සැරියුත් මුගලන් දෙනම

උපුටා ගන්නා ලද්දේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් ලියා පළ කරන ලද ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම් බුද්ධ චරිතය නම් කෘතිය ඇසුරිනි.

භාග්‍යවතුන් වහන්සේ වෙත සැරියුත් මුගලන් දෙදෙනා පැමිණීම හා පැවිදිවීම නවම් මස පුර පෑලවිය දා

 

එ සමයෙහි සංජය නම් පරිව්‍රාජකයෙක් දෙසිය පනහක් පමණ වූ පිරිවැජි පිරිසකට නායකවැ රජගහ නුවර සමීපයෙහි පරිව්‍රාජකාරාමයෙකැ වෙසෙයි. රජගහනුවරට නො දුරු උපතිස්ස කෝලිත නම් ගම් දෙකේ අධිපති බමුණන්ගේ පුත් වූ හෙයින් ඒ ගම්වල නමින් ම ප්‍රසිද්‍ධ වූ කුල පුත්‍රයෝ දෙදෙනෙක් ගිහි සැපත්හි කලකිරී දුකින් මිදෙන මඟක් සොයමින් ඇවිදුණෝ යට කී සංජය පරිව්‍රාජකයාගේ ශිෂ්‍ය වැ ඔහු ගේ සමය ඉගෙන, ඔහු වෙත මහණකම කෙරෙමින් වුසූ හ. එහෙත් ඔහුගේ දහමින් ඒ දෙදෙනා තෘප්ත නො වූහ. “අප දෙදෙනා ගෙන් යමෙක් පළමුවෙන් නිවන් ලැබුයේ නම් හේ අනෙකාට ඒ බව දන්වාවා”යි ඔහු කතිකාවක් ද කැරැ ගත්තෝ ය. මෙසේ කතිකා කොට ඔහු එතැනින් නික්ම දඹදිව පුරා ඇවිද්දහ, යලිදු පෙරළා රජගහ නුවරට පැමිණියාහ.

මෙසේ ඒ පිරිවැජි අරමෙහි ඔවුන් සිටින අතර, ඉහත කී පරිදි ධර්මදූත මෙහෙයෙහි බුදුරජාණන් වහන්සේ විසින් දිශාවනට යැවුණු භික්ෂූන් අතුරෙන් අස්සජී තෙරුන් වහන්සේ නවම් පුර පෑළවිය දා රජගහ නුවරට පැමිණ පෙරවරු කාලයෙහි පිඬු පිණිස හැසිරෙන සේක. වීථියට ආ උපතිෂ්‍ය පරිව්‍රාජකයා උන්වහන්සේ දිටී ය. ඒ දැක්මෙන් පරිව්‍රාජකයාට “මේ ඒකාන්තයෙන් රහත් වූ හෝ රහත් මඟ පිළිපන් උතුමකු විය යුතු, මුන්වහන්සේ කරා එළැඹ තොරතුරු විචාළොත් මැනවැ” යි සිතිණ. ඉක්බිති “මේ පිඬු පිණිස හැසිරෙන වේලාව එයට සුදුසු නො වේ යැ” යි හේ සිතීය. උන්වහන්සේ පසු පස්සෙන් ගියේ ය. ගොස් තෙරුන් පිණ්ඩපාතය ලැබ එක් තැනකට ගොස් ඉඳගනු කැමති බව දුටු පරිව්‍රාජක තෙම තමාගේ පරිව්‍රාජක පුටුව පිළියෙල කැර දුන්නේ ය. තෙරුන් වහන්සේ එහි වැඩහිඳ දන් වැළැඳූ සේක. ඉක්බිති පිරිවැජි තෙම කෙංඩියෙන් වතුර පිළිගැන්වී ය. මෙසේ ආචාර්‍ය්‍යකුට කළ යුතු වත් කොට, ඉක්බිති තෙරුන් හා කථාවට බටුයේ ය.

