Abhidhamma Pitakaya

අභිධර්ම පිටකය

එකම සිද්ධාන්තයක් හෝ විෂයයක් පිළිබඳව දිග්-දර්ශණ (Intelligence) ආදී බොහෝ ප්‍රභේද කර දැක්වීම සහ නිර්වාණය දෙසට යොමුවූ ධර්මය ප්‍රතිපාදනය කිරිම නිසා අභිධම්ම ලෙස නම් කරයි. සූත්‍ර පිටකයේ විස්තර කර ඇති සිද්ධාන්ත හා විෂයයන් පිළිබඳව පැහැදිලි කිරීම් සිදු කිරීම සහ සහ ඒවා පිළිබඳ ශාස්ත්‍රීය දෘෂ්ටියකින් යුතුව විවේචනයන් ඉදිරිපත් කිරීම ආදිය ප්‍රධාන වශයෙන් අභිධම්ම පිටකයෙන් සිදු කෙරේ.

ත්‍රිපිටකයේ තුන්වන අංශය වන අභිධම්ම පිටකය,

  1. ධම්මසඞ්ගණීප්‍රකරණය
  2. විභඞ්ගප්‍රකරණය
  3. ධාතුකථා ප්‍රකරණය
  4. පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණය
  5. කථාවස්‌තුප්‍රකරණය
  6. යමකප්‍රකරණය
  7. පට්‌ඨානප්‍රකරණය ලෙස කොටස් හතකින් සමන්විත වේ.

මානසික හා ශාරීරික ක්‍රියාවලීන් පාලනය කරන මූලික ස්වාභාවික මූලධර්ම පිළිබඳ අසාමාන්‍ය සවිස්තරාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කරයි. අභිධම්ම පිටකයට පරමත්ථ දේසනා‍ යැයි ද කියනු ලැබේ.

සප්ත ප්‍රකරණය

1 - ධම්මසඞ්ගණීප්‍රකරණය:

ථෙරවාදී අභිධර්මයෙ හි කේන්ද්‍රීය ප්‍රකරණය බව කිව යුතු ය. එය අභිධර්මයේ මූලික ලක්ෂණය වන සංඛ්‍යාලේඛනයක් බඳු ප්‍රභේද කරණයක් විලාශයෙන් ධර්ම පිළිබඳ විභාගයක් ඉදිරිපත් කරයි.

එය ආරම්භ වන්නේ ‘මාතිකා’ නමින් හැඳින්වෙන පූර්ණ මාතෘකා පෙළකිනි. මෙම මාතෘකා ධම්මසංගතිය ට පමණක් ‍නොව සමස්ත අභිධර්ම පිටකය ට ම පොදු බව සැළකිය යුතු ය. මාතෘකා එකසිය විසි දෙකක් වශයෙන් වර්ග වෙයි. එයින් මුල් විසිදෙක තීක නමින් හැඳින් වේ. ඉතිරිය දුක වශයෙන් හැඳින් වේ. ත්‍රික නමින් හඳුන්වන්නේ තුන බැගින් ඉදිරිපත් කළ  හැකි ධර්මයෝ ය. නිදස්නක් වශයෙන් දක්වතහොත් කුසල, අකුසල,අව්‍යකත යන තුන කුශල ත්‍රිකය ලෙස දැක්වේ. සුඛ, දුක්ඛ. අදුක්ඛමසුඛ යන තුන වෙදනා ත්‍රිකය සේ දැක් වේ. මෙබඳු ත්‍රික විසිදෙකකි. දුක හෙවත් දෙකේ ගණවල ට නිදසුන් සේ හේතු – නහේතු යන දෙක, හේතු දුකය ලෙස ද, සහේතුක, අහේතුක දෙක සහේතුක දුකය සේද දක්වා තිබීම පෙන්වා දිය හැක.

මෙම ලැයිස්තු දෙක නිමවන්නේ සුත්තන්තමාතිකා නම් වූ ධර්ම ගණ හතලිස් දෙකකිනි . ඒවා අභිධර්මය ට නො ව සූත්‍රවල ට අයත් ප්‍රභේද වුව ද සැරියුත් හිමියන් විසින් ඒවා ද ධම්මසංගනී මාතිකාවල ට එක් කළ බව අටුවාවේ දැක් වේ.

