පරමාර්ථ ධර්ම ලිපි අංක 04:

චිත්තය

කාමාවචර සිත්

අකුසල් සිත් 12

උපුටා ගන්නා ලද්දේ
මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ
විසින් සම්පාදිත “අභිධර්ම මාර්ගය” බෞද්ධ ග්‍රන්ථයෙනි.

 

1. අකුසල් සිත් (12)
1. ලෝභමූල සිත් අට (8)
  1. සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිත.
  2. සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත.
  3. සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත අසංස්කාරික සිත.
  4. සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත සසංස්කාරික සිත.
  5. උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිත.
  6. උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත.
  7. උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත අසංස්කාරික සිත.
  8. උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත සසංස්කාරික සිත.
2 - ද්වේෂ මූල සිත් දෙක (2)
  1. දෝමනස්ස සහගත ප්‍ර‍තිඝ සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිත.
  2. දෝමනස්ස සහගත ප්‍ර‍තිඝ සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත.
3 - මෝහමූල සිත් දෙක (2)
  1. උපේක්ෂා සහගත විචිකිත්සා සම්ප්‍ර‍යුක්ත සිත.
  2. උපේක්ෂා සහගත ඖධත්‍ය සම්ප්‍ර‍යුක්ත සිත.

1. අකුසල් සිත් 12.

යමකුගේ සන්තානයෙහි ඇති වුව හොත් අනාගතයෙහි ඔහුට අනිෂ්ට විපාක ඇති කරන්නා වූ සිත් අකුසල් සිත් නම් වේ.

ලෝභය, ද්වේෂය, මෝහය කියා අකුසල් මුල් තුනක් ඇත්තේ ය. ඒ තුන චෛතසික තුනෙකි. සාමාන්‍යයෙන් එකක් වන අකුසල් සිත ලෝභාදි ගුන හා එක්වීම නිමිත්ත කොට;

  1. ලෝභ මූල සිත ය,
  2. ද්වේෂ මූල සිත ය,
  3. මෝහ මූල සිත ය, කියා තුනට (03) බෙදේ.

1 - ලෝභමූල සිත් අට (8)

මේ දේ හොඳ ය, ලස්සන ය, මිහිරි ය කියා ඒ ඒ දේවලට හා පුද්ගලයන්ට ඇලුම් කරන ස්වභාවය ලෝභය ය. ආශාවය – ඕනෑකම ය – රාගය ය – ගිජු කම ය – කැතකම ය – ආදරය – ප්‍රේමය යන නම් වලින් කියැවෙන්නේ ද ලෝභය ම ය. ඒ ලෝභයෙන් යුක්ත වන සිත

  1. සෝමනස්ස සහගත සිතය,
  2. උපේක්ෂා සහගත සිතය කියා නැවතත් දෙකට බෙදෙන්නේ ය.

සිත යනු යම්කිසිවක් පිළිබඳ ව ඇති වන දැනීම බව ඉහත කියා ඇත. මේ ධර්මයෙහි සිතට (දැනීමට) දැනෙන දෙය (උදාහරණයක් ලෙස ගස, වර්ණය) ට කියන නම (ආරම්මණය) අරමුණ යනුයි . එක් සිතක් තවත් සිතකට දැනෙන බැවින් සිත ද අරමුණකි. සෑම අරමුණක ම හොඳ බව ය, නරක බව ය, මධ්‍යම බව ය යන මේ ගුණ තුනෙන් එකක් ඇත්තේ ය. ඒ ගුණවලට අරමුණු රසය යි කියනු ලැබේ. කවර අරමුණක් හෝ ගනිමින් සිතක් උපදිත හොත් ඒ සිත සමග බැඳී ඒ අරමුණේ රසය වළඳන්නා වූ විඳින්නා වූ ස්වභාවයක් ද ඇති වේ.

සිත සමග ඇතිවන්නා වූ අරමුණෙහි

  1. මිහිර විඳින්නා වූ ස්වභාවයට සෝමනස්ස වේදනාවය යි ද,
  2. අරමුණෙහි මධ්‍යම බව වූ රසය විඳින ස්වභාවයට උපේක්ෂා වේදනාවය යි ද,
  3. අරමුණෙහි නරක බව විඳින්නා වූ ස්වභාවයට දෝමනස්ස වේදනාවය යි ද කියනු ලැබේ.