 

“ආයුෂ්මත්නි, ඔබ ගේ ඇස් කන් ආදී ඉන්ද්‍රියයෝ සුප්‍රසන්නහ, ඇඟ පැහැය පිරිසිදු ය. ශෝභන ය. ඔබ කවරකු නිසා පැවිදි වූ කෙනෙක් දැ?” යි විචාළේ ය.

තෙරණුවෝ ද “මොහුට ශාසනයේ ගැඹුරු බව පෙන්වන්නෙමි” යි සිතා තමා ගේ නවක භාවය (අළුත ශාසනයට වන් බව) දක්වන්නෝ,

“ආයුෂ්මත්නි, මම් නවක වෙමි. ළඟ දී මහණ වූයෙකිමි” යි තෙරණුවෝ කීහ.

 

එ විට, පිරිවැජි තෙම,

 

“මම උපතිස්ස නම් වෙමි. ස්වල්ප කොට හෝ බොහෝ කොට හැකි පරිද්දෙකින් ධර්මය වදාළ මැනවි. එය ක්‍රම සියයෙකින් දහසෙකින් අවබෝධ කිරීම මට බාර වැඩෙකැ” යි කී ය.

 

එවිට අස්සජි තෙරණුවෝ මුළු බුද්‍ධ වචනය ම ඇතුළත් කොට,

 

“හේතුයෙන් පහළ වන යම් ධර්ම කෙනෙක් වෙද්ද, ඔවුන්ගේ හේතුව ඒ තථාගතයන් වහන්සේ වදාරන සේක. ඔවුන්ගේ යම් නිරෝධයෙකුත් වේ ද එය ද වදාරන සේක. ඒ මහා ශ්‍රමණයන් වහන්සේ මෙසේ වදාරන කෙනෙකැ” යි වදාළ හ.

 

මෙහි පළමු දෙ පදය අසමින් ම සියදහස් නයින් එහි අර්ථ දුටු පරිව්‍රාජක තෙම දහසක් නයින් යුත් සෝවාන් පලයෙහි පිහිටියේ ය. අන් පද දෙක දෙසුවේ සෝවාන් වූ පසු යි. සෝවාන් වූ පමණ මුත් ඉන් මත්තෙහි විශේෂ ගුණයකට නො පැමිණි බැවින් එයට කාරණයක් ඇතැයි සිතූ පිරිවැජි තෙම තෙරුන් අමතා,

“ස්වාමීනී මේ පමණක් සෑහේ, අපේ ශාස්තෘන් වහන්සේ කොහි වසනා සේක් දෝ? යි ඇසී ය.

 

“ආයුෂ්මත්නි, උන් වහන්සේ දැන් වේළුවනයෙහි වසන සේකැ” යි තෙරණුවෝ කීහ.

 

“ස්වාමිනී, එසේ වී නම් ඔබ වහන්සේ පළමු කොට වැඩිය මැනවි. අපේ යහළුවෙක් ඇත. “පළමු ව නිවන් දුටුවහු විසින් අනෙකාට දැන්විය යුතු යැ”යි අප දෙදෙනා විසින් කතිකාවතක් කරන ලදී. ඒ පොරොන්දුවෙන් මිදී මගේ යහළුවාත් කැඳවා ගෙන ඔබ වහන්සේ වැඩි මගින් ම ශාස්තෘන් වහන්සේ වෙත එන්නෙමි” යි කියා පසඟ පිහිටුවා වැඳ පැදකුණු කොට පරිව්‍රාජකාරාමය අතට ගියේ ය. ඔහු ඈත එන්නහු දුටු කෝලිත පිරිවැජි තෙම “අද මා යහළුවා ගේ මුහුණ අන් දවස්වල මෙන් නො වේ. ඒකාන්තයෙන් ඔහු විසින් නිවන් ලද්දේ වනැ”යි සිතා “නිවන් ලැබුයෙහි දැ” යි විතාළේ ය. “එ සේය. ආයුෂ්මත්නි, නිවන් ලදිමි” යි උපතිස්ස තෙම උත්තර දී තමාට අස්සජි තෙරුන් වදාළ දහම් පද ම කී ය. එහි අවසනැ කෝලිත තෙම සෝවාන් පෙළෙහි පිහිටා “අපේ ශාස්තෘන් වහන්සේ කොහි වසන සේක් දැ?”යි ඇසී ය. එ විටැ උපතිස්ස තෙම “යහළු, වේළුවනයේලූ, මේ බව අපේ ආචාර්ය අස්සජි තෙරණුවෝ වදාළහ” යි කී ය. “යහළු, එසේ වී නම් යම්හ, ශාස්තෘන් වහන්සේ දකින්නමු” යි කෝලිත කී ය.

