01
අඤ්ඤා කොන්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ

මෙම ලිපිය සහ ඡායාරූප උපුටා ගන්නා ලද්දේ අන්තර්ජාලය ඇසුරෙනි. 

අඤ්ඤා කොන්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ Agngna Kondagngna Maha Rahathan Wahaමේ අඤ්ඤා කොන්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ කවර බුදුන් සමයෙක පුර්ව ප්‍රාර්ථනා භීති හාරය කල සේක්ද? මුන්වහන්සේ විසින් කවර කාලයෙක ප්‍රථමයෙන් ධර්මය අවබෝධ කල සේක් ද? කවර කලෙක එත දග්‍ර තනතුරෙහි තැබූ සේක් ද? යන මේ ක්‍රමයෙන් සියලුම එත දග්‍රයන්හි ප්‍රශ්න කර්මය දත යුතු ය.

ඒ මේ අඤ්ඤා කොන්ඩඤ්ඤ මහා ස්තවිරයානන් වහන්සේ ගේ ප්‍රශ්න කර්මයෙහි මේ පළමු අනු පිළිවෙල කතාවයි.

මෙයින් කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ ලොව පහල වූ සේක. ප්‍රථමයෙන් චතුරාර්‍ය සත්‍ය ධර්මයන් අවබෝධකොට බෝධි පර්යංකයෙන් නැගී සිටින්නාවූ උන්වහන්සේගේ පා පියුම බිම තබන්නට එසවූ මොහොතෙහි එය පිළිගැනීමට මහත්වූ පියුමක් පෘථිවි විදාරණයෙන් පැන නැංගේය. ඒ පියුමෙහි ප්‍රධාන පත්‍රයෝ අනු රියන් පමණද කෙසරු තිස් රියන් පමණද බුදුන්ගේ ශ්‍රී පාදය පිහිටි ප්‍රදේශය එකොලොස් රියන් පමණද වුහ.

ඒ භාග්‍යවත්ක බුදු රජාණන්වහන්සේගේ බුදු සිරුර පනස් අට රියනක් විය. බුදු සිරි පා පිළිගැනීමට මහ පොලොව පලා පැන නැගී ඒ පියුම් කෙමියෙහි බුදු රජාණන් වහන්සේගේ දකුණු සිරිපා තබත්ම තිඹක් පමණ රේණු පැන නැගී බුදු සිරුරෙහි විසිරෙමින් බැස්සේය.

එම සිරිපා තබන කල්හිද එබඳු වුම පියමක් පන නැගී වම සිරි පා පිළිගත්තේය. ඒ පියුමෙන්ද කියන ලද පමණ වුම රේණු පැන නැග බුදු බඳ විසිරී ගියේය. ඒ පියුම් වලින් නැංගා වූ රේණු ප්‍රභාවය යටපත් කරමින්, යකුරු නලින් කළ රන් රස ධාරාවක් මෙන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශරීර ප්‍රභාවය නික්ම හාත්පසින් දොළොස් යොදුන් තැන ඒකාලෝක කල සේක.

තුන්වෙනි පාදය නගන කල්හි පළමුව පැන නැගී පියුම අතුරුදහන්ව සිරි පා පිලිගනුමට අනික් අලුත් පියුමක් පැන නැංගේය. මෙම ක්‍රමයෙන් උන් වහන්සේ යම් යම් තැනකට වදිනු කැමැති සේක් වී නම් පියවරක් පියවරක් පාසා මහ පියුමක් පහළ වෙයි. මේ නිසාම උන් වහන්සේට පියුමතුරා යන නම් විය.

මෙසේ ඒ භාග්‍යවත් වූ බුදු රජාණන් වහන්සේ ලොව පහලව ලක්ෂයක් පමණ භික්ෂුන් පිරිවරාගෙන මහ ජනයාට ධර්ම දේශනා කරමින් ගම නියම ගම රජ දානව වල පිඬු පිණිස හැසිරෙන සේක් හංසවතී නුවරට වැඩි සේක.

ඉක්බිති උන් වහන්සේගේ පැමිණීම ගැන පිය මහරජුට සැලව, පෙර ගමන් කළේය. බුදු රජාණන්වහන්සේ ඔහුට ධර්ම කතාවක් වදාළ සේක. එම දේශනාව අවසානයේ සමහරෙක් සෝවාන් ඵලයට ද, සමහරෙක් සකෘදාගාමි ඵලයටද, සමහරෙක් අනාගාමි ඵලයටද, සමහරෙක් සව් කෙලෙසුන් නසා අරහත් ඵලයටද පැමිණියහ.

රජ තෙම සෙට දවස දානය පිණිස දශ බලධාරී සර්වඥයන් වහන්සේට ආරාධනා කොට පසුදා වෙලාව දන්වා ලක්ෂයක් භික්ෂුන් පිරිවර කොට ඇති භාග්‍යවතුන් වහන්සේට සිය රජ මැදුරෙහිදී මහා දානයක් පිළි ගැන්වීය. ශාස්තෘන් වහන්සේ දානය වළඳා අවසානයෙහි දානාදී සන්සාදිය සඳහන් බණ වදාරා භික්ෂුන් වහන්සේලා සමග විහාරයටම වැඩි සේක.

මේ ක්‍රමයෙන් දෙවන දවස නුවර වැස්සෝද, අනතුරු දිනයෙහි රජතුමාද යන පිළිවෙලට බොහෝ කාලයක් බුදු පාමොක් මහ සඟනට දන් පිළිගැන්වූහ.

එසමයෙහි මේ අඥා කොණ්ඩඥඥ ස්ථවිරයන් වහන්සේ හංසවතී නම් නුවර ගැහැවි කුලයෙක ඉපිද දිනක් බුදු රජාණන් වහන්සේ ධර්ම දේශනා කර වදාරණ වෙලාවක හංසවතී නුවර වැස්සෝ ගඳ මල් ගත අත් ඇතිව ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ යම් තැනෙක්හි ද උන්වහන්සේ දේශනා කර වදාරණ නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය යම් තැනෙක්හිද, උන්වහන්සේ ගේ ඖරස පුත්‍ර වූ මහා සංඝයා වහන්සේ යම් තැනෙක්හි ද එතැනට අවනතව, නැඹුරුව, බරව යන්නවුන් දැක ඔවුන් සමගම සර්වඥයන් වහන්සේ ධර්ම දේශනා කරණ ස්ථානයට පිවිසියේය.

