පඤ්ච ශීලය හා ආජීවාෂ්ටමක ශීලය?
අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත “පාරමිතා ප්‍රකරණය” ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී.
ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය යන මේ කරුණු තුන හා බොරුකීම, කේලාම්කීම, පරුෂ වචන කීම, කෙලෙස් වැඩීමට පව් ඇති වීමට කාලය අපතේ යාමට හේතුවන නිර්ථක කතාකීම, අධර්මයෙන් ජීවත්වීම යන මේ කරුණු අට අතීත කාලයේ පටන් ම ලෝකයේ සියලු ම ආගම් අදහන ආගම් නො අදහන නුවණැති සෑමදෙනා විසින් ම නො කළ යුතු වැඩ සැටියට, නො මනා වැඩ සැටියට පිළිගත් කරුණු අටෙකි. ඒවායින් වැළකීම ශීලය ය. මේ ශීලය නිත්‍ය ශීලයක් වශයෙන් සමාදන් වී ආරක්ෂා කිරීම සමුච්ඡේද වශයෙන් ක්ලේශයන් ප්‍රහාණය කර නැති පෘථග්ජන පුද්ගලයනට දුෂ්කරය. පෘථග්ජනයන්ට නිත්‍ය ශීලය වශයෙන් රැකීමට ගන්නා පඤ්ච ශීලය පිළියෙල කර තිබෙන්නේ ආජීවාෂ්ටමක ශීලයෙන් අංග සතරක් පමණක් ගෙන ය. අෂ්ටාංග ශීල, දසශීල වලට ගෙන ඇත්තේ ද ආජීවාෂ්ටමක ශීලයෙන් අංග සතරක් පමණෙකි. සාමණේර ශීලයට ගෙන ඇත්තේ ද ඒ අංග සතර පමණෙකි.
බොහෝ සික පද ඇති මහා ශීලය, උපසම්පදා ශීලය යි. එයට ද ආජීවාෂ්ටමක යේ සිකපද සියල්ල ගෙන නැත. ආජීවාෂ්ටමක ශීලයේ කාය කර්මය පිළිබඳ වූ මුල් ශික්ෂාපද තුන ගැන විනයෙහි සිකපද ඇත්තේ ය. වාක්කර්ම පිළිබඳ වූ ශික්ෂාපද සතරෙන් පළමු වන ශික්ෂාපදය සම්බන්ධයෙන් “සම්පජාන මුසාවාදෙ පාචිත්තියං” යනුවෙන් සිකපදයක් ඇත්තේ ය. “පිසුණාවාචා වෙරමණී” යන දෙවන සිකපදය සම්බන්ධයෙන් විනයෙහි “භික්ඛු පෙසුඤ්ඤෙ පාචිත්තියං” යනුවෙන් සිකපදයක් ඇත්තේ ය. එය පනවා ඇත්තේ ද සීමා සහිතව ය. භික්ෂූන්ට කේලාම් කීමෙන් මේ සිකපදයෙන් පචිති ඇවැත් වේ. අනුපසම්පන්න-යන්ට කේලාම් කීමෙන් පචිති ඇවත නොවේ. “පරුසාවාචා වෙරමණී” යන සිකපදය සම්බන්ධයෙන් විනයෙහි “ඕමසවාදෙ පාචිත්තියං” යන සිකපදය ඇත්තේ ය. එය ද පනවා ඇත්තේ සීමා සහිතව ය. ඒ ඇවත වන්නේ ද භික්ෂුවකට ආක්‍රෝශ කිරීමෙනි. අනුපසම්පන්නයකුට ආක්‍රෝශ කිරීමෙන් පචිති ඇවැත් නොවේ. “සම්ඵප්පලාපෙ පාචිත්තියං” කියා විනයෙහි සිකපදයක් නැත. උපසම්පදා ශීලයටත් සම්පූර්ණයෙන් ඇතුළත් කොට නැති ආජීවාෂ්ටමක ශීලය. පෘථග්ජන ගිහියකුට නිත්‍ය ශීලයක් වශයෙන් රැකීම දුෂ්කර ය.
