80 Greatest Disciples Of Buddha

තෙරුවන් හඳුනා ගනිමු

අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත “පොහොය දිනය” ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී.

රත්නත්‍ර‍ය:

ලෝකයෙහි ඇත්තා වූ ආගම් අතුරෙන් බුද්ධාගම යහපත් ශාස්තෘවරයෙක් ඇත්තා වූ ද, යහපත් ධර්මයක් ඇත්තා වූ ද, යහපත් ශ්‍රාවක පිරිසක් ඇත්තා වූ ද ආගම ය. බුද්ධාගම පිළිබඳ වූ ඒ ප්‍ර‍ධානාංග තුනට රත්නත්‍ර‍ය යයි කියනු ලැබේ. තෙරුවනය යනු ද එයට නමකි.

රත්න යනු සත්ත්වයන් විසින් බොහෝ උසස් කොට සලකන්නා වූ ද, බොහෝ ප්‍රයෝජනවත් වූ ද එ හෙයින් ම බොහෝ වටිනාකම ඇත්තා වූ ද, දුර්ලභ වූ ද, කලාතුරකින් ම දක්නට ලැබෙන්නා වූ ද, උසස් පුද්ගලයන් පරිභෝග කරන්නා වූ ද, රන් රිදී මුතු මැණික් ආදියට ව්‍යවහාර කරන නමෙකි.

තථාගතයන් වහන්සේ ය, උන් වහන්සේගේ ධර්මය ය, උන් වහන්සේගේ ශ්‍රාවක සමූහය ය යන මේ වස්තු තුනට වඩා සත්ත්වයන්ට පිහිට වන්නා වූ ප්‍රයෝජනවත් වූ වස්තුවක් හෝ පුද්ගලයෙක් හෝ ලෝකයේ කොතැනක වත් නැත්තේ ය. එ බැවින් ඒ බුද්ධාදි උත්තම වස්තු තුනට රත්න ය යි කීම අතිශයින් ම යුක්ති යුක්තය.

බුද්ධාගම්කාරයන් විසින් ඒ රත්නත්‍ර‍ය මනා කොට නො හැඳින ගතහොත් තමන් අදහස ආගම සත්‍ය වශයෙන් ම පරලොවට පිහිට කර ගත හැකි ආගමක් ද යන බව ඔවුනට නො දත හැකි ය. වන්දනාමානාදි ඔවුන් කරන පින්කම් ද මහත්ඵල වන සැටියට නො කළ හැකි ය. රත්නත්‍ර‍ය හැඳින ගැනීම බුද්ධාගම ඇදහීමේ අත්තිවාරම ය. රත්නත්‍ර‍ය නො හඳුනන තැනැත්තා කරන පින්කම් අත්තිවාරමක් නැති ව තැනූ ගොඩනැගිල්ලක් සේ දුබල ය. එබැවින් පරලොව සැප පතන හැම දෙනා විසින් ම රත්නත්‍ර‍ය හැඳින ගත යුතුය.

බුද්ධ රත්නය:

ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි රැස් කළ පින් බෙලෙන් සියලු පව් නසා සියල්ල දැන වදාළා වූ කපක් මුළුල්ලෙහි කීවද ඉවර නො වන ගුණ ඇත්තා වූ මහෝත්තමයන් වහන්සේ බුද්ධ නම් වන සේක.

ලෝකයෙහි ඇත්තා වූ පදවි අතුරෙන් සියල්ලට ම උසස් පදවිය බුද්ධ පදවිය ය. එය ලැබීමට යටත් පිරිසෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි ධන පරිත්‍යාග, පුත්‍ර‍ පරිත්‍යාග, භාර්‍ය්‍යා පරිත්‍යාග, අංග පරිත්‍යාග, ජීවිත පරිත්‍යාග යන මේවා කරමින් පෙරුම් පිරිය යුතුය. එය ඉතා උදාර අදහස් ඇති මහා වීරයකුට හිම සැමට ම කළ හැකි වැඩක් නො වන බැවින් ලෝකයෙහි බුදු කෙනකුන් පහළ වන්නේ ඉතා දීර්ඝ කාලයකිනි.

