How Should Seela Be Observed

සිල් සමාදන්වීම කෙසේ විය යුතුද?

අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත “පොහොය දිනය” ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී.

අඹුදරුවන් පෝෂණය කරමින් ජීවත්වන මිනිසාට සැමදාම පින් කිරීමෙහි යෙදෙන්නට ඉඩක් නැත. එබැවින් පැරණියෝ මසකට දින සතරක් පින් කිරීම සඳහා වෙන්කර ගත්හ. පෝය දවස් ය කියනුයේ ඒ දිනවලට ය. පොහෝ දිනයන් නියම කරගෙන තිබුණේ බුදුරදුන් ලොව පහළ වීමට පෙර සිට ය. උන්වහන්සේ ද ඒ පෝය දින එසේම පිළිගෙන ඒ දිනවලදී පෙහෙවස් විසීම අනුදැන වදාළ සේක. එබැවින් බෞද්ධයෝ ඒ දින වලදී සිල් සමාදන්වීම පුරුදු කර ගත්හ.

 

සැදැහැති නුවණැති බෞද්ධයෝ අන් කටයුතුවල නොයෙදී පොහෝ දිනයෙහි සිල් සමාදන් වෙති. සිල් සමාදන් නො විය හැක්කෝ ද ඒ දිනයෙහි විහාරස්ථානවලට ගොස් දහම් ඇසීම් මල්පහන් පිදීම් ආදි පින්කම් කරති. විශේෂයෙන් පව්කම්වලින් වැළකෙති. රක්ෂාව පිණිස සතුන් මරන්නෝ එදින සතුන් නො මරති. සතුන්ගෙන් වැඩගන්නෝ එදින වැඩ නො ගනිති. ගොවීහු පොළොව කෙටීමෙන් හා හේන් ගිනි තැබීමෙන් වළකිති. පොහෝ දිනය දෙව්ලොව දෙවියන්ගේ ද සැලකිල්ලට භාජන වී ඇති දිනයකි. පොහෝ දිනයන්හි දෙවියන් මිනිස්ලොව ඇවිද පින් කරන මිනිසුන් ගණන් ගන්නා බව ලෝකානුවිවරණ සූත්‍රයෙහි වදාරා ඇත්තේ ය.

සිල් සමාදන් වීමට සූදානම් වීම

සිල් සමාදන් වන පින්වතුන් පෝයට පෙර දිනයේ ම ඒ සඳහා සූදානම් විය යුතු ය. පොහෝ දිනයේ කරන්නට ඇති යමක් ඇති නම්, ඒ සියල්ල කලින් කිරීමෙන් හෝ අනිකකුට පැවරීමෙන් හෝ කල් තැබීමෙන් හෝ පොහෝ දිනය සම්පූර්ණයෙන් අවකාශ ඇති දිනයක් කර ගත යුතු ය. හැඳීමට සුදු වතක් සුදු බැනියමක් ද ඒකාංස කොට පෙරවීමට සතර රියනක් හෝ පස් රියනක් ඇති සුදුවතක් ද පිළියෙළ කර ගත යුතු ය. තමන් වෙත ඇති වස්ත්‍ර‍ කිලිටි වී ඇති නම් ඒවා පිරිසිදු කර තබා ගත යුතු ය. සුදු රෙදි නැති නම් තමන්ට ඇති වස්ත්‍ර‍යක් හැඳ සිල් ගැනීම ද වරද නැත. සුදුවත් හැඳ පෙරවීම චාරිත්‍ර‍යක් මිස ශීලයේ අංගයක් නොවේ.

 

සිල් සමාදන් වීමෙන් පසු දානය, ගිලන්පස ලැබෙන ක්‍ර‍මයක් සලසා ගත යුතු ය. ඒවා තමා විසින් ම පිළියෙළ කර ගැනීමෙන් ද වරදක් නැත. තමා ම ඒවා පිළියෙළ කර ගන්නවා නම් වුවමනා උපකරණ කලින් සූදානම් කර තබා කාලය පැමිණි කල්හි ආහාර පිස ගත යුතු ය. ගිලන්පස පිළියෙළ කර ගත යුතු ය.

