වස් පවාරණය යනු වස් හමාර කිරීමද?

පවාරණයෙන් කෙරෙන්නේ වස් සමාදන්ව සිටි කාලය නිමා කිරීම නොව, වස් සමාදන්ව සිටි කාලය තුළ තමාගෙන් වරදක් සිදුව ඇත්නම්, ඒ වරද ගැන තමාට අවවාද අනුශාසනා කරන ලෙස සංඝයාගෙන්, ගණයාගෙන් හෝ පුද්ගලයාගෙන් ඉල්ලා සිටීමයි. දැකීම, ඇසීම හෝ සැක ඇතිවීම යන කවර ක්‍රමයකින් හෝ වරදක් පිළිබඳ දනී නම්. එකී වරද ගැන අනුශාසනා කරන ලෙස ඉල්ලා සිටින බව, එකී ඉල්ලීම් කරන විට කියනු ලබන, දිට්ඨෙන වා සුතෙනවා පරිසංකාය වා වදන්තු යන පාඨයෙන් පැහැදිලි වෙයි.

 

ඇසළ පුර පොහෝ දිනයේදී උපසම්පන්න භික්ෂූන් වහන්සේ, පෙර වස් සමාදානයේ යෙදුනාහ. වප් පුන් පොහොය දිනයේ පෙර වස් සමාදන්ව වැඩ සිටි කාලය නිමාකොට උන්වහන්සේලා වස් පවාරණය සිදු කෙරිණි. ව්‍යවහාරයට අනුව වස් පවාරණයෙන් සිදු කෙරෙන්නේ සමාදන්ව සිටි වස් ශික්ෂා පදයෙන් බැහැරවීමයි.

 

පෙහෙවස් සමාදන් වන උවසු උවැසියෝ, සිල් ප්‍රතික්ෂේප කිරීම, සීලයෙන් බැහැරවීම හඳුන්වන්නේ, සිල් පවාරණය වශයෙනි. වස් පවාරණය යනු, වස් සමාදන්ව සිටි කාලය අත් හැරීමක් හෝ වස් සමාදානයෙන් ඉවත් වීමක් හෝ නොවේ. විනයෙහි දැක්වෙන පරිදි පවාරණය නව වැදෑරුම් වෙයි. එනම්,

 

  1. පවාරණය කෙරෙන දින අනුව,
    1. චාතුද්දසී පවාරණය,
    2. පණ්ණරසී පවාරණය
    3. සාමග්ගී පවාරණය වශයෙන් තෙවැදෑරුම් වේ.
  1. පවාරණ දිනයේ පොහොය සීමාවට රැස් වෙන භික්ෂූන් වහන්සේලාගේ සංඛ්‍යාව අනුවද,
    1. සංඝ පවාරණය,
    2. ගණ පවාරණය
    3. පුග්ගල පවාරණය වශයෙන්ද පවාරණයේ ප්‍රභේද තුනකි.
  1. පවාරණයේදී සිදු කෙරෙන කටයුතු වලට අනුවද ක්‍රම තුනක් දැක්වෙයි.
    1. තේවාචික පවාරණය,
    2. ද්වේවාචික පවාරණය
    3. ඒකවාචික පවාරණය යනුවෙන්, එය දක්වා තිබේ.

මෙලෙස පවාරණයේ නව විධ ප්‍රභේදයක් විනයෙහි දැක්වෙයි.

 

වස් අවසන් වන දිනය, වස්සාන ඍතුවේ සවැනි පෝය බැවින් එය බොහෝවිට පණ්ණරසී දිනයක්ම වෙයි. බොහෝ සෙයින් පවාරණය කරන්නේ ඒ දිනයටයි. අවශ්‍ය නම් සංඝයාට ඒ දිනයේ පවාරණය නොකොට, වස්සාන ඍතුවේ හත්වෙනි හෝ අටවෙනි පෝයට යොදාගත හැකියි. වස්සාන ඍතුවේ හත්වෙනි පෝය දවසේ, පවාරණය කෙරේ නම්, එය චාතුද්දසි පවාරණය නමින් හැඳින්වේ. එමෙන්ම වස්සාන ඍතුවේ අටවෙනි පෝය දිනයේ කරනු ලබන පවාරණය, පණ්ණරසී පවාරණය ලෙසද හැඳින්වෙයි. යම් ලෙසකින් වප් මස අවපෑළවිය දිනේ පටන්, ඉල් මස පුර පොහොය දිනය දක්වා, දින විසි නවය තුළ සාමග්ගී උපෝසථයට සුදුසු කරුණක් යෙදුනොත් . සාමග්ගී පවාරණය කළ යුතුය. ඒ සඳහා භික්ෂූන් වහන්සේ පස් නමක් සහභාගි විය යුතුය.

