ පෙර ගමන් කොට තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් පාත්‍රය ගෙන මණ්ඩපයට වැඩමවා, පැනවූ අසුන් හි වැඩ හුන් බුදු පාමොක් මහ සඟනට දක්ෂිනොදකය පිළිගන්වා ප්‍රනීත වූ බොජුන් වලඳවා බැති කිස අවසන්හි බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා වහන්සේට ඉතා අගනාවූ වස්ත්‍ර පිළිගන්වා, “ස්වාමිනි! භාග්‍යවතුන් වහන්ස ! මාගේ මේ දන් දීමේ පුණ්‍ය කර්මයාගේ ආරම්භනය සුළු කරුණක් උදෙසා නොවේය. ඒ නිසා මේ ක්‍රමයෙන්ම මට අනුකම්පා කොට සත් දිනක් ම මාගේ නිවසෙහි දන් පිළිගෙන වදාරණ සේක්වා”යි ආරාධනා කලේය. භාග්‍යවතුන් වහන්සේ ද ඔහුගේ ඒ ආරාධනාව ඉවසා වදාළ සේක.

ඒ සිරිවර්ධන කෙළෙඹියානොද ඒ ක්‍රමයෙන් ම සත් දිනක් මහ දන් දී භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කොට මෙසේ කීය. “ස්වාමිනි ! භාග්‍යවතුන් වහන්ස! මාගේ යහළු වූ මේ සරද තවුසාණෝ යම් බුදුවරයන් වහන්සේ කෙනෙකුන්ගේ අනු ශ්‍රාවක වන්නේම්වා’යි ප්‍රාර්ථනා කලේද, මමත් උන්වහන්සේගේම දෙවෙනි ශ්‍රාවක වෙම්වා!”යි ප්‍රාර්ථනා කළේය. බුදු රජාණන් වහන්සේ අනාගතය බලා වදාරා ඔහුගේ එම ප්‍රාර්ථනාව ඉටුවන බව දැක, “කෙළෙඹි පුත්‍රය ! ඔබ මෙයින් එක සංඛ්‍යා කල්ප ලක්ෂයකින් මතුයෙහි ලොව පහල වී වදාරන්න වූ ගෞතම නම් සම්බුද්ධ සර්වඥයන් වහන්සේගේ සසුනෙහි දෙවෙනි ශ්‍රාවක තනතුර ලබන්න්හෙහියැ”යි විවරණ දෙවා වදාළ සේක.

බුදුන් මෙසේ දෙවා වදාළ විවරණය අසා සිරිවර්ධන කෙළෙඹි තෙමේ තුටු පහටු වුයේ විය. ශාස්තෘන් වහන්සේද අනුමෝදනා බණ වදාරා සපිරිවරින් විහාරයටම වැඩි සේක.

ඒ සිරිවර්ධන කෙළෙමි තෙමේද එතැන් පටන් ජීවිතාන්තය දක්වා කුශල කර්මයන් කොට දෙවෙනි අත්බැවෙහි කාමාවචර දෙව් ලොව උපන්නේය. සරද තවුස් තෙමේද සතර බ්‍රහ්ම විහාරයන් වඩා බ්‍රහ්ම ලෝකයෙහි උපන්නේය. ( එතැන් පටන් මේ දෙදෙනා විසින්ම මෙදෑ තුරෙහි නොයෙක් ආත්ම වලදී කළ පින්කම් කිසිවක් නොකියන ලදී.)
ඒ සරද තවුස් තෙම අපගේ බුදු රජාණන් වහන්සේ බිහිවීමට කලින්ම රජගහ නුවර සමීපයෙහි වූ උපතිස්ස නම් ගම ශාරී නම් බැමිණි කුසෑ පිළිසිඳ ගත්තේය. එදවසම ඔහුගේ පෙර අත් බැව්හි මිතුරු සිරිවඩ්ඩනයෝද රජ ගහ නුවරට සමීපයෙහි වූ කෝලිත නම් ගම මොග්ගලී නම් බැමිනියක කුස පිලිසිඳගත්තේය. ඒ දෙකුලයම වනාහි සත්වෙනි කුලපරම්පරාව දක්වා ළබැඳී සගයෝම වුහ. ඒ දෙදෙනාටම එකම දිනේක්හි ගැබ් පෙරහැර දුන්හ. දස මස් ඇවෑමෙන් බිහි වූ ඔවුන් දෙදෙනාට කිරි මව්වරු සසැට දෙනෙක් පැමිණ වුහ. ඔවුන්ට නම් තබන දිනයෙහි ශාරී නම් බැමිණියගේ පුතනුවෝ උපතිස්ස යැයි නම් කළහ. මොග්ගලී බැමිණියගේ පුතනුවෝ කොඉත ගම දෙටු කුලයෙහි උපන් බැවින් කෝලිත යැයි නම් කළහ.

ඒ දෙදෙනාම වැඩිවිය පැමිණ සියළු ශිල්පයන්ගේ පරතෙරට ගියහ. උපතිස්ස මාණවකයා කෙළි සෙල්ලම් සඳහා ගංගාවට හෝ උයනට යන කල්හි පැන් සියයක් රන් සිවි ගෙවල් වෙති. කොලිඔත මාණවකයා හට අජානිය අසුන් වෙදු රථ පන්සියයක් පිරිවර වෙති. ඔවුහු දෙදෙනාටම පන්සියයක් බැගින් මානවකයෝ පිරිවර වෙති. රජගහ නුවරද වර්ෂයක් පාසා ගිරග්ග සමජ්ජ නම් නැටුමක් වෙයි. එහි ඒ දෙදෙනාටම ඒක තැනම අසුන් පණවති. දෙදෙනාම එක්ව හිඳ නැටුම් නරඹන්නාහු සිනාසිය යුට්‍ර්හු තැන සිනාසෙති. සංවේග ඉපිදවිය යුතු තැන සංවේග උපදවති. නටන්නන්ට තෑගි දිය යුතු තැන තෑගි දෙති. මෙසේ එක්ව හිඳ නැටුම් නරඹන්නාවූ ඔවුන් දෙදෙනා ගේම නුවණ මෝරා ගිය බැවින් පළමු දිනවල මෙන් සිනාසිය යුතු තැන සිනාසීමක් හෝ සංවේග ඉපිදවිය යුතු තැන සංවේග ඉපිදවීමක් හෝ තෑගී දිය යුතු තැන තෑගී දීමක් හෝ නොවීය.

එදවස්හි නැටුම් නරඹන්නාවූ ඔවුන් දෙදෙනාම “කීම මෙහි බැලිය යුතු දෙයක් ඇද්ද? මේ සියල්ලෝම සියවස් වන්නටත් පෙරාතුවම මරණයට පැමිණෙති. අප විසින් වනාහි එක් මෝක්ෂ ධර්මයක් සෙවිය යුතු යැ”යි අරමුණු කොට ගෙන සිටියහ.

ඉක්බිති කෝලිත මාණවක තෙමේ උපතිස්ස මාණවකයා හට “යහළු උපතිස්සය! ඔබ පෙර දිනවල මෙන් අද තුටු පහටු නොවුයේ කලකිරුණු සිත් ඇත්තේ වෙයි. ඔබ කුමක් ගැන සිත් යොමු කලෙහි දැ”යි කීය. එවිට ඒ උපතිස්ස මානවක තෙමේ , “යහළු කොලිතය! මොවුන්ගේ බැලීමෙහි සාරයක් නම් නැත. මෙය නිරර්ථකය. තමා විසින් තමාගේ මොක්ෂය සඳහා වූ ධර්ම මාර්ගයක් සෙවීම යහපත්ය යන මෙය සිතමින් හුන්නේ වෙමි, ඔබ වනාහි කවර හෙයකින් නොසතුටු සිත් ඇත්තේ දැ”යි කීහ. හෙතෙමේත් එසේම කීහ.

ඉක්බිති තමා හා ඔහුද සමාන අදහස් ඇති බැව් දැන උපතිස්ස මානවක තෙමේ මෙසේ කීය.
“යහළුව කොලිතය ! අප දෙදෙනාම යහපත් ලෙස සිතුවෙමු. මෝක්ෂ ධර්මයක් සොයන්නවුන් එක් පැවිද්දකින් පැවිදිවීම සුදුසුය. අපි කවර කෙනෙකු වෙත පැවිදි වන්නමෝදැයි කතිකා කොට, “දැන් වනාහි සංජය නම් පිරිවැජි තෙමේ මහත් වූ පිරිවර පිරිස් සමග රාජගහ නුවර වාසය කරයි එබැවින් අප දෙදෙනාද උන් හමුවෙහි පැවිදි වෙමු” යි පන්සියයක් මානවකයන් හා සමග සංජය පිරිවැජියා ගේ සමීපයෙහි පැවිදි වුහ.

