කිඹුල්වත් පුර වැඩීම

උපුටා ගන්නා ලද්දේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් ලියා පළ කරන ලද ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම් බුද්ධ චරිතය නම් කෘතිය ඇසුරිනි.

බෝසතාණන් වහන්සේ ගිහි ගෙන් නික්ම පැවිදි වූ තැන් සිට ම ශුද්ධෝදන රජතුමා උන් වහන්සේගේ තොරතුරු සොයා දැන අවුත් තමාට දැන්වීමට අසරු දූත පිරිසක් යෙදී ය. බෝසතාණන් වහන්සේ යන එන හැම තැනම උන්වහන්සේට නො දැනෙන සේ මේ දූත පිරිස වෙළා හැසුරුණහ. දිනපතා කිඹුල්වත් නුවරට කිහිප දෙනෙක් පැමිණෙති. රජුට තොරතුරු දන්වති, මෙසේ මාරුවෙන් මාරුවට කිඹුත් පුරට යමින් එමින් සාවුරුද්දකට වැඩි කලක් ඔහු මේ රහස් සේවයෙහි යෙදුනාහ. බෝසතාණන් වහන්සේ බුදු වී දම්සක් පවත්වා රජගහ පුර වැඩ එහි වසන තොරතුරුත් ශුද්ධෝදන රජතුමාට සැපයූවෝ ද මේ රහස් දූතයෝ ය. ශුද්ධෝදන රජතුමා ඔවුන් ගෙන් තොරතුරු දැන “දැන් පුත්‍රයාණන් වහන්සේ තම නුවරට වැඩම කැරැවීමට කාලයැ” යි සිතී ය. සිතා එහි වඩින්නට ආයාචනා කරන පිණිස ඇමතියකු රාජපුරුෂයන් දහසක් පිරිවර කොට දී රජගහ නුවර භාග්‍යවතුන්වහන්සේ වෙතට යැවී ය. හේ කිඹුල්වත සිට රජගහ පුර දක්වා වූ සැට යොදුන් මාර්ගය ගෙවා වේළුවනාරාමයට පැමිණියේ ය. එ වේලෙහි දම් දෙසමින් හුන් බුදු රජාණන් වහන්සේ ගේ කථාව අසා හේ පිරිවර දහසක් දෙනා හා රහත් බව ලබා පැවිද්ද ඉල්වූයේ ය. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ඒහිභික්ෂු ප්‍රව්‍රජ්‍යායෙන් පැවිදි උපසපන් කළ සේක. රහත් වූවායින් පසු මධ්‍යස්ථ වීම ආර්‍ය්‍යන් ගේ ස්වභාවයක් බැවින් ඒ තෙරණුවෝ රජු එවූ පණිවුඩය භාග්‍යවතුන් වහන්සේට දැන්වීමෙහි යුහුසුලු නො වූහ.
සුදොවුන් රජ ද කල් යනු දැක පළමු පරිද්දෙන් ම තවත් දහසක් පිරිවර සහිත වූ ඇමැතියකු යැවූයේ ය. ඒ පිරිස ද පළමු පිරිස සේ ම රහත් ව තුෂ්ණිම්භූත වූයෙන්. මෙසේ පුරුෂයන් දහස බැගින් පිරිවර කොට ඇති ඇමැතියන් නව දෙනකුන් වරින් වර යවා, ඒ සියලු දෙන ම රහත් වැ පැවිදි ව තුෂ්ණිම්භූත වූයෙන්, බෝසතුන් හා එක දා උපන් කාළුදායි නම් ඇමැතියා කැඳවා “දරුව, කාළුදායි, මගේ පුත්‍රයා දකිනු කැමැත්තෙන් කැඳවා ගෙනෙනු පිණිස නව දහසක් පුරුෂයන් සහිත නව දෙනෙකුන් යැවූ මුත් කිසිවෙක් අවුත් ආරංචි මාත්‍රයකුත් නො කී ය. මරණය කවර දා වේ දැ යි නියම නැත. මැරෙන්නට පළමු පුත්‍රයාණන් දක්නා කැමැත්තෙමි. මගේ පුත්‍රයා කැඳවා ගෙන එන්නට නුඹට හැකි දැ”යි ඇසී ය. “දේවයිනි. මහණ වෙන්නට අවසර දෙතොත් එය කරන්නෙමි” හේ කී ය. “නුඹ කැමැත්තක් කැරැ ගෙන මා පුතු දැක්වුව මැනැව”යි රජ කී ය, හේ ද “යහපතැ” යි කියා පුරුෂයන් දහසක් සහිත ව ගොස් බණ අසා රහත් වැ ඒහි භික්ෂුප්‍රව්‍රජ්‍යායෙන් පැවිදි උපසපන් බව ලැබී ය.
කාළුදායි තෙරුන් ගේ ගමන වර්ණනා
කාළුදායි තෙරුන් ගේ පැමිණීමෙන් දින හත අටෙක් ගත වීය. මැදින් මස පසළොස්වක් පොහොය පැමිණි යේ ය. හේමන්ත සෘතුව ලැබූයෙන් කිඹුල්වත් පුරට භාග්‍යවතුන් වහන්සේ වැඩම කැරැවීමට සුදුසු කාලයැයි කාළුදායි ස්ථවීර සිතී ය. සිතා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ ගමන වර්ණනා කරනුයේ
  1. “වහන්ස, දැන් වෘක්ෂයෝ ගිනි අඟුරු වැනි රතු පැහැති මල් දලු ඇත්තෝ, පරණ කොළ වැටී පල දරන කාලයට පැමිණියෝ වෙත්. ඒ වෘක්ෂයෝ ගිනි දැල් සහිත වූවන් සේ බබලත්. මහා වීරයන් වහන්ස. භගීරථ පරම්පරායෙහි වූවනට (ශාක්‍යයනට) අනුග්‍රහ පිණිස වඩින්නට දැන් කාලය වේ.
  2. “පිපුණු මල් ඇති වෘක්ෂයෝ හැම අතට සුවඳ විහිදුවත්. පුරාණ පත්‍ර හැර දමා (වැටීමෙන් පසු) ඵල බලාපොරොත්තුවෙන් සිටින්නෝ වෙත්. වීරයන් වහන්ස, දැන් මෙයින් පිටත් වන්නට කාලය යි.
  3. “ඉතා ශීත හෝ උෂ්ණ නැත් ම ය, වහන්ස. සෘතුව සැප පහසු ගෙන දෙයි. ගමනකට යෝග්‍ය ය, ආපසු හැරී රෝහිණී ගඟින් එතෙරැ වන ඔබ වහන්සේ ශාක්‍ය කෝලිය රජු හු දකිත් වා.”
  4. “ගොවි තෙම මතු බලා ම කුඹුර හායි. හාන්නහු විසින් ද මතු බලා වී වපුරනු ලැබේ. ධන රැස් කරන වෙළෙඳහු මතු බලා සමුද්‍ර තරණය කරත්. මම ද ඔබ වහන්සේ කිඹුල්වතට වැඩම කරවන්නට යම් බලාපොරොත්තුවෙකින් සිටියෙම් ද ඒ මගේ ප්‍රාර්ථනාව සමෘද්ධ වේ වා.
  5. “එක් වරෙකින් නො නැවැතී ගොවියා යලි යලි ධාන්‍ය වපුරත්. වැස්ස ද නැවැත නැවැත වසී. නැවැත නැවැත ද ගොවීහු කුඹුරු හාත්. නැවැත නැවැත හැල් ආදී ධාන්‍ය රටට ලැබේ.
  6. “යාචකයෝ ද යලි යලි කුලයන් කරා එළඹෙත්. දානපතීහු ද යලි යලිත් දන් දෙත්. එසේ වීමෙන් නැවැත නැවැත ස්වර්ගයෙහි උපදිත්.
  7. “යම් කුලයෙක මහා ප්‍රාඥ වූ වීර පුරුෂයෙක් වේ නම්, හෙතෙම මනා පිළිවෙතින් සත්වන මුතුන් මිත්තන් දක්වා පරම්පරා යුග සතක් ශුද්ධ කරයි. දෙලෝ වැඩ දන්නා හෙයින් මුනි යන නම සත්‍ය වශයෙන් ලත් දේවාතිදේව වූ භාග්‍යවතුන් වහන්සේ එයටත් වඩා පාප නිවාරණයෙහිත් යහපතෙහි අනුන් පිහිටුවා ලීමෙහිත් සමර්ථ සේකැ” යි සිතමි.
  8. “මහර්ෂින් වහන්සේ ගේ පියා ශුද්ධෝදන මහ රජාණෝ යි. යම් උත්තමාවක් බෝ සතුන් කුසින් දරා සිට මරණින් මතු දෙව්ලොවැ දෙව් පුතෙක් ව ඉපිද සැප විඳී ද, ඒ මායා දේවි පින්වතුන් වහන්සේ ගේ මෑණියෝ යි. මෙයින් කළුරිය කළ ගෞතම ගෝත්‍රජ වූ ඕ තොමෝ දෙව් ලොවැ ඉපිද දේව සමූහයා පිරිවරා මහත් සැප විඳී”
යන ආදීන් ගමන වර්ණනා කොට කිඹුල්වත් පුරයට වඩින්නට ආයාචන කෙළේ ය.
 
