සූවිසි ප්‍ර‍ත්‍යය

උපුටා ගන්නා ලද්දේ
මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ
විසින් සම්පාදිත “අභිධර්ම මාර්ගය” බෞද්ධ ග්‍රන්ථයෙනි.

 

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

අතීත වූ ද, අනාගත වූ ද, වර්තමාන වූ ද, කාලත්‍රයෙන් මුක්ත වූ ද පරමාර්ථ වශයෙන් හා ප්‍ර‍ඥප්ති වශයෙන් ද ඇත්තා වූ සකල ධර්ම සමූහයෙහි ප්‍ර‍ත්‍යය ශක්ති සූවිස්සක් ඇත්තේ ය. ඒ ප්‍ර‍ත්‍යය ශක්තීන් අනුව ඉහත කී ධර්ම සමූහය ප්‍ර‍ත්‍යය නාමයෙන් පට්ඨාන මහාපකරණයෙහි සූවිසි කොටසකට බෙදා දක්වා තිබේ. ඒ කොටස් සූවිස්සට “සූවිසි ප්‍ර‍ත්‍යය ය” යි කියනු ලැබේ.

ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ස්වභාවය කෙටියෙන් පහත දැක්වේ.

1. හේතු ප්‍ර‍ත්‍යය

හේතු භාවයෙන් උපකාර වන ධර්මය හේතු ප්‍ර‍ත්‍යය ය. මෙහි හේතු භාවය යි කියනුයේ මූල භාවයට ය. මුල් පොළොවෙහි කාවැදී ගසට නො වැටී සිටීමට උපකාර වන්නාක් මෙන්, තමා අරමුණෙහි කාවැදී තමා හා එක්ව උපදනා ධර්මයනට ආරම්මණයෙහි නොසැලී පිහිටීමට උපකාර වන ධර්‍මය හේතු ප්‍ර‍ත්‍යය ය. ලෝභ – දෝස – මෝහ – අලෝභ – අදෝස – අමෝහ යන මේ ධර්ම සය හේතු ප්‍ර‍ත්‍යය ය. සහේතුක සිත් එක් සැත්තෑවය, මෝහ මූලයෙහි යෙදෙන මෝහය හැර චෛතසික දෙපනස ය, චිත්තජ රූපයෝ ය, ප්‍ර‍තිසන්ධි චිත්තය හා උපදනා කර්මජ රූපයෝ ය යන මොහු හේතු ප්‍ර‍ත්‍යයා ගේ ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

මෝහ මූල චිත්තයෙහි මෝහය අත හැරීමෙන් චෛතසික ගණන අඩු නො වන්නේ ලෝභ මූල දෝෂ මූල සිත්වල යෙදෙන මෝහය ගැනෙන හෙයිනි. මෝහ මූල චිත්තයෙහි මෝහය මෝහ මූල චිත්තයට හා එය හා යෙදෙන මෝහයෙන් අන්‍ය චෛතසිකයන්ටත් හේතුභාවයෙන් ප්‍ර‍ත්‍යය වේ. මෝහයට හේතුභාවයෙන් ප්‍ර‍ත්‍යය වන තවත් හේතු ධර්මයක් එහි නැති බැවින් මෝහ මූලයේ මෝහය හේතු ප්‍ර‍ත්‍යයෝත්පන්න නො වේ. හේතු දෙක තුන ඇති සිත්වල හේතු ධර්මයෝ ප්‍ර‍ත්‍යයෝත්පන්න වෙති. එක්ව ඇති වන හේතු ධර්මයන්ගෙන් එකක් අනිකට හේතු භාවයෙන් ප්‍ර‍ත්‍යය වන බැවිනි.

2. ආරම්මණ ප්‍ර‍ත්‍යය

ආරම්මණ භාවයෙන් උපකාරක ධර්ම ආරම්මණ ප්‍ර‍ත්‍යය ය. අරමුණක් නො ගෙන චිත්ත චෛසිකයන්ට නූපදිය හැකි ය. එබැවින් සෑම අරමුණක් ම චිත්ත චෛතසිකයන් ගේ ඉපදීමට උපකාරයෙකි. එකුන් අනූ චිත්තය, චෛතසික දෙපනස, රූප අට විස්ස, නිර්වාණය, ප්‍ර‍ඥප්තිය යන සියල්ල ම ආරම්මණ ප්‍ර‍ත්‍යය ය. ආරම්මණ ප්‍ර‍ත්‍යය නො වන දෙයක් නැත. එකුන් අනූ චිත්තය හා චෛතසික දෙපනස ආරම්මණ ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