මාතෘකාවලින් අනතුරුව ධම්මසංගණීය කාණ්ඩ හතරකින් අභිධර්මයෙහි මූලික විෂය පිළිබඳ කරුණු ඉදිරිපත් කරයි. එ ම කාණ්ඩ හතර නම්.

චිත්තුප්පාද කාණ්ඩය – චිත්ත හා චෛතසික ධර්ම පිළිබඳව කුසලා කුසල හා අවඨාකත වශයෙන් සළකා බලමින් ඒවායේ පහළවීම පිළිබඳව සාකච්ඡා කරයි. ඒවා කාමාවචර, රූපාවචර, අරූපාවචර,හා ලොකුත්තර භූමිවල පවත්නා ආකාරය ප්‍රශ්නෝත්තර වශයෙන් සාකච්ඡා වෙයි. අනතුරුව ඒවා කුසල, අකුසල, අහේතුක වශයෙන් කවර අයුරින් ප්‍රභේද වන්නේ දැ යි විග්‍රහ වෙයි. මේවා ධම්මවවත්ථානවාරයේදී මොහ්නස, දොම්නස වැනි කවර ගුණයක් තිබේදැයි දක්වනු ලැබේ. කොට්ඨාසවාරයේ දී බන්ධ, ආයතන, ඡාතු ආදී කොටස් වර්ග කරනු ලැබේ. කොට්ඨාසවා, සූඤ්ඤතවාර වශයෙන් වඩාත් සියුම් ව විග්‍රහ කරනු ලැබේ.

රූප කාණ්ඩය – භෞතික රූප පිළිබඳ සාකච්ඡාව ද මාතෘකාවලදි දැක්වූ ප්‍රථම ත්‍රිකය අනුව ම කෙරෙයි. චිත්තුප්පාදයේ දී කෙටියෙන් දැක්වූ අව්‍යකත ධම්ම මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නේ රූප අයත් වන්නේ ඒ ගණයට හෙයිනි. රූප 28ක් සාකච්ඡාව ට භාජන වෙයි.

නික්ඛේප කාණ්ඩය – මුල දී වර්ග කර ගන්න ට නො ලද පරිද්දෙන් ඒ ඒ මාතෘකාවන් අතුරින් එක් එක් පදයෙන් සංග්‍රහ කළ යුතු ධර්ම සංඛ්‍යාව මෙතෙකැ යි වෙන්කර දැක්වීම මෙ හි දී සිදුවෙයි.

අට්ඨකථා කාණ්ඩය – මෙය අතිරේක සංග්‍රහයකි. කුශල යනු කුමක් ද? අකුශල යනු කුමක් ද, ආදී වශයෙන් ප්‍රශ්න නගා පැහැදිලි කිරීම මෙයින් සිදුවෙයි.

2 - විභංගප්‍රකරණය:

ධර්ම පිළිබඳ විවිධ වර්ගීකරණ ඇතුළත් විභංගප්‍රකරණයෙහි මාතෘකා දහඅටක්, න්‍යාය තුනකට අනුව විභාග කර දක්වනු ලැබේ. ඒ මාතෘකා දහඅට මෙ සේ ය.

  1. බන්ධ
  2. ආයතන
  3. ධාතු
  4. සච්ච
  5. ඉන්ද්‍රීතය
  6. පටිච්චසමුප්පාද
  7. සතිපට්ඨාන
  8. සම්මප්පධාන
  9. ඉද්ධිපාද
  10. බොජ්ඣංග
  11. මග්ග
  12. ඣාන
  13. අප්පමඤ්ඤා
  14. සික්ඛාපද
  15. පටිසම්භිදා
  16. ඥාණ
  17. බුද්දකවත්ථු
  18. ධම්මපදය


මේවා මුලින් ම සූත්‍ර පිටකයෙ හි ඇතුළත් ක්‍රමය ට අනුව විභාග කර එය සුත්තන්ත භාජනීය වශයෙන් හඳුන්වනු ලැබේ. එ ම පද ම අභිධර්මයෙ හි ක්‍රමය ට අනුව විග්‍රහ කරන විට අභිධම්ම භාජනීය නම් වේ. අනතුරුව ප්‍රශ්න නගා පිළිතුරු සැපයීමේ ක්‍රමය ට සාකච්ඡා කෙරෙයි. එ ම න්‍යාය හඳුන්වන්නේ පඤහපුච්ඡා වශයෙනි.

