Mugalan Maha Rahathan Wahanse

03
මහා මොග්ගල්ලාන (මුගලන්) මහ රහතන් වහන්සේ

මෙම ලිපිය සහ ඡායාරූප උපුටා ගන්නා ලද්දේ අන්තර්ජාලය ඇසුරෙනි. 

Mugalan Maha Rahathan Wahanse – මුගලන් මහ රහතන් වහන්සේමහා මොග්ගල්ලාන (මුගලන්) මහ රහතන් වහන්සේ දෙවන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ මතුදු නොව සෘද්ධිලාභින් අතරෙන් අග්‍රස්ථානයෙහි ලා වදාළ වමත් සව වහන්සේ වූ සේක.

මෙයින් එකාසංක්න්ඛ්ය කල්ප ලක්‍ෂයකින් යට දෙවෙනි අග සව් තනතුරු පතා පෙරුම් පුරමින් ආ මුගලන් මහා තෙරහු එක් අත් බවෙක අඳවූ මව් පියන් රකිනුයේ ගිහි බැම්මෙන් බැඳුනහොත් සිත් සේ මවු පියන් රැකගත නොහෙමි යි සිතා නිරතුරුවම අන් කිසිවක් නොකොට මවු පියන් හට උවැටන් කරන්නේ දිනක් මවු පියන් විසින්. “පුතණුවෙනි! මෙලෙසින් තනිව විසීම තොපට නුසුදුසුය.සුදුසු කුලයකින් සරණක් කොට ගෙන වසව්!”යි කී කල්හි , එසේ කළහොත් ඔබට උවැටන් කරනු වෙනුවට අන්දරයක් කොට අපාය භාග් වීමට ඉඩ ඇති හෙයින් එය කිරීමට නොකැමතිවත් කීප විටක්ම පිළිකෙව් කොට , පුන පුනාදෙමව්පියන් විසින් කියනලද හෙයින් එයට අවනතව සරණක් කොට ගත්තේය.

එසමයෙහි උහු බිරින්දෑද එහි ටික දිනක් නැදී මයිලන්ට උවැටන් කරමින් සිට , පසුව ඔවුන්ගේ දැකීම පමනුකුදු නො ඉවසන්නී ඔවුනට මෙහෙ කිරීමට නොහැකිය යි හිමියාට දන්වනුයේ, “නුඹ හා ආ දීග මුත් නුඹගේ දෙමව්පියන් හා ආ දීග මට නැත. නුඹට කල යුතු දෑ කරමි. මුන්ට මෙහෙ මිරීමට මට නොහැකිය” යැයි පිළිකෙව් කල නමුදු සැමියා ඒ පිළි නොගන්නා හෙයින් ඔහු ගෙයින් පිටත ගිය කල නොයෙක් කැත කුණු විසුරුවා ගෙය අපිරිසිදු කොට සැමියා ගෙට ආ කල්හි ඒ පෙන්වා ඔහුගේ දෙමව්පියන්ගේ අගුණ නොයෙක් අයුරින් කියා, “අනේ! මොවුන් හා විසීමෙක් මා හට කිසි කලෙක ත් නොවේවා! හිමියෙනි! ඔබ ඔබගේ මේ දෙමව්පියන් හා සුවසේ මෙහි වාසය කළ මැනව, මම අදම මෙයින් බැහැරව යන්නෙමි” යි කීවාය. එසේ කියා ඒකාසංඛ්‍යා කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි ම පුරන ලද පෙරුම් දම් ඇති ඒ මහා පුරුෂයාණන් දෙමව්පියන් කෙරෙහි බිඳවා ගත්තී. ඒ මහ සතාණෝ ද ඔවුනට කළයුතු දෙය දනිමි’යි කියා මව් පියන්ට කවා පොවා උවැටන් කොට කියනුයේ, “මෑණියෙනි! පියාණෙනි! ඔබගේ ගම්හි නෑයෝ නුඹලා දකිනු කැමැතියහ”යි කියා එහි යම්හ යි රියකට නංවා කැඳවා ගෙන යනුයේ මහා වන මැදට පිවිස මව් පියන් වංචා කරමි’යි සිතා “මෑණියෙනි ! පියාණෙනි ! මෙහි සොරු ඇත. මම රියෙන් බැස ඉදිරියෙහි සොරුන් ඇති නැති බැව් දැන ගනිමි’යි කියා මව් පියන් අතට රෑන දී ගොනුට සන් කරනා නියා කියාදී රියෙන් බැස පියා මදක් ඔබ්බට ගොස්, සොරුන් ඇති නියාව හඟවා සිටි කල්හි, අඳ මව් පියෝ මුර ගා කියන්නාහු, “පුතණුවෙනි ! අපි මාළුව ගියම්හ. අප නැසුනත් නුඹ සොරුන්ගෙන් බේරී යව මැනව’යි කීහ.