3. අධිපති ප්‍ර‍ත්‍යය

අධිපති භාවයෙන් උපකාර වන ධර්මය අධිපති ප්‍ර‍ත්‍යය ය. අධිපති භාවය යනු අන්‍යයන් තමාට අනුකූල කරවන ස්වභාවය ය. ඇතැම් ධර්මයක තවත් ධර්මයන් තමාට අනුකූල කරවන ස්වභාවයක් ඇත්තේ ය. ඒ ධර්මයනට මෙහි අධිපති නාමය ව්‍යවහාර කරනු ලැබේ. ආරම්මණාධිපතිය, සහජාතාධිපතිය� කියා අධිපති ප්‍ර‍ත්‍යය දෙවැදෑරුම් වේ. ඇතැම් අරමුණක සිත් ඇද ගන්නා ස්වභාවයක් ඇත්තේ ය. ඒ නිසා ඒ අරමුණට ඇදී නැමී බොහෝ සිත් උපදී. ඒ සිත් ඇදගන්නා ස්වභාවය ආරම්මණයෙහි ඇති අධිපති ස්වභාවය ය.

ආරම්මණාධිපති ප්‍ර‍ත්‍යය:

ගරු කළ යුතු ඉෂ්ට නිෂ්පන්න රූප අටළොස ය, ද්වේෂ මූල මෝහ මූල දුඃඛ සහගත කාය විඤ්ඤාණය යන මේ සිත් හැර ඉතිරි සිත් අසූහතර ය, දෝස – ඉස්සා – මච්ඡරිය – කුක්කුච්ච – විචිකිච්ඡා චෛතසික හැර ඉතිරි චෛතසික සත්සාළිස ය, නිර්වාණය යන මේ ධර්මයෝ ආරම්මණාධිපති ප්‍ර‍ත්‍යය ධර්මයෝ ය.

ඒ ධර්ම ගරුකොට අරමුණු කරන ලෝභමූල සිත් අට ය, මහා කුසල් සිත් අට ය, මහා ක්‍රියා ඥාන සම්ප්‍ර‍යුක්ත සිත් සතර ය, ලෝකෝත්තර සිත් අට ය යන සිත් විසි අට ය, දෝස – ඉස්සා – මච්ඡරිය – කුක්කුච්ච – විචිකිච්ඡා –

කරුණා – මුදිතා හැර ඉතිරි චෛතසික පන්සාළිස ය යන මොවුහු ආරම්මණාධිපති ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

සහජාතාධිපති ප්‍ර‍ත්‍යය.

ඡන්ද – චිත්ත – විරිය – වීමංස යන මේ අධිපති ධර්ම සතර තමා හා සම්ප්‍ර‍යුක්තයනට අධිපති භාවයෙන් ප්‍ර‍ත්‍යය යන බැවින් සහජාතාධිපති නම් වේ. එක් වරක දී අධිපති වන්නේ මේ සතරින් එකකි. දෙක තුනක් එකවර අධිපති නො වේ.

ද්විහේතුක ත්‍රිහේතුක ජවන චිත්තයෝ ය, ඡන්දය විරියය – වීමංසය යන මොවුහු තම තමා අධිපති වන අවස්ථාවෙහි අධිපති ප්‍ර‍ත්‍යය වේ.

ඒ ඒ අවස්ථාවෙහි අධිපති වන ධර්මය හැර දෙපනස් සාධිපති ජජවනය ය, විචිකිච්ඡාවෙන් අන්‍ය චෛතසිකයෝ ය, ඒ සිත්වලින් උපදනා රූපයෝ ය යන මොවුහු සහජාතාධිපති ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

4. 5. අනන්තර – සමනන්තර ප්‍ර‍ත්‍යයෝ

සත්ත්වයන් කෙරෙහි පවත්නා චිත්ත පරම්පරාවෙහි පසු පසු සිත් ඇතිවන්නේ පළමු පළමු සිත් නිසා ය. පූර්ව පූර්ව සිත් නො වී නම් පසු පසු සිතත් ද ඇති නො වන්නේ ය. සැම සිතක ම තමා නිරුද්ධ වනු සමග ම ස්ථානය සිස්වන්නට නො දී අතරක් නො දැනෙන සැටියට තවත් සිතක් ඉපදීමට උපකාර වන ස්වභාවයක් ඇත්තේ ය. ඒ නිසා එක් සිතක් නිරුද්ධ වනු සමග ම තවත් සිතක් උපදී. නිරුද්ධ වන පූර්ව පූර්ව චිත්තයන්හි ඇති තමන් ළඟින් ම තවත් සිතක් උපදවන ශක්තිය අනන්තර ශක්තිය ය. අනන්තර ශක්තියෙන් උපදකාරවන ධර්මය අනන්තර ප්‍ර‍ත්‍යය නම් වේ. තමාට අනතුරු ව උපදනා සිත තැනට සුදුසු පරිදි ඉපදීමට උපකාරවන ස්වභාවයක් ද නිරුද්ධ වන සිත්වල ඇත්තේ ය. එයට සමනන්තර ශක්තිය යි කියනු ලැබේ. සමනන්තර ශක්තියෙන් උපකාර වන ධර්මය සමනන්තර ප්‍ර‍ත්‍යයය. අනන්තර සමනන්තර ශක්ති දෙක ම එක ම සිතේ ඇත්තේ ය. එබැවින් අරහන්ත චුතිය හැර නිරුද්ධ වන්නා වු සැම සිතක් ම සැම චෛතසිකයක් ම අනන්තර ප්‍ර‍ත්‍යය ද වේ. සමනන්තර ප්‍ර‍ත්‍යය ද වේ. අරහන්ත චුතිය සහිත වූ පසු පසුව උපදනා සිත් හා චෛතසික සියල්ල අනන්තර ප්‍ර‍ත්‍යයෝත්පන්න ද සමනන්තර ප්‍ර‍ත්‍යයෝත්පන්න ද වේ.

