21 Anesanaya

එක්විසි අනේසනය හඳුනා ගනිමු

අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත “පොහොය දිනය” ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී.

භික්ෂූන් වහන්සේලා එක්විසි අනේසනයෙන් වෙන් ව වාසය කළ යුත්තෝ ය. තමාට සංග්‍ර‍හ කරන දායකයන් සතුටු කරවීමට ඔවුනට සංග්‍ර‍හ කරන්නට ගියහොත් භික්ෂුව වරදට පැමිණේ. එබැවින් සිල්වත් භික්ෂූහු එසේ නො කරති. එබැවින් බෞද්ධ ගෘහස්ථයා විසින් භික්ෂූන් වහන්සේගෙන් යම් කිසිවක් ලබා ගත නො හැකි වීම නිසා හෝ උන් වහන්සේ ලවා වැඩක් කරවා ගත නොහැකි වීම නිසා හෝ භික්ෂූන් වහන්සේට නො කිපිය යුතුය. ඇතැම් අලජ්ජි භික්ෂූහු ගිහියන් සතුටු කරවා ගැනීම පිණිස ඔවුනට යම් යම් දේ දෙති. ඔවුන්ගේ වැඩ කර දෙති. ආගම නො දත් බෞද්ධයා ඒ ගැන භික්ෂුව කෙරෙහි පහදී. නියම ලෙසට ආගම අදහනු කැමති බෞද්ධයා විසින් එබඳු භික්ෂූන් ආශ්‍රයෙන් වැළකිය යුතු ය.

 

භික්ෂූන් වහන්සේලා විසින් නො කළ යුතු දේවල් දැන ගැනීම ගිහියන්ට ද ප්‍රයෝජනවත් බැවින් එක්විසි අනේසනය මෙහි දක්වනු ලැබේ

  1. ගිහියන් සතුටු කරවනු පිණිස සඟසතු වූ හෝ තමා සතු වූ හුණ ලී ඔවුනට දීම.
  2. මංගලාවමංගලාදි කටයුතුවලට ගිහියන්ට මල් දීම,
  3. පොල් අතු තල් අතු ආදි පත්‍ර වර්ග ගිහියන්ට දීම,
  4. පොල් පුවක් ආදි ගෙඩි ජාති දීම,
  5. දැහැටි දඬු දීම,
  6. මුව දෝනා පැන් දීම,
  7. නහන පැන් දීම,
  8. ඇඟ ගල්වන සුණු වර්ග (සබන් වර්ග) දීම,
  9. ගෙවල් සකස් කර ගැනීම් ආදියට මැටි දීම,
  10. තමා පහත් තන්හි තබා ගිහියන් උසස් කොට, සිත් ගැනීම සඳහා කථා කිරීම.
  11. ගිහියන්ගේ සිත් ගැනීම සඳහා බොරු සැබෑ මිශ්‍ර‍ කොට කථා කිරීම.
  12. හිස පිරිමැදීම ආදියෙන් දායකයාගේ දරුවන් හුරතල් කිරීම.
  13. ගිහියන්ගේ පණිවිඩ ගෙන ගමින් ගමට යෑම.
  14. වෙදකම් කිරීම.
  15. ගෙන් ගෙට ගිහියන්ගේ පණිවිඩ කීම.
  16. ගිහියන්ට වැඩ කරදීමට යෑම.
  17. තමා ලත් යහපත් දෙය ගිහියන්ට දී ඔවුන් සතු දෙය තමා ගැනීම.
  18. ගිහියන්ට ලාභාශාවෙන් අල්ලස් දීම.
  19. ගෙබිම් ආදිය දැක්වීම.
  20. නැකත් කීම.
  21. ශරීර ලක්ෂණ බලා පලාපල කීම.

මේ කරුණු එක් විස්ස අනේසන නම් වෙති. මේවායින් වැළකී සිටින සිල්වත් භික්ෂූන්ට, ගිහියනට ආමිෂයන් සංග්‍ර‍හ කිරීමට ඉඩක් නැත.

ගිහියන් විසින් සංඝ සන්තක වස්තුව තමන්ගේ ප්‍රයෝජනයට ගැනීමෙන් හා කිලිටි කිරීම් ආදියෙන් ඒවාට හානි කිරීමෙන් ද වැළකිය යුතුය. 

