නොකළ යුතු දෙතිස් කථා

උපුටා ගන්නා ලද්දේ  2020 ජූලි 04 වැනි දා සෙනසුරාදා “බුදුසරණ අන්තර්ජාල කලාපය” පුවත්පතිනි.

බෙලිහුල්ඔය සීලසමාහිත යෝගාශ්‍රමවාසී
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද අභිධර්මය පිළිබඳ කථිකාචාර්ය
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත බලංගොඩ රාධ හිමි

බුදු මුවින් පිට වූ වචන ශී‍්‍ර සද්ධර්මය ලෙසින් යුගයෙන් යුගයට හදවත් සනසාලන්නේ ඒ සෑම ප්‍රකාශයක්ම අර්ථවත් හා සත්‍යවත් බවින් යුතු වන හෙයිනි. එවන් සත්‍ය ධර්මයක් අවබෝධ කර ගැනීම සදහා පිළිපන් ශ්‍රාවකයා ද අවශ්‍යයෙන් ම සත්‍යවාදී විය යුතු ය. හිස් කථා ඇත්තෙකු නොවිය යුතු ය. වරදවා භාවිතයට ගත් වචනය සතර අපා දුකට පමුණුවන බව බුදුරදුන් විසින් නොයෙක් වර වදාරා ඇත.

බුදු මුවින් පිට වූ වචන ශී‍්‍ර සද්ධර්මය ලෙසින් යුගයෙන් යුගයට හදවත් සනසාලන්නේ ඒ සෑම ප්‍රකාශයක්ම අර්ථවත් හා සත්‍යවත් බවින් යුතු වන හෙයිනි. එවන් සත්‍ය ධර්මයක් අවබෝධ කර ගැනීම සදහා පිළිපන් ශ්‍රාවකයා ද අවශ්‍යයෙන් ම සත්‍යවාදී විය යුතු ය. හිස් කථා ඇත්තෙකු නොවිය යුතු ය. වරදවා භාවිතයට ගත් වචනය සතර අපා දුකට පමුණුවන බව බුදුරදුන් විසින් නොයෙක් වර වදාරා ඇත.

සත්‍ය වචන කථා කිරීමෙන් මුසාවාදය දුරු කළ යුතු අතර දස කථාවෙහි යෙදීමෙන් තිර්ච්ඡාන කථා දුරු කළ යුතු ය. සුගතියට හා නිවනට බාධා පමුණුවන කථාවන් තිර්ච්ඡාන කථා නමින් හැඳින්වේ. විනෝදාස්වාදය වෙනුවෙන් හෝ එවන් කථා කිරීම හා ඇසීම සත්‍යාවබෝධයට ඍජුවම බාධා පමුණුවන බව වදාරා ඇත.

දෙතිස් කථා නමින් දක්වා ඇති එකී කථා සල්ලාපයන් නැතුවම බැරි තත්වයට වත්මන් ජන සමාජය පත්ව ඇත. නොකළ යුතු කථා ලෙස බුදුන් වදාළ දෙතිස් කථා හා කළ යුතු යැයි වදාළ දස කථා පිළිබද කෙටි සටහනක් මෙම ලිපිය මගින් ඉදිරිපත් කෙරේ.

  1. රජුන් පිළිබඳ කථා
    තිර්ච්ඡානකථා සූත්‍රයේ දක්වා ඇති පරිදි ලෝභ ද්වේෂාදී කෙලෙස් හට ගැනීමට හේතුවන පරිදි රජවරු ගැන කථා කිරීම නොකළ යුතු ය. රාජ්‍ය නායකයින්ගේ ගුණ දොස් විවේචනයට යාම තුළින් ඇලීම හෝ ගැටීම ඇතිවන බව ප්‍රකට කරුණකි.

  2. සොරුන් පිළිබඳ කථා
    චොරකථා යනු සොරුන් සහ මංකොල්ල කණ්ඩායම් ගැන කථා කිරීම යි. ඔවුන්ගේ වීරකම් ගැන කථා කිරීම මඟින් අකුසල් සිත් පහළ වේ. ආරක්ෂා වීම සදහා කථා කරයි නම් වරදක් නොවේ.

  3. රජ ඇමතියන් පිළිබඳ කථා
    මහාමත්ත කථා යනු මැති ඇමතිවරු ගැන කථා කිරීම යි. එමඟින් ද වාචසික අසංවරය ඇති වේ නම්, ධර්ම මාර්ගයට බාධාවකි. භික්ෂුවකගේ පැත්තෙන් ගත් විට සේනාසන ආරාම ගැන කථා කරමින් විනෝද වීම වැරැද්දකි.

  4. සේනා පිළිබඳ කථා
  5. භය පිළිබඳ කථා
    භයකථා යනුවෙන් දක්වා ඇත්තේ හොල්මන්, අවතාර වැනි දේ ගැන සාකච්ඡා කිරීම යි.