 

ගෙදර තමන් විසින් සත්කාර කළයුතු දුබලයකු හෝ රෝගියකු හෝ ඇති නම් සිල් සමාදන් වී සිට ඔවුන්ට සත්කාර කිරීම ද වරද නැත. සිල්සමාදන් වූ දිනයේ සිකපද නොබිඳෙන පව් නොවන කිනම් දෙයක් වුව ද කිරීමෙන් වරදක් නොවේ.

 

පොහෝ දිනයට එළිවෙන්නට කලින් අලුයම සතරට පහට පමණ නැගිට මුහුණ සේදීම් ආදියෙන් ශරීරය පිරිසිදු කරගෙන, මල් නෙලා ගන්නට ඇති නම් නෙලා ගෙන, උදයට අනුභව කිරීමට ආහාරයක් ඇති නම් එය ද වළඳා කනේ, කරේ හිසේ හා අත්වල පැළඳි අබරණ ඇති නම් ඒවා ශරීරයෙන් මුදා පරෙස්සම් වන සේ තබා, සුදුවත් හැඳ පෙරවා මල් ආදී පූජා භාණ්ඩ ගෙන උදේ හයට කලින් සිල් සමාදන් වන ස්ථානයට යා යුතු ය.

 

සිල් සමාදන් වීමට කලින් ආහාර ගැනීම නුසුදුසු යයි ඇතැම්හු සිතති. ඒ වැරදි හැඟීමකි. වඩා හොඳ ක්‍ර‍මය උදයට ගන්නා ආහාරය සිල් සමාදන්වන්නට කලින් වැළඳීම ය. එසේ නො කළහොත් සිල්සමාදන් වූ සැටියේ ම ආහාර සොයා යන්නට සිදුවේ. එය සිල් සමාදන් වී කරන භාවනාදි කටයුතුවලට බාධාවකි. කලින් ම ආහාර ගෙන සිල් සමාදන් වූ කල්හි එතැන් පටන් දවල් දාන වේලාව පැමිණෙන තුරු භාවනාදි කටයුතුවල බාධාවක් නැතිව යෙදිය හැකි ය.

 

සිල් සමාදන් වී වැඳුම් පිදුම් ආදිය කොට දවල් වී අටට නවයට පමණ උදයට ගන්නා ආහාර ගැනීම නුසුදුසු ය. සිල් සමාදන් වූවන් විසින් දවල් දොළහට කලින් ආහාර ගත යුතු ය. වරක් ගත් ආහාරය දිරවීමට අඩු ගණනින් සතර පැයක් ගත වන්නේ ය. අට නවය වී ගන්නා ආහාරය දවල් දානය වේලාවට නො දිර වන්නේ ය. වරක් ගත් ආහාය දිරවන්නට කලින් තවත් ආහාර ගැනීම ශරීරයට අහිත ය. එයින් රෝග හට ගන්නට ඉඩ ඇත. උදේ ගත් ආහාරය දිරවන්නට පෙර දවල් ආහාර ගන්නහුට දවසට සෑහෙන ආහාර ගන්නට නො පිළිවන් විය හැකි ය. එයින් රාත්‍රි කාලයේ නිරාහාරව සිටීමේ දී අපහසුකම් ද ඇතිවිය හැකි ය. එබැවින් සිල් සමාදන් වීමට කලින් ඉතා උදෑසනින් ම ආහාර වළඳා සිල් සමාදන් වීම ඉතා හොඳ බව සැලකිය යුතු ය.

