සරණ ගමනය සහ සරණ ගමනයේ ප්‍රභේද
අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත “පොහොය දිනය” ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී.
සරණ ගමනය:
බුද්ධාදි රත්නත්‍රය සත්ත්වයනට මහත් පිහිටක් වතුදු, සියල්ලෝ ම ඒ රත්නත්‍රය පිහිටක් සැටියට පිළිගෙන සේවනය නො කරති. මිථ්‍යාදෘෂ්ටිය නමැති පටලයෙන් වැසුණු සිත් ඇත්තා වූ බොහෝ දෙන රත්නත්‍රය සුළු කොට සලකා පරිකල්පිත වූ ද සත්‍ය වශයෙන් නැත්තා වූ ද දෙවියන් ගේ පිහිට සොයති. රත්නත්‍රය හැඳින ගත්තෝ ම එය උතුම් පිහිටක් වශයෙන් පිළිගෙන සේවනය කරති. යමෙක් බුද්ධාදි රත්නත්‍රය උතුම් පිහිටක් වශයෙන් පිළිගනී නම් ඒ පිළිගැනීම සරණ ගමන යයි කියනු ලැබේ.
බුද්ධාදි රත්නත්‍රය උතුම් පිහිට තුනක් සේ පිළිගැනීමෙන් ඒ තැනැත්තා තිසරණයෙහි පිහිටියේ ය යි ද කියනු ලැබේ. තිසරණයෙහි පිහිටීමෙන් හෙවත් බුද්ධාදි රත්නත්‍රය තමාට ඇති සියල්ලට ම උතුම් පිහිට තුන යයි පිළිගැනීමෙන් ඒ තැනැත්තාට උපාසක යන නාමය හිමි වේ. බෞද්ධයා යනු ද ඔහුට නමෙකි.
සරණ ගමනයේ ප්‍රභේද:
සරණ ගමනය වනාහි ලෝකෝත්තර සරණ ගමනය, ලෞකික සරණ ගමනය යි දෙවැදෑරුම් වේ.
ලෝකෝත්තර සරණ ගමන ය.
බුද්ධාදි රත්නත්‍රය උතුම් පිහිට වශයෙන් පිළිගැනීමට බාධක දෘෂ්ටි විචිකිත්සාදි ක්ලේශයෝ මතු කිසි කලෙක ඒ සන්තානයේ නූපදනා පරිද්දෙන් ලෝකෝත්තර මාර්ගයට පැමිණීමේදී එහි බලයෙන් ඒ පුද්ගලයාට ප්‍රහීණ වේ. ඉන් පසු රත්නත්‍රය පිළිබඳ මඳ සැකයකුදු ඒ ආර්‍ය්‍ය ශ්‍රාවකයාට ඇති නොවේ. ඒ පුද්ගලයාට විශේෂ සමාදානයක් නැතිව ම ඒ අවස්ථාවේ දී සරණ ගමනය සිද්ධ වේ. ලෝකෝත්තර මාර්ගයාගේ බලයෙන් සිදු වන්නා වූ ඒ සරණ ගමනය ලෝකෝත්තර සරණ ගමනය ය.
එහි බිඳීමක් හෝ කිලිටි වීමක් හෝ නැත. ලෝකෝත්තර සරණ ගමනයාගේ වශයේ සරණ ගිය ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මතු භවයකදී වුව ද අන්‍ය ශාස්තෘවරයකුගේ පිහිට නො සොයන්නේ ය. අන්‍ය ශාස්තෘවරයකු පිහිට සැටියට නො පිළිගන්නේ ය.
ලෞකික සරණ ගමන ය.
සද්ධර්ම ශ්‍රවණ සත්පුරුෂ සේවනාදියෙන් රත්නත්‍රය හැඳින එහි සිත පහදවා ගෙන සරණ ගමනයට බාධක වූ දෘෂ්ටි විචිකිත්සාදි ක්ලේශයන් මැඩ රත්නත්‍රය උතුම් පිහිට සේ සලකා ගන්නා වූ පෘථග්ජනයාගේ ඒ සරණ ගමනය ලෞකික සරණ ගමන ය.
මෙසේ සිදු වන්නා වූ සරණ ගමනය ආත්මසන්නිර්‍ය්‍යාතන සරණගමනය, තත්පරායණතා සරණ ගමනය, ශිෂ්‍ය භාවෝපගමන සරණ ගමනය, ප්‍රණීපාත සරණ ගමනය යි සතර ආකාර වේ.