(පෙර එක් මිනිසෙක් සංඝ සන්තක තෙල් සංඝයාගේ අවසර නැති ව ඇඟ ගල්වා ගත් පවින් නරකයෙහි බොහෝ කල් දුක් විඳ, ඉන් මිදී ගයා පොකුණ සමීපයේ කටු මැටි බිත්තියක් බඳු රළු ශරීරය ඇති යක්ෂයෙක් වූයේය. කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයේදී එක් ගොවිකේ කුඹුර සාමින් සිට නො නා බණ අසන්නට ගොස් ඇඟ තැවරී තුබූ මඩින් සඟ සතු බුමුතුරුණු අපවිත්‍ර‍ කොට ඒ පවින් බොහෝ කල් නරකයේ පැසී, ඉන් මිදී ගයා පොකුණ සමීපයේ ඉදිකටු බඳු ලොම් ඇති යක්ෂයෙක්ව උපන්නේය. මෙයින් දෙ අනූ වන කප ඵුස්ස නම් වූ බුදුන් වහන්සේගේ කාලයේදී සඟ සතු දන් කෑ සුවාසු දහස් දෙනෙක් අප බුදුන් සමයේ ද ප්‍රේත ව විසුවෝ ය. සංඝ සන්තක වස්තු ගැනීමේ හා එයට හානි කිරීමේ විපාකවල බරපතලකම කියන ලද කථාවලින් තේරුම් ගෙන එයින් පරෙස්සම් වෙත්වා!)

භික්ෂූන් වහන්සේලා වනාහි තමනට වරද කළ අයගෙන් පළි ගන්න නොයන ඉවසන ස්වභාව ඇති සත්පුරුෂ පිරිසකි. එ බැවින් ඇතැම් දුෂ්ට පව්කාරයෝ බියක් සැකයක් නැතිව ම භික්ෂූන් වහන්සේලාට අපහාස කරති. චෝදනා කරති. සමහර විට ඔවුහු භික්ෂූන් වහන්සේලාට ගර්හා කිරීම තමන්ගේ පණ්ඩිතකමේ අංගයක් කොට සලකති. එක් භික්ෂුවකට මුත් අගෞරව කිරීමෙන් මුළු සංඝ රත්නයට ම අගෞරව කළේ වන්නේ ය. එය මහත් වූ පාපයෙකි. ධාර්මික ශ්‍ර‍මණයන් වහන්සේලාට අගෞරව කිරීම චෝදනා කිරීම අලාභහානි කිරීම මහා නරකයන්හි දීර්ඝ කාලයක් දුක් විඳීමට හේතු වන බරපතල පවක් බව දක්වා තිබේ. සමහර විට එහි විපාකය මෙලොවදී ම ද ලැබෙන්නේ ය. එයින් වන්නා වූ අනිෂ්ට විපාක සමහර විට කළ තැනැත්තා පමණක් නොව ඔහුගේ දරු මුණුබුරන්ට ද විඳින්ට සිදුවේ.

එබැවින් තථාගතයන් වහන්සේ විසින් කොසොල් රජතුමාට මෙය වදාරන ලදි.

 

  1. වනං යදග්ගි ඩහති – පාවකො කණ්හවත්තනි
    ජායන්ති තත්ථ පාරොහා – අහො රත්තාන මච්චයෙ
  2. යඤ්ච ඛො සීලසම්පන්නො – භික්ඛූ දහති තේජසා
    න තස්ස පුත්තා පසවෝ – දායාදා වින්දරෙ ධනං
  3. අනපච්චා අදායාදා – තාලවත්ථු භවන්ති තෙ
    තස්මා හි පණ්ඩිතො පොසො – සම්පස්සං අත්ථමත්තනො
  4. භූජඞ්ගමං පාවකඤ්ච – ඛත්තියඤ්ච යසස්සිනං
    භික්ඛුඤ්ච සීලසම්පන්නං – සම්මදෙව සමාචරෙ.