ලෝභ සහගත සිත කිසි කලෙක දෝමනස්ස වේදනාවෙන් යුක්ත නො වේ. ලෝභ මූල සිත උපදනා කල්හි ආරම්මණයා ගේ හොඳ බව හෝ මධ්‍යම බව හෝ විඳීමත් සමග ම උපදී. අරමුණෙහි හොඳ බව විඳීම ය, මධ්‍යම බව විඳීම ය, යන මේ කරුණු දෙකින් එකක් වූ ලෝභමූල සිත;

  1. සෝමනස්ස සහගත සිත ය
    (සෝමනස්ස සහගත සිත ය යනු සෝමනස්ස වේදනාවෙන් යුක්ත වන සිත ය. සතුට යනු ද සෝමනස්ස වේදනාවට ව්‍යවහාර කරන තවත් නමෙකි)
  2. උපේක්ෂා සහගත සිත ය
    (උපේක්ෂා සහගත සිත යනු උපේක්ෂා වේදනාවෙන් යුක්ත වන සිත ය.)  කියා දෙකට බෙදේ.

මේ සිත් දෙකින් එක එකක් නැවත ද දෙකට බෙදෙන්නේ ය. ඒ මෙසේ ය:-

  1. සමහර අවස්ථාවක දී මේ ලෝභ මූල සෝමනස්ස සහගත චිත්තය; පින් පව්ය කියා දෙයක් නැත, පින් පව්වල විපාකයක් නැත, පරලොවක් නැත, කුමක් කළත් වරද නැත යනාදීන් පවත්නා මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත වේ.
  2. සමහර අවස්ථාවකදී මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත නො වේ.

(දෘෂ්ටියට, දෘෂ්ටිගත යයි ද කියනු ලැබේ.)

ඉහත දැක්වුණු ලෝභ මූල සිත් දෙකින් සෝමනස්ස සහගත චිත්තය දෘෂ්ටියෙන් යුක්ත වීම ය, නොවීම ය යන කරුණු දෙකින්

  1. සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත චිත්තය,
  2. සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත චිත්තය කියා දෙකකට බෙදේ.

උපේක්ෂා සහගත සිත ද එසේ ම

  1. උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත චිත්තය,
  2. උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත චිත්තය කියා දෙකට බෙදේ. මෙසේ බෙදීමෙන්‍ ලෝභ මූල සිත් සතරක් වේ.

ඒ සිත් සතරෙන් පළමුවැන්න වූ සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත සිත නැවත ද දෙකට බෙදේ. ඒ මෙසේ ය:-

  1. සමහර අවස්ථාවකදී ඒ සිත ස්වභාවයෙන් ම ඇති වේ. මෙහෙයුමක් – උත්සාහවත් කරවීමක් නැති ව ඇති වන සිත අසඞ්ඛාරික සිත යයි ද.
  2. සමහර අවස්ථාවකදී අනුන්ගේ මෙහෙයීමකින් හෝ තමා විසින් හෝ අනුන් විසින් හෝ උත්සාහවත් කරවීමකින් ඇති වේ. මෙහෙයීමකින් හෝ උත්සාහවත් කරවීමකින් හෝ ඇති වන සිතට සසඞ්ඛාරික සිත යයි ද කියනු ලැබේ.

ඉතිරි සිත් තුන ද එසේ සඞ්ඛාර භේදයෙන් දෙකට දෙකට බෙදේ. එසේ බෙදෙන කල්හි ලෝභ මූල සිත් අටක් වේ. ඒ සිත් අට මෙසේ ය.

  1. සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිත.
  2. සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත.
  3. සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත අසංස්කාරික සිත.
  4. සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත සසංස්කාරික සිත.
  5. උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික .
  6. සිතඋපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත.
  7. උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත අසංස්කාරික සිත.
  8. උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත සසංස්කාරික සිත.

