කඨිනය ඇතිරීම සහ කඨින චීවර පූජාව

බුදුරජානන් වහන්සේ එකල වැඩ හුන්නේ රජගහනුවර වේළුවනාරාමයේයි. මින් පෙර උන්වහන්සේ භික්ෂු සංඝයාටවස් විසීම පනවා නොතිබිනි. ඒ නිසාම භික්ෂුන් වහන්සේලා හේමන්තයේද, ගිම්හානයේද, වස්සානයේද එකසේම චාරිකාවල යෙදුනහ. මේ කාරණය නිසා බොහෝ මිනිස්සුද අන්‍ය තීර්ථකයෝද භික්ෂූන්වහන්සේලාට දොස් පවරන්නට උනා. වස්සානයේ නිල්තණ පාගමින්, කුඩා කුඩා සතුන් පෙලමින් නසමින් චාරිකාකරනවා. අනෙක් සත්තු කුරුල්ලෝ පවා වැහි කාලවල කූඩු තනාගෙන එක්තැන්ව ඉන්නවා. මේ භික්ෂූන් තැන තැන ඇවිදිනවා යනුවෙන් නින්දාකරමින් අවමන් කරමින් දොස් නගන්නට උනා. මේ පුවත සලකා බැලූ බුදුරජානන් වහන්සේ

 

“මහණෙනි…මම නුඹලාට වස් එළඹෙන්නට අනුදැන වදාරමි”


“ස්වාමීනී…කුමණ දිනයකද?”

 

“වස්සාන ඍතුවේදී”


කොපමණ කාලයකටද ස්වාමීනී”

 

“මහණෙනි.. පෙරවස් එළඹීම්, පසුවස් එළඹීම් කියා වස් එළඹීම් දෙකක් පැනවෙනවා. ඇසළ පුන් පොහොයට පසුදින අවපෑලවිය පෙරවස්  එළඹිය යුතුයි.

 

ඇසල පුන් පොහොය දිනයෙන් මසක් ඉක්මගිය දින පසුවස් එළඹිය යුතුයි.”

 

වස් සමාදන් වීම යනු කුමක් ද?

 

දායක පින්වතුන්ගේ ආරාධනාව ඇතිව දැහැත් ගොටු හා වැසි සළු ලබා වස් විසීමට ආරාධනා ලැබීම සම්ප්‍රදාය වේ. ආරාධනා ඇතිව හෝ නැතිව වස් විසීම උපසම්පදා භික්ෂුවගේ වගකීමකි. වස් සමාදන් වීමට සුදුසු ආරාමයක මෙම තුන් මාසයම කාලය ගත කරන්නෙමි යන හැඟීම ඇතිව ‘ඉමස්මිං විහාරේ ඉමං තෙමාසං වස්සං උපෙමි ඉධ වස්සං උපෙමි.” යන පාඨය කියා වස් සමාදන් විය යුතු වේ.

 

මේ කාලය තුළ වෙනදාට වඩා ආගමික නැඹුරුතාවකින් යුතුව බණ භාවනා කරමින් කාලය ගත කිරීම ආධ්‍යාත්මික ගුණ දහම් දියුණු කිරීමට උත්සාහවත් වීම මෙම කාලය තුළ කළ යුතු වේ. චක්ඛු පාල කථා පුවත ආදියෙන් ඒ බව තවදුරටත් කරුණු අවබෝධ කරගත හැකි වේ. දායක පින්වතුන්ටත් මෙකල භික්ෂූන් ආරාමයේ වැඩ සිටීම නිසා බණ ඇසීම, දන්දීම ආදී ගුණ දහම් පුරා පිං කර ගැනීමට අවස්ථාව ලැබීම මහත් භාග්‍යක්සේ සළකා සිව් පසයෙන් උපස්ථාන කර පින් සිදු කරගත් බව මාතික මාතා කථා පුවත, කම්කරු නායිකාවගේ කථා පුවත එයට නිදසුන් වශයෙන් දැක්විය හැකිය.

