Description of Seelaya

සීල විස්තරය

අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත “පොහොය දිනය” ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී.

සිල් ඉල්ලන වාක්‍යයේ තේරුම:

ඕකාස! අහං භන්තේ, තිසරණේන සද්ධිං (අට්ඨංගුපෝසථ සීලං / නවාංගුපෝසථ සීලං / දසාංගුපෝසථ සීලං) ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේථ මේ භන්තේ; අනුකම්පං උපාදාය.

 

අවසර ස්වාමීනි! මම තිසරණය සහිත ( අෂ්ටාංග උපෝසථ ශීලය / නවාංග උපෝසථ සීලය / දසාංග උපෝසථ ශීලය )  ඉල්ලමි. මා හට අනුග්‍ර‍හ කොට අනුකම්පාවෙන් සිල් දුන මැනවි.

 

දුතියම්පි, තතියම්පි යි දෙවනුව තුන්වෙනුව කියන්නේ ද එයමය.

නමස්කාර පාඨයේ තේරුම:

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුදු සම්බුද්ධස්ස

 

ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුඬයන් වහන්සේට නමස්කාර කරමි.

සරණගමන පදවල තේරුම:

බුද්ධං සරණං ගච්ඡාමි

සියල්ල දැන වදාළා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සසර දුකින් මිදීම පිණිස නිවන් සුවය ලබනු පිණිස උතුම් පිහිටක් කොට සේවනය කරමි. උතුම් පිහිටකැයි පිළිගනිමි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.



ධම්මං සරණං ගච්ඡාමි

සතරමාර්ග සතරඵල නිර්‍වාණ යන නවලොව්තුරා දහම හා භාග්‍යවතුන් වහන්සේගේ දේශනා ධර්මය සසර දුකින් මිදීම පිණිස නිවන් සුවය ලබනු පිණිස උතුම් පිහිටක් කොට සේවනය කරමි. උතුම් පිහිටකැයි පිළිගනිමි. මම ඒ ධර්මය අනුව හැසිරෙන්නෙක් වෙමි.



සංඝං සරණං ගච්ඡාමි

තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සසර දුකින් මිදෙනු පිණිස නිවන් සුවය ලබනු පිණිස උතුම් පිහිටක් කොට සේවනය කරමි. උතුම් පිහිටකැයි පිළිගනිමි. මම ඒ සංඝරත්නයේ ශ්‍රාවකයෙක් වෙමි.



දුතියම්පි, තතියම්පි යන වචනවල තේරුම දෙවනුව ද තුන්වනුව ද යනුයි.

ශරණ නම් කුමක් ද?

සසර සැරිසරණ සත්ත්වයනට පැමිණිය හැකි අපාය දුක්ඛයෙන් හා ජාති ජරා ව්‍යාධි මරණ අප්‍රිය සම්ප්‍රයෝග ප්‍රිය විප්‍රයෝග ශෝක පරිදේව දුඃඛ දෞර්මනස්‍ය උපායාශ යන සංසාර දුක් වලින් ද මිදීම පිණිස සත්ත්වයනට උපකාර වන බැවින් බුඬ ධර්‍ම සංඝ යන මේ අත්‍යුත්තම වස්තු තුන ශරණ නම් වේ.

බුද්ධ නම් කවරේ ද?

සසර සැරිසරන අසරණ සත්ත්වයන් ගැන ඇති වූ මහා කරුණාව නිසා බොහෝ දුක්ගෙන අති දීර්ඝ කාලයක් දානශීලාදි පාරමිතාවන් සම්පූර්ණ කොට ඒ මහා පුණ්‍යස්කන්ධයාගේ බලයෙන් සියලු කෙලෙසුන් නසා සියල්ල දැන වදාළා වූ මහාකාරුණිකයන් වහන්සේ බුද්ධ නම් වන සේක.

 

බුදුන් වහන්සේ සත්ත්වයනට පිහිට වන්නේ කෙසේ ද?

මේ කුශලය, මේ අකුශලය ය, මේ කළ යුත්ත ය, මේ නොකළ යුත්ත ය, මෙසේ කිරීමෙන් මෙබඳු විපාක ඇතිවන්නේ ය යි දුකින් මිදීමේ ද, ලෞකික ලෝකෝත්තර සම්පත් ලැබීමේ ද මඟ දක්වා අනුශාසනා කිරීමෙන් බුදුන් වහන්සේ සත්ත්වයනට පිහිට වන සේක.

 
බුදුන් වහන්සේගේ පිහිට ලබන්නේ කෙසේ ද?

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීමෙන් ද උන්වහන්සේට වැඳුම් පිදුම් කිරීමෙන් ද උන්වහන්සේ වදාළ ධර්මය අනුව පිළිපැදීමෙන් ද පිහිට ලැබිය යුතු ය.

 
ධර්‍මරත්නය සත්ත්වයනට පිහිට වන්නේ කෙසේ ද ?

සත්ත්වයනට ඒකාන්තයෙන් පිහිට වන්නේ ධර්‍මරත්නය ය. එහි පිිහට ලැබීමට සතරමාර්ග සතරඵල ධර්‍ම තමා තුළ ඇති කර ගත යුතු ය. නිවන් ප්‍ර‍ත්‍යක්ෂ කර ගත යුතු ය. මාර්ග ඵල ධර්ම නිසා තමා කෙරෙන් නොයෙක් දුක්වලට හේතුවන රාගාදි ක්ලේශයෝ මතු නොහට ගන්නා පරිද්දෙන් දුරුවෙති. එය මාර්ගඵලවලින් ලැබෙන පිහිට ය. නිවන ප්‍ර‍ත්‍යක්ෂ කර ගත් කල්හි එහි බලයෙන් මතු කිසි කලෙක දුක් ඇති නොවේ. බුදු රදුන් දෙසූ දහම සත්ත්වයනට දුකින් මිදීමට හා සැපයට පැමිණීමට මඟ දැක්වීම වශයෙන් පිහිට වේ.