 

“යහළුව, මේ පිරිවැජියෝ දෙසිය පණස අප නිසා. අප බලා, මෙහි වෙසෙත්. ඔවුනටත් අප නිවන් ප්‍රත්‍යක්ෂ කළ බව දන්වමු. එවිට ඔවුහු තමනට රිසියක් කරන්නා හ” යි උපතිස්ස කීය. ඉන්පසු ඒ දෙදෙන පිරිවැජි පිරිස කරා ගොස් තමන් බුදුරජාණන් වහන්සේ වෙත යන බව කීහ. “අපි ඔබ දෙදෙනා බලා ඉඳුම්හ, ඔබ ඒ මහා ශ්‍රමණයන් වහන්සේ වෙත මහණදම් පුරතොත් අපිදු එසේ ම කරන්නමු” යි පිරිවැජියෝ කීහ.

 

ඉක්බිති කෝලිත උපතිස්ස දෙදෙන සංජය පරිව්‍රාජයා වෙත ගොස් තමන් අවබෝධ කළ ධර්මය ගැන දන්වා බුදුරජාණන් වහන්සේ වෙත යන්නට කැඳැ වූහ. “ආයුෂ්මත්නි, එහි යෑමෙන් කමෙක් නැත. අපි තුන් දෙනා එක් වැ මේ පරිව්‍රාජක පිරිස පාලනය කරම්හ”යි සංජය කී ය. දෙවනුත් ඔහු සංජය පිරිවැජියහු කැඳවූහ. දෙවනුත් හේ පෙරැ සේ ම කී. තෙවනු කැඳවූ විට ද හෙතෙම පළමු සේ ම කියා ගමන ප්‍රතික්ෂේප කෙළේ ය. ඉන් පසු උපතිස්ස කෝලිත දෙ පිරිවැජියෝ දෙසිය පණසක් පමණ වූ පරිව්‍රාජක පිරිස හා වේළුවනයට ගියහ. ඈත එන ඔවුන් දුටු භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් බණවා,

 

“මහණෙනි, තෙල කෝලිත උපතිස්ස නම් දෙ යහළුවෝ එති, ඔහු දෙදෙන මගේ අග සවු යුවල වන්නාහ” යි වදාළ සේක.

 

මෙහි කී කෝලිත තෙම මොග්ගලී නම් බැමිණියගේ පුත්‍ර බැවින් “මොග්ගල්ලාන” යන නමින් ප්‍රසිද්‍ධ විය. උපතිස්ස තෙම රූපසාරී බැමිණිය ගේ පුත් බැවින් “සාරිපුත්ත” නමින් හැඳින්විණ.

 

සාරිපුත්ත මොග්ගල්ලාන දෙදෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ උන් වහන්සේ ගේ පා මුලැ හිස තබා වැඳ පැවිද්ද ඉල්ලූහ.

“මහණෙනි, මෙහි එවු. ධර්මය මනා ලෙස ප්‍රකාශිත යි. දුක් මුල් සුන් කරනු පිණිස මාර්ග බ්‍රහ්මචර්යාව පුරවු”යැ යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. එය ම ඒ දෙදෙනා ප්‍රමුඛ පිරිස ගේ මහණ උපසම්පදාව විය.

 

සැරියුත් මුගලන් දෙදෙනාගේ පිරිවර රහත් වීම

මෙයට පසු භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් ගේ චරිතයට අනුකූල ධර්මයක් දේශනා කළ සේක. සැරියුත් මුගලන් දෙ නම හැර සෙසු සියල්ලෝ එහි නුවණ යවා රහත් වූහ.

