ප්‍රථම ධර්ම සංගායනාව
(පංච සතිකා සංගීති)
විනය සංගීති නමින්ද, පංචසතිකා සංගීතිකා නමින්ද, ප්‍රථම ධර්ම සංගායනාව හඳුන්වයි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව මෙම සංගායනාව පවත්වා ඇත. මෙහි අරමුණ වූයේ විසිරී ඇති ධර්ම විනය ඒකරාශී කොට වෙනස්කම් වලට භාජනය වීමට ඉඩ නොදී ආරක්ෂා කර තබා ගැනීමය. ධර්මය හා විනය දැනට තිබෙන පරිදි ත්‍රිපිටකයට බෙදා කට පාඩමින් පවත්වාගෙන ඒමට හැකි ලෙස සකස් කරන ලද්දේ මෙම ප්‍රථම සංගායනාවේදී ය.
මෙහිදී ප්‍රථමයෙන් විනය සංගායනා කරන ලදී. දෙවනුව සූත්‍ර පිටකය සංගායනා කරන ලද අතර තෙවණුව අභිධර්ම පිටකය සියලු ම රහතන් වහන්සේ විසින් සංගායනා කරන ලදී.
- කාලය : බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් තුන් මසකට පසුව, අජාසත් රජුගේ රාජාභිෂේකයෙන් 8වන වසර දී. (544 B.C.)
- සංගායනාව පැවති කාලය : මාස 7.
- සංගායනාව පැවති ස්ථානය : ථෙරවාදී මුලාශ්‍රවල සඳහන් පරිදි රජගහ නුවර වේහාර පර්වත ප්‍රාන්තයෙහි සප්තපර්ණී ගුහාද්වාරය.
- සහභාගීත්වය : රහතන් වහන්සේලා 500 නමකගේ සහභාගීත්වයෙන්.
- සංගායනාව සඳහා සහභාගී වූ භික්ෂූන් වහන්සේලා: රහතන් වහන්සේලා 500 නමකගේ සහභාගිත්වය තිබූ අතර මුලිකත්වය ගෙන කටයුතු කළේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේය.
- සංගායනාව සඳහා ප්‍රධානත්වය : තෘතිය ශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධානත්වය.
- සංගායනාව සඳහා සහය වූ අනෙක් භික්ෂූන් : මහා කච්චායන මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, වංගීස මහරහතන් වහන්සේ, කුමාර කස්සප මහරහතන් වහන්සේ, පුණ්ණ මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ සහ උපාලි මහරහතන් වහන්සේ.
- සංගායනාව සඳහා දායකත්වය (රාජඅනුග්‍රහය) : මගධාධීපති බිම්බිසාර රජුගේ පුත් අජාසත් රජතුමාගෙනි. (වංශ කථාවන්හි හා සමන්තපාසාදිකා විනය අටුවාවේ සඳහන් පරිදි).
- සංගායනාව පැවැත්වූ ආකාරය:
- සත් මසක් මුළුල්ලේ පැවති මෙම ධර්ම සංගායනාවේදි උපාලි හිමියන්ගෙන් පළමුව විනය ප්‍රශ්න විචාළහ.
- නිදාන පුග්ගල, වස්තු, ප්‍රඥප්ති,අනුප්‍රඥප්ති, ආපත්ති, අනාපත්ති යනාදී විස්තර සහිතව භික්ෂු භික්ෂුණී ප්‍රාතිමෝක්ෂ ශික්ෂා පද සියල්ලම පුජ්ජාවිස්සජ්න ක්‍රමයෙන් විනය සංගායනා කළහ.
- අනතුරුව, ධර්ම සංගායනා කළහ. ප්‍රශ්නෝත්තර ක්‍රමය මේ සඳහා යොදා ගත්හ.
- අනඳ තෙරණුවන් ලවා පංචනිකායම සංගායනා කළහ.
- සුත්‍ර පිටකය හා අභිධර්මය මෙහිදී සංගායනාවට භාජනය විය.
