Abhidhamma Desana

අභිධර්ම පිටකය බුද්ධ දේශිතයක් ද?

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේදීත් පිරිනිවන් පෑමෙන් පසුවත් බුදුන් වහන්සේගේ ධර්ම විනයට විරුද්ධ මත දැරුවෝ ගිහි පැවිදි දෙපිරිස තුළම සිටියහ. එයින් උද්ගත වූ නොයෙක් කාරණා හේතුවෙන් බුදුන් වහන්සේ වැඩ සිටියදීම ශාසන චිරස්ථිතිය උදෙසා විනය නීති පැනවීමත් පැනවූ යම් යම් විනය නීති සංශෝධනයත් සිදුවිය. එසේ විවිධ මතයන්ගෙන් පිරිසුදු ධර්ම විනය දෙක බුදුරදුන් පිරිනිවීමෙන් පසු මහා සංඝරත්නය විසින් ද එවැනි මත මතුවූ කල්හි ධර්ම සංගායනා පැවැත්වීමෙන් පිරිසුදුව රැකගනු ලැබිණි.

මෙසේ ආරක්‍ෂා වූ අසූ හාරදහසක් ධර්මස්කන්ධය ත්‍රිපිටකය නම් විය. එහිදී විනය පිටකයට 21,000ක්ද සූත්‍ර පිටකයට 21,000ක්ද අභිධර්ම පිටකයට 42,000ක්ද ධර්මස්කන්ධයෝ අයත් වෙති. මෙහි අභිධර්ම පිටකයට අයත් ධර්මස්කන්ධය බුද්ධ භාෂිතයක් නොවේ යි යන මතය දරන සුළු පිරිසක් ගිහි පැවිදි දෙපාර්ශවය තුළින්ම වරින් වර මතු වී ඇත. ඔවුන්ගේ ඒ දුර්මතය දුරු කිරීමෙහිලා ඒ ඒ කාල පරිච්ඡේද තුළ වැඩ සිටි මහ තෙරුන් වහන්සේ කටයුතු කර ඇත. 2500 වැනි බුද්ධ ජයන්තිය උදෙසා සිදු කළ ත්‍රිපිටක පරිවර්තනයේ දී (සිංහල භාෂාවට) මහාවග්ග පාලියෙහි (ප්‍රථම භාගයෙහි) ද ධම්මසංගණී ප්‍රකරණයෙහිද ප්‍රස්ථාවනාවන් සැපයූ මහතෙරුන් වහන්සේ ද එම මතයට විරුද්ධව දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කොට ඇත.

අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත
“අභිධර්මයේ මූලික කරුණු”
ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී.

අභිධර්ම පිටකය
අබුද්ධ දේශිතය කැයි කියන්නවුන්ට පිළිතුරු

(මහාචාර්‍ය්‍ය රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින්
“ශ්‍රී ධර්මාරාම සාහිත්‍ය අංකයට” ලියන ලද ලිපියකි.)

රේරුකානේ චන්දවිමල මහ නා හිමිතථාගතයන් වහන්සේ විසින් පන්සාළිස් වසක් මුළුල්ලෙහි වදාරන ලද බුද්ධවචන රාශිය ධර්ම – විනය වශයෙන් දෙපරිදි වෙයි. එයින් විනය: විනය – අභි විනය වශයෙන් දෙකට බෙදනු ලැබේ. භික්ෂු භික්ෂුණීන් විසින් පොහෝ කිරීමේදී උදෙසන පාරාජිකා සංඝාදිසේසාදි සිකපද විස්තර කර ඇති පාරාජිකා පාළි පාචිත්තිය පාළි යන විනය ග්‍ර‍න්ථ දෙක විනය නමින් හඳුන්වනු ලැබේ. පැවිදි කිරීම්, උපසම්පදා කිරීම්, සීමා බැඳීම්, පොහෝ කිරීම්, පවාරණය කිරීම්, ඇවතට පිළියම් කිරීම් ආදිය දක්වන්නා වූ ද, සිකපදයන් නොයෙක් ආකාරයෙන් විභාග කොට දක්වන්නා වූ ද මහාවග්ග, චූලවග්ග, පරිවාර යන ග්‍ර‍න්, තුන අභි විනය නමින් හඳුන්වනු ලැබේ.[1] බුද්ධ වචනයෙන් පිටක වශයෙන් බෙදීමේදී – විනය අභිවිනය දෙකම විනය පිටකය වශයෙන් ගනු ලැබේ.