 

මුගලන් තෙරුන් කල්ලවාලමුත්ත ගමට වැඩීම

මුගලන් තෙරණුවෝ වනාහි පැවිදි වූ දා ම භාග්‍යවතුන් වහන්සේගෙන් කමටහන් ඉගෙන මගධ රට කල්ලවාලමුත්ත නම් ගමට වැඩ එහි සමීපයේ කැලයෙකැ වැස විදර්ශනා වැඩූහ.

 

භාග්‍යවතුන් වහන්සේ භග්ග රටට වැඩීම.

මේ අතරැ භාග්‍යවතුන් වහන්සේ ද, සැරිසරා භාග්‍යවතුන් වඩනා සේක් වත්ස ජනපදයෙහි වූ භග්ග රට වැඩ එහි සුංසුමාරගිර නගරය අසල භෙෂකලා අඩවියෙහි වසන සේක.

 

මුගලන් තෙරණුවෝ රහත් වීම නවම් පුර අටවක් දා

යටැ කී පරිදි කල්ලවාලමුත්ත ගමේ වෙනෙහි මහණ දම් පුරණ මුගලන් තෙරණුවෝ සත් දිනක් සක්මනෙහි යෙදුණෝ, සත් වන දා වෙහෙස වැ චිත්ත චෛතසිකයන් ගේ මැලි බවට බැස්සෝ ය. භාග්‍යවතුන් වහන්සේ දිවැසින් ඒ දැක සෘද්‍ධියෙන් එතැනට වැඩ ධාතු කර්මස්ථාන දේශනයෙන් දම් දෙසූ සේක. ඒ අනුව සිහි නුවණ යෙදූ තෙරණුවෝ එහි දී ම රහත් වූහ. මේ වනාහි උන්වහන්සේ පැවිදිවීමෙන් සත් වන දා යැ.

 

භාග්‍යවතුන් වහන්සේ ගේ රාජගෘහ ප්‍රාප්තිය සැරියුත් තෙරුන් රහත් වීම නවම් පුර පසළොස්වක් දා

එයින් නික්ම සැරි සරණ භාග්‍යවතුන් වහන්සේ ඊළඟ සතියෙහි රජගෘහ පුරයට පෙරළා වැඩි සේක්, ගිජුකුළු පව්වෙහි සූකරඛත ලෙනට (ඌරන් හෑරූ ලෙනට) වැඩ එහි වුසූ සේක. මේ සැරියුත් තෙරුන් පැවිදිවීමෙන් පසොළොස්වන දා ය. භාග්‍යවතුන් වහන්සේ මෙදින තෙරුන්ගේ බෑනණු වූ උච්ඡේදවාදී දීඝ නඛ පරිව්‍රාජකයාට වේදනා පරිග්‍රහ සූත්‍රය වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ ට පවන් සලමින් සිටි සැරියුත් තෙරණුවෝ ඒ දේශනාව ඔස්සේ නුවණ යවා රහත් වූහ.

 

භාග්‍යවතුන් වහන්සේ එය දැන අහස් නැඟ ක්ෂණයෙන් වේළුවනයෙහි පිහිටි සේක. සැරියුත් තෙරණුවෝ “භාග්‍යවතුන් වහන්සේ කොයි වැඩියෝ දැ?” යි ආර්වජන කොට දැන, තුමූ ද අහසින් වේළුවනයට ම වැඩිය හ.

 

අගසවු තනතුරු දීම, මහා ශ්‍රාවක සන්නිපාතය, පාමොක් දෙසීම්, නවම් මැදි පොහෝ දා

මෙ දින වනාහි නවම් මස මැදි පොහෝ වී. එ දා සවස වේළුවනාරාමයෙහි මහා සංඝ සන්නිපාතයෙක් විය. උරුවේල කාශ්‍යපයන් වහන්සේ ආදි පුරාණ ජටිල භික්ෂූහු දහසක් ද, සැරියුත් මුගලන් දෙ නම ප්‍රධාන දෙසිය පනස දැ යි එක් දහස් දෙසිය ක්ෂීණාස්‍රවයන් වහන්සේ එක් තැන රැස්වූහ. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ සැරියුත් මුගලන් දෙ නම අග්‍ර ශ්‍රාවක තනතුරට පත් කළ සේක. ඉක්බිති අවවාද ප්‍රාතිමෝක්ෂය දෙසූ සේක.

