නන්ද තෙරුන්

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරැ වසන සමයෙහි, ඉන් මාස කීපයකට පෙර කිඹුල්වත් නුවරැ දී නො කැමැත්තෙන් මහණ වූ නන්ද භික්ෂු තෙම ජනපද කල්‍යාණි නන්දාව ගැන ම සිතමින් කල් ගත කරන්නේ සිවුරු හැර ගිහි වීමට අදහස් කොට ඒ බව භික්ෂූනට දැන්වී ය. භික්ෂූහු බුදුරජාණන් වහන්සේට ඒ පවත් දැන්වූහු. එවිට භාග්‍යවතුන් වහන්සේ නන්ද භික්ෂූහු කැඳවා ඒ පවත් සැබෑදැ” යි ඇසූ සේක. නන්ද හික්ෂු සියලු ප්‍රවෘත්තිය කී ය. එ විටැ බුදුරජාණන් වහන්සේ නන්ද භික්ෂූහු ගේ අත අල්ලාගෙන සෘද්‍ධි බලයෙන් තව්තිසා දෙව්ලෝ වඩනා සේක්, අතර මග දා ගිය හේනකැ දා ගිය ලී කොටයෙකැ ඉන්නා කන් නාසා නගුටු සුන් පුලුටු වැඳිරියක දක්නට සැලැස්සූ සේක. ඉක්බිති තව්තිසා භවනයට වැඩ එහි සක් දෙව් රජුට උපස්ථාන පිණිස ආ ශෝභාසම්පන්න පන්සියක් පමණ දෙවඟනන් පෙන්වූ සේක. පෙන්වා, “නන්දයෙනි, දැන් තොප අදහස කෙසේ ද? මේ දෙවඟනන් ද ජනපද කල්‍යාණිය ද යන දෙපක්ෂයෙන් කවුරු වඩා ශෝභන දැ?”යි ඇසූ සේක. “වහන්ස, මේ දෙවඟනක ගෙන් දහසයෙන් කල වකට ද ඕ නො වටී. ඈ මේ දෙවඟනකට සමාන කිරීමේදී මඟදී දුටු පුලුටු වැඳිරිය මෙන් පෙනේ ය” යි කීය. “නන්දයෙනි, ශාසන බ්‍රහ්මචර්යයායෙහි ඇලෙව. එවිට ඒ දෙවඟනන් ලැබිය හැකි බවට මම ඇප වෙමි” යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
“වහන්ස, ඉදින් භාග්‍යවතුන් වහන්සේ එයට ඇප වන සේක් නම් මහණ දම් පිරීමෙහි ඇලෙන්නෙමි” යි නන්ද භික්ෂු කී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නන්ද භික්ෂූහු ගෙන දෙව්ලොවින් අතුරුදන් වූ ක්ෂණයෙකින් ජේතවනයට පැමිණි සේක. එදා නන්ද භික්ෂුව ද තමන් දවල් ලගිනා තෙනට ගිය විට උපස්ථානයට ආ භික්ෂුනට සිදු වූ ප්‍රවෘත්තිය වදාරා “මහණෙනි, තෙපි “කුලීකාරයෙක, දෙවඟනන් නැමැති කුලිය බලා මහන දම් කරන්නෙකැ” යි කියා නන්ද භික්ෂුවට කිය වූ” යැ යි වදාළ සේක. භික්ෂුහු ද එසේ කළහ. භික්ෂූන් විසින් කරනු ලබන නින්දා සහගත කවටකමින් ලජ්ජාවට පත් ආයුෂ්මත් නන්දයෝ ඉතා උත්සාහයෙන් මහණ දම් පුරන්නෝ නො බෝ කලෙකින් සියලු කෙලෙස් නසා රහත් වූහ. පසු දා උදේ නන්ද රහත්හු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ වැඳ, “වහන්ස, මට දෙවඟනන් ලැබෙන බවට වූ ඇපයෙන් භාග්‍යවතුන් වහන්සේ දැන් නිදහස් සේකැ” යි කීහ.
“නන්දයෙනි, තොප රහත් වූ කෙණෙහිම ඒ ඇපයෙන් මම නිදහස් වීමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඉක්බිති,