- ආත්මසන්නිර්‍ය්‍යාතන සරණ ගමනය යනු සසර දුකින් මිදීම පිණිස හා සකල ලෞකික ලෝකෝත්තර සම්පත් ලැබීම පිණිස ද බුද්ධාදි රත්නත්‍රයට ආත්මය භාර කිරීම හෙවත් පරිත්‍යාග කිරීම ය.
- තත්පරායණතා සරණ ගමනය යනු බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි යනාදීන් භික්ෂු සාමණේරාදීන් අතුරෙන් යම් කිසිවකු ඉදිරියේ කීමෙන් හෝ තමා ම ඉටා ගැනීමෙන් හෝ රත්නත්‍රය උතුම් පිහිට තුන වශයෙන් පිළිගැනීමෙන් සිදුවන සරණ ගමනය ය.
- ශිෂ්‍යභාවෝපගමන සරණ ගමනය යනු මම අද පටන් බුදුන් වහන්සේගේ ශිෂ්‍යයෙක් හෙවත් අතවැසියෙක් වෙමි. ධර්මයේ අතවැසියෙක් වෙමි, සංඝයාගේ අතවැසියෙක් වෙමි ය යි ආරෝචනය කිරීමෙන් හෝ සිතා ගැනීමෙන් හෝ සිදුවන සරණ ගමනය ය.
- ප්‍රණීපාත සරණ ගමනය යනු තමා විසින් අන්‍යයන්ට කරන උසස් ම ගෞරවය කිරීම් වශයෙන් සිදු වන සරණ ගමනය ය. යමකු විසින් අන්‍යයන්ට කරන උසස් ම ගෞරවය පිරිනැමෙන්නේ ඒ තැනැත්තා විසින් අන් හැමට ම වඩා උසස් කොට සලකන තැනට ය. එ බැවින් ඒ ගෞරවය කිරීම සරණ ගමනය වේ.
ප්‍රණීපාතය යනු වන්දනාදියට නමෙකි. මනුෂ්‍යයෝ නෑකම් සලකා මාපියාදීන්ට වඳිති. බිය නිසා රාජාදීන්ට වඳිති. උපකාර සලකා ගුරුන්ට වඳිති. පින් ලබනු පිණිස වැඳුම් පිදුම් කළ යුතු උතුමක් බව සලකා ද වඳිති. සතර ආකාරයකින් කරන ඒ වැඳුම් අතුරෙන් පින් ලබනු පිණිස වැඳුම් පිදුම් කළ යුත්තකු බව සලකා කරන වන්දනාවෙන් ම සරණ ගමනය සිද්ධ වේ අන් ආකාරයන්ගෙන් කරන වැඳීමෙන් සරණ ගමනය සිදු නො වේ. බුදුනට වුව ද මුන් වහන්සේ අපේ නෑ කෙනකැ යි වඳින්නා හට ද රාජාදීන් පවා වඳින මුන් වහන්සේට නො වැඳීමෙන් කරදර ඇති විය හැකි යැයි බියෙන් වඳින්නා හට ද මුන් වහන්සේ අපගේ ගුරු කෙනකැයි වඳින්නා හට ද සරණ ගමනය සිදු නො වේ.
සරණ ගමනයා ගේ ඵල හා ආනිසංස:
සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන සතර ලෝකෝත්තර ඵලය, ලෝකෝත්තර සරණ ගමනයෙන් ලැබෙන ඵලය ය. සකල දුඃඛයා ගේ ක්ෂයය වූ නිර්වාණය එයින් ලැබෙන ආනිසංස ය. මනුෂ්‍යලෝක දිව්‍ය ලෝකයන්හි ලැබිය හැකි භවභෝග සම්පත්තීහු ලෞකික සරණ ගමනයා ගේ ඵලයෝ ය. සතර මාර්ගය සතර ඵලය නිර්වාණය යන ලෝකෝත්තර ධර්මයෝ එහි ආනිසංස වශයෙන් සැලකිය යුත්තාහු ය.