 

පවාරණයෙන් කෙරෙන්නේ වස් සමාදන්ව සිටි කාලය නිමා කිරීම නොව, වස් සමාදන්ව සිටි කාලය තුළ තමාගෙන් වරදක් සිදුව ඇත්නම්, ඒ වරද ගැන තමාට අවවාද අනුශාසනා කරන ලෙස සංඝයාගෙන්, ගණයාගෙන් හෝ පුද්ගලයාගෙන් ඉල්ලා සිටීමයි. දැකීම, ඇසීම හෝ සැක ඇතිවීම යන කවර ක්‍රමයකින් හෝ වරදක් පිළිබඳ දනී නම්. එකී වරද ගැන අනුශාසනා කරන ලෙස ඉල්ලා සිටින බව, එකී ඉල්ලීම් කරන විට කියනු ලබන, දිට්ඨෙන වා සුතෙනවා පරිසංකාය වා වදන්තු යන පාඨයෙන් පැහැදිලි වෙයි.

 

පවාරණය සඳහා සංඝයා පොහොය සීමාවට රැස් වූ පසු, එක් භික්ෂුවක් සංඝයාට ඇසෙන සේ අදාළ වාක්‍ය ප්‍රකාශ කොට, සංඝ අනුමැතිය ලබාගෙන, එතැනට රැස්ව සිටින සංඝ ස්ථවිරයන් වහන්සේට හෝ වෙනත් වියත් තෙර නමකට තෙවරක් නම කියා, ඤත්තිය තබන ලෙසට ආරාධනා කරයි. ආරාධනා ලද භික්ෂූන් වහන්සේ  “සුනාතු මෙ භන්තෙ සංඝො යදී සංඝස්ස පත්තකල්ලං’ අහං ආයස්මන්තං නාගං විනයං පුච්ඡෙය්‍ය” යන වැකිය කියා, විනය විචාරීමට අවශ්‍ය අවසරය ලබාදෙයි. පසුව ආරාධනාව කළ භික්ෂුව නැවත විනය විචාරීම පිණිස අවශ්‍ය අවසරය ලද බව ප්‍රකාශ කිරීමෙන් පසුව, විනය විචාරීම සිදුකෙරේ.

 

විනය විචාරීමට මහා සංඝයා පොහොය සීමාවට එක් රැස්වීමට පෙර, පොහොය සීමාව තුළ, සුද්ධ පවිත්‍ර කිරීම, පහන් දැල්වීම (විදුලිය නොමැති විට) අසුන් පැනවීම හා පානීය පරිභෝග පිණිස වන ජලය තැබීම වැනි, පූර්ව කෘත්‍ය කීපයක් කළ යුතුව තිබේ. එකී කටයුතු “පුබ්බ කරණ” යනුවෙන් විනයෙහි දක්වා තිබේ.අනතුරුව “පුබ්බ කිච්ච” පිළිබඳ විමසනු ලබයි. එහිදී එළඹි ඇති ඍතුව, පක්ෂය හා රැස්ව සිටින භික්ෂූන් වහන්සේගේ සංඛ්‍ය ව ආදි කරුණු පිළිබඳව අනාවරණය කරගනී. පසුව අද පැවැත්වෙන පවාරණය කිනම් පවාරණයක් දැයි විමසයි. තේවාචික පවාරණයක්යැයි දන්වා ඊට වුවමනා භික්ෂූන් වහන්සේ පස් නමකට වඩා රැස්ව සිටින බවද හෙළි කරනු ලබයි. ඉන් අනතුරුව සංඝ ස්ථවිරයන් වහන්සේ, එනම් මහණ උපසම්පදාවෙන් ජ්‍යෙෂ්ඨ ස්වාමින් වහන්සේ පළමුව පවාරණය කරති.