එබස් ඇසු උහු තෙමේ වනාහි දෙමව්පියන් රක්නා වෙනුවට –

“බලවන්තෝ දුබ්බලා හොන්ති -තාමවන්තොපි හායරේ,
චක්ඛුමා අන්ධිතා හොන්ති-මාතු ගාම වසන්ගතා.

ගුණවන්තෝ නිග්ගුනා හොන්ති – පඥඥවන්තොපි හායරේ,
චක්ඛුමා අන්ධිතා හොන්ති-මාතු ගාම වසන්ගතා.

මුට්ඨාස්සතිං තා බන්ධන්ති – පෙක්ඛිතෙන මිහි තෙනව,
අතෝපි දුන්නිවත්තෙන – මඥඥනා හනිතෙනච,

අලක්තකෝ යථා රක්තෝ නිෂ්පිඩය පුරුෂසතා,
අබලාහිර් බලාද්‍රක්තා – පාදමුලේ නිපාත්‍යතෙ”

යන මෙහි පිහිටි තමා හදා වැඩු දෙමව්පියන් ගැන කිසි දයාවක් නොකොට සොරෙකු මෙන් සෙයින් අවුත් අඳ මව් පිය දෙදෙන රියෙන් ඇද තළා පෙළා මරා පියා එහිම දමා රියට නැගී පෙරළා ගෙට ගොස් බිරින්දෑ සමග කල් යවා එයින් මිය ගොස් –

“මායා මරිචි ජල චන්ද්‍ර තරංග කල්පා,
කාමා ජිනෙන ගදිතා විහවා ස්ත්රියාගච,
ස්වාප්නාන්ත දුර්ලලිත විබ්‍රඹ විප්‍රල මහා
බාලා පතන්ති නිරයෙශ්වපි යෙෂු සක්තාං”

යනුවෙන් බුදුන් විසින් මායා, මරිචි, ජල චන්ද්‍ර, තරංග හා සමාන කොට දක්වන ලද, සිහිනයකට
බඳු උපමා ඇති, කාමයෙහි ඇලී ගැලී වසන්නාවූ, අන්ධබාල ජනයෝ නරකයෙහි වැටෙති යයි උගන්වා වදාළ පරිදිම නරකයෙහි ඉපිද අති භයානක වූ නිරා දුක් විඳ, ඉන් සැව ආත්ම සියයෙක්හි දීම අනුන්ගෙන් බැට කා මහත් දුක් විඳිමින් සසර සැරිසරා පුර්වයෙහි කරණ ලද ප්‍රාර්ථනා හා පුරණ ලද පෙරුම් ඇති බැවින් අප තිලෝගුරු භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ උපන් සමයෙහි ඉපද උන්වහන්සේගෙන් බණ අසා පැවිදිව ධ්‍යාන වඩා සියළු ක්ලේශ ධර්මයන් සිඳ දමා රහත් බවට පැමිණ බුදුන් විසින්ම සෘද්ධිමතුන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තබා වදාරණ ලදුව දෙව් බඹුන් සහිත ලෝකයා කෙරෙහිම අනුකම්පා උපදවා සත්වානුග්‍රහය කෙරෙමින් වැඩ වසන සේක.