 

අගසවු තනතුරු ගැන භික්ෂූන්ගේ වැරැදි අදහස් දුරලීම

ඉක්බිති පසු ව පැමිණි සැරියුත් මුගලන් දෙ නමට අගසවු තනතුරු දීම ගැන සමහර පෘථග්ජන භික්ෂුන් අතර ඇති වූ කථා අසා, සියලූ භික්ෂූන් කැඳවා භාග්‍යවතුන් වහන්සේ ඔවුනට පංචවර්ගික භික්ෂූන්, යස භික්ෂු, භද්‍රවර්ගික භික්ෂූන්, තුන් බෑ ජටිල භික්ෂූන් යන මොවුන් වහන්සේ අනෙකක් ම පතා පින් කළ බවත්, අගසවු බව නො පැතූ බවත්, සැරියුත් මුගලන් දෙ නම ම අගසවු බව පතා ම පින් කළ බවත් වදාරා ඔවුන් වහන්සේ ගේ අතීත ප්‍රවෘත්ති ගෙන හැර දක්වා ඒ භික්ෂූන් ගේ විමති දුරු කළ සේක.

 

සංජයයන් ගැන වදාළ බණ

මෙයින් පසු දෑගසව්වෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ තමන් ගිහි ගෙයි කලකිරී පැවිදි වූ සැටිත් අස්සජි තෙරුන් ගෙන් බණ අසන්නට ලැබුණු සැටිත් එයට පසු සංජය පරිව්‍රාජකයාට ශාස්තෘන් වහන්සේ දැකීම පිණිස එන්නට කථා කළ විට ඒ නො පිළිගත් සැටිත් සැළ කළහ. එ විට බුදුරජාණන් වහන්සේ “මහණෙනි, සංජය තෙම තමා මිථ්‍යාදෘෂ්ටික බැවින් සාරය අසාරය ලෙසත්, අසාරය සාරය ලෙසත් සැලකී ය. එතෙකුදු වුවත් තෙපි තමන් නැණවත් බැවින් සාරය සාරය ලෙසින් අසාරය අසාරය ලෙසත් දැන, අසාරය හැර සාරය ම ගත්තහු” යැ යි වදාරා,

 

“අසාර දැයෙහි සාර යැයි වැරැදි මත ඇති, සාර දැයෙහි අසාර යැයි වැරැදි දැකුම් ඇති, වැරැදි කල්පනා ගොදුරු කොටැති ඔහු සාර ධර්මය නො ලබත්. සාරය සාර ලෙසත්, අසාරය අසාර ලෙසත් දැන ගැනීමෙන් ඒ (දන්නා) පුද්ගලයෝ නිවැරැදි කල්පනා ගොදුරු කොට ඇත්තෝ සාර ධර්මය ලබත්” යැයි දහමක් වදාළ සේක.

 

මේ ධර්මය ඇසීමෙන් බොහෝ දෙන ඥානය මුහුකුරුවා සෝවාන් ඵල ආදියට පැමිණියෝ ය.

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org

උපුටා ගන්නා ලද්දේ  www.pitaka.lk  වෙබ් අඩවියේ
[ URL: https://pitaka.lk/books/buddha-charithaya/index.html#9 ] දරණ අන්තර්ජාල ලිපිනයේ ඇති ලිපියකි. මෙම ලිපියේ අන්තර්ගතය හා හිමිකාරීත්ව ඉහත වෙබ් අඩවිය සහ එම ලිපියේ සම්පාදකයා සතුවේ.

සාදු…! සාදු…! සාදු…!