බුදුරජාණන් වහන්සේ ආශ්චර්‍ය්‍ය පුද්ගලයෙකි. උන් වහන්සේ ගේ ගුණ තබා ශරීරය ද ප්‍ර‍මාණ කළ නොහේ. කොපමණ උස කෙනකුට වුව ද උන් වහන්සේගේ හිස් මුදුන නො බැලිය හැකි ය.

ලෝකයෙහි සැමට ම වඩා ශෝභන තැනැත්තා ද උන් වහන්සේ ම ය. මිනිස් ලොව තබා දෙව්ලොව බඹලොව ද රූප ශෝභාවෙන් උන් වහන්සේට වැඩි කෙනකු තබා සම කෙනෙක් ද නැත. උන් වහන්සේගේ ශරීරය රන්වන් ය. ඔප නැඟූ රන් කඳක් සේ දිලිසෙන්නේ ය. එයින් නිල් කහ රතු සුදු රැස් විහිදෙන්නේ ය. මදට පැහැය ඇත්තා වූ ද කලවම් පැහැය ඇත්තා වූ ද රැස් විහිදෙන්නේ ය.

සියලු කෙලෙසුන් නැසූ බැවින් උන්වහන්සේ ගේ සිත අති පරිශුද්ධ ය. කරුණාවෙන් තෙත් ය. තමන් වහන්සේගේ පුත්‍ර‍ වූ රහල් කුමරුවන් කෙරෙහි මෙන් ම දේවදත්තාදි සතුරන් කෙරෙහි ද උන් වහන්සේගේ මහා කරුණාව නොවෙනස් ව පවත්නේ ය. කිසි වස්තුවක් කෙරෙහි හා කිසි ම පුද්ගලයකු කෙරෙහි ද උන් වහන්සේ ගේ ඇල්මක් නැත. දේවදත්තාදි සතුරන් කෙරෙහි ද උන් වහන්සේගේ වෛරයක් නැත. උන් වහන්සේ සතුරු මිතුරු සැම දෙනාට ම යහපතක් ම කරන සේක.

උන් වහන්සේ අතීතානාගත වර්තමාන යන කාලත්‍ර‍යට අයත් වූ කාලමුක්ත වූ ද සියල්ල දත් සේක. උන් වහන්සේගේ දිවැසට කොතරම් දුර තිබෙන දෙයක් වුව ද කොතරම් සියුම් දෙයක් වුව ද පෙනෙන්නේ ය. උන් වහන්සේගේ දිවකනට ඉතා දුර ශබ්ද හා පියවි කනට නො ඇසෙන ශබ්ද ද මැනවින් ඇසෙන්නේ ය. උන් වහන්සේට අනුන්ගේ සිත් අනුන්ගේ අදහස් අනුන්ගේ ගති ගුණ පෙනෙන්නේ ය. මැරෙන්නන් උපදින තැන පෙනෙන්නේ ය. ඒ ඒ ඉපදීම්වලට හේතු වන පින් පව් පෙනෙන්නේ ය.

උන් වහන්සේගේ සෘද්ධිය ඉතා ආශ්චර්‍ය්‍යවත් ය. උන් වහන්සේට දියගිනි සුළං ආදි ඕනෑ ම දෙයක් සිතින් මැවිය හැකි ය. කැමති වෙසක් මවා ගත හැකි ය. පොළොවෙහි මෙන් ම අහස්හි ද සියලු ඉරියව් පැවැත්විය හැකි ය. ජලයෙහි ද පොළොවෙහි මෙන් සියලු ඉරියව් පැවැත්විය හැකි ය. වක් කළ අතක් දිගු කරන්නාක් මෙන් සැණෙකින් ලෝකයේ ඕනෑම තැනකට යා හැකි ය. නො පෙනී ද විසිය හැකි ය.

