ජටාධර සහෝදර තවුසන් තිදෙනා

උපුටා ගන්නා ලද්දේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් ලියා පළ කරන ලද ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම් බුද්ධ චරිතය නම් කෘතිය ඇසුරිනි.

ඒ කාලයෙහි උරුවෙල් දනව්වෙහි උරුවිල්වාකාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යැ යි සහෝදර තවුසෝ තිදෙනෙක් නේරංජනා ගඟ අද්දර තාපසාරාම කොට ගෙන වසති. ඉන් උරුවිල්වාකාශ්‍යප නම් වැඩිමහලු තවුසාගේ පිරිස පන්සියයක් පමණ ය. මධ්‍යම සහෝදර නදී කාශ්‍යප තෙමේ තවුසන් තුන් සියයකට නායක ය. බාල සොහොයුරු ගයා කාශ්‍යප තෙමේ ජටිලයන් දෙ සියයක ප්‍රධාන තැනැත්තේ ය.

 

පළමු පෙළහර

 

භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනවු වැඩ උරුවිල්වාකාශ්‍යපයා ගේ ආශ්‍රමය වෙත එළැඹි සේක. උරුවිල්වා කාශ්‍යපයාට කථා කොට “කාශ්‍යපය, මගේ ඉදීම නුඹට බරක් (කරදරයෙක්) නො වේ නම් එක් රැයක් ගිනිහල් ගෙයි වසනෙමි?” යි වදාළ සේක.

 

“මහා ශ්‍රමණය, එහි ඉඳීම මට නම් බරෙක් නො වේ. එහෙත් එහි ඉතා රෞද්‍ර නාගයෙක් ඉඳී. ඌ ඔබට වෙහෙසක් වත් කෙරේ දෝ!”යි උරුවෙල්කසුප් කී ය.

“මට උගෙන් පීඩා ඇති නො වේ. එ බැවින් ගිනිහල් ගෙයි ඉඳීමට අවසර දුන මැනැවැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

 

“මහා ශ්‍රමණයාණනි, එසේ හැකි නම් සුව සේ එහි වුසුව මැනැවැ” යි කියා ජටිල අනුදත්තේ ය.

ඉක්බිති බුදුරජාණන් වහන්සේ ගිනිහල් ගෙට වැඩ තණ ඇතිරියක් පණවා ගෙන එහි හුන් සේක. එහි වැඩි බුදුරජාණන් වහන්සේ දුටු නා රජ කුපිත ව දුමා ගියේ ය.

 

“මොහු ගේ සිවි මස් නහර ඇට ඇටමිදුලු යන මේ කිසිවකට පීඩා නො වන සේ, මගේ සෘද්‍ධි තේජසින් මොහු ගේ තෙද මැඩ පවත්වන්නෙමි” යි සිතා බුදුරජාණන් වහන්සේ ද සෘද්‍ධි බලයෙන් දුම් විහිදුවූ සේක. ක්‍රෝධය නො ඉවැසිය හැකි වූ නාග තෙම ගින්නෙන් දිලිහුණේ ය. බුදුරජාණන් වහන්සේත් (සෘද්‍ධි බලයෙන්) ගින්නෙන් දිලිහුණු සේක. එයින් මුළු ගිනිහල් ගෙය ගිනි දැල් සහිත වුයේ, ගිනි ඇවිලැ ගත්තාක් මෙන් පෙනුණේ ය.

 

එය දුටු තවුසෝ ඊ වටා රැස්වී “අහෝ! ශෝභාවත් මහා ශ්‍රමණයා නාගයා විසින් පෙළෙනු ලැබේ!”යි කීහ.

රෑ පාන් වූ පසු බුදුරජාණන් වහන්සේ ඔද බිඳුණු නාගයා පාත්‍රයෙහි බහා ගෙන ගොස් “කාශ්‍යපය, මෙන්න ඔබේ නාගයා! ඔහු ගේ තේජස මගේ තේජසින් මැඩ පැවැත්වීමි” යි කියා උරුවිල්කාශ්‍යපයාට ඌ පෙන්වූ සේක. මෙය දුටු හේ “එ තරම් චණ්ඩ පරුෂ සෘද්‍ධිමත් නයකු දැමූ මහා ශ්‍රමණයා මහත් සෘද්‍ධි ඇති මහානුභාව ඇති කෙනෙක් ම ය. එහෙත් මා සේ රහතෙක් නම් නො වේ යැ” යි සිතුයේ ය.

