සුදත්ත සිටු නම් අනේපිඬු සිටුතුමා

උපුටා ගන්නා ලද්දේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් ලියා පළ කරන ලද ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම් බුද්ධ චරිතය නම් කෘතිය ඇසුරිනි.

භාග්‍යවතුන් වහන්සේ දක්නට යෑම
එ සමයෙහි රාජගෘහික සිටුහුගේ සුහුරුබඩු වූ සැවැත් නුවරැ වැසි සුදත්ත සිටු කිසි කාරියක් සඳහා රජගහ නුවරට පැමිණියේ ය. පෙරැ තමා එහි ආ දවස්වලැ මෙන් නො ව එදා කටයුතු අධික බව ද රජගහ නුවර සිටු හට තමා හා පෙරැ සේ කතා බස් කැර කැර ඉඳීමට එදා කිසි අවකාශ පහසුවක් නැති බව ද සුදත්ත සිටු හට පෙනුණේ ය. “පෙර මෙහි මා ආ විට, අන් මොන කටයුත්තක් වුව ද, ඒ ගැන වැඩිපුර නො සලකා මා හා සතුටු සාමීචි කතා බස් ඇති ව හිඳීම මොහුගේ සිරිත ය. අද එසේ නො කොට වැඩකාරයනට ඒ ඒ කටයුතු නියෝග කරමින් මෙ තෙම හැසිරේ. කිමෙක් ද? මෙහි කුමරකුට අන් තැනෙකින් කුමරියක පාවා ගෙන ඊමෙක් හෝ මෙහි කුමරියක අන් කෙනෙකුට පාවා දීමක් හෝ වන්නේ ද? නැතහොත් මහා පූජෝත්සවයක් ඇති වන්නේ ද? සෙට බලසෙන් සහිත වූ බිම්සර මහ රජුට මෙහි භෝජන සංග්‍රහයෙක් හෝ වන්නේ දැ?”යි අනේපිඬු සිටුහට විතර්කයෙක් විය.
රජගහ නුවර සිටු තෙම වැඩකරුවනට කටයුතු විධාන කොට අවුත් අනාථ පිණ්ඩික සිටුහු හා පිළිසඳර කතා කරන අතර අනේපිඬු සිටු ඒසා මහත් කටයුතු සම්පාදනයකට හේතුව විචාළේ ය. රජගහ නුවර සිටු තමා පසුදාට “බුද්‍ධ ප්‍රමුඛ සංඝයාට දනට නිමන්ත්‍රණය කැර ඇති බවත් එ බැවින් එය සඳහා කටයුතු පිළියෙල කරවමින් උන් බවත් කීය. “බුද්‍ධ” යන වචනය කනැ වැටුණු පමණින් විස්මයට පත් සුදත්ත තෙම “ගහපතිය, බුද්‍ධ යැ යි කියහිදැ?” යි ඇසීය. “එසේ ය, බුද්‍ධ යැ” යි කියමි යි රජගහ නුවර සිටු කී ය. දෙවෙනි වරත් තෙවෙනි වරත් සුදත්ත සිටු පළමු සේ ම ඇසී ය, දෙවෙනි තුන් වන වාරයන්හිත් රජගහ නුවර සිටු පළමු සේ ම පිළිතුරු දුන. ඉක්බිති සුදත්ත සිටු “ගෘහපතිය, බුද්‍ධ යන නම පවා ඇසීම දුර්ලභ යි. ඒ බුද්ධෝත්තමයාණන් දකින්නට දැන් යෑ හැකි දැ?” යි ඇසී ය.