බුදුරජාණන් වහන්සේ විසින් ගිහියන්ට නිත්‍ය ශිලය වශයෙන් දේශනය කර ඇත්තේ පඤ්ච ශීලය යි. පඤ්ච ශිලය දේශනා කර ඇති සූත්‍ර බොහෝ ගණනක් සුත්‍ර පිටකයෙහි දක්නා ලැබේ. “ආජීවට්ටමක සීලං” යන වචනය පවා පිටකත්‍රයේ කොතැනක හෝ සඳහන් වී තිබෙනු නො දක්නා ලදී. අටුවා පොත්වල කීප තැනක ඒ වචනය දක්නා ලැබේ.
මහානාම ශාක්‍යතුමා සෝවාන් පුද්ගලයෙකි. නිතර බුදුන් වහන්සේ ඇසුරු කරන්නෙකි. දිනක් බුදුන් දක්නට ගියා වූ, හෙතෙම “ස්වාමීනී, උපාසකයකු වන්නේ කෙසේදැ” යි විචාළේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ:-
“යතෝ ඛො මහානාම බුද්ධං සරණං ගතෝ හොති. ධම්මං සරණං ගතො හොති, සංඝං සරණං ගතො හොති, එත්තාවතා ඛෝ මහානාම උපාසකෝ හොති” යනුවෙන් තෙරුවන් සරණ යාමෙන් උපාසකයකු වන්නේ යයි වදාළ සේක.
ඉක්බිති “කෙසේ නම් උපාසක තෙමේ සිල්වත් වන්නේදැ” යි විචාළේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “යතෝ ඛෝ මහානාම උපාසකෝ පාණාතිපාතා පටිවිරතෝ හෝති, අදින්නාදානා පටිවිරතෝ හෝති, කාමේසු මිච්ජාචාරා පටිවිරතෝ හොති, මුසාවාදා පටිවිරතෝ හොති, සුරාමේරය මජ්ජපමාදට්ඨානා පටිවිරතෝ හොති, එත්තාවතා ඛෝ මහානාම උපාසකෝ සීලසම්පන්නෝ හෝති” යනුවෙන් පඤ්ච ශීලයෙන් උපාසක තෙමේ සිල්වත් වන්නේ යයි වදාළ සේක.
මෙ තන්හි ආජීවාෂ්ටමක ශීලයක් සඳහන් කර නැත. ඉදින් බුදුන් වහන්සේ මේ සස්නෙහි ගිහියන්ට සමාදන් කරවන නිත්‍ය ශීලය ආජීවාෂ්ටමක ශීලය වී නම් මහානාම ශාක්‍යතුමාට පඤ්ච ශීලය නො වදාරන්නාහ. ආජීවාෂ්ටමක ශීලය ම වදාරන්නාහ.
මේ කරුණ සඳහන් වන්නේ සෝතාපත්ති සංයුක්තයේ මහානාම සූත්‍රයේ ය. මේ කරුණ මෙසේ ම අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ද සඳහන්ව ඇත්තේ ය. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ජීවකම්බ වනයෙහි වැඩ වෙසෙන අවස්ථාවක ජීවක වෛද්‍ය වරයා ද භාග්‍යවතුන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය ඇසීය. භාග්‍යවතුන් වහන්සේ මහානාම ශාක්‍ය හට පිළිතුරු දුන් පරිදි උපාසක ශීලය වශයෙන් පඤ්ච ශීලය ම වදාළ සේක. ආජීවාෂ්ටමක ශීලයක් නො වදාළහ. මෙය ද අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සඳහන් වන්නකි. අංගුත්තර නිකායේ නවක නිපාතයේ සත්තාවාස වග්ගයේ සූත්‍රයක අනේපිඬු සිටාණන්ට පඤ්ච ශීලය වදාරා ඇත්තේ ය. අනේපිඬුසිටු පන්සියයක් උපාසකවරුන් සමඟ බුදුන් දක්නට ගිය අවස්ථාවක දී ද තථාගතයන් වහන්සේ පඤ්චශීලය දේශනය කළ බව අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ සූත්‍රයක දක්වා ඇත්තේ ය. මෙසේ අංගුත්තර නිකායේ සූත්‍ර බොහෝ ගණනක පඤ්චශීලය දක්වා ඇත්තේ ය. ජත්ත මානවකයාහට මැරෙන දිනයේ දී බුදුරජාණන් වහන්සේ පඤ්චශීලය සමාදන් කරවූ බව විමානවස්තු ප්‍රකරණයෙහි දක්වා ඇත්තේ ය.
