බුදු සසුන රැකීමෙහිලා වත්මන් භික්‍ෂු පරපුරේ භූමිකාව

උපුටා ගන්නා ලද්දේ  2021 ජනවාරි මස 30 වන සෙනසුරාදා “ලංකාදීප  පුවත්පතිනි.

ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ

බුදුන් වහන්සේගේ සමකාලීන ශාස්තෘෘන් වහන්සේ කෙනෙක් වූ ජෛන ආගමේ 24 වන ශාස්තෘෘන් වහන්සේ වූ මහා වීර තුමන් මියගිය පසු ඔහුගේ අනුගාමිකයන් අතර නොයෙකුත් මතභේද සහ අර්බුද මතු වීම හේතුවෙන් එහි සංවිධානාත්මක ස්ථරය බිඳ වැටෙමින් පැවතුනි. එය දුටු බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද හිමියන් කනස්සල්ලට පත්ව බුදුන් වහන්සේගෙන් අසා සිටියේ බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව අපගේ ශාසනයේ ද ඒ ආකාරයේ නොසන්සුන්තාවන් සහ බිඳ වැටීම් සිදු වේ ද යන්නයි. බුදුන් වහන්සේ වදාරන ලද්දේ භික්ෂූන් වහන්සේ විනය ආරක්ෂා කරන තාක් උන්වහන්සේගේ ශාසනයේ පිරිහීම් හෝ බිඳ වැටීම් සිදු නොවන බවය. “විනයෝ නාම සාසනස්ස ආයු” වශයෙන් දෙවැනි ධර්ම සංගායනාවේ දී ප්‍රකාශ වූයේ ශාසනයේ ආයුෂ තීරණය වන්නේ විනයේ පැවැත්ම ඇති තාක් යනුවෙනි.

 

රාග, ද්වේශ, මෝහ යන අන්ධකාරයන්ගෙන් පෙළෙන ජනතාව ජීවත් වන ලෝකය සැමදා පවතිනුයේ අවුල් ජාලයක් ලෙසිනි. වරක් බුදුන් වහන්සේ වෙත සපැමිණි දෙවියෙක් මෙසේ ප්‍රශ්න කළහ.

 

“අන්තො ජටා බහි ජටා – ජටාය ජටිතො පජා
තංතං ගොතම පුජ්ජති – බෙ ඉමං විජටයෙ ජටා”

 

එහි තේරුම නම්, ඇතුළත් අවුල් ය, පිටතත් අවුල් ය, බැලු බැලූ අත අවුල් ජාලයකි. අවුල්වලින් තොර සැනසුමක් ඇත්තේ කොතැන ද යන්නයි.

 

කලින් කල ලොව තුළ ශාස්තෘෘන් වහන්සේ බිහි වන්නේ ද, උන්වහන්සේලාට අනුගාමිකයන් ඇති වන්නේ ද මෙම අවුල නිසාවෙනි. මුල් කාලයේ මිනිස්සු සිය බුද්ධිමය විඤ්ඤාණයට ග්‍රහණය කරගත හැකි ආකාරයේ ඉගැන්වීම් පිළිබඳ විශ්වාසය තබා කටයුතු කළහ. මහා භාරතයේ බුදුන්වහන්සේ පහළ වනවිට එහි දෙසැටක් මිථ්‍යා දෘෂ්ටික ආගම් පැවතියේ ඒ නිසාවෙනි. එකල මහා භාරතය “දිට්ටි ගහනං – දෘෂ්ටි කන්තාරං” යනුවෙන් හැඳින්වූයේ සත්‍ය සොයා විවිධ මාර්ග අනුගමනය කළ ජන කොටස්වලින් පිරී පැවතුණ නිසා ය. එහෙත් බුදුන්වහන්සේගේ ධර්මයත් සමග ඒකාලෝක වූ මහා භාරතය තුළ අති මහත් ජන කොට්ඨාසයක් බෞද්ධ දර්ශනය අනුගමනය කිරීමට පටන් ගත්හ. එසේ ඇති වූ බුදුන්වහන්සේගේ අනුගාමික සංඝ ශාසනය කලින් කල සංවිධානාත්මකව ශක්තිමත් වෙමින් ද, කලින් කල පිරිහීමට පත් වෙමින් ද පැවත ආ බවට ඉතිහාසයේ සාක්ෂි ඕනෑ තරම් පවතී.

 

බුදුන්වහන්සේගෙන් පසු ලෝකය තුළ රාග, ද්වේශ, මෝහ ගින්නෙන් දැවෙන අනන්ත අප්‍රමාණ මනුෂ්‍යයන් කෙරෙහි අසීමිත වූ කරුණා ගුණයෙන් යුතු ව බුදුන්වහන්සේ සංඝ ශාසනය ස්ථාපනය කොට පවත්වාගෙන යාම පිණිස අවශ්‍ය සියලු‍ ශික්ෂාපද පනවන්නට යෙදුණි. බුදුන්වහන්සේ බුද්ධත්වයෙන් පසු පළමු වසර 20 තුළ විනය ශික්ෂා නොපැනවූ අතර සංඝ සමාජය සුරක්ෂිත වීම පිණිස ඕවාද ප්‍රාතිමෝක්‍ෂය ප්‍රමාණවත් කොට සැලකූහ. එය ධම්ම පදයේ 183, 184 සහ 185 ගාථාවල අන්තර්ගතය. සුධින්න නම් භික්ෂුවකගේ සිද්ධියකින් ආරම්භ වී වරින් වර බුදුන්වහන්සේ භික්ෂූන් වෙනුවෙන් ශික්ෂා පද 227 ක් ද, භික්ෂුණීන් වෙනුවෙන් ශික්ෂා පද 311 ක් ද පැනවූහ.