ලෝභමූල සිත් ඇති වන අවස්ථා:

අදත්තාදානය, කාමමිථ්‍යාචාරය, මුසාවාදය, පිසුණාවාචය, සම්පප්‍ර‍ලාපය, අභිධ්‍යාව, මිථ්‍යාදෘෂ්ටිය යන අකුශල කර්ම පථ සත කෙරෙන්නේ, ලෝභමූල සිත් වලිනි.

තව ද සුරාපානය – සූදුව – අල්ලස් ගැනීම, අල්ලස් දීම, රස විඳිනු පිණිස නැටීම හා නැටුම් බැලීම, වීණා ආදිය වාදනය කිරීම හා ඇසීම, ගී කීම හා ඇසීම, ආස්වාදය පිණිස සුවඳ ඇඟ ගැල්වීම, ලස්සන ඇඳුම් පැළඳුම් හැඳීම, පැළඳීම, ආස්වාදය පිණිස මිහිරි බොජුන් වැළඳීම, මිහිරි පානයන් බීම, රස විඳිනු පිණිස ලස්සන දේවල් බැලීම, ක්‍රීඩා කිරීම, ක්‍රීඩා බැලීම, ධනය සැපයීම සඳහා නොයෙක් දේ කිරීම, ධනය ලබා ගැනීම, ලබා ගත් ධනය ආරක්ෂා කිරීම, ප්‍රිය වස්තූන් ලැබීම සඳහා ධනය දීම, ඇඳුම් පැළඳුම් ගෙවල් රිය ආදි ප්‍රිය වස්තූන් පිළියෙළ කිරීම, ඒවා පරිභෝග කිරීම යන මේවායේ දී බොහෝ සෙයින් ඇති වන්නේ ලෝභ මූල සිත් ය.

තරුණ තරුණියන් ඔවුනොවුන් දැකීමේ දී ඔවුනොවුන් හා කථා කිරීමේදී ඔවුනොවුන් හා ගනුදෙනු කිරීමේදී අඹුසැමියන් ඔවුනොවුන් දැකීමේදී ප්‍රිය කථා කිරීමේදී භාර්‍ය්‍යාවන්ට දූ දරුවන්ට ලස්සන ඇඳුම් පැළඳුම් සැපයීමේදී බොහෝ සෙයින් ඇති වන්නේ ලෝභමූල සිත් ය. විනෝද ගමන් යෑමේදී ද බොහෝ සෙයින් ඇති වන්නේ ලෝභමූල සිත් ය. දූ දරුවන් පෝෂණය කිරීමේදී ඔවුන් සුරතල් කිරීමේ දී ඔවුනට ආවාහ විවාහ කරදීමේදී බොහෝ කොට ඇති වන්නේ ලෝභ මූල සිත් ය. ධර්මයෙන් ඈත් ව වාසය කරන සාමාන්‍ය ජනයාට නින්දට යන තුරු දවස මුළුල්ලේ ඇති වන සිත්වලින් වැඩි කොටස ලෝභ මූල සිත් බව ම කිය යුතු ය.

ශ්‍ර‍ද්ධාව – මෛත්‍රිය – කරුණාව පෙරදැරි කර ගෙන ධන සැපයීම් ආදිය කරන්නවුනට ඒවායේදී අකුසල් සිත් ඇති නො වේ. ප්‍රයෝජනාදිය සලකමින් නුවණ පෙරදැරි කරගෙන ධන සැපයීම් ධනය පරෙස්සම් කිරීම්, වියදම් කිරීම්, ඇඳුම් පැළඳුම් ආහාර පාන සැපයීම් හැඳීම් කෑම් පීම් කරන්නහුට ද අකුසල් සිත් ඇති නො වේ.

රසය ගැන අපේක්ෂාවෙන් හෝ ශරීරය ලක්ෂණ කර ගැනීම් ආදිය ගැන අපේක්ෂාවෙන් හෝ ආහාරයක් පිළියෙළ කරන්නා හට ද වළඳන්නාහට ද ඇති වන්නේ ලෝභ මූල සිත් ය.