ධර්මය ද; ධර්ම – අභිධර්ම වශයෙන් දෙකට බෙදනු ලැබේ. තථාගතයන් වහන්සේ විසින් ඒ ඒ ස්ථානවලදි ඒ ඒ පුද්ගලයන්හට ඔවුන්ගේ චරිත අනුව, අදහස් අනුව, පැමිණ ඇති කරුණු අනුව පවත්වන ලද දේශනා ධර්ම නම් වේ. සූත්‍ර‍ යනු ද ඒවාට කියන තවත් නමෙකි. චිත්ත චෛතසික රූප නිර්වාණ සංඛ්‍යාත පරමාර්ථ ධර්මයන් අනේකාකාරයෙන් විභාග කොට දක්වන දේශනාව අභිධර්ම නම් වේ. එනම් : ධම්මසංගණී – විභංග – ධාතුකථා – පුද්ගල පඤ්ඤත්ති – කථාවත්ථු – යමක – පට්ඨාන යන ප්‍ර‍කරණ සතය.[1] ධර්මය පිටක වශයෙන් බෙදීමේ දී මේ සප්ත ප්‍ර‍කරණය අභිධර්ම පිටකය යි ද ඉතිරි ධර්ම සූත්‍ර‍පිටකය යි ද කියනු ලැබේ.

ලොව ඇති සජීවාජීව සියල්ල සෑදෙන මූල ධාතූන් විස්තර වශයෙන් විභාග කොට ඇත්තේ ද ඒවා ඇතිවන සැටිත්, පරම්පරා වශයෙන් පවත්නා සැටිත්, ඒ ධාතු පරම්පරාවන් සිඳී යන සැටිත්, ඒ ධාතූන්හි ඇති ශක්ති විශේෂයන් හා ඒවායින් ඇති විය හැකි දේත්, විභාග කොට ඇත්තේ ද අභිධර්මයෙහි ය. කුශලාදි ධර්ම නිරවුල් ලෙස විභාග කොට ඇත්තේ ද, ඒවායේ ඇති ශක්ති විශේෂ විභාග කොට ඇත්තේ ද, ඒ ශක්තීන් නිසා ඇති වන ඵල විපාක නිරවුල් ලෙස විභාග කොට ඇත්තේ ද, මෙලොවින් පරලොවට කිසිවක් නො ගොස් ම නැවත නැවත භවයෙන් භවයෙහි සත්ත්වයාගේ ඉපදීම සිදුවිය හැකි ආකාරය දක්වා ඇත්තේ ද අභිධර්ම පිටකයෙහි ය.

සූත්‍ර‍ පිටකය වනාහි වෛද්‍යවරයකු විසින් රෝගීන් පරීක්ෂාකර ඒ ඒ රෝගියා උදෙසා ලියන ලද බෙහෙත් වට්ටෝරු සමූහයක් වැනිය. එසේ ලියූ බෙහෙත් වට්ටෝරු දහස් ගණනක් කියවීමෙන් වුව ද කෙනකුට වෛද්‍යවරයකු නොවිය හැකිය. එමෙන් සූත්‍ර‍ කෙතෙක් උගත ද එයින් බුදු දහම, “බෞද්ධ දර්ශනය” නිරවුල් ලෙස දතුවතු නො විය හැකි ය. බුදු දහම නිරවුල් ලෙස දත් නියම ධර්ම ධරයකු, ධර්ම කථිකයකු වීමට නම් අභිධර්ම පිටකය උගත යුතු ම ය. අභිධර්මය නූගත් ධර්ම කථිකයාට නොයෙක් විට කරුණු වරදින්නේ ය. එබැවින් මහා ගෝසිංහ සූත්‍ර‍ අටුවාවෙහි මෙසේ කියා ඇත්තේ ය.

