සූවිසි ප්‍රත්‍යය ධර්මයෙක අනේක ප්‍රත්‍යය භාවය
උපුටා ගන්නා ලද්දේ
මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ
විසින් සම්පාදිත “අභිධර්ම මාර්ගය” බෞද්ධ ග්‍රන්ථයෙනි.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
ප්‍රත්‍යය සූවිස්ස
- හේතු පච්චයෝ
- ආරම්මණ පච්චයෝ
- අධිපති පච්චයෝ
- අනන්තර පච්චයෝ
- සමනන්තර පච්චයෝ
- සහජාත පච්චයෝ
- අඤ්ඤමඤ්ඤ පච්චයෝ
- නීස්සය පච්චයෝ,
- උපනිස්සය පච්චයෝ
- පුරේජාත පච්චයෝ,
- පච්ඡාජාත පච්චයෝ
- ආසේවන පච්චයෝ
- කම්ම පච්චයෝ
- විපාක පච්චයෝ
- ආහාර පච්චයෝ
- ඉන්ද්‍රිය පච්චයෝ
- ඣාන පච්චයෝ
- මග්ග පච්චයෝ
- සම්පයුත්ත පච්චයෝ
- විප්පයුත්ත පච්චයෝ
- අත්ථි පච්චයෝ
- නත්ථි පච්චයෝ
- විගත පච්චයෝ
- අවිගත පච්චයෝ
එක් එක් ධර්මයෙක අනේක ප්‍රත්‍යය භාවය
මෙතෙකින් දක්වන ලද ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්නයන් විමසා බැලුව හොත් එක ම ධර්මය ප්‍රත්‍යය බොහෝ ගණනකට අයත් වී ඇති බවත්, එසේ ම ප්‍රත්‍යය බොහෝ ගණනක ප්‍රත්‍යයෝත්පන්නයන්ට අයත් වී ඇති බවත් පෙනෙනු ඇත. එයින් එක් පරමාර්ථ ධර්මයක අනේක ප්‍රත්‍යය ශක්ති ඇති බවත්, එක ම ධර්මය අනේක ප්‍රත්‍යය ශක්තීන්ගෙන් ප්‍රත්‍යය වන බවත්, එක් එක් ධර්මයක් ඇති වන්නේ ප්‍රත්‍යය බොහෝ ගණනකින් බවත් තේරුම් ගත යුතු ය.
සම්ප්‍රයුක්ත ධර්මයන්ට හේතු ශක්තියෙන් ප්‍රත්‍යය වන ලෝභ චෛතසිකය හේතු ශක්තියෙන් සම්ප්‍රයුක්ත ධර්මයන්ට ප්‍රත්‍ය වෙමින් ම සහජාත අන්‍යොන්‍ය සහජාත නිශ්ශ්‍රය සම්ප්‍රයුක්ත අස්ති අවිගත යන ශක්ති වලින් ද ප්‍රත්‍යය වන බව දත යුතු ය.
ඒ ලෝභ චෛතසිකය එය හා යෙදෙන මෝහ හේතුව නිසා හේතු ප්‍රත්‍යයෝත්පන්න ද වේ. ආරම්මණ අධිපති අනන්තර සමනන්තර සහජාත අන්‍යොන්‍ය නිශ්ශ්‍රය උපනිශ්ශ්‍රය ආසේවන කර්ම ආහාර ඉන්ද්‍රිය ධ්‍යාන මාර්ග සම්ප්‍රයුක්ත අස්ති අවිගත යන ප්‍රත්‍යයන්ගේ ප්‍රත්‍යයෝත්පන්නයන් ද වේ.
මෙසේ ඒ ඒ ධර්මයන්ගේ ප්‍රත්‍යය භාවය හා ප්‍රත්‍යයෝත්පන්න භාවය සොයා ගත යුතු ය.
ප්‍රත්‍ය වන ආකාරය කොටින් දැක්වීම
- නාමය නාමයට සයාකාරයකින් ප්‍රත්‍යය වේ.
- නාමය නාම-රූප දෙකට පස් ආකාරයකින් ප්‍රත්‍යය වේ.
- නාමය රූපයට එක් ආකාරයකින් ප්‍රත්‍යය වේ.
- රූපය නාමයට එක් ආකාරයකින් ප්‍රත්‍යය වේ.
- ප්‍රඥප්ති නාමරූපයෝ නාමයට දෙයාකාරයකින් ප්‍රත්‍ය වේ.
- නාම රූප දෙක නාම රූප දෙකට නවාකාරයකින් ප්‍රත්‍යය වේ. මෙසේ ප්‍රත්‍යය වීම සයාකාර වේ.