සාගින්න සන්සිඳවා ගැනීම, ජීවිතය පවත්වා ගැනීම අපේක්ෂා කොට ආහාරයක් පිළියෙළ කරන්නා හට ද ඇති වන්නේ අකුසල් සිත් නොවේ.

ලස්සන වීමේ අපේක්ෂාවෙන් – අනුන්ගේ සිත් ගැනීමේ අපේක්ෂාවෙන් – උසස් කෙනකු ලෙස පෙනී සිටීමේ අපේක්ෂාවෙන් ඇඳුම් පැළඳුම් පිළියෙළ කිරීමේදී ද හැඳීමේ පැළඳීමේ දී ද ඇති වන්නේ ලෝභ මූල සිත් ය.

දකින්නවුන් පිළිකුල් කරන තැන් වසා ගැනීමේ බලාපොරොත්තුවෙන්, ශීත නැති කර ගැනීමේ-උෂ්ණය නැතිකර ගැනීමේ – මැසි මදුරුවන් ගෙන් ආරක්ෂා වීමේ බලාපොරොත්තුවෙන් ඇඳුම් පිළියෙළ කරන්නා වූ ද, හඳින්නා වූ ද තැනැත්තාට අකුසල් සිත් ඇති නොවේ.

ඇඳුම ලස්සන නැති බව නිසා දක්නවුන් කරන අවමානයෙන් මිදීමේ අපේක්ෂාවෙන් ලස්සන ඇඳුමක් වටිනා ඇඳුමක් පිළියෙළ කිරීමේදී ද හැඳීමේදී ද අකුසල් සිත් ඇති නො වේ.

කන සැටි බලා විනෝදය ලබනු පිණිස සතුන්ට කුඩා ළමුන්ට කෑම දීමේදී ඇති වන්නේ ද ලෝභ මූල සිත් ය.

සතුන්ට අනුග්‍ර‍හයක් වශයෙන් කෑම දෙන කල්හි ඇති වන්නේ කුසල් සිත් ය.

ලස්සන සතුන් දැක අල්ලා ගැනීමේදී ද, ලස්සන බලනු පිණිස ඔවුන් පෝෂණය කිරීමේදී ද ඇති වන්නේ ලෝභ මූල සිත්ය.

ලෝභමූල සිත් අට උපදනා සැටි:

  1.  “පොහොසතා වෙත වැඩිපුර ඇති දෙය ගැනීමේ වරදක් නැත. අධර්මයෙන් උපයා තිබෙන මේ වස්තුව ගැනීමේ වරදක් නැත.” යනාදීන් යම් කිසි මිථ්‍යා අදහසක් පෙරටු කොට ගෙන මහත් සතුටින් කාගේවත් මෙහෙයීමක් නැතුව අනුන් අයත් වස්තුව සොරා ගැනීම, “මේවා අපට දෙවියන් දුන් ඒවාය” කියා මිථ්‍යා අදහසක් පෙරදැරි කරගෙන කාගේවත් මෙහෙයීමක් නැති ව මහත් සතුටින් රස විඳිමින් බොජුන් වැළඳීම යනාදියෙහි සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත අසංකාරික සිත උපදී.
  2. අනිකකුගේ මෙහෙයීමකින් හෝ පසු බස්නා වූ තමාගේ සිත තමා විසින් ම උත්සාහවත් කරවා ගැනීමෙන් හෝ ඉහත කී පරිදි කරන්නහුට සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත උපදී.
  3. යම්කිසි දෘෂ්ටියක් පෙරදැරි කර නො ගෙන කෙනකුගේ මෙහෙයීමක් ද නැතිව සතුටින් අන්සතු වස්තුව සොරා ගැනීම, දෘෂ්ටියක් පෙරදැරි කර නො ගෙන කෙනකුගේ මෙහෙයීමක් ද නැතිව සතුටින් රස බොජුන් වැළඳීම යනාදිය කිරීමේ දී සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත අසංස්කාරික සිත උපදී.
  4. අනුන්ගේ මෙහෙයීමකින් හෝ තමා විසින් ම තමාගේ සිත උත්සාහවත් කර ගැනීමෙන් හෝ ඉහත කී පරිදි කිරීමේදී සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත සසංස්කාරික සිත උපදී.
  5. “වැඩිපුර ඇති මිනිසාගෙන් ගත්තාට පවක් නැත.” යනාදීන් යම්කිසි මිථ්‍යා අදහසක පිහිටා කාගේවත් මෙහෙයවීමක් ද නැතිව ප්‍රීතියෙන් ද තොරව අන්සතු වස්තුව සොරකම් කිරීම: මේවා දෙවියන් දුන් ඒවාය යනාදීන් මිථ්‍යා අදහසක් පෙරදැරි කරගෙන ප්‍රීතියක් හා කෙනකුගේ මෙහෙයීමක් ද නැති ව සුරා පානය කිරීම යනාදිය කරන්නහුට උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිත උපදී.
  6. අනුන් ගේ මෙහෙයීමකින් හෝ තමා විසින් පසුබස්නා සිත උත්සාහවත් කරවා ගැනීමෙන් හෝ ඉහත කී පරිදි කිරීමේදී උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිත උපදී.
  7. මිථ්‍යාදෘෂ්ටියක් පෙරදැරි කර නො ගෙන, ප්‍රීතියකුත් නැති ව, කෙනකුගේ මෙහෙයීමක් ද නැති ව, අදත්තාදානාදිය කිරීමේදී උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත අසංස්කාරික සිත උපදී.
  8. කෙනකු ගේ මෙහෙයීමෙන් හෝ තමා විසින් ම පසුබස්නා සිත උත්සාහවත් කර ගැනීමෙන් හෝ එසේ කරන්නහුට උපේක්ෂා සසහගත දෘෂ්ටිගත විප්‍ර‍යුක්ත සසංස්කාරික සිත උපදී.

