ප්‍රථම පාරාජිකා ශික්ෂාපදය පැණැවීම

විසිවන වස පමණේ දී වජ්ජිරට දුර්භික්ෂයෙක් විය. එයින් එහි වුසූ සුදින්න භික්ෂු වෛශාලි පුරයට නික්ම ගියේ ය. එහි කලන්ද ග්‍රාමයෙහි සිය පියා ගේ ගෙට පැමිණි දෙවෙනි දිනෙහි ම පෙර ගිහි කාලයෙහි භාර්යයා වැ සිටි ස්ත්‍රිය ගේ උපායට හසු විය. ඒ කාරණයේ දී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් රැස් කරවා ප්‍රථම පාරාජික ශික්ෂ පදය පැණැවූ සේක. බුදු වූ තැන් පටන් කොට මුල් විසි වර්ෂයෙහි භාග්‍යවතුන් වහන්සේ ඕවාදපාතිමොක්ඛය දෙසූ සේක.

ඕවාද පාතිමොක්ඛය නම්,

“සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා
සචිත්තපරියොදපණං – එතං බුද්ධාන සාසනං”.

“ඛන්තී පරමං තපො තිතික්ඛා – නිබ්බානං පරමං වදන්ති බුද්ධා

න හි පබ්බජිතො පරූපඝාතී – න සමණො හොති පරං විහෙඨයන්තො”.

“අනුපවාදෝ අනුපඝාතො පාතිමොක්ඛෙ ච සංවරො
මත්තඤ්ඤුතා ච හත්තස්මිං පන්තං ච සයනාසනං
අධිචිත්තේ ච ආයෝගෝ එතං බුද්ධාන සාසනං” යන මෙය යැ.

මෙහි අර්ථය: “සියලූ අකුසලින් දුරු වීම, කුසල් කිරීම හා දියුණු කිරීම, තමාගේ සිත පිරිසිදු කිරීම යන මේ බුදුවරයන්ගේ අනුශාසන යි.”

“ඉවසීම මේ සස්නෙහි උතුම් තපස යි, බුදු පසේ බුදු මහ රහත් හු නිර්වාණය උතුම්කොට කියත්. අන්හට හිංසා පීඩා කරන්නා පැවිද්දෙක් ශ්‍රමණයෙක් නො වේ.

“උපවාද නො කිරීම, හිංසා පීඩා නොකිරීම, ප්‍රාතිමුඛ්‍ය (ශික්ෂාපද) ශීල ඉන්ද්‍රිය සංවර ශීල දෙක රැකීම, භෝජනයෙහි පමණ දැනීම (ආජීව පාරිශුද්‍ධි ශීලය හා ප්‍රත්‍යය සන්නිඃශ්‍රිත ශීලය), විවේක සෙනස්නෙක විසීම, අෂ්ට සමාපත්තීන් ලැබීමෙහි විර්‍ය්‍ය වැඩීම යන මේ දෑ කළ යුතු’ ය යනු බුදුවරයන් ගේ අනුශාසන යි.”

බුද්‍ධත්වයෙන් විසි වන හවුරුද්දෙහි වර්ෂර්තුයෙන් පසු සැවැත් නුවර වසන සේක්, මේ ඔවාදපාතිමොක්ඛය නවතා ආණපාතිමොක්ඛය දෙසීමට අණ කළ සේක. එයට හේතුව නම්: සැවැත් නුවරැ පූර්වාරාමයෙහි පසොළොස්වක් පොහෝ දිනෙක රාත්‍රියෙහි බුදු රජාණන් වහන්සේ භික්ෂු සමූහයා පිරිවරා හුන්සේක. ප්‍රථම යාමය ගත වූ කල අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ වැඳ, ප්‍රථම යාමය ඉක්ම ගිය බවත් භික්ෂු සංඝයා බොහෝ වේලා ඉඳගෙන හුන් බවත් කියා, පාමොක් දෙසීමට ආයාචන කළහ. එහෙත් බුදුරජාණන් වහන්සේ තුෂ්ණිම්භූතව හුන් සේක. දෙවෙනි යාමය ගත වූ විටත් අනඳ තෙරණුවෝ එ බව දැන්වූහ. එහෙත් බුදුරජාණන් වහන්සේ තුෂ්ණිම්භූත වැ හුන්සේක. නැවත අන්තිම යාමය ගත වැ අරුණු නැඟී කල්හි ද, අනඳ තෙරණුවෝ පළමු සේ ම දැන්වූහ. තෙවෙනි වරැ “ආනන්දය, පිරිස අපිරිසුදු යැ”යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

එවිට කිනම් පුද්ගලයකු සලකා බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක් දැයි නුවණින් බලන මුගලන් තෙරණුවෝ භික්ෂු සමූහයා අතරෙහි හුන් දුශ්ශීල පුද්ගලයකු දුටුහ. දැක උහු වෙත එළැඹ, “ඇවැත, නැගිටින්න. යුෂ්මතා භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි, භික්ෂූන් හා එක්වැ විසීමෙක් යුෂ්මත්හට නැතැ”යි වදාළහ. හෙ තෙම නොම නැගිට්ටේ ය. දෙවෙනි තෙවැනි වාරයන්හි ද නැඟිට යන්නට කී නමුත් හේ එය නො තැකී ය. ඉක්බිති මුගලන් තෙරණුවෝ ඔහු අත අල්ලා දොරින් පිටත යවා දොර වසා යතුරු ලා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ ඒ පවත් දන්වා පාමොක් දෙසීමට ආයාචන කළහ.