සරණා ගමනයා ගේ කිලිටිවීම හා බිඳීම:
රත්නත්‍රය ගැන දැනීම මඳ වීමෙන් ද, රත්නත්‍රය කෙරෙහි සැක ඇති වීමෙන් ද, රත්නත්‍රය පිළිබඳව දුර්මත ඇති වීමෙන් ද, ලෞකික සරණ ගමනය කිලිටි වේ. කිලිටි වූ සරණ ගමන කුශලය ස්වල්ප ඵල ඇත්තේ ය. සුපරිසුද්ධ සරණාගමන කුශලය මහත් ඵල මහානිසංස වන්නේ ය. ලෝකෝත්තර සරණ ගමනයේ කිලිටි වීමක් නැත්තේ ය. කෙික සරණ ගමනයාගේ භේදය (බිඳීම) බුද්ධාගම ප්‍රතික්ෂේප කිරීමෙන් හා අන්‍යාගමක පිළිගැනීමෙන් ද මරණයෙන් ද වේ. බුද්ධාගමය ප්‍රතික්ෂේප කිරීමෙන් හෝ අන්‍යාගමක් පිළිගැනීමෙන් හෝ වන සරණ ගමන භේදය සාවද්‍යය ය. මරණයෙන් වන භේදය නිරවද්‍යය ය. ආර්‍ය්‍යශ්‍රාවකයන් ඒ භවයේ දී තබා අන්‍ය භවයකදී වත් අන්‍යාගමක් නො පිළිගන්නා බැවින් ලෝකෝත්තර සරණගමනයා ගේ භේදයක් නැත්තේ ය.
දෙවියන්ගේ පිහිට සෙවීම.
බොහෝ බෞද්ධයෝ විෂ්ණු, කතරගම ආදි දෙවිවරුන්ට ද වැඳුම් පිදුම් කරති. ඔවුන්ගේ පිහිට සොයති. එයින් ඒ බෞද්ධයන්ගේ සරණ ගමනය කිලිටි වේ ය යි ද, බිඳේ යයි ද, ඇතැමුන් කියතත් එය එසේ ම ය යි නො පිළිගත හැකිය. ස්වශක්තියෙන් සිදු කර ගත නො හෙන දෙයක් එය සිදු කිරීම සමතකු ලවා කරවා ගැනීමේදී ඒ ඒ තැනැත්තාගේ තත්ත්වයේ සැටියට හා සිදු කරවා ගත යුතු කාරණයේ හැටියට ද ගරු බුහුමන් කරන්නට හා පුද පඬුරු ඔප්පු කරන්නට ද සිදුවේ. බොහෝ බෞද්ධයෝ ද දෙවියන්ගෙන් යමක් කරවා ගන්නට ලබා ගන්නට වුවමනා වූ විට එය කරවා ගනු සඳහා ලබා ගනු සඳහා දෙවියන්ට වැඳුම් පිදුම් කරති. එය රාජාදීන්ට වැඳුම් පිදුම් කිරීම වැනි ක්‍රියාවෙකි. දෙවියන්ට එසේ කිරීමෙන් සරණගමනය කිලිටි වෙතොත් බිඳෙතොත් රජුන්ට ඇමතියන්ට වැඳීමෙන් හා පඬුරු ඔප්පු කිරීමෙන් ද සරණ ගමනය කිලිටි විය යුතුය. බිඳිය යුතුය. නො බිඳෙන නො කිලිටි වන ලෝකෝත්තර සරණ ගමනය ඇත්තා වූ ආර්‍ය්‍යශ්‍රාවකයන් ද රජුන්ට වැඳීම, පුද පඬුරු දීම කරන බැවින් එයින් සරණ ගමනයට හානියක් නො විය හැකි ය. යම් කිසිවක් ඉටු කර ගැනීම පිණිස රාජාදීන්ට වැඳීමෙන් පුද පඬුරු දීමෙන් සරණගමනයට හානියක් නො වන කල්හි එබඳුම කරුණකට දෙවියන්ට වැඳීමෙන් පිදීමෙන් දෙවියන්ගෙන් පිහිට ලබා ගැනීමෙන් ද සරණ ගමනයට හානියක් නො විය හැකිය.
සරණ ගමනයට හානියක් වනුයේ අබෞද්ධයන් දෙවියන්ට වැඳුම් පිදුම් කරන්නාක් මෙන්, රත්නත්‍රයට වඩා දෙවියන් උසස් කොට සලකා වැඳුම් පිදුම් කිරීමෙනි.
මීළඟ ලිපියෙන් රත්නත්‍රය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය ගැන විස්තරයක් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වෙමු.
By Rasika Nambagodage
www.aryapatipada.org