Obey Sanga

රත්නත්‍ර‍ය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය

අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත “පොහොය දිනය” ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී.

රත්නත්‍ර‍ය සරණ ගියා වූ බෞද්ධයා විසින් එය අමතක නො කොට නැවත නැවත රත්නත්‍ර‍ය සේවනය කළ යුතු ය. රත්නත්‍ර‍යට මහත් භක්තියක් හා අවනත බවක් යටත් බවක් සෑම බෞද්ධයකු කෙරෙහි ම තිබිය යුතු ය. රත්නත්‍ර‍යට තමා ගේ උසස් ම ගෞරවය පිරිනැමිය යුතු ය. හැකි පමණින් එයට පූජා සත්කාර කළ යුතුය.

දැන් බුදුන් වහන්සේ අප ඉදිරියේ නැති බැවින් උන් වහන්සේට කරන්නා වූ ගෞරවය හා පූජාව දාගැබ් මහබෝ පෙති පිළිම ආදී පූජනීය වස්තු කෙරෙහි පැවැත්විය යුතු ය. ඒ පූජනීය වස්තූන්ට සෑම කල්හි ම ගෞරව කළ යුතු ය. විහාර ගෙයකට, බෝ රුකක් සමීපයට, දාගැබක් සමීපයට යන කල්හි රජකු ඉදිරියට යන්නාක් මෙන් ගෞරවයෙන් යා යුතුය. කුඩ ඉස ලා, හිස් වැසුම් ලා, දෙවුර වසා පොරවා නො පිවිසිය යුතු ය. ඒ ස්ථානයන්ට වහන් පය ලා නො පිවිසිය යුතු ය. ඒ ස්ථාන අපවිත්‍ර‍ වන ලෙස අශුද්ධ වූ පා ඇතුව නො පිවිසිය යුතු ය. සිද්ධස්ථාන සමීප භූමිභාගයන් ද අපවිත්‍ර‍ නො කළ යුතු ය. සිද්ධස්ථානයකට පැමිණි කල එය කුණු කසලවලින් අපවිත්‍ර‍ වී තිබෙනු දුටුව හොත් පවිත්‍ර‍ කිරීම ද බෞද්ධයාගේ යුතුකමෙකි. සිද්ධස්ථාන නො නැසී පවත්නා පරිදි කැඩුම් බිඳුම් සංස්කරණය කිරීම හා ඒවා වැඩි දියුණු කිරීම ද බෞද්ධයාගේ යුතුකමෙකි. විහාරස්ථානවලට පුදා තිබෙන බුද්ධ සන්තක වස්තුව විෂක් මෙන් සලකා ඒවා තමාගේ ප්‍රයෝජනයට ගැනීමෙන් වැළකිය යුතුය. බුද්ධ සන්තක වූ සුළු දෙයක් වුව ද තමාගේ ප්‍රයෝජනයට ගැනීමෙන් ගෙවා ගැනීමට දුෂ්කර නපුරු විපාක ඇති පාපයක් අත් වන බව මතු දැක්වෙන කථාවෙන් දත යුතු ය.

ධර්මය වස්තුවක් වශයෙන් පෙන්වන්නට ඇති දෙයක් නොවන බැවින් ධර්මයට කරන පූජාව ධර්මධරයන් ධර්ම කථිකයන් කෙරෙහි කළ යුතු බව තථාගතයන් වහන්සේ වදාළ සේක. එ බැවින් ධර්මයට පුදනු කැමතියන් විසින් ඒ දෙය ධර්ම පූජා වශයෙන් ධර්මධරයන් වහන්සේලාට, ධර්ම කථිකයන් වහන්සේලාට පිදිය යුතු ය. ධර්මය ලියා තිබෙන්නා වූ ද මුද්‍ර‍ණය කර තිබෙන්නා වූ ද පොත් පත් ධර්ම චෛත්‍යයෝ ය. ධර්මයට ගරු කිරීමක් වශයෙන් ඒවාට ද වැඳුම් පිදුම් කළ හැකිය. ධර්මය දේශනය කරන කල්හි ඉතා ගෞරවයෙන් එය ඇසිය යුතු ය. උසසුන්වල හිඳ බණ ඇසීම ද, ධර්ම කථිකයන් වහන්සේට පිටුපා බණ ඇසීම ද, ධර්මකථිකයන් වහන්සේ දෙසට පා දිගු කර ගෙන හිඳ බණ ඇසීම ද ධර්මයට කරන අගෞරවයෝ ය. තවද දහම් දෙසන තැනක එය නො අසා අන් වැඩක යෙදීම ද, බණ අසන අන්‍යයන්ට බාධා විය හැකි පරිදි කථා කිරීම ද ධර්මයට කරන අගෞරවයෝ ය. ගෞරවයෙන් බණ ඇසීම පිනක් වන්නාක් මෙන් ම ධර්මයට අගෞරව කිරීම පාපයක් වන බව දත යුතුය. තථාගත ධර්මය පිරිහෙන්නට නොදී ආරක්ෂා කිරීම ද බෞද්ධයාගේ යුතුකමෙකි. ධර්මය ආරක්ෂා වීමට කළ යුතු දේ නම් දහම් පොත් පත් සුලභ කිරීම ය. ධර්මාචාර්‍ය්‍යවරයන්ට හා ධර්මය උගන්නා ශිෂ්‍යයන්ට අනුබල දීමය, ධර්ම දේශනා මාර්ගයෙන් මහජනයා අතර ධර්මය පතුරුවාලී ය යන ආදිය යි.