භාවනා ක්‍රම විස්තර කර ඇති ග්‍රන්ථ අතරින් ප්‍රධාන ග්‍රන්ථය බුදුගොස් හිමියන්ගේ විසුද්ධිමාර්ගයයි. එහි ගෘහස්ථ ශීල දක්වා ඇත්තේ මෙසේ ය.
“උපාසක උපාසිකානං නිච්ච සීල වසෙන පඤ්ච සික්ඛාපදානි සති වා උස්සාහෙ දස උපෝසථංගවසෙන අට්ඨාති ඉදං ගහට්ඨසීලං”
එතැන්හි ආජීවාෂ්ටමක ශීලයක් සඳහන් කර නැත. දීඝනිකායේ සාමඤ්ඤ ඵල සූත්‍ර අටුවාවේ ද, මජ්ක්‍ධිම නිකායේ භයහේරව සූත්‍ර අටුවාවේ ද උපාසක ශීල වශයෙන් දක්වා ඇත්තේ ද පඤ්ච ශීලය ය.
සෝවාන් පුද්ගලයන්ගේ ශීලය
සංයුක්ත නිකායේ සෝතාපත්ති සංයුක්තයේ හා තවත් බොහෝ තැන්වල ද සෝතාපත්තියංග සතරක් දක්වා ඇත්තේ ය. එහි සතරවන අංගය වශයෙන් දකවා ඇත්තේ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුක්ත වන බව ය. ඒ ආර්‍ය්‍යකාන්ත ශීලය කුමක්ද යන බව මහාපරිනිර්වාණ සූත්‍ර අටුවාවේ මෙසේ දක්වා ඇත්තේ ය.
“අරියකන්තේහීති අරියානං කන්තේහි පියෙහි මනාපේහි පඤ්චසීලානි හි අරියසාවකානං කන්තානි හොන්ති භවන්තරේ පි අවිජ්හිතබ්බතො” මෙයින් දැක්වෙන්නේ පඤ්චශීලය අරියකන්ත ශීලය කියා ය. මේ අනුව කිවයුත්තේ සෝවාන් පුද්ගලයන්ගේ නිත්‍ය ශීලය පඤ්චශීලය බව ය.
ශීල බලයෙන් බුදුන් වහන්සේ නවතා ගත් පූර්ණා නම් දාසිය.
මේ මනෝරථපූරණී නම් අටුවාවේ සප්තක නිපාත වර්ණනාවේ එන කථාවකි.
