මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ

උපුටා ගන්නා ලද්දේ  2020 ජූලි 04 වැනි දා සෙනසුරාදා “බුදුසරණ අන්තර්ජාල කලාපය” පුවත්පතිනි.

ගයාන් චානුක විදානපතිරණ

මහා කාශ්‍යප තෙරණුවෝ බුදුරදුන් පිරිනිවන් පෑ පසුව රජගහ නුවර දී පළමු ධර්ම සංගායනාව පවත්වා විසිරී තිබූ ධර්ම විනය එක්තැන් කර ත්‍රිපිටකය සකස් කිරීමට මුල් වී ක්‍රියා කළහ. එදා උන්වහන්සේ වැඩ නො සිටියා නම්, අද අපට පාලි ත්‍රිපිකයක් නැත. සූත්‍ර පිටකයේ සංයුක්ත නිකාය භාරව කටයුතු කළේ මහා කාශ්‍යප මහ තෙරුන් ප්‍රධාන උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිසයි. 

මහා කාශ්‍යප මහා රහතන් වහනසේ වනාහී අප මහා ශාන්තිනායක ශාක්‍යමුණි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධූතාංගධාරී භික්ෂූන් අතුරින් අගතැන්පත් මහ තෙරුන් වහන්සේ යි.

බුදුරදුන්ගේ තෘතිය මහා ශ්‍රාවකයන් වහන්සේ වූ මුන් වහන්සේට ගෞතම බුදු සසුනේ ධර්මාධිකාරි තනතුරද හිමි වී තිබුණි. “අනුබුද්ධ” යන ගෞරව නාමයෙන් ද මුන් වහන්සේ හඳුන්වනු ලැබේ.

බුදුරජාණන් වහන්සේ විසින් පරිභෝග කරන ලද, දිරා ගිය ඒ මහා පාංශුකූල චීවරය පෙරවීමට තරම් මහා භාග්‍යයක් ලැබුවේ මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ යි. එ පමණක් නොව බුදුසිරිපා හිසමත තබා ගැනීමේ දුර්ලභ අවස්ථාව ද මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේට හිමි විය.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ දක්නට ඇති දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් මහා පුරුෂ ලක්ෂණ සතක් මුන් වහන්සේගේ සිරුරේ ද විය. මේ නිසා මහා කාශ්‍යප හිමියන්ගේ රූපය යම් තරමකට බුදුරදුන්ගේ රූපයට සමාන විය. උන්වහන්සේ බුදුරදුන්ට වඩා අඟල් සතරක් උසින් අඩු බව ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වේ.

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ථෙරවාදී බෞද්ධ ලෝකයා අතර පමණක් නොව, මහායාන බෞද්ධ ලෝකයා අතරද අතිශයින් ම ප්‍රකට මහ තෙරුන් වහන්සේ නමකි. මහායාන බෞද්ධයෝ මුන් වහන්සේට මහත් සේ ගරු සත්කාර දක්වති. ඇතැම් මහායාන විහාරවල මහා කාශ්‍යප මහ තෙරුන්ගේ සිතුවම් මෙන් ම ප්‍රතිමා ද දක්නට ඇත. මධ්‍යාසියාවෙන් මහා කාශ්‍යප මහ තෙරුන්ගේ පැරැණි සිතුවම් කිහිපයක් ම හමු වී ඇත. මෙසේ ගෞතම බුදුසසුන තුළ සුවිශේෂී වූ ස්ථානයක වැඩ සිටින අනුබුදු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ පූර්වාපර චරිත කථාව මෙතැන් සිට ඉතා සැකෙවින් දක්වනු ලැබේ.

