දෙවන ධර්ම සංගායනාව

The Second Council

දෙවන ධර්ම සංගායනාව
( සත්තසතිකා සංගීති)

සත්තසතිකා සංගීති නමින්ද, දෙවන ධර්ම සංගායනාව හඳුන්වයි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100කට (444 B.C.) පසුව මෙම සංගායනාව පවත්වා ඇත. (භික්ෂූන් වහන්සේලා හත්සිය නමකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සංගායනාවට සත්තසතිකා සංගීති යැයි ද කියනු ලැබෙ.)

  • කාලය : බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 100 කට පසුව කාලාශෝක රජුගේ අනුග්‍රහය යටතේ (444 B.C.)
  • සංගායනාව පැවති කාලය : මාස 8.
  • සංගායනාව පැවති ස්ථානය : විශාලා මහනුවර (වේසාලි) වාලුකාරාමයේදී
  • සහභාගීත්වය : රහතන් වහන්සේලා 700 නමකගේ සහභාගීත්වයෙන්.
  • සංගායනාව සඳහා සහභාගී වූ භික්ෂූන් වහන්සේලා: ධර්මධර, විනයධර තෙරවරුන් 700 නමකගේ සහභාගිත්වය ඇතුව සබ්බකාමී රේවත මහරහතන්වහන්සේ ප්‍රධානත්වය ගෙන ක්‍රීයා කළහ. 
  • සංගායනාව සඳහා ප්‍රධානත්වය : රේවත මහරහතන්වහන්සේ.
  • සංගායනාව සඳහා සහය වූ අනෙක් භික්ෂූන් : සබ්බකාමී සාළ්හ, රේවත, ඛුජ්ජසෝභිත, කාකණ්ඩපුත්‍ර යස, සාණ වනවාසී සම්භූත, වාසභගාමික හිමිවරු.
  • සංගායනාව සඳහා දායකත්වය (රාජඅනුග්‍රහය) : කාලාශෝක රජතුමා රාජ අනුග්‍රහය ලබා දුන්නේ ය.
  • සංගායනාව පැවැත්වූ ආකාරය:
    • ප්‍රශ්නෝත්තර ක්‍රමයට කරුණු විමසා ඇත.
    • ධර්ම ප්‍රශ්න විමසීම – සබ්බකාමී සාළ්හ හා රේවත හිමි.
    • සහය වූ අනෙක් භික්ෂූන් – සාල්හ, රේවත, බුඡ්ජසෝභිත, යස, වසභගාමික, සම්භූත, සුමණ තෙරුන්.

නිදානය - ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට හේතු

ආසන්නතම හේතුව:

වජ්ජිපුත්තක භික්ෂූන් විසින් ඉදිරිපත් කළ දස අකැප වස්තුව. (දස අකැප වස්තුව පිළිබඳ වැඩි විස්තර සඳහා)

වජ්ජිපුත්තක භික්ෂූන් විසින් ඉදිරිපත් කළ, චුල්ලවග්ග පාලියේ සඳහන් දස අකැප වස්තුව:

  1. සිංගිලෝන කප්ප-ආහාර වලට මිශ්‍රකර ගැනීම සඳහා අඟක දමා ලුණු තබා ගැනීම සුදුසුය.
  2. ද්වංගුල කප්ප-ඉර හැරී සෙවනැල්ල අඟල් දෙකක් වන තුරුත් ආහාර වැළදීම කැපය.
  3. ගාමන්තර කප්ප-එක් ගමකින් තව ගමකට ආහාර රැගෙන යාම කැපය.
  4. ආවාස කප්ප-මහා සීමාව තුළ පිහිටි කුඩා කුඩා ආවාසයන්හි වෙන වෙනම පොහොය කිරීම කැපය.
  5. අනුමති කප්ප-එක සීමාවක් ඇතුළත වාසය කරන භික්ෂූන්ගේ කැමැත්ත නොගෙන වෙන් වෙන්ව පොහොය කොට නැවත කැමැත්ත ගැනීම කැපය.
  6. ආචියෝණ (ආචිණ්ණ) කප්ප-කැප අකැප දෙයක් ගැන නොසලකා චිරාගත දේ පිළිගැනීම කැපය.
  7. අමථිත කප්ප-කිරිත් නොවූ දීත් නොවූ කිරි වැළදීම කැපය.
  8. ජලෝගි (ජලෝගික) කප්ප-රා බවට නොපැමිණි මීරා බීම කැපය.
  9. දසක නිසීදන කප්ප-දාවලු නැති ඇතිරිලි පරිහරණය කැපය.
  10. ජාත රූප රජත කප්ප-රන් , රිදී හා කහවණු පිළිගැනීම කැපය.