6. සහජාත ප්‍ර‍ත්‍යය

තමා උපදනා කල්හි තවත් ධර්මයන්හට තමා හා එක්ව ඉපදීමට උපකාරවන ධර්මය සහජාත ප්‍ර‍ත්‍යය ය.

ඔවුනොවුන්ටත් ඔවුනොවුන්ට හා චිත්තජ රූප ප්‍ර‍තිසන්ධිකර්මජ රූපවලටත් ප්‍ර‍ත්‍යය වනව එකුන් අනූ චිත්තය හා චෛතසික දෙපනසය, ඔවුනොවුන්ට හා උපාදාය රූපයන්ට ප්‍ර‍ත්‍යය වන මහාභූත සතර ය, ඔවුනොවුන්ට ප්‍ර‍ත්‍යය වන පඤ්චවෝකාර ප්‍ර‍තිසන්ධි නාමස්කන්ධයන්ට ප්‍ර‍ත්‍යය වන හෘදය වස්තුවය යන මේවා සහජාත ප්‍ර‍ත්‍යය ධර්මයෝය.

ඔවුනොවුන්ගේන ප්‍ර‍ත්‍යය ලබන එකුන් අනූචිත්තය හා චෛතසික දෙපනස ය යන නාමස්කන්ධයෝ ය, ඔවුනොවුන්ගෙන් උපකාර ලබන උපාදාය රූප සහිත මහාභූතයෝ ය. හෘදය වස්තුවෙන් ප්‍ර‍ත්‍යය ලබන පඤ්චවෝකාර ප්‍ර‍තිසන්ධි නාමස්කන්ධයෝ ය, පඤ්චවෝකාර ප්‍ර‍තිසන්ධි නාමස්කන්ධයන්ගෙන් ප්‍ර‍ත්‍යය ලබන හෘදයවස්තුව ය යන මොවුහු සහජාත ප්‍ර‍ත්‍යයේ ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

7. අඤ්ඤමඤ්ඤ (අන්‍යොන්‍ය) ප්‍ර‍ත්‍යය

තමා යම් කිසි ධර්මයකට උපකාර වෙමින් ඒ ධර්මයෙන් තමා ද උපකාර ලබන ධර්මය අන්‍යොන්‍ය ප්‍ර‍ත්‍යය ය. ඔවුනොවුන්ට උපකාර වන එකුන් අනූ චිත්තය හා දෙපනස් චෛතසිකයෝ ය, ඔවුනොවුන්ට උපකාර වන මහාභූත සතර ය, ඔවුනොවුන්ට උපකාර වන පඤ්චවෝකාර ප්‍ර‍තිසන්ධි නාමස්කන්ධයන් හා හෘදය වස්තුව ය යන මොවුහු අන්‍යොන්‍ය ප්‍ර‍ත්‍යය ධර්මයෝ ය. අන්‍යොන්‍ය වශයෙන් උපකාර ලබන ඒ ධර්මයෝ ම අන්‍යොන්‍ය ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

8. නිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය

චිත්‍ර‍ රූපාදියට කරදාසි ආදිය උපකාර වන්නාක් මෙන් තවත් ධර්මයකට පිහිටා සිටීමට උපකාර වන ධර්‍මය නිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය ය. නිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය සහජාත නිශ්ශ්‍ර‍ය – පුරේජාත නිශ්ශ්‍ර‍ය වශයෙන් දෙවැදෑරුම් වේ. ප්‍ර‍ත්‍යයෝත්පන්නය හා එකට ම උපදිමින් නිශ්ශ්‍ර‍ය වන ධර්ම සහජාත නිශ්ශ්‍ර‍ය නම් වේ. තමා පළමු ඉපද පසුව උපදනා ධර්මයන්ට නිශ්ශ්‍ර‍ය වන ධර්ම පුරේජාත නිශ්ශ්‍ර‍ය නම් වේ.