ඔවුන් පැවිදි වූ තැන් පටන් සංජය පිරිවැඩියාට අමතර ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා අධික වශයෙන් ලැබෙන්නට විය. ඔව්හු දින කිහිපයකින්ම සංජය පිරිවැජියාගේ සියලු ඉගැන්වීම් ක්‍රම දැන ඉගෙනම් “ආචාරීන් වහන්ස! දන්නා දැය මෙපමනක්ද? නැතහොත් තවත් ඇත්දැයි විචාළහ. සංජය පිරිවැජි තෙමේ, “මාගේ ඉගැන්වීම මේ පමණය. මේ සියල්ල තොප විසින් දන්නා ලද්දේය යැයි කීය. ඔවුහු ආචාර්ය වරයාගේ කථාව අසා මෙසේ සිතුහ. “ඔහු දන්නා දෙය මෙපමණ නම් මොහු වෙත බඹසර රැකීමෙහි පලක් නැත. අපි මෝක්ෂ මාර්ගය සෙවීම සඳහා ගිහි ගෙන් නික්මුනෝ වමු. ඒ අප සොයන මෝක්ෂ මාර්ගය මොහු සමීපහිදී අවබෝධ කර ගැනීමට නොහැක්කේය. මේ ජම්බුද්වීපය වනාහි ඉතා විශාල වුයේය. ගම් නියම් ගම් වල හැසිරෙමින් ඒකාන්තයෙන් විමුක්තිමාර්ග දේශකයෙකු වූ ආචාර්ය වරයෙකු ලබාගනිමු”යි කතිකා කොට එතැන් පටන් පණ්ඩිත වූ මහණ බමුණෝ අසුවල් තැන වසන්නේයයි අසන්නෝ ඒ ඒ තෙනට ගොස් මෝක්‍ෂ මාර්ගය සම්බන්ධව සාකච්චා කරති.

ඔවුන් විසින් අසනු ලබන ප්‍රශ්න වලට පිළිතුරු දීමට සමත් වූ කිසිවෙක් ඔවුනට හමු නොවුහ. එහෙත් ඔව්හු ඒ මහණ බමුණන්ගේ ප්‍රශ්න විසඳති. මෙසේ සියලු දඹදිව ඇවිද මෝක්‍ෂ මාර්‍ගය දන්නෙකු නො හමුව පෙරලා සිය අරමටම අවුත් “යහළු කොලිතය! යමෙක් පළමුව මෝක්‍ෂය අවබෝධ කරත් නම් හෙතෙම අනෙකාට එය සැල කල යුතුයැයි කතිකා කර ගත්හ.

එසමයෙහි වනාහි අපගේ තිලෝගුරු භාග්‍යවත් බුදු රජාණන්වහන්සේ සම්‍යක් සම්බෝධියට පැමිණ, පවත්වන ලද උතුම් දම් සක් ඇත්තේ පිලිවෙලින් රජගහ නුවරට වැඩ වදාළ සේක. එකල්හි ලෝකයේ එක් සැටක් රහත්හු පහළවූ හයි කියන ලද කාලයෙහි උන්වහන්සේ විසින් භික්ෂුන් අමතා, “මහණෙනි! බොහෝ දෙව් මිනිසුන්ට හිත වැඩ සඳහා බොහෝ ගම නියම ගම දනව්වල හැසිරෙමින් ධර්මය දේශනා කරමින් මෝක්‍ෂ මාර්‍ගය කියා දෙව්!”යි රත්නත්‍රයෙහි ගුණ ලොව ප්‍රචලිත කිරීමට පිටත්කර හැරියා වූ භික්ෂුන් අතුරින් පස් වග මහනුන්ට ඇතුළත්වූ අස්සජි මහ තෙරුන් වහන්සේ පෙරළා රජගහ නුවරටම වඩිනා සේක් දෙවෙනි දින අළුයම් වේලෙහි, පා සිව්රු ගෙන පිඬු පිණිස රජගහ නුවරට වැඩි සේක.

එසමයෙහි උපතිස්ස පිරිවැජි තෙමේ උදැසනම බත් කිස නිමවා පිරිවැජි අරමට යන්නේ ඒ අස්සජි තෙරුන් දැක මෙසේ සිතීය. “මා විසින් මෙබඳු වූ පැවිද්දෙක් නම් මෙතුවක් කල් නොදක්නා ලදිමි. යමෙක් මේ ලොව රහත් වුයේ වේද, රහත් මගට පිළිපන්නේ හෝ වේද, ඒකාන්තයෙන්ම මේ ඔවුන් අතරින් කෙනෙක. මා මේ භික්ෂුව වෙත එළඹ, ‘ඇවැත්නි ! ඔබ කවරෙකු උදෙසා පැවිදි වූ යෙහිද? ඔබගේ ශාස්තෘන්වහන්සේ කවරෙක්ද? නුඹ වහන්සේ කාගේ ධර්මයක් පිලිපදින්නේදැ’යි විචාරන්නේ නම් ඉතා යෙහෙක.” යි සිතා ඒ ශ්‍රමනයන් වහන්සේ පිඬු පිණිස හැසිරෙන වෙලාව මෙසේ ප්‍රශ්න ඇසීමට මේ සුදුසු කාලය නොවේය යි දැන “මාර්‍ගය වනාහි ප්‍රයෝජන ඇත්තවුන් විසින් එළඹ දත යුතු වෙයි. එහෙයින් මම මේ ශ්‍රමණ තෙම පසු පස යන්නෙම් නම් ඉතා යෙහෙකැ”යි සිතීය.

එසේම හෙතෙමේ තෙරුන් වහන්සේ ලද පිණ්ඩපාත භෝජනයත් රැගෙන එක්තරා විවෙකස්තානයකට වඩිනු දැක, තමාගේ කුඩා පිරිවැජි පුටුව උන්වහන්සේට පණවා දුන්නේය. උන් වහන්සේගේ බත් කිස අවසානයෙහි තමාගේ පැන් කෙන්ඩියෙන් පැන් සපයා දුන්නේය. මෙසේ උන්වහන්සේට ඇදුරු වත් සපයා කළ බත් කිස ඇති තෙරුන් වහන්සේ හා සමග මිහිරි වූ පිළිසඳර කථා කොට , “ඇවැත්නි ! ඔබ වහන්සේ ගේ ඉන්ද්‍රිය යෝ ඉන්තා පහන්ය. චවි වර්ණය පිරිසිදුය. අතිශයින් පිරිසිදුය. ඔබ කවරෙකු උදෙසා පැවිදි වූ යෙහිද? ඔබගේ ශාස්තෘන්වහන්සේ කවරෙක්ද? නුඹ වහන්සේ කාගේ ධර්මයක් පිලිපදින්නේදැ’යි විචාළේය.

ඒ අස්සජි තෙරුන් වහන්සේ ද, “ඇවැත්නි! මහා ශ්‍රමණ වූ ශාක්‍ය පුත්‍ර වූ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූ උතුමෙකු ඇත. මම ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ උදෙසා පැවිදි වුයේ වෙමි. ඒ භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘන්වහන්සේ ය. මම ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය පිලිපදින්නෙමි “‘යිකීහ. ඉක්බිති ඒ උපතිස්ස පිරිවැජි තෙම තෙරුන් වහන්සේගෙන් විචාරනුයේ, “ඇවැත්නි! ඔබගේ ඒ ශාස්තෘන් වහන්සේ කිනම් වාදියෙක්ද? කුමන ධර්ම මාර්ගයක් උගන්වන කෙනෙක් දැයි” පිළිවිසිය.

විනයෙහි මට ස්වල්ප අවබෝධයක් ඇත්තේය. එසේ හෙයින් ඔබට විස්තර වශයෙන් ධර්මය දේශනා කිරීමට මම අපොහොසත් වෙමි.”යි කීහ.