සිල් සමාදන්වීම

තමන්ගේ සිත පහදින සිල්වත් ගුණවත් සම්භාවනීය මහතෙර නමක් ලවා සිකපද කියවා ගෙන සිල් සමාදන් වීම ඉතා හොඳ ය. එබඳු කෙනකුන් නොලබන කල්හි කුඩා සාමණේර නමකගෙන් වුව ද සිල් සමාදන් විය යුතු ය. ශීලය සිල් සමාදන් කරවන භික්ෂූන් වහන්සේ වෙත තිබී ගිහියා වෙතට එන දෙයක් නොවේ. භික්ෂූන් වහන්සේ කරනුයේ ගුරුවරයකු වශයෙන් සිකපද කියවීම ය. ඒවා කියා ගැනීමෙන් ගිහියාට ශීලය ඇති වේ. ගිහියාට සිල් පිහිටීමට සිල් දෙන භික්ෂූන් වහන්සේ සිල්වත් වීම හෝ නොවීම කරුණක් නො වේ. එබැවින් සිල් දෙන භික්ෂුවට සිල් ඇති නැති බව සොයන්න නො යා යුතු ය. භික්ෂුවක් නැති කල්හි උපාසක කෙනකු ලවා සිකපද කියවා ගැනීමට ද සුදුසු ය. සිකපද කියවා සිල් සමාදන් කරවන කෙනකු නැති කල්හි තමා සිකපද දන්නේ නම් විහාරයකට හෝ චෛත්‍යයක් බෝධියක් සමීපයකට හෝ ගොස් තමා විසින් ම සිකපද කියා සමාදන් වීම ද සුදුසු ය. විහාරාදියක් නැති තැනක් වී නම් කොතැනක හෝ හිඳ තුනුරුවන් ගුණ සිහි කොට වැඳ තමා විසින් ම සිකපද කියා සමාදන් වීම ද සුදුසු ය.

 

උදේ හයට සිල් සමාදන් වීම අපහසු නම් හතට අටට වුවද සිල් සමාදන්වීම සුදුසු ය. සිල් සමාදන් වීමට නියමිත නැකැත් වේලාවක් නැත. උදේ හයට ම සමාදන්වීම වඩා හොඳ බව පමණක් කිය යුතු ය. ශීලය කිනම් වේලාවක සමාදන් වුවත් සිංහල පැයින් සැට පැයක් ව්‍යවහාර පැයින් සූවිසි පැයක් ශීලයෙහි පිහිටා සිටිය යුතු ය. පොහෝ දින උදයේ හයට සිල් සමාදන් වන තැනැත්තා පසුදින උදයේ හය වනතුරු ද, හතට සිල් සමාදන් වූ තැනැත්තා පසුදින උදයේ හත වන තුරු ද, අටට සිල් සමාදන් වූ තැනැත්තා පසු දින උදයේ අට වන තුරු ද, ශීලයෙහි පිහිටා දවස සම්පූර්ණ කළ යුතු ය.

අර්ධ උපෝසථය

සිල් සමාදන් වීමට අයත් විශේෂ ගුණාංගය විකාල භෝජනයෙන් වැළකීම ය. සතියකට එක් දිනක් විකාල භෝජයෙන් වැළකීම ශරීරයට ද හිත ය. ආහාර දිරවීම හා මුවින් කයට ඇතුළු කළ ආහාරයන් ක්‍ර‍මයෙන් පොඩි කර ඒවායේ ඕජස නික්මවා දී අධෝ මාර්ගය දක්වා ඒවා ගෙනයාම සඳහා දවස මුළුල්ලේ ම බඩවැල්වලට ක්‍රියා කරන්නට සිදු වී තිබේ. නොදැනෙන නමුත් මිනිසා අවදිව සිටින්නා වූ ද නිදා සිටින්නා වූ ද නොයෙක් වැඩවල යෙදී සිටින්නා වූ ද සෑම අවස්ථාවේ ම නැවතීමක් නැතිව ම බඩවැල වැඩ කරයි. නැවතීමක් නැතුව බඩවැලෙන් වැඩ ගැනීම නුසුදුසු ය. එයට විශ්‍රාමයක් දිය යුතු ය. එසේ විශ්‍රාම දීම නිරෝගී බවට හා දීර්ඝායුෂ්ක වීමටත් හේතු වේ. පොහෝ දින රක්නා සිල්වල සිකපද වලින් අමාරුවෙන් රැකිය යුතු සිකපදය විකල් බොජුන් සිකපදය ය.