නිදානය - ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට හේතු
ආසන්නතම හේතුව:
චුල්ලවග්ගයේ එන වාර්තාව අනුව ප්‍රථම සංගීතියට මුලික ලෙස හේතු දෙකක් පාදක වී ඇත.
- බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් සත් දින කට පසු පෘථග්ජන භික්ෂූන් ශෝක වන විට, එය දුටු සුභද්‍ර නම් මහලු කල පැවිදි වූ භික්ෂුවක විසින් කල අභද්‍ර ප්‍රකාශය (නොමනා ප්‍රකාශය, සුභද්‍ර භික්ෂුවගේ වගකීමෙන් තොර ප්‍රකාශය).
සුභද්ද භික්ෂුව කළ ප්‍රකාශය වුයේ :-
“අලං ආවුසෝ මා සෝචිත්ත මා පරිදෙවිත්තසුමුත්තාතේන මහා සමනේනඋප්පද්දතාච හෝම ඉදං වෝ කප්පති ඉදං වෝන කප්පති”
“ඇවැත්නි; සෝක නොකරව්, නොවැලපෙව් ඵ් මහා ශ්‍රමණයාගෙන් අපි හොඳින් මිදුනෙමු. මේ තොපට කැපය. මේ අකැපයැයි ඹහුගේ නීති පැනවීමෙන් අපි පීඩා වින්දෙමු. දැන් අපි යමක් කැමති නම් ඵය කරන්නෙමු. යමක් අකමැතිනම් ඵය නොකරන්නෙමු.”යි යන්නය.
(දහම් පාසල් අවසානය 1 ශාසන ඉතිහාසය, ශාසන ඉතිහාසය, 2007)
- ගෝපක මොග්ගල්ලාන සූතයට අනුව ධර්ම විනය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම හා එය ඉදිරියට සංරක්ෂණය කිරීම.
ධර්මය හා විනය අනාගතයෙහිදී පිරිහී අධර්මය, අවිනය රජ වෙතැයි ඇතිවූ භීතිය, බුද්ධ භාෂිත ලෙස බොරු සූත්‍ර සකස් කර ධර්මයට වැරදි අර්ථ විවරණ ඉදිරිපත් කෙරෙනු ඇතැයි ද එකළ තෙරවරු බිය වූහ.
දුරස්ථ හේතුන්:
- බුදුරදුන්ගේ ඇවෑමෙන් ඡන්න හිමියන්ට බ්‍රහ්ම දණ්ඩනය පනවන්නැයි ප්‍රකාශ කර තිබීම, ඡණ්න තෙරුන්ට බ්‍රහ්ම දණ්ඩනය පැනවීමට අදාළ තීරණය ගැනීමට.
- ඛුද්දානුඛුද්දක ශික්ෂාපද ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට.
- නිගණ්ඨනාතපුත්තගේ මරණයත් සමඟ ජෛන සසුන දෙදරා යෑම.
- සැරියුත් මුගලන් හිමිවරු පිරිනිවන් පා තිබීම.
- ආනන්ද හිමියනට එල්ල වූ චෝදනා:
- ඛුද්දානුඛුද්දක ශික්ෂාපද මොනවාද යන්න දැන නොගැනීම
- බුදුන් වහන්සේගේ වැසි සළුව පයින් පාගාගෙන මැසීම
- බුද්ධ ශරීරය පළමුව කාන්තාවන් ලවා වැන්ද වීම, කාන්තාවන්ගේ කඳුළුවලින් අපවිත්‍ර කිරීම.
- බුදුන්වහන්සේගේ ආයුසංස්කාරය අත්හළ අවස්ථාවේදී කල්පයක් කල් ජීවත්වීමට ආරාධනා නොකිරීම.
- ස්ත්‍රීන්ට පැවිද්ද ලබා දීම.
- ආනන්ද හිමියනට එල්ල වූ චෝදනා වලට සදොස් නිදොස් බව තීරණය කිරීමට.
- විවිධ මතධාරීන්ගෙන් සසුන රැකගැනීම.