සහජාත නිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යයේ ප්‍ර‍ත්‍යය ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ සහජාත ප්‍ර‍ත්‍යයෙහි මෙන් දත යුතු.

පුරේජාත නිශ්ශ්‍ර‍යය ද, වස්තු පුරේජාත නිශ්ශ්‍ර‍ය වස්ත්වාරම්මණ පුරේජාත නිශ්ශ්‍ර‍ය වශයෙන් දෙවැදෑරුම් වේ. ප්‍ර‍වෘත්ති කාලයෙහි චක්ෂුරාදි වස්තු සය වස්තු පුරේජාත නිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය වේ. අරූප විපාක හැර ඉතිරි සිත් හා චෛතසික ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය. (වස්ත්වාරම්මණ පුරේජාත ප්‍ර‍ත්‍යය දුරවබෝධ බැවින් නො දක්වනු ලැබේ.)

9. උපනිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය

යම්කිසි ධර්මයක ඇතිවීමට ඉතා ම උපකාරක ධර්මය උපනිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය ය. ආරම්මණෝපනිශ්ශ්‍ර‍ය – අනන්තරෝපනිශ්ශ්‍ර‍ය – ප්‍ර‍කෘතෝපනිශ්ශ්‍ර‍ය යි කියා නිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය තුන් ආකාර වේ.

ලෝකයා විසින් හොඳ දෙය කියා ගරු කරන ආරම්මණය ආරම්මණෝපනිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය ය. එහි ප්‍ර‍ත්‍ය වන ධර්ම හා ප්‍ර‍ත්‍යයෝත්පන්න ධර්ම ආරම්මණාධිපතියෙහි මෙනි.

සිතක් උපදින්නට කලින් එය ළඟින් ම ඉපද නිරුද්ධ වූ සිත අනන්තරෝපනිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය ය. ආරම්මණාදි ප්‍ර‍ත්‍යයන් ඇතත් එය නැතිව සිතකට නූපදිය හැකි බැවින් සමීපයේ ම නිරුද්ධ වූ සිත අනතුරුව ඇතිවන සිතට බලවත් උපකාරයෙකි. අනන්තරෝප-නිශ්ශ්‍රයෙහි ප්‍ර‍ත්‍යය ප්‍ර‍ත්‍යයෝත්පන්න අනන්තර ප්‍ර‍ත්‍යයෙහි මෙනි.

එක් සන්තානයක ඇති වූ රාගාදි වූ ද, ශ්‍ර‍ද්ධාදි වූ ද, ධර්ම හා සැප දුක් ආදිය ද ඒ සන්තානයෙහි පසු කාලයේ බොහෝ චිත්ත චෛතසිකයන් ඇති වීමට විශේෂ හේතුවක් වේ. ඒ රාගාදි ධර්ම ප්‍ර‍කෘතෝපනිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය ය.

එකුන් අනූ චිත්තය ය, චෛතසික දෙපනස ය, රූප අටවිස්ස ය, ඇතැම් ප්‍ර‍ඥප්තීහු ය යන මොවුහු ප්‍ර‍කෘතෝපනිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය වන ධර්මයෝ ය. ඒවා නිසා ඇතිවන එකුන් අනූ චිත්තය හා චෛතසික දෙපනස ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

10. පුරේජාත ප්‍ර‍ත්‍යය

කලින් ඉපද පසුව උපදනා ධර්මයන්ට ප්‍ර‍ත්‍යය වන ධර්මය පුරේජාත ප්‍ර‍ත්‍යය ය. වස්තු පුරේජාත ප්‍ර‍ත්‍යයය-වස්ත්වාරම්මණ පුරේජාත ප්‍ර‍ත්‍යයය – ආරම්මණ පුරේජාත ප්‍ර‍ත්‍යයය කියා පුරේජාත ප්‍ර‍ත්‍යය තුන් ආකාර වේ. එයින් වස්තුපුරේජාත ප්‍ර‍ත්‍යය වස්තුපුරේජාත නිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය මෙනි. වස්ත්වාරම්මණ පුරේජාත ප්‍ර‍ත්‍යය වස්ත්වාරම්මණ පුරේජාත නිශ්ශ්‍ර‍ය ප්‍ර‍ත්‍යය මෙනි. කලින් ඉපද පසුව උපදනා චිත්ත චෛතසිකයන්ට ප්‍ර‍ත්‍යය වන නිෂ්පන්නරූප අටළොස ආරම්මණ පුරේජාත ප්‍ර‍ත්‍යය ය. පඤ්චවෝකාර භූමියෙහි උපදනා කාම සිත් සිවුපනස ය, අභිඥා සිත් දෙක ය, අප්‍ර‍මාණ්‍ය හැර චෛතසික පනස ය යන මොවුහු ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

11. පශ්චාජ්ජාත ප්‍ර‍ත්‍යය

කලින් ඉපද පවත්නා වූ රූප ධර්මයන්ට අනුබල දෙන පසුව උපදනා චිත්ත චෛතසිකයෝ පශ්චාජ්ජාත ප්‍ර‍ත්‍යය ය.

