සුභද්‍ර නම් භාග්‍යවතුන් වහන්සේ අන්තිම ශ්‍රාවකයා

එ සමයෙහි කුසිනාරා පුර වුසු සුභද්‍ර නම් පරිව්‍රාජකයෙක් ද භාග්‍යවතුන් වහන්සේ එදා රෑ පශ්චිම යාමයෙහි පිරිනිවන් පානා බව අසා තමා ගේ සැක දුරු කැර ගනු සඳහා එහි ගොස් භාග්‍යවතුන් වහන්සේ දක්නා කැමැති බව දැන්වූයේ ය. “භාග්‍යවතුන් වහන්සේට වෙහෙස නො කළ මැනැවැ”යි කියා අනඳ තෙරණුවෝ එය ප්‍රතික්ෂේප කළහ. ඒ දෙදෙනා ගේ කථා සංලාපය ඇසු භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා, සුභද්‍ර පිරිවැජියා හට තමන්ගෙන් ප්‍රශ්න අසන්නට ඉඩ ඇති කළ සේක. පිරිවැජියා ද ගොස් ප්‍රශ්න විචාරනුයේ, “පූරණකාශ්‍යපාදී තීර්ථකයෝ තමන් ප්‍රතිඥා කළ පරිදි දුකින් මිදීමට මාර්ගය දත්තෝ ද? ඔවුන් ගේ ධර්මය නෛර්යාණික ද නැද්දැ” යි විචාළේ ය.

එ විට භාග්‍යවතුන් වහන්සේ “ඔවුන් ගේ කරුණු අහක තිබේ වා. මම් නුඹට ධර්මය දෙසන්නෙම්, එය අසන්න, සිත තබා ගන්නැ” යි වදාරා මෙසේ දම් දෙසූ සේක.

“සුභද්‍රය, යම් සස්නෙක ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය නැත්නම් එහි පළමු ශ්‍රමණයා (සෝවාන් පුද්ගලයා) ද නැත්තේ ය. දෙ වෙනි ශ්‍රමණයා (සකෘදාගාමී පුද්ගලයා) ද නැත්තේ ය. තෙවෙනි ශ්‍රමණයා (අනාගාමි පුද්ගලයා) ද නැත්තේය. සිවු වන ශ්‍රමණයා (අත් පුද්ගලයා) ද නැත්තේ ය. යම් සස්නෙක වනාහි අරි අටැඟි මඟ ඇත්තේ නම් එහි ම එකී සතර ශ්‍රමණයෝ ඇත්හ. සුහද්‍රය, මේ සස්නෙහි අරි අටැඟි මහ ඇත් ම ය. එ බැවින් මෙහි එ සතර ශ්‍රමණයෝ ම ඇත්හ. සෝවාන් ආදි සතර ඵල පිණිස විදසුන් වඩන සිවු දෙනා ද මාර්ගස්ථ සිවු දෙනා ද ඵලස්ථ සිවු දෙනා දැයි මෙකී දොළොස් ශ්‍රමණයන් නැති පාරවාදයෝ (අන්‍ය දෘෂ්ටිහු) හිස් හ. තුච්ඡහ. සුභද්‍රය, මේ දොළොස් ආකාර භික්ෂුහු නිසි සේ වසත් නම් (ඒ සෝවාන් ආදීහු අන්‍යයනට ද තමන් ලත් මාර්ග ඵලාදිය කියා දී තවත් මාර්ගස්ථ පුද්ගලයන් ඇති කරන්නට තැත් කරත් නම්) ලෝකය රහතුන් ගෙන් හිස් නො වන්නේ ය.

“සුහද්‍රය, එකුන් තිස් වයස් ඇති ව සිටි මම් කිංසත්‍යගවේෂි ව යම් දිනෙක පැවිදි වීම්ද, එදා පටන් අද තෙක් අතර කාලය හවුරුදු එක් පණසක් පමණ වේ. මේ කාලයෙහි ආර්‍ය්‍ය මාර්ග ඵල ප්‍රාප්තිය පිණිස විදසුන් වැඩීම පමණකුත් කරන කිසි ම පුද්ගලයෙක් මේ (ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ඇති) සස්නෙන් පිටත් හි නො වීය. මතුත් නො වන්නේ ය. එ හෙයින් ම මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් බාහිර වූ කිසි ම ශාසනයෙක්හි ආර්‍ය්‍ය මාර්ගයකට පැමිණි ශ්‍රමණයෙක් කිසි ම කලෙකත් ඇති නො වේ.222

මෙය ඇසූ සුභද්‍ර තෙම පැවිද්දත් උපසම්පදාවත් ඉල්ලුයේ ය. අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ගේ අවසරය පරිදි සුභද්‍රයා පැවිදි කළහ. බුදුරජාණන් වහන්සේ ඔහු උපසපන් කොට කමස්ථානයක් දුන් සේක. සුභද්‍ර භික්ෂු තෙම උයනේ පැත්තකට ගොස් කර්මස්ථාන වඩන්නේ නො බෝ වේලාවෙකින් සියලු කෙලෙස් නසා සිවු පිළිසිඹියා හා රහත් බව ලබා භාග්‍යවතුන් වහන්සේ වෙත වැඳ පසෙක ඉඳ ගත්තේ ය. මේ තෙම භාග්‍යවතුන් වහන්සේ ගේ පශ්චිම ශ්‍රාවකයා යි.

උපුටා ගන්නා ලද්දේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් ලියා පළ කරන ලද ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම් බුද්ධ චරිතය නම් කෘතිය ඇසුරිනි.

මෙම ලිපිය සහ ඡායාරූප උපුටා ගන්නා ලද්දේ අන්තර්ජාලය ඇසුරෙනි. 

අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම ලිපිය සහ ඡායාරූප හුදෙක්
ධර්ම දානයක් ලෙස ඉදිරි ඉදිරිපත් කරන ලදී.

මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද, එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන්, ප්‍රථමයෙන් මෙම ලිපිය සහ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පින්වත් ස්වාමීන් වහන්සේලාට, පින්වත් මහත්ම මහත්මීන් වෙතට, එසේම මෙම ලිපිය ඔබ වෙත පිරිනමන මා හට ද, මෙසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.

මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!

සාදු… සාදු… සාදු…

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org