එක් කලෙක තථාගතයන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වස් වැස පවාරණය කොට අග්‍රශ්‍රාවකයන් වහන්සේලා හා දක්ෂිණාගිරියට චාරිකාවේ යම්හයි නික්මුණු සේක. පසේනදී කොසොල් රජතුමා හා අනේපිඬු මහසිටුහු ද විශාකා මහා උපාසිකාව හා තවත් බොහෝ ජනයා ද එක් වී බුදුන් වහන්සේගේ ගමන නවත්වන්නට උත්සාහ කළහ. ඔවුනට බුදුන් වහන්සේ නැවැත්විය නො හැකි විය. අනේපිඬු සිටුතුමා තථාගතයන් වහන්සේ නො නැවැත්විය හැකිවීම ගැන සිතමින් ජන ශූන්‍ය ස්ථානයක වාඩි වී සිටියේය. සිටු නිවසේ වැඩ කරන පූර්ණා නම් දාසිය නො සතුටින් හිඳිනා සිටුතුමා දැක “හිමියනි, ඔබතුමා නො සතුටින් හිඳිනා සේ පෙනෙන්නේ කුමක් නිසා දැ” යි කීවාය. එකල්හි සිටුතුමා “තථාගතයන් වහන්සේ චරිකාවෙහි වැඩම කරන්නාහ. උන්වහන්සේ ඉක්මනින් පෙරලා වැඩම කරන සේක් ද නැත දැයි මම කල්පනා කරමින් හිඳිමි”යි කීය. එකල්හි දාසිය “තාථාගතයන් වහන්සේගේ ගමන නැවැත්වුව හොත් මට කුමක් කරන්නහුදැ”යි කීවාය. තිට එසේ කළ හැකිවුව හොත් තී නිදහස් කරමි”යි සිටුතුමා කීය. දාසිය වහා ගොස් බුදුන් වහන්සේට වැඳ “ස්වාමීනි නවතින සේක්වා” යි කීවාය. තථාගතයන් වහන්සේ “අප නැවතුන හොත් තී කුමක් කරන්නෙහිදැ”යි වදාළහ. “ස්වාමීනි, දාසියක් වූ මට කිසිවක් නැති බව ඔබ වහන්සේ දන්නාහ. මට කළ හැකි අන් කිසිවක් නම් නැත. ඔබ වහන්සේ නවතින සේක් නම් මම තිසරණ සහිත පඤ්ච ශීලයෙහි පිහිටා සිල් රකිමි”යි කීවාය. ධර්මගරුක වූ තථාගතයන් වහන්සේ ඇගේ ආරාධනය පිළිගෙන එක් පියවරකුදු ඉදිරියට නො තබා පෙරලා වැඩම කළ සේක. පූර්ණා ද බුදුන් වැඩමවා දී නිදහස ලබා මෙහෙණි සස්නෙහි පැවිදි වූවා ය.
පඤ්ච ශීලය තථාගතයන්වහන්සේ උසස් කොට සලකන ශීලයක් නොවේ නම් රජුන්ගේ සිටුවරුන්ගේ ආරාධනාව නො පිළිගත් තථාගතයන් වහන්සේ පඤ්ච ශීලය රකිමි” යි කී පූර්ණා දාසියගේ ආරාධනාව නො පිළිගන්නා සේක.
බුදුන් වහන්සේ දේශනා කරන ශීලය පඤ්ච ශීලය නොව ආජීවාෂ්ටමක ශීලය යයි ඇතැමුන් කියන නමුත් බුදුන් වහන්සේ විසින් හෝ ශාරිපුත්‍රාදි බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා විසින් හෝ කිසිවකුට ආජීවාෂ්ටමක ශීලය සමාදන් කරවූ බවක් පිටකත්‍රයේ සඳහන් වී තිබෙනු නො දක්නා ලදී. ඵසේ ආජීවාෂ්ටමක ශීලය සමාදන් වූ පුද්ගලයකු ගැන ද පිටකත්‍රයේ සඳහන්ව තිබෙනු නොදක්නා ලදී.
ආර්‍ය්‍ය අට්ඨංගික මාර්ගයේ ඇතුළත් වන්නේ ආජීවාෂ්ටමක ශීලය බව සැබෑ ය. එහි සම්මා වචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යනුවෙන් කියැවෙන්නේ ආජීවාෂ්ටමක ශීලය ය. ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය, වැඩිය යුත්තේ පඤ්ච ශීල, අෂ්ටාංග ශීල, දශ ශීල, චතුපාරිශුද්ධි ශීල යන මේ ශීලවල පිහිටා විදර්ශනා භාවනාවෙහි යෙදීමෙනි. විදර්ශනා වැඩීමෙහි යෙදෙන කල්හි මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීවයන්ට හේතු වන ක්ලේශයන් දුරුවීමෙන් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මාර්ගාංගයෝ වැඩෙති. ප්‍රථම මාර්ගය වන සෝතාපත්ති මාර්ගයට පැමිණි තැනැත්තාට “අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති” යන සතරවන අංගය ඇතිවන්නේ එහෙයිනි. එය ශීලසමාදානයකින් ඇතිවන්නක් නොවේ. ප්‍රාණඝාතාදියට හේතුවන ක්ලේශයන් දුරු වූ නිසා ඔහුට ඒවා නො කළ හැකි තත්ත්වයක් ඇති වේ. අරියකන්ත ශීලයෙන් යුක්තවීම යයි කියනුයේ ඒ තත්ත්වයට පැමිණීම ය.