“සුඛුමං පන චිත්තන්තරං ඛන්ධන්තරං ධාතන්තරං ආයතනන්තරං ඣානොක්කන්තිකං ආරම්මණොක්කන්තිකං අංගවවත්ථානං ආරම්මණවවත්ථානං අංගසංකන්තං ආරම්මණසංකන්තං එකතො වඩ්ඪනං උභතො වඩ්ඪනන්ති ආභිධම්මික ධම්මකථිකස්සෙව පාකටං. අනභිධම්මිකො හි ධම්මං කථෙන්තො අයං සකවාදො අයං පරවාදොති න ජානාති. සකවාදං දීපෙස්සාමිති පරවාදං දීපෙති. පරවාදං දීපෙස්සාමීති සකවාදං දීපෙති. ධම්මන්තරං විසංවාදෙති. ආභිධම්මිකො සකවාදං සකවාදනියාමෙනෙව පරවාදං පරවාදනියාමෙනෙව දීපෙති. ධම්මන්තරං න විසංවාදෙති.”



ආභිධර්මිකයන් හා අනභිධර්මිකයන් ගැන අත්ථසාලානි අටුවාවෙහි ද මෙසේ දක්වා ඇත්තේ ය.

“ආභිධම්මික භික්ඛුයෙව කිර ධම්මකථිකා නාම, අවසෙසා ධම්මකථං කථෙන්තාපි න ධම්මකථිකා: කස්මා? තෙහි ධම්මං කථෙන්තා කම්මන්තරං විපාකන්තරං රූපාරූපපරිචේඡෙදං ධම්මන්තරං ආලොළෙත්වා කථෙන්ති. ආභිධම්මිකා පන ධම්මන්තරං අනාලොලෙන්ති. තස්මා ආභිධම්මිකො භික්ඛු ධම්මං කතෙතු වා මා වා පුච්ඡිත කාලෙපන පඤ්හං කථෙස්සතීති අයමෙව කිර එකන්තධම්මකථිකො නාම හොති.”



කරුණු මෙසේ හෙයින් බුදු දහම ගැන නිවැරදි නිරවුල් දැනුමක් ඇති කර ගනු රිසි සැමදෙනා විසින් ම අභිධර්ම පිටකය උගත යුතුය. අභිධර්ම පිටකය බුදු දහමෙහි ඉතා සාරවත් වූ ඉතා වටිනා කොටස ය. එහෙත් “අටුවා ලියන කාලයේ දී අභිධර්මය අබුද්ධ දේශිතයකැ” යි කියන විතණ්ඩවාදීන් විසූ බව අත්ථසාලිනී අටුවාවෙහි නිදාන කථාවෙන් පෙනේ. එක්තරා ආභිධම්මික භික්ෂුවක් එසේ කියන විතණ්ඩවාදියකුගෙන් ප්‍ර‍ශ්න අසා නිරුත්තර කොට ඔහුගේ වාදය බිඳ හෙලා නිග්‍ර‍හ කළ අයුරු අත්ථසාලිනියේ 23 වන පිටුවේ දක්වා තිබේ.

දැනුදු බුදු දහම පහත් කොට දක්වනු කැමති අවුල් කරනු කැමති, බෞද්ධයන්ග් ආගම භක්තිය උපායෙන් නසනු කැමති ඇතැම් යුරෝපීය පඬිවරු “අභිධර්ම පිටකය බුද්ධ කාලයේ තිබුණේ නැත. පළමුවන දෙවන සංගායනාවලදීත් තිබුණේ නැත. එය බුද්ධ භාෂිතයෙන් නො වේ ය, එය ද්විතීය සංගායනාවට හා තෘතීය සංගායනාවට අතර කාලයේ දී සම්පාදනය කරන ලද්දකැ යි සිතිය හැකි යයි කියති. බුදුනටත් ඉහළින් යුරෝපීය පඬිවරයන් අභිවාදනය කරන අප රට ඇතැම් බෞද්ධයෝ ද ඒ මත පිළිගෙන මහලොකු දේවල් ලෙස තැන තැන පවසති. ඒ මත පිළිගත් එක්තරා ස්ථවිර නමක් දැන් අභිධර්මයේ අඩුතැන් පුරවන්නටත්, වැරදි තැන් සකස් කරන්නටත් පටන්ගෙන තිබේ. එය මන්ත්‍ර‍ය නො දැන නයින් නටවන්නට යෑම වැනි භයානක ඵල ඇතිවියහැකි වැඩක් බව ඒ ස්ථවිර තුමන්ට මතක් කරනු කැමැත්තෙමු.