 

වස් විසීම් දෙකකි

 

පෙර වස් සමාදානය හා පසු වස් සමාදානය වශයෙන් වස් විසීම් දෙකක් අනුදැන වදාළහ. පෙර වස් විසිය යුත්තේ ඇසළ පුර පසළොස්වක් පොහෝ දින පොහොය කොට ඇසළ අව පෑළවිය දින පෙර වස් විසීමත් සිදු කළ යුතු අතර යම් විපත්තියක් කරදරයක් සිදු වී එදිනට වස් සමාදන් වීමට නොහැකි වූ යම් භික්ෂූන් වහන්සේ නමකට පසු වස් විසීමට අනුදැන වදාළහ.

 

එය සිදු කළ යුත්තේ නිකිණි පුර පසළොස්වක් දින පොහෝ කර නිකිණි අව පෑළවිය දින පසුවස් විසීමට අනුදත් සේක. එසේම කිසියම් රාජ නියෝගයක් මත වස් වසන දින වෙනස් කර ගැනීමට ද අවසර දී ඇත. කෙසේ නමුදු වස් වසන දින වස් සමාදන් නොවීම නිසා දුකුලා ඇවතක් සිදු වේ.

 

ඡබ්බග්ගිය භික්‍ෂූහූ වස් විසීමේ ප්‍රඥප්තිය උල්ලංගනය කරති.

 

ඡබ්බග්ගිය භික්ෂූන් වන අස්සජී, පුනබ්බසුක, පණ්ඩුක, ලෝහිතක, මෙත්තිය හා භුම්මජක යන මොවුහු බුද්ධ නියමය අනුව වස් නොවසා ආරාමයෙන් පිටව ගොස් චාරිකා කරන්නට වූහ. ඒ නිමිතිකරගෙන ඒ භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු පහදා දී වස් වසන දින වස් සමාදන් නොවන්නේ නම් දුකුලා ඇවතක් සිදුවන බව වදාළහ.

 

භික්ෂූන් වහන්සේලා ඒ අනුව වස් සමාදන් වී බුද්ධ වචනය අනුවකටයුතු කලහ. නමුත් මිනිස්සු අන්‍ය තීර්ථකයෝ නැවත වතාවක් පෙරමෙන්ම මේ බුද්ධ පුත්‍රයින්ට දෝෂාරෝපණයෙන් අවමන් කලා.“වස්සානයේ නිල්තණ පාගමින්,කුඩා කුඩා සතුන් පෙලමින් නසමින්චාරිකා කරනවා.අනෙක් සත්තු කුරුල්ලෝ පවා වැහි කාලවල කූඩුතනාගෙන එක්තැන්ව ඉන්නවා. මේ භික්ෂූන් තැන තැන ඇවිදිනවා“

 

ඒ බව මේ භික්ෂූන් විසින් බුදුරජාණන් වහන්සේට සැළ කල පසුව ඒගැන නුවණින් සළකා බැලූ උන්වහන්සේ මෙසේ වදාලා.

 

“මහණෙනි..වස් එළැඹ පලවෙනි තුන්මාසය හෝ පසු තුන්මාසය චාරිකා නොකල යුතුයි. යම් අයෙක් චාරිකාවේ යෙදෙන්නේ නම් ඒ කෙනා දූකුලා ඇවැතට පත්වෙනවා“

 

බුදුරජාණන් වහන්සේගේ ඒ පැනවීමට භික්ෂූන් එකඟ උනේ නැහැ.එවිට උන්වහන්සේ නැවත මෙසේ වදාලා.

 

“මහණෙනි වස් එළඹෙන්නේ නැතිව සිටින්නට බැහැ.යමෙක් වස් එළැඹෙන්නේ නැද්ද ඒ කෙනාට දූකුලා ඇවැත් සිදුවෙනවා“

 

මෙසේ වස් සමාදන් වීමේ ක්‍රමය අනුපිලිවෙල උන්වහන්සේ විසින් භික්ෂු විනයක් ලෙස පැවරුවා. වස් සමාදන් වූ තැනින් වෙනත් තැනකට යායුතු නැවත පැමිනිය යුතු අන්දම උන්වහන්සේ මෙසේ භික්ෂූන්ට වදාලා.