එවිට උපතිස්ස තෙමේ;

“ස්වාමිනි! මම උපතිස්ස නම් වෙමි. ඔබ වහන්සේට හැකි පමණකින් ස්වල්පයක් කොට හෝ, බොහෝවක් කොට හෝ ඒ ධර්මය කියනු මැනව ! එය සියක් ක්‍රමයකින් වුවද, දහසක් ක්‍රමයෙකින් වුවද අවබෝධ කිරීම මට භාරය “යයි සිතා

අප්පං වා බහුං වා භාසස්සු – අත්‌ථංයෙව මෙ බ්‍රූහි;
අත්‌ථෙනෙව මෙ අත්‌ථො, කිං කාහසි බ්‍යඤ්‌ජනං බහුං ’’. 

යනු කී කල්හි ඒ අස්සජි තෙරුන් වහන්සේ

යේ ධම්මා හේතුප්පභවා තේසං හේතු තථාගතෝ ආහ –
තේසච්ච නිරෝධෝ – ඒවං වාදි මහා සමණෝ යනුවෙන්

“පිරිවැජිය! මේ ලෝකයෙහි හේතු ප්‍රත්‍යයෙන් හටගන්නාවූ ස්කන්ධ,
ධාතු, ආයතන, යනාදීවූ යම් ධර්මයක් වෙත් ද , ඒ ධර්මයන්ගේ ඇතිවීම
හා නැති වීමට ඇති හේතුව තථාගතයන් වහන්සේ දේශනා කරන සේක.
පිරිවැජිය ! ඒ අපගේ ශාස්තෘන් වහන්සේ මෙබඳු වාදියෙක් යැ”යි කී සේක.

පිරිවැඩි උපතිස්සයානෝ ඒ ගාථාවෙහි පළමු පද දෙක ඇසු පමණින්ම දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ සෝවාන් ඵලයෙහි පිහිටියේය. ඉතුරු දෙපදය සොවාන්වූ කල්හිම නිමාවටගියේය. සෝවාන් වූ පසු සෙසු මාර්ගවල විශේෂයක් නොදක මෙහි යම් කිසි හේතුවක් ඇත්තේ යැයි සිතා , තෙරුන් වහන්සේට , “ස්වාමිනි ! මෙයින් මතු ධර්මය දේශනා නොකළ මැනව . මට මෙපමණක් ම ඇත. අපගේ ශාස්තෘන් වහන්සේ කොහි වෙසෙත් දැයි පිළිවිසී කල්හි තෙරුන් වහන්සේ, “පිරිවැජිය! වෙලුවනයෙහි “යැයි කීහ.

“එසේ නම් ස්වාමිනි, ඔබ වහන්සේ පළමුව වැඩිය මැනව ! මාගේ එක් යහළුවෙක් ඇත. යමෙක් පළමුව මෝක්ෂය අවබෝධ කලේ නම් හෙතෙම අනිකාට සැලකළ යුතු යැයි අප විසින් ඔවුනොවුන් අතර කල කතිකාවෙකුත් ඇත. මම ඒ ප්‍රතිඥාව මුදවා යහළුවා හා සමග ඔබ වහන්සේ වඩිනා මාර්ගයෙන්ම ශාස්තෘන් වහන්සේ වෙතට එන්නෙමැයි තෙවරක්මි පැදකුණු කොට තෙරුන් වහන්සේගේ පා මුල වැටී පසඟ පිහිටුවා වැඳ , තෙරුන් වහන්සේ පිටත් කොට යවා පිරිවැජි අරම දෙසට ගියේය.

ඔහුගේ යහළු වූ කෝලිත පිරිවැජි තෙම එන්නාවූ උපතිස්ස යන් දුර දීම දැක, “අද මගේ යහළුවාගේ මුඛ සොභාව වෙනදා මෙන් නොවන්නේය. ඒකාන්තයෙන්ම මොහු විසින් මෝක්ෂය අවබෝධ කරණ ලද්දේ වනැ”යි සිතා, අමුර්ත අධිගමය පිලිංදව විචාළේය. හෙතෙමේද, ඔහුට “එසේය ඇවැත්නි! මා විසින් අමුර්තාධිගමය කරණ ලද්දේය යයි පිළින කොට අස්සජි තෙරුන් වහන්සේ දෙසු, යේ ධම්මා.. යනාදී ගාථාවම කීය. ගාතාවසානයෙහිදී කෝලිත පිරිවැජි තෙමේද සෝවාන් ඵලයෙහි පිහිටා “යහළුව ! දැන් අපගේ ශාස්තෘන් වහන්සේ කොහි වැඩ වසන සේක දැ”යි ඇසීය. එවිට උපතිස්සයෝ, “යහළුව! වේළුවනයෙහි යැයි කියා අපගේ ආචාර්ය වූ අස්සජි ස්ථවිරයන් වහන්සේ විසින් කියන ලදී.”

“යහළුව! එසේ නම් අපි යමු. ගොස් ඒ අපගේ ශාස්තෘන් වහන්සේ දකිමු!”යි කී කල්හි, මේ සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ නම් සැම වේලෙහිම ආචාර්ය පුජකයෙක් මය. එහෙයින් උපතිස්ස පිරිවැජි තෙමේ යහළු කෝලිත මානවක හට “යහළුව ! අප විසින් අවබෝධ කරන ලද අමුර්තය, අපගේ ඇදුරු වූ සංජය පිරිවැජි තුමාටද කියමු. ඔහු ඒ අවබෝධ කරනු ලබන්නේක් වී නම් අවබෝධ කරන්නේය. අවබෝධ නොකරන්නෙක් වී නම් අපගේ වචනය අදහා ශාස්තෘන් වහන්සේ සමීපයට යන්නේය. ඔහු ද බුදු රජාණන්වහන්සේ ගේ දේශනාව අසා මාර්ග ඵල අවබෝධ කරන්නේය.”යැයි කීය. ඉක්බිති ඔවුන් දෙදෙනාම සංජය පිරිවැජි වෙත ගොස්, “ආචාරීන්වහන්ස! ඔබ කුමක් කරන්නෙහිද? ලෝකයෙහි බුදු රජුන් පහල විය. උන්වහන්සේ විසින් මනාකොට ධර්මය දේශනා කරන ලදී. මනා පිළිවෙතකට පිළිපන් සංඝයා පහල විය. අපි යමි. ගොස් දශ බල ධාරින් වහන්සේ දකිමු”යැයි කීහ.

ඒ සංජය පිරිවැජි තෙමේ, “දරුවෙනි! කුමක් කියන්නේද? “යි කියා ඔවුන් දෙදෙනාද වළකා ඔවුනට ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රසංසා ආදියම අගේ කොට වර්ණනා කළේය. ඔව්හු දෙදෙනා ” අපට මෙබඳු වූ අතවැසි බව නිරතුරුවම ලැබේවා! තොපගේ වනාහි එහි යාම හෝ නොයෑම හෝ තොපම දැන ගනුව”යි කීහ. එකල්හි සංජය පිරිවැජි තෙම ඔවුන් තමාගේ වචනය නොපිලිගන්නේයැයි දැන, “දරුවෙනි ! තෙපි යව! මම මහළුවූ නිසා අතවැසිව විසීමට නොහැක්කෙමි” යැයි කීය. ඔව්හු දෙදෙන නොයෙක් කරුණු සිය ගණනින් කියාත් ඔහුට අමෘතය අවබධ කිරීමට නොහැකි වන්නාහු තමන්ගේ අවවාදයෙහි පවතින්නාවූ පිරිවැජි ජනයා ගෙන වේළුවනයට පිවිසියහ. ඉක්බිති ඔවුන්ගේ පන්සියයක් අතවැසියන් අතුරෙන් දෙසියපණසක් ඔවුන් දෙදෙනා සමග ගියහ. 