 

එය රකින තැනැත්තාට බඩගිනි ඉවසන්නට සිදු වේ. එයින් ඔහුට ඉවසීම නමැති මහඟු ගුණය පුරුදු වේ. සත්ත්වයනට ඇතිවන තණ්හාවන් අතුරෙන් ආහාර තණ්හාව ඉතා බලවත් එකකි. ලෝකයේ කෙරෙන පව්කම් වලින් බොහෝවක් කෙරෙන්නේ ආහාර තණ්හාව නිසා ය. සිල් සමාදන් වී එක් රැයක් වුව ද ආහාර තණ්හාව දුරුකරගෙන විසීමෙන් තණ්හාව දුරුකිරීම පුරුදු වේ. එයින් මහත් චිත්ත ශක්තියක් ලැබේ. එය අනික් කෙලෙසුන් දුරුකිරීමට ද මහෝපකාරී වේ. එබැවින් දවසෙන් අඩක් සිල් රැකීමෙන් ම සෑහීමකට පත් නොවී සම්පූර්ණ දවස ම ශීලයෙන් විසීමට උත්සාහ කළ යුතු ය. ඇතැම්හු අපි දුබලයෝ ය. රාත්‍රී භෝජනයෙන් වැළකීමට අපට අපහසු ය, ඒ නිසා අපි දවාලෙහි පමණක් සිල් සමාදන්ව වෙසෙමු යයි කියති. රාත්‍රී භෝජනය නොගැනීමෙන් බොහෝ අපහසු ඇතිවන බව සැබෑ ය. සිල් සමාදන් වීමේ තේරුම ඒ අමාරු ඉවසීම හා ආහාර තෘෂ්ණාව මැඩ පවත්වා ගැනීමය. එසේ නො කරන්නවුන්ගේ අර්ථ උපෝසථයෙහි වටිනාකමක් නැත. අර්ථ උපෝසථය වශයෙන් දවල් කාලයට පමණක් සිල් සමාදන්විය යුත්තේ විකල් බෝජුනෙන් වැළකුණ හොත් මැරෙන තරමේ බලවත් කරුණක් ඇති විටෙක පමණ ය. අර්ථ උපෝසථය සම්පූර්ණ වීමට ද දොළොස් පැයක් ශීලයෙන් යුක්තව විසිය යුතු ය. ඇතැම්හු උදයේ හයට හතට සිල් සමාදන්වී සවස හතරට පහට පවාරණය කරති. එය නො මැනවි. එසේ කරන්නවුන්ට අර්ධ උපෝසථය ද නො ලැබේ.

 

සිල් සමාදන් වූ සැදැහැවතා විසින් කාලය අපතේ යන්නට නොදී පෝය දවසේ මුළු කාලයෙන් ම ප්‍රයෝජන ලබාගැනීමට උත්සාහ කළ යුතු ය. ඇතැම්හු සිල් සමාදන් වී අනතුරුව සුදුසු වැඩවල නොයෙදී කාලය අපතේ හරිති. එසේ නොවීමට කාලසටහනක් අනුව පොහෝ දිනයේ වැඩ කළ යුතු ය. සැම තැන ම සිල් සමාදන් වන සැමදෙනාට ම එක් කාලසටහනක් අනුව වැඩ කළ නො හැකිය. කාලසටහන ඒ ඒ තැන්වලට ගැලපෙන පරිදි පිළියෙළ කරගත යුතු ය. තම තමන්ට ගැලපෙන පරිදි කාල සටහන සකස් කරගෙන කාලය අපතේ නො යන පරිදි පොහෝ දින වැඩ කළ යුතු ය.

අටසිල්, නවාංග උපෝසථ සිල් සහ දස සිල් සමාදන්ව න ආකාරය හා පිලිපැදිය යුතු වත් පිළිවෙත් ගැන ඉදිරි ලිපිවලින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org