එසමයෙහි වනාහි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි පළමුව චතුරාර්‍ය සත්‍ය ධර්මයන් අවබෝධ කළ භික්ෂුන් වහන්සේ නමක් එතදග්‍ර ස්ථානයෙහි තබා වදාළ සේක. ඒ කුලපුත්‍ර තෙම එම අග තනතුරු දීම අසා දැක ” මේ භික්ෂුන් වහන්සේ වනාහි උතුම් වුයේමය. බුදු රජාණන් වහන්සේ හැර මේ භික්ෂුන් වහන්සේට පළමු චතුරාර්‍ය සත්‍ය ධර්මයන් අවබෝධ කළ අන් කෙනෙක් නැත්තේමය අනේ! මමද අනාගතයෙහි බුදු සසුනෙක ප්‍රථම ධර්මාවබෝධයට සමර්තයෙක් වන්නෙම් නම් යෙහෙකැයි” සිතා ධර්ම දේශනාවාසනහි බුදු රජාණන් වහන්සේ වෙත එළඹ “ස්වාමිනි ! භාග්‍යවත් බුදු රජාණන් වහන්ස! සෙට දින මාගේ භික්ෂාව පිළිගෙන වදාරණ සේක්වා”යැයි ආරාධනා කෙළෙන් උන් වහන්සේද එය ඉවසා වදාළ සේක.

ඒ කෙළෙඹි පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට වැඳ .පැදකුණු කොට සිය නිවසට ගොස් මුළු රාත්‍රියෙහි ම බුදු රජාණන් වහන්සේට වැඩ සිටීම සඳහා ගඳ දුම් මල් දම් ආදියෙන් සාලාව අලංකාර කරවා අසුන් පනවා ප්‍රනීත වූ ඛාද්‍ය හොද්‍යාහාර පිළියෙළ කරවා ඒ රැය ගෙවුණු පසු සිය නිවසෙහිදී ලක්ෂයක් භික්ෂුන් පිරිවර කොට ඇති භාග්‍යවතුන් වහන්සේට නොයෙක් කැඳ කැවිලි ආදී දෙය සමග නොයෙක් රස මසවුලෙන් යුත් සුවඳ හැල් බත් පිළිගන්වා, වළදා අන්තයෙහි තුන් සිව් රට ප්‍රම්කානවත් වූ වංග දේශයෙහි උපන්නාවූ සළු තථාගතයන් වහන්සේගේ ශ්‍රී පාද මුලයෙහි තබා මෙසේ සිතීය.

“මම වනාහි සුළු තනතුරක් සඳහාම හැසිරෙමි. ඒ නිසා එක දවසක් පමණක් දන්දී එම තනතුර පැතීමට නොහැක්කෙමි. පිළිවෙලින් සත් දවසක් දැන් දී එම තනතුර ප්‍රාර්ථනා කරන්නෙමි.”යි සිතා හෙතෙම ඒ ක්‍රමනම සත් දවසක් මහ දන් දී දන් වළඳා අවසන්වූ පසු පිළි ගබඩාව අරවා උතුම් සියුම් රෙද්දක් ගෙන බුදු සිරි පා මුල තබා ලක්ෂයක් භික්ෂුන්ට තුන් සිවුරු පුජා කොට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ “ස්වාමිනි ! මෙයින් සත් දිනකට මතුයෙහි ඔබ වහන්සේ විසින් යම් භික්ෂුවක් එතදග්‍රස්ථානයෙහි තබා වදාළ සේක්ද මම ද එම භික්ෂුන්වහන්සේ මෙන් අනාගතයෙ හි ලොව පහළ වන්නාවූ බුදු කෙනෙකුන්ගේ සසුනෙහි පැවිදිව ප්‍රථමධර්මාවබෝධය කිරීමට සමර්ථ වෙම්වා” යි කියා ශාස්තෘ පාද මුලයෙහි හිස තබා වැඳ හොත්තේය.භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ වචනය අසා මේ කුල පුත්‍රයා විසින් මහත්වූ පුණ්‍ය කර්මයක් කරන ලද්දේය. මොහුගේ ප්‍රාර්ථනා සිද්ධ වන්නේ දෝ යි සිද්ධ නොවන්නේ දෝ යි අනාගතය දක්නා නුවනින් බලා වදාරා සිදුවන බව දුටු සේක. අතීතය හෝ අනාගතය හෝ වර්තමානය හෝ අරභයා ආවර්ජනය කරන්නාවූ බුදුවරුන්ට වනාහි ආවරණයක් නම් නැත්තේය. නොයෙක් කල්ප කෝටි ශත සහශ්‍රාභ්‍යන්තර යෙහිද අතීතයක් හෝ අනාගතයක් හෝ සක්වල දහසක් ඇතුළතවුද වර්තමාන ආවර්ජනා පිළිබඳව වෙයි. මනසිකාර ප්‍රතිබද්ධම වෙයි.

මෙසේ කිසිවෙකු විසින් නොපැවැත්විය හැකිවූ ඥාණයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ මෙය දැක වදාළ සේක. එනම් කල්ප ලක්ෂයකින් මත්තෙහි අනාගතයෙහි ගෞතම නම් බුදුවරයෙක් ලෝකයෙහි පහළවන්නේය. එකල්හි මොහුගේ ප්‍රාර්ථනාව සිද්ධවන්නේය යනුයි. ඉක්බිති බුදු රජාණන්වහන්සේ ඒ කුල පුත්‍රයාට මෙසේ වදාළ සේක. “පින්වත් කුල පුත්‍රය! අනාගතයෙහි කල්ප ලක්ෂයකින් මත්තෙහි ගෞතම නම් බුදු රජ තෙම ලොව පහල වන්නේය. ඔබ උන්වහන්සේගේ පළමු ධර්ම දේශනාවෙහි දී ත්‍රිපරිවෘත්ත දම්සක් පැවතුම් සුත්‍ර දෙසනාවසානයෙහි අටළොස් කෙළක් බඹුන් හා දහසක් නයින් සමන්විත වූ සෝවාන් ඵලයෙහි පිහිටන්නේය.’ මෙසේ ශාස්තෘන් වහන්සේ ඒ කුල පුත්‍රයාට විවරණ දී අසු හාර දහසක් ධර්ම ස්කන්ධයන් දෙසා නිරුපධශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. එසේ පිරිනිවියා වූ බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී දේහය රන් කඳක් මෙන් එක් ඝන විය. උන්වහන්සේ ගේ ශාරීරික චෛත්‍යය වනාහි සත් යොදුනක් පමණ උස් කොට කළහ. ඒ සඳහා ගත ගඩොල් ස්වර්ණ මය වුහ. සිරියල් මනෝ සිලාවලින් මැටි කර්මාන්තයද, තල තෙලින් දිය කර්මාන්තයද නිම කළහ. බුදු රජාණන්වහන්සේ ජීවමාන කාලයෙහි උන් වහන්සේගේ ශ්‍රී ශරීර සෝභාව දොළොස් යොදුනෙක පැතිර සිටියේය. පිරිනිවියාට පසු එම රැස් කඳ හාත් පසින් යොදුන් සියයක් පැතිර සිටියේය.