ශාස්තෘන් වහන්සේ සිව් පිරිස් මැද දම් දෙසමින් වැඩ සිටි සේක්, දුරින්ම එන්නාවූ ඔවුන් දැක භික්ෂුන් අමතා, “මහණෙනි ! මේ එන්නාවූ කෝලිත හා උපතිස්ස යන යහළුවෝ දෙදෙනා මාගේ අග්‍ර ශ්‍රාවක යුග්මය වන්නේය” යයි වදාළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ දෙදෙනා හා පැමිණි පිරිසට චරිත වශයෙන් ධර්ම දේශනා කල සේක. ඒ දෙදෙනා හැර දෙසිය පනසක් පිරිවජියෝ රහත් වුහ. ශාස්තෘන් වහන්සේ ඔවුන්ට, “මහණෙනි! මෙහි එව!” යැයි ශ්‍රී හස්තය දිගු කළ සේක. එකෙනෙහිම ඒ සියළු දෙනාගේම කෙස් රැවුළු අතුරුදහන් ව සෘධිමය පා සිව්රු සිරුරු වෙලා සිටියහ. අග්‍ර ශ්‍රාවකයන්ටද සෘද්ධිමය පා සිව්රු ලැබුනේය. මතුයෙහි ඔවුන් දෙදෙනා විසින් පැමිණිය යුතුවූ මාර්ග ඵලයන් නොනිමියේය. කවර හෙයින්ද යත් ? ශ්‍රාවක පාරමී ඥාණයන් ගේ උසස් බව හෙයිනි.

ඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් තෙරුන් වහන්සේ පැවිදි වූ දින සිට සත්වෙනි දවස මගධ රට කල්ලවාල නම් ගම ඇසුරු කොට මහණ දම් පුරන්නේ ථිනමිද්ධ නීවරණයට පැමිණෙන කල්හි, ශාස්තෘන් වහන්සේ විසින් සංවේගයට පමුණුවන ලද්දේ ථිනමිද්ධ නීවරණය දුරු කොට තථාගතයන් වහන්සේ විසින් උගන්වනු ලැබූ ධාතු කර්මස්ථානය මෙනෙහි කරත් කරත් ම මත්තෙහි වූ තුන් මග ඵල කිස නිමවා ශ්‍රාවක පාරමී ඥාණගේ මස්තකයට පැමිණි සේක.

ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ද පැවිදි වූ දින සිට අඩ වසක් ඉක්මවා ශාස්තෘන් වහන්සේ සමග එම රජගහ නුවරම ඇසුරු කොට සුකරකතා (ඌරු හැරව්ව) ලෙනෙහි වාසය කරන්නේ තමාගේ බෑනණුවන් වූ දීඝනඛ පිරිවැජියාට බුදු රජාණන් වහන්සේ වේදනා පරිග්‍රහ සුත්රාන්ත දේශනාව කර වදාරණ කල්හි සුත්රානුසාරයෙන් නුවන මෙහෙයවා අනෙකෙකුට තැබූ බත් අනුභව කරන්නෙකු මෙන් ශ්‍රාවක පාරමී ඥාණගේ මුදුන් පත් බවට පැමිණිසේක.

උන් වහන්සේගේ බෑනණුවෝ වනාහි දේශනාවසානයෙහි සෝවාන් ඵලයෙහි පිහිටියහ. මෙසේ ඒ මහා ශ්‍රාවකයන් වහන්සේලා දෙනමට භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වසන කල්හිම ශ්‍රාවක පාරමි ඥානය මුදුන් පත් විය. මෑත භාගයෙහි වනාහි ශාස්තෘන් වහන්සේ දෙවරම් වෙහෙර වැඩ වාසය කරමින් මහා ප්‍රඥා ඇත්තවුන් අතුරෙන් මේ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේද , සෘද්ධිමතුන් අතුරෙන් මේ මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේදැයි යන මහා ශ්‍රාවකයන් වහන්සේලා දෙනම තනතුරු වල පිහිටුවා වදාරණ සේක්,


එත දගග භික්ඛවේ මම සාවකානං භික්ඛුනං පඥඥායවත්තානං යදිදං සාරිපුත්තෝ
යනුවෙන්

“මහණෙනි! මාගේ ශ්‍රාවක භික්ෂුන් අතරනුවනත්තවුන්ගෙන් මේ සැරියුත්
ස්ථවිරයන් වහන්සේ අග්‍ර යැයි අග්‍රස්ඨානයේ තබා වදාළ සේක.

මෙසේ ඒකාසංඛ්හ‍ය කල්ප ලක්ෂයක් අග්‍ර ශ්‍රාවක තනතුරු සඳහා පාරමී ධර්ම පුරමින් ආවා වූ මේ සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ අතුරින් සැරියුත් මහ තෙරුන් වහන්සේ අපගේ තිලෝගුරු භාග්‍යවත් බුදුරජානන් වහන්සේගේ සසුනෙහි පැවිදිව , තමා පතා ආ ලෙසම අග සව් තනතුර ලබාදෙවියන් සහිත වූ ලෝකයාට ධර්ම දේශනා කරමින් වැඩ සිටි සේක, අපගේ බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ අවුරුද්ද දක්වා වැඩ සිට, බුදුන් පිරිනිවන් පා වදාරන්නට පෙරාතුවම පිරිනිවන් පා වදාළ සේක.

ඒ කෙසේද යත්.?

අපගේ තිලෝගුරු භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑ අවුරුද්දෙහි වස් වසා අනතුරුව බේලුව ගමෙහි සිට සැවැත් නුවර තෙක් වඩිනා සේක් සැවැත් නුවර ජේතවනාරාමයට පැමිණි සේක.

භාග්‍යවතුන් වහන්සේ වෙහෙර බලා වැඩමවනු දුටු සැරියුත් මහා තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පෙර ගමන් කොට පා සිව්රු පිළිගෙන වත් සපයා දිවා විහරණය සඳහා වැඩි සේක. උන්වහන්සේගේ අතවැසි භික්ෂුහු උන්වහන්සේට වත් සපයා ගිය කල්හි තමන් වහන්සේ දිවාස්ථානය හැමැද පා දොවා සම් කඩ මත්තෙහි පලක් බැඳ වැඩ හුන් සේක. ඉන් පසු පල සමාවතින් නැගී සිටි උන්වහන්සේට මෙබඳු සිතක් විය. “අතීතයෙහි වූ බුදු වරයෝ පළමුකොට පිරිනිවන් පෑවාහුද? නැතහොත් අගසව්ව්වෝ පළමුව පිරිනිවන් පෑවාහුද?” යනුයි.මෙසේ බලා වදාරා අගසව්ව්වන් පළමුව පිරිනිවන් පානා බව දැක, තමන් වහන්සේගේ ආයු ප්‍රමාණය බලා එතැන් සිට සත් දිනක් ම ආයු ඇති බව දැක, “කිනම් තැනකදී පිරිනිවන් පාන්නේම්යිදැ”යි සිතුහ. එසේ නැවත නැවතත් සිහි කරන්නාවූ උන්වහන්සේට තමන් වහන්සේ ගී මෑණියන් සිහිවී, “මාගේ මෑණියෝ සත් රහත් කෙණෙකුන් හට මව් වූ නමුත්, ඕ තොමෝ තවම තෙරුවන් ගුණ නොහඳුනයි. කිමෙක්ද ඇයට නිවන් දහම් පසක් කිරීමට පින් ඇත්දෝ නැද්දෝ හෝ?” යි කියා පරීක්ෂා කර බලනුයේ, සෝවාන් ඵලය පසක් කිරීමට පින් ඇති බව දැක, කවරෙකුගේ දම් දෙසුමකින් එය මුදුන් පැමිණෙන්නේදැයි බලා , තමන් වහන්සේ ගේම දම් දෙසුමෙන් එය ඉටුවෙන බව දැන, “ඉදින් මම මේ පිළිබඳව මන්දෝත්සාහි වන්නේ නම්, ‘ සැරියුත් මහතෙරුන් අපමණ ලෝ වැස්සන්ට පිහිටවූ මුත් තමන්ගේ ම මෑණියන්ගේ මිත්‍යා දෘෂ්ඨිය අත්හරවා , සම්‍යක් දෘෂ්ඨියෙහි පිහිටුවීම නොකළ සේකැ”යි යන ජන ප්‍රවාදයක් පැන නැගේ යැයි දැන වදාරා –