“ආර්‍ය්‍ය මාර්ග නැමැති හේ දංඩෙන් සංසාර නැමැති මඩ වගුර යමකු විසින් තරණය කරන ලද්දේ ද, චිත්ත සන්තානය විදින සියලු ක්ලේශකාම නැමැති කටුව මාර්ග ඥාන නැමැති පොල්ලෙන් මැඩැ පොඩිකර දමන ලද්දේ ද, එසේ කිරීමෙන් රහත් ඵලයත් නිවනත්, ලැබූ ඒ භික්ෂු තෙම ශුභ අරමුණු නිසා ඇති විය හැකි සැප වේදනායෙන් ද, අශුභ අරමුණු නිසා ඇති විය හැකි දුක් වේදනාවෙන් ද, (නොහොත්) අෂ්ටලෝක ධර්මයෙන් චංචල නොවේ.”151
යන ප්‍රීති වාක්‍යය පහළ කළ සේක. එයින් පසු දිනෙක භික්ෂූහු ආයුෂ්මත් නන්ද මහ රහතුන් වහන්සේ වෙත එළැඹ “ආයුෂ්මතුනි, ඔබ මහණකම ගැන කලකිරුණු බවක් කීවෝ නො වෙත්ද? දැන් කෙසේද?” කියා ඇසූහ. “ඇවැත්නි, ගිහි කමට ඇල්මෙක් නැතැ” යි නන්ද හිමියෝ කීහ. භික්ෂූහු එය විශ්වාස නොකොට භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් එපවත් සැළ කළහ. එවිට බුදුරජාණන් වහන්සේ නන්ද තෙරුන් රහත් වූ බව වදාරා.
“නො නිසි සේ සෙවිලි කළ හෙවත් සිදුරු වූ පලය ඇති ගෙයට යම් සේ වැසි වතුර වදී ද, එසේ ම භාවනා වශයෙන් දියුණු නොවූ සිත විනිවිද ගෙන රාගය ද වැද ගනී. එහෙත් මනා සෙවිල්ලක් ඇති ගෙට වැසි වතුර යම් සේ නො වදී ද, එසේ ම ශමථ විදර්ශනා වශයෙන් මනා ව වැඩුණු සිත විදගෙන රාගය වදිනු හැකි නොවේ.” යැ යි වදාළ සේක.
ඉක්බිති භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ නන්ද භික්ෂු නම හික්මවූ සැටිය ගැන දම් සබා මඩුවෙහි කතා බස් කරමින් හුන්හ. බුදුරජාණන් වහන්සේ එහි වැඩ ඔවුන් අතර වූ කථාව අසා එය මුල් කොට ගද්‍රහ ජාතකය වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ සැවැත් නුවර දෙව්රම්හි වසන සේක්, විටින් විට ගම් නියම් ගම් හි සැරි සැරූ සේක. එක් වරෙක පසල් ගමකට වැඩ ඔවුන් මාර්ග ඵලයන්හි පිහිටුවා පෙරළා සැවතටම වැඩ එහි වුසූ සේක.

උපුටා ගන්නා ලද්දේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් ලියා පළ කරන ලද ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම් බුද්ධ චරිතය නම් කෘතිය ඇසුරිනි.

මෙම ලිපිය සහ ඡායාරූප උපුටා ගන්නා ලද්දේ අන්තර්ජාලය ඇසුරෙනි. 

අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම ලිපිය සහ ඡායාරූප හුදෙක්
ධර්ම දානයක් ලෙස ඉදිරි ඉදිරිපත් කරන ලදී.

මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද, එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන්, ප්‍රථමයෙන් මෙම ලිපිය සහ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පින්වත් ස්වාමීන් වහන්සේලාට, පින්වත් මහත්ම මහත්මීන් වෙතට, එසේම මෙම ලිපිය ඔබ වෙත පිරිනමන මා හට ද, මෙසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.

මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!

සාදු… සාදු… සාදු…

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org