මහා කාශ්‍යපයන් වහන්සේ

මගධ රට මහා තීර්ථ නම් බමුණුගමැ කපිල නම් මහා ධනවත් බමුණකු ගේ පිප්පලී මානවක නම් පුතෙක් විය. තුරුණු විය පත් ඔහුට බමුණු කුමරියක පා

වා දෙන්නට පිය බමුණා නියම කැරැගත්ය. මේ පිප්පලී මානවක බඹලොවින් චුත වැ මිනිස් ලොවැ උපන්නෙකි. කාමාශාව නැත්තෙකි. එහෙත් පියාගේ පෙරැත්තයෙන් බේරෙන පිණිස මට කුමරියක ගෙනෙතොත් මෙබඳු එකියක සොයා ගෙනෙන්නැයි රන්රුවක් කරවා දුන. පිය බමුණා දූතයනට එය භාර දී මෙබඳු රුවක් ඇති බමුණු දැරියක සොයා බලා දන්වන්නැ යි කියා ගමන් වියදම් දී ඒ රන්රුව බමුණන් කිහිප දෙනෙකුට බාර දුන. ඔහු රටින් රට සොයා යන්නාහු මද්‍ර දේශයේ (මදුරටැ) සුරූපී ස්ත්‍රීන් ගැන ප්‍රසිද්‍ධ සාගල නුවරට පැමිණි ය හ. එහි දී රන්රුවට සරිලන භද්‍රා නම් බමුණු දැරියක දැක අවුත් කපිල බමුණාට දැන්වූ

හ. හේ ද ඇගේ මාපියනට පණිවුඩ යවා බමුණු සිරිත් පරිදි කුමරිය පිප්පලී මානවකයාට පාවා දුන්හ. භද්‍රා ද බඹ ලොවින් චුත වූ කෙනෙකි. එබැවින් කාමාශා නැත්තේ ය. සරණ මඟුල් පැවැති දින ම රාත්‍රියේ තරුණ තරුණි දෙදෙන තම තමන්ගේ අදහස් එකිනෙකාට කීහ. සමාන අදහස් ඇති බැවින් ඔහු සතුටු වූහ. අඹුසැමියන් වශයෙන් පිටතට පෙණුනත් ඔහු දෙදෙනා ම සහෝදරයකුත් සහෝදරියකත් ලෙසින් උනුනට ළැදි ව බ්‍රහ්මචාරී ව ගෙදරදොර කටයුතු ඉටු කරමින් වුසූහ. පිප්පලී මානවක සිය මාපියන් මළ පසු ගිහිගෙන් නික්ම පැවිදිවන්නට අදහස් කෙළේ ය. භද්‍රාවට එය දැන්වී ය. ඕ ද මටත් ගිහි සැප වුවමනා නැත. මමත් පැවිදි වෙමි යි කීවා ය. මෙසේ දෙදෙනා ම කතා බස් කොට වීදියේ කඩයෙකින් ගුරු රෙදි මැටි පාත්‍ර ආදි තවුස් පිරිකරගෙන්වා ගෙන තවුස් පැවිද්දෙන් පැවිදි ව තමන් සතු මහා ධනස්කන්ධය කැමැති කෙනකුට ගන්නට ඉඩ හැර තුමූ කාටත් නොදන්වා නික්ම ගියහ. බොහෝ දුර යන ඔහු දෙමංහන්දියකට පැමිණියහ. පිප්පලී තෙම “පැවිදි වූ අපි එකට යනු නො වටී. ඔබ මේ මඟින් යන්න මම් අනිත් මඟින් යමි” යි භද්‍රාවට කී ය. ඕ ද එය පිළිගෙන වම් පසැ පාරට 

බැස ගොස් පරිව්‍රාජිකාවන්ගේ අසපුවකට ඇතුළත් වූවා ය. පිප්පලී මානවක ද යනුයේ රජගහ නුවරටත් නාලන්දාවටත් අතරැ දික් මඟට බැස ගියේ ය.

භාග්‍යවතුන් වහන්සේ ඔහු එන්නාහු දිවැසින් දැක වේළුවනයෙන් පිටාත් වැ රජගහටත් නාලන්දාවටත් අතර වූ බහුපුත්තික නමින් ප්‍රකට නුග රුක වෙත සෘද්‍ධියෙන් වැඩ එහි සෙවණෙහි සිරුරෙන් රස් විහිදුවමින් වැඩහුන් සේක. පිප්පලී තෙම ඒ පැත්තෙන් එනුයේ භාග්‍යවතුන් වහන්සේ දැක “මගේ ශාස්තෘ වන තැනැත්තෝ මුන්වහන්සේ” යැ යි ඈත සිට ම දොහොත් මුදුන් තබා ගෙන අවුත් තුන් තැනෙක දී වැඳ වැටී “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මගේ ශාස්තෘ යැ, මම භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයෙමි” යි කී ය.

“කාශ්‍යපයෙනි, ඉඳගන්න. ඔබට දෑවැද්දක් දෙමි” යි වදාළසේක. “ස්ථවිර මධ්‍යම, නවක භික්ෂූන් කෙරෙහි හිරිඔතප් ඇතිවැ සැළකිලිමත් වැ විසිය යුතු, අසන බණ සිත් කන් යොමුකොට එළැඹැ සිටු වූ සිහි ඇති වැ ඇසිය යුතු, අශුභ භාවනා ආනාපාන සති භාවනා යන කායගතාසති භාවනා ප්‍රථමධ්‍යානය පාදක කොට වඩමි යි පුහුණු විය යුතු යැ” යි අවවාද කළ සේක. මේ අවවාදය පිළිගැනීම ම කාශ්‍යපයන් වහන්සේ ගේ උපසම්පදාව විය. මෙය ඔවාදුපසම්පදා නමි.