තථාගතයන් වහන්සේ විසින් බුද්ධත්වයට පැමිණ සත්වන වසරේ දී අභිධර්ම පිටකය දේශනය කළ බව අපේ පොත පතෙහි නොයෙක් තැන්වල සඳහන් වන ප්‍ර‍සිද්ධ කරුණකි. විනය පිටකය ඇති වූයේ අභිධර්ම පිටකය ඇති වී වර්ෂ බොහෝ ගණනක් ගත වූ පසු ව ය. අභිධර්ම පිටකය දේශනය කළ කාලය වන විට සූත්‍ර‍ පිටකයෙන් ද තිබෙන්නට ඇත්තේ සුළු කොටසකි. එබැවින් එකල විසූ බොහෝ භික්ෂූන් අභිධර්ම පිටකය භාවිතා කරන්නට ඇතිවාට සැකයක් නැත. “අභිධර්ම පිටකයක් බුද්ධ කාලයේ නොතිබුණේය” යි කියන්නවුන් විසින් : එකල තිබුණේ යයි පිළිගන්නා සූත්‍ර‍ විනය පිටක දෙක්හි නොයෙක් තැන්වල අභිධර්මය ගැන සඳහන් වන්නේ, ඒ ධර්මය, භික්ෂූන් අතර කෙලින් ම තිබුණු නිසාය.

විනය පිටකයේ පාචිත්තිය පාලියෙහි 72 වැනි පචිතියෙහි අනාපත්ති වාරයේ සඳහන් වන පාඨයක් මෙසේය.

“අනාපත්ති න විවණ්ණේතු කාමො, ඉංඝ තාව සුත්තන්තේ වා ගාථායෙ වා අභිධම්මං වා පරියාපුණස්සු. පච්ඡා පි විනයං පරියාපුණිස්සතීති භණති.”



බුද්ධ කාලයේ අභිධර්ම පිටකයක් නො තිබුනා නම් මේ සික පදය විස්තර කිරීමේ දී අභිධර්මයක් සඳහන් කරන්නට කරුණක් නැත.

තවද පාචිත්තිය පාළියේ භික්ඛුණී විභංගයේ ඡත්තුපාහන වග්ගයේ 12 වන සිකපද විස්තරයේ මෙසේ සඳහන් වේ.

සුත්තන්තෙ ඔකාසං කාරාපෙත්වා විනයං වා අභිධම්මං වා පුච්ඡති, ආපත්ති පාචිත්තියස්ස.

විනයෙ ඔකාසං කාරාපෙත්වා සුත්තන්තං වා අභිධම්මං වා පුච්ඡති, ආපත්ති පාචිත්තියස්ස.

අභිධම්මෙ ඔකාසං කාරාපෙත්වා සුත්තන්තං වා විනයං වා පුච්ඡති, ආපත්ති පාචිත්තියස්ස.


මේ පාඨයෙහි සුත්තන්ත – විනය – අභිධම්ම යන පිටක තුන ඉතා පැහැදිලි ලෙස දක්වා තිබේ. මේ පාඨවල අභිධම්ම යන වචනයෙන් කියන ධර්මය අභිධර්ම පිටකය හැර අනිකක් නම්, ඒ කුමක් ද? කියා බුද්ධ කාලයේ අභිධර්මය නො තිබුණේ යයි කියන්නවුන් විසින් දැක්විය යුතුය. එසේ දක්වන්නට දෙයක් ඔවුනට නැත. සූත්‍ර‍ විනය පිටක දෙක්හි අභිධර්මය සඳහන් කර ඇති තවත් බොහෝ තැන් ඇතත් බුද්ධ කාලයේ අභිධර්මය නො තිබුණේය යන මිථ්‍යා මතය බිඳලීමට දැක්වූ විනය පාඨ දෙක ම ප්‍ර‍මාණවත් වන බැවින් ඒවා නො දක්වනු ලැබේ.