ලෝභමූල සිත් විපාක දීම:

විපාක දීමේදී

  1. අදත්තාදානාදි අකුශල කර්ම පථ සත සිදු කිරීම් වශයෙන් උපදනා ලෝභ මූල සිත් බලවත් වේ.
  2. අඹු-දරුවන්ට ධනයට ඇලුම් කිරීම් ආදි වශයෙන් උපදනා ලෝභ මූල සිත් දුබල ය. ඒවායේ විපාක දීම ද අනියත ය.
  3. දෘෂ්ටි විප්‍ර‍යුක්ත සිත්වලට වඩා දෘෂ්ටි සම්ප්‍ර‍යුක්ත අකුසල සිත බලවත් ය.
  4. සසංඛාරික සිතට වඩා අසංඛාරික සිත බලවත් ය.
  5. සෝමනස්ස සහගත සිතට වඩා උපේක්ෂා සහගත සිත බලවත් ය.

2 - ද්වේෂ මූල සිත් දෙක (2)

ද්වේෂය යනු සිතින් ගන්නා වූ අරමුණ කෙරෙහි ඇති වන විරුද්ධ ස්වභාවය ය. අරමුණට නො කැමති ස්වභාවය ය. කෝපය, තරහව, වෛරය, භය, අප්පිරියාව, නො සතුට යන වචනවලින් කියැවෙන්නේ ද ද්වේෂය ය. අරමුණෙහි හැපෙන්නාක් මෙන් ඇති වන බැවින් එයට “ප්‍ර‍තිඝ” යයි ද කියනු ලැබේ. ද්වේෂ මූල චිත්තය ලෝභ මූල චිත්තය මෙන් වේදනා වශයෙන් භේදයට නො පැමිණේ. එය සැම කල්හි ම දෝමනස්ස වේදනාවෙන් ම යුක්ත වේ. දෝමනස්ස වේදනා ව ය යනු අරමුණේ නරක ගතිය ආස්වාසය කරන ස්වභාවය ය. ශෝක යයි කියනුයේ ද දෝමනස්ස වේදනාවටය. ද්වේෂමූල චිත්තය භේදයට පැමිණෙන්නේ සංස්කාර වශයෙන් පමණකි.