පඤ්චවෝකාර භූමියෙහි උපදනා අරූප විපාකයන්ගෙන් අන්‍ය වූ ප්‍ර‍ථම භවාඞ්ගාදි පසු පසුව උපදනා සිත් පස් අසූව ය- චෛතසික දෙපනස ය යන මොවුහු පශ්චාජ්ජාත ප්‍ර‍ත්‍යය ධර්මයෝ ය. ප්‍ර‍තිසන්ධ්‍යාදි පළමු පළමු සිත් සමග ඉපද ස්ථිතියට පැමිණි රූපයෝ ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය. මේ ප්‍ර‍ත්‍යය, ප්‍ර‍ත්‍යයෝත්පන්නය උපදවන ප්‍ර‍ත්‍යයක් නොව, එයට අනුබලදීම පමණක් කරන ප්‍ර‍ත්‍යයෙකි.

12. ආසේවන ප්‍ර‍ත්‍යය

පළමු ආලේප කළ සායම් තමාගේ ස්වභාවය ගෙන පසුව ආලේප කරන සායමට පැහැපත් වීමට උපකාර වන්නාක් මෙන් තමාට පසුව උපදනා චිත්ත චෛතසිකයන්ට තමාගේ ස්වභාවය ගෙන බලවත් වීමට උපකාර වන පූර්ව පූර්ව චිත්තයෝ ආසේවන ප්‍ර‍ත්‍යය ය. ආසේවනය ඇත්තේ ජවන චිත්තයන්හි ය.

අන්තිම ජවනත් ඵල ජවනත් හැර, පළමු පළමු උපදනා ලෞකික ජවන් සත්සාළිස හා චෛතසික දෙපනස ආසේවන ප්‍ර‍ත්‍යය ධර්මයෝ ය. ප්‍ර‍ථම ජවනය හා ඵලජවනයන් හැර, පසු පසුව උපදනා ජවන් සිත් හා චෛතසිකයෝ ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය

13. කර්ම ප්‍ර‍ත්‍යය

ඒ ඒ ක්‍රියා සිදු කිරීමේ උත්සාහය වූ චේතනා චෛතසිකය කර්මප්‍ර‍ත්‍යය නම් වේ. සහජාත කර්ම ප්‍ර‍ත්‍යය නානාක්ෂණික කර්මප්‍ර‍ත්‍යය යි කර්ම ප්‍ර‍ත්‍යය දෙකකි. චේතනාව සර්වචිත්ත සාධාරණ චෛතසිකයෙකි. එය ඇති වන්නේත් සිතත් තවත් චෛතසිකත් රූප කොටසකුත් උපදවා ගෙන ය. එසේ ඇති වන්නා වූ චේතනාවට එය හා උපදනා ධර්මයන්ට ප්‍ර‍ත්‍යය වන බැවින් සහජාත කර්මප්‍ර‍ත්‍යය යි කියනු ලැබේ. එකුන් අනූ චිත්තයන්හි ඇති චේතනා එකුන් අනූව ම සහජාත කර්ම ප්‍ර‍ත්‍යය වේ. එකුන් අනූ චිත්තය ය, චේතනාව හැර ඉතිරි චෛතසික එක් පනස ය, චිත්තජ රූප හා ප්‍ර‍තිසන්ධි කර්මජ රූපයෝ ය යන මොවුහු සහජාත කර්ම ප්‍ර‍ත්‍යයේ ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

පසු කාලයේදී තමාගේ විපාකය ඇති කරන කුශලාකුශල චේතනා රාශිය තවත් ක්‍ර‍මයකින් කියත හොත් අතීත කුශලාකුශල චේතනා තෙතිස නානාක්ෂණික කර්ම ප්‍ර‍ත්‍යය ය. විපාක සිත් සතිස ය, චෛතසික අටතිස ය, කර්මජ රූප අටොළොස ය යන මොවුහු නානාක්ෂණික කර්ම ප්‍ර‍ත්‍යයේ ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය. ප්‍ර‍ත්‍යය ඇතිවන ක්ෂණය හා ප්‍ර‍ත්‍යයෝත්පන්නය ඇති වන ක්ෂණය වෙනස් බැවින් මේ ප්‍ර‍ත්‍යයට නානාක්ෂණික කර්ම ප්‍ර‍ත්‍යය යි කියනු ලැබේ.