මේ කාශ්‍යපයන් වහන්සේ ගේ පියා කාශ්‍යප නම් බමුණු පරපුරට අයත් ය. එහෙයින් පැවිදි වූ තැන් සිට බුදුරජාණන් වහන්සේ ගොත්‍රනාමයෙන් ඔවුන් ඇමතු බැවින් පිප්පලී යන නම අභාවයට ගියේ ය. කාශ්‍යප යන නමින් ම උන්වහන්සේ හැඳින්වුණහ.

මෙසේ ඔවුන් පැවිදි උපසපන් කොට භාග්‍යවතුන් වහන්සේ අනාගතය බලා තවත් කරුණක් සලකාගෙන කාශ්‍යපයන් වහන්සේ කැටුව මඳ දුරක් වැඩ රුකක් වෙත පැමිණ ඉඳගනු කැමැති සැටියක් දැක්වූ සේක. එවිට කාශ්‍යපයන් වහන්සේ තමා පෙරෙවි දෙපට සිවුර[1] සතර පටට නමා රුක්මුලැ එලූහ. භාග්‍යවතුන් වහන්සේ එහි හිඳගත් සේක. ඉක්බිති තමන් පිරිනිවි කල සිදුවන ධර්මසංගායනාව ද එහි තමන් වෙනුවට ප්‍රධාන ස්ථානය දැරීමට ඉතිරි වන එක ම මහා ශ්‍රාවකයා කාශ්‍යපයන් වහන්සේ යි ද දැක, “දැන් ම එතැනට හිමි කරම්හ”යි තමන් වහන්සේ පෙරෙවි සිවුර කාශ්‍යපයන් වහන්සේට දෙන්නට අදහස් කොට සිතා එලා තුබුණු කාශ්‍යපයන් වහන්සේ ගේ සඟළ සිවුර අතගාමින් “කාශ්‍යපයෙනි, තොප ගේ මේ පට සඟළ සිවුර මොළොකැ” යි වදාළ සේක. “භාග්‍යවතුන් වහන්සේ මගේ සඟළ සිවුර පොරවනු කැමැති සේක් වනැ” යි සිතා “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මගේ සඟළ සිවුර පිළිගෙන පොරවන සේක්වා”යි තෙරණුවෝ කීහ. “ඔබ කුමක් පොරවන්නාහුදැ”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්සේ ගේ හඳනය ලැබුණොත්[2] පොරවන්නෙමි” යි කාශ්‍යපයන් වහන්සේ කීහ. භාග්‍යවතුන් වහන්සේ තමන් ඒ තාක් පරිභෝග කළ පාශුකූල හඳනා සිවුර කාශ්‍යපයන් වහන්සේ දුන්ට සේක. මෙසේ සිවුරු මාරු කැරැ ගැනීමෙන් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් අතුරෙහි කාශ්‍යපයන් වහන්සේට තමනට කිට්ටු ම තැන දුන් සේක. කාශ්‍යපයන් වහන්සේ ද “ශාස්තෘන් වහන්සේන්ගේ සිවුරක් දැරීමට මා ගුණයෙන් එයට සුදුසු විය යුතු යැ” යි සිතා එවේලේ ම ධූතාංග තෙළෙස ම සමාදන් ව ගත්හ. එයින් පසු භාග්‍යවතුන් වහසේ කාශ්‍යප තෙරුන් කැටුව වේළුවනාරාමයට ම වැඩිසේක. භාවනානුයෝගී ව කල් ගෙවූ කාශ්‍යපයන් වහන්සේ සතියක් ගත වූ තැන අභිඥාලාභී සිවුපිළිසිඹියාපත් මහරහත් කෙනෙක් වූහ.

කාශ්‍යප යන නම දැරූ තවත් තෙරහු වූහ. ඔවුන් වහන්සේ ගෙන් වෙන් කොට ගනු පිණිස පසු කලෙක “මහාකාශ්‍යප” නමින් අන් තෙරහු මුන්වහන්සේ හැඳුන්වූහ.

 

  1. අධික ශීත සෘතු සමයෙහි පෙරවීමට අවශ්‍ය ම බැවින් තවුසෝත් තනිපට දෙපට විසින් සිදුරු දෙකක් ද අඳනයක් දැ යි සිවුරු තුනක් දරති.
  2. මෙයින් හඳනයත් පොරෝනාවත් ප්‍රමාණයෙන් සමාන බව දැක්වේ.

උපුටා ගන්නා ලද්දේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් ලියා පළ කරන ලද ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම් බුද්ධ චරිතය නම් කෘතිය ඇසුරිනි.

මෙම ලිපිය සහ ඡායාරූප උපුටා ගන්නා ලද්දේ අන්තර්ජාලය ඇසුරෙනි. 

අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම ලිපිය සහ ඡායාරූප හුදෙක්
ධර්ම දානයක් ලෙස ඉදිරි ඉදිරිපත් කරන ලදී.

මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද, එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන්, ප්‍රථමයෙන් මෙම ලිපිය සහ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පින්වත් ස්වාමීන් වහන්සේලාට, පින්වත් මහත්ම මහත්මීන් වෙතට, එසේම මෙම ලිපිය ඔබ වෙත පිරිනමන මා හට ද, මෙසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.

මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!

සාදු… සාදු… සාදු…

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org