උන් වහන්සේගේ ධර්ම දේශනය ඉතා ආශ්චර්‍ය්‍යවත් ය. දහම් දෙසන්නා වූ උන් වහන්සේගේ මුහුණ සතර දිශාවෙහිම සිට දහම් අසන සෑම දෙනාට ම නො වෙනස්ව පෙනෙන්නේ ය. උන් වහන්සේ විසින් එක ම භාෂාවකින් කරන දේශනය අසන සැම දෙනාට ම තම තමන්ගේ භාෂාවෙන් තේරෙන්නේ ය. උන් වහන්සේගේ හඬ ඉතා මිහිරි ය. මිනිස් හඬට බිය වී පලා යන වන සත්තු ද උන් වහන්සේගේ මිහිරි හඬ සතුටින් අසා ගෙන සිටිති. උන් වහන්සේගේ හඬ සේ මිහිරි, කටහඬක් තබා තූර්‍ය්‍යනාදයකුදු නැත. උන් වහන්සේ ගේ මේ මධුර ස්වරය බණ අසන පිරිසෙන් පිටතට ද නො පැතිරෙන්නේ ය. බණ අසන්නවුන් ලොව පුරා සිටියත්, සැමට ම ඇසෙන්නේ ය. උන් වහන්සේ යමක් ප්‍ර‍කාශ කෙළේ නම් එය එසේ ම ය. උන් වහන්සේට වැරදීම් නැත.

නියතමානී වූ ඒ භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ගේ උසස් පහත් පොහොසත් දුප්පත් කම් ගැන නො සලකන සේක. උන් වහන්සේ කෝශලාදි නරේන්ද්‍ර‍යන් ගේ මාළිගාවන්ට මෙන් ම කරුණක් ඇති වී නම් රොඩී කුප්පායමට ද වඩනා සේක. උන් වහන්සේ වැඳුම් පිදුම් කළ යුත්තන් අතුරෙන් අග්‍ර‍ වූ සේක.

ධර්ම රත්නය:

සතර මාර්ගය, සතර ඵලය, නිර්වාණය යන නව ලෝකෝත්තර ධර්ම හා තථාගතයන් වහන්සේ විසින් පන්සාළිස් වසක් මුළුල්ලෙහි දෙව් මිනිසුන්ට දේශනය කළ ධර්ම සමූහය වූ පිටකත්‍ර‍ය ද යන මේ දස වැදෑරුම් ධර්මය ධර්‍මරත්න ය යි.

එහි සතර මාර්ගය යනු සෝවාන් මාර්ගය, සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අර්හත් මාර්ගය යන සතර ය. සතර ඵලය යනු සෝවාන් ඵලය, සකෘදාගාමී ඵලය, අනාගාමි ඵලය, අර්හත් ඵලය යන සතර ය. මේ ලෝකෝත්තර මාර්ග ඵල ධර්මයෝ යම් කිසි තැනක ඇති වස්තු කොටසක් නොව, තම තමා විසින් ම වීර්‍ය්‍ය කොට, තම තමා තුළ උපදවා ගත යුතු ධර්මයෝ ය. නිර්වාණය යනු ඒ ලෝකෝත්තර මාර්ගයන් ලැබීමෙන් ලැබෙන උසස් සුවය ය.

පිටකත්‍ර‍ය යනු විනය පිටකය, සූත්‍ර‍ පිටකය, අභිධර්ම පිටකය යන තුන ය.

එහි, විනය පිටකය යනු තථාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ්‍රාවකයනට පැන වූ නීති සමූහය අන්තර්ගත දේශනා සමූහය ය. එය පාරාජික පාළිය ය, පාචිත්තිය පාළිය ය, මහාවග්ගපාළිය ය, චූලවග්ග පාළිය ය, පරිවාර පාළිය ය යි ප්‍ර‍කරණ වශයෙන් පසෙක් වන්නේය. ධර්මස්කන්ධ විසිඑක් දහසෙකි.