1. නාමය නාමයට ප්‍රත්‍යය වන සයාකාරය
ළඟින් ම නිරුද්ධ වන චිත්ත චෛතසිකයෝ ඒවා ළඟින් ම උපදනා චිත්ත චෛතසිකයන්ට අනන්තර – සමනන්තර – නාස්ති – විගත ශක්තීන්ගෙන් ප්‍රත්‍යය වන්නාහ. ඒ ඒ වීථිවල පළමු පළමු ජවනයෝ පසුපසු ජවනයන්ට ආසේවන ශක්තියෙන් ප්‍රත්‍යය වන්නාහ. එක්ව උපදනා චිත්ත චෛතසක ධර්මයෝ ඔවුනොවුන්ට සම්ප්‍රයුක්ත ශක්තියෙන් ප්‍රත්‍යය වන්නාහ. මෙසේ නාමය නාමයට සයාකාරයකින් ප්‍රත්‍ය වේ.
2. නාමය නාම – රූප දෙකට ප්‍රත්‍යය වන පස් ආකාරය
හේතු ධ්‍යානාඞ්ග මාර්ගාඞ්ග යන මේවා සහජාත නාම-රූපයන්ට හේතු ධ්‍යාන මාර්ග ශක්තිවලින් ප්‍රත්‍යය වේ. සහජාත චේතනාව සහජාත නාමරූපයන්ට ද, නානාක්ෂණික චේතනාව කර්මයෙන් උපදනා නාම – රූපයන්ට ද ප්‍රත්‍යය වන්නේ ය. විපාක චිත්ත චෛතසිකයෝ ඔවුනොවුන්ට හා සහජාත රූපයන්ට විපාක ශක්තියෙන් ප්‍රත්‍යය වන්නාහ. මෙසේ නාමය නාම-රූප දෙකට පස් ආකාරයකින් ප්‍රත්‍යය වේ.
3. නාමය රූපයට ප්‍රත්‍යය වන එක් ආකාරය
පසුව උපදනා චිත්ත චෛතසිකයෝ කලින් ඇති වූ මේ රූප – කයට පශ්චාජ්ජාත ශක්තියෙන් ප්‍රත්‍යය වන්නාහ. මෙසේ නාමය රූපයට එක් ආකාරයකින් ප්‍රත්‍ය වේ.
4. රූපය නාමයට ප්‍රත්‍යය වන එක් ආකාරය.
ප්‍රවෘත්ති කාලයේදී චක්ෂුරාදි වස්තු රූප සය විඥාන ධාතු සතට ද, රූපාදි අරමුණු පස පඤ්චද්වාර වීථි සිත් වලට ද පුරේජාත ශක්තියෙන් ප්‍රත්‍යය වේ. මෙසේ රූපය නාමයට එක් ආකාරයකින් ප්‍රත්‍යය වේ.
5. ප්‍රඥප්ති – නාම – රූප නාමයට ප්‍රත්‍යය වන දෙයාකාරය.
ආරම්මණ ශක්තියෙන් ද, උපනිශ්‍රය ශක්තියෙන් ද ප්‍රඥප්ති නාම රූප යන තුන ම නාමයට ප්‍රත්‍යය වේ. මෙසේ ප්‍රඥප්ති නාම රූපයෝ නාමයට දෙපරිද්දකින් ප්‍රත්‍යය වන්නාහ.
6. නාම – රූප දෙක, නාම-රූප දෙකට ප්‍රත්‍යය වීම
අධිපති – සහජාත – අන්‍යොන්‍ය – නිශ්ශ්‍රය – ආහාර – ඉන්ද්‍රිය – විප්‍රයුක්ත – අස්ති – අවිගත යන ප්‍රත්‍යය ශක්ති නවයෙන් නාම – රූප දෙක, නාම – රූප දෙකට සුදුසු පරිදි ප්‍රත්‍යය වන්නාහ.
අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයට අයත් වූ ද කාලත්‍රයට අයත් නො වූ ද, ආධ්‍යාත්මික වූ ද බාහ්‍ය වූ ද ප්‍රඥප්ති නාම රූප වශයෙන් ත්‍රිප්‍රකාර වූ සකල ධර්ම සමූහය ම සුදුසු පරිදි සූවිසි ප්‍රත්‍යයට අයත් වන්නාහ. යම් කිසි ප්‍රත්‍යයක් නො වන ධර්මයක් නැත්තේ ය. මේ ධර්ම සමූහයෙන් නිර්වාණයත් ප්‍රඥප්තියත් හැර ඉතිරි ධර්මයෝ ඒ ඒ ප්‍රත්‍යයන්ගේ ප්‍රත්‍යයෝත්පන්න ද වන්නේ ය.