“මම මෑණියන් මිසදිටු බැවින් මුදා සිය ජාත භූමියෙහිදීම පිරිනිවන් පාමි”යි කරන ලද සනිටුහන් ඇතිව, අදම බුදුරජානන් වහන්සේ කරා එළඹ අවසර ගෙන නික්මෙන්නෙමි’යි සිතා චුන්ද තෙරණුවන් අමතා, “ආයුෂ්මත් චුන්දය! අපගේ පන්සියයක් භික්ෂු පිරිසට ‘ඇවැත්නි! පා සිව්රු ගනිව්! සැරියුත් මහා තෙරුන් වහන්සේ නාලක නම් ගමට පිවිසෙනු කැමැති’ යැයි කියනු මැනව “යයි නියම කල සේක. චුන්ද තෙරුන් වහන්සේ ද ඒ නියමය එසේම භික්ෂුන්ට දැන්වුහ.පන්සියයක් පිරිවර භික්ෂුන් වහන්සේ සේනාසන සකස් කොට තබා පා සිව්රු ගෙන ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වෙතට එලඹීයාහුය.ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ද සේනාසනය සකස් කොට දිවා විහරණය කල තැන කිස හැමද නිමවා දොරටුවෙහි වැඩ සිට, “මේ මාගේ අවසාන දර්ශනය වන්නේය. නැවත මාගේ මෙහි ඊමෙක් නොවන්නේය යි දිවා විහරණය කළ තැන බලා වදාරා පන්සියයක් භික්ෂුන් පිරිවරණ ලදුව බුදුරජානන් වහන්සේ කරා එළඹ වැඳ එකත් පසෙක වැඩ සිටි සේක් –

“ස්වාමිනි බුදු රජාණන් වහන්ස! ඔබ වහන්සේ මා හට අවසර දෙන සේක්වා ! මාගේ පරිනිර්වාණ සාමය එළඹ සිටියේය. මා විසින් ආයු සංස්කාරය හරණ ලද්දේය.” යි බුදු රජාණන් වහන්සේට දන්වා සිටි කල්හි බුදුහු යම් හෙයකින් පිරිනිවන් පෑව මැනව’යි වදාළ හොත්, ගෞතමයන් වහන්සේ මරණයෙහි ගුණ වනති’යි කියාද මිස දිටුවෝ උන්වහන්සේට දොස් පවරති. එබැවින් සර්වඥ වරයෝ ඒ දෙකරුනම නොවදාරති. එසේ හෙයින් බුදු රජාණන් වහන්සේ, “ශාරිපුත්‍රය ! කොතැන්හිදී පිරිනිවන් පාන්නෙහි දැයි අසා වදාළ සේක. එවිට සැරියුත් මහ තෙරණුවෝ “ස්වාමිනි! මගධ දනව්වෙහි නාලක නම් මා උපන් ගමෙක් ඇත. එහිදී පිරිනිවන් පාන්නෙමැ”යි දන්වා සිටියහ.

එකල්හි සර්වඥයන් වහන්සේ “ශාරිපුත්‍රය! තොප යමෙක් සිතුවෙහිද එයට සුදුසු කාලය තොපම දැන ගනුව. දැන් න්තොපගේ බාල සොයුරන් වූ භික්ෂුන්ට තොප හා සමාන භික්ෂු කෙනෙකුගේ දර්ශනය දුර්ලභ වන්නේය. එබැවින් ඔවුනට දම් දෙසුමක් කල මැනව”යි වදාළ සේක. ඉක්බිති සැරියුත් මහා තෙරුන් වහන්සේ “සර්වඥයන් වහන්සේ මාගේ මේ සෘද්ධිය පෙරටු කොට ඇති දම් දෙසුමක් අභිමත වන සේක් යැයි සිතා බුදුන් වැඳ අවසර ගෙන තලක් පමණ අහසට පැන නැගී ආකාශයෙන් බැස බුදුරජානන් වහන්සේ ගේ ශ්‍රී පාද යුග්මයට නමස්කාර කල සේක. නැවත දෙතලක් පමණ ආකාශයට පැන නැගී එයින්ද බැස බුදුරජානන් වහන්සේ ගේ ශ්‍රී පාද යුග්මයට නමස්කාර කල සේක. මෙසේ පිලිවෙලින් සත් තලක් පමන අහසට පැන නැගී නොයෙක් සිය ගණන් පෙළහර දක්වමින් දම් දෙසුම අරඹා දම් අසන සිව් පිරිසට පෙනී පෙනීද නොපෙණි නොපෙණීද පෙර කයින් හා පසු කයින් ද අඩ ක් ද වැඩ සිට ධර්ම දේශනා කල සේක.

පෙනෙන්නාවුද,නොපෙනේන්නවුද ශරීරයෙන් යුතුව විටෙක චන්ද්‍රයා මෙන් තමන් වහන්සේ දක්වන සේක, විටෙක හිරු මෙන්ද, විටෙක පර්වතයක් මෙන්ද විටෙක මුහුද මෙන් ද තමන් වහන්සේ දක්වන සේක. විටෙක චක්‍රවර්ති රාජයක් හු මෙන්ද විටෙක වෛශ්‍රවණ දිව්‍ය රාජයා මෙන්ද විටෙක ශක්‍ර දේවේන්ද්‍රයා මෙන්ද විටෙක මහා බ්‍රහ්මයා මෙන්ද තමන් වහන්සේ දක්වන සේක. මෙසේ නොයෙක් සිය ගණනින් ප්‍රාතිහාර්‍ය දක්වමින් දහම් දෙසන කල්හි සියළු නුවර වස්සෝම එතැනට රැස් වුහ. ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අහසින් බැස සනරාමරයානන් වහන්සේ ගේ ශ්‍රී පාදයන් වැඳ සිටි සේක්.

“ශාරිපුත්‍රය! මේ නම් කිනම් ධර්ම ක්‍රමයෙක් දැ”යි අසා වදාළ සේක.එකල්හි, “ස්වාමිනි! මෙය සිහනික්කිලිත නම් ධර්ම ක්‍රමයෙකැ”යි පිළිතුරු දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ, “ශාරිපුත්‍රය ! මෙය ඒකාන්තයෙන්ම සිහනික්කිලිතය. ඒකාන්තයෙන්ම සිහනික්කිලිතය” යි පසසා වදාළ සේක.

ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ලතු දිය වැනි පැහැ ඇති තමාගේ හස්තයන් දිගු කොට සර්වඥයන් වහන්සේගේ රන් කැසිබු පිට වැනි සිරි පා යුවලෙහිගොප් මස අල්වා ගෙන, “ස්වාමිනි !මේ පාද යුග්මය වඳනා පිණිස මා විසින් ඒකා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පෙරුම් පුරන ලදී. මාගේ ඒ මන දොළ දැන් මුදුන් පැමිණ හමාරය. මෙතැන් සිට සසර පිළිසිඳ ගැනීම් වශයෙන් මේ ධාත්වායතනයන්ගේ නැවත එක් රැස් වීමෙක් නැත. ඒ මේ විශ්වාසය සිඳී ගියේය. නොයෙක් ලක්ෂ ගණන් බුදු වරයන් විසින් පැමිණ වදාළා වූ අජර වූ අමර වූ ක්‍ෂේම වූ නිරවාණයට ඇතුල් වන්නෙමි, ස්වාමිනි ! ඉදින් මාගේ ක් හෝ වචසින් හෝ මනසින් හෝ යම් කිසි නුරුස්නාවෙක් වී නම් ඒ කමාකොට වදාරණු මැනව’යි කියා –

“සුගතයන් වහන්ස ! මගේ ගමනට මෙය කල් වන්නේය”යි සැල කළහ.
එවිට සර්වඥයන් වහන්සේ, “ශාරිපුත්‍රය ! තොපට කථා කරමි. තොපගේ කයින් හෝ වචසින් හෝ මනසින් හෝ කිසි නුරුස්නාවක් සිදු නොවුයේමය. ශාරිපුත්‍රය ! ඔබ දැන් යමක් අදහස් කලෙහි නම් මේ එයට කාලය බව දත මැනව “යි (භාග්‍යවතුන් වහන්සේ) අනුදැන වදාළ සේක.

ඉක්බිති බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී පාද ද්වය නමස්කාර කළා වූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ නැගී සිටි කෙනෙහිම මහා පොළොව සැලී ගියාය. අහසෙහි දිව්‍යමය බෙර තම තමන්ම ශබ්ද පිටකළහ. මහා මේ කුළක් නැගී මල් වැස්සෙක් වට. භාග්‍යවතුන් වහන්සේ , සැරියුත් මහ තෙරුන් වහන්සේට ප්‍රතිපාදනය කරන්නෙනි’යි සිතා වැඩ සිටි අසුනින් නැගී ගඳ කිලියට වැඩමවා එහි මිණිපලඟෙහි වැඩ සිටි සේක.