 

බුදුන්වහන්සේ ජීවමානව වැඩසිටි කල ද අසමගි වූ භික්ෂූන්වහන්සේ නිසා ශාසනයට අපකීර්තියක් ඇති වූ අවස්ථා තිබුණි. කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ භික්ෂූන් නොවටිනා කාරණයක් සම්බන්ධයෙන් දෙපිලකට බෙදී ඇති කර ගත් ආරවුල විසඳීමට බුදුන්වහන්සේට ද නොහැකි විය. අවසානයේ බුදුන්වහන්සේ ඉන් පිටත්ව පාරිල්‍යෙය වනයේ වැඩසිටි සමයේ අසමගි භික්ෂූන් කෙරෙහි අපැහැදුන දායකයෝ ඝෝෂිතාරාමයේ භික්ෂූන්ට දානය පිරිනැමීමෙන් වැළකී සිටියහ. එවිට එම භික්ෂූන් බුදුන්වහන්සේ අබියසට පැමිණ සමාව අයැද නැවතත් ඝෝෂිතාරාමයට වැඩම කරවා ගැනීමට කටයුතු කළහ.

 

දෙව්දත් තෙරගේ අනුගාමික සාති භික්ෂුව බුදුන්වහන්සේගේ ධර්මය විකෘති කරමින් ගමින් ගමට ගොස් දේශනා කළේ බුදුන් වැඩසිටි දෙව්රම් වෙහෙරේ සිටමය. එමෙන්ම ගිහි කල සිය මස්සිනා වූ දෙව්දත් භික්ෂුව බුදුන්වහන්සේගේ දිවි තොර කරවීමට තෙවරක්ම උත්සාහ කොට බුදුන්ගේ ලේ සොලවා ආනන්තරීය පාප කර්මය සිදුකොට අපාගත විය.

 

බුද්ධ පරිනිර්වාණයත් සමගම සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර වචනය හේතුවෙන් මාස 03 ක කාලයක් තුළ පළමු ධර්ම සංගායනාව පවත්වා සංඝ ශාසනය පාරිශුද්ධත්වයට පත් කිරීම සිදු විය. එහි දී තීරණය වූයේ ධර්මයට කලින් විනය කරුණු සංගායනා කළ යුතු බව ය. ඊට හේතු වූයේ බෞද්ධ සාසනය පවතිනුයේ බෞද්ධ විනය පවත්වාගෙන ගියහොත් පමණක් වන නිසාවෙනි.

 

ඉන් පසුව බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100කට පසු කාලාශෝක රජුගේ අනුග්‍රහය ඇතිව විශාලා මහනුවර වාලු‍කාරාමයේ 700 ක් මහ රහතන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් දෙවැනි ධර්ම සංගායනාව පවත්වා වජ්ජිපුත්තක භික්ෂූන්ගේ දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය හැර දමා සංඝ ශාසනය පරිශෝධනය කොට බෞද්ධ පුනර්ජීවයක් ඇති කළ අතර එහි දී දුසිල්වත් භික්ෂූහු 10,000 ක් ශාසනයෙන් නෙරපා දමනු ලැබූහ.

 

ඉන් පසුව අශෝක අධිරාජයාගේ කාලයේ මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අශෝකාරාමයේ දී 3 වැනි ධර්ම සංගායනාව පවත්වා දුසිල්වත් භික්ෂූන් 60,000ක් ශාසනයෙන් නෙරපනු ලැබූහ.

 

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනයෙන් පසු ලංකාවේ ස්ථාපනය වූ සංඝ ශාසනය අනුරපුර වලගම්බා රජු සමයේ දී අසමගිකාරී තත්ත්වයකට පත්ව ශාසනය නිකාය වශයෙන් බෙදීම ආරම්භ විය. ඊට හේතුව වූයේ සතර දිගින් වඩිනා මහා සංඝයා වෙනුවෙන් පූජා කළ යුතු සාංඝික දේපළක් වූ අභයගිරි විහාරය මහා තිස්ස හිමියන්ට පෞද්ගලිකව පූජා කිරීම ය.

 

මජ්ජිම නිකායේ උපරිපන්නාසකේ, විභංග වග්ගයේ, දණ්ඩක විභංඝ සූත්‍රයේ සඳහන් පරිදි වරක් මහා ප්‍රජාපතී ගෝතමී භික්ෂුණිය බුදුන්ට සළුවක් පූජා කළ අවස්ථාවේ උන්වහන්සේ අනුදැන වදාළේ එය බුදුන්ට නොව මහා සංඝයාට පූජා කරන ලෙසය. එහිදී බුදුරජාණන් වහන්සේ සාංගීකව මහා සංඝයාට පූජා කිරීමේ වටිනාකම පෙන්වා ඇත. කෙසේ වුවද ඉහත විස්තර කළ පරිදි ඇති වූ සංඝ විභේදනය පොලොන්නරු යුගයේ පරාක්‍රමබාහු රජු දවස ඔහුගේ බිසවුන්ගේ අනුග්‍රහයෙන් මහා කාශ්‍යප තෙරුන්ගේ මූලිකත්වයෙන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ධර්ම සංගායනාවක් පවත්වා නිකාය භේදය තුරන්කොට සංඝ සමගිය ඇති කරන ලදී. පසු කාලයේ දඹදෙණි යුගයේ දී ද දඹදෙණි කතිකාවත මගින් ශාසන ප්‍රතිශෝධන ඇති කරන්නට විය.