  1. දෝමනස්ස සහගත ප්‍ර‍තිඝ සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිතය
  2. දෝමනස්ස සහගත ප්‍ර‍තිඝ සම්ප්‍ර‍යුක්ත සසංස්කාරික සිතය

කියා ද්වේෂමූල සිත් දෙකකි. කෙනකුගේ මෙහෙයීමක් නැති ව තමා ගේ ඕනෑකමින් ප්‍රාණඝාතාදිය කිරීමෙහිදී පළමුවන සිත ඇති වේ. මෙහෙයීමකින් ප්‍රාණඝාතාදිය කිරීමෙහිදී දෙවන සිත ඇති වේ.

ක්‍රීඩා පිණිස සිනහවෙන් සතුන් මරන කල්හි ඇති වන්නේ ද ද්වේෂ මූල සිත් ම ය. එබඳු අවස්ථාවල ඇතිවන ද්වේෂය සියුම් ය. තමාට හානියක් කරන්නට එන සතුරකු මැරීමේ දී ඇති වන ද්වේෂය රෞද්‍ර‍ය. ක්‍රීඩා පිණිස සිනහවෙන් සතුන් මරන කල්හි ද්වේෂය නැතය යි වරදවා නො ගත යුතු.

ද්වේෂ මූල සිත් උපදනා අවස්ථා

ප්‍රාණඝාතය, පරුෂ වචනය, ව්‍යාපාදය, අදත්තාදානය, මෘෂාවාදය, පෛශූන්‍ය වචනය, සම්පප්‍ර‍ලාපය යන අකුශල කර්මපථ සත සිදු කිරීම් වශයෙන් ද්වේෂ මූල සිත් උපදී.

තවද අනුන්ගේ අගුණ කීමේදී ද, ඒවාට ඇහුම් කන් දීමේ දී ද, තමා කළ වරද කියනවා ඇසෙන කල්හි ද, තමාගේ අඩුපාඩුකම් – දුබලකම් කියනවා ඇසුණු කල්හි ද, සේවකාදීන් අකීකරු වූ කල්හි ද, අනුන් වරද කරනවා දක්නා කල්හි ද, අනුන් වරද කරනු ඇතය කියා සිතෙන කල්හි ද, තමා ආදරයෙන් පරෙස්සම් කරන දේවල් අනුන් අත පත ගානවා දුටු කල්හි ද, තමා ඇලුම් කරන දෙයක් අනුන් ඉල්ලන කල්හි ද, අනුන්ගෙන් තමා ඉල්ලන දෙයක් නුදුන් කල්හි ද, තමා කියන වැඩක් අනුන් නො කළ කල්හි ද, තමා ගේ කීම අනුන් නො පිළිගන්නා කල්හි ද, අනුන් තමාට සතුරු කම් කරන කල්හි ද, සතුරන් දක්නා කල්හි ද, තමාට කළ සතුරු කම් සිහි වන කල්හි ද, බොහෝ දෙනාට ද්වේෂමූල සිත් උපදී.

මා – පිය, දූ – දරු ආදි හිතවතකු මළ කල්හි ද, අන් අලාභයක් වූ කල්හි ද, තමා අතින් විශාල වරදවල් සිදු වූ කල්හි ද, ශෝක කිරීම් වශයෙන් උපදින්නේ ද ද්වේෂමූල සිත් ය.

තමාට වඩා හොඳින් කන – බොන අය, අඳින – පළඳින අය දුටු කල්හි ද, හොඳ රථවාහනවලින් යනෙන අය දුටු කල්හි ද, හොඳ ගෙවල් සාදාගෙන ඉන්නා අය දුටු කල්හි ද, ගරු බුහුමන් ලබන අය දක්නා කල්හි ද ඊර්ෂ්‍යා සහගත ව ද්වේෂමූල සිත් ඇති වේ.

නිතර අනුන්ගේ අගුණ සොයමින් කියමින් සිතමින් ඉන්නා ඇතමුන්ට එක් එක් දිනක බොහෝ ද්වේෂ මූලික අකුසල් සිත් පහළ වේ

3 - මෝහමූල සිත් දෙක (2)

යම් කිසි කරුණක් සිතන කල්හි ඒ කරුණ හරියට දැන ගන්නට නො පිළිවන් වන පරිදි සිත අඳුරු කරන එක්තරා ස්වභාවයකට මෝහය යි කියනු ලැබේ. එය සාමාන්‍යයෙන් අකුසල් සිත් සියල්ලෙහි ම ඇත්තේ ය. එය මෝහ මූල චිත්තයෙහි බලවත් ව ඇත්තේ ය. මෝහ මූල චිත්තය බෙදෙන්නේ විචිකිච්ඡා, උද්ධච්ච යන චෛතසික දෙකෙනි.