එසමයෙහි ලාභ සත්කාරාදියෙන් පිරිහුණු අන්තොටු පිරිවැජියෝ රැස්ව ඔවුනොවුන් මෙබඳු කථාවක් කළහ. “ඇවැත්නි ! මහණ ගොයුම් හට ලාභ සත්කාර දින දිනම වැඩෙන්නට හේතුව නම් මහත් වූ සෘද්ධි ඇති මුගලන් මහ තෙරනුවෝමය. උහු වනාහි දෙව් ලොවට ගොස් දෙවියන් විසින් කළ පින් කම් අසාගෙන අවුත් මෙනම් මෙනම් පින්කම් කිරීමෙන් මෙනම් මෙනම් සැප ලබති යි මිනිසුන් හට කියා ඔවුන් ලවා නොයෙක් පින් කම් කරවයි. එයින් ද මහණ ගොයුම් හට ලාභ සත්කාර වඩනේමය. නිරයට ගොස් මොහොතකට නිරා ගිනි නිවා එහි නිරා දුක් විඳිනා නිරී සතුන් වෙතින් පෙර කරණ ලද පාප කර්මයන් අසා දැන අවුත් මේ මේ පව් කම් කොට මේ මේ දුක් විඳිති යි මිනිසුන් හට කියා ඔවුන් පාප කර්මයන් ගෙන් වළකයි. එයිනුත් මහණ ගොයුම් හට ලාභ සත්කාර වැඩෙන්නේමය.

කිසියම් උපායකින් ඒ මුගලන් තෙරහු මරවා පූ නම් එම ලාභ සත්කාර අපටම ලැබෙන්නේය යැයි කියා ඒ සියළු පිරිවැජියෝම එක්ව තමන්ගේ ශ්‍රාවකයන්ගෙන් කහවණු දහසක් ලබාගෙන මනුෂ්‍ය ඝාතක සොර මුලක් වෙතට ගොස් කියන්නාහු , “මිතුරනි ! මේ කහවණු දහස ගෙන කාල සිලා වෙහි වෙසෙන මහණ ගොයුම් හු ගේ සව් වූ මුගලන් මහ තෙරුන් මරව් යයි කීහ.

පියෙවි ඇස් ඇතත් වස්තු කාමයෙන් අන්ධව කටයුතු, නො කටයුතු දැන ගැනීමෙහි අසමත් වූ ඒ සොර මුල මුගලන් මහ තෙරුන් මැරීමට ගොස් උන්වහන්සේ වැඩ සිටි කාල සිලාව වටලා ගත්හා. ඔව්හු එසේ වටලු බව දත් තෙරුන් වහන්සේ කෙසි සිදුරෙන් නික්ම බැහැරට වැඩි සේක. ඔව්හුද තෙරුන් වහන්සේ නොදැක, පෙරළා ගොස් නැවත දිනෙක පැමිණ පෙර නියායෙන්ම උන්වහන්සේ වැටලුහ . මහතෙරුන් වහන්සේ එදවස් ද අහසට පැන නැගී සේක. සොර මුල වෙහෙසුනු නමුදු පළමු මාසයෙහිද දෙවෙනි මාසයෙහිද , තෙරුන් වහන්සේ අල්වා ගත නුහුනුවෝ තෙවෙනි මසෙහිද තෙරුන් වහන්සේ අල්වා ගැණීම සඳහා ගියහ.

එකල්හි මහ තෙරුන් වහන්සේ සිතන සේක් මේ වූකලී මා විසින් පෙර අත් බැවෙක දී කළ කර්ම විපාකය කැයි දැන සොරුන් වළහා සෘද්ධි බලයෙන් කැමැති තැනකට වැඩිය හැකි වුවත් කර්ම විපාකය නොවැලැක්විය හැකි බැවින් හොරුන්ට නොපෙනෙන ලෙසකුදු නොකොට එහිම වැඩ හුන් සේක. සොරහු වනාහි මහ තෙරුන් වහන්සේ වට කොට රැස්ව නොයෙක් ලෙසින් පීඩා කෙරෙමින් ගසා පියා ඇට බිඳ දමා මළහ යයි සිතා මහ තෙරුන් වහන්සේ ඔසවා සඟවාලා නික්ම ගියාහුය.