බෞද්ධයා විසින් නිතර භික්ෂූන් වහන්සේලා ගෙන් අවවාදානුශාසනා ලබා ගත යුතුය. භික්ෂූන් වහන්සේලා ආශ්‍ර‍ය කිරීමේදී උන් වහන්සේලා හා අධික මිත්‍ර‍ත්වයට නො පැමිණ ගින්න ආශ්‍ර‍ය කරන්නාක් මෙන් පරෙස්සමින් ආශ්‍ර‍ය කළ යුතුය. භික්ෂූන් වහන්සේ හා අධික මිත්‍ර‍ත්වයට පැමිණිය හොත් උන් වහන්සේ කෙරෙහි ගෞරව නැති වීමෙන් ද සඟ සතු දෑ තමාගේ ප්‍රයෝජනයට ගන්නට පුරුදු වීමෙන් ද අපාගත විය හැකි ය. නපුරු නො මනා අදහස් ඇති දුශ්ශීල භික්ෂූන් ආශ්‍රයෙන් වැළකිය යුතුය. පෙර එක් උපාසිකාවක් පාප භික්ෂුවක ගේ අනුශාසනය පිළිගෙන සිල්වත් භික්ෂූන් වහන්සේලාට ගර්හා කොට ඒ භික්ෂුව සමඟ වැසිකිළි වළක ප්‍රේතව උපන්නී ය.

තමාට අවවාද අනුශාසනා ලබා ගැනීම හා උපස්ථාන කොට පින් සිදු කර ගැනීමටත් මිස අන් ලාභයක් ප්‍රයෝජනයක් සඳහා භික්ෂූන් ආශ්‍ර‍ය නො කළ යුතුය. තමා විසින් භික්ෂූන් වහන්සේට කෙතෙක් උපකාර කළත් ප්‍ර‍ත්‍යුපකාර වශයෙන් උන් වහන්සේගෙන් ආගමික කටයුතු හැර අනෙකක් බලාපොරොත්තු නො විය යුතුය.

භික්ෂූන් වහන්සේලා එක්විසි අනේසනයෙන් වෙන් ව වාසය කළ යුත්තෝ ය. තමාට සංග්‍ර‍හ කරන දායකයන් සතුටු කරවීමට ඔවුනට සංග්‍ර‍හ කරන්නට ගියහොත් භික්ෂුව වරදට පැමිණේ. එබැවින් සිල්වත් භික්ෂූහු එසේ නො කරති. එබැවින් බෞද්ධ ගෘහස්ථයා විසින් භික්ෂූන් වහන්සේගෙන් යම් කිසිවක් ලබා ගත නො හැකි වීම නිසා හෝ උන් වහන්සේ ලවා වැඩක් කරවා ගත නොහැකි වීම නිසා හෝ භික්ෂූන් වහන්සේට නො කිපිය යුතුය. ඇතැම් අලජ්ජි භික්ෂූහු ගිහියන් සතුටු කරවා ගැනීම පිණිස ඔවුනට යම් යම් දේ දෙති. ඔවුන්ගේ වැඩ කර දෙති. ආගම නො දත් බෞද්ධයා ඒ ගැන භික්ෂුව කෙරෙහි පහදී. නියම ලෙසට ආගම අදහනු කැමති බෞද්ධයා විසින් එබඳු භික්ෂූන් ආශ්‍රයෙන් වැළකිය යුතු ය.

භික්ෂූන් වහන්සේලා විසින් නො කළ යුතු දේවල් දැන ගැනීම ගිහියන්ට ද ප්‍රයෝජනවත් බැවින් මීළඟ ලිපියෙන් “එක්විසි අනේසනය” ගැන විස්තරයක් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වෙමු.

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org