 

  1. මහණෙනි… භික්ෂු භික්ෂුණි, හෙරණ හෙරණි, හික්මෙන්නිය, උපාසකඋපාසිකා යන මේ හත්දෙනා පනිවිඩයක් එව්ව විටදි ඔවුන් වෙත සත්තාහකරණියෙන් යාහැකියි. නමුත් ඒ ගමන දිනහතක් ඇතුලත අවසන් කොට නැවත පැමිනිය යුතුයි.
  2. යම් භික්ෂුවකගේ මව අසනීපයෙන් පසුවන විටදී මව බැහැදැකීම පිනිස යාහැකිය. දින හතකින් නැවත පැමිනිය යුතුය..
  3. භික්ෂුවකගේ පියා ගිලන් කල්හිද අසනීපයෙන් පසුවන විටදී පියා බැහැදැකීම පිනිස යාහැකිය.දින හතකින් නැවත පැමිනිය යුතුය.
  4. ඥාතියෙක් ගිලන් කල ඥාතියා බැහැදැකීම පිනිස යාහැකිය. දි  හතකින් නැවත පැමිනිය යුතුය..
  5. භික්ෂූන්ගේ උපස්ථායකයකු ගිලන් කල ඔහු බැහැ දැකීමට යාහැකිමුත් දින හතකින් නැවත පැමිනිය යුතුය.
  6. ඇවැත් නොවන වස් හැර යාම වස්සූපගතා භික්ඛූ වාළෙහි උබ්බාල්හා හොන්ති….
    වස් එළැඹි භික්ෂූන්ට චන්ඩ වන මෘගයන්ගෙන් හිරිහැර කරදර ඇතිවෙයි නම් ඒ භික්ෂූන්ට එම ස්ථානය අත්හැර යාහැකිය. ඒ කාරනයෙන් ඇවැත් සිදු නොවෙයි.
  7. වස්සූපගතා භික්ඛූ සිරිංසපෙහි උබ්බළ්හා හොන්ති….
    වස් එළැඹි භික්ෂූන්ට සර්පයන්ගෙන්  හිරිහැර කරදර ඇතිවෙයි නම් ඒ භික්ෂූන්ට එම ස්ථානය අත්හැර යාහැකිය. ඒ කාරනයෙන් ඇවැත් සිදු නොවෙයි.
  8. වස්සූපගතා භික්ඛූ චොරෙහි උබ්බළ්හා හොන්ති ….
    වස් එළැඹි භික්ෂූන්ට සොරුන් ගෙන්  හිරිහැර කරදර ඇතිවෙයි නම්ඒ භික්ෂූන්ට එම ස්ථානය අත්හැර යාහැකිය. ඒ කාරනයෙන් ඇවැත් සිදු නොවෙයි.
  9. වස්සූපගතා භික්ඛූ පිසාචෙහි උප්පළ්හා හොන්ති ….
    වස් එළැඹි භික්ෂූන්ට පිසාචයන් ගෙන් හිරිහැර කරදර ඇතිවෙයි නම්ඒ භික්ෂූන්ට එම ස්ථානය අත්හැර යාහැකිය. ඒ කාරනයෙන් ඇවැත් සිදු නොවෙයි.
  10. වස්සූපගතානං භික්ඛුනං ගාමො අග්ගිනා දඩ්ඪො හොති ….
    වස් එළැඹි භික්ෂූන්ගේ ගම ගින්නෙන් දැවී හිරිහැර කරදර ඇතිවෙයි නම්  ඒ භික්ෂූන්ට එම ස්ථානය අත්හැර යාහැකිය.ඒ කාරනයෙන් ඇවැත් නොවේ.
  11. වස්සූපගතානං භික්ඛුනං සෙනාසනං අග්ගිනා දඩ්ඪං හොති ….
    වස් එළැඹි භික්ෂූන්ගේ සෙනසුන ගින්නෙන් දැවී හිරිහැර කරදර ඇතිවෙයි නම්  ඒ භික්ෂූන්ට එම ස්ථානය අත්හැර යාහැකිය. ඒ කාරනයෙන් ඇවැත් නොවේ.
