බිම්සර රජ හා පිරිස උපාසක වීම

උපුටා ගන්නා ලද්දේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් ලියා පළ කරන ලද ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම් බුද්ධ චරිතය නම් කෘතිය ඇසුරිනි.

රජගහ පුර තල්වනයට වැඩීම

භාග්‍යවතුන් වහන්සේ ඒ දුරුතු මැදි පෝදා ම දා පුරාණ ජටිල භික්‍ෂූන් කැටුව උරුවෙල් දනව්වෙන් නික්මුණු සේක. එසේ වඩනා බුදුරජාණන් වහන්සේ රජගහ පුරයට තුන් ගව්වකට ඈත් හි වූ තල් වනයට පැමිණ, එහි නුග රුක්මුලැ වුසූ සේක. උන්වහන්සේ එහි වසන බවත් උන්වහන්සේ ගැන රටේ පැවැති ගුණ සෝෂයත් ඇසූ බිම්සර රජ 120000 ක් පමණ වූ ජන සමූහයක් කැටුව ඔබ දක්නට ආයේ ය. අවුත් දැක ආදරයෙන් වැඳ පසෙක ඉඳ ගත්තේ ය.

 

රජු හා ගිය පිරිසේ සමහරු භාග්‍යවතුන් වහන්සේ හා පිළිසඳර බස් කථා කොට ද, තවත් කෙනෙක් උන්වහන්සේ දෙසට ඇඳිලි බැඳ හිස නමා ආචාර කොට ද, ඇතැම් කෙනෙක් උන්වහන්සේගේ සමීපයෙහි තමන් නම් ගොත් අස්වා ද, අන් සමහරු මේ කිසිත් නො කොට නිශ්ශබ්දව ද හිඳ ගත් හ. එසේ හුන් පිරිසට “කිමෙක් ද? ශ්‍රමණ ගෞතමයෝ උරුවිල්වාකාශ්‍යපයන්ගේ ශිෂ්‍ය වැ මහණ දම් කරත් ද? නැතහොත් උරුවිල්වාකාශ්‍යපයෝ ශ්‍රමණ ගෞතමයන් ගේ ශිෂ්‍ය වැ මහණ දම් පුරත් දැ” යි සැකයෙක් විය. එය දුටු බුදුරජාණන් වහන්සේ “කුමක් හෙයින් ගිනි පිදීම අත් හරින ලද දැ?” යි උරුවිල්වාකාශ්‍යපයන් ගෙන් විචාළ සේකි. එ විට බුද්‍ධ වචන අසා ගිනි පිදීමේ නිෂ්ඵලතාව තේරුම් ගෙන එය හළ බවත්, තමන් බුද්‍ධශ්‍රාවක බවත් කාශ්‍යප තෙරණුවෝ පැවැසූහ. පැමිණ සිටි පිරිස ගේ සැක එයින් ම දුරු විය. මෙහි දී වච්ඡපාල බ්‍රාහ්මණ ආදී හු පැහැදී තෙරුවන් සරණ ගියෝ ය.

 

ඉක්බිති උරුවිල්වාකාශ්‍යපයන් දමනය කිරීම ගැන පිරිස ස්තූති කළ විට ඒ අසා භාග්‍යවතුන් වහන්සේ ඉන් පෙරත් තමන් විසින් ඔහු දමිත කළ බව වදාරා මහානාරද කාශ්‍යප ජාතකය දෙසූ සේක.

 

 

බිම්සර රජ හා පිරිස උපාසක වීම

ඉන් පසු බුදුරජාණන් වහන්සේ ඒ රජ ප්‍රමුඛ පිරිසට දානකථාදි පිළිවෙලින් දම් දෙසූ සේක. එයින් ඔවුන්ගේ සිත් පහන් වූ කල්හි චතුස්සත්‍යය ප්‍රකාශ කළ සේක. ඒ ඇසීමෙන් රජු සහිත 110000 ක් පමණ පිරිස සෝවාන් වූහ. 10000 ක් පමණ උපාසක වූහ. මෙහි දී සිය මිතුරු වූ බිම්සර රජු දැකීමට අවුත් සිටි.123 මහාලි නම් ලිච්ඡවී රජ ද සෝවාන් විය. රාජගෘහ පුර වැසි සිරිවඩ්ඪ බමුණු, සමිද්‍ධි සිටු පුත්, වච්ඡ බ්‍රාහ්මණ ආදිහු ද පැහැදුණවුන් ගෙන් කීප දෙනෙකි. පසු කලෙකැ මොහු පැවිදි වූහ. මේ පිරිසැ සිටි විශාඛ සිටු සෝවාන් විය.