 

වර්තමානයේ ද බුද්ධ ශාසනයේ පැවැත්ම පිළිබඳ විශාල ලෙස මතභේදවලට ලක් වන දෑ සිදු වෙමින් පැවතීම ලෝකවාසී බෞද්ධයන්ගේ මහත් වූ කනස්සල්ලට හේතුවක් වී ඇත. ලෝකය පුරා දේශ සීමා, ජාතිකත්ව, භාෂාමය ප්‍රතිපත්ති, ආගමික මතිමතාන්තර යනාදිය මුල් කරගෙන තැනින් තැන ගැටුම් ඇති වීම මානව ඉතිහාසය පුරාවට දක්නට ලැබුණි. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ හිටපු මහාචාර්ය ආර්නෝල්ඩ් ටොයින්බි පවසා ඇත්තේ මානව ඉතිහාසය තුළ ලෝකයේ කොතැනක හෝ යුද ගැටුමක් නොමැතිව ලෝකය පැවති දීර්ඝතම කාල සීමාව අවුරුදු 14ක් තරම් සුළු කාලයක් වූ බවය. එකම ආගම තුළ වුව ද සුළු සුළු කරුණු මුල් කොටගෙන බෙදී පවතින නිකාය හේතුවෙන් ලෝකය තුළ නිරන්තරයෙන්ම ගැටුම් නිර්මාණය විය. එහෙත් බෞද්ධ දර්ශනය යනු එයට හාත්පසින් වෙනස් වූ ගැඹුරු යථාර්ථවාදී දර්ශනයක් මත පදනම් වූවකි. අවිහිංසාව, කරුණාව, දයාව, අනුකම්පාව වැනි ගුණාංගවලින් උතුරා ගිය හදවත් ඇති දැහැමි මිනිසුන් නිර්මාණය කිරීම මගින් මනුෂ්‍යයන්ට පමණක් නොව සතා-සිව්පාවා, ගහ-කොළ යනාදී සියල්ලටම නිසි ලෙස ආරක්ෂාව සහ රැකවරණය ලැබීමේ ක්‍රමවේදය ඒ තුළ ඇතුළත්ය.

 

එකී උත්තුංග අරමුණු සාක්ෂාත් කර ගැනීමට නම් උත්තරීතර වූ පාරිශුද්ධ සංඝ ශාසනයේ පැවැත්ම අත්‍යවශ්‍යය. ලොවක් කම්පිත කළ කාලිංග දේශය ලෙයින් තෙත් කළ කුරිරු සහ දැඩි චිත්ත සන්තානයක් පැවති චණ්ඩාශෝක වැනි රජකුගේ සිත සන්සුන්කොට මහා කාරුණික පාලකයකු කිරීමේ හැකියාව සංඝ ශාසනයේ සුසිල්වත් වූ අවුරුදු 08 ක් වයසැති කුඩා සාමණේර නමක් වූ නිග්‍රෝධ හිමියන් තුළ පැවතීම තුළින් ප්‍රකටව පෙනී යන කරුණ වන්නේ බෞද්ධ භික්ෂුවකගේ ශීලය අනාගත ලෝකයේ ගමන් මග වෙනස් කිරීමට හැකි ප්‍රබල සාධකයක් වූ බවය. එම කුඩා සාමණේර නම නොසිටින්නට ධර්මාශෝක කෙනෙක් බිහි නොවන අතර අනුබුදු මිහිඳු හිමි නමක් සහ සංඝමිත්තා මහ තෙරණින් වහන්සේ නමක් ලොවට බිහි නොවන්නට ඉඩ තිබුණි. එසේ වූයේ නම් ලාංකේය අපට ධර්මාලෝකය දර්ශනය නොවීමට ඉඩ තිබුණි.

 

අනුරපුර සමයේ කාලිංග මාඝ ආක්‍රමණයේ පටන් චෝළයන් ද, ද්‍රවිඩයන් ද, යුරෝපීය පෘතුගීසි, ඕලන්ද සහ ඉංග්‍රීසීන් ද වරින් වර මෙරට ආක්‍රමණය කොට බෞද්ධ වෙහෙර විහාරස්ථාන විනාශ කරමින් සංඝ ශාසනයත්, බෞද්ධ දර්ශනයත් මේ පොළොවෙන් මකා දැමීමට කොතෙකුත් නම් වෙහෙසක් දරා ඇත. එහෙත් මහාවංශයේ සඳහන් පරිදි බුදුන්වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටිමින් මහා බ්‍රහ්මයාට ද වදාරා ඇත්තේ උන්වහන්සේගේ ශාසනය දීර්ඝතම කාලයක් පවතිනුයේ ලංකාද්වීපයේ බව ය. එය යථාර්ථයක් වෙමින් ජාතියට ආගමට එරෙහිව පැන නැගුණු සියලු‍ බලවේග මැඩපවත්වමින් සංඝ සමාජයත් නිර්මල බෞද්ධ දර්ශනයත් අද දක්වාම රට තුළ ජීවමානව ඇත.