සූත්‍ර‍ පිටකය යනු තථාගතයන් වහන්සේ විසින් ඒ ඒ ස්ථානයන්හි ඒ ඒ පුද්ගලයන්ට දේශනය කළා වූ, සාමාන්‍ය දේශනා සමූහය ය. ඒ සූත්‍ර‍ පිටකය දීඝ නිකාය ය, මජ්ඣිම නිකාය ය, සංයුත්ත නිකාය ය, අඞ්ගුත්තර නිකාරය ය, ඛුද්දක නිකාය යයි නිකාය පසකට බෙදා තිබේ.

එහි දීඝ නිකාය සූත්‍ර‍ සූතියකින් හා බණවර සිවු සැටකින් යුක්තය. මජ්ඣිම නිකාය සූත්‍ර‍ එක්සිය දෙපනසකින් හා බණවර අසූවකින් යුක්තය. සංයුක්ත නිකාය සූත්‍ර‍ සත් දහස් සත් සිය සැට දෙකකින් හා බණවර සියයකින් යුක්ත ය. අඞ්ගුත්තර නිකාය සූත්‍ර‍ නව දහස් සත්සිය සත් පනසකින් හා බණවර එක් සිය විස්සකින් යුක්තය. ඛුද්දක නිකාය කුඩා ග්‍ර‍න්ථ සමූහයකි. ඛුද්දකපාඨය, ධම්මපදය, උදානය, ඉතිවුත්තකය, සුත්තනිපාතය, විමානවත්ථු පාළිය, පේතවත්ථු පාළිය, ථෙරගාථා පාළිය, ථෙරිගාථා පාළිය, ජාතක පාළිය, නිද්දේස පාළිය, පටිසම්භිදා මග්ගය, අපදානය, බුද්ධ වංසය, චරියා පිටකය, යන මේ ප්‍ර‍කරණ පසලොස ඛුද්දක නිකාය ය. සූත්‍ර‍පිටකයෙහි ධර්මස්කන්ධ විසි එක් දහසෙකි.

බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණීමෙන් සවන වසරෙහි තව්තිසා දෙව්ලොව වස් තුන් මුළුල්ලෙහි දේශනය කළ පරම ගම්භීර පරමාර්ථ දේශනය, අභිධර්ම පිටකය ය. ධම්මසංගණීපකරණය, විභංග පකරණය, ධාතුකථා පකරණය, පුග්ගල පඤ්ඤත්ති පකරණය, කථාවත්ථු පකරණය, යමක පකරණය, පට්ඨාණ පකරණය යි අභිධර්ම පිටකයෙහි ප්‍ර‍කරණ සතෙකි. එහි ධර්මස්කන්ධ සතළිස් දෙදහසෙකි.

සංඝ රත්නය:

නව දහස් එක් සිය අසූ කෝටි පනස් ලක්ෂ සතිස් දහසක් සංවර ඇත්තා වූ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයෙන් හා මාර්ග සම්‍යක් දෘෂ්ටියෙන් ද ඔවුනොවුන් හා සමාන වූ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක වූ, සාරිපුත්ත, මොග්ගල්ලාන, මහා කාශ්‍යප, ආනන්ද, රාහුලාදි පුද්ගල සමූහය ආර්‍ය්‍ය සංඝරත්නය ය. පුද්ගලයන් අට දෙනකු ඇති බැවින් එයට අෂ්ටාර්‍ය්‍යපුද්ගල මහා සංඝරත්නය යි කියනු ලැබේ. ඒ සංඝරත්නයට අයත් ආර්‍ය්‍ය පුද්ගලයෝ අට දෙන නම් –

  1. සෝවාන් මාර්ගස්ථ පුද්ගලයා ය.
  2. සෝවාන් ඵලස්ථ පුද්ගලයා ය.
  3. සකෘදාගාමි මාර්ගස්ථ පුද්ගලයා ය.
  4. සකෘදාගාමි ඵලස්ථ පුද්ගලයා ය.
  5. අනාගාමි මාර්ගස්ථ පුද්ගලයා ය.
  6. අනාගාමි ඵලස්ථ පුද්ගලයා ය.
  7. අර්හත් මාර්ගස්ථ පුද්ගලයා ය.
  8. අර්හත් ඵලස්ථ පුද්ගලයා ය. යන මොහු ය.