මහා සාංඝික, මහීසාසක, ධර්මගුප්තික හා සර්වාස්තිවාදී සම්ප්‍රදායන්ට අයත් විනය ග්‍රන්ථ වලද ප්‍රථම ධර්ම සංගායනාවට හේතු මෙලෙස සඳහන්වේ. මෙම මුලික හේතුවට අමතරව තවත් හේතු රාශියක් පළමු සංගායනාව පැවැත් විමට හේතු වු බව මුලාශ්‍ර වළ හදුනාගත හැකිය.
ඒ අතර මුලික වන්නේ බුදුන් ජිවමාන කලයේදි සංඝ සමාජය තුල විවිද ගැටලු පැවති අතර ඒම ගැටලු උන්වහනසේගෙන් පසුව තව තවත් බහුල විය හැකි නිසා සංගායනාවක් පවත්වන්නට අවශ්‍ය වන්නට ඇත. මන්ද සුභද්ද වුව ඉහත ආකාරයේ ප්‍රකාශයක් බුද්ධ පරිනිර්වාණයත් සමගම සිදු කිරිම බුදුන් ජිවමාන කාලයේ පැවති ගැටලු වල ප්‍රතිඵලක් බව සිතිය හැකිය.
පළමු සංගායනාවේ ප්‍රතිඵල
- ඛුද්දානු ඛුද්දක ශික්ෂා පද පිළිබඳව තිබු ගැටළුව විසඳීම,
- ඛුද්දානු ඛුද්දක ශික්ෂා පද වෙනස් නොකිරීමට තීරණය කිරීම
- ධර්ම විනය ආගමේ ශාස්ත්‍රවරයා ලෙස ස්ථාපිත වීම
- ආනන්ද හිමියන්ට එල්ල වී තිබූ චෝදනා වලින් නිදහස් වීම
- ආනන්ද හිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරය හෙළි වීම
- ඡන්න භික්ෂුවට බ්‍රහ්මදණ්ඩනය පැනවීම
- ධර්මය අනාගතයට සුරැකීම සඳහා භානක භික්ෂු පරම්පරාවක් බිහි
- විසිරුණු ධර්මය ඒකරාශි වීම
පළමුවන ධර්ම සංඝායනාවේ ප්‍රතිඵලයක් ලෙස සූත්‍ර දේශනාවන් සමූහය හෙවත් ධර්මය නිකාය වශයෙන් පහකට වෙන් කරන ලදී.
- දීඝ නිකාය (දිග සූත්‍ර).
- මජ්ඣිම නිකාය (මධ්‍යම ප්‍රමාණ සූත්‍ර).
- අංගුත්තර නිකාය (අංක සහිත සූත්‍ර).
- සංයුක්ත නිකාය (එකතුකිරීම් ආදී සූත්‍ර).
- ඛුද්දක නිකාය (විවිධාකාර වූ දේශනා සහිත සූත්‍ර: ධම්ම පදය…..)
ධර්ම විනය එක් එක් ධර්ම කොටස් මුඛ පරපුරෙන් රැකගෙන යාමට භාණක භික්ෂු පරම්පරාවන්ට ආරක්ෂා කොට පවත්වා ගෙන යාම සඳහා පැනවීම. ඒ අනුව;
- විනය පිටකය
උපාලි රහතන්වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය පරමිපරාවට මුඛ පරපුරෙන් රැකගෙන යාමට පැවරිණි. විනය පිටකය පස් ආකාරයෙන් සංග්‍රහ කරන ලදී.- පාරාජික පාලි
- පරිවාර පාලි
- පාචිත්තිය පාලි
- චුල්ලවග්ග පාලි
- මහාවග්ග පාලි
- සූත්‍ර පිටකය
- දීඝ නිකාය – ආනන්ද රහතන්වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය පරමිපරාවට මුඛ පරපුරෙන් රැකගෙන යාමටද
- මජ්ඣිම නිකාය – සැරියුත් රහතන්වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය පරමිපරාවට මුඛ පරපුරෙන් රැකගෙන යාමටද
- සංයුත්ත නිකාය – මහා කාශ්‍යප රහතන්වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය පරමිපරාවට සංයුක්ත නිකාය මුඛ පරපුරෙන් රැකගෙන යාමට කාෂ්‍යප හිමි ඇතුළු ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට
- අංගුත්තර නිකාය – අනුරුද්ධ රහතන්වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය පරමිපරාවට මුඛ පරපුරෙන් රැකගෙන යාමටද
- ඛුද්දක නිකාය – සියලුම වහන්සේලා එක්ව මුඛ පරම්පරාගතව
අනඳ තෙරුන්ට තිබූ චෝදනා වලින් නිදහස් වීම
අනඳ තෙරුන්ට එරෙහිව චෝදනා 5ක් එල්ල වූ අතර තමන් එයට නිර්දෝශී වීමට හේතු සාධකද අනඳ තෙරුන් විසින් ඉදිරිපත් කළහ.