 

එහෙත් මෙරට සංඝ ශාසනය පිළිබඳව දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් බරපතළ චෝදනා එල්ල වෙමින් පැවතීම අතිශය කනගාටුදායක තත්ත්වයකි. බෞද්ධයන් අන්‍යාගම්වලට හරවා ගන්නා බවට එලෙසින්ම චෝදනා එල්ල වෙමින් පවතී. නොයෙකුත් තෑගි බෝග දෙමින් දුප්පත් අසරණ බෞද්ධ ජනතාව එම ව්‍යාපෘතිවල ගොදුරු බවට පත් වෙමින් සිටිති. අනෙක් අතට ගමේ ජනතාවත් පන්සලත් අතර ඓතිහාසික වශයෙන් පවත්වා ගෙන ආ සමීප සම්බන්ධතාව බිඳ වැටීම හේතුවෙන් මෙවැනි සමාජ විපර්යාස සිදුවන බව ද සමහරුන්ගේ මතයයි. ඒ සඳහා අණපනත් නීති රීති ගෙන ඒමට ද කටයුතු කර ඇති මෙම වකවානුවේ නීතිය මගින් පමණක් මෙවැනි ප්‍රශ්න විසඳාගත හැකි ද යන්න පිළිබඳව ප්‍රඥා සම්පන්න බෞද්ධයන් කල්පනා කළ යුතු ය.

 

මෙම වකවානුවේ පැවිද්දන්ගේ මෙන්ම ගිහියන්ගේ ද විනය පිරිහීම පිළිබඳ කතිකාවතක් රට තුළ පවතින බව උදේ හවා නිරන්තරයෙන් සවනට වැකෙන ධර්ම දේශනා ඇතුළු බොහෝ මාධ්‍ය ප්‍රචාර තුළින් අසා දැකගත හැකි ය. බෞද්ධ දර්ශනය යනු සමාජය තුළ ප්‍රතිරූප ගොඩනැගීම සඳහා වූ පිරුවටයක් නොව ප්‍රතිපත්ති තුළින් ආදර්ශවත් ලෙස ප්‍රඥා සම්පන්න භාවය වර්ධනය කර විමුක්තිය කරා ළඟා වීමට ඇති මාර්ගයකි. ඒ සඳහා සිව්වනක් පිරිස අවශ්‍ය බව පිළිගත යුතු ය. බුදුන් වහන්සේ බුදු වූ මොහොතේ පවා මාරයා පැමිණ ආරාධනා කළේ උන්වහන්සේට පිරිනිවන් පාන ලෙස ය. එහෙත් උන්වහන්සේ මාරයාට පිළිතුරු දුන්නේ වියත්, විනීත, බහුශ්‍රැත, විශාරද, ධර්මධර, ධර්මානුධම්ම පටිපත්තියන්හි ප්‍රගුණ වූ භික්ෂු-භික්ෂුණී, උපාසක-උපාසිකා සිව්වනක් පිරිසක් නිර්මාණය කරන තෙක් උන්වහන්සේ පිරිනිවන් නොපාන බව ය. ථෙරවාදී බුදු දහමෙන් පෝෂිත මෙරට තුළ භික්ෂුණී ශාසනය පිළිබඳ මතභේදකාරී තත්ත්වයක් පැවතිය ද අනෙකුත් තුන් පිරිස අප සමාජය තුළ විශාල මෙහෙයක් ඉටු කරමින් සිටින බව පැහැදිලි ය.

 

බෞද්ධ සමාජ සංස්ථාව බිඳ වැටෙමින් පැවති අවධියක අසරණ සරණ සරණංකර හිමිපාණන් තායිලන්තයට ගොස් යළිත් වරක් උපසම්පදාව මෙරටට ගෙන එමින් සංඝ සමාජය පෝෂණ කරවූහ. අනගාරික ධර්මපාලතුමන් ද, පානදුරාවාදයේ නියමුවන් වූ මිගෙට්ටුවත්තේ ගුණානන්ද, හික්කඩුවේ ශ්‍රී සුමංගල වැනි නාහිමියෝද, සාසන අභිවෘද්ධිය සඳහා මහත් සේ කැපකිරීම් කළහ. එහෙත් වර්තමානයේ දී මෙරට පවතින අවස්ථාවාදී කුහක දේශපාලන බලවේග හේතුවෙන් සංඝ සමාජය පිළිබඳ ගිහි ආකල්ප එන්න එන්නම වෙනස් වෙමින් පවතී. බල තෘෂ්ණාවෙන් පෙළෙන පාලකයන් සිය බලය රඳවා තබා ගැනීම පිණිස හෝ බලය අල්ලා ගැනීම පිණිස හෝ සමහර භික්ෂූන් වහන්සේට කාසි-පනම්, යාන-වාහන, ඉඩකඩම්, රට සවාරි යනාදී අල්ලස් ලබා දෙමින් තමන් වෙත නතු කර ගැනීම හරහා සංඝ සමාජයේ පැහැදිලි බෙදීමක් සිදුකොට ඇත. සංඝ සමාජයේ ශක්තිය පවතිනුයේ ස්වාධීන ලෙස බුදුන්ගේ ධර්මය අනුගමනය කරමින් ඔවුන් දැහැමි මගක ගමන් කරවීමට හුරු පුරුදු කිරීම මතය.