“ගෘහපතිය, ඒ බුද්ධෝත්තමයාණන් වහන්සේ දක්නට යෑමට දැන් සුදුසු වේලාව නො වේ, හෙට උදෙන් ම උන් වහන්සේ දක්නට යෑ හැකි යැ” යි රජගහ නුවර සිටු කී ය. ඉන් පසු සුදත්ත තෙම “සෙට ඉතා උදෙන් ඒ බුද්ධෝත්තමයාණන් වහන්සේ දක්නට යන්නෙමි” යි අධිෂ්ඨාන කොට නිදා ගත්තේ රෑ තුන් විටක් ම “පහන් වී ඇතැ” යි සිතා නැගිට්ටේ ය. තෙවෙනි වාරයෙහි නැඟී සිටි හෙතෙම බුදුරජාණන් වහන්සේ දක්නා පිණිස යනුයේ, නුවර පසු කොට සීවක වන දොරට පැමිණියේ ය. ඔහු එහි පැමිණි විට එහි දොර හැරුණේ ය. සීවක වනයටවන් කෙරෙහි ම කලින් වූ ආලෝකය අතුරුදහන් වී මහ කළුවරෙක් වී ය. ඒ දුටු සිටු තැති ගැන්මට, ලොමුදහ ගැන්මට පැමිණියේ ය. එ තැනින් එහා අඩියකුත් නො තබා ආපසු යන්නට අදහස් කෙළේ ය. එ කෙණෙහි ම,
“ලක්ෂයක් ඇතුන්, ලක්ෂයක් අසුන්, ලක්ෂයක් උතුම් අසුන් යෙදූ රථ, ලක්ෂයක් මිණිකොඬොල් ඈ පැලැඳි කන්‍යාවන් දීම බුද්ධාදි උතුමන් දැකීමට යෑමේදී එක් පියවරක් තැබීමෙක සොළොස් වන කලාව පමණ වත් නො අගී ය”යි කිසිවකු කියන හඬෙක් ඔහුට ඇසිණ.149
තවද “ගෘහපතිය, ඉදිරියට යව, ආපසු ගියොත් යෙහෙක් නො වේ යැ”යි කියන්නක් ද කනැ වැටිණ. අඳුරු දුරු වී ය. සිටු ද බිය සැක නැති ව ගියේ ය.
යළිත් අඳුර පැතිරිණ. සිටු බිය වැ පෙරළා යන්නට සිතීය. එ කෙණෙහි පළමු සේ ම ගමනේ අගයත් ඉදිරියට ම යන්නට කරන අවවාදයත් ඇසීය, අඳුරත් දුරු වි ය. බිය දුරු වී ගියෙන් සිට ඉදිරියට ම ගියේ ය.
තෙවෙනි වර ද අන්ධකාර වී ය. බියටත් සැකයටත් පත් සිටු පෙරළා යමැ යි සිතී. එහෙත් එ කෙණෙහි ම පළමු සේ ම ඉදිරියට යෑමට නියෝගයත් යෑමේ යහපතත් කියනු ඇසුණෙන්, අඳුරත් දුරු ව එළිය වැටුණෙන්, මඟ ඔස්සේ ම ගියේ අලුයම් වේලෙහි ශීත වනයට පැමිණියේ ය. සිරිත් පරිදි අලුයමැ නැඟී සිට සක්මනේ යෙදුණු භාග්‍යවතුන් වහන්සේ ඈත එන සිටුහු දැක, සක්මන් මලුයෙන් බැස, භික්ෂූන් පණවා දුන් ආසනයේ වැඩ හුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳ ම “සුදත්ත, මෙහි එන්නැ” යි ඇමැතූ සේක. සිටු තෙම “බුද්ධෝත්තමයාණෝ මගේ නමින් මට හඬ ගසති” යි සතුටු ව භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ පා මුලැ හිස තබා වැතිර වැඳ “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, සුව සේ සැතැපුණු සේක්. දැ”යි ඇසී ය.
 