  6. යුද්ධ කථා
    යුද්ධකථා යනුවෙන් දක්වා ඇත්තේ රජවරුන් අතර හෝ යුධ භටයන් අතර ඇතිවන සටන් ගැන කථා කිරීම යි. ආස්වාදය බලාපොරොත්තුවෙන් එබඳු කථාවල යෙදීම තුළින් සමාධිය බිඳ වැටේ. බාහිර විතර්කයන් සමාධියට පරිපන්ථ ධර්මයන් ය.

  7. කෑම පිළිබඳ කථා
    අන්නකථා යනු කෑම වර්ග ගැන කථා කිරීම යි. වත්මන් සමාජය තුළ මෙබඳු කථා දවස පුරාවට අසන්නට ලැබේ. ලෝභය හා රස රාගය වැඩි වීමට හේතුවන එබඳු කථා ධර්ම මාර්ගයට ආවරණයකි.

  8. බීම පිළිබඳ කථා
    පානකථා යනු පාන වර්ග, බීම වර්ග ගැන කථා කිරීම යි.

  9. ඇඳුම් පිළිබඳ කථා
    ඇඳුම් පැළඳුම් ගැන කථා කිරීම වත්ථකථා නමින් දක්වා ඇත. මෙය ගිහි පාර්ශවයට තදින්ම බලපාන කරුණකි. ඇඳුම නිසා ඇලීම ඇති වේ නම් එය නීවරණ ධර්මකයකි. සිත කෙලෙසී යන එබදු කල්පනා දුරු කළ යුතු ය.

  10. යහන් පිළිබඳ කථා
    සයන කථා යනු ඇඳ,පුටු,මේස,ගෘහභාණ්ඩ ගැන කථා කිරීම යි. එමගින් ලෝභය ඇතිවන බව අමුතුවෙන් කිවයුතු නොවේ.

  11. මල් මාලා පිළිබඳ කථා
    මාලාකථා යනුවෙන් අදහස් කරන්නේ මල්මාලා සැරසිලි ගැන කෙරෙන සල්ලාපයන් ය.

  12. සුවඳ පිළිබඳ කථා
    සුවඳ විලවුන් ගැන කථා කිරීම ගන්ධකථා නම් වේ. ධර්මය පුරුදු කරන බුද්ධ ශ්‍රද්ධාවන්තයෙකුට එවැනි මන්ත්‍රණයන් මුලුමනින් ම අයෝග්‍ය වේ. නොකර සිටීමට වගබලා ගත යුතු ය.

  13. නෑයන් පිළිබඳ කථා
    ඤාතිකථා ලෙස පෙන්වා ඇත්තේ ‘අපගේ ඤාතීහු වීරයෝ ය. විසිතුරු යාන-වාහන ආදියෙන් ගමන් කළෝ ය’ ආදී වශයෙන් තම නෑ පරපුර ගැන උදම් ඇනීම යි.

  14. රථ වාහන පිළිබඳ කථා
    සිවිකා, දෝලා, ගැල් කණ්ඩායම් ගැන කථා කිරීම ද ලෝභාදී කෙලෙස් ඇතිවීමට හේතුවේ නම් සුදුසු නොවේ.

  15. ගම් පිළිබඳ කථා
  16. නියම් ගම් පිළිබඳ කථා
  17. නගර පිළිබඳ කථා
  18. ජන පද පිළිබඳ කථා
    ගම්, නියම් ගම්, නගර හා ජනපද පිළිබඳ කතාවන් ද භාවනා මාර්ගයට අන්තරායකර වන්නේ එමඟින් මනස අවුල් වන නිසා ය. විවිධ විසම අදහස් ජනිත වීමට තුඩු දෙන පරිදි රාජ්‍යයන් ගැන කථා මීටම ඇතුළත් වේ. පොළොව, ඉර, හඳ, ග්‍රහ, තාරකා, සාගර, මුහුදු, පර්වත වැනි වස්තූන් ගැන හෝ කථා කරන විට සතිය ගිලිහී ගොස් සිත භාවනා අරමුණෙන් පිට පනී නම් නොකළ යුතු ය. අනිත්‍යයේ ලක්ෂණය හඳුනා ගැනීම ආදී කරුණක් සදහා එවැනි කථා කිරීම වරදක් නොවේ.

  19. ස්ත්‍රීන් පිළිබඳ කථා
    ගැහැනු, පිරිමින්, නළු-නිළියන්, ගායක-ගායිකාවන්, නර්තන,ගායන,වාදනයන් ගැන කථා කිරීම තථාගත ධර්ම‍ය පුරුදු කරන්නෙකු විසින් නොකළ යුතු ය. නූපන් ලෝභය දෝෂය ඇති වී උපාදානයන් බවට පත් වී බෞද්ධයෙකුගේ මූලික අරමුණ වන නිවන සාක්ෂාත් කිරීම සඳහා බාධකයන් වන එකී කථා සාමාන්‍ය ජීවිතයට පවා කරදරකාරී වේ.

