නිත්‍ය ශීලය වශයෙන් 
ආජීව අෂ්ටමක ශීලය සුදුසු ද?

උපුටා ගන්නා ලද්දේ රාජ්‍ය වර්ෂ 2010 ක් වූ නොවැම්බර් මස 21 වන දා ඉරිදා
බුදුසරණ අන්තර්ජාල කලාපයේ පළවූ ලිපියකින්.

විශ්‍රාමලත් ආචාර්ය
හීනටිපන ඒ .ඇම්. තිලකරත්න

2006 සැප්තැම්බර් 22 දිනට යෙදී තිබුණු බිනර පුර පසළොස්වක පොහෝදිනයෙහි ප්‍රසිද්ධ රූපවාහිනි නාලිකාවක් හරහා ධර්මදේශකයානන් වහන්සේ නමක් තම ධර්මදේශනාවට පෙරාතුව පංචශීලය වෙනුවට ගිහි ශ්‍රාවකයන් සමාදන් කරවූයේ ආජීවඅෂ්ටමක සීලයයි. මෙය බැලූබැල්මට සුවිශේෂත්වයක් පෙන්වන නමුදු ආජීවඅෂ්ටමක ශීලය සාමාන්‍ය ගිහියකු විසින් නිත්‍යශීලය වශයෙන් සමාදන්ව ආරක්‍ෂා කිරීම පිළිබඳ ප්‍රායෝගිකත්වය සංවාදයට භාජනය විය යුතු කාරණයක් බව පෙනේ.

බෞද්ධයාගේ නිත්‍යශීලය වශයෙන් සම්මත වී ඇත්තේ පංචශීලය බව ඉතා ප්‍රකට කරුණකි. නිත්‍ය ශීලය වශයෙන් පංච ශීලයෙන් ඔබ්බට ගිය ශීලව්‍රතයක් පිළිබඳ අතීතයක් තිබුණු බව මූලාශ්‍රයන්හි සඳහන් වේ දැයි සැකසහිත ය. පංච ශීලයට වැඩි සීලයක් සමාදන්ව ගිහි බෞද්ධයා ආරක්‍ෂා කළේ සතර පෝ දිනයේ හෝ නිශ්චය කරගත් කාලසීමාවක් තුළදී පමණි.

ආජීවඅෂ්ටමක ශීලයේ ශික්‍ෂා පද මෙසේය.

1. පාණාතිපාතා වේරමණී
2. අදින්නාදානා වේරමණී
3. අබ්‍රහ්මචරියා වේරමණී
4. මුසාවාදා වේරමණී
5. පිසුනාවාචා වේරමණී
6. ඵරුසාවාචා වේරමණී
7. සම්ඵප්ඵලාපා වේරමණී
8. මිච්ඡාජීවා වේරමණී , යනුවෙනි

සාමාන්‍ය ගිහි බෞද්ධයකුට ‘අබ්‍රහ්මචරියා වේරමණී ‘ ශික්‍ෂා පදය නොගැළපෙන නිසා ධර්ම දේශකයන් වහන්සේ ඒ වෙනුවට ‘කාමේසු මිච්ඡාචාරා වේරමණී ‘ ශික්‍ෂාපදය සමාදන් කරවූහ. මේ අනුව පන්සිල් හා ආජීවාෂ්ටමක ශීලයේ සම්මිශ්‍රණයෙන් නිපදවාගත් නවමු ශීලයක් වශයෙන් එම ශික්‍ෂා පද සමූහය සැලකීමට සිදුවෙයි.

ආජීවාෂ්ටමක ශීලය ගිහි පින්වතුන්ට අයත් සීලයක් වුවද ගිහි චර්යාවෙන් මදක් ඔබ්බට ගිය එහෙත් පැවිදි භාවයක් නොලැබූ ‘අනගාරික ප්‍රතිපදාවක් ‘ ආරක්‍ෂා කරන ගිහි පින්වතුන්ට අදාළ වූවකි. අනගාරික පිළිවෙතෙහි දිවි පැවැත් වූ සුප්‍රකට පින්වතුන් ගැන අපි අසා ඇත්තෙමු.