පිටකත්‍රයේ කොතැනකවත් සඳහන් නො වන, අටුවා ටීකාවල සඳහන් නොවන පැරණි සිංහල බණ පොත්වල සඳහන් නොවන මේ ආජීවාෂ්ටමක ශීලයේ සිකපද අට කවර කලෙක කවුරු විසින් පිළියෙල කරන ලද දැයි එහි ඉතිහාසය නො දනිමු. සිකපද පිළියෙල කළ තැනැත්තාට එක් අවුලක් වී ඇති බව නම් පැහැදිලිය. දැනට භාවිත කරන ආජීවාෂ්ටමක ශීලයේ සිකපද යොදා ඇති පිළිවෙළ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ග දේශනයට නොගැලපේ. ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ග දේශනයේ ශීලය දක්වා ඇත්තේ සම්මා වාචා, සම්මා කම්මන්තො, සම්මා ආජීවෝ යි වාග්දුශ්චරිතයෙන් වැළකීම මුල්කොට ය. කායදුශ්චරිතයෙන් වැළකීම දෙවැනි තැනට ය. ඒ නිසා ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ග දේශනාව අනුව ආජීවාෂ්ටමක ශීලයේ සිකපද පිළියෙළ කරනවා නම්-
මුසාවාදා වේරමණී, පිසුනාය වාචාය වේරමණී, ඵරුසාය වාචාය වේරමණී, සම්ඵප්පලාපා වේරමණී, පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමෙසු මිච්ඡාචාරා වේරමණී, මිච්ඡා ආජීවා වේරමණී යන පිළිවෙළට ය. පාණාතිපාතා වේරමණී යන්න මුලට ගෙන තිබෙන්නේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය අනුව නොව පඤ්ච ශීලය අනුව යාමෙනි.
“අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් ස්වාමින් වහන්සේගේ අදහස”
ආජීවාෂ්ටමක ශීලය සමාදන් කරවීම, සමාදන් වීම අපේ පොත්වලට ද ඇතුළත් වී ඇත. එසේ වී තිබෙන්නේ බාල කාලයේ අප ඇසුරු කළ තෙරුන් වහන්සේලාගේ ඉගැන්වීම අපත් අවිචාරයෙන් පිළිගෙන සිටි බැවිනි. අපේ පොත් නැවත නැවත මුද්‍රණය කරවීමේ දී ඒ ශීලය ඒවායින් ඉවත්කිරීමට උපදෙස් දී ඇත.
කරුණාකර මෙම කරුණු සම්බන්ධව ඔබත් සොයා බලන්න…..
මීළඟ ලිපියෙන් “නිත්‍ය ශීලය වශයෙන් ආජීව අෂ්ටමක ශීලය සුදුසු ද?” ගැන විස්තරයක් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වෙමි.
මෙම ලිපිය උපුටා ගන්නා ලද්දේ අන්තර්ජාලය ඇසුරෙනි.
අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම දේශනා හුදෙක් ධර්ම දානයක් ලෙස
ඉදිරි ඉදිරිපත් කරන ලදී.
මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත්පත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන් ප්‍රථමයෙන් මෙම ලිපිය ඉදිරිපත් කළ මහත්මට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.
එසේම මෙම ලිපිය අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පිංවත් මහත්ම, මහත්මීන් වෙතටද එසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.
මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!
සාදු… සාදු… සාදු…
By Rasika Nambagodage
www.aryapatipada.org