 

ඒ පෙළහර දැක්මෙන් සතුටු වූ උරුවිල්වාකාශ්‍යප ජටිල තෙම භාග්‍යවතුන් වහන්සේ කෙරේ ඉතා පැහැදී “මහා ශ්‍රමණයාණෙනි, මෙහි ම වුසු වැ මැනැවි. හැමදාම මම බතින් සංග්‍රහ කරන්නෙමි” යි කීය.

 

 

උරුවිල්වා කාශ්‍යප මහණ වීම

 

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උරුවිල්වා කාශ්‍යපයාගේ අසපුව සමීපයේ එක් ලැහැබෙක වුසූ සේක්, තවත් බොහෝ පෙළහරවල් දක්වා අන්තිමේ දී කාශ්‍යපයා තුළැ පැවැති “තමා රහතෙක” යන මතය ද වැරැදි බව පෙන්වා වදාළ සේක. එය පිළිගත් උරුවෙල් කසුප් තවුසා ප්‍රධාන කොට ඇති සියලු ජටිලයෝ භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද ඉල්ලූහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ඒහි භික්ෂූපසම්පත්තියෙන් පැවිදි උපසපන් කළ සේක.

 

 

නදී කාශ්‍යප මහණ වීම

 

උරුවිල්වාකාශ්‍යපයා ප්‍රධාන කොටැති ජටිල පිරිස ශාසනයේ මහණ වීමේදී ජටා මඩුලු ආදි තවුස් පිරිකර ගඟේ පා කැරැ යැවූහ. නෙරංජරා නදිය අද්දර වූසූ නදී කාශ්‍යප තවුසා ගඟේ පාවී යන තවුස් පිරිකර දැක, ගඟ ඉහළ වුසූ සිය සොහොයුරාට අනතුරෙක්වත් වූයේ දෝ යි සොයා බලනු පිණිස ජටිලයන් ඒ අතට යවා තෙමේත් එහි ගියේ ය. එසේ ගිය හෙ තෙම ශාසනයෙහි පැවිදි ව සිටි සිය සොහොයුරා දැකැ “මේ පැවිද්ද වඩා හොඳ දැ?” යි ඇසූයේ ය. “එසේ ය. ඇවැත්නි, තාපස ප්‍රව්‍රජ්‍යාවට වඩා මේ උතුමැ”යි උරුවිල්වාකාශ්‍යපයන් වහන්සේ පිළිතුරු දුන් සේක. එවිට නදී කාශ්‍යපයා ප්‍රධාන කොටැති පිරිස ද ජටා මඬුලු ආදිය ගඟේ පා කැරැ යවා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ ප්‍රව්‍රජ්‍යාව අයැදූහ. භාග්‍යවතුන් වහන්සේ ඒහිභික්ෂූපසම්පත්තියෙන් ඔවුන් ද පැවිදි උපසපන් කළ සේක.

 

ගයා කාශ්‍යප මහණ වීම

 

නදී කාශ්‍යපයා සිටි අසපුවටත් පහළැ ඒ නදිය අද්දර අසපුවෙකැ වුසූ ගයා කාශ්‍යපයා ද පාවෙන තවුස් පිරිකර දැක සිය සොහොයුරනට අනතුරක් වත් වීදෝ යි සොයනු පිණිස පිරිස හා ගඟ ඉහළ දෙසට ආයේ උරුවිල්වා කාශ්‍යපයන් වහන්සේ දැක “කාශ්‍යපයන් වහන්ස, තාපස ප්‍රව්‍රජ්‍යාවට වඩා මේ උතුම් දැ?” යි ඇසූයේ ය. උරුවිල්වාකාශ්‍යපයන් වහන්සේ “එසේ යැ” යි උත්තර දුන්හ. එවිට ගයා කාශ්‍යපයා ද සිය පිරිස කැටුව බුදුරජාණන් වහන්සේ වෙත ගොස් පැවිද්ද ඉල්වූයේ ඒහිභික්ෂූපසම්පත්තිය ලැබුයේ ය.

 

භාග්‍යවතුන් වහන්සේ පුරාණ ජටිල භික්ෂුන් ගයා ශීර්ෂයට ගෙන යෑම.