එවිට සැරියුත් මහ තෙරුන් වහන්සේ එහි වැඩ බුදුන් පැදකුණු කොට සිව් තැනෙක හෙව වැඳ,, “භාග්‍යවත් බුදු රජාණන් වහන්ස! මේ මහා භද්‍ර කල්පයට පළමු එකා සංඛ්‍ය කල්ප ලක්ෂයකින් යට අනෝමදස්සී නම් බුදුන් හමුවෙහිදී නුඹ වහන්සේ ගේ ශ්‍රාවක බව පැතුවෙමි. මාගේ ඒ පැතුම එසේමසිදු විය. යම් දිනෙක මා නුඹ වහන්සේ දක්නා ලදද, ඒ මාගේ පළමු දර්ශනය වෙයි. මේ වනාහි අවසන් දර්ශණය යි. කියා දෙඅත් මුදුනේ තබා වැඳ වැඳ භාග්‍යවතුන් වහන්සේ පෙනෙන තෙක් තැන් ඒ දෙසට ම අභිමුකව ගොස් නමස්කාර කොට වැඩියහ.

එකල්හි ද මේ දෙලක්ෂ සතලිස් දහසක් යොදුන් ඝන කඩ මහ පොළොව සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ වෙන්වීම ඉවසිය නොහැකිව මෙන් දිය පොළොව දක්වා අතිශයින් සැලී කම්පා වුවාය.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ, රැස්ව හුන් භික්ෂුන් අමතා, “මහණෙනි! තොප හැම දෙනාගේ ජේෂ්ඨ සෝයුරාණන්ට පසු ගමන් කරව්” යැයි වදාළ සේක. ඉක්බිති එහි රැස්ව හුන්න වූ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා යන සිව් පිරිසමං පිරිනිවන් පෑම සඳහා පිටත් ව යන්නා වූ සැරියුත් මහා තෙරුන් වහන්සේ පසු පසම ගියහ. එකල්හි සැවැත් නුවර වාසීහු සැරියුත් තෙරුන් වහන්සේ පිරිනිවන් පැම සඳහා වැඩි සේකැයි අසා මහත් සෝකයෙන් යුක්ත වුවාහුම් “අපගේ මහා නුවණැති ඒ වීර පුරුෂයානෝ කොහි වැඩි සේක ද? අපි මත්තෙහි එතුමෝ කෙසේ දකුම්ද ? උන් වහන්සේ අප හැම හැරපියා පිරිනිවන් පෑමට වැඩියෝ භාග්‍යවතුන් වහන්සේ කොහි වඩා හිඳුවා ගිය සේක්ද? යනාදී විචාරමින් දොහොත් හිස බැඳ හඬමින් වැළපෙමින් උන් වහන්සේගේ ගුණ කියමින් උන්වහන්සේ ගිය මගම ගෙන , ගියහ. මෙසේ යන්න වූ ඔවුන් දැක සෙසු මිනිස්සු ද ඔවුන් ගෙන් තොරතුරු විචාරා සොවින් තැවී තැවී ඔව්හු අනුවම ගියහ.

මෙසේ හඬමින් වැලපෙමින් තමා පසු පස එන්නාවූ සිව් පිරිස දුටු මහ තෙරුන් වහන්සේ භික්ෂුන් අමතා, “ඇවැත්නි ! මේ ධර්මතාවය කිසිම සත්ව කෙනෙකුන් විසිනුත් නොවැලක්විය හැකිය. ඒ නිසා ඔබ හැම දෙනාම අප්‍රමාදවහු ” යැයි අවවාද දී ආපසු පිටත් කොට යවා, සෙසු උවසු උවැසියන් අමතා, “ඇවැත්නි ! තෙපි හැම දෙනම මා නිසා පමා නොවව්. අප්‍රමාද වව්යි ” කියා ඕවා දී නැවත වා තමන් වහන්සේ ගේ පිරිස පමණක් ගෙන වැඩි සේක. තෙරුන් වහන්සේගේ අවවාදයෙහි පිහිටා සමහර දෙනෙක් නතර වුහ, සෝකය ඉවසා ගත නොහැකි වූ සමහර දෙනෙක් හඬ හඬා තෙරුන් වහන්සේ පසුපසම ගියහ. ඉක්බිති තෙරුන් වහන්සේ ඔවුන්ටද සංස්කාරයන්ගේ අනිත්‍යය කියා අප්‍රමාදව කුසල් කිරීමට ඕවා දී සනසවා නවත්වා ලු සේක. මෙසේ උන්වහන්සේ සැවැත් නුවර සිට අතරමග මිනිසුන්ට ධර්ම දේශනා කරමින් වඩින සේක් සත් වෙනි දවසට එළඹී හිල් මසැ පුර පසළොස්වක් පොහෝ දින සවස් වේලෙහි තමන් වහන්සේගේ ජාත භුමිය වූ නාලක නම් ගමට පැමිණ එම ගමට පිවිසෙන දොරටුව සමීපයෙහි වූ නුග රුකක් මුල වැඩ සිටි සේක.

එවෙලෙහි මහ තෙරුන්ව වහන්තසේගේ බෑණනු කෙනෙකු වූ උපරේවත නම් කෙළෙඹීයා ගෙයින් බැහැරකට යන්නේ නුග රුක මුල භික්ෂුන් පිරිවර කොට ගෙන වැඩ හුන් මහා තෙරුන් වහන්සේ දැක, එහි එළඹ තෙරුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය. මහ තෙරුන් වහන්සේ ඔහු අමතා ,”උපරේවතය ! ඔබගේ මුත්තණියෝ කොහි දැ”යි විචාරා, “ස්වාමිනි! ඇය ගෙහිය” යි කී කල්හි, “රේවත! එසේ වී නම් යව! තාගේ මුත්තණිය වෙතට ගොස් අප මෙහි ආ බවත් කියා අද ඇතුළු ගම සිට සෙට උපන් ගෙදොරට එන්නේ යයිද, ගේදොර පිරිසිදු කොට, පන්සියයක් පමණ මහ සඟනට වැඩ හිඳිනා අසුන් පිළියෙළ කල් මැනව” යි වදාළ සේක.

ඒ ඇසු රේවතයෝද, පෙරලා ගෙට ගොස් මුත්තණියන්ට කියනුයේ, “මුත්තනියෙනි ! මාගේ මයිලනුවන් වූ සැරියුත් මහතෙරුන් වහන්සේ ඇතුළු ගමට වැඩි සේක් “යැයි කිවුහ. එවිට මුත්තනියෝ, ” ඔහු දැන් කොහි වැඩ සිටිනා සේක් දැ”යි විචාළහ.එකල්හි උහු කියනුයේ “අද දවස ඔබ ගම් දොරෙහිය.” “හුදකලාව අවුදැයි විචාල කල්හි, “නැත, ඔබ පන් සියයක් දෙනා පිරිවර කොට වැඩි සේකැ”යි කිවුහ.

මෙසේ පන්සියයක් දෙනා සමග මහ තෙරුන් වහන්සේ ඇතුළු ගමට වැඩි සේකැයි ඇසු ඕ තොමෝ සිතන්නී, මෙතෙක් දෙනා වහන්සේට හිඳිනා තැන් කුමට කරවන්නේද ? මපුතණුවෝ තුරුණු වීයැ සියළු ගිහි සැපත් හැර දමා පැවිදිවත්, දැන් මහළු කල ගිහිවනු කැමැත්තෝ දෝ හෝයි සිතමින්ම ඔබ උපන් ගෙය පිරිසිදු කොට ලා පන්සියයක් දෙනා වහන්සේටද හිඳිනා තැන් පිළියෙළ කරවා මහ තෙරුන් වහන්සේ වෙත දන්වා යැවූ පසු තෙරුන් වහන්සේ ද පිරිවර සමග එහි වැඩමවා පැහැයට නැගී උපන් ගෙට ගොස් වැඩ සිටි පිරිවර භික්ෂුන් අමතා , “ඇවැත්නි! තොප හැම සඳහා හිඳිනා අසුන් පණවා ඇත. එහි යව යයි වදාරා තමන් වහන්සේ එහිම වැඩ හුන් සේක.