කිඹුල්වත බලා පිටත් වීම මැදින් දින මැදි පෝදා, කිඹුල්වත් පුරයට පැමිණීම වෙසක් පසළොස්වක් දා
 
භාග්‍යවතුන් වහන්සේ සිය ගමනින් වන මහදභිවෘද්‍ධිය දැක අංග මගධ දෙරටින් පැවිදි ව රහත් වූ දස දහසක් පමණ වූ ද, කිඹුල්වතින් අවුත් පැවිදි වූ දස දහසක් පමණ වූ දැයි විසිදහසක් වූ රහතුන් පිරිවරා පිටත් වූ සේක්, මඟ දී බොහෝ දෙනා තමන් වහන්සේ ගෙන් බණ ඇසීම් ආදියෙන් අපමණ වැඩ සිදු කැරැගන්නා බැවින් පා ගමනින් ම දවසකට යොදුන බැගින් දෙ මසකින් වැඩ වෙසක් පසොළාවක් දා කිඹුල්වත් පුරයට සම්ප්‍රාප්ත වූ සේක. මේ කාලයෙහි කාළුදායි තෙරණුවෝ සියලූ ම දිනයෙහි සෘද්‍ධියෙන් කිඹුල්වත් පුර රජගෙට ගොස් දන් වළදා රජ ගෙයින් භෝජන පාත්‍රය බැගින් ගෙනවුත් භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වූහ. ඒ එ ගමනේ දී භාග්‍යවතුන් වහන්සේ වැළැදු ආහාරය විය.
Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org

උපුටා ගන්නා ලද්දේ  www.pitaka.lk  වෙබ් අඩවියේ
[ URL: https://pitaka.lk/books/buddha-charithaya/index.html#9 ] දරණ අන්තර්ජාල ලිපිනයේ ඇති ලිපියකි. මෙම ලිපියේ අන්තර්ගතය හා හිමිකාරීත්ව ඉහත වෙබ් අඩවිය සහ එම ලිපියේ සම්පාදකයා සතුවේ.

සාදු…! සාදු…! සාදු…!