මේ කෙළෙඹි පුත්‍ර තෙම බුදුන්ගේ ශාරීරික චෛත්‍ය පිරිවරා දහසක් රුවන් ඇගැ කරවීය. ධාතු නිදන් කරන දිනයෙහි ඇතුල් සෑයෙහි රුවන් ගෙයක් කරවීය. හෙතෙම ලක්ෂයක් හවුරුදු මහත් වූ දානාදිමය වූ යහත් පුණ්‍ය කර්මයන් කොට ඉන් චුතව දෙව් පුරයෙහි උපන්නේය.

මෙසේ දෙවි මිනිසුන් අතර හැසිරෙන්නාවූ ඔහුට අනු නව දහස් නවසිය නව කල්පයක් ඉක්ම ගියාය. මෙපමණ කාලයක ඇවෑමෙන් මේ මහා භද්‍ර කල්ප්යෙන් අනු එක් කල්පයකට යට මේ කුල පුත්‍රයා බන්දුමතී නම් නුවර දොර ගමෙක්හි කෙළෙඹි ගෙයෙක උපන්නේය.ඕ හට මහා කාල යැයි නම් කරවුහ. ඔහුගේ බාල සොහොයුරා වනාහි චූල කාල නම් විය.

එසමයෙහි විපස්සි නම් බෝධිසත්ව තෙම තුසිත පුරයෙන් චුතව බන්දුමති නුවර බන්ධුම නම් රජුගේ අග බිසවු කුස පිලි සිඳ ගත්තේය. පිලිවෙලින් සර්වඥතා ඥාණයට පැමිණ ධර්ම දේශනාව පිණිස මහා බ්‍රහ්මයා විසින් ආරාධනා කරනු ලදුව කවරෙකුට පළමුව දහම් දෙසැම් දැයි සිතා වදාරා තමාගේ බාල සොහොයුරු වූ ඛණ්ඩ නම් රාජ කුමාරයාද තිස්ස නම් පුරෝහිත පුත්‍රයාද පළමුකොට ධර්මාවබෝධයට සමර්තයෝ යැයි දැන වදාරා ඔවුන්ට දහම් දෙසන්නේමැයි ද පියාට ධර්මයෙන් සංග්‍රහ කරන්නෙමි ‘යි ද සිතා වදාරා බෝ මැඩින් නික්ම අහසින්ම වැඩමවා මිගදාය නම් ක්‍ෂේම භුමියෙහි බසිනා ලද්දේ බාල සෝයුරු ඛණ්ඩ නම් කුමාරයාද පෙරෙවි බමුණු පුත් තිස්ස කුමාරයාද කැඳවා ධර්ම දේශනාකොට වදාළ සේක. ධර්ම දේශනාවසානයෙහි ඒ කුමාරවරු දෙදෙනාම අසු සාර දහසක් ප්‍රාණීන් හා සමග අර්හත් ඵලයෙහි පිහිටියාහ.

ඉක්බිති බෝධිසත්ව කාලයෙහි අනුව පැවිදි වූ අනුකුදු අසු හාර දහසක් කුල පුත්‍රයෝ ඒ පුවත අසා ශාස්තෘන් වහන්සේ සමීපයට ආවාහු දම් දෙසුම අසා අර්හත් ඵලයෙහි පිහිටියාහ. ශාස්තෘන් වහන්සේ එහිදීම ඔවුන් අතරෙන් ඛණ්ඩ ස්ථවිරයන් වහන්සේ අග සව් තනතුරෙහිද, තිස්ස ස්ථවිරයන් වහන්සේ දෙවෙනි සව් තනතුරෙහිද තබා වදාළ සේක. රජ තෙමේද එපුවත අසා පුත්‍රයා දකින්නෙමි’ යි සිතා උයනට ගොස් ධර්ම දේශනාව අසා තුන් සරනෙහි පිහිටා ශාස්තෘන් වහන්සේට සෙට දින දානය සඳහා ආරාධනා කොට වැඳ පැදකුණු කොට ගියේය.

එසේ නික්ම ගිය රජතුමා ප්‍රාසාදයට වී මෙසේ කල්පනා කළේය. මගේ වැඩිමහළු පුත් තෙම ගිහි ගෙයින් නික්ම මහබිනික්මන් කොට පස් මරුන් දිනා සව් කෙලෙසුන් නසා බුදු විය. දෙවැනි පුත්‍රයා උන් වහන්සේගෙන් බණ අසා සව් කෙලෙසුන් නසා රහත්ව අග සව් විය. පුරෝහිත පුත්‍රයා එසේම බණ අසා රහත්ව දෙවෙනි ශ්‍රාවකයා විය. මේ සෙසු භික්ෂුන් වහන්සේලා ද ගිහිකාලහිදී ත් මගේ පුත්‍රයාම පිරිවරා හැසිරුනාහ. මොව්හු පෙරත්ර දැනුත් මටම භාරය. මම ම ඒ භාග්‍යවතුන්වහන්සේ ප්‍රධාන මහා සංඝයාට සිත්පරිද්දෙන් උපස්ථාන කරන්නෙමි. අන්යි කිසිවෙකුටත් ඒ සඳහා අවසරයක් නොදෙන්නෙමි යි, විහාර දොරටුවේ පටන් රජ මාලිගයෙහි දොරටුව දක්වා දෙපසින් කිහිරි පැවරු කරවා වස්ත්‍රයෙන් ආවරණය කරවා මත්තෙහි විසිතුරු රන් තරුවෙන් බබලන , එල්ලෙන තල් කඳන් පමණ වූ නොයෙක් මල් මින් සැදුනු වියනක් කරවා යට බිම විසිතුරු ඇතිරිලි අතුරවා කෙළවර දෙපසෙහි මල් ගස් හා පුන් කලස් තබ්බවා සියළු මාර්‍ගය සුවඳ ගැන්වීම පිණිස සුවඳ දෑ අතුරෙහි මල් ද, මල් අතුරෙහි සුවඳ දෑ ද තබා භාග්‍යවතුන් වහන්සේට කාලය දැන්වීය.