 

බිම්සර රජු ගේ ප්‍රාර්ථනා පස

ඉක්බිති බිම්සර රජතෙම “තමා රජ වීමත්, ඉන් පසු තමාගේ රටට බුදුරජාණන් වහන්සේ ගේ පැමිණීමත්, උන්වහන්සේ ඇසුරු කිරීමත්, බණ ඇසීමත්, ධර්මාවබෝධය කිරීමත් යන බලාපොරොත්තු පහක්” තමාට තුබුණු බවත් දැන් ඒ මුදුන් පැමිණි බවත් කියා තමා තිසරණ ගත උපාසකයකු බව වචනයෙන් ද දන්වා පසු දා දානයට වඩින ලෙස අයැද වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.

 

රජ ගෙදර දානය සහ වේළුවන පූජාව

පසුදා දන් පිළියෙල කොට කාලය දන්වා එවූයෙන් සහ භික්ෂු සංඝයා සහිත බුදුරජාණන් වහන්සේ තල් වනයෙන් පිටත් වූ සේක. භාග්‍යවතුන් වහන්සේ දැකීමේ රිසියෙන් අලුයම වේලේ සිට රැස්වන ජනයාගෙන් රජගහ පුරය ඇලලී ගියෙන් තල්වනයේ සිට තුන් ගව්වක් පමණ දුර රජගහ පුර මාවත අතුරු සිදුරු නැතිවිය. මේ වේලායෙහි එක් පුදුම එළවන සුලු රූපාලංකාරයෙන් යුත් තරුණයෙක් බුදුගුණ ගී කිය කියා භාග්‍යවතුන් වහන්සේට පෙරටුව මඟ අවසර ඇතිකරමින් ගියේ ය. “තමා කාගේ කවුරුදැ” යි විචාරන ජනයාට “මම ධීර වූ, හැම තන්හි දාන්ත, ශුද්ධ, අප්‍රතිපුද්ගල, අරහත් සුගතයන් වහන්සේ ගේ අතවැස්සෙකිමි” යි හෙතෙම කියයි.

 

(මේ රාජගෘහ නගර ප්‍රවේශයේදී ද භාග්‍යවතුන් වහන්සේ දැක බොහෝ ජනයෝ පැහැදී ගියහ. චිත්‍රා සිටු දූ, බිම්සර රජු පුරෝහිතයාගේ දූ සෝමා, කෙළඹී දූ ශුක්ලාශුභා බ්‍රාහ්මණ කන්‍යා ආදී බොහෝ ස්ත්‍රීහු ද භාග්‍යවතුන් වහන්සේ ගේ දර්ශන මාත්‍රයෙන් පැහැද උපාසිකා වූහු. (පසු කාලයේ දී පැවිදි වූහ.)

 

බුදුරජාණන්වහන්සේ මහා සේනාව මැදින් යථොක්ත තරුණයා විසින් අවකාශ ඇති කොටදුන් මාර්ගයෙන් මාළිගාවට වැඩ එහි පණවන ලද ආසනයන්හි භික්ෂු සංඝයා සහිත ව හුන් සේක. රජ තෙමේ ප්‍රණීත ආහාර පානයෙන් සංග්‍රහ කෙළේ ය. දන් වළඳා අවසන් වූ පසු රජ පැත්තෙක හිඳ,

 