පිප්ඵලී කුමරු ගිහිගෙය කළකිරීම

මෙයින් කල්ප ලක්ෂයකට පෙර සියලු ධර්මයන්හි පාරප්‍රාප්ත නරශ්‍රේෂ්ඨ පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. ඒ සමයෙහි මහා කාශ්‍යප මහ තෙරුන් හංසවතී නුවර එක් ධනවත් කුලයක ඉපිද ‘විදේහ’ යන නම ලැබ සුව සේ හැදී වැෙඩින් වැඩිවියට පැමිණියේ ය. හෙතෙම එක් දිනක් බුදුබණ අසනු රිසියෙන් විහාරයට ගියේ ය. එදින පදුමුත්තර බුදුරදුන් සිව්වනක් පිරිස මැද වැඩ සිටිමින් නිසභ තෙරුන්ට ධූතාංගධාරි භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය ලබා දුන් සේක.

මෙය දුටු විදේහ කුලපුතු එහි පැහැදී , බුදුබණ අසා අවසානයේ දී බුදුරදුන් වෙත එළැඹ පසුදා දනට බුදුපාමොක් මහ සඟ රුවනට ඇරයුම් කොට නිවසට ගොස් දානයට අවශ්‍ය සියලු දේ මැනවින් පිළියෙළ කළේ ය. පදුමුත්තර බුදුරදුන් පසුදා පෙරවරුවෙහි හැඳ පෙරව පාසිවුරු ගෙන භික්ෂු සංඝයාද සමගින් විදේහ කුලපුතුගේ නිවසට වැඩම කර පණවා තිබූ අසුනෙහි වැඩ සිටියහ.

එකල්හි තථාගත තෘතීය ශ්‍රාවක, ධූතාංගධාරී භික්ෂූන් අතරින් අගතැන්පත් නිසභ තෙරණුවෝ පාත්‍රය ගෙන නුවර ගෙයක්, ගෙයක් පාසා පිඬු සිඟා වැඩම කරමින් සිටියහ. මහ තෙරුන් දුටු විදේහ කුලපුත්‍ර සතුටු වී උන්වහන්සේ වෙත දිවගොස්” ස්වාමීනි, පාත්‍රය මා අතට දුන මැනවි. මම දානය පුදන්නෙමි”යි කීය.

තෙරහු ඔහුගේ සැදැහැ සිත දැක ඔහු අතට පාත්‍රය දුන්හ. එවිට කුලපුත්‍ර

“ස්වාමීනි, බුදුරදුන් ප්‍රධාන භික්ෂු සංඝයා මගේ නිවසේ දනට වැඩම කර සිටිති. ස්වාමීනි, ඔබ වහන්සේත් වඩිනු මැනවි. ඇතුළු ගෙට ම වැඩම කර බුදුපාමොක් මහ සඟ රුවන ද සමගින් වැඩ හිඳ දන් වළඳනු මැනවැ”යි කීය.

“පින්වත, එයින් ඵලක් නැත. එය මට නො වටී. මෙසේ හොඳයි”යි තෙරහු කීහ. එවිට කුලපුතු

” ස්වාමීනි, එසේනම් මඳක් වැඩ සිටිනු මැනවැ”යි කියා වහා ගෙට ගොස් රසවත් ආහාරවලින් පාත්‍රය පුරවා තෙරුන් වෙත පැමිණ දාන පාත්‍රය පුදා පසඟ පිහිටුවා ම වන්දනා කළේ ය. තෙරහු පින් දී වැඩම කළහ.

එකල්හි විදේහ කුලපුතු ගෙට ගොස් බුදුරදුන් වෙත එළැඹ වැඳ

“ස්වාමීනි, නිසභ මහ තෙරුන් ඔබ වහන්සේ අප නිවසේ දනට භික්ෂු සංඝයාද සමඟින් වැඩම කර සිටින බව දැන දැනත් නිවසට වැඩ ම නොකර එළිමහනේ ම හිඳිමින් දන් පිළිගෙන වැඩම කළහ. ස්වාමීනි, උන්වහන්සේ එසේ කළේ කුමක් නිසා ද? ස්වාමීනි, උන්වහන්සේ එසේ කළේ ඔබ වහන්සේටත් වඩා වැඩි කිසියම් ගුණ ජාතියක් තිබෙන නිසාදැ” යි ඇසීය.