 

භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වෙහි ටික දවසක් වැස පෙර ජටිල වැ සිටි ඒ දහසක් භික්ෂූන් කැටුව ගයා ශීර්ෂයට වැඩ එය මත්තෙහි ශිලාතලයෙහි හිඳ ඔවුන් අමතා මෙසේ වදාළ සේක.

 

අදිත්ත පරියාය සුත්ත දේසනාව

“මහණෙනි, සියල්ල ගින්නෙන් ඇවිලැ ගත්තේය. මහණෙනි, කවර සියල්ලෙක් ගින්නෙන් ඇවිලැ ගත්තේ ද? යත්: මහණෙනි, ඇස ගින්නෙන් ඇවිලැ ගත්තේ ය. රූප ගින්නෙන් ඇවිලැ ගත්තේ ය. චක්ෂූර් විඥානය ගින්නෙන් ඇවිලැ ගත්තේ ය. චක්ෂුඃස්පර්ශය ගින්නෙන් ඇවිලැ ගත්තේ ය. චක්ෂුඃස්පර්ශයෙන් පහළ වන සුඛ දුඃඛ උපේක්ෂා යන තුන් වේදනා ගින්නෙන් ඇවිලැ ගත්තේ ය.

 

ඒ කවර ගින්නෙකින් ද? යත් : රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන් මෝහ ගින්නෙන් ය. ජාති ජරා මරණ ශෝක දුක්ඛ දෞර්මනස්‍ය උපායාස නැමැති දුක් ගිනිවලින් යැ යි කියම්.

 

කණ… ශබ්ද… ශ්‍රෝත්‍ර විඥානය.. ඝ්‍රාණය… ගන්ධ.. ඝ්‍රාණ විඥානය…. දිව ..රස… ජිහ්වා විඥානය…. කය … ස්ප්‍රෂ්ටව්‍ය …. කාය විඥාන.. මනස….ධර්ම.. මනෝ විඥානය…. මනඃ සංස්පර්ශ ප්‍රත්‍යයයෙන් පහළ වන සුඛ දුඃඛ උපේක්ෂා යන තුන් වේදනා ද ගින්නෙන් ඇවිල ගත්තේය.

 

කවර ගින්නෙකින් ද? යත්: රාගාග්නි, ද්වේෂාග්නි, මෝහාග්නි යන කෙලෙස් ගිනිවලින් ඇවිල ගත්තේ ය. ජාති ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්මනස්‍ය උපායාස සංඛ්‍යාත දුක් ගිනිවලින් ඇවිල ගත්තේ යැ” යි මම කියමි.

 

මහණෙනි, මෙ සේ නැණසින් දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඇස කෙරෙහි කලකිරේ. රූප කෙරෙහි ද කලකිරේ. චක්ෂූර් විඥානය කෙරෙහි ද කලකිරේ. චක්ෂූඃස්පර්ශයෙහිද කලකිරේ. චක්ෂුඃස්පර්ශ ප්‍රත්‍යයයෙන් පහළ වන සැප දුක් උපේක්ෂා යන තුන් වේදනා කෙරෙහි ද කලකිරේ. ශ්‍රෝත්‍රය කෙරෙහි ද කලකිරේ. ශබ්ද… ශ්‍රෝත්‍ර විඥානය… ඝ්‍රාණය….. ගන්ධ… ජීහ්වා… රස… කාය….. ස්ප්‍රෂ්ට්‍ය… මනස… ධර්මාලම්බන.. මනඃසංස්පර්ශ… මනඃසංස්පර්ශයෙන් පහළ වන සැප දුක් උපේක්ෂා යන ත්‍රිවිධ වේදනා කෙරෙහි ද කලකිරේ. කලකිරෙන්නේ නො ඇලේ. මේ රහත් බව පිණිස වෙන කළ යුත්තෙක් නැත්තේ යැ යි දැන ගනී.”

 

මේ ධර්ම දේශනාව අසා ඒ දහසක් භික්ෂූහු රහත් වූහ.

 

 

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org

උපුටා ගන්නා ලද්දේ  www.pitaka.lk  වෙබ් අඩවියේ
[ URL: https://pitaka.lk/books/buddha-charithaya/index.html#9 ] දරණ අන්තර්ජාල ලිපිනයේ ඇති ලිපියකි. මෙම ලිපියේ අන්තර්ගතය හා හිමිකාරීත්ව ඉහත වෙබ් අඩවිය සහ එම ලිපියේ සම්පාදකයා සතුවේ.

සාදු…! සාදු…! සාදු…!