ප්‍ර‍ථම ද්විතීය සංගීති වලදී පිටකත්‍ර‍ය ම සංගායනා කළ බව අටුවාවල හා තවත් පොත්වලත් පැහැදිලි ලෙස ම දක්වා තිබේ. ඒ සංගායනා වලදී අභිධර්ම පිටකය සංගායනා නොකළ බවත් කොතැනකවත් සඳහන් කර නැත. අභිධර්මය ඒ සංගායනා වලදී සංගායනා නොකළ බව කියන්නවුන්ට ඒ බව ඔප්පු කිරීමට කිසිම ප්‍ර‍බල සාධකයක් නැත. ඔවුන් ඒ ගැන දක්වන එක ම සාධකය චූළවග්ග පාලියේ සංගීති කථාවල අභිධම්ම යන වචනය සඳහන් නොවීම පමණකි. චූළවග්ග පාලියේ සංගායනාව දක්වා තිබෙන්නේ ඉතා කෙටියෙනි. එහි:

“එතෙනෙව උපායෙන පඤ්චපි නිකායෙ පුච්ඡි, පුට්ඨො පුට්ඨො ආයස්මා ආනන්දො විස්සජ්ජෙසි.”



යන පාඨයෙන් දක්වන්නේ අභිධර්ම පිටකයත් සංගායනා කළ බව ය. අභිධර්ම පිටකය නිකාය පසින් ඛුද්දක නිකායට අයත් ය. චූළවග්ග සංගීති කතාවෙහි අභිධර්මය යන වචනය සඳහන් වී නැත ද ඛන්ධකාවසානයෙහි දක්වා ඇති

“උපාලි විනයං පුච්ඡි – සත්තන්තානන්ද පණ්ඩිතං

පිටකං තීණි සංගීතිං – අකංසු ජින සාවකා.”



යන උද්දාන ගාථාවෙන් පිටක තුනක් සංගායනා කළ බව දැක්වේ. අභිධර්ම පිටකය සංගායනා නො කළා නම් මේ ගාථාවෙන් කියන පිටක තුන මොනවාද? වැරදුන තැනදී බොහෝ දෙනා කරන පරිදි ඕවා පසු කාලයේ දී ලියන ලද ඒවාය කියා ගැළවෙන්නට තැත් කරනවා මිස, මේ ප්‍ර‍ශ්නයේ දී පරවාදීන්ට කළ හැකි අනිකක් නම් නැත.

තථාගතයන් වහන්සේ විසින් අභිධර්ම පිටකයෙහි වදාරා ඇත්තේ ඉතා ගැඹුරු ධර්මයෝ ය.

එකින් එකක් වෙන් කළ නොහෙන පරිදි බැඳී සමූහ වශයෙන් වහ වහා ඉපද ඉපද බිඳි බිඳී යන චිත්ත චෛතසික ධර්මයන් මේ මේය කියා විභාග කර දැක්වීම ලොව්තුරා බුදුවරුන්ට මිස සෙස්සන්ට කළ හැකියක් නො වේ. එබැවින් අභිධර්ම පිටකය ලොව්තුරා බුදු කෙනකුන් විසින් ම දේශනය කරනවා මිස අනිකකු විසින් සම්පාදනය නො කළ හැකි ය.

සාමාන්‍ය ලෝකයාට විෂය නො වන ගැඹුරු ධර්මයන් විභාග කොට දක්වන අභිධර්ම පිටකය යමකුට සම්පාදනය කළ හැකි වූයේ නම් එය සුළු කරුණක් නොව මහා ප්‍රාතිහාර්‍ය්‍යයකි. එබඳු මහත් දෙයක් කළ තැනැත්තකුට ඒ ග්‍ර‍න්ථ බුද්ධ දේශනාවක් ලෙස ඉදිරිපත් කොට සැඟවෙන්නට කිසි ම කරුණක් නැත.