  12. වස්සූපගතානං භික්ඛුනං ගාමො උදකෙන වුළ්හො හොති ….
    වස් එළැඹි භික්ෂූන්ගේ ගම ජලයෙන් යටවී හිරිහැර කරදර  ඇතිවෙයි නම්  ඒ භික්ෂූන්ට එම ස්ථානය අත්හැර යාහැකිය.  ඒ කාරනයෙන් ඇවැත්  නොවේ.
  13. වස්සූපගතානං භික්ඛුනං සෙනාසනං උද්කෙන වුළ්හො හොති…..
    වස් එළැඹි භික්ෂූන්ගේ සෙනසුන ජලයෙන් යටවී හිරිහැර කරදර ඇතිවෙයි නම් ඒ භික්ෂූන්ට එම ස්ථානය අත්හැර යාහැකිය. ඒ කාරනයෙන් ඇවැත් නොවේ.
  14. වස් එළැඹි භික්ෂුව රළු හෝ මිහිරි හෝ ආහාර ප්‍රමාණවත්ව ලැබුවත්, හිතකර ආහාර ලබයි නම් එම අන්තරායෙන් ගැලවීම පිනිස බැහැර යාහැකිය. එයින් ඇවැත් සිදු නොවේ.
  15. වස් එළැඹි භික්ෂුව රළු හෝ මිහිරි හෝ ආහාර ප්‍රමාණවත්ව ලැබුවත්,හිතකර ආහාර ලැබුවත්, හිතකර බෙහෙත් නොලබයි නම් එම අන්තරායෙන් ගැලවීමපිනිස බැහැර යාහැකිය. එයින් ඇවැත් සිදු නොවේ.
  16. වස් එළැඹි භික්ෂුව රළු හෝ මිහිරි හෝ ආහාර ප්‍රමාණවත්ව ලැබුවත්, හිතකර ආහාර හා බෙහෙත් ලැබුවත්, සුදුසු උපස්ථායකු නොසිටියි නම් එම අන්තරායෙන් ගැලවීම පිනිස හැර යාහැකිය. එයින් ඇවැත් සිදු නොවේ .
  17. යම් ස්ත්‍රියක් පැමිණ ස්වාමීණී ඔබවහන්සේට අමුරන් හෝ, රන් හෝ, කෙතක් හෝ, වත්තක් හෝ, ගවයක් හෝ, දාසියක හෝ, දාසයකු හෝ, භාර්යාව පිණිස දියණිය හෝ, භාර්යාව පිනිස මමම හෝ, අන් බිරියක් හෝ දෙන්නෙමි කියා වස් එළැඹි භික්ෂුවට නිමන්ත්‍රණය කරයිද, මේ සිත වහා පෙරලෙන සුළු දෙයක්යැයි නුවණින් සිහිකර බ්‍රහ්මවර්යාවට එයින් වියහැකි අන්තරායය සලකා බැහැර යන්නට  හැකිය. එයින් ඇවැතක් සිදු නොවේ.
  18. වස් එලැඹි භික්සුවක් වෙත පැමිණෙන වෙසඟනක්, ථුල්ල කුමරියක් (විවාපත් නොවූ වයසට පත් ස්ත්‍රියක්), පණ්ඩකයෙක්, ඥාතීන්, රජුන්, සොරුන්, ස්වාමීණී ඔබවහන්සේට අමුරන් හෝ, රන් හෝ, කෙතක් හෝ, වත්තක් හෝ, ගවයක් හෝ, දාසියක හෝ,දා සයකු හෝ, භාර්යාව පිණිස දියණිය හෝ ,භාර්යාව අන් බිරියක් හෝදෙන්නෙමි කියා වස් එළැඹි භික්ෂුවට මන්ත්‍රණය කරයිද, මේ සිත වහා පෙරලෙන සුළු දෙයක්යැයි නුවණින් සිහිකර බ්‍රහ්මවර්යාවට එයින් වියහැකි අන්තරායය සලකා බැහැර යන්නටහැකිය. එයින් ඇවැතක් සිදු නොවේ.
