ආනන්ද ස්වාමීන් වහන්සේ
ප්‍රධාන උපස්ථායක තනතුරු සඳහා බුදුරජාණන් වහන්සේ විසින් පත් කිරීම.

මුල් විසි වර්ෂයේදී නාගසමාල, නාගිත, උපවාන, සුනක්ඛත්ත, සාගත, රාධ, මේඝිය, යන තෙරහු ද චුන්ද සාමනේර ද යන මොවුන් වහන්සේ කලින් කල විශේෂයෙන් භාග්‍යවතුන් වහන්සේට උපස්ථායක වූහ. අනඳ තෙරණුවෝ ද නොයෙක් විට උවටැන් කළහ. එහෙත් මේ කිසිවෙක් තමාගේ උපස්ථායක භාවය අතරැ කඩ නො කොට දිගට ම රැක ගත හැකි නොවීය. එබැවින් විසි වන වසින් පසු දිනෙක භාග්‍යවතුන් වහන්සේ ගඳකිළි පිරිවෙණහි පණවන ලද බුද්ධාසනයෙහි වැඩ හිඳ තමන් වහන්සේට නිත්‍ය උපස්ථායකයකු පත් කළ යුතු බව දැන්වු සේක. සැරියුත් මුගලන් ආදී පිළිවෙළින් සියලු මහා ශ්‍රාවකයෝ තම තමා උපස්ථායක වනු කැමැති බව පැවැසූහ. භාග්‍යවතුන් වහන්සේ ඒ සියල්ල ප්‍රතික්ෂේප කළ සේක. මේ වේලායෙහි තුෂ්ණිම්භූත ව හුන් ආනන්ද ස්ථවිරයන් වහන්සේ දැක “ඇවැත්නි, ඔබ වත් භාග්‍යවතුන් වහන්සේට උපස්ථායක තනතුර ඉල්ලුව මැනැවැ”යි කීහ. එ විටැ ඉල්ලා ලත් තනතුර මා හැඟි නො වේ. ශාස්තෘන් වහන්සේ කැමැති නම් තමන් වහන්සේ ම වදාරනවා ඇතැ” යි ආනන්ද ස්ථවිර කී ය. එවිට බුදුරජාණන් වහන්සේ “මහණෙනි, ආනන්ද තෙම අනුන් විසින් මෙහෙයියැ යුතු නොවේ. තෙමේ ම දැන මට උපස්ථාන කරන්නේ යැ”යි වදාළ සේක.

භික්ෂූහු “ඇවැත් ආනන්දයෙනි, නැඟිට උපස්ථායක තනතුර බාරගත මැනැවැ”යි කීහ. අනඳ තෙරණුවෝ ද නැඟිට පොරොන්දු අටක් පිට භාග්‍යවතුන් වහන්සේට උපස්ථායක බව බාර ගත්තේ ය.

ඒ පොරොන්දු අට මෙසේ යි:

ප්‍රතික්ෂේප සතර

  1. “භාග්‍යවතුන් වහන්සේ ලත් ප්‍රණීත සිවුරු තමාට (අනඳ තෙරුනට) නො දිය යුතු ය.
  2. “භාග්‍යවතුන් වහන්සේ ලත් ප්‍රණීත පිණ්ඩපාතය තමාට නො දිය යුතු ය.
  3. “භාග්‍යවතුන් වහන්සේ හා එක ගන්ධකුටියෙහි තමාට වසන්නට නො දිය යුතු ය.
  4. “භාග්‍යවතුන් වහන්සේ නිමන්ත්‍රණ පිළිගෙන තමා හා නො වැඩි ය යුතු ය.”

ආයාචන සතර

  1. “තමා පිළිගත් නිමන්ත්‍රණයට භාග්‍යවතුන් වහන්සේත් වැඩිය යුතු ය.
  2. “භාග්‍යවතුන් වහන්සේ දැකීමට පිටින් යම් කෙනෙකු ආ කෙණෙහි ම තමන් වහන්සේ වෙත ඔවුන් කැඳවා ගෙනෙන්නට අවසර තිබිය යුතු ය.
  3. “තමාට සැකයක් ඇති වූ කොයිම විටෙක වුවත් භාග්‍යවතුන් වහන්සේ වෙත එන්නට අවසර තිබිය යුතුය.
  4. “තමා නැති තැන දෙසූ සෑම ධර්මය භාග්‍යවතුන් වහන්සේ විසින් තමාට වදාළ යුතු ය.” යන මේවා ය.

එ තැන් පටන් කොට ආනන්ද ස්ථවිර තෙම ශීත උෂ්ණ යන දෙ වැදෑරුම් ජලය පිළියෙල කිරීමෙන් ද, හීන මධ්‍යම ලොකු යැ යි තුන් වැදෑරුම් දැහැටි දීමෙන්ද පා මිරිකීමෙන් හා පිට මිරිකීමෙන් ද, ගඳකිළි පිරිවෙන ඇමදීමෙන් දැ යි මේ ආදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කිරීමෙහි යෙදුණේ ය. “මේ වේලායෙහි මෙනම් දෑ භාග්‍යවතුන් වහන්සේට ලැබිය යුතු යැ”යි පරීක්ෂායෙන් දිවා කාලයෙහි උන්වහන්සේ ගේ සමීපයේ ම හැසිරේ. රාත්‍රියෙහි මහත් දඬුවැට පහණක් ගෙන නව වරක් ගඳකිළි පිරිවෙන වටේ ඇවිදියි. මෙසේ කරන්නේ භාග්‍යවතුන් වහන්සේ හදිසියෙන් කථා කළොත් පිළිවදන් දෙනු සඳහා නින්දට නො වැටී සිහියෙන් යුක්තව ඉඳිනු පිණිස ය.

උපුටා ගන්නා ලද්දේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් ලියා පළ කරන ලද ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම් බුද්ධ චරිතය නම් කෘතිය ඇසුරිනි.

මෙම ලිපිය සහ ඡායාරූප උපුටා ගන්නා ලද්දේ අන්තර්ජාලය ඇසුරෙනි. 

අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම ලිපිය සහ ඡායාරූප හුදෙක්
ධර්ම දානයක් ලෙස ඉදිරි ඉදිරිපත් කරන ලදී.

මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද, එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන්, ප්‍රථමයෙන් මෙම ලිපිය සහ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පින්වත් ස්වාමීන් වහන්සේලාට, පින්වත් මහත්ම මහත්මීන් වෙතට, එසේම මෙම ලිපිය ඔබ වෙත පිරිනමන මා හට ද, මෙසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.

මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!

සාදු… සාදු… සාදු…

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org