අභිධර්ම පිටකය සම්පාදනය කළහයි කියන කාලයේ පොත් තිබුණේ නැත. ඒ කාලයේ ධර්ම ශාස්ත්‍ර‍යන් පවත්වාගෙන ආයේ පාඩම් ඇතියකුගෙන් අසා පාඩම් කර ගැනීමේ ක්‍ර‍මයෙනි. දීර්ඝ දෙයක් වන අභිධර්ම පිටකය සිය මුවින් ම කියා පිරිසකට පාඩම් කර වීමට දිගු කලක් වුවමනා ය. බොරුවට ආයු මඳ ය. එබැවින් කෙනකුට අභිධර්ම පිටකය සම්පාදනය කර එය බුද්ධ දේශනයක් ලෙස, රහස එළි නොවන ලෙස දිගු කලක් උගැන්ම නො කළ හැකි ය. යම් කිසි දවසක දී කාරණය ඒකාන්තයෙන් ප්‍ර‍සිද්ධ වන්නේ ය. ඉන්පසු ඒ ධර්මය උගෙණීමට භික්ෂූන් නො වෙහෙසෙනවා ඇත. තමා විසින් යමක් සම්පාදනය කොට එය බුද්ධ දේශනයක් ලෙස රටට දීම බරපතල වරදකි. අභිධර්ම පිටකය වැනි විශාල දෙයක් පිළියෙල කොට යමකු විසින් එය බුද්ධ ‍දේශනයක් ලෙස ප්‍ර‍කාශ කරන්නට පටන් ගත හොත් එය ඉතිහාස ගතවන අපරාධයකි. මෙතරම් මහත් වඤ්චාවක් යමකු කරන ලද නම්, ඒකාන්තයෙන් එය හෙළි වන්නේය. එහෙත් අභිධර්මය බුද්ධ දේශනයක් නො වෙතියි කියන කිසිවකු අභිධර්ම පිටකය සම්පාදනය කළ තැනැත්තා ඉදිරිපත් කිරීමට සමත් වී නැත. එයින් පෙනෙන්නේ අභිධර්මය බුද්ධ දේශනයක් නොවේ යයි කීම ම බොරුවක් බව ය. අභිධර්මය අබුද්ධ දේශනයක් බව ඔප්පු කරන්නට නම් එය සම්පාදනය කළ තැනැත්තා ඉදිරිපත් කළ යුතු ය. බුද්ධ දේශනාවකැයි කියා ඒ ධර්මය සම්පාදනය කිරීමේ හේතුව දැක්විය යුතු ය.

මුලින් සම්පාදනය කළ තැනැත්තා ගෙන් අභිධර්මය උගත් භික්ෂූන් සම්පාදකයා ගේ නම යටපත් කොට එය බුද්ධ දේශනාවක් ලෙස ප්‍ර‍කාශ කරන්නට පටන් ගත්තා නම් එය වඤ්චාවක් පමණක් නොව ගුරුද්‍රෝහි කමක් ද වන අපරාධයකි. කිසි ම ප්‍රයෝජනයක් නැතිව එබඳු අපරාධයක් භික්ෂූන් විසින් කරන ලදැයි පිළිගැනීමට කරුණක් නැත.

අභිධර්ම පිටකය ප්‍ර‍ථම ද්විතීය සංගායනාවල දී සංගීත නොවූ බව කියන අය තෘතීය සංගායනාවේ දී එය සංගීත වූ බව පිළිගනිති. විනය අටුවාව කියන හැටියට ඒ සංගීතිය ත්‍රිපිටකධාරී රහතන් වහන්සේලා දහසක් විසින් කරන ලද්දකි. ඒ රහත්හු බුද්ධ දේශනයකැයි රැවටී අභිධර්මය උගත්තෝ ද? නැතහොත් උන් වහන්සේලා බුද්ධ භාෂිතයක් නො වන බව දැන ගෙන ම එය බුද්ධ භාෂිතයක් වශයෙන් සංගායනා කළෝ ද? නැතහොත් විනය අටුවාවෙහි සඳහන් වන ඒ පුවත බොරුවක් ද? බොරුවක් නම් එය විනය අටුවාවට ඇතුළත් කළේ කුමට ද? යන මේ ප්‍ර‍ශ්න විසඳීම අභිධර්මය අබුද්ධ දේශිතයක් බව කියන භවතුන්ට භාර කරමු.

[ 1 ] අංගුත්තර අටුවා. හේවා. මුද්‍ර‍ණය – 820 පිට.   

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org