 
ධර්මරත්නයේ පිහිට ලබන්නේ කෙසේ ද?

ශීලයෙහි පිහිටා ශමථ විදර්ශනා භාවනාවන්හි යෙදී මඟඵල ලබා නිවන ප්‍ර‍ත්‍යක්ෂ කර ගැනීමෙන් ලෝකෝත්තර ධර්මයන්ගේ පිහිට ලැබිය යුතු ය. තථාගතයන් වහ්නසේ දේශනා කර ඇති ධර්මය උගෙන තේරුම් ගෙන ඒ ධර්මය අනුව වැඩ කිරීමෙන් දේශනා ධර්මයේ පිහිට ලැබිය යුතු ය.

 
සංඝරත්නය පිහිට වන්නේ කෙසේ ද?

ගොවියකුට කුඹුරක් පිහිට වන්නාක් මෙන් ද, අනුශාසනා කිරීමෙන් ද සංඝරත්නය ජනයාට පිහිට වේ. අපමණ සීලාදි ගුණවලින් යුක්ත බැවින් සංඝරත්නය උතුම් පින් කෙතකි. සරු කුඹුරෙහි වපුරා ගොවියන් බොහෝ ඵල ලබන්නාක් මෙන් සංඝරත්නයට පූජා සත්කාර කොට බොහෝ මනුෂ්‍යයෝ ද දෙවිමිනිස් සැප ලබති. සංඝරත්නයක් නැති නම් ජනයාට ඒ පින් නොලැබිය හැකි ය. පින් ලැබීමට උපකාරවීම සංඝරත්නයෙන් ලැබෙන පිහිට ය. බොහෝ භික්ෂූහු මහජනයාට දෙලොව වැඩ පිණිස අනුශාසනය කෙරෙති. එද සංඝයා ජනයාට පිහිටවන එක් ක්‍ර‍මයෙකි.

 
සංඝරත්නයේ පිහිට ලැබෙන්නේ කෙසේ ද?

පින් කෙතක් වන මහා සංඝරත්නයට සිවුපසය පිරිනැමීමෙන් හා වත් පිළිවෙත් කිරීමෙන් පින් සිදුකර ගැනීමෙන් ද, සංඝයා ඇසුරු කොට පින්පව් – කළ යුක්ත නො කළයුත්ත දැන ඒ අනුව පිළිපැදීමෙන් ද සංඝරත්නයේ පිහිට ලබා ගත යුතු ය. නිකම්ම මට රත්නත්‍ර‍ය පිහිට වේවා, මාගේ පිහිට රත්නත්‍ර‍ය යි කීවාට හෝ සිතුවාට රත්නත්‍රයේ පිහිට නො ලැබෙන බව ද සැලකිය යුතු ය.

ශරණ ශීලය කිලිටිවීම

ද්වත්‍රිංශත් මහා පුරුෂ ලක්ෂණ, අසීත්‍යනුව්‍යඤ්ජන ලක්ෂණ, ව්‍යාමප්‍ර‍භා කේතුමාලා ෂට්වර්ණ රශ්මි ඇති නොයෙක් සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය ඇති සියලු කෙලෙසුන් දුරු කළ සියල්ල දත් පුද්ගලයෙක් ඇතිවී ද? බුදුන් ය කියන තැනැත්තා නිකම්ම සිතින් මවා ගෙන කියන පුද්ගලයෙක් ද? කියා සැක කිරීම: ඇතය කියන නවලෝකෝත්තර ධර්මය සැබෑවට ම ඇතියක් ද? ඒවාට පැමිණීමට ගන්නා මහන්සියෙන් පලක් ඇත ද? නැත ද? ත්‍රිපිටක ධර්මය සත්‍ය ද? අසත්‍ය ද? යනාදීන් සැක කිරීම, සුප්‍ර‍තිපන්නාදි ගුණවලින් යුක්ත සංඝරත්නයක් ඇත ද? නැත ද? රහත්හු ඇත ද? නැත ද? යනාදීන් සැක කිරීම යන මේ කරුණුවලින් ශරණ ශීලය කිලිටි වේ. සැබෑ වන්නේ බුද්ධාගම ද? කතෝලික ආගම ද? යනාදීන් සැකකිරීමෙන් ද ශරණ ශිලය කිලිටි වේ.

ශරණ ශීලය බිඳීම

මේ බුදුන්ගෙන් ඔවුන්ගේ ධර්මයෙන් සංඝයාගෙන් අපට ඇති පලක් නැත කියා රත්නත්‍ර‍ය ප්‍ර‍තික්ෂේප කිරීමෙන් ද, අන් ශාස්තෘවරයකු හෝ දෙවියකු හෝ ලෝකයෙහි ශ්‍රේෂ්ඨය යි සිතා අනික් ආගමක් පිළිගැනීමෙන් ද ශරණ ශීලය බිඳේ. බෞද්ධයකු වන්නේ ශරණ ශීලයෙනි. එය සැමට ම තිබිය යුතු ය. එය නැත්තේ බෞද්ධයෙක් නොවේ.

මීළඟ ලිපියෙන් සිල් පදවල තේරුම ගැන විස්තරයක් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වෙමු.

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org

Scroll to Top