භාග්‍යවතුන් වහන්සේ ද භික්ෂු සංඝයා පිරිවරා තිරය ඇතුළෙන්ම රජ ගෙට ගොස් දානය වළඳා විහාරයට පෙරලා වදින සේක. එසේ උන් වහන්සේ භික්ෂු සන්ඝයා පිරිවරා දානයට වඩිනු හෝ දන් වළඳා ආපසු වඩිනු හෝ අන් කිසිවෙකු විසින් දක්නට නො ලැබෙති. දානයක් දීමට හෝ පිරිකරක් පුජා කිරීමට කෙසේ අවස්තාවක් ලබෙත්ද? ඒ නිසා නුවර වැස්සෝ මෙසේ සිතුහ. දැනට බුදු රජාණන් වහන්සේ ලොව පහලව සත් වස් සත් මසක් වන්නේය. අපිද උන් වහන්සේ දක්නට නොලබමු. එසේම දානයක් දීමට හෝ වෙනත් පුජාවක් කිරීමට හෝ ධර්මයක් ඇසීමට හෝ නොලබමු. රජ තෙමේ බුදු රජ මාගේ මය. ධර්මය මගේමය. සංඝයා මගේමය යැයි මමත්වය ඇතිකරගෙන තෙමේම උන් වහන්සේට සිව් පසයෙන් උපස්ථාන කරයි.

එසේ වුවද භාග්‍යවතුන් වහන්සේ වනාහි දෙවියන් සහිතවූ ලෝකයාගේ ප්‍රයෝජනය පිණිසම උපදිත්ව. රජතුමාටම පමණක් නරකය උෂ්ණ වී අන්‍යයනට නිලුපුල් වනයක් මෙන් සිසිල් නොවන්නේය. නරකය නම් කාටත් දුක් සහිත වුවකි. එහෙයින් අපි රජතුමාට මෙසේ කියමු. “ඉදින් අපට ශාස්තෘන් වහන්සේට උපස්ථාන කිරීමට අවස්ථා දෙතොත් මැනවි. නොඑසේ වුවහොත් රජු හා යුද්ධ කොට භික්ෂු සංඝයා ලබාගෙන උන්වහන්සේට සිව් පසයෙන් උපස්ථාන කොට දුකින් මිදීම සඳහා පින් රැස් කර ගනිමු. එහෙත් හුදු නුවර වැස්සන් විසින් පමණක්ම මෙසේ නොකළ හැකිය. එක්තරා දෙටු පුරුෂයෙකු ගනිමු යයි කතිකා කොට සේනාපතියා වෙත ගොස් ඔහුට ඒ කාරණය දන්වා “කිමෙක්ද? ස්වාමිනි අපට පක්ෂ වන්නෙහිද නැතිනම් රජුට පක්ෂ වන්නෙහිදැයි ඇසුහ. ඒ සෙන්පති තෙමේද තොපට පක්ෂ වෙමි යි ද එසේ වුවත් භික්ෂු සංඝයාට උපස්ථාන කිරීම සඳහා පළමු දවස මට දිය යුතු යැයි ද කීහ.

ඒ නුවර වැසි පුරුෂයෝද ඒ සෙන්පතියාගේ කීම පිළිගත්හ. පසුව ඒ සෙනෙවි තෙම රජු වෙත ගොස් කියනුයේ ” දේවයන් වහන්ස, ඔබ වහන්සේට නුවර වැස්සෝ කිපුනාහුය්” යි කීය. එය ඇසු රජතුමා: “එම්බල සෙන්පතියා! කුමක් නිසා නුවර වැස්සෝ මට කිපියහුදැයි විචාළ කල්හි සෙන්පතියෝද, “දේවයන් වහන්ස, නුඹ වහන්සේම බුදු පාමොක් මහා සඟනට සිව් පසයෙන් උපස්ථාන කරනු මිස අපට ඒ සඳහා අවස්තාවක් නොලැබෙන්නේය. ඒ නිසා කිපියාහු” යැයි කීහ.

“දේවයන් වහන්ස ! යම් හෙයකින් දැනුදු එය ලැබෙන්නේ වී නම් නුවර වැස්සෝ නොකිපෙති. නොලබෙන්නෝ නම් ඔබ හා සමග යුද කරනු කැමැත්තෝ වෙත්” යි කීය. එයට පිළිවදන් දෙන රජ්ජුරුවෝ “දරුව! නුවර වැස්සන් හා යුද කරමි. බික් සගණ නොදෙමි”යි කීහ.

“දේවයන් වහන්ස ඔබ වහන්සේගේ දාසයෝ ඔබ වහන්සේ හා යුද්ධ කරන්නෙමු යි කියති. ඔබ වහන්සේ කවරෙකු ගෙන යුද කරන්නහුදැයි විචාළ කල්හි රජ්ජුරුවෝ “සේනාපතිය ඔබ ගෙන නොවේදැයි කීහ. එවිට සේනාපති කියනුයේ “දේවයන් වහන්ස! නුවර වැස්සන් නැතිව යුද කිරීමට මම අසමර්ථ වෙමි” යි කීහ. ඉක්බිති රජ තෙමේ “නුවර වැස්සෝ බලවත් වෙති. සෙනෙවියාද ඔවුන්ගේ පක්ෂයේ යැ”යි දැන තවත් සත් වස් සත් මසක් බුදු පාමොක් මහ සඟන මට දෙත්වා යි කීය. නුවර වැස්සෝ එය නොපිළිගත්හ. රජ තෙම සවෙසක්, පස් වස් යයි මෙසේ අඩු කරමින් ගොස් අන්තිමේදී තව සත් දිනක් පමණක් මහා සංඝයා තමාට දෙන ලෙස ඔවුන්ගෙන් ඉල්වීය. නුවර වැස්සෝද දැන් රජු හා සමග ඉතා තදව කථා කිරීම නොවටනේය’යි සිතා රජ තුමාගේ ඉල්ලීමට එකඟ වුහ.

රජ තෙමේ සත් වස් සත් මසකට පිළියෙළ කල දාන වස්තුව සත් දවසකටම පිළියෙළ කොට දින සයක් කිසිවෙකුටත් නොපෙනෙන ලෙසට පෙර මෙන්ම දැන් දී සත් වෙනි දවසෙහි නුවර වැස්සන් කැඳවා, “දරුවෙනි! තොපටත් මෙසේ දන් දීමට හැකි දැයි ඇසුවේය. නගර වැස්සෝද ” දේවයන් වහන්ස ඔබ වහන්සෙට මේ ධනය උපයන්නේ අප නිසා නොවේද? කියා අපටත් මෙසේ දැන් දීමට හැකි යයි කීහ. රජ තෙමේ පිටි අතින් කඳුළු පිස දමමින් භාග්‍යවතුන් වහන්සේවඳ “ස්වාමිනි භික්ෂුන් ලක්ෂයක් සමග නුඹ වහන්සේ අනෙකෙකුට භාර නොකොට දිවි ඇති තෙක් සිව් පසයෙන් උපස්ථාන කරන්නෙමි”යි සිතුවෙමි.