ඒ පිරිවර භික්ෂුහු ගිය කල්හි තෙරුන් වහන්සේට මහත් වූ දරුණු වූ ලෝහිත පක්ඛන්දිකා, (ලෙහෙ යාම) නම් වූ රෝගයෙක් උපන. තෙඋන් වහන්සේට මහත් වේදනා උපදවමින් නොනවත්වාම ලෙහෙ නික්මෙන්නට වන. තෙරුන් වහන්සේට උවැටන් කරන්නෝ උන්වහන්සේට බඳුන් එළවති. ලෙයින් පිරුණු එක බඳුනක් අස්කරන කල්හි අනික් බඳුනෙක් එළඹෙති. මෙසේ ක්‍රමයෙන් එම රෝගය ඉතා බලවත්ව වැඩිණ. එවිට තෙරුන් වහන්සේ ගේ මව් බැමිණි තොමෝ මාගේ පුතණුවන්ගේ රෝගය බලවත් වී යයි සිතා දොර අසලටම වී සිටියාය.

සිව් වරම් මහ රජ දරුවෝ තෙරුන් වහන්සේ පිරිනිවන් හැදෙහි හොවිති යි දැන උන්වහන්සේ අවසන් වරටත් දැක ගනිමු යයි කියා පැමිණ තෙරුන් වහන්සේට වැඳ සිටියාහුය. ඒ දුටු තෙරුන් වහන්සේ, “ඇවැත්නි! තෙපි කවරෙක් හු දැයි විචාල කල්හි, “ස්වාමිනි! සිව් වරම් රජ දරුවෝ වම්හ” යි කීහ. “තෙපි කුමක් නිසා මොබ අවුදැ”යි විචාල කල්හි, “නුඹ වහන්සේට උවැටන් කරම්හ යි කියා ආවම්හ” යි කිවූ ය. එවිට මහ තෙරුන් වහන්සේ ඔවුන් අමතා, “ඇවැත්නි ! මට උවැටන් ඇත. තෙපි යැව” යැයි කියා උහු සැම පිටත් කල සේක. ඒ දුටු බැමිණි මාතාවෝ මේ මපුතනුවන් වැඳ යන්නෝ දැක උහු කව්රුන් දෝ හෝයි නොදැන තෙරුන් අහන්සේ ගේ උපස්ථායක වූ චුන්ද තෙරුන් වෙත එළඹ , “දරුව චුන්දය ! ම පුතණුවෝ සුවසේ හොවිත් දැයි විචාලාය. චුන්ද තෙරනුවොඩ එසේ යැයි කියා මහ තෙරුන් වහන්සේට කියනුයේ, “ස්වාමිනි! මව් උපාසිකා තොමෝ මොබට එළඹ සිටින්නීය” යැයි දැන්වූ සේක.

එකල්හි මහ තෙරුන් වහන්සේ, “අකාලයෙහි කුමට මොබ ආයේදැ”යි විමසු කල්හි, “පුතණුවෙනි! ඔබ දක්නා පිණිස” යයි කියා යලිදු. “පුතණුවෙනි ! තොප වෙතට පළමුව ආවෝ කව්රු දැයි විචාලාය. එවිට තෙරණුවෝ, “උවැසියනි ! ඒ සිව් වරම් රජ දරුවෝයයි කී කල්හි, “පුතණුවෙනි !තොප උන් ටත් වඩා ශ්‍රේෂ්ඨ වෙත් දැ”යි ව්චාල කල්හි, “උවැසිනි ! උහු හැම දෙන අරම වැස්සන් හා සම වෙති. උහු අප බුදු පියානන්වහන්සේ ගේ පිළිසිඳ ගැනීමෙහි උන්වහන්සේ රැකවල් කළහ”යි කී සේක. එවිට මව් බැමිණි තොමෝ කියන්නී, “පුතණුවෙනි ! උහු ගිය පසු මෙහි ආවෝ කව්රු දැයි විචාල කල්හි , “උවැසියෙනි ! උහු සක් දෙව් රජය” යි වදාළ කල්හි “ඔබ උහුටත් වඩා උසස් දැ?”යි විචාල කල්හි, ” උවැසියෙනි ! උහු හෙරනෙකු වැනිය. අප බුදුන් තව්තිසාවෙන් බිමට වඩනා කල්හි ඔබගේ පා සිව්රු ගෙන ආවෝ උහුම වේදැ”යි වදාළ සේක.

මෙසේ ඒ මවු උවැසි තොමෝ පිලිවෙලින් තෙරුන් අතින් විචාරා ඉක්බිතිවත් ඔබ වෙතට ආවෝ කව්රු දැයි ඇසු කල්හි, ඒ උවසියගේ මිසදිටු හරණ සඳහා , “උවැසියෙනි ! ඒ ආවෝ තොපගේ ශාස්තෘ වූ මහ බඹු යැ”යි කී කල්හි, “පුතණුවෙනි ! තෙපි මාගේ ශාස්තෘ වූ මහබඹු ටත් වැඩියෙන් උතුම් දැයි ඇසු කල්හි, “උවැසියෙනි! කුමක් දොඩව් ද ? අප බුදුන් උපන් කල්හි උහු සිව් දෙනෙක් පැමිණ ඒ මහ පුරිසා රුවන් දැලින් පිළිගත්තා හු යයි වදාළ සේක.

අනතුරුව මහබඹු ගේ පහත් බවත් තෙරුන් වහන්සේගේ උසස් බවත් ඇසු ඒ මව් බැමිණි තොමෝ සිතන්නී “මාගේ පුතනුවන්ගේ මහිමය්ස් ඉතා මහත් වන්නේය. මාගේ ශාස්තෘන්වහන්සේ ගේ ආනුභාවය ඉතා අල්පය” යනාදී වශයෙන් සිතන්නා වූ ඕ තොමෝ සත් වණක් ප්‍රීතියෙන් පිනා ගියාය. ඒ බව දත් මහ තෙරුන් වහන්සේ මාගේ මෑණියන්ට දහම් දෙසීමට මේ සුදුසු කල් වන්නේ යැයි සිතා ඇය අමතා, “උවැසියනි ! කුමක් සිතව් දැ”යි විචාල සේක.

එබසට උවැසියෝ තමා සිත සිතා හුන් කාරණය කීවාය.එකල්හි මහතෙරුන් වහන්සේ ඇයට ඉතිපිසෝ භගවා යනාදීන් නොයෙක් ලෙස බුදු ගුණ වදාරා දහම් දෙසු සේක. ඒ දහම් දෙසුම් අසා ඕ තොමෝ සෝවාන් ඵලයෙහි පිහිටා තෙරුන් වහන්සේට කියන්නී, “පුත ! උපතිස්සයෙනි ! මෙතෙක් කල් මට මේ අමා සැප නොදෙවූයේ ඇයි දැ”යි විචාලාය. එවිට තෙරුන් වහන්සේ තමන් වහන්සේ විසින් ඇයට දිය යුතු දෑ දෙන ලදැයි සිතා ඇය පිටත් කර යවා චුන්දයන් අමතනුයේ, “චුන්දයෙනි ! දැන් වෙලාව කෙසේ දැයි අසා වදාළ කල්හි “ස්වාමිනි ! දැන් ඉතා අලුයම් ය”යි දැන්වුහ.

එවිට තෙරුන් වහන්සේ එසේ නම් චුන්දයෙනි භික්ෂුන් කැඳවව! යි කී සේක. චුන්ද තෙරුන් වහන්සේද ඔබ හැම කැඳවා තෙරුන් වහන්සේට දැන්වුහ. එකල්හි තෙරුන් වහන්සේ, “චුන්දයෙනි! මා ඔසවා හිඳුවව!”යි කී සේක. චුන්ද තෙරුන් වහන්සේද උන් වහන්සේ වඩා හිදවු පසු භික්ෂුන් අමතා, “ඇවැත්නි ! සිව් සාලිස් වසක් මුළුල්ලෙහි මා හා හැසිරෙන්නාවූ තොපට මාගේ තුන් දොරින් නොරුස්නා දෙයක් වී නම් කමා කරව්” යි කී කල්හි , “ස්වාමිනි ! අපට ඔබ වහන්සේගෙන් සිදු වූ කිසිදු කිසි නොරුස්නා දෙයක් නම් නැත්තේය” යි කියා ස්වාමිනි ! මේ සිව් සතලිස් හවුරුදු මුළුල්ලෙහි අප අතින් ඔබ වහන්සේට නුරුස්නා දෙයක් වී නම් කමා කල මැනව”යි කීහ.