  19. වස් එළැඹි භික්ෂුවකට අයිතිකරුවෙකු නැති නිධානයක් අවාසය හෝ සමීපයේ දක්නට ලැබෙයිද, මේ සිත වහා පෙරලෙන සුළු දෙයක්යැයි නුවණින් සිහිකර බ්‍රහ්මවර්යාවට එයින් වියහැකි අන්තරායය සලකා බැහැර යන්නටහැකිය. එයින් ඇවැතක් සිදු  නොවේ.
  20. වස් එලැඹි භික්සුව නුදුරේ සංඝ භේදයට උත්සාහ කරන යම් භික්ෂුවක් හෝ භික්ෂුන් සිටින කල  සංඝභේදය ඉතාමත් දරුණු විපාක සහිත දෙයක්යැයි නුවනින් සලකා තමාගේ පාර්ශවයෙන් එකී සංඝභේදයට කිසිදු දායකත්වයක් නොදෙනු පිණිස බැහැර යා  හැකිය. එයින් ඇවැත් සිදු නොවේ.
  21. යම් භික්ෂුවකට ගැලක වස්විසීමට ආරාධනා කැමැත්ත ලැබුනොත් ඒ භික්සුවට ගැලක වස් විසීමට අවසර ලැබේ. ගල් පදවන්නන් යාමට සිදුවූවොත් එම ගැලෙහි ගමන් කරමින් වස්විසීමට අවසර ලැබේ. ඇවැත් සිදු නොවේ.
  22. කිසියම් භික්ෂුවක් නෞකාවක වස් විසීමට එළැඹේ නම් ඒ සඳහාද අවසරය පැනවේ.
  23. ගස් සිදුරක හෝ බෙනයක යම් භික්ෂුවක් වස්විසීමට එළැඹෙයිද,  ඒ සඳහා අනුමැතියක් නැත. මක්නිසාද යත් එවිට මිනිස්සු හෝ අන්‍ය තීර්ථකයෝ ඒ භික්ෂූන්ට පිශාචටවුන්සේ යැයි නින්දා අවමන් කල හැකි නිසාය.
  24. රුක් ගොමුවන යම් භික්ෂුවක් වස්විසීමට එළැඹෙයිද, ඒ සඳහා අනුමැතියක් නැත. මක්නිසාද යත් එවිට මිනිස්සු හෝ අන්‍ය තීර්ථකයෝ ඒ භික්ෂූන්ට මුවවැද්දන් සේ යැයි නින්දා අවමන් කල හැකි නිසාය.
  25. භික්ෂූන්ට එළිමහනේ වස්විසීමටද අවසරය නැත. වැසි වසිනා විට රුක්මුල්වලටද, නිවෙස්වල අගු සෙවනටද ඒ භික්ෂූන්ට දිවයන්නටසිදුවන නිසාය. එවිට ඇවැත් සිදුවේ.
  26. එසේම සෙනසුන් නොමැති භික්ෂූන් වස්එළඹීම නොකල යුතුය. මක්නිසාද යත් ඒ භික්ෂූන් ශීතයෙන්ද උෂ්නයෙන්ද ක්ලාන්ත විය හැකි වන නිසාය.
  27. සොහොන් පිටියේ සොහොන් හල් වල වස් විසීම අනුමත නොකෙරේ. මක්නිසාදයත් මිනී දවන්නන් යැයි අවමන් ලැබිය හැකි නිසාය.
  28. ඡත්‍රය යට වස් නොඑළඹිය යුතුය. මක්නිසාද යත් ගොපල්ලන් වැනි යැයි නින්දා ලැබිය හැකි බැවින්ය.
  29. විශාල හිස් හැළි වල වස් විසීම අනුමත නොකෙරේ. මක්නිසාද යත්  තීර්ථකයන් එසේ විශාල  හැළිවල බැසගෙන සිල්රක්නා පුරුද්දක්  ඇති නිසා භින්ෂූන්ටද තීර්ථකයන් යැයි අවමන් ලැබිය හැකි නිසාය.
  30. එකම භික්ෂුව දෙතැනක එක්වර වස්විසීම නොකල යුතුය.