සාමාන්‍ය ගිහි බෞද්ධයකුට ‘අබ්‍රහ්මචරියා වේරමණී ‘ ශික්‍ෂා පදය නොගැළපෙන නිසා ධර්ම දේශකයන් වහන්සේ ඒ වෙනුවට ‘කාමේසු මිච්ඡාචාරා වේරමණී ‘ ශික්‍ෂාපදය සමාදන් කරවූහ. මේ අනුව පන්සිල් හා ආජීවාෂ්ටමක ශීලයේ සම්මිශ්‍රණයෙන් නිපදවාගත් නවමු ශීලයක් වශයෙන් එම ශික්‍ෂා පද සමූහය සැලකීමට සිදුවෙයි.

සාමාන්‍ය ගිහියකුට තම දෛනික ගෘහස්ථ ජීවිතය තුළ ඇතැම් ශික්‍ෂා පද නොබිඳ ගනිමින් කටයුතු කිරීම ඉතා දුෂ්කර බව මැනවින් පැහැදිලිවෙයි. විශේෂයෙන්ම වාග් සයංමය සඳහා වූ ශික්‍ෂා පද ගැන සලකා බලන විට පංච ශීලයට අයත් මුසාවාදයෙන් වෙන්වීම පැහැදිලිය. සත්‍යගවේෂී දිගුගමනක යෙදී සිටින බැවින් බොරුකීමෙන් වැළකී සිටීම අත්‍යවශ්‍යය. බොරුවට පැහැදිලි හැඩයක් තිබේ .නොදුටු නො ඇසූදෙයක් දුටු හෝ ඇසූ දෙයක් ලෙස පැවසීම බොරුවක් යැයි කුඩා දරුවකුට වුවද තේරුම් ගැනීම අපහසු නොවේ. නූගත් මෝඩ මිනිසෙකුට පවා තමා කතා කරන්නේ ඇත්තක් ද නැද්ද යන්න නිශ්චය කරගත හැකිය. එහෙත් සෙසු වාචසික ශික්‍ෂා පදවල ස්වභාවය මීට වෙනස්ය.

කේලාම් කීම වාග් දුශ්චරිතයක් බවට විවාදයක් නැතත් ගිහි පින්වතකුට සද්භාවයෙන් කේලාම් කීමට සිදුවන අවස්ථා යෙදිය හැකිය. පාසලක ශිෂ්‍යයකු දුම්පානය කරනු දකින ගුරුවරයෙක් හෝ ශිෂ්‍යයෙක් ඒ බව විදුහල්පතිවරයාට දන්වයි. විදුහල්පතිවරයා චෝදනාලත් ශිෂ්‍යයාට තරවටු කොට දඬුවම් කරයි. වරද කළ තැනැත්තා පිළිබඳව විදුහල්පතිට නොදන්වා සිටීම සදාචාරාත්මකද? මෙවැනි අවස්ථාවලට පුද්ගලයකු මුහුණ පාන තැන් විරල නොවේ. “දෙදෙනෙකු අතර සමඟිය බිඳ දැමීම “ එහි අරමුණ නොවන බව සැබෑ වුවත් සමාජ පිළිගැනීම තුළ එහි ‘කේලාම් කීමක් ‘ ඇත.

පරුෂවචන කීම ද වාග්දුශ්චරිතයකි. කියන්නාගේ වචන යම් කෙනෙකුගේ සිත් පීඩාකිරීමට හේතුවේ නම් ඒ පරුෂ වචනයයි. හිස්වචන දෙඩීමෙන් වැළකීම ‘ මීළඟ වාග්දුශ්චරිත විරතියයි. හිස් වචන යනු මොනවාද? හිස් වචන පිළිබඳ සීමාවක් පැවිද්දන් සඳහා නියමකර ඇති වාග් සුචරිතය තුළින් හඳුනාගත හැකිය. එනම් භික්‍ෂූන් වහන්සේට තහනම් කොට ඇති දෙතිස් කථාය. පැවිද්දෙකුට හෝ අනගාරික ගිහිපින්වතකුට දෙතිස් කථා මොනවාදැයි දැනගෙන ඉන් වැළකී සිටීමට පුළුවන. එහෙත් ගිහියකුට රාජකථා, චොරකථා, මහාධච්චකථා ආදියෙන් තොරව ගෘහ ජීවිතයේ සංවාදයක් පවත්වා ගත හැකිද? ගිහියකුගේ දෛනික ජීවිතයේ කථාකරන දෙයින් වැඩිතරයක් සම්ඵප්‍රලාප ගණයට වැටෙන ඒවාය.