විභංගයෙ හි සාකච්ඡා කෙරෙන කරුණු දහඅටෙන් මුල් 6 තුළ සත්වයන් ගේ මානසික හා කායික සංඝටක ඇතුළත් වන අතර එ ම සංඝටකයන් හසුරුවන ප්‍රධාන නියාම දෙක වශයෙන් අනිච්ච හා පටිච්ච සමුප්පාද දැක් වේ.

හත්වැන්නේ සිට දොළොස්වැන්න දක්වා ඇති ධර්ම, සත්වයන් සසරින් මුදවන මාර්ගයෙ හි අංග වෙති.

දහතුන් වැන්නේ සිට දහඅටවැන්න දක්වා ඇත්තේ මුල් කොටසේ කරුණු පිළිබඳ වඩාත් පරිපූර්ණ ලෙස කෙරෙන විග්‍රහ වෙති.

3 - ධාතු කථාප්‍රකරණය:

මෙය මුල් පොත් දෙක හා එක්ව ගත්විට අභිධර්මය පිළිබඳ ගැඹුරු දැනුම ට අදාළ ප්‍රමුඛ ග්‍රන්ථය වශයෙන් හැඳින්විය හැකි යැ යි විචාරකයෝ පවසති. මෙම කුඩා ප්‍රකරණයෙ හි ධාතු පිළිබඳ විභංගය ට ද වඩා ගැඹුරු විවරණයක් ඇතුළත් වෙයි. මෙහි උපයුක්ත විශ්ලේෂණ ක්‍රමය විභංග ක්‍රමයට වෙනස් ය.

තික හා දුක ආදී මාතිකා වශයෙන් මුල් ග්‍රන්ථවල දී කැටි කළ ධර්ම, ධාතූ කථාවෙ හි දී ස්කන්ධ, ධාතු හා ආයතන වශයෙන් බෙදා දහහතර ආකාරය ට විශ්ලේෂණය කිරීම මෙ හි දී සිදුවෙයි. එ ම දහහතර විධිය ග්‍රන්ථයේ පරිච්ඡේද දහහත බව ට පත්වෙයි.

4 - පුග්ගල පඤ්ඥත්තිප්‍රකරණය:

අභිධර්මයේ දී ධර්ම විභාගයෙ හි පදනම වශයෙන් සම්මුති හෙවත් පඤ්ඤත්ති වශයෙන් එක් ධර්ම වර්ගයක් ද පරමත්ථ වශයෙන් තවත් ධර්ම වර්ගයක් ද දක්වනු ලැබේ.

පරමාර්ථ සත්‍යය, වියුක්ත පද භාවිතය මගින් විග්‍රහ කිරීම අභිධර්මයේ මූලික අරමුණ වුවත් හුදෙක් පරමාර්ථ වශයෙන් පමණක් ධර්ම සාකච්ඡා කිරීම දුෂ්කර කටයුත්තකි. ශ්‍රාවකයනට කරුණු අවබෝධ කිරීම පිණිස ලෝක සම්මුතිය ට අනුව දෛනික ව්‍යවහාර පද හා සංකල්ප භාවිත කිරීම ට සිදුවෙයි. අභිධර්මය දෙවිදියක ප්‍රඥප්ති ගැන කථා කරයි.

ප්‍රථම වර්ගය ලොව සැබැවින් ම ඇති දේ ගැන ද සඳහන් කරන අතර දෙවන වර්ගය යථාර්ථ වශයෙන් නැති දේ ගැන සඳහන් කරයි. යථාර්ථ වශයෙන් ම විද්‍යාමාන ප්‍රඥප්ති ගණයට වැටෙන්නේ ස්කන්ධ, ධාතු, ආයතන හා ඉන්ද්‍රීය වැනි දේ ය.

දෙවන වර්ගයට අයත් වන්නේ මිනිසා, ස්ත්‍රිය, දෙවියෝ, පුද්ගලයා වැනි යථාර්ථ වශයෙන් බලන විට විද්‍යාමාන නැතත් සාමාන්‍ය ලෝක ව්‍යවහාරය සඳහා අවශ්‍ය හෙයින් පිළිගත යුතු ප්‍රඥප්ති ය.