 

ලොව අන් රටවල මෙන්ම මෙරට ද වෘත්තීය සමිති ආරම්භ වූවේ සේවක අයිතීන් ආරක්ෂා කිරීමේ සද්භාවමය චේතනාවෙනි. අද ඒවා පවතිනුයේ යම් යම් දේශපාලන පක්ෂවල අතකොළු ලෙසින් පමණි. ඒවායේ නායකයන්ට ලැබෙන යම් යම් ලාභ ප්‍රයෝජන ලබා ගනිමින් පක්ෂවලට මුක්කු ගැසීමේ කාර්යය මිස අව්‍යාජ ලෙස සේවකයන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමේ සමිතියක් ඇත්තේදැයි සැක සහිත ය. දේශපාලනඥය‍න්ගේ අභිමතාර්ථය භික්ෂු සමාජය ද එම තත්ත්වයටම පත් කර ගැනීම ය.

 

එහෙත් වර්තමානයේ සිව් පසය සහ ලාභ සත්කාර වෙනුවෙන් ශාසනය භාර සහ ශාසනය රකින මහානායක හිමිවරුන්ට පවා අභියෝග කරමින් ශාසනයට හානිකර ලෙස සමහර භික්ෂූන් කටයුතු කිරීම නිසා ගිහි පාර්ශ්වයේ ද බොහෝ ඇත්තෝ මේ වනවිට ශාසනය පිළිබඳව කලකිරීමට පත්ව සිටිති.

 

යම් යම් දෑ ගිහියන් විසින් සිදු කරනු ලබන නිසා භික්ෂූන්ට ද එය කැප යැයි සිතමින් තර්ක කරන භික්ෂූහු ද සිටිති. එහෙත් භික්ෂු සමාජයේ සහ ගිහි සමාජයේ වෙනස අපි හරියාකාර ලෙස තේරුම් ගත යුතු ව ඇත.

 

ලංකාවේ මිනිසුන් ඕනෑ තරම් මිනී මරා ඇත. එය සදහටම සිදු වෙමින් පවතී. එහෙත් 1959 බණ්ඩාරනායක මහතාට වෙඩි තැබුවේ භික්ෂුවක් වීම නිසා මුළු මහත් සංඝ සමාජයම පීඩාවට පත් විය. කාලයක් යන තෙක් බොහෝ භික්ෂූන්ට දානය නොලැබුණි. දුම්රියේ, බස් රියේ ආසනත් නොලැබුණි. එම අවාසනාවන්ත තත්ත්වය ඇති වූයේ භික්ෂුවක් විසින් බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීම නිසාවෙනි.

 

අංගුත්තර නිකායේ තෘතීක භාගයේ අනාගත භය සූත්‍රයේ දී බුදුන්වහන්සේ දේශනාකොට ඇත්තේ කෙදිනක හෝ සංඝ ශාසනය පිරිහෙන්නේ ශාසනය තුළ සිටින සංඝයා වහන්සේම නිසා බව ය. එහි සඳහන් පරිදි එයට හේතු 06 ක් බලපායි.

 

  1. භික්ෂූන් උපසම්පදා ශීලය නොරැකීම.
  2. භික්ෂූන් ධර්මය ගවේෂණය නොකිරීම.
  3. භික්ෂූන්ට සිව්පසය බහුල වීම.
  4. භික්ෂූන් රාජ්‍ය තන්ත්‍රයට සහභාගී වීම.
  5. භික්ෂූන් නිසි ලෙස ක්‍රියාත්මක නොවීම. (සුඛෝපභෝගී ලෙස සිවුරු, පිණ්ඩපාත, සේනාසන හා ගිලානුප්‍රත්‍ය ආදී සිව්පසේ බලාපොරොත්තු වීම.)
  6. ගැඹුරු දහම් ඉගෙන නොගනිමින් ධර්මය නිසි ලෙස අවබෝධ කර ගැනීමට කටයුතු නොකිරීම.

කූටදන්ත සූත්‍රයේ සඳහන් පරිදි භික්ෂූන් වහන්සේ දෙතිස් තිරිසන් කතාවෙන් වැළකී සැදැහැයෙන් දෙන බොජුන් වැළඳිය යුතු වේ. දෙතිස් තිරිසන් කතා යන්නට රාජ කතා, වීර කතා, චෝර කතා යනාදිය ඇතුළත්ය.