සිටුහු සෝවාන්වීම

බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුහට බණ දෙසීම.

“කෙලෙස් දුරු කළ, පවින් මිදුණු, කාමයන්හි නො ඇලුණු, එහෙයින් ම නිවී සැනැසුණු, කිසි උපක්ලේශයක් නැති තැනැත්තා සෑම කල්හි ඒකාන්තයෙන් සුවසේ සැතැපේ. සියලු තෘෂ්ණා සිඳීමෙන්, සිතෙහි දුක් පීඩා දුරු කිරීමෙන් සිතේ සංසුන් බවට පැමිණ නිවී සැනැහුණු පුද්ගලයා සුව සේ සැතැපේ” යැ යි වදාරා, ඉක්බිති දාන කථාදි පිළිවෙළ කථායෙන් දම් දෙසූ සේක. ඒ ඇසීමෙන් සිටු තෙම උන් අස්නෙහි ම සෝවාන් විය. ඉක්බිති බණ වදාළ සැටිය ගැන ප්‍රශංසා කොට, “මා බුදුන් දහම් සඟ සරණ ගිය උපාසකයකු කොට සලකන සේක්වා” යි කියා පසු දා දනට ද ආයාචන කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් එය ඉවැසූ සේක. ඉන්පසු සිටුතෙම වැඳ අවසර ගෙන පිටත් ව ගොස් පසුදා රජගහ නුවර සිටුහුගේ ගෙහි දන් පිළියෙල කොට භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වැඩම කරවා ඛාද්‍ය භෝජ්‍යයෙන් මොනොවට සත්කාර කෙළේ ය. දන් වැළඳූ ඉක්බිති සිටු තෙම බුදුරජාණන් වහන්සේට එකත්පස් වැ හිඳ ගත්තේ ය. හිඳ සංඝයා හා සැවැත් නුවරැ වස් වසන්නට වඩින ලෙස බුදුරජාණන් වහන්සේට ආයාචනා කෙළේ ය.
“ගෘහපතිය, තථාගතවරු ශුන්‍යගාරයට සතුටුහ”යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
“එ සේ ය, මට වැටහුණේ ය, වහන්සැ” යි කියා සිටු තෙම සෙනසුන් පිළියෙල කළ යුතු සැටි තමාට වැටහුණු බව පැවැසීය. ඉන්පසු බුදුරජාණන් වහන්සේ ධර්ම කථායෙන් ගෘහපතියා සතුටුකොට පින් කිරීමෙහි උත්සාහවත් කොට, හුනස්නෙන් නැගිට වැඩි සේක.
 