 

“සංඝං ආවුසො පවාරෙමි. දිට්ඨෙන වා සුතෙන වා පරිසංකාය වා, වදන්තු මං ආයස්මන්තො අනුකම්පං උපාදාය, පස්සන්තො පටිකරිස්සාමි” යනුවෙන්. ඇසීමෙන්, දැකීමෙන් හෝ සැක ඇතිවීමෙන්, යන කුමන ක්‍රමයකින් හෝ තමන් වහන්සේගේ වරදක් ඇත්නම් සංඝයාගෙන් ඊට අවවාද ලබා දෙන ලෙස තෙවරක්ම අයැද සිටිති. භික්ෂූන් වහන්සේ පස් නමකට වඩා සහභාගි වී තෙවරක්ම පවාරණ වාක්‍යය ප්‍රකාශ කොට කෙරෙන නිසා, මේ පවාරණය තේවාචික ගණ පවාරණය නමින් හඳුන්වයි. පොහොය සීමාවට රැස්වූ භික්ෂූ පිරිස හතර නමක් නම්, ඒ එක් එක් නම, අනෙක් තෙනම කෙරෙහි පවාරණය කළ යුතුයි. එය ගණ පවාරණයයි. සංඝ ස්ථවිරයන් වහන්සේගේ පවාරණයෙන් පසු සෙසු ස්වාමින් වහන්සේලා එක් එක් නම, වෙන් වෙන්ව පවාරණය කළ යුතුය.

 

පවාරණ වාක්‍යය එක් වරක් කීමෙන් කරනු ලබන පවාරණය ඒක වාචික පවාරණය ලෙස ද, දෙවරක් පවාරණ වාක්‍ය කියා සිදු කරන පවාරණය, ද්වේවාචික පවාරණය නමින්ද හඳුන්වයි. වස් පවාරණය පිළිබඳ විනයෙහි දැක්වෙන, ඉහත තොරතුරු වලින් පැහැදිලි වන්නේ ,වස් පවාරණය යනු, සමාදන් වූ වස් ශික්ෂාපදයෙන් ඉවත්වීම නොව, වස් කාලය තුළ තම තමන් වහන්සේලා අතරින් වරදක් සිදුව ඇත්නම්, එය සකසා ගැනීම සඳහා (පිරිසුදු බව පිණිස) මහා සංඝයා වහන්සේගෙන්, අවශ්‍ය අවවාද අනුශාසනා ලබා ගැනීම බවයි.

 

පෙරවස් සමාදන්ව, වස් ශික්ෂාපදය කඩවීමට නොදී ආරක්ෂා කරගෙන, වප් පොහෝ දින මහා පවාරණයෙන් පවාරණය කළ ස්වාමීන් වහන්සේ නමක් වැඩ සිටින විහාරස්ථානය කඨින චීවර මහා පින්කම සිදුකර ගැනීමට ඉඩ කඩ සැලසේ. වප් පොහෝ දිනයෙන් පටන්ගෙන, ඉල් පොහොය දිනයෙන් අවසන් වන මසක කාලය, කඨින චීවර පූජා පින්කම සිදු කරගැනීමට ලැබෙන කාලයයි. මේ කාලය චීවර මාසය ලෙස ඈත කාලයක සිටම හඳුන්වන්නේද එබැවිනි.

උපුටා ගන්නා ලද්දේ  www.dhamma.ifbcnet.org  වෙබ් අඩවියේ
[ URL: https://dhamma.ifbcnet.org/category/කඨින-පිංකම-ගැන-සියල්ල-දැන ] දරණ අන්තර්ජාල ලිපිනයේ ඇති ලිපියකි. මෙම ලිපියේ අන්තර්ගතය හා හිමිකාරීත්වය ඉහත වෙබ් අඩවිය සහ එම ලිපියේ සම්පාදකයා සතුවේ.

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org

Scroll to Top