අභිධර්ම පිටකයෙ හි මුල් ග්‍රන්ථ වූ ධම්මසංගනී, විභංග හා ධාතු කථා යන ග්‍රන්ථවලදී මුල් ගණයට වැටෙන ස්කන්ධ, ධාතු, ආයතන, සච්ඡ හා ඉන්ද්‍රීය පිළිබඳ සාකච්ඡා හා විශ්ලේෂණ ප්‍රමාණවත් ව සිදුකර ඇත.

පුග්ගල පඤ්ඤත්ති ග්‍රන්ථය ඉතිරි ප්‍රඥප්ති පිළිබඳ සාකච්ඡා කිරීම අරමුණ කර ගත්තකි. එහෙත් පඤ්ඤත්ති පිළිබඳ සාකච්ඡාවක් අංග සම්පූර්ණ වීම ට නම් පූර්වෝක්ත විද්‍යාමාන ප්‍රඥප්ති පිළිබඳ ව ද සඳහන් කිරීම අවශ්‍ය හෙයින් ඒවා පිළිබඳ ව ද කෙටියෙන් දක්වා ඇත. බන්ධ පඤ්ඤත්ති, ආයතන පඤ්ඤත්ති, ධාතු පඤ්ඤත්ති, සච්ඡ පඤ්ඤත්ති, ඉන්ද්‍රීය පඤ්ඤත්ති සහ පුග්ගල පඤ්ඤත්ති වශයෙන් මෙ හි පරිච්ඡේද හයකි. හයවන පරිච්ඡේදයේ තම පොතෙ හි නම වශයෙන් යොදා ඇත්තේ පොතෙහි මූලික අරමුණ පුද්ගල වශයෙන් ගත හැකි අවිද්‍යාමාන ප්‍රඥප්තීන් පිළිබඳ දීර්ඝ විග්‍රහයක් කරන හෙයිනි. මෙ හි දී අංගුත්තර නිකායේ ද භාවිත ක්‍රමය වන උත්තරෝත්තර ක්‍රමයට සංඛ්‍යාගත කළ පුද්ගල වර්ග අනුපිළිවෙලින් දක්වා ඇත. එබඳු අනු ඛණ්ඩ දහයක් එ ම පරිච්ඡේදය තුළ දක්වා තිබේ.

5 - කථාවත්ථුප්පකරණ

මෙම ග්‍රන්ථය (පුග්ගල පඤ්ඤත්තිය මෙන් ම) සාමාන්‍ය පරමාර්ථ සත්‍ය විග්‍රහ ක්‍රමයෙන් බැහැර ව ව්‍යවහාරික ගැටළුවක් වූ ධර්ම විරෝධී  මතිමතාන්තර විවේචනය වෙනුවෙන් කැප වූවකි. “පුද්ගලයෙක් ඇත” “ආත්මයන් ඇත” වැනි ධර්මය විකෘති කරන සංකල්ප බෞද්ධ නිකායාන්තරයන් අතර ඇති වූ හෙයින් ඒවා නිසි සේ නිරාකරණය කොට ථෙරවාදී විභජ්ජවාදී ස්ථාවරය තහවුරු කරලනු පිණිස මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ විසින් ධර්මාශෝක රාජ සමයේ දී මෙ ම ග්‍රන්ථය රචනා කරන ලදී. එහෙත් මේ සඳහා භාවිත කර ඇත්තේ බුදුරදුන් විසින් ම දෙන ලද න්‍යාය හෙයින් හෙය ද බුද්ධ වචන වශයෙන් ම සළකා ථෙරවාදී අභිධර්ම පිටකය ට ඇතුළත් කර ඇත.

කථාවත්ථුප්පකරණයේ ඇතුළත් කරුණු සකවාද (තම පක්ෂයේ මතය) හා පරවාද (ප්‍රතිවාදින්ගේ මතය) වශයෙන් දෙවැදෑරුම් වෙයි.