සැවැත්නුවරැ ආරාම පිළියෙල කිරීම

සුදත්ත සිටු බොහෝ යහළු මිතුරන් ඇත්තෙකි. හේ රජගහ නුවරට තමා ආ කටයුත්ත අවසන්කොට සැවැත් නුවරට පෙරළා යන්නේ, මඟදී හමු වන සියල්ලනට බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ බවත්, තමා උන්වහන්සේට සැවැත් නුවර වඩින්නට ආයාචන කළ බවත්, උන් වහන්සේ ඒ මහාමාර්ගයෙන් වඩනා බවත්, එ බැවින් කලින් විහාරාරාම කොට දන් දීමට බලාපොරොත්තු විය යුතු බවත් කියා කහවනු සිය දහස් ගණන් ද එ පමණ වටිනා උපකරණ ද දී සතළිස් පස් යොදුන් මාර්ගයෙහි යොදුනක් පාසා විහාර කරවා සැවැත් නුවරට පැමිණියේ ය. ඉක්බිති සැවැත් නුවර හාත්පස පරීක්ෂක්ෂා කැරැ බලනුයේ, ජේතරාජ කුමාරයාගේ උයන බුදුරජාණන් වහන්සේ ගේ වාසයට සුදුසු බව දුටුයේ ය.
මේ ඉක්බිති සිටු තෙම ජේත කුමාරයා වෙත ගොස් “ආර්‍ය්‍යපුත්‍ර ය, විහාරයක් කිරීමට උයන දිය හැකි දැ? යි ඇසීය. “ගෘහපතිය, කහවනු කෝටියක් ඇතුරුවත් නො දිය හැකි” යි කුමර කී ය. “එ සේ නම් ආර්‍ය්‍යපුත්‍රය, ආරාමය මා විසින් ගන්නා ලදැ” යි සිටු කීය. “නැත, එ පමණින් ආරාමය නො ගන්නා ලදැ”යි කුමර කී ය. ඉක්බිති ඔහු විනිශ්චයකාර ඇමැතියන් විචාළහ. “ආර්‍ය්‍ය පුත්‍රය, ඔබ ඉඩමේ වටිනාකම කී බැවින් ඉඩම දෙන ලදැ” යි ඔහු තීන්දු කළහ. ඉක්බිති සුදත්ත සිටු ගැලින් කහවණු දහ අට කෝටියක් අදවා ඉඩමෙහි අතුළේ ය. තව ස්වල්ප කොටසකට මඳ වූයෙන් ගොස්, ඒ බිම් කොටස වැසීමටත් කහවනු ගෙනෙන ලෙස මෙහෙකරුවනට නියෝග කළේය. මෙ තරම් මහත් මුදලක් වියදම් කොටත් සිටුහු මඳකුදු අප්‍රසන්න නො වූවහු දුටු කුමාර තෙම “මෙය ඉතා වැදගත් වැඩෙකැ” යි සිතා “ගෘහපතිය, ඔය ඇත. මේ ඉතිරි බිම් කැබෙල්ල මම මේ කටයුත්තට ත්‍යාග කරමි” යි කී ය. “එතරම් ප්‍රසිද්‍ධ උසස් රාජ කුමාරයකුගේ පැහැදීම සසුන් දියුණුවට බලවත් උපකාරයෙකැ” යි සිතූ සිටු එයට එකඟ වී ය. ඒ බිම් කොටසෙහි ජේත රාජ කුමාර තෙම තට්ටු සතක් ඇති විශාල ප්‍රාසාදයක් කැරැවීය. සිටු තෙම තවත් කහවණු දහ අට කෝටියක් වියදම් කොට ඒ ජේත කුමරුන්ගේ උයනෙහි (ජේතවනයෙහි) විහාර, පිරිවෙන්, උපස්ථාන ශාලා, ගිනි හල්, වැසිකිළි, කෙසකිළි, සක්මන් මලු, නාන ගෙවල් යන ආදිය කැරැවී ය.
 

සැවැත් නුවර වැඩීම

අනාථ පිණ්ඩික (අනේ පිඬු) සිටු තුමා විහාර කර්මාන්තය නිමවා “දැන් සැවැත් නුවරට වඩින්නට කාලය යැ” යි දන්වා භාග්‍යවතුන් වහන්සේ වෙතට දූතයකු එවී ය. භාග්‍යවතුන් වහන්සේ ද මහසඟ පිරිවරා ගමනාරම්භ කළ සේක. සැරි සරා වඩනා සේක් සති කිහිපයකින් සැවැත් නුවරට පැමිණ වදාළ සේක. අනේ පිඬු සිටු භාග්‍යවතුන් වහන්සේ ගේ පැමිණීම බලාපොරොත්තු වැ ජේතවනයෙහි සිටියේ, ඉදිරියට ගොස් වැඳ සිය විහාරයට ම වැඩම කැරැවී ය. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩියේ සැන්දෑවේ ය. සිටු තුමා පසුදින බොජුන් පිණිස සිටු ගෙදරට වඩින ලෙස අයැද වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
 