බුදුවරු යමෙකුගේ ගුණයක් තිබේ නම් එය අඩු නො කොට පවසති. එබැවින් ම බුදුරදුන් යහමඟ තෙරුන්ගේ ගුණ නොයෙක් අයුරින් ප්‍රකට කළ සේක. ඒ ගුණ ඇසු විදේහ කුලපුත්‍ර එහි පැහැදී සාදුකාරදී

“මට මේ දෙව් මිනිස් සැප සම්පත් ප්‍රාර්ථනා කිරීමෙන් ඵලක් නැත. මටත් අනාගතයේ ලොව පහළ වන බුදුවරයන් වහන්සේ නමකගේ ශාසනයක දී ධූතාංගධාරි භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය ලැබෙන්නේ නම් එය කෙ තරම් හොඳදැ” යි

සිතා එම තනතුර පතා එතැන් පටන් පුරා සත් දිනක් බුදුපාමොක් මහ සඟරුවනට මහ දන් පුදා දානය අවසානයේ දී බුදු පාමුල වැඳ වැටී එම තනතුර ප්‍රාර්ථනා කළේ ය. බුදුහු ඔහුගේ පැතුම සමෘද්ධ වන්නේදැ’යි කියා බුදු ඇසින් බලන සේක් මෙයින් කල්ප ලක්ෂයක් ඇවෑමෙන් ලොව පහළ වන ගෞතම බුදුරදුන් සමයෙහි සමෘද්ධ වන බව දැක ඔහුට නියත විවරණ ලබා දුන් සේක.

එතැන් පටන් දානාදී පින්කම්හි වඩ වඩාත් නිරත වූ හෙතෙම බොහෝ පින් කොට මරණින් මතු සුගතිගාමී විය. මෙසේ දෙව් මිනිස් දෙගතියෙහි උපත ලබමින් බොහෝ කාලයක් භවයෙහි සැරිසැරී හෙතෙම ගෞතම බුදුරදුන් ලොව පහළ වන සමයෙහි බඹ ලොවින් චුතව මගධ රට මහාතීර්ථ බමුණු ගමේ කෝසියගොත්ත මහා බමුණාට දාව සුමන දේවී මහා බැමිණියගේ කුස පිළිසිඳ ගෙන නිසි කල්හි මව්කුසින් බිහි විය. මව්පියෝ ඔහුට පිප්ඵලී යන නම තැබූහ.

රාජපූජිත බ්‍රාහ්මණ මහාසාර කුලයක උපන් බැවින් පිප්ඵලී කුමරු සුවසේ හැදී වැඩෙමින් වැඩිවියට පැමිණ වේදය උගෙන එහි පාරප්‍රාප්ත විය. පසුව ඔහු දෙමව්පියන්ගේ බලවත් ඉල්ලීම නිසා මදුරට සාගල නුවර කපිල බමුණාගේ හා සුචිමතී බැමිණියගේ දියණිය වූ භද්දාකාපිලානී නමැති සුරූපී කුමරිය හා විවාහ ගිවිස ගත්තේ ය. මේ දෙදෙනා විවාහ වුවත් ගිහි ජීවිතයෙහි නො ඇලී වාසය කළහ. කලක් ගත වූ පසුව ඔවුන්ගේ මව්පියෝ ආයු ගෙවි කලුරිය කළහ. එකල්හි ගිහිගෙයි කළකිරී සිටි පිප්ඵලී කුමරු “මෙලොව යම් රහතන් වහන්සේ නමක් වැඩ සිටී නම් මගේ මේ පැවිද්ද උන්වහන්සේ උදෙසා ම වේවා” යි කියා ඍෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි විය. මෙය දුටු භද්‍රා කුමරිය ද පැවිදි වූවාය. පසුව මේ යහ ගුණැති දෙදෙනා නිවසින් නික් ම ඉදිරියට ම ගොස් අතරමග දෙමං සන්ධියකදී වෙන් වී තනි තනිව ගමන් ගත්හ.