14. විපාක ප්‍ර‍ත්‍යය

තමා නිරුත්සාහ ශාන්ත භාවයෙන් සිට, තමා හා උපදින ධර්මයන්ට ද නිරුත්සාහ ශාන්ත භාවයෙන් ඉපදීමට උපකාර වන ධර්මය විපාක ප්‍ර‍ත්‍යය ය. ඔවුනොවුන්ට ද ඔවුනොවුන්ට හා චිත්තජ රූප ප්‍ර‍තිසන්ධි කර්මජ රූපයන්ට ද ප්‍ර‍ත්‍යය වන විපාක සිත් සතිස ය, චෛතසික අටතිස ය යන මොවුහු විපාක ප්‍ර‍ත්‍යය ධර්මයෝ ය.

ඔවුනොවුන්ගෙන් ප්‍ර‍ත්‍යය ලබන විපාක සිත් සතිස ය, චෛතසික අටතිස ය, විපාක චිත්තයන් විසින් උපදනා විඥප්ති රූපයන්ගෙන් අන්‍ය චිත්තජ රූපයෝ ය. ප්‍ර‍තිසන්ධි කර්මජ රූපයෝ ය යන මොවුහු විපාක ප්‍ර‍ත්‍යයේ ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

15. ආහාර ප්‍ර‍ත්‍යය

ඇතැම් නාමරූපයන් උපදවන්නා වූ ද, කර්මාදි ප්‍ර‍ත්‍යයන්ගෙන් හටගන්නා වූ ද නාමරූප පරම්පරාවන්ට චිර කාලයක් පැවැත්මට අනුබල දෙන්නා වූ ද, ස්වභාවය ඇති නාමරූප, ආහාර ප්‍ර‍ත්‍යය නාමයෙන් හඳුන්වනු ලැබේ. ආහාර ප්‍ර‍ත්‍යයෙන් සිදු වන ප්‍ර‍ධාන දෙය, නාම-රූප පරම්පරාවන්ට අනුබල දීම ය. තවත් ක්‍ර‍මයකින් කියතහොත් සත්ත්වයාහට චිර කාලයක් ජීවත්වීමට අනුබල දීම ය.

නාමාහාර ප්‍ර‍ත්‍යය – රූපාහාර ප්‍ර‍ත්‍යයි ආහාර ප්‍ර‍ත්‍යය දෙකකි. ඵස්ස-චේතනා-විඤ්ඤාණ යන මේ ධර්ම තුන නාමාහාර ප්‍ර‍ත්‍යය ය. එකුන් අනූ චිත්තයය, චෛතසික දෙපනස ය, චිත්තජ රූපයෝ ය, ප්‍ර‍තිසන්ධි කර්මජ රූපයෝ ය යන මොවුහු නාමාහාර ප්‍ර‍ත්‍යයාගේ ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

කබලිංකාරාහාරය යි කියන භෝජනාදියෙහි ඇති ඕජාරූපය රූපාහාර ප්‍ර‍ත්‍යය ය. ආහාරයෙන් හටගන්නා රූප එහි ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

16. ඉන්ද්‍රිය ප්‍ර‍ත්‍යය

ඉන්ද්‍රිය භාවයෙන් ඊශ්වර භාවයෙන් උපකාර වන ධර්මය ඉන්ද්‍රිය ප්‍ර‍ත්‍යය ය. සහජාතේන්ද්‍රිය ප්‍ර‍ත්‍යය පුරේජාතේන්ද්‍රිය ප්‍ර‍ත්‍යය – රූපජීවිතේන්ද්‍රිය ප්‍ර‍ත්‍යය යි ඉන්ද්‍රිය ප්‍ර‍ත්‍යය තුනෙකි.

චිත්තය – වේදනාව – ශ්‍ර‍ද්ධාව – වීර්‍ය්‍යය – ස්මෘතිය – ඒකාග්‍ර‍තාව – ප්‍ර‍ඥාව යන නාමේන්ද්‍රියයෝ සහජාත ඉන්ද්‍රිය ප්‍ර‍ත්‍යය ධර්මයෝ ය. එකුන් අනූ චිත්තය ය, චෛතසික දෙපනසය, චිත්තජ රූපයෝ ය, ප්‍ර‍තිසන්ධි කර්මජ රූපයෝ ය යන මොවුහු එහි ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

චක්ඛු – සෝත – ඝාන – ජිව්හා – කාය යන ප්‍ර‍සාද රූප පස පුරේජාතින්ද්‍රිය ප්‍ර‍ත්‍යය ය. ද්විපඤ්චවිඥානය හා සර්වචිත්ත සාධාරණ චෛතසික සත එහි ප්‍ර‍ත්‍යයෝත්ත්පත්පන්නයෝ ය.