“ස්වාමීනී, බුදුන් දහම් සංඝයා ගෙන් තොර ව, ඉඳීම මට කළ නො හැකි යි. එ බැවින් වේලායෙහිත් අවේලායෙහිත් එන්නෙමි. තල් වනය නම් රජ ගෙයින් ඉතා ඈත් ය. අපේ වේළුවන නම් උයන මෙයින් වැඩි ඈත් නො වේ. වඩා ම කිට්ටුත් නො වේ, යෑම ඊම ද පහසු ය, අධික ජනගහනයෙන් ඇති විය හැකි පීඩාත් කිසිත් නැත. විවේක පහසු ඇත්තේය, රුක් සෙවණිනුත් ජලාශයවලිනුත් යුක්ත ය, ගල්තලායෙනුත් සිත් කළු ය, රම්‍ය භූමිභාග ඇත්තේ ය, ගුරුළු පියාපත් වැනි සෙවණ ඇති ගෙවලින්, සඳලු සහිත ගෙවලින්, ප්‍රසාද මණ්ඩප ආදියෙන් ප්‍රතිමණ්ඩිත ය, ඒ උයන භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නා සේක් වා”යි කීයේ ය.

 

මෙසේ කියා රන් කෙංඩියෙන් බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී හස්තයෙහි දිය වත් කොට ආරාමය පරිත්‍යාග කෙළේ ය. බුදුරජාණන් වහන්සේ විහාර දීමේ අනුසස් වදාරා භික්ෂු සංඝයා සහිත ව වේළුවනයට වැඩි සේක. ඉන් පසු මේ කාරණය මුල් කොට ගෙන “මහණෙනි, ආරාම පිළිගැනීමට අවසර දෙමැ” යි වදාළ සේක.

 

ප්‍රෙතයනට පින් පෙත් දීමක්, තිරොකුඩ්ඩ සුත්ත දේශනාව

වේළුවනය පූජා කළ දා රෑ මැදුම් යම්හි තමන් ඉදිරියේ සිට මහ හඬින් හඩා වැලැපෙන ප්‍රේත සමූහයක් බිම්සර රජ්ජුරුවෝ දුටු හ. ඔහු පසු දා උදාසන ම ගොස් එ පවත් භාග්‍යවතුන් වහන්සේ ට සැළ කළහ.

 

ඔවුන් ඒ රජුන්ගේ බොහෝ පෙර අත්බැවෙක නෑ සමූහයක් බවත්, සංඝයාට වෙන් කළ දන් හොරා කෑ පවින් නිරයේ ඉපැද දුක් විඳ ඉන් සැව ප්‍රේතයෝනියේ ඉපැද තුන් බුද්ධාන්තරයක් කල් සා පවස් දෙකින් පෙළී ඒ තාක් ම දුක් විඳින බවත් පවසා “ඔවුනට පින් පෙත් දෙව”යි සාමි දරුවන් වහන්සේ වදාළ සේක.

 

බිම්සර රජ්ජුරුවෝ එ දුරුතු අවදියවක් දා ප්‍රේතයන් නමින් බුද්‍ධ ප්‍රමුඛ මහා සංඝයාට මහ දන් දුන්හ. ප්‍රේතයෝ දිව්‍ය භෝජන ලැබුවෝ ප්‍රීතිමත් ව එදා රෑ වස්ත්‍ර නැති ව රජ්ජුරුවනට පෙනී සිටියහ. රජ්ජුරුවෝ ඒ පවත් ද පසු දා, භාග්‍යවතුන් වහන්සේ ට දන්වා බුද්‍ධ ප්‍රමුඛ සංඝයාට වස්ත්‍ර ශයනාසන සහිත භික්ෂාව දී, ප්‍රේතයනට පින් දුන්හ. උහු ද එ අනුමෝදන් කොට ගත්තෝ සියලු දිව යස ඉසුරු ලදහ.

 

භෝජනාවසානයෙහි භාග්‍යවතුන් වහන්සේ රජහට අනුමෝදනා බණ වශයෙන් තිරෝකුඩ්ඩ සුත්ත දේශනාව වදාළ සේක.

 

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org

උපුටා ගන්නා ලද්දේ  www.pitaka.lk  වෙබ් අඩවියේ
[ URL: https://pitaka.lk/books/buddha-charithaya/index.html#9 ] දරණ අන්තර්ජාල ලිපිනයේ ඇති ලිපියකි. මෙම ලිපියේ අන්තර්ගතය හා හිමිකාරීත්ව ඉහත වෙබ් අඩවිය සහ එම ලිපියේ සම්පාදකයා සතුවේ.

සාදු…! සාදු…! සාදු…!

Scroll to Top