 

ඒ පිළිබඳ තවත් උදාහරණයක් මහා සුපින ජාතකයේ සඳහන් ය. කොසොල් රජු ද දුටු සිහින 16න් එක් සිහිනයක් වූයේ ලක්ෂයක් වටිනා සඳුන් හරයක් කුණු මොරට විකිණීමය. එම සිහිනයේ තේරුම පැහැදිලි කරමින් බුදුන් දේශනා කළේ;

 

“මහ රජ අනාගතයේ සිව්පසය කෙරෙහි ලොල් වන්නා වූ භික්ෂූන් බොහෝ වන්නාහුය. මා විසින් අල්පේච්ඡතාව පිළිබඳව දේශනා කරන ලද ධර්මය ඔවුන් වෙනත් අයුරකින් දේශනා කරනු ලබයි. නිර්වාණය මුල්කොට ගෙන ධර්මය දේශනා නොකරමින් සමහර භික්ෂූන් වීදි මධ්‍යයෙහි හතරමං හන්දිවල, වාහල්කඩවල සිට කහවනු ලබා ගැනීමේ අරමුණින් දහම් දෙසති. එහි කෙළවර ශාසනය පිරිහී යාමය”. කොසොල් රජු දුටු සිහින අතරින් තවත් එක් සිහිනයක් වූයේ ලබු කබල් දියේ ගිලෙද්දී ඝන රන් තහඩු දිය මත පාවීම ය. එහි අර්ථය ලෙස දැක්වූවේ අනාගතයේ බුද්ධිමතුන්ට නිසි තැන නොලැබී ඔවුන් අහු-මුළුවලට තල්ලු‍ වී යද්දී නූගත් මෝඩයන්ට උසස් තනතුරු ලැබී ඉතා උද්දච්ච ලෙස මදයෙන් මානයෙන් පිරී ජනතාවට හිංසාකාරී ලෙස කටයුතු කරන බවය.

 

සුනිල් එදිරිසිංහයන් විසින් ගයනු ලබන,

 

“සිප් කිරි පෙවු මූසිලයන් උඩු මහලේ
අපෙ ගුරුතුමා යයි තවමත් ඉස්කෝලේ”

 

යන ගීතයෙන් පැහැදිලි වන්නේ එම අනර්ථකාරී යුගය මේ වන විටත් උදා වී හමාර බවයි.

සද්ධම්ම ප්‍රතිරූපක සූත්‍රයේ දී බුදුන්වහන්සේ දේශනා කරන ලද්දේ බුද්ධ ශාසනය කවදා හෝ විනාශ වන්නේ බාහිර බලවේගයකින් නොව ශාසනය තුළින් බිහි වන්නා වූ අලජ්ජි භික්ෂූන් නිසාවෙන් බවයි. ඉතාමත් ශක්තිමත් යකඩයක් කවදා හෝ විනාශ වන්නේ බාහිර බලවේගයක් නිසා නොව ඒ තුළින්ම හට ගන්නා මලකඩ තුළින්මය යන උපහැරණය ද ගෙන පෑවේය.

 

සංයුක්ත නිකායේ “ආණි” සූත්‍රයේ සඳහන්ව ඇත්තේ අනාගතයේ ශාසනය පිරිහෙන කාලයේ දී නිවන ගැන නිවැරදි අවබෝධයක් නැති භික්ෂූන් නිසි ධර්මයක් දේශනා නොකොට උන්වහන්සේගේ ධර්මය විකෘති කොට දේශනා කිරීමට පෙළඹෙන බවයි. යමකු ධර්මය වැරදි ලෙස වටහා ගැනීමේ භයානක බව උන්වහන්සේ අලගද්දුපම සූත්‍රයේ දී පැහැදිලි කොට ඇත. එය සර්පයකුගේ වලිගයෙන් අල්ලා ගැනීමකට උන්වහන්සේ සමාන කොට ඇත.

 

බුදුන්වහන්සේ භික්ෂූන්ට අනුදැන වදාළේ “සුඤ්ඤා පරප්පවාදා සීහනාදං නදථ” යනුවෙනි. එනම් පරප්‍රවාද සුන් කරමින් සිංහයන් මෙන් බුදුන් වදාළ චතුරාර්ය සත්‍ය දේශනාව සිදු කරන ලෙස ය.

 

 

භික්ෂූන් කෙරෙහි ගිහියන් (උපාසක-උපාසිකාවන්) ගරු බුහුමන් දැක්විය යුතු ආකාරයත්, සිව්පසේ සැපයිය යුතු ආකාරයත් ගැන බොහොමයක් දේශනාවන්හි දී ගිහියන්ට අසන්නට ලැබේ. එහෙත් දායකයන්ට පවතින ධර්ම විනය පිළිබඳ අවබෝධයේ ප්‍රමාණයට ඔවුන් භික්ෂූන් වහන්සේගෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද යන්න ප්‍රසිද්ධියේ කිසිවෙක් කතා නොකරති. සෑම අහුමුල්ලකදීම ඒ පිළිබඳ විවේචන කරන බව අපි දනිමු. ප්‍රසිද්ධියේ කතා නොකරන්නේ බෞද්ධයාගේ හදවත් තුළ ශාසනය කෙරෙහි පවතින ගෞරවයත්, ශ්‍රද්ධාවත් නිසා ය.