ජීවිතේන්ද්‍රිය රූපය රූප ජීවිතේන්ද්‍රිය ප්‍ර‍ත්‍යය ය. කර්මජ රූප කලාපයන්හි ජීවිතේන්ද්‍රිය රූපයෙන් අන්‍ය රූපයෝ එහි ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

17. ධ්‍යාන ප්‍ර‍ත්‍යය

අරමුණ ගැනීමේ විශේෂෝත්සාහයක් ඇති විතර්කාදි ධර්ම ධ්‍යාන නම් වේ. විතර්කාදි ධර්මයන්ගේ ඒ අරමුණු ගැනීමේ විශේෂෝත්සාහය නිසා එයට අනුව තවත් ධර්මයෝ උපදිති. එසේ උපදනා වූ ධර්මයන්ගේ උත්පත්තියට හේතු වන බැවින් විතර්කාදියට ධ්‍යාන ප්‍ර‍ත්‍යය යි කියනු ලැබේ.

ද්විපඤ්චවිඥානයෙන් අන්‍ය වූ සිත් සැත්තෑනවයෙහි ඇති විතක්ක-විචාර-වේදනා-ප්‍රීති-ඒකග්ගතා යන ධ්‍යානාඞ්ග ධර්ම පස ධ්‍යාන ප්‍ර‍ත්‍යය ය. ද්විපඤ්ච විඥානයෙන් අන්‍ය සිත් එකුන් අසූව ය, චෛතසික දෙපනස ය, චිත්තජ ප්‍ර‍තිසන්ධි කර්මජ රූපයෝ ය යන මොවුහු ධ්‍යාන ප්‍ර‍ත්‍යයේ ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

18. මාර්ග ප්‍ර‍ත්‍යය

සුගති දුර්ගති නිර්වාණයන්ට පැමිණවීමේ ශක්ති විශේෂයෙන් සහජාත නාමරූපයන්ට ප්‍ර‍ත්‍යය වන ධර්මයෝ මාර්ග ප්‍ර‍ත්‍යය ය.

සහේතුක චිත්තයන්හි යෙදෙන ප්‍ර‍ඥා – විතර්ක – සම්මාවාචා – සම්මාකම්මන්ත – සම්මා ආජීව – විරිය – සති – ඒකග්ගතා – දිට්ඨි යන මාර්ගාඞ්ග ධර්ම නවය මාර්ග ප්‍ර‍ත්‍යය ය. සහේතුක සිත් එක් සැත්තෑව, චෛතසික දෙපනස, සහේතුක චිත්තජ රූප, සහේතුක ප්‍ර‍තිසන්ධි කර්මජ රූප යන මොවුහු මාර්ග ප්‍ර‍ත්‍යයේ ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

19. සම්ප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යය

අතරක් නො තිබෙන සේ මිශ්‍ර‍ත්වයට පැමිණීම් වශයෙන් උපකාරක ධර්මය සම්ප්‍ර‍යුක්ත ප්‍රත්‍යය ය. ඔවුනොවුන්ට ප්‍ර‍ත්‍යය වන එකුන් අනූ චිත්තය ය, චෛතසික දෙපනස ය යන නාම ධර්මයෝ සම්ප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍ය ධර්මයෝ ය. ඔවුනොවුන්ගෙන් ප්‍ර‍ත්‍යය ලබන චිත්ත චෛතසික ධර්මයෝ එහි ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය

20. විප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යය

එකට ගැටී පවත්නේ වී නමුත් ඔවුනොවුන් මිශ්‍ර‍ නො වීම් වශයෙන් ප්‍ර‍ත්‍යය වන ධර්මය විප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යය ය. සහජාත විප්‍ර‍යුක්තය-පුරේජාත විප්‍ර‍යුක්තය-පශ්චාජ්ජාත විප්‍ර‍යුක්තය යි විප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යය තුනෙකි.

පඤ්චවෝකාර භූමියෙහි උපදනා වූ අරූපවිපාක-ද්විපඤ්චවිඤ්ඤාණ – අර්හන්තච්‍යුතිය යන මේවායින් අන්‍ය වූ සිත් පන් සැත්තෑව ය, චෛතසික දෙපනස ය, පඤ්චවෝකාර ප්‍ර‍තිසන්ධි නාමාස්කන්ධයට ප්‍ර‍ත්‍යය වන හෘදය වස්තුව ය, හෘදය වස්තුවට ප්‍ර‍ත්‍යය වන පඤ්චවෝකාර ප්‍ර‍තිසන්ධි නාමස්කන්ධයෝ ය යන මොවුහු සහජාත විප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යය ධර්මයෝ ය.