ආර්‍ය්‍ය පුද්ගලයන් අට දෙනා අතුරෙන් සෝවාන් පුද්ගලයා හට සක්කායදිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බතපරාමාසය යන සංයෝජන තුන නැත්තේ ය. ඔහුට කාමරාගාදි අවශේෂ සංයෝජන ඇත ද, ඒවා ඇත්තේ පෘථග්ජනයන්ට මෙන් ඖදාරික පරිද්දෙන් නොව සියුම් ලෙසිනි. ස්වල්ප වශයෙනි. එබැවින් සෝවාන් වූ ආර්‍ය්‍යශ්‍රාවකයන් වහන්සේ අපායෝත්පත්තියට හේතු වන තරම් ඖදාරික පාපයන් නොකරන්නාහ. එබැවින් උන්වහන්සේ අපායෙහි නූපදනාහ. ඒ ජාතියේදී ම රහත් නොවී සසර උපදිතත් උපදින්නේ සුගතිභවයෙහි සත්වරක් පමණකි.

සෝවාන් ඵලයෙහි පිහිටි භික්ෂූන් වහන්සේ ඒ තත්ත්වයෙහි සිට නැවත ත්‍රිලක්‍ෂණ භාවනාවෙහි යෙදෙනුවෝ සකෘදාගාමි මාර්ගඥානයට පැමිණ කාමරාග සංයෝජනය හා ව්‍යාපාද සංයෝජනය තවත් තුනී කොට සකෘදාගාමි ඵලයට පැමිණෙන්නාහ.

සකෘදාගාමී ඵලයෙහි පිහිටි භික්ෂූන් වහන්සේ නැවත ද විදර්ශනා කරන සේක්, අනාගාමී මාර්ගය ලබා, කාමරාග සංයෝජනය හා ව්‍යාපාද සංයෝජනය නිරවශේෂයෙන් ප්‍ර‍හාරණය කොට අනාගාමි ඵලයට පැමිණෙන සේක.

අනාගාමි භික්ෂූන් වහන්සේ නැවත භාවනාවෙහි යෙදෙනුවෝ අර්හත් මාර්ගයට පැමිණ ඉතිරි සියලු කෙලෙසුන් නසා අර්හත් ඵලයට පැමිණෙන සේක. ඉන් පසු උන්වහන්සේ සංසාරයේ නැවත නූපදනා සේක.

ගෘහස්ථ භූමියෙහි සිටින බොහෝ මනුෂ්‍ය දේව බ්‍ර‍හ්ම ආර්‍ය්‍ය පුද්ගලයන් ඇත ද, ඔවුහු අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටියවුන් නොවන බැවින් සංඝ රත්නයට අයත් නොවෙති. මෙකල වෙසෙන පෘථග්ජන භික්ෂූන් වහන්සේ ආර්‍ය්‍යයන් නොවන නමුත් නව දහස් එක් සිය අසූ කෝටි පනස් ලක්‍ෂ සතිස් දහසක් සංවර ඇත්තා වූ ප්‍රාතිමෝක්ෂ සංවර ශීල සංඛ්‍යාත ආර්‍ය්‍ය ශීලස්කන්ධයෙන් යුක්ත වූ ආර්‍ය්‍යයන් වහන්සේලා අනුව පිළිපදනා බැවින් සංඝරත්නයට අයත් වන සේක. පරිජි ඇවතට පැමිණියෝ ද, උපසම්පදාව පිහිටිය හැකි සේ විනයාගත පරිද්දෙන් උපසම්පදාව නො ලබා, උපසම්පන්නයන් සැටියට පෙනී සිටින්නෝ ද සංඝරත්නයට ඇතුළත් නො වෙති.

මීළඟ ලිපියෙන් තිසරණය ගැන විස්තරයක් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වෙමු.

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org

Scroll to Top