බුද්ධාදි රත්නත්‍ර‍ය ගැන හා පින් පව්වල විපාක, මරණින් මතු නැවත ඉපදීම යනාදිය ගැන හටගන්නා සැකය විචිකිච්ඡා නම් වේ. යම් කිසිවක් සිතන කල්හි කරන කල්හි සිතෙහි හටගන්නා නො සන්සුන් ගතිය කලබල ගතිය උද්ධච්ච නම් වේ. මෝහමූල චිත්තය සමහර අවස්ථාවෙක විචිකිච්ඡාවෙන් යුක්ත ව ද සමහර අවස්ථාවෙක බලවත් උද්ධච්චයෙන් යුක්ත ව ද උපදී.

මෝහමූල චිත්තය, අරමුණේ සැටි වසන මෝහයෙන් යුක්ත වන නිසා ද, අරමුණ ගැන නිශ්චයක් නැති නිසා ද, උද්ධච්චයාගේ වශයෙන් සැලෙන නිසා ද, අරමුණු රසය හොඳින් ගැනීමට සමත් නොවේ. එබැවින් සෑම කල්හි ඒ සිත උපේක්ෂා සහගත ම වේ.

සැකය ය නො සන්සුන් කම ය යන මේ දෙක ප්‍ර‍කෘතියෙන් ම සත්ත්වයන් තුළ ඇති වන කරුණු දෙකකි. ඒවා කෙනකුගේ මෙහෙයීමෙන් ඇති වන ධර්ම නො වේ. එබැවින් මෝහමූල චිත්තයෙහි සඞ්ඛාර භේදය නො ලැබේ. සියලු ම මෝහමූල සිත් අසඞ්ඛාරිකය.

  1. උපේක්ෂා සහගත විචිකිත්සා සම්ප්‍ර‍යුක්ත සිතය
  2. උපේක්ෂා සහගත ඖධත්‍ය සම්ප්‍ර‍යුක්ත සිතය යි මෝහමූල සිත් දෙකකි.

මෝහමූල සිත් දුබල බැවින් ඒවායින් ලෝභමූල දෝසමූල සිත්වලින් මෙන් බරපතල විපාක ඇති නො වේ. විචිකිච්ඡා සහගත සිතෙහි ඇති විශේෂ නපුර නම් එය ඇති වන තැනැත්තා ගේ සිත පස්කම් සැපයට මිස කුශලයට නො නැමීම ය. විචිකිච්ඡාව ඇතිව කුශලයක් කළත් එය බලවත් කුශලයක් නො වේ.

සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ ඥානය ඉක්ම වූ උසස් නුවණ ඇති බුද්ධාදී මහෝත්තමයන්ට මිස, සෙස්සන්ට අවිෂය වූ කරුණු විවේචනය කරන්නට යෑමෙනුත්, පරලොව ආදිය පිළිබඳ ව සාමාන්‍ය ජනයා කරන පුහු විවේචන ඇසීමෙනුත්, කියැවීමෙනුත් බොහෝ දෙනාට විචිකිච්ඡාව වැඩි වේ. එය දුරු කර ගැනීමට ඇත්තා වූ උපාය නම් තමාගේත් බුද්ධාදීන්ගේත් වෙනස තේරුම් ගෙන ශ්‍ර‍ද්ධාව දියුණු කර ගැනීමය.

උද්ධච්ච සහගත සිත වනාහි හදිසියෙන් පැමිණෙන කරුණුවලදිත් එක විට බොහෝ වැඩ කිරීමේදීත් ඉක්මනින් වැඩ කිරීමේදීත් සමහර විට ඇති වන්නකි. ඉතා දුබල බැවින් මරණින් මතු සත්ත්වයා අපායට පැමිණවීමේ ශක්තිය ද ඒ සිතට නැත. ඉතිරි අකුසල් සිත් එකොළොසට අපායට පැමිණවීමේ ශක්තිය ඇත්තේ ය.