පිප්ඵලී පැවිදි තෙම රජගහ නුවරටත, නාලන්දාවටත් අතර වූ බහුපුත්තක නම් චෛත්‍ය ස්ථානයේ වැඩ සිටි ලොව්තුරා බුදුන් දැක, වචනයෙන් කිව නොහැකි ආකාරයේ මහත් වූ සතුටට පත් ව දණින් වැටී බුදුරදුන්ට වන්දනා කළේ ය.

එවිට බුදුරදුන් “කාශ්‍යපයෙනි,මා වෙත එන්න. මෙතැනින් හිඳ ගන්න. මම ඔබට මගේ දායාදය දෙන්නෙමි.” යි කියා අවවාද තුනක් ලබා දුන් සේක.

මෙහිදී බුදුරදුන් පිප්ඵලී පැවිද්දාට “කාශ්‍යප” යනුවෙන් ඇමතුවේ කුමක් නිසා ද. උන්වහන්සේගේ ගෝත්‍රය “කාශ්‍යප” බැවිනි. තෙරහු බුදුරදුන් ලබා දුන් ඒ අවවාද තුන දොහොත් මුදුන් තබා පිළිගත්හ. එයම කාශ්‍යප තෙරුන්ගේ පැවිදි උපසම්පදාව විය. පැවිදි බව ලැබූ කාශ්‍යප තෙරුන් පසුව “මහා කාශ්‍යප” යනුවෙන් ප්‍රකට විය.

භූමි කම්පාවක්

මේ අතර ඉදිරියට වැඩි බුදුරදුන් අතරමග එක්තරා පෙදෙසක දී මහා කාශ්‍යප තෙරුන් හා සිවුරු හුවමාරුවක් කළහ. බුදුහු මහා කාශ්‍යප තෙරුන්ගේ සිවුර පිළිගෙන පොරවා ගත් සේක. මහා කාශ්‍යප තෙරණුවෝ බුදුරදුන් ලබා දුන් ඒ මහා පාංශුකූල චීවරය මහත් වූ බුද්ධ ගෞරවයෙන් පිළිගෙන පොරවා ගත්හ. ඒ මොහොතේ දී මහත් වූ භූමි කම්පාවක් ඇති විය.

එකල්හි මහා කාශ්‍යප තෙරණුවෝ බුදුරදුන් වෙතින් තෙළෙස් ධුතාංග සමාදන් ව භාවනා වැඩීමට අවශ්‍ය කරන උපදෙස් ද ලබා ගත්හ. ලබා ගෙන ගණයා කෙරෙන් වෙන් ව, කෙලෙස් තවන වෙර ඇති ව විදසුන් වඩා පැවිදි බව ලබා ගෙන සතියක් ගිය පසු එනම් අට වෙනි දින අරුණ නැගෙන මොහොතේ දී සියලු කෙලෙසුන් නසා සිව්පිළිසිඹියාපත් ද සමඟින් මහ රහත් භාවය පසක් කළහ.

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ධුත ගුණයෙන් දෙවැනි වූයේ ලොව්තුරා බුදුරදුන්ට පමණි. මේ බව දත් බුදුරදුන් සැවැත්නුවර දෙව්රම් මහ විහාරයේ වැඩ සිටිමින් භික්ෂු සංඝයාට අග්‍රස්ථාන පිරිනමන කල්හි මහා කාශ්‍යප මහ තෙරුන්ගේ ගුණ නොයෙක් අයුරින් ප්‍රකට කර “මහණෙනි, මගේ මේ ශාසනයේ ධුතාංගධාරී භික්ෂූන් අතුරින් මා පුත් මහා කාශ්‍යපයන් අග්‍ර වන්නේ ය” යි වදාරමින් මහා කාශ්‍යප මහ තෙරුන්ට ධුතාංගධාරී භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය ලබා දුන් සේක.

මහා කාශ්‍යප තෙරණුවෝ මෙසේ වදාරති.

“තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හැරුණු විට මේ මුළු බුදු සසුනේ ම ධුත ගුණයෙන් අග්‍රස්ථානයේ සිටින්නේ මම යි. මට සමානයෙක් මේ බුදු සසුනේ කො තැනකවත් පෙනෙන්නට නැත.”

බුදුරදුන්ගේ ප්‍රශංසා ලැබීම

මහා කාශ්‍යප තෙරණුවෝ ඉතා සරල දිවියක් ගත කළ සේක. පිරිස අතර ගැවසීමට පි‍්‍රය නො කළ උන්වහන්සේ සමූහයාගෙන් ඈත් වී කාත් කවුරුත් නැති මහවනාන්තරවල සමවත් සුව විඳිමින් නිහඬ දිවියක් ගත කළ සේක. ඇතැම් විට උන්වහන්සේ වැඩ සිටියේ සොහොන්පිටිවල ය. නගරයට වැඩියේ කලාතුරකිනි. පැවිදි බව ලැබූදා පටන් පිරිනිවන් පාන තුරු ඇඳක පිට තැබුවේ නැත. උන්වහන්සේගේ උතුම් ගුණ නොයෙක් අවස්ථාවල දී බුදුරදුන්ගේ ප්‍රශංසාවට පවා ලක් විය. බුදුරදුන් භික්ෂු සංඝයාට නිතර වදාළේ මහා කාශ්‍යප තෙරුන් ආදර්ශයට ගන්නා ලෙසයි.

මහා කාශ්‍යප තෙරුන් වැඩ සිටීමට වඩාත් පි‍්‍රය කළේ රජගහ නුවර හා ඒ අවට ප්‍රදේශවලයි. බුදුරජාණන් වහන්සේ ද වැඩ වාසය කිරීමට වඩාත් කැමති ම ප්‍රදේශය මෙය බව සැලකේ. එයට ප්‍රධාන හේතුව වූයේ රජගහ නුවර හා ඒ අවට බොහෝ විවේකස්ථාන පිහිටා තිබීම යි.

වේළුවනය, සීතවනය, ජීවක අඹවනය, ලට්ඨිවනය, මද්දකුච්ඡි මිගදාය, මෝරනිවාපය, ගිජ්ඣකුටය, තපෝදාරාමය, කාලසිලාව, තපෝදකන්දරාය, සප්පසොණ්ඩික ප්‍රාග්භාරය, ඉන්ද්‍රසාල ගුහාව, සප්තපර්ණී ගුහාව, පිප්ඵලී ගුහාව ආදී ස්ථාන ඒ අතර ප්‍රධාන ය. මේ විවේකස්ථානවලින් මහා කාශ්‍යප තෙරුන් වැඩ සිටීමට වඩාත් පි‍්‍රය කළේ පිප්ඵලී ගුහාවේ ය. වරක් මේ ගුහාවේ දී කැලෑ උණක් වැලඳීම නිසා උන්වහන්සේ දැඩි සේ රෝගාතුර වූහ. ඒ අවස්ථාවේ දී බුදුරදුන් එතැනට වැඩම කර තෙරුන්ගේ සැප දුක් විමසා දහම් දෙසූහ. එවිට තෙරණුවෝ සුවය ලැබූහ.

මහා කාශ්‍යප තෙරුන් කාලයක් වැඩ සිටි මේ පිප්ඵලී ගුහාව අදත් රජගහ නුවරදී දැකිය හැක. මෙය පිහිටා ඇත්තේ වේභාර පර්වතය මුදුනේ එක් පැත්තක ය. ගුහාව ප්‍රමාණයෙන් විශාල ය.

මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ කාගේවත් පිහිටක් නැති අන්ත අසරණ දුගී දුප්පතුන් මෙන් ම රෝගීන් කෙරෙහි දැක්වූයේ දැඩි අවධානයකි. රජ මැදුරුවලින් පමණක් නොව, රටේ සුපිරි මහා ධනවත් බලවත් දායකයන්ගේ නිවාසවලින් දිව්‍ය භෝජන බඳු අතිප්‍රණීත දන් ලබා ගැනීමට හැකියාව තිබියදීත් උන්වහන්සේ පිඬුසිඟා වැඩියේ අන්ත අසරණ දුගී දුප්පතුන් බහුලව ගැවසෙන මාර්ගවල ය. ඔවුන්ගේ අතුපැලවල් වෙත ය.

දිනක් නුවරට පිඬු සිඟා වැඩි මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේට ලාදුරු රෝගියෙක් දන් පිදුවේ ය. ඒත් සමඟම ඔහුගේ කුණු වී ගිය එක් ඇඟිල්ලක් පාත්‍රය තුළට වැටුණි. මහා කාශ්‍යප මහ තෙරණුවෝ ඔහු කෙරෙහි කරුණාවෙන් විෂ සැරොව සහිත ඒ කුණු ඇඟිල්ල පසෙකින් තබා ඔහු පිදූ ඒ නීරස ආහාරය කිසිම වෙනසක් නැතිව වැළඳූ සේක. මෙය දුටු ඒ ලාදුරු රෝගියා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කෙරෙහි ඉතා පැහැදීමට පත් විය.

සමාපත්තියට සමවැදීම

මහා කාශ්‍යප මහ තෙරුන් සමාපත්ති බහුල මහ තෙරුන් වහන්සේ නමකි. උන්වහන්සේ නිරන්තරයෙන් ම සමාපත්තීන්ට සමවැදෙමින් වැඩ සිටියහ. උන්වහන්සේ කිසියම් නිවසකට පිඬුසිඟා වැඩියා නම් දොරටුව අසල දී සමාපත්තියට සමවැද ඉන් නැගී සිටිමින් ම දන් පිළිගනිති. උන්වහන්සේ මෙසේ කරන්නේ තමන් වහන්සේට දන් පුදන, වන්දනා කරන, පුද සත්කාර පවත්වන ඒ අසරණ තැනැත්තන්ගේ පින තව තවත් බලවත් කිරීමට යි. ශක්තිමත් කිරීමට යි. මහ තෙරුන්ට දන් පිදූ අසරණ දුගී මනුෂ්‍යයෝ බොහෝ දෙනෙක් මරණින් මතු සුගතියේ උපත ලැබූහ. ඇතැමුන්ට එහි යහපත් විපාක මේ ආත්ම භාවයේ දී ම ලැබුණි. කාකවලිය දුගියාගේ කතාවෙන් ඒ බව පෙනෙයි. මේ සියලු කරුණු නිසා මහා කාශ්‍යප තෙරුන් “දුප්පතුන්ගේ මුනිවරයා” යනුවෙන්ද හඳුන්වනු ලැබේ.

මහා කාශ්‍යප මහ තෙරුන් සතුව පැවති මේ උතුම් ගුණ සමුදාය නිසා බොහෝ මනුෂ්‍යයෝ උන්වහන්සේ අතිශයින් ම පි‍්‍රය කළහ. මිනිසුන් පමණක් නොව බොහෝ දෙවියෝ ද උන්වහන්සේ පි‍්‍රය කළහ. උන්වහන්සේට ආදර ගෞරවය දැක්වූහ. වරක් දෙවියන්ට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා දිව්‍ය විලාශයෙන් පැමිණ දන් පිදීමට ගියහොත් දන් නො පිළිගන්නා නිසා තම බිරිඳ වූ සුජාතාවද සමඟින් අන්ත අසරණ හිඟන වෙසක් මවා ගෙන මහ තෙරුන්ට දිව්‍ය භෝජන පිදුවේ ය. මේ කතාව විස්තර වශයෙන් උදාන පාලියේ මෙන්ම ධම්මපදට්ඨකතාවේද දැක්වෙයි. මහා කාශ්‍යප මහ තෙරුන් කෙරෙහි දෙවියන් කෙතරම් සැලකිල්ලක් දැක්වූවා දැ’යි කිවහොත් උන්වහන්සේ වඩිනතුරු බුදුරදුන්ගේ චිතකයට ගිනි දැල්වීමට පවා දේවතාවෝ ඉඩ නුදුන්හ.