එහෙත් ගිහියකුට එම කතාබහෙන් බැහැරව සිටිය හැකි නොවේ. ‘හිස්වචන කීමෙන් වෙන්වීම ‘ ශික්‍ෂා පදයක් ලෙස සමාදන්ව ගත කිරීමට ගිහියකුට හැකිද යන ප්‍රශ්නය බැහැර කළ නොහැක්කකි. අගසවු සැරියුත් හිමියන් කෙවුලන්ටත් වැද්දන්ටත් සිල් සමාදන් කර වූ බව අසා එය අරුත්සුන් ක්‍රියාවක් යැයි බුදුරදුන් වදාළ බව කාරණාධීය (251) ජාතකයෙහි එයි. බොරුකීම හැර අනෙකුත් වාග් දුශ්චරිතයන් පංච ශීලයට අයත් නොවන නිසා රැකීම අනවශ්‍යය යන වැරැදි මතයක් ඉස්මතු කිරීම මෙයින් අපේක්‍ෂා නොකෙරේ.

කේලාම් කියුවන් ද පරුෂ බස් දෙඩුවන්ද රැස්කරගත් අකුසල කර්මවල දුර්විපාක වේදනාකාරී ලෙස විඳින ආකාරය කියැවෙන බෞද්ධ කථා රැසක් බෞද්ධ සාහිත්‍යයේ එයි. ඒවා පව් පිරෙන දුශ්චරිත බව ගැන විවාදයක් නැත.

එනිසා සද්භාවයෙන් තොරව කේලාම් කීම පරුෂවචන දෙඩීම අපායගාමි අකුසලයක් බව දැන ඉන් වැළකීම සෑම කෙනෙකුගේම යුතුකමකි. එහෙත් මේවා සමාදාන සීලයක් වශයෙන් ආරක්‍ෂා කිරීම ගැටලුකාරි බව පැවසිය යුතුය. මේ නිසා ගිහියන් පන්සිල් සමාදන් කරවීමේ සාම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට ගොස් නව ආරක සිල් සමාදන් කරවීම ගැන ගිහි පැවිදි බෞද්ධ විද්වතුන් විසින් තවදුරටත් විමසා බැලිය යුතුය.

විශ්‍රාමලත් ආචාර්ය
හීනටිපන ඒ .ඇම්. තිලකරත්න

කරුණාකර මෙම කරුණු සම්බන්ධව ඔබත් සොයා බලන්න…..

උපුටා ගන්නා ලද්දේ  2010 ක් වූ නොවැම්බර් මස 21 වන දා ඉරිදා බුදුසරණ අන්තර්ජාල කලාපයේ පළවූ ලිපියකි. 
http://www.budusarana.lk/budusarana/2010/11/21/tmp.asp?ID=vision03
මෙම ලිපියේ අන්තර්ගතය හා හිමිකාරීත්වය ඉහත වෙබ් අඩවිය සහ එම ලිපියේ සම්පාදකයා සතුවේ.

පඤ්ච ශීලය හා ආජීවාෂ්ටමක ශීලය?

මෙම ලිපිය උපුටා ගන්නා ලද්දේ අන්තර්ජාලය ඇසුරෙනි. 

අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම දේශනා හුදෙක් ධර්ම දානයක් ලෙස
ඉදිරි ඉදිරිපත් කරන ලදී.

මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත්පත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන් ප්‍රථමයෙන් මෙම ලිපිය  ඉදිරිපත් කළ මහත්මට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.
එසේම මෙම ලිපිය අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පිංවත් මහත්ම, මහත්මීන් වෙතටද එසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.

මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!

සාදු… සාදු… සාදු…

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org