ජේතවන පූජාව

පසු දා භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරා එහි වැඩ, පණවා තුබුණු ආසනයෙහි හිඳගත් සේක. සිටු තෙමේ බුද්‍ධ ප්‍රමුඛ සංඝයාට ප්‍රණීත ආහාර පානයෙන් සත්කාර කොට ඉක්බිති එක් පසෙක හිඳ ගත්තේ ය. එසේ හිඳ ජේතවනය පූජා කළ යුතු සැටි විචාළේ ය. “එසේ වී නම් ගෘහපතිය, මෙහි පැමිණි නො පැමිණි සතර දිසා වැසි සංඝයා ජේතවනයෙන් පුදව”යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
“එහෙයි, වහන්ස” යි කියා අනේ පිඬු සිටු තෙම බුද්‍ධ වචනය පිළිගෙන ඒ ජේතවනාරාමය සංඝ සන්තක කෙළේ ය. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ විහාර දානයෙහි අනුසස් වදාරා නැගිට ජේතවනාරාමයට වැඩි සේක.
මේ ජේතවන පූජා දවසෙහි උසභ කුලපුත්, අධිමිත්ත බමුණු කුමර, භේරඤ්ඤකානි ගම් මුදලි, සබ්බමිත්ත බ්‍රාහ්මණ, කොසොල් රජ පුත් බ්‍රහ්ම දත්ත කුමරු, සිරිමන්ත කුළ පුත්, සිරිවඩ්ඨ කුලපුත්, උපවාන බ්‍රහ්මණ, අපර ගෝතම බ්‍රාහ්මණ, පසු කළ ඒකුද්දානිය නමින් ප්‍රකට වූ කුලපුත් ආදී බොහෝ ජනයෝ භාග්‍යවතුන් වහන්සේ දැක බණ අසා පැහැද පැවිදි වූහ. කොසොල් රජුන්ගේ පෙරෙවි බමුණු ගේ දූ වූ දන්තිකා ද තවත් බමුණු දුවක් වූ සකුලා ද තවත් බොහෝ ස්ත්‍රීහු ද බුදු සසුන්හි පැහැදී තෙරුවන් සරණ ගිය උපාසිකාවෝ වූහ.
භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පළමු වරයෙහි නව මසක් පමණ කල් වුසු සේක. එ සෙමෙහි බොහෝ සිටුතුමා කුලපුත්තු සස්නෙහි පැහැදී පැවිදි වූහ. උපාසක පිරිස ද දින පතා වැඩි වූහ. මෙහි රත්නත්‍රයට දිවි පුදා ක්‍රියා කළ අනේ පිඬු සිටු යැ යි ප්‍රසිද්‍ධ සුදත්ත ගෘහපති තුමා ඒ මුළු උපාසක පිරිසේ අග්‍රස්ථානයට පත් විය. දවසකට දෙවරක් භාග්‍යවතුන් වහන්සේ දක්නට යෑමේ සිරිත එ තුමා කිසි දිනෙකත් නො කැඩුවේ ය.
“බුදුරජාණන් වහන්සේ ඉතා සියුමැලි සේක. මා යමක් ඇසුවෙන් “මේ සිටු මට බොහෝ උපකාරි යැ” යි සලකා භාග්‍යවතුන් වහන්සේ දම් දෙසන ස්ක. එසේ වෙන්නට ඉඩ තැබීම සිවුමැලි වූ උන්වහන්සේට වෙහෙස කිරීමකි.” යනු එ සිටුතුමාගේ අදහස විය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අධික ස්නේහ හේතුයෙන් හේ කිසි දිනෙකත් ප්‍රශ්න නො විචාරයි. සිටුහු ගේ අදහස දත් භාග්‍යවතුන් වහන්සේ ඔහු ආ සෑම වාරයෙහි කිසි ධර්ම කථාවක් කරන සේක.
 

සිටු නිවස

තවද සිටුතුමා ගේ ප්‍රාසාදය හැම භික්ෂූන් වහන්සේ ට සතර මං හන්දියක වූ ළිඳක් මෙන් වී ය. එහි නිතර ම දහසක් භික්ෂූනට අසුන් පණවා තිබුණේ ය. ආහාර පාන බේත් යන මේ දැයින් යමක් ලබනු රිසි භික්ෂුවට රිසි සේ ම ඒ සැපැයුණේ ය.
Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org

උපුටා ගන්නා ලද්දේ  www.pitaka.lk  වෙබ් අඩවියේ
[ URL: https://pitaka.lk/books/buddha-charithaya/index.html#9 ] දරණ අන්තර්ජාල ලිපිනයේ ඇති ලිපියකි. මෙම ලිපියේ අන්තර්ගතය හා හිමිකාරීත්ව ඉහත වෙබ් අඩවිය සහ එම ලිපියේ සම්පාදකයා සතුවේ.

සාදු…! සාදු…! සාදු…!