එකල්හි මහ තෙරුන් වහන්සේ සොරුන් විසින් ගසා තලා දුබල කල හෙයින් සිරුරු බලයක් නැතත් චිත්ත බලය ඇති හෙයින් සියළුම ශරීර වේදනාවන් ඉවසා, “මාගේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ දැක උන්වහන්සේට ත් කියා වැඳ අවසරගෙනම පිරිනිවන් පාමි” යි සිතා සොරුන් විසින් තලා සුණු කරණ ලද සිරුරට බල නැති හෙයින් තමන් වහන්සේගේ චිත්ත බලයෙන් සිරුර බල ගන්වා සෘද්ධි විෂයෙහි ශ්‍රේෂ්ඨ උතුමාණ කෙනෙක් හෙයින් අහසින්ම වැඩමවා බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණ වැඳ එකත් පසෙක සිට චක්‍රවරති මහා රාජයක් හු ඉදිරියෙහි වූ ප්‍රාදේශීය නරපතියෙකු සෙයින් මහත් ගෞරවාදර ඇතිව “ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස ! ආයු සංස්කාරය හළෙමි. පිරිනිවන් පාමි” යි දන්වා සිටි සේක.

එවිට සර්වඥයන් වහන්සේ, “මොග්ගල්ලානයෙනි ! තොප ආයු සංස්කාරය හැර පිරිනිවන් පාන්නාහු දැ”යි අසා වදාළ කල්හි තෙරුන් වහන්සේ, “එසේය ස්වාමිනි! පිරිනිවන් පාමි” යි කී සේක. “මොග්ගල්ලානයෙනි ! තොප කොහිදී පිරිනිවන් පාව් දැයි පුළුවස් කල්හි , “ස්වාමිනි ! කාලසිලා වෙහිදී ය”යි කී සේක. එවිට බුදු රජාණන් වහන්සේ, “මෙයින් පසු තොප වැනි වූ ශ්‍රාවකයෙකු අපට දක්නට නොලැබේ මය. එසේ හෙයින් අපට දහම් දෙසුව මැනව “යි වදාළ සේක. එකල්හි මහ මුගලන් තෙරුන් වහන්සේ බුදුන් වැඳ අවසර ගෙන අහසට පැන නැගී තමන් වහන්සේ සෘද්ධි විෂයෙහි අග තැන්පත් සෙයින් සෘද්ධි ප්‍රාතිහාර්ය දක්වමිනි සැරියුත් මහ තෙරුන් වහන්සේ හෙයින් ම ධර්ම දේශනා කර වදාරා සර්වඥයන් වහන්සේගෙන් සමුගෙන තමන් වහන්සේ වැඩ සිටි කාලසිලා වටම වැඩමවා එහිදී අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක.

මෙසේ මහ තෙරුන් වහන්සේ පිරිනිවන් පා වදාළ පසු “සොරුන් විසින් මුගලන් තෙරුන් වහන්සේ මරා දමන ලදහ”යි යන කථාවෙක් නුවර වස්සන් අතර උපන්නේය. එම කථා ප්‍රවුර්තිය දඹදිව පුරා පැතිර ගියේය. එම කථාව ඇසු පිතෘ ඝාතක වූ අජාසත් රජ්ජුරුවෝ මුගලන් මහ තෙරුන් වහන්සේ මැරූ සොරුන් ඇල්වීම සඳහා පුරුෂයන් යෙදවුහ. ඒ පුරුෂයෝ ද නුවර තැන තැන ගොස් සොරුන් ගැන සෝදිසි කරමින් යන්නාහු සුරා සැළ අසලට රැස්වැන්නවුන් ගැන සෝදිසි කරණු සඳහා ඒ අසලට වී හුන්නාහ.