ජබ්බග්ගිය භික්‍ෂූන්ගේ නොමනා ක්‍රියා

 

බුදුරජාණන් වහන්සේ විසින් වස්කාලයෙහි වස් විසීම අනුදැන වදාළ තිබියදීත් ජබ්බග්ගිය භික්‍ෂූහු වර්ෂා කාලයෙහි චාරිකාවේ යෙදෙන්නට වූහ. මෙය දුටු මහජනයා පෙරසේම භික්‍ෂූන් වහන්සේට අවමන් කරන්නට, නින්දා කරන්නට, දොස් නගන්නට වූහ. මෙය දැනගත් බුදුරජාණන් වහන්සේ ජබ්බග්ගිය භික්‍ෂූන්ගේ මෙම නොමනා ක්‍රියාව පිළිබඳ අවවාද කොට, දැහැමි කතා පවත්වා වස් කාලය තුළ චාරිකාවෙහි නොයෙදෙන ලෙසටත් එසේ යමෙක් යෙදෙන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් (දුක්කටාපත්ති – කුඩා වරදක්) සිදුවන බවත් දේශනා කොට “න භික්ඛවෙ වස්සං උපගන්ත්වා පුරිමං වා තෙමාසං පච්ඡිමං වා තෙමාසං අවසිත්වා චාරිකා පක්කමිතබ්බා යො පක්කමෙය්‍ය සො ආපත්ති දුක්කටස්ස” යනුවෙන් ශික්‍ෂා පදයක් පැනවූහ.

මෙය අසතුටු වූ ජබ්බග්ගිය භික්‍ෂූන් වර්ෂා කාලයෙහි වස් නොවැස සිටියහ. මෙය දැනගත් බුදුරජාණන් වහන්සේ නැවතත් ජබ්බග්ගිය භික්‍ෂූන්ට අවවාද කොට දැහැමි කතා පවත්වා යම් උපසපන් භික්‍ෂුවක් වස් කාලය තුළ වස් නොවැස සිටී නම් ඔහුට දුකුළා ඇවතක් සිදුවන බව දේශනා කොට “න භික්ඛවෙ වස්සං න උපනගන්තබ්බං යො න උපගච්ඡෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යනුවෙන් ශික්‍ෂා පදයක් ද පැනවූහ.

 

රජුන්ට අනුව ක්‍රියා කිරීම

 

එක් කලෙක බිම්බිසාර රජුට වස් එළඹීම මුලට ගන්නට (පසොළොස්වක තිථියට) අවශ්‍ය විය. ඒ බව දූතයෙකු මගින් භික්‍ෂූන්ට දැනුම් දුන්හ. මේ බව භික්‍ෂූන් වහන්සේ බුදුරදුන්ට දැන්වීමෙන් අනතුරුව එය රජුට අනුව සකස් කර ගන්නා ලෙස දේශනා කොට, “අනුජානාමි භික්ඛවෙ රාජූනං අනුවත්තුන්ති” යනුවෙන් විනය නීතියක් ද පැනවීය.