නාමය හා රූපය
නාම-රූප යන වචන දෙක මේ ධර්මයෙහි නිතර ව්‍යවහාර වන වචන දෙකකි. එකුන් අනූ චිත්තය ය, චෛතසික දෙපනස ය, නිර්වාණය ය යන මේ ධර්මයන් නාම යන නමින් හඳුන්වනු ලැබේ. ඒ ධර්මයන්ගේ රූ සටහන් නැත. ඒවා දැන ගන්නේ, සිත ය – ඵස්ස ය – වේදනාව ය යනාදි නම් අසා ඒ නම්වලිනි. ඒවාට නාම යන නම දී ඇත්තේ ඒ නිසා ය. රූපස්කන්ධය යි කියන රූප විසි අට රූප නම් වේ. නාම-රූප යන වචනවල තවත් අර්ථ ඇත්තේ ය. දක්වන ලදුයේ මෙතැනට ඕනෑ කරන අර්ථය ය. නාමයන්ට අරූපයයි ද කියනු ලැබේ. පඤ්චස්කන්ධයෙන් පළමු වැන්න රූපස්කන්ධය ය. වේදනා – සංඥා – සංස්කාර – විඥාන යන ස්කන්ධ සතරට නාමස්කන්ධ යයි කියනු ලැබේ.
ප්‍රත්‍යය විභාගය.
(1) මේ සූවිසි ප්‍රත්‍යයන් අතුරින් ආලම්බන – අනන්තර – සමනන්තර- උපනිශ්‍රය – පුරෙජාත – ආසෙවන – සම්ප්‍රයුක්ත – නාස්ති-විගත යන ප්‍රත්‍යය නවය අරූප ධර්‍මයනට ප්‍රත්‍යය වේ.
පශ්චාජ්ජාත ප්‍රත්‍යය රූප ධර්‍මයනට ප්‍රත්‍යය වේ.
සෙසු තුදුස් (14) ප්‍රත්‍යය රූප අරූප දෙකට ම ප්‍රත්‍යය වේ.
(2) හේතු – අනන්තර – සමනන්තර -ආසෙවන -පච්ඡාජාත කර්‍ම විපාක ධ්‍යාන -මාර්ග සම්ප්‍රයුක්ත -නාස්තී-විගත ප්‍රත්‍යය අරූප ධර්‍ම යැ.
පූර්‍වෙජාත ප්‍රත්‍යය රූප ධර්‍ම යි.
ආලම්බන උප නිශ්‍රයද්‍වය ය ප්‍රඥප්තිය හා රූප ධර්‍ම යි.
සෙස්ස රූපාරූප ධර්‍ම වේ.
(3) අනන්තර- සමනන්තර-ආසෙවන – නත්‍ථි – විගත ප්‍රත්‍යය අතීත කාලික ය. ආලම්බනාධිපති – ආලම්බ නොපනිශ්‍රය දෙක ත්‍රෛකාලික ද කාලවිමුක්ත ද වේ.
කර්‍ම ප්‍රත්‍යය, අතීත-ප්‍රත්‍යුත්පන්න වශයෙන් ද්විකාලීක වේ. සෙසු පසළොස (15) ප්‍රත්‍යුත්පන්න යැ.
(4) අනන්තර -සමනන්තර -අනන්තරොපනිඃශ්‍රය – ප්‍රකෘතොපනිඃශ්‍රය ආසෙවන -නානාක්‍ෂණික කර්‍ම -නාස්ති -විගත ප්‍රත්‍යය ද ජනක කර්ම වේ. උපස්තම්භක නොවේ.
පශ්චාජ්ජාත ප්‍රත්‍යය උපස්තම්භක වේ. ජනක නොවේ.
සෙස්සෝ ජනක ද, උපස්තම්භක ද වෙති.
මේ ප්‍රත්‍යය වශයෙන් විභාගය යි.
මෙම ලිපිය උපුටා ගන්නා ලද්දේ අන්තර්ජාලය ඇසුරෙනි.
අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම ලිපිය හුදෙක් ධර්ම දානයක් ලෙස
ඉදිරි ඉදිරිපත් කරන ලදී.
මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත්පත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන් ප්‍රථමයෙන් මෙම ලිපිය ඉදිරිපත් කළ ස්වාමීන් වහන්සේවහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.
එසේම මෙම ලිපිය අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පිංවත් මහත්ම, මහත්මීන් වෙතටද එසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.
මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!
සාදු… සාදු… සාදු…
By Rasika Nambagodage
www.aryapatipada.org