සකවාද පන්සියයක් ද පරවාද පන්සියයක් ද මෙහි ඇතුලත් ය. ඒවා ඉදිරිපත් කර ඇත්තේ ප්‍රතිවාදියකු හා මොග්ගලීපුත්තතිස්ස හිමියන් අතර ඇති වන විවාදයක විලාසය අනුගමනය කරමිනි. වාද ප්‍රතිවාද සාකච්ඡා රටාවෙන් ඉදිරිපත් කරන මෙම රීතිය වෙනත් අභිධර්ම ග්‍රන්ථවල රීතිය ට බෙහෙවින් වෙනස් ය. ඒ වන විට ඇති ව තිබූ මිත්‍යාමත මෙන් ම ඇති වෙතැ යි හැඟුණු මත ද මෙය ට ඇතුළත් කර සාකච්ඡා කළ බව කියනු ලැබේ. මේ අදහස් කවර කවර නිකායයනට අයත් දැ යි හඳුන්වා දෙනු ලබන්නේ කථාවත්ථු අටුවාවෙනි.

6 - යමකප්පකරණ

බෞද්ධ තර්ක හෙවත් න්‍යාය ශාස්ත්‍රයේ මූල ග්‍රන්ථයක් ලෙස සැලකිය හැකි යැයි  රිස් ඩේවිඩ්ස් පඬිතුමා විසින් හඳුන්වනු ලබන මේ ග්‍රන්ථය බෞද්ධ දාර්ශනික ගැටළු හා පාරිභාෂික පද පිළිබඳ විචක්ෂණයක් වගා කර ගැනීම පිණිස අදාල වන්නකි.


අභිධර්ම පිටකය ට අයත් ධම්මසංගණී, විභංග හා ධාතු කථා යන ග්‍රන්ථවලින් සංඛාර ලෝකයේ පවතින ධර්මයන් පිළිබඳ ව පැහැදිලි කරන ලදී. පුග්ගල පඤ්ඤත්ති හා කථාවත්ථු මගින් සත්ව ලෝකයහෙවත් පුද්ගලයන් හෝ ජීවින් විසින් නිරූපණය කරනු ලබන යථාර්ථ නො වූ එහෙත් යථාර්ථ වශයෙන් පෙනෙන ලෝකය පිළිබඳ ව සාකච්ඡා කරන ලදී. සංඛාර ලෝකය හා සත්ව ලෝකය පවතින්නේ එකට ය. මේ දෙක ම එක් කර ඔකාසලෝක (අවකාශ ලෝකය) වශයෙන් හැඳින් වේ. මෙ ම ලෝකත්‍රය ම එකට ගෙන එ හි පවතින ධර්ම හා පුද්ගල අතර පවත්නා අන්තර් සම්බන්ධතා විශ්ලේෂණය කිරීම යමක මහා ප්‍රකරණයෙන් කරනු ලැබේ.


යමකය මෙම කාර්යය ඉටු කරන්නේ ධර්ම යුගල වශයෙන් ගැනීමෙනි. එක් එක් පදයක සම්පූර්ණ වැදගත්කම හා සීමාවන් තීරණය කිරීම සඳහා අනුලෝම හා පටිලෝම යන තාර්කික ප්‍රතිපදා දෙක අනුව මෙ ම විමර්ශනය සිදු කෙරේ. මෙ හි දී කිසියම් පදයක් පිළිබඳ සංශයක් ඇතිවීම වැළකීම සඳහා වෙනත් අර්ථ එයට නො ගැලපෙන ආකාරය තහවුරු කිරීම ද කරනු ලැබේ. මේ කාර්යයන් ඉටුකර ගන්නේ  ප්‍රශ්න නගා පිළිතුරු දීමේ රටාවෙනි.


නිදසුනක් වශයෙන් ‍:- සියලු රූප රූපස්කන්ධ ද? යන්නට පිළිතුරු වශයෙන් රූප යන්න ප්‍රිය රූප, මෙබඳු රූප වැනි වාක්‍යාංශ වල ද යෙදෙයි. එහෙත් ඒ තැන් හි රූප යන්නෙන් රූපස්කන්ධය නො හැ‍ඟේ ය යි පවසා සියලු රූපස්කන්ධ රූප ද යන ප්‍රශ්නය නගා එය ට එ සේ ය’ යන පිළිතුර දෙනු ලැබේ. රූපස්කන්ධ යන්න පුළුල් අරුත් ඇති පදයක් හෙයින් එය ට පියරූප – ඵවරූප වැනි පද ඇතුළත් වෙයි.