 

ගිහි දායකයකු සංඝ සමාජය කෙරෙහි අහිතකර ලෙස කටයුතු කළ හොත් ඔහුට පත්තනික්ඛුඡ්ඡන කර්මයෙන් දඬුවම් කළ හැකි බව භික්ෂූන් වහන්සේට අනුදැන වදාළහ. එවැනි කර්මයක් පැනවීමට හැකි අවස්ථා 08 ක් බුදුන්වහන්සේ දේශනා කොට ඇත. එනම්,

 

  1. භික්ෂුන්ගේ අලාභය පිණිස කටයුතු කිරීම.
  2. භික්ෂුන්ගේ අනර්ථය පිණිස කටයුතු කිරීම.
  3. භික්ෂුන්ගේ ආවාසය පිණිස කටයුතු කිරීම.
  4. භික්ෂුන්ට ආක්‍රෝෂ පරිභව කිරීම.
  5. මහණුන්, මහණුන් හා බිඳවීම.
  6. බුදුන් කෙරෙහි අගුණ කීම.
  7. දහම් කෙරෙහි අගුණ කීම.
  8. සඟු‍න් කෙරෙහි අගුණ කීම.
  9.  

මෙහි දී බුදුන්වහන්සේ අන්තවාදී ප්‍රතිපත්ති අනුගමනය නොකළහ. ශාසනයේ පැවැත්ම සඳහා අවශ්‍ය මධ්‍යම ප්‍රතිපදාව මත භික්ෂුන් වහන්සේ ද ශාසනයට අහිතකර ලෙස හැසිරේ නම් එම භික්ෂුන් වහන්සේට එරෙහිව අප්‍රසාදය පළ කළ යුතු අවස්ථා 08 ක් ගිහියන්ට පෙන්වා දී ඇත. අප්පසප්පසාද සූත්‍රයේ දී උන්වහන්සේ එම අවස්ථා 08 පහත පරිදි දක්වා ඇත.

 

  1. ගිහියන්ගේ අලාභය පිණිස කටයුතු කිරීම.
  2. ගිහියන්ගේ අනර්ථය පිණිස කටයුතු කිරීම.
  3. ගිහියන්ගේ ආවාසය පිණිස කටයුතු කිරීම.
  4. ගිහියන්ට ආක්‍රෝෂ පරිභව කිරීම.
  5. බුදුන් කෙරෙහි අගුණ කීම.
  6. දහම් කෙරෙහි අගුණ කීම.
  7. සඟු‍න් කෙරෙහි අගුණ කීම.
  8. අගෝචර ලෙස හැසිරීම.

ඉහත සඳහන් වැරදි 08 න් යම් වරදක් සිදු කරනු ලබන භික්ෂුවකට එරෙහිව අනුසාමය (විරෝධය) පළ කිරීමේ අයිතිය බුදුන්වහන්සේ ගිහියන්ට අනුශාසනා කර ඇත්තේ ශාසන විනාශය සිදුවීම වැළැක්වීමට ගිහියන්ගේ දායකත්වය අවශ්‍ය වන නිසා ය. එය ගිහියන්ගේ යුතුකමකි. ගිහියන් ඒ පිළිබඳ නිරන්තරයෙන් කතාබහ නොකිරීම නිසා ගිහියාට ඒ පිළිබඳ අවබෝධයක් නැතැයි යන මතයේ භික්ෂූන් නොසිටිය යුතු ය. එසේ වුවහොත් සිදු වන්නේ ශාසන පිරිහීම ඉක්මන් වීමය. ගිහියන් භික්ෂූන්ට සිව්පසය සැපයීම මෙන්ම ශාසන පරිහානිය වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම ද ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් අත්‍යවශ්‍ය ය. විශේෂයෙන්ම පෙර රජ දරුවන් දෙවැනි සහ තුන්වැනි සංගායනා මගින් දුසිල්වත් භික්ෂූන් ශාසනයෙන් නෙරපා දමා ශාසනය පවිත්‍ර කිරීමේ මහඟු‍ යුතුකම ඉටු කළේ ද එම නිසාමය.

 

මෙහි දී සැලකිය යුතු වඩාත් සුවිශේෂී කරුණ වන්නේ ශාසන අනර්ථය ඇති කරමින් කටයුතු කරන භික්ෂූන් ඇත්තේ අතලොස්සක් බවය. භික්ෂූන් දේශපාලනයට ඇද දැමූ පාලකයෝ ද මෙම සාහසික අපරාධයේ වගඋත්තරකරුවෝය. ශාසනය රකින මහා නායක හිමිපාණන්ට පවා අවනත නොවන නොහික්මුණු භික්ෂූන් දූෂිත දේශපාලනඥයන්ගේ අනුග්‍රහය ද ලබමින් බුද්ධ ශාසනයටත්, සිංහල ජාතියටත් කරනු ලබන අපරාධය නැවැත්වීමට භික්ෂු සමාජය මෙන්ම ගිහි සමාජය ද වගකීම බාරගත යුතු ය. ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ඉන්දියාව වැනි රටවල බුද්ධ ශාසනය අතුරුදන් වීම පිළිබඳව අප කම්පාවට පත් වී සුසුම් හෙළුවත්, මෙරට බුද්ධ සාසනය අතුරුදන් වුවහොත් ඒ වෙනුවෙන් සුසුම් හෙළීමට කිසිවකු හෝ සිටී ද යන්න සැක සහිත ය.