මහාසාංඝිකවාදීන්ගේ දශ වස්තුව:

  1. අලල යයි කීම කැපය.
  2. තමාම විනෝද වීම කැපය.
  3. තමාම පොළව සෑරීම කැපය.
  4. දුර හුදෙකලාවාසීන්ට ලුණු තැන්පත් කිරීම කැපය.
  5. තම ආරාමයෙන් යොදුන් අඩ යොදුන් දුර ගමන් යන භික්ෂුවට ආහාර ගෙනයාම කැපය.
  6. ඉර අවරට ගොස් සෙවනැල්ල අගල් දෙකක් ගිය පසු වැළදීම කැපය.
  7. රෝගීන්ට මධ්‍යපානය කැපය.
  8. කිරිත් නොවු දීත් නොවූ කිරි බීම කැපය.
  9. දාවලු නැති ඇතිරිලි කැපය.
  10. රන් රිදී මසු කහවනු කැපය.

සර්වාස්ථිවාදීන්ගේ විනය ක්ෂුද්‍රක ග්‍රන්ථයෙහි දශ වස්තුව: 

  1. යාවජීවක ලුණු යාවකාලික ආහාර හා මිශ්‍රකර වැළදීම කැපය.
  2. අතිරික්ත නොවූ ආහාර ඇඟිලි දෙකින් ගෙන වැළදීම කැපය.
  3. යොදුනක් හෝ අඩ යොදුනක් හෝ ගොස් එකට ආහාර ගැනීම කැපය.
  4. කිරි ද්‍රෝනයක් පමණ ගෙන දී කිරි හා මිශ්‍ර කර විකාලයේ වැළදීම කැපය.
  5. ලෙඩකුට කූඩැල්ලන්සේ උරා සුරා පානය කිරීම කැපය.
  6. පැරණි නිසීදනයේ සුගත් වියතක් පමණ කෑල්ලක් නොඅළලා අලුත් ඇතිරිල්ලක් පරිභෝග කිරීම කැපය.
  7. සුවඳවත් කළ පාත්‍රයක් මහාජනයා නිතර ගැවසෙන තැනක තබා පින් පිණිස රන් රිදී වලින් පාත්‍රය පුරවන ලෙස දන්වා සිටීම කැපය.
  8. සියතින් පොළව කැණීම කැපය.
  9. ආගමික කාර්යයන් කිරීමෙන් පසු පැමිණි සංඝයා ඒ පිළිබඳ සතුටුවන ලෙස පෙළඹවීම කැපය.
  10. ආගමික කාර්යයන්ගෙන් පසු “අහෝ” යයි හඬ නඟා ප්‍රකාශ කිරීම කැපය.

මෙලෙස ථෙරවාද, මහාසාංඝික, මූලසාර්වස්ථිවාදී යන සම්ප්‍රධායන්වල දශ වස්තුව අතර සුළු සුළු වෙනස්කම් පැවතියද මේවායෙහි එක්තරා පොදු බවක් විද්‍යමාන වෙයි.