7 - පට්ඨානප්පකරණ

මෙය විශාලතම අභිධර්ම ප්‍රකරණය වන අතර අභිධර්ම පිටකයෙ හි සංශ්ලෂණ කාර්යය ඉටුකරන ග්‍රන්ථය සේ ද හැඳිනවෙයි.  ධම්මසංගනියෙ හි දැක්වූයේ ධර්ම විශෙලෂණය කරන ආකාරය යි. ධර්ම බෙදමින්, විග්‍රහ කරමින් කරනු ලබන විවරණ හේතුවෙන් අභිධර්මය නම් බහුත්ව වාසයකි යන මිත්‍යාදෘෂ්ටිය කිසිවකුට ඇති වුවහොත් එය දුරුවීම ට  ධර්ම සංශෙලෂණයක් වූ පට්ඨාන මහා ප්‍රකරණය උපකාර වෙයි.

ධර්ම නම් එකිනෙකට අසම්බන්ධ ව පරිබාහිර ව වියුක්ත ව පවතින දේ නො වෙති. ඒවා අතර අන්තර් සම්බන්ධතා පවතියි. ඒවා එකිනෙකට බැඳුණු සුසංයුක්ත ඒකක රාශියකි. කුඩා ම ධර්ම ඒකකය පවා අනිකුත් ධර්ම කෙරේ බලපාමින් ඒවායින් බලපෑම් ලබා ගනියි. මෙම සංශ්ලේෂී අන්‍යොන්‍ය සම්බන්ධතාජාලය අතිශය සියුම්, සංකීර්ණ හා ගැඹුරු එකකි. පට්ඨානය එම සම්බන්ධතා විසිහතර ආකාරයක් දක්වයි. ග්‍රන්ථය ප්‍රධාන කොටස් හතරකින් සමන්විත වෙයි.

  1. අනුලෝම පට්ඨානය – ධර්ම අතර ප්‍රත්‍යය සම්බන්ධතාවන් පවත්නා ස්ථාන විග්‍රහ කරයි.
  2. පච්චනීය පට්ඨාන – ධර්ම අතර ප්‍රත්‍යය සම්බන්ධතා නො පවත්වා සථාන විග්‍රහ කරයි.
  3. අනුලෝමපච්චනීය පට්ඨාන – සමහර ප්‍රත්‍යය සම්බන්ධතා පවත්නා සහ සමහර සම්බන්ධතා නො පවත්නා තැන් පිළිබඳව දක්වයි.
  4. පච්චනීය අනුලෝම පට්ඨාන – සමහර පච්චය සම්බන්ධතා නැති නමුත් සමහර ඒවා පවත්නා තැන දක්වයි.
පටිච්ච සමුප්පදායෙහි අංග අතර පවත්නා සූවිසි ප්‍රත්‍යයන් මෙම චතුර්විධ ප්‍රභේදය තුළ ආකාර හයකට ක්‍රියාත්මක වන බව දක්වා තිබේ.

  1. තික පට්ඨාන – සූවිසි ප්‍රත්‍යය තික විසි හතරක් අනුව යෙදේ.
  2. දුක පට්ඨාන – සූවිසි ප්‍රත්‍යය දුක සියයක් අනුව බෙදේ.
  3. දුක – තික පට්ඨානය – දුක සියය තික විසි හතරට මිශ්‍ර ව යෙදේ.
  4. තික – දුක පට්ඨාන – විසි හතරක් වූ තික, සයයක් වූ දුක හා මිශ්‍ර ව යෙදේ.
  5. තික – තික පට්ඨාන – තික විසිහතර එකනෙක මිශ්‍ර ව යෙදේ.
  6. දුක – දුක පට්ඨාන – සියයක් දුක සියයක් දුක හා එකිනෙක මිශ්‍ර ව යෙදේ.
(මෙහිදී දුක නමින් දෙකේ ගොඩ යන්න ද, තික යන්නෙන් තුනේ ගොඩ යන්න ද, අදහස් වෙයි.)

මෙසේ සතරකාර සිවු පට්ඨානය ෂාඩාකාර සය පට්ඨානය හා මිශ්‍ර වූ විට කාණ්ඩ විසි හතරක් වන හෙයින් මහා ග්‍රන්ථයක් බව ට පට්ඨානය පත්වෙයි. එහෙයින් ටිකානු ටිකාවන් හි එය අනන්තනය සමන්තපට්ඨාන ලෙස හඳුන්වා ඇත.

– මුලාශ්‍ර : අභිධර්මය (බෞද්ධ ධර්මාචාර්ය විභාගය) –

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org