ලෝභමූල සිත් අට ය, ද්වේෂමූල සිත් දෙක ය, මෝහමූල සිත් දෙකය කියා අකුසල් සිත් දොළොසෙකි.

ඒ සිත් දොළොසෙහි සෝමනස්ස සහසගත සිත් සතරක් ද, උපේක්ෂා සහගත සිත් සයක් ද, දෝමනස්ස සහගත සිත් දෙකක් ද, අසඞ්ඛාරික සිත් සතක් ද, සසඞ්ඛාරික සිත් පසක් ද ඇත්තේ ය.

මෝහමූල සිත් දුබල බැවින් ඒවායින් ලෝභමූල දෝසමූල සිත්වලින් මෙන් බරපතල විපාක ඇති නො වේ. විචිකිච්ඡා සහගත සිතෙහි ඇති විශේෂ නපුර නම් එය ඇති වන තැනැත්තා ගේ සිත පස්කම් සැපයට මිස කුශලයට නො නැමීම ය. විචිකිච්ඡාව ඇතිව කුශලයක් කළත් එය බලවත් කුශලයක් නො වේ.

සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ ඥානය ඉක්ම වූ උසස් නුවණ ඇති බුද්ධාදී මහෝත්තමයන්ට මිස, සෙස්සන්ට අවිෂය වූ කරුණු විවේචනය කරන්නට යෑමෙනුත්, පරලොව ආදිය පිළිබඳ ව සාමාන්‍ය ජනයා කරන පුහු විවේචන ඇසීමෙනුත්, කියැවීමෙනුත් බොහෝ දෙනාට විචිකිච්ඡාව වැඩි වේ. එය දුරු කර ගැනීමට ඇත්තා වූ උපාය නම් තමාගේත් බුද්ධාදීන්ගේත් වෙනස තේරුම් ගෙන ශ්‍ර‍ද්ධාව දියුණු කර ගැනීමය.

උද්ධච්ච සහගත සිත වනාහි හදිසියෙන් පැමිණෙන කරුණුවලදිත් එක විට බොහෝ වැඩ කිරීමේදීත් ඉක්මනින් වැඩ කිරීමේදීත් සමහර විට ඇති වන්නකි. ඉතා දුබල බැවින් මරණින් මතු සත්ත්වයා අපායට පැමිණවීමේ ශක්තිය ද ඒ සිතට නැත. ඉතිරි අකුසල් සිත් එකොළොසට අපායට පැමිණවීමේ ශක්තිය ඇත්තේ ය.

සාරාංශය - අකුසල් සිත් 12

  1. ලෝභමූල සිත් අට (8) ය,
  2. ද්වේෂමූල සිත් දෙක (2) ය,
  3. මෝහමූල සිත් දෙකය (2) කියා අකුසල් සිත් දොළොසෙ (12) කි.

ඒ සිත් දොළොසෙහි

    1. සෝමනස්ස සහසගත සිත් සතරක් (4) ද,
    2. උපේක්ෂා සහගත සිත් සයක් (6) ද,
    3. දෝමනස්ස සහගත සිත් දෙකක් (2) ද,
    4. අසඞ්ඛාරික සිත් සතක් (4) ද,
    5. සසඞ්ඛාරික සිත් පසක් (5) ද  ඇත්තේ ය.
මෙම ලිපියට සම්බන්ධ ලිපි:

මෙම ලිපිය පිළියෙල කළේ අන්තර්ජාලය ඇසුරෙනි. 

අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම අන්තර්ගත කරුණු හා ඡායාරූප හුදෙක්
ධර්ම දානයක් ලෙස ඉදිරි ඉදිරිපත් කරන ලදී.

මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද, එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන්, ප්‍රථමයෙන් මෙම ලිපිය සහ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පින්වත් ස්වාමීන් වහන්සේලාට, පින්වත් මහත්ම මහත්මීන් වෙතට, එසේම මෙම ලිපිය ඔබ වෙත පිරිනමන මා හට ද, මෙසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.

මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!

සාදු… සාදු… සාදු…

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org

Scroll to Top