 

සාසනික හා ජාතික වශයෙන් වැදගත් වන්නාවූ කාරණා සම්බන්ධව භික්ෂු සමාජය දේශපාලනික වශයෙන් බෙදී මත දෙකක් දරන්නේ නම් ඉන් සාසනයටත් ජාතියටත් අත්වන සුගතියක් නැත. සියලු භික්ෂූන් වහන්සේ එකම මතයක් දරන විටක දී පමණක් භික්ෂු සමාජයේ ශක්තිය ලෝකයාට දැකගත හැකි ය.

 

දීඝ නිකායේ සීලක්ඛන්ද වග්ගයේ කේවඩ්ඩ සූත්‍රයේ සඳහන් වන්නේ භික්ෂුවක් කුමන හෝ හේතුවක් නිසා වත් රජකුගේ, කුමාරයකුගේ හෝ ගෘහපතියකුගේ පණිවිඩකාරයෙක් හෝ නියෝජිතයෙක් නොවිය යුතු බව ය. ගිහියා බලාපොරොත්තු වන සංඝ සමාජය කුමක් දැයි යන්න සමස්ත භික්ෂු සමාජයටම අවබෝධයක් තිබේ. අද සමහර පන්සල්වල දායක සභා මෙන්ම බෞද්ධ ආයතනවල නායකත්වය ගෙන සිටින්නෝ දුසිරිතෙන් පිරුණු කූට ව්‍යාපාරිකයෝ හෝ ජාවාරම්කරුවෝ වැන්නෝය. ඒ තුළින් ද සැබෑ බෞද්ධ උපාසක උපාසිකාවෝ දැඩි කලකිරීමට පත් වී සිටිති.

 

එහෙත් ශාසනය රැකෙනුයේ දූෂිත කූට ව්‍යාපාරිකයන්ගේ මුදල් බලය හෝ දේශපාලන බලය මත නොව අසරණ දුගී දුප්පත් බෞද්ධ උපාසක උපාසිකාවන්ගේ ශ්‍රද්ධාවන්ත භාවය නිසා බව යමකු වටහා නොගන්නේ නම් එය බරපතළ ඛේදවාචකයකි. බෞද්ධ උපාසක උපාසිකාවන් ප්‍රාර්ථනා කරන භික්ෂු සමාජය කුමක් ද යන්න පිළිබඳව අමුතුවෙන් කරුණු කාරණා ඉදිරිපත් කිරීම අනවශ්‍යය.

 

දීඝ නිකායේ උදුම්බරික සූත්‍රයේ බුදුන්වහන්සේ පහත පරිදි දේශනා කොට ඇත.

 

බුද්ධෝ සො භගවා බෝදාය ධම්මං දෙසෙති.
සත්‍යාවබෝධය කළ බුදුරජාණෝ අන් අයගේ සත්‍යාවබෝධය පිණිස දහම් දෙසයි.

 

දන්තො සො භගවා දමථාය ධම්මං දෙසෙති.
ඉන්ද්‍රිය දමනය කළ බුදුරජාණෝ අන් අයගේ ඉන්ද්‍රිය දමනය පිණිස දහම් දෙසයි.

 

සන්තෝ සො භගවා සමථාය ධම්මං දෙසෙති.
ශාන්ත වූ බුදුරජාණෝ අන් අයගේ ශාන්තිය පිණිස දහම් දෙසයි.

 

තිණ්ණො සො භගවා තරණාය ධම්මං දෙසෙති.
ඕඝතරණය කළ බුදුරජාණෝ අන් අයගේ ඕඝතරණය පිණිස දහම් දෙසති.

 

පරිනිබ්බුතො සො භගවා පරිනිබ්බානාය ධම්මං දෙසෙති.
කෙලෙස් පිරිනිවීම කළ බුදුරජාණෝ අන් අයගෙ කෙලෙස් පිරිනිවීම පිණිස දහම් දෙසති.

 

ගිහි සමාජය බුදුන්වහන්සේගේ හෝ රහතන් වහන්සේලාගේ තරමට ආදර්ශවත් සංඝ සමාජයක් වර්තමානයේ බලාපොරොත්තු නොවුණත් ධර්ම විනයෙහි පිහිටුවා කටයුතු කරන සංඝ සමාජයක් ප්‍රාර්ථනා කරයි. එහෙත් වර්තමානයේ රට මුහුණපා ඇති අභියෝග හමුවේ, විශේෂයෙන් බහුජාතික ආක්‍රමණ හේතුවෙන් ශ්‍රී ලාංකිකයනට රට අහිමි වෙමින් යන මොහොතක භික්ෂූන් වහන්සේලාට පැවරී ඇති ඓතිහාසික කාර්යභාර්ය සමග ලෝකෝත්තර සුවය සඳහා වෙන් කළ හැකි කාලය අල්ප බවද පිළිගත යුතුව ඇත.

 

ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ

 

(ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි)

උපුටා ගන්නා ලද්දේ  www.lankadeepa.lk  වෙබ් අඩවියේ
[ URL: http://www.lankadeepa.lk/features/බුදු සසුන රැකීමෙහිලා වත්මන් භික්‍ෂු පරපුරේ භූමිකාව/2-585300 ] දරණ අන්තර්ජාල ලිපිනයේ ඇති ලිපියකි. මෙම ලිපියේ අන්තර්ගතය හා හිමිකාරීත්වය ඉහත වෙබ් අඩවිය සහ එම ලිපියේ සම්පාදකයා සතුවේ.

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org