 

සත්තාහකරණය පැනවීම

 

එක් කලෙක බුදුරජාණන් වහන්සේ, අනේපිඬු මහ සිටුහු විසින් කරන ලද ජේතවන මහා විහාරයෙහි වාසය කරති. මේ සමයෙහි කොසොල් ජනපදයේ විසූ උදේන නම් උපාසකයෙක් මහා සංඝයා උදෙසා විශාල ධනයක් වියදම් කොට මහා විහාරයක් කරවීය. මෙය පිළිගැනීමට මහා සංඝයාට වඩින ලෙස පවසා දූතයෙකු යැවී ය. එය වස්කාලය වූ බැවින් බුදුරදුන් වස් කාලයෙහි චාරිකා නොකරන ලෙසට ශික්‍ෂා පද පනවා ඇති හෙයින්, භික්‍ෂූහු එම ආරාධනාව ප්‍රතික්‍ෂේප කළහ. මෙයින් කළ කිරුණු උදේන උපාසකයා මා වැනි සංඝෝපස්ථායකුගේ ආරාධනාව ප්‍රතික්‍ෂේප කිරීම නොහොඹිනේ යැයි පවසමින් භික්‍ෂූන්ට අවමන් කරන්නට නින්දා කරන්නට දොස් නගන්නට වූහ.

 

මෙය දැනගත් බුදුරජාණන් වහන්සේ වස් එළඹි භික්‍ෂුවක් වස්කාලය තුළ සත්දෙනෙකුගේ ආරාධනා වලට වැඩිය හැකි බවත්, එසේ ආරාධනා නොලැබ නොයාහැකි බවත්, ඒ කටයුත්ත නිමවීමෙන් පසුව දින හතක් තුළ තමා වස් එළඹි ස්ථානයට වැඩිය යුතු බවත් දේශනා කොට විනය නීතියක් ද පැනවූහ.

 

“අනුජානාමි භික්ඛවෙ සත්තන්නං සත්තාහරණීයෙන පහිතෙ ගන්තුං නත්වෙව අප්පහිතෙ භික්ඛුස්ස භික්ඛුණියා සික්ඛමානාය සාමණෙරස්ස සාමණෙරියා උපාසකස්ස උපාසිකාය අනුජානාමි භික්ඛවෙ ඉමේසං සත්තන්නං සත්තාහරණීයෙන පහිතෙ ගන්තුං නත්වෙව අප්පහිතෙ සත්තාහං සන්නිවන්තො කාතබ්බෝ”

 

සත්තාහකරණයෙන් යා හැක්කේ මේ පුද්ගලයන් උදෙසා පමණි.

 

  1. භික්ඛුස්ස – භික්ෂුවක උදෙසා
  2. භික්‍ඛුණියා – භික්‍ෂුණියක උදෙසා
  3. සික්ඛාමානාය – හික්මෙන්නියක් උදෙසා (පැවිදි වීම සඳහා අවශ්‍ය කටයුතු සපුරන තැනැත්තිය)
  4. සාමණෙරස්ස – සාමණෙරයෙකු උදෙසා (උපසම්පදා නොවූ හෙරණ භික්‍ෂුව)
  5. සාමණෙරියා – සාමණෙරයෙක උදෙසා (උපසම්පදා නොවූ හෙරණ භික්‍ෂුණිය)
  6. උපාසකස්ස – උපාසකයකු උදෙසා
  7. උපාසිකාය – උපාසිකාවක උදෙසා

උපුටා ගන්නා ලද්දේ  www.dhamma.ifbcnet.org  වෙබ් අඩවියේ
[ URL: https://dhamma.ifbcnet.org/category/කඨින-පිංකම-ගැන-සියල්ල-දැන ] දරණ අන්තර්ජාල ලිපිනයේ ඇති ලිපියකි. මෙම ලිපියේ අන්තර්ගතය හා හිමිකාරීත්වය ඉහත වෙබ් අඩවිය සහ එම ලිපියේ සම්පාදකයා සතුවේ.

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org

Scroll to Top