ඒ අතරෙහි මුගලන් මහ තෙරුන් වහන්සේට පහර දුන් ඒ සොරහු ද සුරා සැලට ගොස් සුරා පානය කරණුවෝ සුරා මතින් මත්ව ඔවුනොවුන් සන්ඩු කරන්නාහු එකෙක් එකෙකුගේ සුරා බඳුනට ගසා හෙලාපීය. එවිට උහු කිපී කියනුයේ, හෙම්බල ජඩය! තෝ මාගේ සුරා බඳුනට ගසා කුමට හෙලා පී ද? මුගලන් මහ තෙරුන්ට පළමුව පහර දුන් තැනැත්තේ තෝ පමණක් ද? මා පහර නුදුන්නේ වේ දැයි කීය.

ඌ එසේ කියත්ම රජතුමා විසින් මෙහෙයවනු ලදුව උන් ගැන සෝදිසියෙන් සිටියාවූ පුරුෂයෝ උහු හැම දෙන අල්වා තළා පෙළා සිරකොට ගෙන ගොස් රජතුමාට දැක්වුහ. එසඳ රජ්ජුරුවෝ, ” මුගලන් මහ තෙරුන් වහන්සේ මැරූයේ තෙපිදැ”යි විචාරා එසේය යි කී කල්හි, “තොපිම සිතා මැරූහුද? නැතිනම් කිසිවෙකුගේ මෙහෙයවීමෙන් මැරුහු දැ”යි විචාළහ. එවිට, “දේවයන් වහන්ස ! නිගටුන්ගේ අණින් මැරූවෙමු”යි කී කල්හි, රජ්ජුරුවෝ පන්සියයක් නිවටුන් ගෙන්වා සොරුන් හා සමග දහසක් පමණ වූ හැම දෙන සොහොනෙහි නාභිය තෙක් වළලා පස් තලා තද කොට ඊ මත පිදුරු අතුරා උදේනි රජ්ජුරුවන් මාගන්දිය නම් බැමිණිය ගේ ඥාතීන්ට කරවූ වධය ලෙසින්ම ගිනි ගස්වා දා ගිය නියාව දැන අයෝමය නගුල් වලින් සාවා සුණු විසුණු කරවුහ.

දිනක් දම් සභාවෙහි රැස්ව හුන් වහන්දෑ ද, “ඇවැත්නි! මුගලන් මහ තෙරුන් වහන්සේ පිරිනිවී අයුරු උන් වහන්සේට තරම් නොවේය”යි කථා කරමින් හුන්හ. බුදු රජාණන් වහන්සේ එම කථාව අසා වදාරා, “මෙකල මෙසේ මිය යාම මුගලන් තෙරුනට පමණ නොවන මුත් කෙලෙස් සහිතව සිටිය්ර් නම් උන්ට පෙර කළ කම් ලෙසින් ඒ සුදුසුමය යයි වදාරා , භික්ෂුන් විසින් අයාචිත කල්හි පෙර කළ ඒ අකුශලය මෙහි පෙර දැක්වූ ලෙසින් විස්තර කොට වදාළ සේක.

පුජනීය කිරිඇල්ලේ ඥාණවිමල ස්වාමිපාදයන් වහන්සේ විසින් කල
මහා මොග්ගල්ලාන (මුගලන්) මහ රහතන් වහන්සේගේ චරිතාපදානය නිමියේ …!

සාධු… සාධු… සාධු…

සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා පිළිබඳව අප ආර්ය පටිපදා වෙබ් අඩවිය තුල ඇති තවත් සඳහම් ලිපි රචනාවන්.

මෙම ලිපිය සහ ඡායාරූප උපුටා ගන්නා ලද්දේ අන්තර්ජාලය ඇසුරෙනි. 

අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම ලිපිය සහ ඡායාරූප හුදෙක්
ධර්ම දානයක් ලෙස ඉදිරි ඉදිරිපත් කරන ලදී.

මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද, එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන්, ප්‍රථමයෙන් මෙම ලිපිය සහ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පින්වත් ස්වාමීන් වහන්සේලාට, පින්වත් මහත්ම මහත්මීන් වෙතට, එසේම මෙම ලිපිය ඔබ වෙත පිරිනමන මා හට ද, මෙසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.

මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!

සාදු… සාදු… සාදු…

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org