ඉක්බිති මහතෙරුන් වහන්සේ සිව්ර මදක් පහත කොට දකුනැලයෙන් හේවා නවානුපුර්ව විහාර සමාපත්තීන්ට සම වැඩ නැවත පිලිවෙලින් සිව් වැදෑරුම් ධ්‍යානයනට සම වැද පිළිලොම් වශයෙන් ද සම වැද ඉන් නැගී මහ පොලොව කම්පා කරමින් නිරුපධිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. තෙරුන් වහන්සේ පිරිනිව් බැව් දත් මව් උවැසි තොමෝ නොයෙක් අයුරින් හඬා වැළපෙමින් දන් පින් කිරීමට නොහැකි වූ බැව් කිය කියා පහන් වූ කෙනෙහිම රුවන් කරුවන් කැඳවා රුවන් ගබ හරවා රන් දී පන් සියයක් පන් සියයක් බැගින් රුවන් කුළු ගෙවල් හා රුවන් ඇගෑ තනවා නුවර මැද මහත් වූ මඩුවක් කරවා රුවන් මුවා මහ කුළු ගෙය ඊ මැද තබ්බවා සෙසු කුළු ගෙවල් ද ඒ පිරිවර කොට තබා නොයෙක් දහස් ගණන් දෙවි මිනිසුන් මැද සාධු ක්‍රීඩා ඇරඹුවාය.

මහ තෙරුන් වහන්සේ ගේ රේවතී නම් උවැසියක් තොමෝ රුවන් මල් කරවා තෙරුන් වහන්සේ ඔඉදුවාය. අසු තුන් ලක්ෂයක් දෙවඟනන් පිරිවර සමග සක් දෙව් රජහු දෙව් ලොවින් බට. එකල්හි එහි රැස්ව හුන් පිරිස සක් දෙව් හා පැමිණි දෙවගනන්ට ඉඩ දෙම්හයි පිරිස් තළ තළා ඉවත් වුහ.ඒ අතරෙහි වූ රේවතී උවෑසි තොමෝ තමන් ගැබ් ඇති බැවින් වහා යා ගත නොහී ඒ පිරිස් මැද වැටුණි. තෙරපි තෙරපි ඉවත්වන ඒ මිනිසුන්ගේ පා වලින් මඩනා ලදුව ඉන් ම කළුරිය කොට තව්තිසාවෙහි රන් විමනෙක උපන්නාය. ඕ තොමෝ තමා ලත් සම්පත්තියට කාරණා සිතන්නි සැරියුත් මහ තෙරුන් වහන්සේ පිරිනිවී කල්හි එම ශ්‍රී දේහය රුවන් මලින් පිදුවා වූ පිණින් මේ සා මහත් වූ දෙව් සැපත් ලදුයේ වෙමියි තමා කළ කම් දැක ඒ සම්පත්තිය මිනිසුන්ට දන්වනු කැමැත්ති තමා උපන් රන් විමනත් සමගම මිහි ලොවට බටුවාය. ඇයගේ හා විමනෙහි ආලෝකයෙන් විස්මයට පත් මිනිස් ගණයා විසින් විචාරණ ලද්දී සියලු පවත් කියා තෙපිත් මෙවැනි සම්පත් ලබනු කැමැත්තාහු නම් නොපමාව පින්කම් කරව් ‘යැයි කියා දෙව් ලොවටම ගියාය.

මහජනයාද සත් දවසක් මුළුල්ලෙහි සාධු ක්‍රීඩා පවත්වා නවානුරියන් උස වූ චිතකයක් කරවා මහතෙරුන් වහන්සේ ගේ ශ්‍රී දේහය එහි තැන්පත් කරවා චිතකයට ගිනි දල්වුහ.අනුරුද්ධ මහතෙරුන් වහන්සේ සුවඳ පැන් ඉස චිතකය නිවාලූ පසු මහතෙරුන් වහන්සේට උවැටන් කල චුන්ද තෙරුන් වහන්සේ, මහතෙරුන් වහන්සේගේ ධාතු ගෙන පෙරහනෙක බහා මේ සියළු පුවත් බුදු රජාණන් වහන්සේට සැළ කරමි’යි සිතා ඒ ධාතුන් වහන්සේලා හා මහතෙරුන් වහන්සේගේ පා සිව්රු ද ගෙන සැවැත් නුවර බලා වඩිනා සේක් දෙව්රම් වෙහෙර දොරටුව වෙතට ගොස් මනාව හැඳ පොරවා ආනන්ද මහතෙරුන් වෙතට එළඹ වැඳ එකත්පස්ව හිඳ ඒ සියළු පුවත් සැල කොට , සැරියුත් මහතෙරුන් වහන්සේ ගේ ශාරීරික ධාතුන් වහන්සේලා හා පාරිභෝගික ධාතු වූ පා සිව්රුද පෙන්වීය, එකල්හි ආනන්ද මහතෙරුන් වහන්සේ චුන්ද තෙරුන් කැඳවා ගෙන බුදු රජාණන් වහන්සේ වෙතට එළඹ වැඳ එකත් පසෙක සිට සංවේගයෙන් යුතුව සැරියුත් තෙරුන් වහන්සේ පිරිනිවන් පා වදාළ බව කියා උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා හා පාරිභෝගික ධාතුන් වහන්සේලාද පෙන් වූ සේක.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ එම ශාරීරික ධාතුන් වහන්සේලා තම හස්තයෙන් පිළිගෙන වදාරා, භික්ෂුන් අමතා, “මහණෙනි ! මීට පෙර දිනෙක නොයෙක් දහස් ගණන් පෙළහර පා ධර්ම දේශනා කොට පිරිනිවන් පානා පිණිස ගියාවූ යම් භික්ෂු කෙනෙක් වෙත්ද, ඒ සැරියුත් භික්ෂු තෙමේ පිරිනිවීයෙය, මේ ඔහුගේ සුදුවන් වූ ධාතුහු “යැයි දක්වා වදාරා

මතුයෙහිත් සැරියුත් මහා තෙරුන් වහන්සේ ගේ ගුණ වදාරණ සේක් –

“මහණෙනි! පිරිනිවියාවූ ඒ සැරියුත් භික්ෂු තෙමේ එකා සංක්‍ය කල්ප ලක්ෂයක් තැන් පටන් පාරමී ධර්මයන් මොනවට පිරුවෙකි. මා අනුවම කල දහම් දෙසුම් ඇත්තෙකි. මට පමණක් දෙවෙනි වූ මහා නුවණැතියෙකි . අපිස් සතොස් වූවෙකි. විවික්තයෙකි. කුලෙහි හා ගෙණෙහි නොඇලුනෙකි. සම්පුර්ණ කල වීර්‍යය ඇත්තෙකි. යනාදී වශයෙන් උන් වහන්සේගේ ගුණ වර්ණණා කොට වදාරා,

“මහණෙනි ! මාගේ ශ්‍රාවක වූ තොප හැමගේ දෙටු බෑයන් වූ
ඒ භික්ෂුවගේ ශාරීරික ධාතු බලව්” යැයි වදාරා, ඔබ්බෙහිදු,

යො පබ්බජි ජාති සතානි පංච ,
පහය කාමානි මනොරමානි,
තං වීතරාගං සුසමාතින්ද්රියං,
පරිනිබ්බුතං වන්දථ සාරිපුත්තං”

යනාදී වශයෙන් ගාථා පන්සියයකින් සැරියුත් මහා තෙරුන් වහන්සේගේ ගුණ වර්ණනා කොට උන් වහන්සේගේ ධාතු පුජා කිරීම සඳහා පිරිසගේ සිත් යොමු කරවා වදාළ සේක.

සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ චරිතාපදානය නිමියේ …!

සාධු… සාධු… සාධු…

සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා පිළිබඳව අප ආර්ය පටිපදා වෙබ් අඩවිය තුල ඇති තවත් සඳහම් ලිපි රචනාවන්.

මෙම ලිපිය සහ ඡායාරූප උපුටා ගන්නා ලද්දේ අන්තර්ජාලය ඇසුරෙනි. 

අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම ලිපිය සහ ඡායාරූප හුදෙක්
ධර්ම දානයක් ලෙස ඉදිරි ඉදිරිපත් කරන ලදී.

මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද, එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන්, ප්‍රථමයෙන් මෙම ලිපිය සහ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පින්වත් ස්වාමීන් වහන්සේලාට, පින්වත් මහත්ම මහත්මීන් වෙතට, එසේම මෙම ලිපිය ඔබ වෙත පිරිනමන මා හට ද, මෙසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.

මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!

සාදු… සාදු… සාදු…

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org