දස වස්තුවක් ඉදිරිපත් වීමට බලපෑ කරුණු

  1. වජ්ජි රාජ්‍ය‍ය බෞද්ධ රාජ්‍ය‍යන්වලින් ඈත්ව පිහිටීම නිසා (සමහර කරුණු විසඳා ගැනීමට තිබූ ගැටළු).
  2. වජ්ජිපුත්තක භික්ෂූන් පැවිදි වීමට පෙරාතුව කුමාර දිවියක් ගත කිරීම.
  3. සමාජීය වශයෙන් ඇති වූ අවශ්‍යතා (මුදල්).

දුරස්ථ හේතුන්:

  1. දස වස්තුවට එරෙහි වූ යස තෙරුන්ට සමාජ විරෝධයක් එල්ල වීම.
  2. බුදුවරු කවර ජනපදවල උපදීද? යන පැනය.
  3. අධර්මවාදී භික්ෂූන් කවුරුන්ද? යන පැනය.
  4. මහාදේව හිමියන්ගේ වස්තු වාදය.
  5. භික්ෂුව වෙනස් විය යුතුයි යන මතය.
  6. භික්ෂූන්ගේ වැරදි මතවාද.

දෙවන සංගායනාවේ ප්‍රතිඵල

  1. වජ්ජි පුත්තක භික්ෂූන්ගේ දසවස්තුව විනය විරෝධි ලෙස තීරණය වීම.
  2. වෙනස් වූ සංඝ සමාජය තුළ යම් පදනමකින් හෝ මුල් විනය නීති පිහිටුවීමට ඉවහල් වීම, විනය නීති ආරක්ෂාවීම.
  3. සංඝ සමාජය බෙදී යාම, මහායානය බිහිවීමේ අඩිතාලම නිර්මාණයවීම.
  4. වජ්ජිපුත්තක භික්ෂූන් මහ සංගීති නමින් වෙනමම සංගායනාවක් පැවැත්වීම.
  5. බුදු සසුනේ නිකාය භේදය ඇතිවීම.
  6. විනය විරෝධී භික්ෂූන් ථේරවාදී සම්ප්‍රදායෙන් ඉවතලීම.

ශාසන ඉතිහාසයට බලපෑ ආකාරය

  1. සංඝ භේදය නිර්මාණයවීම.
  2. නිකාය භේදයේ පදනම සකස්වීම.
  3. සීඝ්‍රයෙන් වෙනස් වූ සංඝ සමාජය, මුල් විනය නීති යටතේ පාලනයවීම.

මෙම සංගායනාවේ ප්‍රතිඵල වූයේ සංඝ සමාජය ප්‍රථම වතාවට නිකායවලට බෙදීම.

  1. මහසාංගික – මහදේව හිමියන්ගේ පංච වස්තුවට පක්ෂ පිරිස
  2. ස්ථවිරවාදී – විපක්ෂ පිරිස

මුල්ම සංඝ සමාජය ථෙරවාදී හා මහා සාංඝික ලෙස ප්‍රධාන නිකායන් දෙකකට බෙදුණි. පසුව මෙය තවත් අනු නිකායන් කිහිපයකට බෙදී ගියහ. (සංඝ සමාජයේ නිකායික භේදය පිළිබඳ විස්තර මෙතනින් ලබාගන්න).

මෙම ලිපිය පිළියෙල කළේ අන්තර්ජාලය ඇසුරෙනි. 

අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම අන්තර්ගත කරුණු හා ඡායාරූප හුදෙක්
ධර්ම දානයක් ලෙස ඉදිරි ඉදිරිපත් කරන ලදී.

මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද, එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන්, ප්‍රථමයෙන් මෙම ලිපිය සහ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පින්වත් ස්වාමීන් වහන්සේලාට, පින්වත් මහත්ම මහත්මීන් වෙතට, එසේම මෙම ලිපිය ඔබ වෙත පිරිනමන මා හට ද, මෙසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.

මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!

සාදු… සාදු… සාදු…

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org

Scroll to Top