ආනන්ද බෝධිය රෝපණය

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරින් පිටත් වැ ජනපද චාරිකායෙහි යෙදුණු දිනයෙකැ බොහෝ උපාසක උපාසිකාවෝ සුවඳ මල් ආදිය ගෙන බුද්‍ධ වන්දනා සඳහා දෙව්රම් වෙහෙරට ආවාහු, භාග්‍යවතුන් වහන්සේ නො දැක ශෝකී වැ, ඒ පූජා භාණ්ඩවලින් පිදිය යුතු තැනක් ද නැත්තෙන්, විහාර * සමීපයෙහි රැස්කොට තබා ගියාහ. අනේපිඬු සිටු ආදීහු ඒ දුටුවෝ භාග්‍යවතුන් වහන්සේ පිටත වැඩි විට උන්වහන්සේ සිහිකොට පුදනු සඳහා පූජ්‍ය වස්තුවක් ඉල්ලා ගන්නට සිතූහ. භාග්‍යවතුන් වහන්සේ පෙරලා ජේතවනයට වැඩි විට ඔහු රැස් වැ පූජ්‍ය වස්තුවක් ඉල්ලීමෙහි අනඳ තෙරුන් මෙහෙයූහ. අනඳ තෙරණුවෝ ගොස් “පූජ්‍ය වස්තු කවරේ දැ?” යි විචාරා භාග්‍යවතුන් වහන්සේ වෙනුවට පූජ්‍ය දැයක් ඉල්ලූහ.

තුන් චෛත්‍යයෝ:

භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා “ආනන්දය ශාරීරික, උද්දේශික, පාරිභෝගික යැ යි පූජ්‍ය වස්තූහු තිදෙනෙකි. ඉන්

  1. ශාරීරික ධාතු පූජාව බුද්‍ධ පරිනිර්වාණයෙන් පසු ව වන්නේ ය.
  2. උද්දේශික පූජාව නම් ධර්මයට බුද්‍ධ ප්‍රතිමාදියට වෙයි.
  3. පාරිභෝගික ධාතු පූජා නම් පරිභෝග කළ පාත්‍ර චීවරාදියට ද බුද්‍ධත්වයේ දී පිටදුන් බෝධි වෘක්‍ෂයට ද කැරෙන සත්කාරය යි.

එබැවින් ජය ශ්‍රී මහා බෝධියෙන් ඵලයක් ගෙන්වා මේ ජේතවනාරාමයෙහි රෝපිත කරවා සත්කාර කරත් හොත් ඒ මට කළ සත්කාරය හා සම යැයි වදාළසේක.

අනඳ තෙරණුවෝ මෙ පවත් කොසොල් රජු ආදීනට දන්වා එ වේලායෙහි ම ජේතවන දොරටුව සමීපයෙහි වළක් කණවා, ජයසිරි මහ බෝ රුකින් ඵලයක් ගෙනවුත් දෙන්නට මුගලන් තෙරුන් අයැදූහ. මුගලන් තෙරණුවෝ තමන් එය බෝ රුකින් ගෙනෙන සැටි සියල්ලට පෙනෙන සේ ඉටා එ කෙණෙහි ඍද්‍ධියෙන් ගොස් උරුවිල්වායෙහි වූ ජයශ්‍රීමහාබෝධිවෘක්‍ෂය සමීපයට වැඩ එහි නටුයෙන් ගැළැවී එන ඵලයක් බිම වැටිය නොදී සිවුරු පටින් පිළිගෙන, එකෙණෙහිම ගෙනැවිත් අනඳ තෙරුනට දුන්හ. අනඳ තෙරණුවෝ එය කොසොල් රජුට බාර කළහ. රජ එය රුවන් කරඬුවෙකින් ගෙන හිස මත තබා ගෙන එය හිඳුවීමට කැරුණු වළ තෙවරක් පැදකුණු කොට අනේපිඬු සිටු අතට දුන්නේ ය. සිටුහු ගන රන් තලියෙක සුවඳ කලල් පුරා, තලියේ පතුල සිදුරු කොට වළ මැද තබා එහි බෝ පැළය සිටුවූ හ.

මෙය අනඳ තෙරුන් ගේ නියෝගයෙන් සිටුවන ලද බැවින් ද මහජනයාගේ සිතැ ආනන්දය ඇති කෙරෙමින් වැඩුණු හෙයින් ද ආනන්ද බෝධි නම් වීය.

 

දිනෙක භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන්ගේ අයදනින් ඒ බෝරුක මුල රෑ තුන්යම්හි සමාපත්ති සැපයෙන් වැඩ හුන් සේක. මෙසේ ආනන්ද බෝධිය පාරිභෝගික චෛත්‍යයක් වීය.

උපුටා ගන්නා ලද්දේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ විසින් ලියා පළ කරන ලද ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම් බුද්ධ චරිතය නම් කෘතිය ඇසුරිනි.

මෙම ලිපිය සහ ඡායාරූප උපුටා ගන්නා ලද්දේ අන්තර්ජාලය ඇසුරෙනි. 

අප “ආර්ය පටිපදා” වෙබ් අඩවිය තුලින් මෙම ලිපිය සහ ඡායාරූප හුදෙක්
ධර්ම දානයක් ලෙස ඉදිරි ඉදිරිපත් කරන ලදී.

මෙම ධර්ම දානය ඔබ වෙත ඉදිරිපත් කිරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරයක් වෙයිද, එසේ රැස්වන සියලු පුණ්‍ය ධර්මයන්, ප්‍රථමයෙන් මෙම ලිපිය සහ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ පින්වත් ස්වාමීන් වහන්සේලාට, පින්වත් මහත්ම මහත්මීන් වෙතට, එසේම මෙම ලිපිය ඔබ වෙත පිරිනමන මා හට ද, මෙසේ රැස් වන්නාවූ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ම උපකාර වේවා.

මෙම ඉදිරිපත් කිරීම හුදෙක් ධර්ම දානයක් ම වේවා.!

සාදු… සාදු… සාදු…

Rasika Nambagodage

By Rasika Nambagodage

www.aryapatipada.org

Scroll to Top