නුවර වැස්සෝ වනාහි භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කිරීමට ඉඩ නොලබන්නෝ වෙමු’යි කිපෙති ඒ නිසා මා විසින් උපස්ථානය නුවර වැස්සන්ට පවරන ලද්දේය. හෙට දවස පටන් ඔවුනට අනුග්‍රහ කල මැනව යි කීහ. ඉක්බිති දෙවන දවසෙහි සෙනෙවි තෙමේ මහා සානයක් පිළියෙළ කොට පිළිගැන්වීය.

අනතුරුව නුවර වැස්සෝ රජු විසින් කරන ලද සත්කාරයනට වඩා උසස් ලෙස බුදු පාමොක් මහසඟනට සත්කාර සම්මානනා කොට දන් දුන්හ. මේ ක්‍රමයෙන්ම මුළු නුවර වස්සෝම පිලිවෙලින් දැන් දීම් ආදිය කොට නිමවූ කල්හි දොරගම් වැස්සෝ බුදු පාමොක් මහා සඟනට දැන් පිළිගැන්වීම් සඳහා සත්කාර සම්මාන යෙදවුහ.

මේ අතර මහා කාල කෙළෙඹි පුත් තෙම චුල කාල නම් සිය සොහොයුරානන්ට මෙසේ කීහ. සේටදින බුදු පාමොක්ම්මහ සඟනට උපස්ථාන කිරීම් අපට පැමිණෙයි. අපි කුමන සත්කාරයක් කරන්නේමුදැයි ඇසීය. “සොහියුර! එය ඔබම දනුව” යි කීහ.

එවිට මහාකාල තෙමේ ඉදින් මට කැමැත්ත දෙන්නෙහි නම් අපගේ සොළොස් කිරියක් පමණවූ කෙතෙහි ගන්නා ලද ගැබ් ඇති හැල් ඇත.ඒ හැල් ගැබ් පලාගෙන බුදුන් සහිත මහ සඟනට සුදුසු කොට ආහාරයක් පිසිමි” යි කීය. මෙසේ කරනු ලබන කල්හි කිසිවෙකුට උපකාරක් නොවෙයි. එනිසා එය මට රිසි නැතැයි චුල කාලතෙමේ කීය. එවිට මහා කාල තෙමේ “ඉදින් ඔබ එසේ කියන්නෙහි නම් මම මට අයත් කොටස වෙන් කර ගන්නෙමි” යි කියා ගොස් සොළොස් කිරියක් පමණ වූ කෙත මැදින් බෙදා අට කිරියක් පමණ තැන සීමා තබා හැල් ගැබ් පලාගෙණ නොමුසු කිරෙන් පිස චතු මධුර යොදා බුදු පාමොක් මහ සඟනට පිළිගැන්වීය.

ගැබ් පලා ගත ගත තැන් නැවත පිරෙයි. පුථුක (කිරි වදිනා) කාලයෙහි පුථුකග්ග නම් දානයක් දුන්නේය ගම වස්සන් හා අග සස නම් දානයක් දුන්නේය. කපන කල්හි දායග්ග නම් දානයක් ද, පිඬු කරන කල්හි වෙනියග්ග නම් දානයක් ද දුන්නේය. කලාප කොට බන්දීමෙහි දී කලාපග්ග නම් දානයක් දුන්නේය. කලවිට (කමත්) කරණදාත් ඛලග්ග නම් දානයක් දුන්නේය. කමතෙහි වී මැඩ රැස් කරණ දාත් ඛලභන්ඩගග නම් දානයක් දුන්නේය. කොටුවෙහි (වී) රැස් කරණ කල්හි කොට්ඨාගග නම් දානයක් දුන්නේය.

මෙසේ එකම සස්‍යවාරයෙක්හි දී නව වාරයෙකි හි නව අග සස දනක් දුන්නේය. ඒ සස්‍යයද වැඩි වැඩියෙන් ඵල සම්පන්න විය යම් තාක් කල් බුදුහු ජීවත් වී වදාළ සේක් ඩ, යම් තාක් කල් තෙමේත් ජීවත් වීද, ඒ තාක් කල් ඒ ක්‍රමයෙන්ම යහපත් පින්කම් කොට එයින් චුතව දෙව් ලොව ඉපිද දෙව් මිනිසුන් අතරෙහි හැසිරෙන්නේ අනු එක් කපෙක්හි සම්පත් අනුභව කොට අපගේ ශාස්තෘන් වහන්සේ ලෝකයෙහි පහළ නොවූ කල්හි කිඹුල්වත් නුවරට නුදුරෙහි දෝනවත්ථු නම් බමුණු ගමෙහි බමුණු මහසල් කුලයෙක උපන්නේය.

ඔහුට නම් තබන දවසෙහි කොන්ඩඥඥ මාණවක යයි නම් කළහ. ඒ කොන්ඩඥඥ මාණවක තෙමේ වැඩි වියට පැමිණ ත්‍රි වේදය දැන ඉගෙන නිමවා ලක්ෂණ, මන්ත්‍රයන්ගේ පරතෙරට ගියේය. එසමයෙහි අපගේ බෝසත් තෙම තුසී පුරයෙන් සැව කිඹුල්වත් පුරයෙහි සුදොවුන් මහ රජු නිසා මායා දේවියගේ කුසින් උපන්නේය. ඔහුට නම් තබන දවසෙහි බමුණන් එකසිය අට දෙනෙකු අලුත් වතින් සරසා දිය නොමුසු මධු පායාස පොවා ඔවුන් අතුරින් අට බමුණු කෙනෙක් තෝරා උතුම් අසුන් වල හිඳුවා අලංකාර කොට සරසන ලද බෝසත් කුමරු දුකූල වස්ත්‍රයෙක හොවා ලකුණු බැලීම සඳහා ඔවුන් සමීපයට ගෙණාහැ.