  20. ශූරයන් පිළිබඳ කථා
  21. වීථි පිළිබඳ කථා
  22. වැව් පොකුණු ආදි ජල ස්ථාන පිළිබඳ කථා
    කී‍්‍රඩකයන්, යෝධයන් ගැන කෙරෙන කථාවන් නිසා ද සිතක් සංවර වන්නේ නොවේ. මං මාවත්, පදික වේදිකා, කඩපිල්, සාප්පු සංකීර්ණ හා තොටුපොල ගැන කථා කරන විට ද මුලාව,ප්‍රමාදය ඇතිවේ. එවැනි ස්ථාන සිහිකොට මතකයට ගැනීම හේතුවෙන් අකුසල විතර්කයන් ඇතිවිය හැකි ය.

  23. මියගිය නෑයන් පිළිබඳ කථා
    පුබ්බපෙතකථා යනුවෙන් දක්වා ඇත්තේ ද අතීත ඤාතීන් ගැන කෙරෙන කථා සල්ලාපයන් ය.

  24. නො කියවුණු නොයෙක් දේ පිළිබඳ නිර්ථක කථා
  25. විතණ්ඩ කථා නම් නුවණැතියන්ගේ සිත් තැළෙන කථා

  26. මුහුද පිළිබඳ කථා
    විනෝද චාරිකා, මුහුදු ගමන්, ආකාස ගමන් වැනි දෑ පිළිබඳව කෙරෙන කථාවන් මගින්ද අනවශ්‍ය විතර්කයන් ඇතිවන බව පැහැදිලි වේ.

  27. ශාස්වත වාදය පිළිබඳ කථා
  28. උච්ඡේද වාදය පිළිබඳ කථා
    ධර්මාවබෝධයට හේතු නොවන පරිදි කෙරෙන මොනයම් හෝ කථාවක් වේ නම් උච්ඡේද වාද, සස්සත වාද ආදියද ඇතුළත්ව ඉහත සදහන් කළ සියලුම කථාපථයන් නොකළ යුතු බව බුදුරදුන් විසින් වදාරා ඇත.

  29. දියුණුව පිළිබඳ කථා
  30. පිරිහීම පිළිබඳ කථා
  31. පස්කම් සැප පිළිබඳ කථා
  32. ආත්ම පෙළීම පිළිබඳ කථා

යන මේ දෙතිස් කථාවෙන් සිල් රක්නවුන් විසින් වැළකිය යුතු ය.

ආදීනවය, සංවේගය, විරාගය, ඇතිවීමට හේතුවේ නම් ඉහත “ඕනෑම කථාවක් කිරීම වරදක් නොවේ. එහෙත් පුහුදුන් පුද්ගලයෙකුගේ සිතක් බොහෝ සෙයින් කෙලෙස් ඉපදීමට භූමිය වන නිසා ඉහත දක්වා ඇති කථාවන් නොකර සිටීමට වෑයම් කළ යුතු ය.

වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන විවිධ තාක්ෂණික මෙවලම් උපකරණ හා ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍ය යනාදිය පිළිබඳ ව කථාවට යාම නිසා දහම් මග වඩන්නෙකුට යහපතක් වේ යැයි කිව හැකි නොවේ. එවැනි කථාවලින් වෙන් විය හැකි නම් යහපත් වේ. ශ්‍රද්ධා විරිය ආදී යහගුණ දියුණු වීමට ඍජුව හෝ වක්‍රාකාරයෙන් හේතුවන පරිදි ඉහත කී කථාවන් සිදු වේ නම් එමගින් අනර්ථයක් නොවේ. උදාරණයක් ලෙස අතීතයේ විසූ ඤාතීන් ගැන කථා කරන විට ඔවුන්ගේ අභාවය මුල්කරගෙන අනිත්‍ය සංඥාව මරණ සංඥාව වැඩේ නම් එය යහපත් කථාවකි.

මෙම ලිපිය උපුටා ගන්නා ලද්දේ අන්තර්ජාලය ඇසුරෙනි. 

අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම ලිපිය හුදෙක් ධර්ම දානයක් ලෙස
ඉදිරි ඉදිරිපත් කරන ලදී.

මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත්පත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන් ප්‍රථමයෙන් මෙම ලිපිය ඉදිරිපත් කළ ස්වාමීන් වහන්සේවහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.
එසේම මෙම ලිපිය අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පිංවත් මහත්ම, මහත්මීන් වෙතටද එසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.

මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!

සාදු… සාදු… සාදු…

උපුටා ගන්නා ලද්දේ  www.budusarana.lk  වෙබ් අඩවියේ
[ URL: http://www.budusarana.lk/budusarana/2020/07/04/tmp.asp?ID=vision04]
දරණ අන්තර්ජාල ලිපිනයේ ඇති ලිපියකි.

මෙම ලිපියේ අන්තර්ගතය හා හිමිකාරීත්වය ඉහත වෙබ් අඩවිය සහ එම ලිපියේ සම්පාදකයා සතුවේ.

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org

Scroll to Top