විසිරුණු ධර්මය එක්තැන් කිරීම

මහා කාශ්‍යප තෙරණුවෝ බුදුරදුන් පිරිනිවන් පෑ පසුව රජගහ නුවර දී පළමු ධර්ම සංගායනාව පවත්වා විසිරී තිබූ ධර්ම විනය එක්තැන් කර ත්‍රිපිටකය සකස් කිරීමට මුල් වී ක්‍රියා කළහ. එදා උන්වහන්සේ වැඩ නො සිටියා නම්, අද අපට පාලි ත්‍රිපිකයක් නැත. සූත්‍ර පිටකයේ සංයුක්ත නිකාය භාරව කටයුතු කළේ මහා කාශ්‍යප මහ තෙරුන් ප්‍රධාන උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිසයි.

පළමු ධර්ම සංගායනාවෙන් පසුව මහා කාශ්‍යප මහ තෙරණුවෝ මගධාධිපති අජාසත්ත මහ රජුගේ දායකත්වයෙන් රජගහනුවර දී එක් ධාතු නිධානයක් කරවා සර්වඥ ධාතුන්ගේ ආරක්ෂාව සැලසූ සේක. සර්වඥ ලලාට ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවීමට අවශ්‍ය කරන මූලික කටයුතු සම්පාදනය කළේ ද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ යි.

මෙසේ ගෞතම බුදුසසුනේ දියුණුවට අප්‍රමාණ සේවාවක් සිදු කළ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පුරා වසර එකසිය විස්සක් කල් ආයු වළඳා උතුරු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ කුක්කුටසම්පාත පර්වතයේ දී පිරිනිවන් පෑ සේක. උන්වහන්සේගේ ශ්‍රී ශරීරය උතුරු ඉන්දියාවේ කුක්කුටසම්පාත (කුක්කුටපාද) පර්වතය තුළ තවමත් සුරක්ෂිතව පවතී. මේ බව “සම්පිණ්ඩිතමහානිදාන” නමැති දුර්ලභ පාලි ග්‍රන්ථයේ මෙන්ම ෆාහියන්ගේ දේශාටන වාර්තාවේත් හියුං සියං භ්‍රමණ වෘත්තාන්තයේත් පැහැදිලිව සඳහන් වේ. සැබැවින් ම මෙය ලෝකවාසී කෝටි සංඛ්‍යාත සැදැහැති බෞද්ධයින්ගේ මහත් වූ පී‍්‍රති ප්‍රමෝදයට හේතුවකි.

මෙම ලිපිය උපුටා ගන්නා ලද්දේ අන්තර්ජාලය ඇසුරෙනි. 

අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම දේශනා හුදෙක් ධර්ම දානයක් ලෙස
ඉදිරි ඉදිරිපත් කරන ලදී.

මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත්පත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන් ප්‍රථමයෙන් මෙම ලිපිය  ඉදිරිපත් කළ මහත්මට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.
එසේම මෙම ලිපිය අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පිංවත් මහත්ම, මහත්මීන් වෙතටද එසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.

මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!

සාදු… සාදු… සාදු…

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org

මෙම ලිපිය උපුටා ගන්නා ලද්දේ අන්තර්ජාලය ඇසුරෙනි. 

අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම දේශනා හුදෙක් ධර්ම දානයක් ලෙස
ඉදිරි ඉදිරිපත් කරන ලදී.

මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත්පත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන් ප්‍රථමයෙන් මෙම ලිපිය  ඉදිරිපත් කළ මහත්මට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.
එසේම මෙම ලිපිය අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පිංවත් මහත්ම, මහත්මීන් වෙතටද එසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.

මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!

සාදු… සාදු… සාදු…

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org

Scroll to Top