මුලසුනෙහි හුන් බමුණු තෙමේ මහා පුරුෂයාගේ ශරීර සම්පත්තිය බලා ඇඟිලි දෙකක් එසවීය. මෙසේ පිලිවෙලින් සත් දෙනෙක් ඇඟිලි දෙක බැගින් එසවූහ. ඔවුන් අතුරෙහි හැමටම බාල වූ කොන්ඩඥඥ මාණවක තෙම බෝසත් කුමරුගේ උතුම් වූ ලකුණු පිහිටීම් බලා මොහුගේ ගිහි ගෙයි විසීමක් නම් නැත්තේය. මෙතෙම ඒකාන්තයෙන් නසන ලද කෙලෙස් සෙවෙනි ඇතිව පස් මරුන් දිනා බුදුවන්නේයැයි ” එක් ඇඟිල්ලක් එසවීය.

සෙසු බමුණෝ සත් දෙන වනාහි ඉදින් මේ කුමරුවානෝ ගිහි ගෙහි වසන්නාහු නම්, සක්විති රජ වන්නාහුය. පැවිදි වන්නාහු නම්, බුදු වන්නාහු යයි දෙගතියක් දැක ඇඟිලි දෙක බැගින් එසවූහ. මේ කොන්ඩඥඥ බමුණු මාණවක තෙමේ වනාහි පෙර කරණ ලද පින් ඇති අවසන් අත්බැව්හි උපන් සත්වයෙකි. නුවනින් සෙසු බමුණන් සත් දෙනා අභිභවා මේ ලක්ෂණ වලින් යුක්ත වූවහුට ගිහි ගෙයි විසීමක් නම් නැත්තේය. ඒකාන්තයෙන් බුදු වන්නෙම යයි එකම ගතියක් දැක එකම ඇඟිල්ලක් එසවීය. ඉක්බිත් ඒ බමුණෝ සිය ගෙවල් කරා ගොස් පුත්‍රයන් අමතා ” දරුවෙනි! අපි මහළු වුවෝ වෙමු. සුදිවුන් මහ රජුගේ පුත් කුමරුවානෝ බුදු වූ කල අපට දකින්නට ලැබේද නොලබේදැයි සක සහිතය. ඒ නිසා තෙපි ඒ කුමරුවන් බුදු වූ කල්හි උන් වහන්සේගේ සසුනෙහි පැවිදි වව්‍” යැයි කීහ.

සුදොවුන් මහ රජ තුමානෝද බෝසත් කුමරුට කිරිමව්වරු පෙරටු කොට පෙරහරින් උපස්ථාන කරවන්නේ බෝසත් කුමරු වැඩීය. මහ සත් තෙමේද වැඩි විය පැමිණියේ දෙව් කුමරෙකු සෙයින් මහත් සම්පත් අනුභව කොට මුහුකුරා ගිය නුවණ ඇතිව පංච කාමයන්හි ආදීනවද, ගිහි ගෙන් නික්ම පැවිදි වීමෙහි ආනිසංස ඩ දැක රහල් කුමරු උපන් දිනයෙහි ජන්න නම් ඇමතියා සහාය කොට ගෙන කන්ථක නම් අසු නැඟ දෙවියන් විසින් හරනා ලද දොරින් මහබිනික්මන් කොට එම රාත්රිහිම තුන් රජ දහනක් ඉක්මවා අනෝමා ගං තෙරදී කේසච්චේදනය කොට ඝටිකාර නම් මහා බ්‍රහ්මයා විසින් ගෙනෙන ලද අර්හත් ධජය පිළිගත් කෙනෙහිම සියක් වස් ඉක්මවූ මහ තෙර නමක් මෙන් පහන් ඉරියව්වෙන් රජගහ නුවරට වැඩමවා එහි පිඬුසිඟා ගොස් පාණ්ඩව පර්වත සෙවනෙහි වැඩ සිට පිණ්ඩපාත භෝජනය වළඳා මගධ රජු විසින් රාජ්‍ය ශ්‍රීයෙන් පවරණු ලබන්නේද එය පිළිකෙව් කොට පිළිවෙළින් උරුවෙල් දනව්වට වැඩමවා, මේ බිම් කොටස ඒකාන්තයෙන් සිත් අලවන සුලුය. මෙය ඒකාන්තයෙන්ම ප්‍රධන් වීර්‍යය කරන්නාවූ කුල පුත්‍රයෙකුට ප්‍රධන් වීර්‍යය කිරීමට සුදුසුම යැයි සිතා එහි විසීමට පැමිණියේය.

එසමයෙහි යට කී බමුණු සත් දෙනා කර්මානුරුපව මිය පරලොව ගියහ. ඒ සියල්ලන්ටම බාල වූ කොන්ඩඥඥ මාණවක තෙම නිරෝගී විය. හෙතෙම ඒ මහා පුරිසයානෝ පැවිදි වූ හයි අසා ඒ මියගිය බමුණු සත් දෙනාගේ පුතුන් කරා එළඹ මෙසේ කීය. “දරුවෙනි! සිදුහත් කුමාර තෙම පැවිදි විය. ඔහු ඒකාන්තයෙන්ම බුදු වන්නේය. ඉදින් තොපගේ පියවරු නිරෝගිව විසුවාහු නම් අදම නික්ම පැවිදි වන්නාහුය. ඉදින් ඔබත් සතුටු නම් එවූ. මම ඒ මහා පුරුෂයා අනුව පැවිදි වන්නෙමි” යි ” ඒ ඇසු බමුණු කුමරු සියල්ලෝම ඒකමතික වුහ. ඒ කුමරුවන් අතරෙන් තිදෙනෙක් පැවිදි නොවුහ. කොන්ඩඥඥ බමුණා නායක කොට අනික් සතර දෙනා පැවිදි වුහ.

මේ පැවිද්දෝපස් දෙන ගම නියම ගම රාජධානිවල හැසිරෙමින් බෝසත් පැවිද්දා කරා ගියහ. ඔව්හු සවසක් බෝසත් පැවිදි තෙම මහා ප්‍රධන් වීර්‍යය කරණ කල්හි දැන් දැන් බුදුවන්නේය යි මහා සත්වයන් වහන්සේට උපස්ථාන කරන්නාහු උන් වහන්සේගේ දුක සැප සොයමින් උන්වහන්සේ සමීපයෙහිම විසුහ. යම් කලෙක වනාහි බෝධිසත්වයන් වහන්සේ එක් තල ඇටයෙකින් එක් සහල් ඇටයකින් ජීවත් වන්නේද දුෂ්කර ක්‍රියාවෙන් ආර්‍යය ධර්ම ප්‍රතිවෙධයාගේ නොවීම දැන ඖදාරික ආහාර අනුභව කළේය. එකල්හි ඒ පස් පැවිද්දෝ බෝසත් තුමාගෙන් බැහැරව ඉසිපතනයට ගියහ.