- ඛුද්දානු ඛුද්දක ශික්ෂා පද බුදුන්ගෙන් නොවිචාරීම.
– බුදු රදුන් ඛුද්දානු ඛුද්දක ශික්ෂා පද පිළිබඳව ප්‍රකාශ කරන අවස්ථාවේදී තමන් ඉතා ශෝකාතුරව සිටි නිසා අසා දැන ගැනීමට නොහැකිවූ බව. - බුදු රදුන්ගේ වැසි සළුව පයින් මැඩ ගෙන මැසීම.
– සිවුර මසද්දී සහාය වීමට කිසිවෙකු නොසිටි බැවින් එසේ කරන්නට සිදු විය. - බුද්ධ ශරීරය පළමුව කාන්තාවන් ලවා වැන්ද වීම.
– බුදු රදුන්ගේ ශ්‍රි දේහයට බුහුමන් දැක්වීමට පැමිණි මහා ජනකාය බහුල වීම නිසා කාන්තාවන්ට කල්වේලා ඇතිව නිවෙස් වලට යාමට ඉඩ සැලැස්වීම. - චේතියේ දී බුදුන් පිරිනිවි පාන බව අඟවද් දී කල්පයක් ඡීවත් වන ලෙසට බුදුන් වහන්සේට ආරාධනා නොකිරීම.
– තමන්ගේ සිත ද එවෙළෙහි මරුට වසඟව තිබු හෙයින් එසේ ඉල්ලා සිටීමට නොහැකි වීම. - තථාගත ශාසනයේ ස්ත්‍රීන්ට පැවිද්ද ලබා දීමට උත්සාහවත්වීම.
– ප්‍රජාපතී ගෝතමිය කෙරෙහි තිබූ මහත් ගෞරවය නිසා එලෙස කිරීම.
ශාසන ඉතිහාසයට බලපෑ ආකාරය
- ශාසනයේ ඉදිරි පැවැත්ම චිරස්ථායීවීම.
- අනාගත පරපුර විනයානුකූලවීම.
- ශාසන විරෝධී බලවේග මර්ධනයවීම.
- නායකත්වය උදෙසා ගැටුම් ඇති නොවීම.
- නිර්මල බුද්ධ වචනය අනාගත පරම්පරාවට හඳුන්වාදීම.
මෙම ලිපිය පිළියෙල කළේ අන්තර්ජාලය ඇසුරෙනි.
අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම අන්තර්ගත කරුණු හා ඡායාරූප හුදෙක්
ධර්ම දානයක් ලෙස ඉදිරි ඉදිරිපත් කරන ලදී.
මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද, එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන්, ප්‍රථමයෙන් මෙම ලිපිය සහ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පින්වත් ස්වාමීන් වහන්සේලාට, පින්වත් මහත්ම මහත්මීන් වෙතට, එසේම මෙම ලිපිය ඔබ වෙත පිරිනමන මා හට ද, මෙසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.
මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!
සාදු… සාදු… සාදු…
By Rasika Nambagodage
www.aryapatipada.org