“මෞද්ගල්‍යායනය, ආශ්චර්‍ය්‍ය යි! ඒ පින් මඳ පුද්ගලයා තම අත අල්ලා පිට කරන තුරුත් රැඳුණේ වේ දැ” යි වදාරා දම් දෙසන සේක්, මුහුදේ ආශ්චර්‍ය්‍ය ධර්ම අටක් ඇති නියාත් සස්නෙහිත් එසේ ම ආශ්චර්‍ය්‍ය ධර්ම අටක් ඇති නියාත් දෙසූ සේක.

ආශ්චර්‍ය්‍ය ධර්ම අට

මුහුදේ ආශ්චර්‍ය්‍ය ධර්ම අට නම්:

    1. මුහුද ගොඩ පටන් ක්‍රමයෙන් ගැඹුරු වේ. මුහුදට වන් තැන ම ගැඹුරු නොවේ.
    2. මුහුද වෙරළ නො ඉක්මවයි.
    3. කිසි කුණපයක් මුහුදේ නො රැ දේ. ඒ ගොඩටම පැමිණැවේ.
    4. නානා නම් ඇති නදීහු මුහුදට වන්නෝ, පළමු නම් හැර මුහුද යන එක ම නම ලබත්.
    5. වැසි වටත් නො වටත් ඇළ දොළ ගලා ගියත් නො ගියත් මුහුද අඩු වැඩි බවෙක් නො පැනේ.
    6. මුහුද ලුණු රසයි .
    7. මුහුදේ මුතු මිණි ආදී නානා රත්නයෝ වෙත්.
    8. විශාල සත්වයෝ ද වෙත්.

ශාසනයේ ආශ්චර්‍ය්‍ය අට:

    1. ශාසනයෙහිත් ශික්ෂාවන් ක්‍රමයෙන් වැඩිය යුතු යි. ඒ පිළිවෙළින් වඩා මිස නැතහොත් එක පැහැර රහත් විය නො හැකි ය.[1] 
    2. සැබෑ බුද්‍ධ ශ්‍රාවකයා බුද්‍ධ ප්‍රඥප්ත සික පද දිවි නැසෙතත් නො බිඳියි.
    3. දුශ්ශීල පුද්ගලයා හා සංඝ තෙම එක්වැ නො වසයි. දුශ්ශීලයා සංඝයාගෙන් ඈත් ම වේ.
    4. නානා නම් ගොත් ඇත්තෝ සසුන් වන්නෝ පළමු නම් ගොත් හැර ශාක්‍යපුත්‍රිය ශ්‍රමණ යන නම ලබත්.
    5. කො පමණ දෙන පිරිනිවියත් නිවනේ අඩුවෙක් හෝ වැඩියෙක් නො පැනේ.
    6. මේ ශාසනය විමුක්තිය රසය කොට ඇත්තේ ය.
    7. මේ ශාසනයේ සත් තිස් බෝධිපාක්ෂික ධර්ම නැමැති රත්නයෝ ඇත.
    8. මේ ශාසනයෙහි ශාරිපුත්‍ර මෞද්ගල්‍යායන ආදී මහ ගුණැති පුද්ගලයෝ ඇත්හ.

මෙ සේ මුහුදේ මෙන් ශාසනයේ ආශ්චර්‍ය්‍ය ධර්ම අටක් ඇතැ”යි වදාළ සේක. ඉක්බිති භික්ෂූන් අමතා,

මහණෙනි, මෙයින් මතු මම් පොහෝ නොකරන්නෙමි. පාමොක් නො උදෙසන්නෙමි. තෙපිම පොහෝ කරවු, පාමොක් ද උදෙසවු” යන ආදීන් වදාරා ආනාපාතිමොක්ඛය උදෙසීම පැණැවූ සේක.

  1. සමහරු දහම් ඇසූ කෙණෙහි ම රහත් වෙති. ඔවුන් කෙරෙහි ද ශීල සමාධි ප්‍රඥා තුන මොහොතක් ඇතුළත ක්‍රමයෙන් සම්පූර්ණ වේ. 

උපුටා ගන්නා ලද්දේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් ලියා පළ කරන ලද ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම් බුද්ධ චරිතය නම් කෘතිය ඇසුරිනි.

මෙම ලිපිය සහ ඡායාරූප උපුටා ගන්නා ලද්දේ අන්තර්ජාලය ඇසුරෙනි. 

අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම ලිපිය සහ ඡායාරූප හුදෙක්
ධර්ම දානයක් ලෙස ඉදිරි ඉදිරිපත් කරන ලදී.

මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද, එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන්, ප්‍රථමයෙන් මෙම ලිපිය සහ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පින්වත් ස්වාමීන් වහන්සේලාට, පින්වත් මහත්ම මහත්මීන් වෙතට, එසේම මෙම ලිපිය ඔබ වෙත පිරිනමන මා හට ද, මෙසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.

මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!

සාදු… සාදු… සාදු…

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org