ගාථාවල අදහස මෙසේ ය:

 

  1.  ගිය මග දවා හළු කරන්නා වූ ගින්න යම් කලෙක වනයක් දවා ද, කාලයක් ගතවීමෙන් පසු ඉතිරි වූ මුල්වලින් ලියලා නැවතත් එහි ගස් ඇති වන්නේය.
  2.  සිල්වත් වූ භික්ඛු තෙමේ තමාට වරදක කළ කෙනකු තමාගේ තේජසින් යම් කලෙක දවා ද, එ කල්හි ඔහු පමණක් නොව ඔහුගේ දරුවෝ ද ගව මහිසාදි සත්ත්වයෝ ද නස්නාහ. ඔහු ගේ ධනය උරුමක්කාරයෝ නො ලබන්නාහ.
  3. සිල්වත් භික්ෂුන්ට වරද කිරීමෙන් ඒ භික්ෂූන්ගේ සීල තේජසින් දවනු ලැබූ ඔවුහු දරුවන් නැත්තාහු උරුමක්කාරයන් නැත්තාහු අක් සුන් තල් රුක් වැනි වන්නාහ.
  4. එ බැවින් තමාගේ අර්ථය දක්නා වූ පණ්ඩිත පුරුෂ තෙමේ සර්පයා කෙරෙහි ද, ගින්න කෙරෙහි ද, රාජ කුමාරයා කෙරෙහි ද, සිල්වත් භික්ෂුව කෙරෙහි ද මනා කොට හැසිරෙන්නේ ය යනුයි.

භික්ෂූන් වහන්සේ වනාහි නාගාදීන් මෙන් ස්වකීය තේජසින් අන්‍යයන් දවන්නා වූ කෙනෙක් නොවෙති. උන්වහන්සේ බණින්නා හට පෙරළා නො බණින්නා වූ, කලහයට එන්නා හා කලහයට නො යන්නා වූ, සන්සුන් පැවතුම් ඇත්තා වූ, ඉවසන්නා වූ කෙනෙකි. ගුණවත් වූ උන්වහන්සේට අපරාධ කිරීමෙන් මහත් වූ පාපයක් අත් කර ගැනීමෙන් තෙමේ ම දැවෙන්නේ ය. දුකට පත්වන්නේ ය. බුදුන් වහන්සේ භික්ෂු තෙම අපරාධකාරයාව තමන්ගේ තේජසින් දවන්නේ ය යි වදාළේ භික්ෂුව නිසා අපරාධකාරයා දැවෙන බැවිනි. වරද කරන්නා වූ භික්ෂූන්ට අපහාසාදිය කිරීමෙන් පවක් නො වෙති යි ඇතමුන් සිතතත් එය එසේ නො වේ. කෙතරම් දුශ්ශීල භික්ෂුවකට වුව ද අපහාස කිරීම නුසුදුසු ය. එ බඳු භික්ෂූන් ගැන ගිහියන් විසින් කළ යුත්තේ වර්ජනය කිරීම ය.

අට්ඨහි භික්ඛවේ, ධම්මෙහි සමන්නාගතස්ස භික්ඛුනෝ ආකඞ්ඛමානා අප්පසාදං පවෙදෙය්‍යුං, කතමෙහි අට්ඨහි? ගිහීනං අලාභාය පරිසක්කති, ගිහීනං අනත්ථාය පරිසක්කති. ගිහීනං අක්කෝසති පරිහාසති, ගිහී ගිහීහි භේදේති. බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති, අගොචරේ ච නං පස්සන්ති, ඉමේහි ඛෝ භික්ඛවේ අට්ඨහි ධම්මේහි සමන්නාගතස්ස භික්ඛුනෝ ආකඞ්ඛමානා උපාසකා අප්පසාදං පවේදෙය්‍යුං

යනුවෙන් ගිහියන්ට අලාභ කිරීමට උත්සාහ කරන්නා වූ ද, ගිහියන්ට අනර්ථ කිරීමට උත්සාහ කරන්නා වූ ද, ගිහියන්ට ආක්‍රෝශ පරිභව කරන්නා වූ ද, ගිහියන් ගිහියන් හා බිඳවන්නා වූ ද, බුදුන්ගේ අගුණ කියන්නා වූ ද, ධර්මයේ අගුණ කියන්නා වූ ද, සංඝයාගේ අගුණ කියන්නා වූ ද, හැසිරීමට නුසුදුසු තැන්වල දක්නා ලැබෙන්නා වූ ද, භික්ෂූන්හට කැමති නම් අප්‍ර‍සාදය දැක්වීමට තථාගතයන් වහන්සේ විසින් උපාසකවරුන්ට අනුදැන වදාරා තිබේ. 

 

අප්‍ර‍සාදය දැක්වීම යනු ඒ භික්ෂූන්ට ගර්හා කිරීම නොව, දුටු කළ හුනස්නෙන් නොනැඟී සිටීම, පෙර ගමන් නො කිරීම, නො වැඳීම, දන් නොදීම යන මේවායින් තමාගේ නො සතුට දැක්වීම ය.

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org