ඉක්බිති බෝධිසත්වයන් වහන්සේ ප්‍රනීත ආහාර පරිභෝගයෙන් සම් මස් ලේ පරිපුර්ණය කොට වෙසක් පුණු පොහෝ දිනයෙහි සුජාතා සිටු දියණිය විසින් පිළිගැන්වූ කිරිබත වළඳා රන් තලිය නේරංජරා නදියෙහි උඩු ගං බලා යවා “අද බුදුවන්නෙමැ” යි අධිෂ්ඨාන කොට සවස් වේලෙහි කාළ නම් නා රජ විසින් ස්තුති ගීත සිය ගණනින් වර්ණනා කරණ ලද්දේ මහ බෝ මැඩට නැග අකම්‍යපාන ස්ථානයෙහි පෙරදිගට මුහුණ ලා පර්යංකයෙන් වැඩ හින්ද චතුරංගයෙන් යුත් වීර්ය වඩා හිරු බැස නොයාත්ම එනම් සවස් වේලෙහිම දස බිම්බරක් මාර සේනාව පරදවා පළමු යාමයෙහි පෙර විසු කඳ පිළිවෙළ දන්නා නුවණ උපදවා, මැදුම් යාමයෙහි දිවැස් නුවණ උපදවා, අළුයම් වේලෙහි ප්‍රතිත්‍ය සමුත්පාදයෙහි ඥානය බහා එය අනුලොම් පිලිලොම් වශයෙන් ප්‍රත්‍ය ධර්මයන්ගේ පැවැතීම සිහි කරන්නේ සියලු බුදුවරයන් විසින් අවබෝධ කරණ ලද අන්‍යයන්ට සාධාරණ නොවන හෙයින් අසාධාරනාවූ සර්වඥතා ඥාණය අවබෝධ කොට ගෙන නිර්වාණය අරමුණු කොට ඵල සමවතින් එහිම සත් දවසක් විසු සේක.

මේ නියායෙන් සත් සතියක් බෝ මැඩ වාසය කොට රාජායතන නම් කිරිපලු න්‍යග්‍රෝධ වෘක්‍ෂ මුලහිදී තෆුස්ස භල්ලුක නම් වෙළඳ දෙබෑයන් විසින් පිළිගන්වන ලද මී පිඬු වළඳා නැවත අජපාල නුග ගස මුලට වැඩ මවා එහි වැඩ සිටින්නේ ධර්මයෙහි ගැඹුරු බව මෙනෙහි කොට මන්දෝත්සාහය පිණිස හිත යවන කල්හි මහා බ්‍රහ්මයා විසින් දම් දෙසුම් සඳහා කරණ ලද ආරාධනා ඇතිව බුදු ඇසින් ලොව බලා තියුණු ඉඳුරන් ආදී භේදයන් ඇති සත්වයන් බලා වදාරා ධර්ම දේශනා කරණ බවට මහ බඹහුට ප්‍රතිඥා දී වදාරා, මම පළමුව කවරෙකුට දහම් දෙසන්නෙම් දැයි බලා වදාරන සේක් ආළාර – උද්ධක යන දෙදෙනා කළුරිය කල බැව් දැන නැවත මෙනෙහි කරන්නේ “මම ප්‍රධන් වීර්‍යය හල කල්හි යමෙක් මා වෙතින් බැහැරව ගියාහුද, ඒ පස් වග මහණහු මට බොහෝ සෙයින් උපකාර කළහ. එසේ හෙයින් මම ඒ පස් වග මහනුන්ට පළමුව දහම් දෙසන්නේ නම් ඉතා යෙහෙකැයි ද, මේ වනාහි සියළු බුදුවරයන්ගේ විතර්ක මාත්‍රයක් වන්නේ යැයි ද, අඤ්ඤා කොන්ඩඤ්ඤ මහණහු හැර ප්‍රථම ධර්මාවබෝධයට සමත් අනෙක් නම් නැත්තේය යැයිද, හෙතෙම වනාහි ඒ ප්‍රථම ධර්මාවබෝධය සඳහාම කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි කරණ ලද පාරමී ධර්ම ඇත්තේ යැයිද, බුදු පාමොක් මහ සඟනට නව වරෙක අග සස් දන් දුන්නේය” යිද යනාදී වසයෙන් ප්‍රථම ධර්මාවබෝධකයා ත් ඔහුගේ කෘත පුණ්‍ය භාවයත් බලා වදාරා … ඉන්පසු පා සිව්රු ගෙන ඉසිපතනයට වැඩමවා පස් වග මහනුන් යම් තැනෙක්හිද, එතැනට වැඩ වදාළ සේක.

ඒ පස් වග මහණහු වැඩම කරන්නාවූ සර්වඥයන් දැක පළමුව තමන් උන් වහන්සේ වැඩි කල පෙර ගමන් නොකරමු, පා සිවුරු නොගනිමු, පා දෝනා දිය නොඑලවමු. රජ කුලයෙහි උපන් හෙයින් හිඳිනා අසුන් පමණක් දෙමු යනාදී වශයෙන් කළ කතාවෙහි පිහිටා සිටීමට නොහැකි වන්නා හු, එකෙක් බුදු රජාණන් වහන්සේ ගේ පා සිවුරු පිළි ගත්තේය. එකෙක් අසුන් පැනෙව්වේය. එකෙක් පා දෙවුන් දිය ගෙන හැර තැබීය. එකෙක් පාද ධෝවනය කළේය. එකෙක් තල් වැට ගෙන පවන් සලමින් සිටියේය.

මෙසේ පස් වග මහනුන් බුදු රජාණන් වහන්සේට වත් දක්වා බුදුන් සමීපයෙහි හුන් කල්හි කොන්ඩඥඥ තෙරුන් කය සාක්ෂ්‍ය කොට ශාස්තෘන් වහන්සේ නිරුත්තර වූ ත්‍රි පරිවෘත්ත වූ දම් සක් පැවතුම් සුත්රාන්ත දේසනාව අරඹා වදාළ සේක. ඒ ධර්ම දේසනා කාලයෙහි ධර්ම ශ්‍රවණයට පැමිණියවුන් අතර මිනිසුන් පස් දෙනෙකුන්ම වුහ. දෙව් පිරිස සංඛ්‍යාති ක්‍රාන්තය. දේසනාව අවසානයෙහි කොන්ඩඥඥ ස්ථවිරයන් වහන්සේ අටළොස් කෙළක් මහා බ්‍රහ්මයන් සමග දහසක් නයින් ප්‍රතිමන්ඩිත වූ සෝවාන් ඵලයෙහි පිහිටියාය. ඉක්බිති ශාස්තෘන් වහන්සේ මා විසින් ඉතා දුකසේ අවබෝධ කර ගත් ධර්මය මෙතෙම පළමුවම අවබෝධ කළේයැයිද මෙතෙම ‘අඤ්ඤා කොන්ඩඤ්ඤ’ නම් වේ යැයිද සිතා වදාරා “පින්වත් කොන්ඩඤ්ඤ තෙම ඒකාන්තයෙන්ම දත්තේය! පින්වත් කොන්ඩඤ්ඤ තෙම ඒකාන්තයෙන්ම දත්තේය.! යි වදාළහ. එතැන් සිට ඒ කොන්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේ “අඤ්ඤා කොන්ඩඤ්ඤ” නම් වුහ.