චිත්තජ රූපයෝ ය, ප්‍ර‍තිසන්ධි කර්මජ රූපයෝ ය, හෘදය වස්තුවෙන් ප්‍ර‍ත්‍යය ලබන පඤ්චවෝකාර ප්‍ර‍තිසන්ධි නාමස්කන්ධයෝ ය, පඤ්චවෝකාරප්‍ර‍තිසන්ධි නාමස්කන්ධයන්ගෙන් ප්‍ර‍ත්‍යය ලබන හෘදය වස්තුවය යන මොවුහු සහජාත විප්‍ර‍යුක්ත ප්‍ර‍ත්‍යයේ ප්‍ර‍ත්‍යයෝත්පන්නයෝ ය.

පුරේජාත විප්‍ර‍යුක්තය පුරේජාත ප්‍ර‍ත්‍යය මෙන් ද, පශ්චාජ්ජාත විප්‍ර‍යුක්තය පශ්චාජ්ජාත ප්‍ර‍ත්‍යය මෙන් ද, දත යුතු.

21. අස්ති ප්‍ර‍ත්‍යය

සමහර ධර්මයක ඇති බව ම තවත් ධර්මයක් ඇතිවීමේ කාරණය වේ. අස්ති භාවයෙන් උපකාරක ධර්මය අස්ති ප්‍ර‍ත්‍යය ය. සහජාතාස්ති ප්‍ර‍ත්‍යය ය, වස්තු පුරේජාතාස්ති ප්‍ර‍ත්‍යය ය, වස්ත්වාරම්මණ පුරේජාතාස්ති ප්‍ර‍ත්‍යය ය, ආරම්මණ පුරේජාතාස්ති ප්‍ර‍ත්‍යය ය, පශ්චාජ්ජාතාස්ති ප්‍ර‍ත්‍යය ය, ආහාරාස්ති ප්‍ර‍ත්‍යය ය, ඉන්ද්‍රියාස්ති ප්‍ර‍ත්‍යය යි අස්ති ප්‍ර‍ත්‍යය සත් වැදෑරුම් වේ. ඒ වායේ ප්‍ර‍ත්‍යය ප්‍ර‍ත්‍යයෝත්පන්න ඒ ඒ ප්‍ර‍ත්‍යයන් මෙන් ම දත යුතු.

22. නාස්ති ප්‍ර‍ත්‍යය

එක් දෙයක් ඇති තැන අනිකකට ඉඩක් නැත. එබැවින් යමක් නැති වීම එතැන අනිකක ඇති වීමට උපකාරයෙකි. නිරුද්ධවීම් වශයෙන් නැති වී යාමෙන් අනිකක ඇති වීමට උපකාර වන ධර්මය නාස්ති ප්‍ර‍ත්‍යය ය. එහි ප්‍ර‍ත්‍යය ප්‍ර‍ත්‍යයෝත්පන්නයන් අනන්තර ප්‍ර‍ත්‍යයෙහි මෙන් දත යුතු ය.

23. 24. විගත ප්‍ර‍ත්‍යය – අවිගත ප්‍ර‍ත්‍යය

විගතත්වයෙන් හෙවත් තමා නැති වීමෙන් තමාගේ තැන අනිකකට පහළ වීමට උපකාර වන ධර්ම විගත ප්‍ර‍ත්‍ය ය. අවිගත භාවයෙන් හෙවත් විද්‍යමාන භාවයෙන අනිකක ඇතිවීමට උපකාර වන ධර්මය අවිගත ප්‍ර‍ත්‍යය ය. ධර්ම වශයෙන් හා ශක්ති වශයෙන් ද අස්ති – අවිගත දෙක්හි වෙනසක් නැත. එසේ ම නාස්ති – විගත දෙක්හි ද වෙනසක් නැත. වරක් දේශනය කළ කාරණය ම වෙනත් වචනවලින් සමහර තැනකදී දේශනය කිරීම තථාගතයන් වහන්සේගේ සිරිතකි. මෙයත් එබඳු තැනෙකි. එසේ කරන්නේ ඒ ඒ වචනවලින් කී කල්හි කාරණය තේරුම් ගන්නා පුද්ගලයන් අනුව ය.

මෙම ලිපිය උපුටා ගන්නා ලද්දේ අන්තර්ජාලය ඇසුරෙනි. 

අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම ලිපිය හුදෙක් ධර්ම දානයක් ලෙස
ඉදිරි ඉදිරිපත් කරන ලදී.

මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත්පත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන් ප්‍රථමයෙන් මෙම ලිපිය ඉදිරිපත් කළ ස්වාමීන් වහන්සේවහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.
එසේම මෙම ලිපිය අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පිංවත් මහත්ම, මහත්මීන් වෙතටද එසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.

මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!

සාදු… සාදු… සාදු…

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org