එසේ හෙයින් කියන ලදී “අඤ්ඤා සි වතභෝ කොන්ඩඤ්ඤ, අඤ්ඤා සි වතභෝ කොන්ඩඤ්ඤ ති, ” එහෙයින් මේ ආයුෂ්මත් කොන්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේ අඤ්ඤා කොන්ඩඤ්ඤ යැයි නම් විය. මෙසේ ඒ ස්ථවිර තෙමේ ඇසල පුණු පොහෝ දින සෝවාන් ඵලයෙහි පිහිටි සේක. පැලෑටිය දිනයෙහි භද්දිය ස්ථවිරයන් වහන්සේද, දියවක දිනයෙහි වප්ප ස්ථවිරයන් වහන්සේද තියවක දිනයෙහි මහානාම ස්ථවිරයන් වහන්සේද විසේනි දිනයෙහි අස්සජි ස්ථවිරයන් වහන්සේද සෝවාන් ඵලයෙහි පිහිටියහ ජලවක දිනයෙහි අනාත්ම ලක්ඛණ සුත්රාන්ත දේශනාවසානයෙහි සියල්ලෝම සව කෙලෙසුන් නසා රහත් බවට පැමිණියහ. එසමයෙහි වනාහි බුදු රජාණන් වහන්සේ හා පස් වග මහනුන් සමග රහතුන් වහන්සේලා සනමක් පමණක්ම ලෝකයේ වුහ. එතැන් පටන් භාග්‍යවතුන් වහන්සේ යස කුල දරුවා ප්‍රධාන පුරුෂයන් සිව් පනසක්ද කප්පාසික නම් වනයේදී තිසක් පමණ භද්දවග්ගිය කුමාරයෝද, ගයාශීර්ෂයෙහි ගල මතුහිදී දහසක් පමණ පුරාන ජටිලයන් දැයි මෙසේ මහා ජනයා ආර්ය භූමියට බස්වා බිම්සර රජු ප්‍රමුඛ කොට එකොලාස් නහුතයක් සෝවාන් පෙලෙහිද එක් නහුතයක් තිසරහිද පිහිටුවා දඹදිව බුදු සසුන මනාව මල් ඵල දැරුවක් කොට සියළු දඹදිව කාෂාය වස්ත්‍රයෙන් බබුළුවමින් භික්ෂු භික්ෂුණි සංඛ්‍යාත ස්රුශින්ගේ ගමනාගමනයෙන් උපන් කාෂාය වස්ත්‍ර වාතයෙන් ප්‍රතිවාත කළ සේක.

එක් සමයෙක්හි දෙව්රම් මහ වෙහෙරට වැඩමවා එහි වැඩ වසා වදාරන සේක් භික්ෂු සංඝයා මැද පනවන ලද උතුම් බුද්ධාසනාරුධව ධර්ම දේසනා කරණ සේක් “ප්‍රථම ධර්මාවබෝධය කල භික්ෂුන් අතුරින් මා පුත් කොන්ඩඤ්ඤ ස්ථවිර තෙම අග්‍ර යැ”යි දක්වන්නට එතදග්රස්ථානයෙහි තබා වදාරන සේක් “එත දග්ගන් භික්කවේ මම සවකානං චිර රත්තාඥනං යදිදං අඤ්ඤා කොන්ඩඥඥෝ” යනුවෙන් “මහණෙනි ! මගේ සසුනෙහි ප්‍රථමයෙන් ධර්මාවබෝධය කල භික්ෂුන් අතුරින් මේ අඤ්ඤා කොන්ඩඤ්ඤ භික්ෂුව අග්‍ර යැයි වදාළ සේක.

අඤ්ඤා කොන්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේද දෙ අග සව්වන් වහන්සේ තමන් වහන්සේට යටත් පැවතුම් ඇති නියාව දැක. බුදුන් හමුවෙන් නික්මෙනු කැමතිව පුණ්ණ මාණවක තෙම පැවිදිව සසුනෙහි අග්‍ර ධර්ම කතිකයෙක් වන්නේය’ යි දැන ද්‍රෝනවස්තු නම් බමුණු ගමට ගොස් තමාගේ බෑනනුවූ පුණ්ණ මාණවකයා පැවිදි කොට මෙතෙම බුදුන් සමීපයෙහි වසන්නේයයි ඔහුට බුදුන් සමීපයෙහි වාසය පවරා තෙමේ දස බල දහරින් වහන්සේ කරා එළඹ “භාග්‍යවතුන් වහන්ස ! මට ග්රාමාන්ත සේනාසනය සප්‍රාය නොවෙයි. ජනාකීර්ණ ස්ථානවල විසීමට නොහැක.එනිසා සදත්දහතලා වැට ගොස් වසන්නෙමි”යි භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ගෙන භාග්‍යවතුන්වහන්සේට වැඳ නමස්කාර කොට ජද්දත්ත විලට ගොස් ජද්දන්ත හස්ති වර්ගයා ඇසුරු කොට දොළොස් හවුරුද්දක් කල් ගෙවා එහිම නිරුපධිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක.

අඤ්ඤා කොන්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගේ චරිතාපදානය නිමියේ …!

සාධු… සාධු… සාධු…

මෙම ලිපිය සහ ඡායාරූප උපුටා ගන්නා ලද්දේ අන්තර්ජාලය ඇසුරෙනි. 

අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම ලිපිය සහ ඡායාරූප හුදෙක්
ධර්ම දානයක් ලෙස ඉදිරි ඉදිරිපත් කරන ලදී.

මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද, එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන්, ප්‍රථමයෙන් මෙම ලිපිය සහ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පින්වත් ස්වාමීන් වහන්සේලාට, පින්වත් මහත්ම මහත්මීන් වෙතට, එසේම මෙම ලිපිය ඔබ වෙත පිරිනමන මා හට ද, මෙසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.

මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!

සාදු… සාදු… සාදු…

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org

Scroll to Top